පෙට්‍රල් නෞකාවක් අද (18) රාත්‍රියේ දිවයිනට

පෙට්‍රල් නෞකාවක් අද (18) රාත්‍රියේ දිවයිනට

*********************************************

පෙට්‍රල් නෞකාවක් අද (18) රාත්‍රියේ දිවයිනට

(18.11.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් අද (18) මෙරටට පැමිණෙනවා.

ඒ අනුව, රාත්‍රී 8 ට එම නෞකාව දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

එමෙන්ම ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් හෙට (19) මෙරටට පැමිණීමට නියමිතයි.

ඊයේ (17) දිනයේද ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නැවක් මෙරටට පැමිණියා.

ශ්‍රී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ උසස් නිලධාරියා සඳහන් කළේ මෙම ඉන්ධන තොග මෙරටට රැගෙනවිත් ඇත්තේ ණය පදනම මත බවයි.

මේ වනවිට රට තුල ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින බවත් කිසිදු ඉන්ධන හිඟයක් නොපවතින බවත් ඔහු සඳහන් කළා.

මසකට ඉන්ධන නෞකා 8 ක් පමණ දිවයිනට පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද (18) දිනයේත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබුණා.

එමෙන්ම, ගොවීන් කිහිපදෙනෙකු ද සඳහන් කළේ, සිය වගා කටයුතු සඳහා ට්‍රැක්ටර් රථවලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

වරාය කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ, මෙරට කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි.

මේ අතර, ගෑස් ලබා ගැනීම සඳහා ද අද (18) දිනයේත් ජනතාව එම වෙළඳසල් අසල රැස්ව සිටින ආකාරය දක්නට ලැබුණා.

******************************************

අල්ලස් ගත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් තෙල්දෙනියේ දී ඇල්ලෙයි

(18.11.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග මත දේපළ තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනම් කිරීමට රුපියල් දසදහසක (10,000) අල්ලසක් ලබා ගැනීමට තැත්කළ තෙල්දෙණිය දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී ඇය අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.

අදාළ විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයා සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ (17) තෙල්දෙණිය ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී මෙම මුදල ලබා ගැනීමට යාමේදීයි ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ෴

******************************************

‘ලංකා සතොස’ නව ශාඛා 25 ක් අද (18) ජනතා අයිතියට

(18.11.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා සතොස’ නව ශාඛා 25 ක් අද (18) ජනතා අයිතියට පත් කෙරෙනවා.

වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ, මෙය දිවයින පුරා එකම දිනයක, එකම වේලාවක විවෘත වන වැඩිම අලෙවි ශාඛා සංඛ්‍යාව බවයි.

ලබන වසර අවසන් වනවිට දිවයින පුරා ‘ලංකා සතොස’ අලෙවි ශාඛා දහස (1000) දක්වා වැඩි කිරීමටද සැලසුම් සකස් කර ඇති බව එම අමාත්‍යාංශය කියා සිටියා ෴

******************************************

බුදු පිළිම නෙළීමේ කර්මාන්තකරුවන් අර්බුදයක

(18.11.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

පවතින සිමෙන්ති හිඟය සහ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බුදු පිළිම නෙලීමේ කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව බුදු පිළිම නිර්මාණකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ගැටලුව හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ රුපියල් දහසක (1000) මිලකට අලෙවි වූ බුදු පිළිමයක මිල රුපියල් පන් දහසත් හය දහසත් (5000-6000) අතර මිලක් දක්වා ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වා දෙනවා ෴

******************************************

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොපිරවූ පුරප්පාඩු 272 ක් – කෝපා කමිටුවේ දී අනාවරණය වෙයි

(18.11.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

2021 ඔක්තෝම්බර් 01 දින වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272 ක් පවතින බව ඊයේ (17) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වුණා.

‘රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව’ (කෝපා) රැස් වූයේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18 ක් තෘතියික මට්ටමේ තනතුරු 113 ක් ද්විතියික මට්ටමේ තනතුරු 121 ක් ප්‍රාථමික මට්ටමේ තනතුරු 19 ක් සහ වෙනත් එක් (1) තනතුරක පුරප්පාඩු පවතින බවයි අනාවරණය වූයේ.

මෙම පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්‍යක්ෂමතාවට බාධා ඇතිවන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මේ වනවිට මෙම පුරප්පාඩු පිරවීමට ඉල්ලීම් කොට ඇති බවයි එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අනුව මෙම තනතුරු ඉක්මනින් පුරවා ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව අදාල නිලධාරීන්ට නිර්දේශ කළා.

එමෙන්ම 2012 වර්ෂයේ සිට මොබිටෙල් ආයතනය සමග එක්ව ‍ක්‍රියාත්මක කරන ‘විද්‍යුත් සංචරණ අනුමැතිය’ ලබා ගැනීමේ පද්ධතිය සංචාරකයින්ට වඩාත් මිත්‍රශීලී හා ආකර්ෂණීය පුළුල් සේවාවක් ලබාදීමේ අරමුණෙන් යාවත්කාලීන කොට නොමැති බවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ගැනුණා.

එහිදී මෙම පද්ධතිය නවීකරණය කිරීම පිළිබඳව සහ නූතන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳවද කමිටුව විසින් ප්‍රශ්න කළා.

මේ අනුව මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම පිළිබඳව මාස දෙකක් (2) ඇතුළත වාර්තාවක් ලබා දීමට කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිර්දේශ කළා.

එසේම දෙපාර්තමේන්තුව සතු 2012 වර්ෂයේ දී සහ 2015 වර්ෂයේ දී මිල දී ගත් අලුත් ම වාහන දෙකක් (2) වසර කිහිපයකට පෙර අනතුරට ලක් වී ඇති බවත් එම වාහන තවමත් අලුත්වැඩියා කොට නොමැති බවත් මෙහි දී අනාවරණය වුණා.

රක්ෂණ සමාගම සමඟ ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් මේ වනවිට ඒ පිළිබඳ යම් එකඟතාවකට පැමිණ ඇති බවත් නිලධාරීන් මෙහි දී සඳහන් කළා.

එසේම දෙපාර්තමේන්තුව සතු වෙබ් පිටුවක පෞද්ගලික දුරකතන සමාගමක නිල ලාංඡනය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව, පුද්ගලයින්ගේ ද්විත්ව පුරවැසිභාවය ලියාපදිංචි කිරීම හා නීත්‍යානුකූල නොවන ලෙස ලංකාවේ රැඳී සිටින විදේශිකයින් පිළිබඳව ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මෙහි දී සාකච්ඡාවට බඳුන් වුණා ෴

******************************************

අපජල කළමනාකරණ පද්ධති සෑම නගරයක ම ඉදිකරන බව අගමැති කියයි

(18.11.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙන අපජල කළමනාකරණ පද්ධති රටේ සෑම ප්‍රධාන නගරයක ම ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, මාර්ගගත ක්‍රමය ඔස්සේ මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය ඊයේ (17) අරලියගහ මන්දිරය ඔස්සේ විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

රටේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සනීපාරක්ෂාව පිළිබඳ ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට හැකි වීම පිළිබඳව සතුටුවන බවයි අග්‍රාමාත්‍යවරයා එහි දී සඳහන් කළේ.

******************************************

අමාත්‍යාංශ කිහිපයක ආයතනික සහ නෛතික රාමුව සංශෝධනය කෙරේ

(18.11.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයකට අයත්ව තිබූ ආයතන හා අණපනත් කිහිපයක් ජනාධිපතිවරයා සංශෝධනයට ලක්කර තිබෙනවා.

ඒ ඊයේ (17) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

ඒ අනුව, මෑතක දී පිහිට වූ ‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය’ සහ ‘හරිත කෘෂිකර්මය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය’ ‘ජනාධිපති කාර්යාලය’ යටතේ ගැසට් කර තිබෙනවා.

‘රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජය අමාත්‍යාංශය’ට අයත්ව තිබූ ‘රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය’ මෙමගින් ‘විදේශ අමාත්‍යාංශය’ යටතතට පත් කර ඇති අතර, ‘1959 අංක 23 දරණ වරලත් ගණකාධිකාරී ආයතන පනත’ ගැසට් කර ඇත්තේ මුදල් අමාත්‍යංශය යටතේයි.

එමෙන්ම ‘නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය’ යටතේ පැවති ‘ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය’ ‘ජනමාධ්‍ය අමාත්‍යංශය’ යටතට පත් කර තිබෙනවා.

******************************************

මුතුරාජවෙල සංරක්ෂිත කලාපයේ වගුරු බිම් නාගරික සංවර්ධන අධිකාරියට

(18.11.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල සංරක්ෂිත කලාපය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඒ අවට වගුරු බිම් පමණක් පවරා ගැනීමට සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වගුරු බිම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් පසු රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කර වනජිවි දෙපාර්තමේන්තුවට පැවරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා ෴

******************************************

උකස් මධ්‍යස්ථානයක් කොල්ල කෑමට ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(18.11.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කිසියම් පිරිසක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කොල්ල කෑමට උත්සාහ කරන ලද සිදුවීමක් වාර්තා වෙනවා.

නමුත් එය ව්‍යර්ථ වීමෙන් පසුව නාවල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් කඩා භාණ්ඩ සොරා ගන්නා අයුරු එම ස්ථානවල සවි කර තිබූ ආරක්ෂක කැමරාවක සටහන් ව තිබුණා.

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) පළමුව රාජගිරිය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කැඩීමට උත්සාහ කර ඇති අතර එය ව්‍යර්ථ වීමෙන් පසුව, නාවල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් කඩා වතුර පොම්ම පහක් (5) සහ අධිබලැති වයර් රෝල් තොගයක් සොරා ගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සිද්ධිය එකම දිනක වාර්තා වූ අතර, ඒ සඳහා දෙහිවල සහ රාජගිරිය ප්‍රදේශවල දෙදෙනෙකු (2) පැමිණ තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වැලිකඩ පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.

******************************************

උතුරේ එළවළු මිලත් නගියි

(18.11.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල එළවළු වගාවන් සිදු නො කිරීම මත උතුරේ එලවළු මිල ගණන් ශීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි උතුරේ එළවළු වෙළෙන්ඳන් පවසනවා.

මෙම තත්ත්වයන් යටතේ, උතුරු පළාතට ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු ප්‍රවාහනය කිරීමට සිදු වීම හේතුවෙන් එළවළු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.

දිවයිනේ වෙනත් ප්‍රදේශවල එළවළු මිල ගණන් ඉහළ ගියද උතුරු පලාතේ එළවළු මිල මීට පෙර ඉහළ නොගියේ, යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල එළවළු වගාවන් උතුරු පළාතට ම ප්‍රවාහනය කළ නිසායි.

පසුගිය දිනවල පැවති පොහොර ගැටලුව, කොරෝනා අවදානම, අයහපත් කාලගුණය ආදි ගැටලු රැසක් ඇතිවීම හේතුවෙන් උතුරේ ගොවීන්ට එළවළු වගා කිරීමට නො හැකි වූ අතරම වගා කරන ලද එළවළු තොග ප්‍රවාහනය කිරීමටද අවස්ථාවක් නොමැති වීම නිසා මේ වනවිට උතුරේ ගොවීන් බොහෝ දෙනා එලවළු වගා කිරීමෙන් ඉවත් වී සිටින බවයි වාර්තා වෙන්නේ ෴

******************************************

‘ග්ලයිපොසේට්’ තොගයක් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(18.11.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දැනට තහනම් කර ඇති ‘ග්ලයිපොසේට්’ (තහනම් වල්නාශකයක්) තොගයක් සමග දෙදෙනෙකු (2) චුන්නාක්කම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග ග්ලයිපොසේට් ග්‍රෑම් 100 බැගින් වූ පැකට් 1251 ක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 48 සහ 60 යන වයස්වල පසුවන වංකානි හා සංකාන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

ඉදිරි පැය 24 මුහුදු යාමෙන් වළකින්නැ යි ධීවරයින්ට දැනුම් දීමක්

(18.11.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය විසි හතර (24) තුළ ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව ද මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකාවට ඊසාන දිගින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර අද (18) දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළට ඇතුළුවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහා බලපෑම මත තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකියි.

උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කලාවැව ආශ්‍රිත ප්‍රදේශයට ලද වර්ෂාවත් සමග අද (18) උදෑසන සිට යළි වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කලාවැවේ හදිසි වාන්දොරටු දෙක (2) ද, අද (18) විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගැනුණා.

ඊයේ (17) දිනයේ කලාවැව ආශ්‍රිත ප්‍රදේශයට මිලිමීටර් 43 ක වර්ෂාවක් ඇදහැලී තිබෙනවා.

ඒ සමග මේ වනවිට කලාවැවේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි 86,593 ක් වන අතර, කලාවැව වාන් දැමීම ද මේ වනවිට ආරම්භව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කලාවැව වාන්දැමීම ආරම්භ වීමත් සමග අද (18) පෙරවරුවේ සිට කලාවැවේ හදිසි වාන්දොරටු දෙක (2) අඩි 04 බැගින් විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කලාවැවෙන්, කලාඔයට මුදාහැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 5985 ක්.

කලාවැවේ හදිසි වාන්දොරටු විවෘත කිරීමත් සමග කලාවැව අවුකන මාර්ගය අවුකන ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති අතර, එම මාර්ගයේ රථාවාහන ගමනාගමනය ද මේ වනවිට ඇණහිට තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *