කොවිඩ් රෝගයෙන් බේරෙන විධිය ගැන වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් ප්‍රකාශයක්

කොවිඩ් රෝගයෙන් බේරෙන විධිය ගැන වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් ප්‍රකාශයක්

*********************************************

කොවිඩ් රෝගයෙන් බේරෙන විධිය ගැන වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් ප්‍රකාශයක්

(25.02.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් තත්ත්වය පිළිබඳ සුළුවෙන් තැකීම නුවණට හුරු නො වන දෙයක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

පරීක්ෂණවලට ලක් නො කළ රෝගින් බොහෝ ගණනක් සමාජයේ සිටින බවත් ඇතැම් අය කිසිදු රෝගී ලක්ෂණයක් නො පෙන්වා නිරෝගී ලෙස සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා.

පූර්ණ එන්නත්කරණය හා නිවැරැදි සෞඛ්‍ය පුරුදු දිගින් දිගට ම අනුගමනය කිරීම, රෝගය වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය බව ‍යි වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ෴

++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 314 ක් සුවය ලබයි

(25.02.2022 – 14:50 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 314 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 6,08,226 ක් ලෙසයි ෴

++++++++++

තවත් කොරෝනා මරණ 26 ක්

(25.02.2022 – 18:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 26 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,142 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 13 ක් සහ පිරිමින් 13 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 6 ක් වාර්තාවී ඇති අතර ඒ එක් (1) කාන්තාවක් සහ පිරිමින් 5 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 12 ක් සහ පිරිමින් 08 ක් වශයෙන් මරණ 20 ක් වාර්තාවී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 6,14,786 ක් වාර්තාවී තිබෙනවා.

අද (25) දිනයේ ආසාදිතයන් 314 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6,08,226 ක්.

තවත් 17,444 ක් රෝහල්වල හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා ෴

++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 1286 ක්

(25.02.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1,286 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,43,072 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 18,704 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අද (25) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 314 දෙනා ද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,08,226 ක් ලෙසටයි.

මෙරටින් කොරෝනා මරණ 16,142 ක් වාර්තාවී තිබෙනවා. ඒ අද (25) වාර්තා කළ මරණ 26 ත් සමගින් ෴

+

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

යුද ගිනි දැල් මැද ලක්ෂයක් අගනුවර හැර යයි – චර්නෝබිල් න්‍යෂ්ටික සංකීර්ණ බිමත් රුසියාවට

(25.02.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එල්ල වූ දැවැන්තම හමුදා ප්‍රහාරය ලෙසින් රුසියාව ඊයේ (24) ආරම්භ කළ යුක්රේන ආක්‍රමණයේ දී පැය විසි හතරක් (24) ඇතුළත ජීවිත හානි 137 ක් වාර්තා වී තිබෙනවා.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ හමුදා සෙබළුන් මෙන්ම සාමාන්‍ය වැසියන් ද එලෙස මියගිය පිරිස අතර වන බවයි.

ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් රුසියානු හමුදා යුක්රේනයේ උතුරු, නැගෙනහිර සහ දකුණු දේශසීමාවලින් ඊයේ (24) කඩාවැදුණා.

එහිදී ක්‍රියෆ් අගනුවරින් නික්මීමට ජනතාව පෙළ ගැසී සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. ජගත් සංවිධානය ප්‍රකාශ කළේ ලක්ෂයකට අධික පිරිසක් මේ වනවිට යුක්රේන අගනුවර හැරගොස් ඇති බවයි.

මේ අතර පන් ලක්ෂයකට අධික ජනගහණයක් වෙසෙන මරියුපොල් වරාය නගරයෙන් පිපිරීම් රැසක් වාර්තාවී තිබෙනවා.

එමෙන්ම ලොව දරුණුතම න්‍යෂ්ටික ආපදාව සිදු වූ චර්නෝබිල් බලාගාර සංකීර්ණය ද මේ වනවිට රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙනවා.

පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ යුක්රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය පිපිරීමට ලක්වූයේ 1986 වසරේදියි.

මේ අතර යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව නව සම්බාධක පනවා ඇති අතර, බැංකු වත්කම් අත්හිටුවීමද ඊට ඇතුළත්.

කෙසේ නමුත් බැංකු අතර ගණුදෙනු තොරතුරු හුවමාරු වන ස්විෆ්ට් පද්ධතියෙන් රුසියාව ඉවත් කරලීම මෙතෙක් සිදුකර නොමැත්තේ එමඟින් අනෙකුත් රටවලට ද බලපෑම් එල්ලවීම හේතුවෙන්.

කෙසේ නමුත් ආක්‍රමණය සාධාරණීකරණය කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ රුසියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට වෙනත් මාර්ගයක් නොමැති බවයි.

එහෙත් යුක්රේන ආක්‍රමණය රුසියාවට දරුණු ප්‍රතිවිපාක අත්කරදෙනු ඇතැයි ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් යළි අනතුරු ඇඟවීමක් කළා.

යුක්රේන ජනාධිපති වොලඩමයර් සෙලෙන්ස්කි සඳහන් කළේ සටන් කිරීමට සූදානම් ඕනෑම පුරවැසියෙකුට ආයුධ ලබාදෙන බවයි.

එමෙන්ම තමා සහ පවුලේ සාමාජිකයන් රුසියානු හමුදාවල අංක එකේ ඉලක්කය වුවත් යුක්රේන අගනුවර තවදුරටත් රැඳී සිටින බව ඔහු සඳහන් කළා.

රුසියානු ආක්‍රමණය හමුවේ අවසන් සෙබළා දක්වා සටන් කරන බවට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රතිඥා ලබාදුන් අතර, මේ වනවිට අගනුවර ආසන්නයේ ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තාවනවා.

නගරයෙන් පිටත පිහිටි ගුවන් තොටුපල කේන්ද්‍ර කොටගෙන මේ වනවිට ගැටුම් ඇවිලී ඇති අතර, නගරයට ඇතුලුවීම සඳහා එය වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙසයි සැළකෙන්නේ.

යුක්රේනයේ ප්‍රධාන නගර සහ හමුදා කඳවුරු වෙත ගුවන් සහ මිසයිල ප්‍රහාර අඛන්ඩව එල්ලවන අතර, රුසියානු යුද ටැංකි නගර, ගම් දනව් සිසාරා ඉදිරියට ඇදී එන බව සඳහන්.

මේ අතර න්‍යෂ්ටික අවි තර්ජනයක් පිළිබඳව ජනපති පුටින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ප්‍රංශ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ නේටෝ සංවිධානය සතුවද න්‍යෂ්ටික අවි පවතින බව ඔහු වටහා ගත යුතු බවයි.

කිසියම් තුන්වන පාර්ශ්වයක් ගැටුම්වලට මැදිහත් වුවහොත් ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වන බවයි ජනපති පුටින් ප්‍රකාශ කළේ.

මේ අතර යුරෝපයේ සිය හමුදා බලඇණි ශක්තිමත් කරලීම සඳහා 7,000 කට අධික නව හමුදා කණ්ඩයක් එහි යැවීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.

මේ අතර යුක්රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස, අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබෙනවා.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත පැය විසිහතර මුළුල්ලේ ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ග ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව 90 534 456 9498 හෝ 90 312 427 1032 යන දුරකතන අංකවලට ඇමතිය හැකියි ෴

+++++++++++

රුසියානු – යුක්රේන අර්බුදයෙන් රන් මිලත් නගියි

(25.02.2022 – 09:39 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඩොලර් 105.79 ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 100.54 දක්වා ඉහළ ගියා.

මෙලෙස ලෝක වෙළඳපොලේ තෙල් මිල සටහන් කරන්නේ 2014 වසරෙන් පසු ඉහළම අගයන්.

මේ අතර රුසියානු – යුක්රේන අර්බුදයත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල තවත් ඉහළ ගොස් තිබෙනවා.

ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යෑමත් සමඟ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 1,31,500 දක්වාත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,19,800 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ.

+++++++++++

යුරෝපයට සරණාගත රැල්ලක්

(25.02.2022 – 10:56 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ රුසියානු ආක්‍රමණයට එරෙහිව ශාන්ත පීටර්ස්බර්ග් ඇතුලු රුසියානු නගර කිහිපයකම උද්ඝෝෂන පැවති අතර, එහිදී පොලිසිය මගින් සියගණනක් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් විරෝධතාකරුවෙකු බී බී සී ප්‍රවෘත්ති සේවයට සඳහන් කළේ යුක්රේන ආක්‍රමණය තමන් අනුමත නොකරන බවයි.

සිය නෑහිත මිතුරන් රැසක් යුක්රේනයේ වෙසෙන අතර, රුසියානු ආක්‍රමණය ඔවුන් පාවාදීමක් සිදුවන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම රුසියානුවන් බහුතරයක් යුක්රේන ආක්‍රමණය හෙළා දකින බව විරෝධතාවට එක්වූ වයස්ගත කාන්තාවක සඳහන් කළා.

මොස්කව් අගනුවර ද මෙලෙස විරෝධතා පැවති බව සඳහන්. මේ අතර යුක්රේනයෙන් පලා එන සරණාගත රැල්ල පිළිගැනීම සඳහා යුරෝපීය රටවල් සූදානම් වෙමින් සිටින බව වාර්තා වුණා.

කියෆ් අගනුවර ඇතුලු යුක්රේනයේ ගැටුම් පවතින ප්‍රදේශවලින් පලා එන ජනයා දේශසීමා හරහා යුරෝපීය නගරවලට ඇතුලු වන අතර, පෝලන්තයට සහ හංගේරියාවට ඔවුන් පා ගමනින් ඇතුලුවන බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම අනතුරු අඟවා සිටියේ මෙම සරණාගත ප්‍රවාහය ඛේදවාචකයක් බවට පත්විය හැකි බවයි.

මිලියන 44 ක් වෙසෙන යුක්රේනය යුරෝපයේ ජනාකීර්ණතම රාජ්‍යයක් ලෙසයි සැළකෙන්නේ.

මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කියා සිටියේ යුක්රේන රජය පෙරළා දැමීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අරමුණ වී ඇති බවයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ද රුසියානු ජනපති පුටින් වෙත යළි දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, යුක්රේනයේ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

යුක්රේනයෙන් ඔබ්බට රුසියානු හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක විය හැකියි.

එහෙත් නේටෝවේ එක් සාමාජිකයෙකුට හෝ එල්ල කරන ප්‍රහාරයක් මුළු නේටෝ සංවිධානයටම එල්ල වන ප්‍රහාරයක් ලෙස සළකා ප්‍රතිචාර දක්වන බවයි ඔහු කියා සිටියේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ප්‍රධාන අරමුණක් වන්නේද යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වීම වැළැක්වීමයි.

යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමය රුසියාවට එරෙහිව නව සම්බාධක වැලක් පනවා තිබෙනවා.

එහිදී රුසියාවේ මූල්‍ය සේවා, බලශක්ති, ප්‍රවාහන ක්‍ෂේත්‍රයන් ඉලක්ක කරගෙන ඇති අතර, ප්‍රමුඛ පෙළේ රුසියානුවන්ට වීසා තහංචි පැනවීමට ද පියවර ගැනෙනවා.

ඊට පෙර බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය ද රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවූ අතර, රුසියානු බැංකු වත්කම් අත්හිටුවීම ද ඊට ඇතුළත් ෴

+++++++++++

යුක්‍රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක

(25.02.2022 – 11:13 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ආක්‍රමණයකට ලක්ව ඇති යුක්රේනයේ තත්ත්වය පිළිබඳ ව ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින අතර, එහිදී නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විදේශ කටයුතු ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගයක් ලෙස අනුමත කළ නොහැකි බවයි.

කෙසේ නමුත්, මෙහිදී නේටෝ සංවිධානයේ ව්‍යාප්තිය තුලින් රුසියාව අනාරක්ෂිත වීමේ ගැටලුව ද සැලකිල්ලට ගත යුතු බව ඔහු සඳහන් කළා.

යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු වීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද විදේශ කටයුතු ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මෙහිදී පැහැදිලි කළා.

එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලාංකිකයන් සුළු පිරිසක් පමණක් එහි රැඳී සිටින බවයි.

යුක්රේනයේ බෙදුම්වාදී ඩාන්යෙක් සහ ලුහාන්ස්ක් ප්‍රාන්ත රුසියාව විසින් වෙනම රාජ්‍යයන් ලෙස පිළිගැනීම ලක් රජය අනුමත කරන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.

එය, මෙරට උතුර – නැගෙනහිර පැවති බෙදුම්වාදයට සම කළ නොහැකි දැයි ඔහු විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ කියා සිටියේ ඓතිහාසික හෝ දේශපාලනමය වශයෙන් යුක්රේනයේ තත්ත්වය ශ්‍රී ලංකාවට සම කළ නොහැකි බවයි.

මේ අතර මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා කරන රටවල් බොහොමයක් පසුගිය කාලසීමාවේ දී මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළා.

මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුව අප්‍රේල් 01 වනදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව විවාදයට ගැනෙන්නේ ලබන මාර්තු 03 වනදායි.

+++++++++++

යුක්‍රේන අර්බුදයෙන් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක්

(25.02.2022 – 14:07 +0530 – hirunews.lk/sinhala)

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට දැඩි සේ අහිතකර ලෙස බලපාන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ප්‍රකාශ කළා.

අයි.එම්.එෆ්. කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජියෝජියේවා කියා සිටියේ එමඟින් යුරෝපා කලාපයේ පමණක් නොව ලොව පුරා ආර්ථික අවදානම ඉහළ නංවන බවයි.

යුක්රේනය සඳහා මූල්‍ය අරමුදල ලබාදෙන ඩොලර් බිලියන 2.2 ක ණය වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක බව ද ඇය සඳහන් කළා.

මේ අතර ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් කියා සිටියේ යුක්රේනයේ ගැටුම් සහ ජීවිත හානි සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත්වූ අතර, එමගින් දැවැන්ත ආර්ථික සහ සාමාජයීය බලපෑමක් එල්ල වන බවයි.

යුක්රේන අර්බුදය හමුවේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ද මේ වනවිට 2014 වසරෙන් පසු ඉහළම අගයට පත්ව ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (25) ඩොලර් 105 ඉක්මවූවා ෴

+++++++++++

යුක්රේනයේ තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් නිල නිවේදනයක්

(25.02.2022 – 14:33 +0530 – hirunews.lk/sinhala)

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ යුක්රේනයේ ගැටුම්කාරී තත්වය මෑතකදී උත්සන්නවීම සම්බන්ධයෙන් ලක් රජය දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි.

එමෙන්ම උපරිම සංයමයකින් කටයුතු කරමින් එදිරිවාදිකම් වහා නතර කිරීමටත්, කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවර භාවය පවත්වාගැනීමටත් කටයුතු කරන ලෙස ලක් රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කළා.

එමෙන්ම අර්බුදය රාජතාන්ත්‍රික මට්ටමින් ඍජු සංවාදයකින් විසඳා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද ශ්‍රී ලංකාව අවධාරණය කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *