දෙදිනක් (2) ගෙවෙන තෙක් කපන්නෙ නැහැ – ලංවිම

දෙදිනක් (2) ගෙවෙන තෙක් කපන්නෙ නැහැ – ලංවිම

*********************************************

දෙදිනක් (2) ගෙවෙන තෙක් කපන්නෙ නැහැ – ලංවිම

(25.01.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය යටතේ තවත් දින දෙක හමාරක් (2½) යන තුරු විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සපුගස්කන්ද බලාගාරය හා කැළණිතිස්ස බලාගාරය සඳහා දැවි තෙල් සහ ඩීසල් ලැබීම හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ නොමැති බවයි.

කෙසේ වෙතත් බරපතළ ඉන්ධන අර්බුදයකට මුහුණ දී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක (2) කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් මතුවිය හැකි විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ජා කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේට උපදෙස් ලබා දී ඇත්තේ විදුලිය කැපීම නතර කරන ලෙසටයි.

කෙසේ වෙතත්, මාළඹේ, පානදුර, හෝමාගම, මහරගම ආදී ප්‍රදේශවලින් ඊයේ (24) පස්වරු 06:40 සිට විදුලිය බිඳ වැටීම් වාර්තා වුණා.

විදුලිය කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (25) සිය නිර්දේශය ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

ඒ පිළිබදව තීරණයකට එළඹෙන්නේ විද්‍යාත්මක සංසන්ධනයක් හරහා පමණක් බවයි එම කොමිසම අවධාරණය කළේ.

අවශ්‍ය වුවහොත් අදියර 4 ක් යටතේ විදුලි කප්පාදුවකට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (24) එම කොමිසමෙන් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, දේශපාලන අධිකාරිය ලබාදී ඇති සහන හමුවේ විදුලි කප්පාදුවකට යාමේ අවශ්‍යතාවක් මතුවේ යැයි අපේක්ෂා නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ෴

+++++++++++++

අමාරු ම හරිය පන්නගන්න සති දෙකකට (2) තෙල්

(25.01.2022 – 10:29 +0530 – hirunews.lk/sinhala)

සංස්ථාව සතු ඉන්ධන තොග අනුව එම ඩීසල් හා දැවි තෙල් ප්‍රමාණය විදුලි බල මණ්ඩලයට නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඒ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවකදි යි.

සංස්ථාව ද බරපතළ ඩොලර් අර්බුදයකට ලක් ව තිබෙන නමුත් විදුලි අර්බුදය කළමනාරණය කරගත යුතු බැවින් අපහසුතාවෙන් යුතු ව වුව ද මෙම ඉන්ධන ප්‍රමාණය මණ්ඩලයට ලබා දීමට කටයුතු කරන බව යි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර, එම සති දෙකෙන් (2) පසු ව මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ගෙන්වා දීමට, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එම සාකච්ඡාවේ දී එකඟතාව පල කර ඇති බවත් වාර්තා වෙනවා.

ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලින් එම ඉන්ධන ගෙන්වා ගන්නා බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර තිබෙනවා.

+++++++++++++

ප්‍රධාන විදුලි උත්පාදනය ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහළට

(25.01.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala)

විදුලි උත්පාදනය සඳහා ජලය ලබා ගන්නා ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහළට ගොස් තිබෙනවා.

ජල විදුලි බලාගාරවල පිහිටි ජලාශ රැසක ජල ධාරිතාව අද (25) පෙරවරු 6 වන විට තවදුරටත් පහළ බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ.

මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර, මේ වන විට එම ජලාශයේ ජලය අඩි 80.9 දක්වා පහළ බැස තිබෙනවා.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 වන අතර, මේ වන විට එම ජලාශයේ ජලය අඩි 134 ක් දක්වා පහත ගොස් ඇති අතර, ලක්ෂපාන ජලාශයේ වේල්ලේ උස අඩි 82 වන අතර, එහි ජල ධාරිතාව අඩි 75.2 දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

විමලසුරේන්ද්‍ර ජලාශයේ වේල්ලේ උස අඩි 91 වන අතර, එහි ජල ධාරිතාව අඩි 86.8 දක්වා පහළ බැස ඇති අතර, කැනියොන් ජලාශයේ වේල්ලේ උස අඩි 55 ක් වන අතර එම ජලාශයේ පහත වැටී ඇති ජල මට්ටම අඩි 49.1 ක්.

කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තවත් මාස කිහිපයකට තාවකාලිකව නතර කර ඇති බවත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සාමාන්‍ය පරිදි සිදු කරන බව ද එම විදුලි බලාගාර ඉංජනේරුවන් ප්‍රකාශ කළා ෴

+++++++++++++

විදුලිය නොකපන්නැ යි ජනපතිගෙන් උපදෙස්

(25.01.2022 – 11:49 +0530 – hirunews.lk/sinhala)

විදුලිය කැපීම නතර කරන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට ඊයේ (24) උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේ දී ඊයේ (24) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදි යි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

මේ දිනවල දිගින් දිගට ම විදුලිය විසන්ධි වීමක් සිදු වන අතර, ඒ සඳහා හේතු කාරණා රාශියක් ඇති බව පෙනෙනවා.

විශේෂයෙන් විදුලිය නිපදවීමට අවශ්‍ය දැවි තෙල් ලබා දීමට නො හැකි වීම හා එම දැවි තෙල් ලබා ගැනීමට අවශ්‍ය ඩොලර් හිඟ වීම මීට හේතු වූ ප්‍රධාන ම කාරණයක් ලෙස හඳුනාගත හැකි යි.

මේ අතර, ඊයේ (24) දහවල් ජනාධිපති කාර්‍යාලයේ දී ජනාධිපතිවරයා, බලශක්ති අමාත්‍යවරයා, විදුලි බල අමාත්‍යවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නියෝජිතයින් එක් ව පැවති සාකච්ඡාවක දී තීරණය වුණේ, කොළඹ වරාය අවට නැංගුරම් ලා ඇති තෙල් නැව් දෙකකට (2) ඇමරිකානු ඩොලර් මිලියන 53 ක් ගෙවීමට යි.

මෙම නෞකා දෙකේ (2) පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගෙනවිත් තිබුණා.

ඒ අනුව මෙම සාකච්ඡාවෙන් අනතුරු ව ජනමාධ්‍යය ඇමතූ බලශක්ති අමාත්‍යවරයා කිය සිටියේ, අදාළ ඩීසල් තොගය විදුලි උත්පාදන කටයුතු සඳහා වෙන් කරන බව යි.

කෙසේ වෙතත් එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ, තවත් සතියකට මදක් වැඩි කලකට පමණක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

කෙසේ වෙතත් මෙහි දී සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ, වඩාත් කාර්‍යක්ෂම ලෙස විදුලි භාවිතය පෙළ ගැස්වීම ද නැතහොත් එදා වේල සපුරාගෙන අඛණ්ඩ ව විදුලි සැපයීම ද යන්න පිළිබඳව යි.

කෙසේ වෙතත් විදුලි සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරන්නේ, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට නම් ගත යුතු පළමු පියවර වන්නේ, රට තුළ ක්‍රියාත්මක වන වායු සමීකරණ සඳහා සීමා පැනවීම බව යි.

වැඩි ම විදුලියක් වැය වන වායු සමීකරණ අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට ඉඩ හැර සිදු කරන විදුලි පිරිමැසම කුමක් ද යන්න ඔවුන් ප්‍රශ්න කරනවා.

+++++++++++++

ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුම් වශයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ යෝජනාවලිය

(25.01.2022 – 15:28 +0530 – hirunews.lk/sinhala)

රටතුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුම් වශයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම, රථ වාහන තදබදය අවම කිරීම සඳහා කාර්යාලීය වේලාවන් සංශෝධනය කිරීම, රාජ්‍ය ආයතනවල පැවැත්වෙන සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ඇතුළු කරුණු රැසක් ඊට ඇතුලත් බවයි වාර්තා වන්නේ.

ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++

ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවකට අවසර නැහැ

(25.01.2022 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 27 වනදා දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබා නොදෙන බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ සම්බන්ධයෙන් අනිද්දා (27) රැස්වී යළි සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එහිදී පවතින තෙල් සංචිත සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති.

පවතින තත්වය යටතේ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා ෴

+++++++++++++

විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී ආචාර්ය රෝහිත අබේසේකර

(25.01.2022 – 18:02 +0530 – hirunews.lk/sinhala)

විදුලි බලමණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මීට ටික වේලාවකට පෙර සිය පත්වීමේ ලිපිය විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු වෙතින් ලබාගත්තා.

ආචාර්ය රොහන්ත අබේසේකර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු උපාධිධාරියෙකු වන අතර එක්සත් රාජධානියේ කැන්ටබරි හි කෙන්ට් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යා ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හැදෑරුවෙක්.

1986 දී විදුලි ඉංජිනේරුවෙකු ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වූ ආචාර්ය අබේසේකර 1993 දී, ඔහු ලංවිම තොරතුරු තාක්ෂණ ශාඛාවට සම්බන්ධ වූනා.

විදුලිය බිඳවැටීමකදී විදුලි සැපයුම සමතුලිත කරන ජාතික විදුලිබල පද්ධතියේ පද්ධති පාලනය කිරීමේ අඛණ්ඩ ව්‍යාපෘතියට නායකත්වය දුන්නේ ද ආචාර්ය රොහාන්ත අබේසේකරයි.

ආචාර්ය අබේසේකර 2018 දී ලංවිම තොරතුරු තාක්ෂණ ශාඛාවේ ප්‍රධානියා ලෙස පත් කරන ලද අතර 2020 දී අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික උපාය මාර්ග) ලෙස පත් වීම ලැබුවා ෴

***************************************

වෙළෙඳ ඇමතිගේ පාකිස්ථාන සංචාරය සහ ගිලෙමින් පවතින නැවකින් උදව් ඉල්ලීම

(26.01.2022 – 07:14 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉස්ලාමාබාද් අගනුවරදී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් හමුවුණා.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කළේ ශ්‍රී ලංකා – පාකිස්ථානු වෙළෙඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නිරන්තර සාකච්ඡා පැවැත්වීමත්, අදහස් හුවමාරු කරගනිමින් සිය වෙළෙඳ කටයුතු වඩාත් ව්‍යාප්ත වූ වපසරියක් තුළ පවත්වා ගැනීමට රටවල් දෙකෙහිම ව්‍යාපාරිකයන් මෙහෙයවීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

එමෙන්ම පාකිස්ථානු රජය වශයෙන් බෞද්ධාගමික සංචාරක ක්ෂේත්‍රය සඳහා පාකිස්ථානය තුළ ඉඩ හසර වෙන් කර ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ජනතාව පාකිස්ථානය තුළ සංචාරය කිරීමේ වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීමත් අපේක්ෂා කරනු ලබන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පැවසුවේ තමා වෙත සිදු කළ ආරාධනයට අනුව දෙරට අතර වෙළෙඳ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක් සමඟ පාකිස්ථානයට පැමිණි අවස්ථාවේ දී, ලද පිළිගැනීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමනු ලබන බවයි.

අධ්‍යාපන, සෞඛ්‍ය අංශ, තාක්ෂණික, ඇඟළුම්, සංචාරක ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවක් තුළින් ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර වෙළෙඳ සහයෝගීතාවය වඩාත් ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සිය පාකිස්ථානු නිල සංචාරය අතරතුර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාකිස්ථානු විදේශ අමාත්‍ය ශා-මහමූද් කරේශි මහතා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.

පාකිස්ථානය සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම ප්‍රකාරව නිරන්තර ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීම සඳහා මාර්ගගත ක්‍රමවේද මෙන්ම තානාපති කාර්යාල වල සහයෝගය ද ව්‍යාපාරික ප්‍රජාව වෙත ලබා දිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී පෙන්වා දුන්නා.

පාකිස්ථානයේ පළමු නිදහස් වෙළෙඳ ගිවිසුම වන මෙම වෙළෙඳ ගිවිසුමට වසර 18 ක් ගත වුවද මේ දක්වා එහි උපරිම ප්‍රයෝජන ගැනීමට රටවල් දෙකම (2) කටයුතු කර ඇත්තේ අවම වශයෙන් වන බැවින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් සලසා ඇති සහනදායී වැඩපිළිවෙළින් උපරිම ප්‍රයෝජන ගැනීම වර්තමානයේදී අත්‍යවශ්‍ය වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙහදී අදහස් දක්වමින් දෙරට අතර පවතින මිතුදම ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පෙන්වා දුන් පාකිස්ථානු විදේශ අමාත්‍ය ශා-මහමුද් කරේෂී මහතා ප්‍රකාශ කළේ, දෙරටේ මිතුදම වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපන, ආරක්ෂක, කෘෂිකාර්මික මෙන්ම මානව සම්පත් සංවර්ධනය යන ක්ෂේත්‍ර ඔස්සේ ද වර්ධනය විය යුතු බවයි.

එමෙන්ම, අන්තර් සබඳතා පුළුල් කිරීම තුළින් පාකිස්ථානු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම තුළින් ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමට සියළු පියවරයන් ගත යුතු විදේශ අමාත්‍යවරයා අවධාරණය කළා.

ශ්‍රී ලංකාව එදා මෙදා තුර ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටිනවා.

මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය මාස 6 තුළ දෙගුණ තෙගුණ වී තිබෙන අතර තෙල් ආනයන ප්‍රමාදය හේතුවෙන් මෙරට ජනතාව දිනපතා විදුලිය ඇනහිටීම් වලට ද මුහුණ දෙමින් සිටිනවා.

විදේශ විනිමය අර්බුදය හමුවේ ආහාර සහ ඉන්ධන ආනයනය කිරීම සඳහා මෙරට රන් සංචිත වලින් කොටසක් විකුණා දැමීමටද රජයට සිදු වුණා.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුලු මෙරට වෙළඳ නියෝජිත කණ්ඩායමක් මේ වන විට පාකිස්තානයේ සංචාරයක නිරත වන්නේ මෙවැනි වාතාවරණයක් රට තුල නිර්මාණය වී ඇති පසුබිමකයි.

ඔහුගේ එම සංචාරය අතරතුර, මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පකිස්ථානයෙන් ඩොලර් මිලියන 200 ක ගනුදෙනුවක් සිදුකිරීමට අපේක්ෂා කරන බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබුණා.

නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මෙම ගනුදෙනුව සිදුකිරීමට නියමිත වුවද එම ගිවිසුම පිළිබඳ 2012 වසරේ සිට ආරම්භ වී තිබූ සාකච්ඡා තවමත් අවසන් වී නැහැ.

ඒ අදාළ කෙටුම්පත ඉදිරිපත් කිරීම පාකිස්ථානය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත්, නව පකිස්ථානයක් පිළිබඳ, දහසකුත් එකක් පොරොන්දු ජනතාවගේ හිස මත තබා දේශපාලන බලය හිමිකර ගත් ඉම්රාන් ඛාන්ගේ රජය, මේ වනවිට පකිස්ථානය විශාල ආර්ථික අර්බුදයකට ඇද දමා තිබෙනවා.

මූල්‍ය වාර්තාවන්ට අනුව, පාකිස්තානය ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණය 2021-22 දී ඩොලර් බිලියන 23.6 ක් සහ 2022-23 දී ඩොලර් බිලියන 28 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

මෙම දැවැන්ත ණය අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹීමට පාකිස්තාන බලධාරීන් මේ වනවිට දැඩි උත්සාහයක නිරත සිටිනවා.

මෑත කාළීන වාර්තාවකින් ලෝක බැංකුව සඳහන් කළේ ලොව විශාලතම විදේශ ණය ඇති රටවල් දහය අතර පකිස්ථානය ද වන බවයි.

පාකිස්තානය මේ තරමින් හෝ සිය ආර්ථිකය වත්තම් කරගෙන සිටින්නේ පසුගිය සඳුදා 7.95% පොලී අනුපාතයකට සුකුක් බැඳුම්කරය හරහා ඩොලර් බිලියන 1 ක ණයක් ලබා ගැනීමෙන්.

එය ඉස්ලාමීය බැඳුම්කරයක් සඳහා සිය ඉතිහාසයේ ගෙවීමට පකිස්තානය එකඟ වූ ඉහළම පිරිවැය ද වනවා.

පාකිස්තාන රජය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ගියේ මාස එකහමාරකට පෙර සෞදි අරාබියෙන් ලබාගත් ඩොලර් බිලියන 3 න් ඩොලර් බිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් අනතුරුවයි.

විදෙස් වාර්තා වල දැක්වෙන්නේ එය සමාජ මාධ්‍ය භාවිත කරන බහුතර පාකිස්තානුවන්ගේ සමච්චලයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වන විටත් පත්ව සිටින බවයි.

සිය දැවැන්ත ආර්ථික අහේනිය හමුවේ ගිලෙමින් ඇති නැවක් බදු වූ පාකිස්තානය සමග වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙරට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාකිස්ථානය වෙත යෑම ‘ගිලෙන නැවකට ගොඩවීමක්’.

සිය ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා චීන ණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයක් මත යැපෙන පාකිස්ථානයට ශ්‍රී ලංකාවට ලබා දිය හැකි වන්නේ හුදු පොරොන්දුවක් පමණයි.

ඇත්ත වශයෙන්ම මේ මොහොතේ පාකිස්ථානය සිදු කරන්නේ ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට කඩවෙන පොරොන්දුවක් ලබා දී රාජ්‍ය තාන්ත්‍රික විශ්වාසය රැක ගැනීමයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *