අපෙන් වැඩේ කරගෙන අපිව අයින්ට කළා – මෛත්‍රීපාල සිරිසේන

අපෙන් වැඩේ කරගෙන අපිව අයින්ට කළා – මෛත්‍රීපාල සිරිසේන

*********************************************

අපෙන් වැඩේ කරගෙන අපිව අයින්ට කළා

(09.01.2022 – 18:36 +0530 – hirunews.lk/sinhala)

මාව ඉස්සර හොයාගෙන ආපු පොහොට්ටුවේ ප්‍රබලයින් ජනපති ඡන්දෙන් පස්සේ වෙනස් වුන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළා.

***************************************

එළවළු මිල අඩුවේ

(09.01.2022 – 20:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) දිනයේදී එළවළු මිලෙහි යම් අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳුන් පවසනවා.

කෙසේ වෙතත්, එළවළු මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ වැඩි ඉල්ලුමක් නොපවතින බවයි ඔවුන් පවසන්නේ.

දඹුල්ල, තඹුත්තේගම සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග විශාල වශයෙන් අද (09) ලැබී තිබූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එහෙත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළදුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ආර්ථික මධ්‍යස්ථානවල වෙළදුන් කියා සිටියේ ෴

***************************************

හිටි හැටියේ යළිත් මතු වූ කිඹුලා

(09.01.2022 – 21:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ගාලු මුවදොර ආසන්න මුහුදු තීරයේ වෙරළේ අද (09) කිඹුලෙකු සිටින ආකාරය නිරීක්ෂණය වුනා.

කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දෙහිවල මුහුදු තීරයේදී කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් අප ඉකුත් 03 වනදා වාර්තා කළා.

කිඹුලාගේ ප්‍රහාරයට ලක්වූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබුනා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

පසුව කිඹුලා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණන් කිඹුලා සොයා ගැනීමට නොහැකි වුණා.

ඒ අතරතුර අද (09) දිනයේ මෙලෙස ගාලු මුවදොර ආසන්න මුහුදු තීරයේ වෙරළට පැමිණ සිටි කිඹුලෙකු නිරීක්ෂණය වී තිබුණා.

***************************************

වනඅලින්ට එරෙහිව 20 වැනි දිනටත් ඉල්ලාවලව ජන විරෝධය

(09.01.2022 – 14:48 +0530 – hirunews.lk/sinhala)

ගැසට් කෙරුණු හම්බන්තොට වන අලි කළමණාකරන රක්ෂිතයට අදාල නීති රෙගුලාසි කඩිනමින් නිකුත් කරන ලෙස සහ වන අලි ගැටලුවට ස්ථිර විසදුම් ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ප්‍රමුඛ ගොවි සංවිධාන ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) 20 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර සත්‍යග්‍රහ භූමිය ආසන්නයේ කුඹුරුයායට වන අලි රංචුවක් පැමිණ සිටි අතර ගොවීන්ට වනඅලි එලවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

ගොවි සංවිධාන ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.

***************************************

ලුණුගම්වෙහෙරේ දී ගංජා හේනක් වැටලෙයි

(10.01.2022 – 06:37 +0530 – hirunews.lk/sinhala)

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ පඩිකැපුහෙළ ප්‍රදේශයේ දී ඊයේ (09) වැනි දා පොලිසිය විසින් වැටලීමක් සිදු කරනු ලැබ තිබෙනවා.

එහි දී ගංජා ගස් 2480 ක් සහිත ව ගංජා හේනක් වටලා තිබෙන බව වාර්තා වෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී එහි එක් (1) සැකකරුවෙකු හිඳ ඇති අතර, ඔහු වයස අවුරුදු 29 ක පඩිකැපුහෙළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (10) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීකෂණ ලුණුගම්වෙහෙර පොලිසිය මඟින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සැහැල්ලු යාත්‍රාංගනය සහ පදික මංතීරුව විවෘත කිරීමට චීන විදේශ ඇමති එක් වෙයි

(10.01.2022 – 07:20 +0530 – hirunews.lk/sinhala)

චීන – ශ්‍රී ලංකා ද්වි පාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 65 වැනි සංවත්සරය සනිටුහන් කරමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙරට දෙදින නිල සංචාරයක නිරත වුණා.

නමුත් සෙනසුරාදා (08) රාත්‍රී 08:30 ට පමණ මෙරටට ළඟා වූ චීන විදේශ අමාත්‍යවරයා මෙරට රැඳී සිටියේ පැය 18 කට ආසන්න කාලයක් පමණ යි.

ඊයේ (08) පස්වරුවේ යළි පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වූ වැන්ග් යී කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සැහැල්ලු යාත්‍රාංගනය සහ පදික මංතීරුව විවෘත කිරීමේ අවස්ථාවටද එක් වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවති ද්වි පාර්ශ්වික සාකච්ඡාවල දී එන්නත් වැඩසටහනට තවදුරටත් සහය ලබාදීම, වරාය නගරයට හා හම්බන්තොට කර්මාන්ත කලාපයට ආයෝජන ආකර්ශනය කර ගැනීම, දෙරට අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, ශ්‍රී ලංකා අපනයන ඉහළ නැංවීම වැනි ආර්ථික ක්ෂේත්‍රයට වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4 කට ද අත්සන් තැබුණා.

ඒ අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්ද ඇතුළත්.

කෙසේ වෙතත් 2015-2020 දක්වා වූ වසර පහ තුළ, චීනය සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳාම ක්‍රමානුකූලව පහත වැටී තිබීම දෙරට ආර්ථික සබඳතා පිලිබඳ සාකච්ඡාවේදී පුළුල් අවදානයට ලක්විය යුතු කරුණක්.

ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පෙන්වා දෙන පරිදි, 2018 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 230.59 වූ මෙරට චීන අපනයන වටිනාකම 2019 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 229.06 දක්වාත් 2020 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 223 දක්වාත් ක්‍රමයෙන් පහත වැටී තිබෙනවා.

2020 දී ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳාමෙන්, අමෙරිකා එක්සත් ජනපදය 24.9% ක්, එක්සත් රාජධානිය 9.06% ක් සහ ජර්මනිය 5.68% වැනි ඉහළ පංගුවකට හිමිකම් කීවත්, හිත මිතුරු චීනයේ පංගුව දැක්වෙන්නේ 2.22% ක් තරම් වූ පහළ අගයකයි.

එම වාර්තා පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ අසමතුලිතතාවය 2020 දී චීනය සමඟ වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන සෘණ 3.35 ක් ලෙස දැක්වෙනවා.

චීනය ශ්‍රී ලංකාවෙන් මිල දී ගන්නා ඩොලර් මිලියන 223 ක භාණ්ඩ හා සසඳන විට චීනයෙන් අප රට සිදු කරන ආනයන ඩොලර් බිලියන 3.57 දක්වා ඉහළ ගොස් තිබීම සැළකිය යුතු තත්ත්වයක්.

වෙළඳපොළ දත්ත විශ්ලේෂකයින් පවසන්නේ, ශ්‍රී ලංකාවෙන් කිසිදු පලතුරක් මිලදී ගැනීමට චීනය පසුගිය සමයේ කටයුතු කර නොමැති බවයි.

2020 දී චීනය මෙරටින් මිලදී ගත් ඇඟලුම්වල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 62.69 ක් පමණක් වූ අතර එය 2019 දී සිදුකළ ඇමරිකානු ඩොලර් මිලියන 67.44 ක් වූ මිලදී ගැනීම්වලට සාපේක්ෂව 7.04% ක පහත වැටීමක්.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සිදුකරන මිලදී ගැනීම් චීනය ක්‍රමානුකූලව අත්හැර දමා ඇති බව මෙම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

චීනයට වඩා ශ්‍රී ලංකාවෙන් තේ තොග මිලදී ගැනීම තුර්කිය, රුසියාව, ඉරානය සහ ඉරාකය සිදු කරන බව දත්ත වාර්තාවල සදහන්.

ඒ අනුව චීනය වෙත ශ්‍රී ලංකාව සිදු කළ තේ අපනයනය විශාල ලෙස පහත වැටී ඇති අතර එහි අගය 2019 දී අමෙරිකානු ඩොලර් මිලියන 05.44 ක් වුවත් 2020 දී එය අමෙරිකානු ඩොලර් මිලියන 04.92 දක්වා 9.55% කින් පහත ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

ඒ අනුව පෙනීයන්නේ, සිය ලාභය හා වාසිය පමණක් අරමුණු කර ගනිමින් චීනය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවයි.

2020 දී ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොල, අමෙරිකා එක්සත් ජනපදය වූ අතර එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

එම වසරේ දී ශ්‍රී ලංකාව, අමෙරිකාවෙන් සිදු කළ ආනයන, ඇමරිකානු ඩොලර් මිලියන 495.24 ක් පමණක් වූ අතර ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.01 ක හිතකර වෙළඳ ශේෂයක් එම වසරේ දී පවත්වා ගැනීමට හැකිවීම විශේෂත්වයක්.

චීනය ලෝක බලවතා වීමේ තරගයක නිරතවන අතරවාරයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති වක්ක්‍රාකාර තර්ජනයන්ගේ ප්‍රතිඵලය වී ඇත්තේ ඉන්දියාව, ජපානය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කොරියාව, මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල් සමග ශ්‍රී ලංකාව අතීතයේ සිට පවත්වාගෙන ගිය හොදහිත පලුදුවීමයි.

මේ අතර චීනය යටතේ පාළනය වන හොංකොං වෙත 2020 දී, ශ්‍රී ලංකාවේ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 104.64 ක් වූ අතර ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 220.8 ක් ලෙස දැක්වෙනවා.

ඒ අනුව එහි වෙළඳ ශේෂය ඇමරිකානු ඩොලර් මිලියන ඍණ 116.16 ක් වූ අතර එයද ශ්‍රී ලංකාවට අහිතකර එකක් වුණා.

සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ හොංකොං වෙත යන ඇඟලුම් භාණ්ඩ 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 37.35 සිට ඇමරිකානු ඩොලර් මිලියන 23.97 දක්වා 13.38% දක්වා පහත වැටුණු බවයි.

හොංකොං වෙත 2020 දී තේ තොග නැව්ගත කිරීම ඇමෙරිකානු ඩොලර් මිලියන 14.99 සිට ඩොලර් මිලියන 11.29 දක්වා පහත වැටුණා.

මීට අමතරව මෙරට මැණික් අලෙවි කරන්නන්ටද හොඳ ආදායමක් නොලැබෙන අතර, පෙර වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 52.29 හා සසඳන විට 2020 දී ඒ හරහා උපයා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 13.65 ක් පමණයි.

මත්ස්‍ය අපනයන ආදායමද ඇමෙරිකානු ඩොලර් මිලියන 8.97 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.06 දක්වා පහත වැටී තිබෙනවා.

මේ තත්ත්වය තුල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් විවෘත කිරීමේ උත්සවය අමතා කළ කතාවද අපගේ අවධානයට ලක් විය යුතුයි.

මන්ද අග්‍රාමාත්‍යවරයා තමන්ගේ කතාවේදී චීනය කල්‍යාණ මිත්‍රයෙක් ලෙස හඳුන්වා දුන්නද රටේ ස්වාධීනත්වයට ඇඟිලි නොගසන්නැයි චීනයට යම් අනතුරු ඇඟවීමක් ද සිදු කළාදැයි හැඟෙන බැවිනි.

“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතනකවත් අපේ සිත් පළුදු වීම් වෙලා නැහැ. ඒ නිසාම අපේ රටවල්වලට ඉතාම හිතකර ගනුදෙනු කරගන්න හැමදාම පුළුවන් වෙලා තියෙනවා. එදා මැතිණියගේ කාලේ ඇතිකරගත්තා රබර් – සහල් ගිවිසුම අපේ ජනතාවට තාම මතකයි. ඒ වගේම ලංකාවේ ආහාර හිඟයක් ඇතිවුණ වෙලාවක එදා හිටපු අගමැති චෞඑන්ලායි ලංකාවට වුවමනා ආහාර එවලා ඉතා වටිනා පණිවිඩයකුත් එව්වා. “ඔබට අවශ්‍ය ආහාර ඔබගේ රටේ නිපදවා ගන්න එය ස්වාධීනත්වයට මගකි.” චෞඑන්ලායි ආරම්භ කළ නොබැඳි පිළිවෙත අපි ඉතා සාදරයෙන් පිළිගත්තා. ඒ ප්‍රතිපත්තිය අපි වගේ රටවලට ඉතා විශාල ශක්තියක් වුණා.”

සමස්ත චිත්‍රය දෙස මේ මොහොතේ බැලිය යුත්තේ පවතින භූ දේශපාලනික තත්ත්වයද සැලකිල්ලට ගනිමින් ය.

විශේෂයෙන්ම දීර්ඝ කාලයක් පුරා ඇදෙමින් තිබූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම අත්සන් කිරීමත්, විදේශ සංචිත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2 කට ආසන්න ආර්ථික සහන පැකේජයක් මෙරටට ලබා දීමත් සමග ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය යළි ගොඩ නැගෙමින් තිබෙනවා.

එමෙන්ම කෙරවලපිටියේ ඇමෙරිකානු මූල්‍ය ආයෝජනයක් ලෙස ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගොඩ නැඟී ඇති අතර එහි මූලික ගිවිසුම අත්සන් කර අවසන්.

මෙවන් තත්ත්වයක් තුළ කාබනික පොහොර නැවේ ගැටලුව සහ උතුරේ දූපත් තුනක චීන බලශක්ති ව්‍යාපෘති අත්හිටුවීම හරහා චීනය හා ශ්‍රී ලංකාව අතර හොඳ හිත යම් තරමකට ඉරි තලා තිබෙන පසුබිමකයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙරට සංචාරයක නිරත වුණේ.

නමුත් කොවිඩ්-19 පාලනයේදී මෙරටට වැඩිම එන්නත් ප්‍රමාණයක්, එන්නත් අවශ්‍යතාවයෙන් 80% ක් පමණ (සයිනොෆාම්) ලබා දුන්නේ චීනය වන අතර ඉන්දීය එන්නත (කොවිෂීල්ඩ්) මත විශ්වාසය තබා සිටීම මත මෙරට එන්නත්කරණ වැඩසටහන යම් අභියෝගයකටද ලක් වුණා.

එමෙන්ම කොරෝනා ව්‍යාපෘතිය පැවති සමයේ හදිසි ණය ලෙස චීනය ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මූල්‍ය පහසුකම් සපයා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිහි කැඳවීමක් සිදුකොට ලෝක ආර්ථික බලවතා වීමේ චීන අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීමේදී බලගතු ඉන්දියාවේ අසල්වැසි දූපත් රාජ්‍ය සමඟ හොඳ හිත තහවුරු කරගනිමින් කලාපීය කේනද්‍රස්ථානයේ බලය හා ආධිපත්‍යය රැකගැනීම සඳහා අවශ්‍ය පියවරයන්ට එළැඹීම චීන විදේශ අමාත්‍යවරයාගේ කෙටි සංචාරයේදී ප්‍රමුඛතාව හිමි නොවූ බව කාට නම් කිව හැකිද?

***************************************

ඩොලර් අර්බුදය පත්තර කඩදාසියටත්

(10.01.2022 – 07:24 +0530 – hirunews.lk/sinhala)

පුවත්පත් මුද්‍රණයට භාවිත කරන කඩදාසි හිඟයක් පැවතීම හේතුවෙන් මේ වන විට සමස්ත පුවත්පත් කර්මාන්තයටම දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

පවතින ඩොලර් අර්බුදයත්, ලෝකයේ කඩදාසි නිෂ්පාදනය අඩුවීමත් ඊට හේතු වී ඇති බවයි පුවත්පත් කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ මුද්‍රණ කඩදාසි මිල ද පසුගිය මාසවලට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඩොලර් 450 ක පමණ මිලකට පැවති පුවත්පත් මුද්‍රණ කඩදාසි ටොන් එකක මිල ඩොලර් 800 පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ පුවත්පත්වල නිෂ්පාදන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පුවත්පත් කර්මාන්තකරුවන් එම මුද්‍රණ කඩදාසි සම්බන්ධයෙන් මුහුණ දී සිටින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට යි.

පුවත්පත් කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටලුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් ගෙන් විමසීමක් කළා.

ඇතැම් පුවත්පත් තම පිටු ගණන අවම කිරීමටත්, අතිරේක හා විශේෂාංග සීමා කිරීමටත් දැනටමත් පියවර ගෙන තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ලේක්හවුස් ආයතනය ඊට ගෙන ඇති විසදුම් සම්බන්ධයෙන් ද ඔහු පැහැදිළි කළා.

මේ අතර, ඩොලර් අර්බුදය හමුවේ මුද්‍රණ කඩදාසි නො මැති වීම හේතුවෙන් මුද්‍රණ කර්මාන්තයේ නිරත සියයට 40 කට පමණ ලබන මාසය වන විට රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවයි ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති සහ වර්තමාන කමිටු සාමාජික ඩිලාන් සිල්වා කියා සිටියේ ෴

***************************************

කිඹුලන් තුන්දෙනෙකු (3) කොළඹ මුහුදේ

(10.01.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස සහ ගාලු මුවදොර යන මුහුදු වෙරළ තීරයන්වල සිටියදී කිඹුලන් තුන් දෙනෙකු (3) හඳුනාගෙන ඇති බවට වාර්තා වනවා.

ඊයේ (09) දිනයේ දී ගාලු මුවදොර වෙරළතීරයේ සිටියදී කිඹුලෙකු සොයාගත් අතර, එම කිඹුලා දෙහිවල දුම්රියපොළ ආසන්නයේ දී කිමිදුම්කරුවෙකු ඩැහැගත් කිඹුලා නො වන බවයි දැනට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

පසුගිය තුන්වනදා (03) දෙහිවල දුම්රියපොළ ආසන්නයේ දී කිඹුලෙකුගේ ග්‍රහණයට ලක්වී කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවත සමගයි වෙරළ තීරයේ සිටින කිඹුලන් පිළිබද කතාබහක් ඇතිවුණේ.

කෙසේ වෙතත්, දෙහිවල ප්‍රදේශයේ රැඳී සිටි එම කිඹුලා තවමත් අල්ලා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී නැහැ.

එවන් පසුබිමක යි ඊයේ (09) ගාලුමුවදොර ආසන්නයෙන් තවත් කිඹුලෙකු (1) හඳුනාගනු ලැබුවේ.

එම කිඹුලා කුඩා ප්‍රමාණයේ කිඹුලෙකු බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මෙම කිඹුලන් පිළිබද නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවත්, එම සතුන් වැල්ලවත්ත සහ ගල්කිස්ස අතර ප්‍රදේශවලින් මුහුදට සම්බන්ධවන ඇළ මාර්ග ඔස්සේ මෙලෙස පැමිණ ඇති බවත් වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *