LP ගෑස් පිපිරීම් ගැන විද්වතුන්ගේ මතය

LP ගෑස් පිපිරීම් ගැන විද්වතුන්ගේ මතය

*********************************************

LP ගෑස් පිපිරීම් ගැන විද්වතුන්ගේ මතය

(27.11.2021 – 21:42 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවීමත් සමග රට තුළ මේ වන විට ගෑස් සිලින්ඩරවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි කතාබහක්.

මේ අතර ගෑස් සංයුතිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මගින් සිදුකර ඇති පරීක්ෂණයක ප්‍රතිඵල වාර්තාවක් ද අද (27) නිකුත් කෙරුණා.

පවතින මෙම ව්‍යාකූල සහගත තත්ත්වය සම්බන්ධයෙන් අප බලශක්ති විශේෂඥයින්ගේ මතය ද විමසා බැලුවා.

++++++++

27-11-2021

******************************************

ඇත්ත හෙළි කළ ‘හිරු CIA’ ට කූට ව්‍යාපාරිකයින් දැමූ පාට්

(27.11.2021 – 21:33 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (26) අප හෙළි කළේ ඒකල කොටුගොඩ ප්‍රදේශයේ බහු ජාතික සමාගමකට අයත් මහා පරිමාණ කර්මාන්ත ශාලාවකින් ටයර් නිෂ්පාදනයේදී අතුරු ඵලයක් ලෙස බැහැර කෙරෙන අපද්‍රව්‍ය රාජාංගනයට ගෙන නොගොස් නීති විරෝධී ලෙස කුරුණෑගල මැටියගනේ ප්‍රදේශයට රැගෙන යන බවයි.

එහිදී ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම් ආදී පරිසරයට අහිතකර බැර ලෝහ අඩංගු බව කියන ටයර් අපද්‍රව්‍ය විවෘත පරිසරයට මෙලෙස මුදාහරිනවා.

එහි සේවකයන් ප්‍රකාශ කළේ එම ටයර් කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය මෙහිදී කාබනික පොහොර ලෙස ඇසුරුම් කරන බවයි.

මෙහි ඇති පුදුමසහගත කරුණ වන්නේ මෙහිදී ඇසුරුම් කරන බව කියන කාබනික පොහොර කැළණිය, මහව, කොටුගොඩ යන විවිධ ලිපිනයන් යොදා වෙළඳපලට මුදාහැරීමයි.

ඊට අමතරව කුරුණෑගල මහ නගර සභාව විසින් නිපදවන ‘ඇතුගල කොම්පෝස්ට් පොහොර’ උර විශාල ප්‍රමාණයක් ද මෙහි ගබඩා කර ඇති බව ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළි වුණා.

පරිසරයට උපද්‍රවකාරී මෙම ටයර් අපද්‍රව්‍ය විවෘත පරිසරයට මුදාහැරීම ඇතුළුව මෙහි සිදුවන සැකසහිත ක්‍රියාවන් සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ කළ දැනුම්දීම මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙහි සිට පිටත් වු ලොරියක් පරීක්ෂාවට ලක් කළා.

හිරු මාධ්‍යවේදීයා සමග ටයර් අපද්‍රව්‍යවලින් කාබනික පොහොර සාදන බව කියන ආයතනයේ පිරිසක් මෙම වැටලීම සම්බන්ධයෙන් උරණව සිටියේ මෙලෙසින්.

******************************************

අසීමිතව ඉහළ යන තිරිඟු පිටි මිල

(27.11.2021 – 22:17 +0530 – hirunews.lk/sinhala)

අද (27) සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළ ගොස් ඇති බවට තොග වෙළෙඳුන් පවසනවා.

කෙසේ වෙතත්, ප්‍රධාන තිරිඟු පිටි අලෙවි සමාගම් දෙක මේ සම්බන්ධව මෙතෙක් දැනුම් දී නොමැති පසුබිමක අත්තනෝමතිකව තොග මිල වැඩිකිරීම් සිදු කරන බවටයි වෙළෙඳුන් චෝදනා කළේ.

එවන් පසුබිමක වෙළෙඳපොළේ තිරිඟු පිටි හිඟයක් ද මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

******************************************

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නව කොටස යළිත් වැසෙයි

(27.11.2021 – 22:32 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නව කොටස වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මාර්ගය හෙට (28) පෙරවරු 6 දක්වා වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.

එබැවින් සිය ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

******************************************

මන්ත්‍රීවරුන්ගේ වරදාන වරප්‍රසාද ගැන ප්‍රශ්න කරන විපක්ෂ නායකවරයා

(27.11.2021 – 23:06 +0530 – hirunews.lk/sinhala)

මන්ත්‍රීවරුන්ට වරදාන වරප්‍රසාද ලබාදීමෙන් සහ ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩු බලයක් නිර්මාණය කර ගැනීමට මෙය සුදුසු මොහොතක් නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පිළියන්දල පැවති ජන දුක විමසන විපක්ෂනායක මෙහෙයුමට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආණ්ඩු බලය ලබාගන්නේ ජනතා වරමෙන් පමණක් බවයි.

******************************************

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අවදානමක්

(27.11.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

නාය යෑමේ අවදානම් සහිත දිස්ත්‍රික්ක කිහිපයක් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ කාර්යාංශය නම් කර තිබෙනවා.

එලෙස අවදානමක් පවතින ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත්තේ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කයි ෴

******************************************

පස් කන්දක් කඩා වැටීමෙන් ගලිගමුව මාර්ගයක් අවහිර වේ

(27.11.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ ගලිගමුව – බෝයගනය ප්‍රදේශයට විශාල පස් කන්දක් එහි මාර්ගයට කඩා වැටීම හේතුවෙන් මේ වනවිට ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් සහ පදිකයින් සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය ඉල්ලා සිටින්නේ ෴

******************************************

පී.බී. ජයසුන්දර මේ රටේ භාණ්ඩාගාරයේ අයිතිකාරයා නෙමේ – අනුර කුමාර (26.11.2021)

******************************************

අධිවේගයේදී මාරුවූ රියදුරන් දෙදෙනාට දඬුවම්

(27.11.2021 – 15:00 +0530 – sinhala.adaderana.lk)

අධිවේගී මාර්ගයේදී බස්රථ නවතා මාරුවූ රියදුරන් දෙදෙනාව (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ හුවමාරුවේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පවත්වා තිබුණි.

එලෙස අත්අඩංගුවට ගැනුණු රියදුරන් දෙදෙනාව (2) මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් ධම්මික උඩුව විතාන මහතා වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කොට දැඩි ලෙස අවවාද කිරීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

මෙම බස් රථ කඩවත අම්බලන්ගොඩ ධාවනය වන අතර දොඩංගොඩ 38.3 කණුව ආසන්නයේදී මෙසේ බස්රථවලින් බැස රියදුරන් මාරුවී තිබුණි.

******************************************

ගෑස් කාන්දු වේදැයි සොයන අලුත්ම ක්‍රමය

(27.11.2021 – 13:08 +0530 – sinhala.adaderana.lk)

ඉකුත් දින කිහිපයේදීම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් කාන්දුවීම නිසා සිදුවූ පිපිරීම් වාර්තාවී තිබුණි.

යම් ගෑස් කාන්දුවක් සිදුවන්නේ නම් එය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් සිදුවිය හැකි එවැනි බරපතළ අනතුරු වළක්වා ගැනීමට හැකියාව පවතී.

ඒ අනුව, ගෑස් කාන්දුවක් සිදුවන්නේ දැයි හඳුනාගැනීම සඳහා දේශීය වශයෙන් නිපදවූ උපකරණයක් සම්බන්ධයෙන් ‘අද දෙරණ’ ට මෙලෙස තොරතුරු වාර්තා විය.

ගෑස් කාන්දුවීම් කල්තියා හඳුනාගත හැකි උපකරණ ලොව වෙනත් රටවල සාමාන්‍යයෙන් භාවිත වුණත් මෙරට ජනතාවට තවමත් එවැනි උපකරණ එතරම් සමීප නොමැත.

‘ලයිෆ්’ ලෙස නම්කර ඇති මෙම උපකරණය මෙරටදී නිපදවා ඇති ගෑස් කාන්දු හඳුනාගැනීමේ පළමු උපකරණයයි.

‘එපික් සමූහ ව්‍යාපාරයේ’ පර්යේෂණ හා නව නිපැයුම් අංශයේ ව්‍යාපෘති භාර ප්‍රධාන ඉංජිනේරු චානක තෙන්නකෝන් මහතා,

“ගෑස් කාන්දු හඳුනාගැනීමේ උපකරණයක් වුණාට මේක ගිනිගන්නා සුළු ඕනෑම දේකට ක්‍රියාත්මක වෙනවා. මේක අන්තර්ජාලයත් සමග සම්බන්ධ කළ හැකියි. ඒ නිසා අනතුරක් තිබුණොත් ජංගම දුරකථනයට ඇලට් එකක් එනවා. ගෑස්, උෂ්ණත්වය සහ දුම කියන කාරණා 3 ටම සංවේදියි.”

එපික් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා,

“මේක ලංකාව තුළ හැදුවා කියලා සමහර අය විශ්වාස කරන්නෙත් නෑ. ලංකාවේ මොළ එකතු වෙලා තමයි මේක හදලා තියෙන්නේ.”

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය රටවල් රැසකින් හමුවේ

(28.11.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හමු වූ ඔමික්‍රොන් නව කොරෝනා වයිරසය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ජාන විශ්ලේෂණ තවදුරටත් වේගවත් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය ප්‍රකාශ කළා.

එමෙන්ම ලොව රටවල් රැසකින්ම නව වයිරසය ආසාදනය වූවන් හමු වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවෙන් මුල් වරට සොයාගැනුනු විකෘතිතා විශාල සංඛ්‍යාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල නව කොරෝනා ප්‍රභේදය, ලොව රටවල් කිහිපයකින්ම දැන් හමුවී ඇති බව වාර්තා වනවා.

බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ඉතාලියෙන් මෙලෙස ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර, වයිරසය මැඩපැවැත්වීම සඳහා නව පියවර රැසක් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ කඩසාප්පු සහ පොදු ප්‍රවාහන සේවාවන්හි මුව ආවරණ පැළඳීම නැවතත් අනිවාර්ය කෙරෙනවා.

එක්සත් රාජධානියට ඇතුළුවන සියල්ලන් කොරෝනා පරීක්ෂාවන්ට යොමු කිරීමට පියවර ගැනෙන අතර, පූර්ණ එන්නත්කරණය ලබා සිටිය ද සමීප ආශ්‍රිතයන් සියලුදෙනා නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි.

කෙසේ නමුත් මෙය, තාවකාලික සහ පූර්ව පෙර සූදානම් පියවරක් ලෙස හැඳින්වූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහන් කළේ මෙවර නත්තල පසුගිය වසරට වඩා ජනතාවට හොඳින් සැමරිය හැකිවනු ඇති බවයි.

බ්‍රිතාන්‍යයෙන් ඔමික්‍රොන් ආසාදිතයන් 2 කු හඳුනා ගැනුණු අතර, ජර්මනියෙන් ආසාදිතයන් දෙදෙනෙකු (2) මෙන්ම බෙල්ජියමෙන් සහ ඉතාලියෙන් එක් (1) ආසාදිතයෙකු බැගින් හඳුනා ගැනුනා.

චෙක් ජනරජයෙන්ද සැකකටයුතු ඔමික්‍රොන් ආසාදිතයෙකු (1) හමු වී ඇති බව වාර්තා වුණා.

බොට්ස්වානා සහ හොංකොං රාජ්‍යයන්ගෙන් ද නව කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් හමු වූ අතර, ඔමික්‍රොන් ආසාදිතයෙකු (1) හඳුනාගැනීමත් සමග ඊශ්‍රායලය තම රටට සියලු විදේශිකයන් පැමිණීම දින 14 කට අත්හිටුවීම පිළිබඳව අවධානය යොමුකර ඇති බව සඳහන්.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානම පිළිබඳව අප විමසීමක් කළා.

කෙසේ නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ මෙරට තවමත් පවතින්නේ ඩෙල්ටා ප්‍රභේදය පමණක් බවයි.

එසේම, නව ප්‍රභේද ඕනෑම මොහොතක මෙරටට පැමිණීමේ අවදානම පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් ජාන විශ්ලේෂණ කටයුතු තවදුරටත් වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ දී ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියා.

එසේම, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග වෛද්‍ය , විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ මේ වනවිටත් අවදානම් කණ්ඩායම් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර, ඊයේ (28) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 719 වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,61,778 ක් දක්වා ඉහළ ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 210 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,62,520 ක් ෴

++++++++++++++++++

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයෙන් සුළු රෝග ලක්ෂණ පෙන්වන බවට ප්‍රකාශයක්

(28.11.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ප්‍රභේදය, ඔමික්‍රොන් මගින් මෙතෙක් ප්‍රධාන සහලක්ෂණ පෙන්නුම් නොකරන අතර, සුළු රෝගී තත්ත්වයක් පමණක් ඇති වී තිබෙන බව දකුණු අප්‍රිකානු වෛද්‍ය සම්මේලනයේ ප්‍රධානි ඇන්ජලිකේ කෝට්සී පවසනවා.

දැනට එමගින් මස්පිඬු වේදනාව සහ වෙහෙසකාරී බව දින දෙකක් (2) පමණ පවතින අතර, සුළු කැස්සක් ද පවතින බවයි ඇය සඳහන් කළේ.

එමෙන්ම ඔමික්‍රොන් ආසාදිතයන්ට රස සහ සුවඳ නොදැනීමේ තත්වයක් ද වාර්තා වී නැහැ.

එන්නත්කරණය ලැබූවන්ට ඔමික්‍රොන් ආසාදනය වූ බවක් ද මෙතෙක් වාර්තා වී නොමැති බවයි දකුණු අප්‍රිකානු වෛද්‍ය සම්මේලනයේ ප්‍රධානි ඇන්ජලිකේ කෝට්සී කියා සිටියේ.

කෙසේ නමුත් මෙය, සම්ප්‍රේෂණය වන අතර, දැනට හමුවූ පුද්ගලයන් වයස අවුරුදු 40 ට අඩු අය බවත්, ඇය සඳහන් කළා.

එමෙන්ම ඔමික්‍රොන් වයිරසය ආසාදනය වීමේ ප්‍රතිඵල සියල්ල තවත් සති දෙකකින් (2) පමණ මුළුමනින්ම දැනගත හැකිවනු ඇති බව ද ඇය අවධාරණය කළා.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මුල්වරට දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු අතර, එය විකෘතිතා වැඩි සංඛ්‍යාවක් සහිත ඩෙල්ටාවටත් වඩා ප්‍රබල ප්‍රභේදයක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වනු ලැබුවේ.

විශේෂයෙන් එන්නත්කරණය මගහැරීමට හැකියාවක් පැවතීම හේතුවෙන් එය, අවධානය යොමු කළ යුතු කොරෝනා ප්‍රභේදයක් ලෙස ද නම් කෙරුණා.

මෙතෙක් සොයාගෙන ඇති ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදිත වූවන් අතරින් වැඩිම සංඛ්‍යාවක් එනම්, 77 දෙනෙකු දකුණු අප්‍රිකාවෙන් සොයාගෙන ඇති අතර, බොට්ස්වානා, බ්‍රිතාන්‍ය, ජර්මනිය, බෙල්ජියම, ඊශ්‍රායලය, හොංකොං සහ චෙක් ජනරජයෙන් ද ආසාදිතයන් වාර්තා වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *