යුක්රේනයේ වෙසෙන ලාංකික සිසුවෙකුගෙන් ඉල්ලීමක්

යුක්රේනයේ වෙසෙන ලාංකික සිසුවෙකුගෙන් ඉල්ලීමක්

*********************************************

යුක්රේනයේ වෙසෙන ලාංකික සිසුවෙකුගෙන් ඉල්ලීමක්

(25.02.2022 – 18:11 +0530 – hirunews.lk/sinhala)

රුසියා යුක්රේන අර්බුදය මැද බොහෝ යුක්රේන වැසියන් ප්‍රමාණයක් මේ වන විට දැඩි බියකින් හා අනාරක්ෂිත තත්ත්වයකින්.

මෙම තත්ත්වය මත යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු සිදු කරන ප්‍රකාශයක් පිළිබඳ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය හා පුවත් හරහා හුවමාරු වනවා.

මෙලෙස අදහස් දක්වන්නේ, දක්ෂිත් විජේසේකර නමැති ශ්‍රී ලාංකික තරුණයෙක්.

ඔහු ඉල්ලන්නේ, ‘ලිවීව්’ නගරයට තමා ඇතුළු පිරිස ව රැගෙන ගොස් එතැනින් පෝලන්ත සීමාව හරහා ලංකාවට පැමිණීමට කටයුතු සකසා දෙන ලෙස යි.

දුම්රිය සේවා හා කුලී වාහන සේවා ආදී ප්‍රවාහන සේවාවන් කිසිවක් මේ වන විට ක්‍රියාත්මක නො වන බව පවසන මෙම තරුණයා, කඩිනමින් තමන් ඇතුළු පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට යි ඉල්ලා සිටින්නේ.

++++++++++++

රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා

(25.02.2022 – 19:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට යුක්රේන සංචාරකයින් පිරිසක් අද (25) විරෝධතාවක නිරත වූණා.

ඒ යුක්රේනය තුළ සිදු කරන රුසියානු මැදිහත්වීම් නතර කරන ලෙස ඉල්ලමින්.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට ආමන්ත්‍රණය කෙරෙන විරෝධතා පුවරු රැගෙන ඔවුන් විරෝධතාවයේ නිරත වුණා.

මේ වනවිට මෙරට තුල යුක්රේන ජාතිකයින් 4120 දෙනෙකු එරට රැදී සිටින අතර ඉන් 4086 දෙනෙකු මෙරට සංචාරය සඳහා පැමිණි අය බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉතිරි 34 දෙනා නේවාසික වීසා මත මෙරට රැදී සිටින්නන් වනවා.

මේ අතර, රුසියානු – යුක්රේන අර්බුදය රාජතාන්ත්‍රික මට්ටමින් ඍජු සංවාදයකින් විසඳා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ශ්‍රී ලංකා රජය අවධාරණය කරනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කළේ.

යුක්රේනයේ ගැටුම්කාරී තත්වය මෑතකදී උත්සන්නවීම සම්බන්ධයෙන් ලක් රජය දැඩි කණස්සල්ලට පත්ව සිටින බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, උපරිම සංයමයකින් කටයුතු කරමින් එදිරිවාදිකම් වහා නතර කිරීමටත්, කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවර භාවය පවත්වාගැනීමටත් කටයුතු කරන ලෙස ලක් රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර රුසියානු ආක්‍රමණය හමුවේ යුරෝපා රටවල් ආර්ථික සම්බාධක කිහිපයක් රුසියාවට එරෙහිව පැනවුව ද, ඇමෙරිකාව හෝ කිසිදු යුරෝපා රටක් තවමත් යුධමය ප්‍රතිචාරයක් දැක්වීමට පෙළඹී නැහැ.

++++++++++++

යුක්රේන ජනපතිගෙන් බටහිර රටවලට චෝදනාවක්

(25.02.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ආක්‍රමණය හමුවේ බටහිර රටවල් තමන්ට සහයෝගය දැක්වීමට නොපැමිණෙන බවට යුක්රේන ජනාධිපති චෝදනා කරනවා.

ආක්‍රමණික රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට තම රට තනි කර දමා ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

“අප සමඟ සටන් කිරීමට සූදානම් කවුද ? මට කිසි කෙනෙක් පේන්නේ නැහැ. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය සහතික කිරීමට සූදානම් කවුද ? හැමෝම බයයි.” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් සම්බාධක මාලාවකින් ප්‍රතිචාර දැක්වූ නමුත් රුසියානු හමුදා ඔවුන්ගේ ගුවන් සහ ගොඩබිම් ප්‍රහාරව අත්හිටුවනු ලැබුවේ නැහැ.

මේ වන විට යුක්රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදා කිව් අගනුවරට ඇතුලුවී තිබෙනවා.

යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි යුරෝපීය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ රුසියාවට විරෝධය දක්වන ලෙසටයි.

එමෙන්ම රුසියාවේ මෙම ප්‍රහාරය නතර කිරීමට මැදිහත් වන ලෙස යුරෝපා කලාපිය රටවල රජයන්ගෙන් ඉල්ලා සිටින ලෙසත් ඔහු ජනතාවට ප්‍රකාශ කර තිබෙනවා.

යුක්රේනයේ අගනුවර වන කිව් නගරයට ප්‍රථම වරට රුසියානු යුද ටැංකි ඇතුළු කිරීමත් සමඟ වෙඩි හඬ ඇසුණු බවයි වාර්තා වන්නේ.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියාසිටියේ කියෙව් නුවරට ඉහළින් ගිය යුක්රේන ගුවන් යානයකට වෙඩි තැබූ බවයි.

කෙසේවෙතත් යුක්රේනය පවසා ඇත්තේ එම ජෙට් යානය රුසියානු එකක් බවයි.

රුසියාවේ ඉදිරි ගමන මන්දගාමී කිරීමට යුක්රේන හමුදා පාලමක් පුපුරුවා හැරීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී තිබෙනවා.

ජනාකීර්ණ Pozniake නගරයට ගුවන් ප්‍රහාර එල්ල වූ අතර අවම වශයෙන් 8 දෙනෙකුට තුවාල සිදු වී ඇති අතර පවුල් රැසක් මෙට්‍රෝ දුම්රිය ස්ථානවල නවාතැන් ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ තම හමුදාවන් විසින් Kyiv අසල පිහිටි ප්‍රධාන ගුවන් තොටුපලේ පාලනය අත්පත් කරගෙන ඇති බවයි.

එය අත්පත් කර ගැනීම සඳහා රුසියානු හෙලිකොප්ටර් 200 ක් සහ සෙබළුන් විශාල පිරිසක් යොදාගත් බව සඳහන්.

යුක්රේනයේ කියෆ් අගනුවර අද (25) දෙවන (2) දිනටත් රුසියානු ගුවන් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර ක්‍රියාත්මක වූ අතර, අනතුරු ඇඟවීමේ සයිරන් සංඥා හඬ නගරය පුරා පැතිරුණා.

සාකච්ඡා අවශ්‍ය නම් අවි බිම තබන ලෙස රුසියානු විදේශ අමාත්‍යවරයා අද (25) යුක්රේනයට දැනුම් දුන්නා.

ගැටුම් ආරම්භ වූ පළමු දිනයේ පමණක් යුක්රේනයේ පුද්ගලයින් 137 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගෙවුණු පැය 48 ක කාලය තුළ යුක්රේනයේ ඉලක්ක 83 කට රුසියානු ගුවන් හමුදා ප්‍රහාර 203 ක් එල්ල කර තිබෙනවා.

මේ වනවිට යුක්රේන ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු යුද ටැංකි 30 ක්, ගුවන් යානා 07 ක් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් 06 ක් විනාශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

යුක්රේන ආරක්ෂක අංශ නිවේදනය කළේ රුසියානු හමුදා භටයින් 800 ක් පමණ යුක්රේන හමුදා ප්‍රහාරවලට ගොදුරුව ඇති බවයි.

යුක්රේනගේ අගනුවර පිහිටි බුද්ධි මූලස්ථාන ගොඩනැගිල්ලටද මිසයිල ප්‍රහාරයක් එල්ලව තිබුණා.

රුසියානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර 33 ක් මහල් නිවාස සංකීර්ණ සහ සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලටද පතිත වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුරු ඇගවීමේ සංඥා නාද වෙද්දී යුක්රේන අගනුවර අද (25) පිපිරීම් රැසක් වාර්තා වූ අතර, එහි නවමහල් (9) ගොඩනැගිල්ලක් ද ගිනිගැනීමට ලක්වුණා.

ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර සිදුවූ චර්නෝබිල් බලාගාර පරිශ්‍රයද මේ වනවිට රුසියානු හමුදා අතට පත්ව තිබෙනවා.

එම ප්‍රදේශයේ විකිරණශීලිතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බව යුක්රේන වැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා.

මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ඇමතුමක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට සියලු පාර්ශවකරුවන්ගේ සහාය අත්‍යාවශ්‍ය වන බවයි.

රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කරන ලෙස ද ඔහු බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට යුක්රේන වැසියන් ලක්ෂයක් පමණ අවතැන්ව ඇති බවයි.

එවන් පසුබිමක යුක්රේන ජනාධිපතිවරයා ජාතිය අමතමින් ඉල්ලා සිටියේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සියලු පුද්ගලයින්ට සටන් කිරීමට සූදානම් වන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීම සඳහා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ජගත් සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කොංග්‍රසය නියෝජනය කරන ඩිමොක්‍රටික් හා රිපක්බ්ලිකන් පක්ෂ දෙක අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 23 වන වගන්තිය සංශෝධනය කර රුසියාව ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙස අදාල යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් දෙවන (2) වරටත් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

එමඟින් ඔහු අවධාරණය කළේ යුක්රේනයට එරෙහි මෙහෙයුම් නවතා දැමීමට හෝ තර්ජනය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව දරුණු ලෙස ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.

කෙසේ වෙතත්, යුක්රේනය අවි ආයුධ බිම තබන්නේ නම් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා සූදානම් බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කළා.

යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් චීනය, ඇමෙරිකාවට චෝදනා කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුනින්ග් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ආක්‍රමණයට පෙර ඇමෙරිකාව විසින් යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක වටිනාකමකින් යුත් අවි ආයුධ ලබාදී ඇති බවයි.

යුක්රේන වැසියන් මේ වනවිට රුසියාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ උමං දුම්රිය මාර්ග තුළට ගොස් ආරක්ෂාව සපයා ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් පියවරට විරෝධය පළ කරමින් මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් ඇතුළු නගර 51 ක විරෝධතා පවත්වා තිබෙනවා. එම විරෝධතාවලට එක්වූ 1400 දෙනෙකු පමණ මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එසේම යුක්රේන ජාතිකයින් මේ වනවිට සිය රට අත්හැර අසල්වැසි රාජ්‍යයන් වෙත සංක්‍රමණය වෙමින් තිබෙනවා.

යුක්රේනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික තරුණයෙකු ඉල්ලා සිටියේ දේශසීමාව ඔස්සේ පෝලන්තයට සංක්‍රමණය වීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසයි.

රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර උතුරු දිස්ත්‍රික්කවල මේ වන විට ස්ථානගතව සිටින අතර සන්නද්ධ වාහන ඉදිරියට යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නගරය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි යුක්රේන රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ස්වේච්ඡා සේවකයන්ට ගිනි අවි 18,000 ක් ලබා දී ඇතැයි යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

රුසියානු හමුදා විසින් Kyiv අගනුවර ආසන්නයේ ගුවන් තොටුපලේ පාලනය අත්පත් කරගෙන ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මේ වන විට යුක්රේනය පුරා සිවිල් වැසියන් 57 ක් ඇතුළුව අවම වශයෙන් යුක්රේන ජාතිකයන් 194 දෙනෙකු මිය ගොස් ඇති බවයි එක්සත් රාජධානිය පවසන්නේ.

මේ අතර රුසියානු සෙබළුන් 1000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

කළු මුහුදේ දූපතක, දේශසීමා ආරක්ෂකයින් 13 දෙනෙකු රුසියානු යුද නෞකාවකට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සමූල ඝාතනය කර තිබෙනවා.

මේ අතර, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා මොස්කව් නුවරදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ යුක්රේන හමුදා යටත් වීමට සූදානම් නම් යුක්රේන පාලනය සමග සාකච්ඡාවට සූදානම් බවයි.

නමුත් ඔවුන් ඊට පෙර අවි බිමතබා යටත් වීම අනිවාර්ය කොන්දේසියක් බව ඔහු සඳහන් කර තිබෙනවා.

ගෙවුණු පැය 48 ක කාලය තුළ යුක්රේනයේ ඉලක්ක 83 කට රුසියානු හමුදා ගුවන් ප්‍රහාර 203 ක් එල්ල කර තිබෙනවා.

යුක්රේනයේ කිවිව් අගනුවර ඉලක්ක කර ගනිමින් ආසන්නතම රොකට් ප්‍රහාරය එල්ල වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පස්වරු 3 ට පමණ.

මේ වන විට රුසියානු හමුදා නැගෙනහිර යුක්රේනයේ ගුවන් තොටුපොළ කිහිපයක් සහ ඉන්ධන ගබඩා සංකීර්ණයක් විනාශ කර ඇති අතර මැක්සාර් චන්ද්‍රිකා ඡායාරූපවල එම විනාශයන් සටහන්ව තිබුණා.

යුක්රේනයේ අගනුවර පිහිටි බුද්ධි මූලස්ථාන ගොඩනැගිල්ලටද මිසයිල ප්‍රහාරයක් එල්ලව තිබුණා.

රුසියානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර 33 ක් මහල් නිවාස සංකීර්ණ සහ සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලටද පතිත වී තිබුණා.

යුක්රේනයේ චර්නොබිල් දැවැන්ත න්‍යෂ්ඨික බලාගාරයේ පූර්ණ බලයත් රුසියානු හමුදාව මේ වන විට නතු කරගෙන තිබෙනවා.

යම් හෙයකින් මෙම න්‍යෂ්ඨික බලාගාරයේ පිපිරීමක් සිදු වුවහොත් එය සමස්ත මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදුවන දැවැන්ත ඛේදවාචකයක්වනු ඇති බවටයි අනතුරු ඇඟවෙන්නේ.

මේ වන විට න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ මට්ටම පාලනය කළ හැකි අගයෙන් ගිලිහෙමින් පවතින බවටත් විදෙස් වාර්තාවල සඳහන්.

යුක්රේනයේ කාර්කිරී නුවරටද ඊයේ (25) ප්‍රහාර එල්ල වූ බැවින් බියට පත් ජනතාව රැය පහන් කළේ උමං දුම්රිය මාර්ග තුළයි.

මේ වන විට දහස් සංඛ්‍යාත වැසියන් යුක්රේනයේ ප්‍රධාන නගර අතහැර දමා යමින් සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මේ වන විට එරට ලක්ෂයක් පමණ දෙනා අවතැන්ව ඇති බවයි.

එවන් පසුබිමක යුක්රේන ජනාධිපතිවරයා ජාතිය අමතමින් ඉල්ලා සිටින්නේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සියලු පුද්ගලයන්ට සටන් කිරීමට සූදානම්වන ලෙසයි.

හැකිතරම් රුධිරය පරිත්‍යාග කරන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා.

ඒ අනුව හමුදා රෝහල් ආශ්‍රිතව ජනතාව රුධිරය පරිත්‍යාග කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර යුක්රේනය ආක්‍රමණයට එරෙහිව රුසියාවේ මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් ඇතුළු නගර 51 ක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඊට එරට නළු නිලියන්, ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

එම පිරිසෙන් 1400 දෙනෙක් පමණ රුසියානු ආරක්ෂක අංශ සිය භාරයට ගනු ලැබුවා.

මේ අතර රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියානු රජය සහ ජපානයටද පියවර ගෙන ඇති අතර අමෙරිකාවද රුසියානු ආර්ථිකය ඉලක්ක කර ගනිමින් සිය සම්බාධක දැඩි කිරීමටයි පියවර ගත්තේ.

මේ අතර, මේවන විට ලොව පුරා අවධානය යොමුව ඇත්තේ යුක්රේන අගනුවර වන කීව් වෙතයි.

අද (25) අලුයම එම නගරය ආශ්‍රිතව මිසයිල ප්‍රහාර දෙකක් (2) වාර්තා වූ අතර, රුසියානු යානයක් කීව් අගනුවර සීමාවේදී බිම හෙළීමටත් යුක්රේන හමුදා පියවර ගනු ලැබුවා.

එම යානය කඩාවැටී තිබුණේ මහල් නිවාස සංකීර්ණයකටයි.

මේ අතර, කීව් නගර වැසියන් රුසියානු ආක්‍රමණ බිය හමුවේ නගරයෙන් ඕනෑම මොහොතක පිටවීමේ සූදානමින් රැඳී සිටින්නේ මෙලෙසින්.

කෙසේ වෙතත් නගර වාසීන්ට මේවන විට අගනුවරින් පිටවීම තහනම් කර තිබෙනවා.

එළැඹෙන කොයි මොහොතක හෝ කීව් අගනුවරට ගොඩබිම් හමුදා හෝ ගුවන් ප්‍රහාර එල්ලවනු ඇති බවටයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් මත පළකරන්නේ.

++++++++++++

පුටින්ට ඇයි මෙතරම් බ‍ය ?

(25.02.2022 – 20:50 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයට එරෙහි ව රුසියාව අවි එසවීමත් සමඟ මේ වන විට ලෝකයේ ප්‍රබල රටවල් අතර ප්‍රධාන බල කඳවුරු දෙකක් (2) නිර්මාණය වෙමින් පවතිනවා.

ඒ රුසියානු හිතවාදී කඳවුර සහ යුක්රේන හිතවාදී කඳවුර වශයෙන්.

කෙසේ වෙතත් යුක්රේන හිතවාදී බටහිර රටවල් රුසියාවට එරෙහි ව විවිධ ප්‍රකාශ සිදු කළත් ඔවුන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ගයක් තවමත් ගෙන නැහැ.

යුරෝපීය රටවල් සැබවින් ම රුසියාවට එරෙහිව අවි අතට ගනී ද ?

මේ ඒ පිළිබඳ විමසා බැලීමක්.

යුක්රේනයට එරෙහිව රුසියාව අවි එසවීමත් සමඟ යුක්රේන හිතවාදී බටහිර රටවල් පවා සිටින්නේ කිසියම් දෙගිඩියාවකින්.

ඔවුන් රුසියාවට එරෙහි ව විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටිනවා, නමුත් ඔවුන් රුසියාවේ ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කිසියම් බියක් දක්වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.

යුරෝපය පුටින්ට එරෙහිවීමට මෙලෙස බියවන්නේ ඇයි?

ප්‍රධානම හේතුව බලශක්තිය යි.

එනම් බොරතෙල්, ස්වභාවික වායු සහ පොසිල ඉන්ධන යන ඒවා යි.

යුරෝපයේ බලශක්ති ඉල්ලුමෙන් විශාල ප්‍රමාණයක් සපයන්නේ රුසියාව බව නොරහසක්.

1970 වසරේ සිටම යුරෝපයේ ප්‍රධානතම බලශක්ති සැපයුම්කරුවා වන රුසියාව මේ වන විට එම වෙළෙඳපොලෙන් 40% ක් අත්පත්කරගෙන සිටිනවා.

ඒ අනුව යුරෝපය, බලශක්තිය අතින් විශාල වශයෙන් යැපෙන්නේ රුසියාව මත යි.

යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහි ව අවි එසවීමට බියක් දැක්වීමට ප්‍රධාන වශයෙන් කරුණු 4 ක් බලපානවා.

අංක 01 :

බටහිර රටවල් රුසියාවට එරෙහි ව මූල්‍ය සම්බාධක පැනවූවොත් බටහිර රටවල මූල්‍ය පද්ධතියෙන් රුසියාව ඉවත් කිරීමේ හැකියාවක් පවතිනවා. එය ලෝක ආර්ථිකයට එතරම් යහපත් තත්ත්වයක් නො වන බවයි පැවසන්නේ.

අංක 02 :

රුසියාව, යුරෝපයට ගෑස් සැපයුම නතර කළ හොත් යුරෝපයේ සියලුම ආර්ථිකයන් අකර්මණ්‍ය වනවා. ඒ හේතුව මතයි යුරෝපය ව්ලැදිමීර් පුටින්ට පීඩනයක් එල්ල කිරීමට මෙතරම් බියක් දක්වන්නේ.

අංක 03 :

නෝඩ් ස්ට්‍රීම් 2 ගෑස් ප්‍රවාහන නළ පද්ධතිය. යුරෝපය ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීමට පියවර ගතහොත් අමෙරිකානු ඩොලර් බිලියන 11 ක දැවැන්ත ව්‍යාපෘතියක් වන නෝඩ් ස්ට්‍රීම් 2 ගෑස් ප්‍රවාහන නළ පද්ධතිය ස්වභාවික මරණයකට පත්වීමට හැකියි. ඒ හරහා ඉදිරියේ දී යුරෝපයට ගෑස් ඇතුළු බලශක්ති සැපයුම මුළුමණින්ම නවතින්නත් හැකියාවක් තිබෙනවා. එසේ වුව හොත් යුරෝපයට ඉදිරි කාලයේ දී දරුණු බලශක්ති හිඟයකට මුහුණ දීමට ද සිදුවනවා.

අංක 04 :

රුසියාවේ සිට යුරෝපයට ඉන්ධන ගෙනයන නළ පිහිටා තිබෙන්නේ යුක්රේනය හරහායි. යුරෝපය, රුසියාවට එරෙහිව අවි එසවීමත් සමඟ දරුණු යුද්ධයක් ආරම්භ වුවහොත් රුසියාව එම ඉන්ධන සැපයුම නවතා දමන්නට හැකියාව තිබෙනවා.

++++++++++++

යුද ගැටුම් ගැන ගැන කනස්සල්ල පළ කිරීමට පාප් වහන්සේ රුසියානු තානාපති කාර්යාලයට

(25.02.2022 – 21:29 +0530 – hirunews.lk/sinhala)

යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කිරීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට ගොස් තිබෙනවා.

යුක්‍රේනයේ යුද්ධය පිළිබඳ උන් වහන්සේගේ කනස්සල්ල රුසියානු තානාපති කාර්යාලයට පුද්ගලිකව ම ප්‍රකාශ කිරීමට මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සාමාන්‍යයෙන්, පාප් වහන්සේලා වතිකානුවේදීයි තානාපතිවරුන් සහ රාජ්‍ය නායකයින් පිළිගැනීම සිදු කරනු ලබන්නේ.

රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයන්ට අනුව සිදුවන්නේ වතිකානු විදේශ අමාත්‍යවරයා හරහා රුසියානු තානාපතිවරයා කැඳවන ලෙස ඉල්ලා සිටීමයි.

වතිකානුවේ නායකයා වන පාප් වහන්සේ ඉන් ඉවත් වී රුසියානු තානාපති කාර්යාලයට යාම, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම කෙරෙහි උන්වහන්සේගේ කෝපයේ ලකුණක් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම ගැටුම් එය අවසන් කරන ලෙස පෞද්ගලිකව ආයාචනා කිරීමයි ශුද්ධෝත්තම පාප් වහන්සේගේ කැමැත්ත වී ඇත්තේ.

වතිකානු නිලධාරීන් පැවසුවේ මීට පෙර පාප් වහන්සේ නමක් මෙලෙස ක්‍රියාකිරීමක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවයි.

වතිකානු ප්‍රකාශක Matteo Bruni පාප් වහන්සේගේ මෙම සංචාරය තහවුරු කර ඇති අතර, උන් වහන්සේ තානාපති කාර්යාලයට ගොස් යළි පැමිණ ඇත්තේ සුදු පැහැති මෝටර් රථයකින්.

රුසියානු තානාපති කාර්යාලයට ගිය පාප් වහන්සේ යුද්ධය පිළිබඳ සිය කනස්සල්ල ප්‍රකාශ කර පැය භාගයකට වැඩි කාලයක් එහි ගතකර තිබෙනවා.

මෙම ගැටුම අවසන් කිරීම සඳහා සංවාදයක් ඉල්ලා ඇති අතර ලබන බදාදා යුක්රේනයේ සාමය සඳහා යාඥා දිනයක් ලෙස සකස් කරන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

සිවිල් වැසියන්ට හානි කරන සහ ‘ජාත්‍යන්තර නීතිය අපකීර්තියට පත් කරන’ ක්‍රියාවලින් වළකින ලෙස දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටීමට බදාදා දින දේව මෙහෙයේදී උන්වහන්සේ බලාපොරොත්තුවෙන් පසුවනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *