අයහපත් කාලගුණය : මහා වාරි කිහිපයක් උතුරා යයි – තවත් ජලාශ පිටාර මට්ටමට

අයහපත් කාලගුණය : මහා වාරි කිහිපයක් උතුරා යයි – තවත් ජලාශ පිටාර මට්ටමට

*********************************************

අයහපත් කාලගුණය : මහා වාරි කිහිපයක් උතුරා යයි – තවත් ජලාශ පිටාර මට්ටමට

(09.11.2021 – 12:22 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලමේ මාර්ග දෙකක් (2) ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ මාර්ගවල ගමනාගමනයට බාධා ඇති වී ඇති අතර, එයට පිළියම් ලෙස විකල්ප මාර්ග භාවිත කරන්නැ යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

ජලයෙන් යට වී ඇත්තේ, පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට යන මාර්ගයේ පාලාවි ප්‍රදේශය හා අරලිය උයන, 2 කණුව, තම්බපන්නි ප්‍රදේශයේ පුත්තලමේ සිට කුරුණෑගලට යන මාර්ගය යි ෴

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පළාත් මෙන්ම දිස්ත්‍රික්ක රැසකට ඊයේ දින (08) සිට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව අවතැන් වී ඇති අතර, ඔවුන්ගේ නිවාස මෙන්ම මහාමාර්ග ද ජලයෙන් යට වී ඇති අයුරු යි, දක්නට ලැබෙන්නේ.

මේ හේතුවෙන් මහා වාරි ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල වීමත් සමග, එම ජලාශ මේ වනවිට පිටාර මට්ටමට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරි බොහොමයක් පිටාර යමින් පවතින අතර, තවත් ජලාශ කිහිපයක් පිටාර මට්ටමට ආසන්නව පැමිණ ඇති අයුරු දක්නට ලැබෙනවා.

අද (09) පෙරවරුව වන විට, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ ත්‍රිත්ත්වයක් පිටාර යමින් පවතින බවයි දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

රාජාංගනය, අංගමුව සහ තුරුවිල යන ජලාශ ඊට ඇතුළත් වන අතර, මෙම ජලාශවල උපරිම ධාරිතාව අනුපිළිවෙළින් 86% ක්, 98% ක් සහ 100% ක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම, අද (09) දිනය වන විට, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාන් දැමීමට ආසන්න මට්ටමේ පවතින සෙසු ජලාශවල උපරිම ධාරිතාව ද සඳහන් වුණේ මෙලෙසින්.

විලච්චිය ජලාශය සියයට සියයක (100%) උපරිම ධාරිතාවට පැමිණ තිබුණ ද එය තවමත් පිටාර ගොස් නැහැ.

තවද, කලාවැව 94% ක් ද, තිසා වැව 85% ක් ද, නාච්චදූව 73% ක් ද, නුවර වැව 68% ක් ද, අභය වැව 68% ක් ද, මහා කනදරා 46% ක් ද, මානන්කට්ටිය සහ පදවිය 41% ක් මෙන්ම හුරුළු වැව 40% ක උපරිම ධාරිතාවකට ආසන්නව පවතින බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ හේතුවෙන් අදාළ ජලාශ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට ද අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

අද (09) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, මිලිමීටර 300.4 ක් නොච්චියාගමටයි. එමෙන්ම රනෝරාවට මිලිමීටර් 260 ක් ද, රබෑවට මිලිමීටර් 210.5 ක වර්ෂාවක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කළේ ෴

ඔක්තෝම්බර් 27 සිට මේ දක්වා දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 16 කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 7167 ක්.

මරණ 11 ක් සහ පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇත්තේ, අධික වැසි තත්ත්වය හේතුවෙන් ඇතිවන නායයෑම් සහ වෙනත් අනතුරු හේතුවෙන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ ෴

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින් 2,20,000 කට පමණ විදුලිය ඇණහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි ප්‍රදේශවල පාරිභෝගිකයින්ට ඉදිරි පැය කිහිපය තුළ විදුලිය ලබාදීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඇතැම් ප්‍රදේශවල ගස් කඩා වැටීම් හා නායයාම් හේතුවෙන් ඇති වූ හදිසි තත්ත්වයන් නිසා විදුලිය සැපයීමේ යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ද විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරි ජලාශ 14 න්, 7 ක්ම වාන් දමමින් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළා.

එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර සඳහන් කළේ ඊයේ දිනයේදී දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් තිසා වැව, අභයවැව, මහවිලච්චිය, රාජාංගණය, අංගමුව, නාච්චාදූව සහ තුරුවිල ජලාශ වාන් දමමින් පවතින බවයි.

මේ වන විට අයහපත් කාලගුණය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1198 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා ෴

මහඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරාම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ වන විටත් ගිරිඋල්ල නගරය ජලයෙන් යට වී ඇති අතර, ඒ හේතුවෙන් මීගමුව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී තිබෙනවා.

එසේම අලව්ව නගරය ද මේ වන විට ජලයෙන් යට වී ඇති අතර, කොළඹ – කුරුණෑගල මාර්ගයේ ගමනාගමනයට ද ඒ අනුව බාධා එල්ල වී ඇති බවයි හිරු ප්‍රදේශීය වාර්තාකරු උපාලි සමන්ත කියා සිටියේ.

මේ, මහඔය පිටාර ගැලීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යට වී තිබෙනවා.

හලාවත – ආනමඩුව මාර්ගයේ ද ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ ජලයෙන් යටවීම හේතුවෙන්.

එමෙන්ම, හලාවත – මැරවල, බණ්ඩරවත්ත, පම්බල ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර, හලාවත මහරෝහලේ වාට්ටු කිහිපයක් ද ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවි ප්‍රදේශය සහ පුත්තලම සිට කුරුණෑගල මාර්ගයේ අරලිය උයන, දෙකේ කණුව, තම්බපණ්ණි ප්‍රදේශවල මාර්ග ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ-9 මාර්ගය මහනුවර – දුනුවිල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු සදහන් කළා.

මේ අතර, බදුල්ලේ සිට මහනුවර බලා අද (09) පෙරවරුවේ ධාවනය වූ දුම්රියක් හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්ව ඇත්තේ ලිස්සා යාම හේතුවෙන්.

එසේම, දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කර තිබෙනවා.

එසේම හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ නිල්වලා, කළු, කැලණි සහ ගිං ගංඟා මෙන්ම අත්තනගලු ඔයේ ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ආශ්‍රිත පහත්බිම්වල ජනතාව ද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (09) දිනයේ වසා තැබීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 77 කට අයත් පවුල් 1836 ක පුද්ගලයින් 7167 ක් පීඩාවට පත්ව ඇති බවයි.

නිවාස 14 කට පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති අතර, නිවාස 796 කට අර්ධ වශයෙන් හානි වී තිබෙනවා.

අද (09) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 300.4 අනුරාධපුර – නොච්චියාගම ප්‍රදේශයට ලැබී තිබෙනවා.

ඊට අමතරව අනුරාධපුර – රනෝරාව ප්‍රදේශයට මිලිමීටර් 260 ක්, යාපනයට මිලිමීටර් 243 ක්, අනුරාධපුර – රඹෑවට මිලිමීටර් 210 ක්, කෑගල්ල – වේවැල්තලාවට මිලිමීටර් 200 ක්, කෑගල්ල – වාගොල්ල ප්‍රදේශයට මිලිමීටර් 180.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

නැවත දැනුම් දෙන තුරු නිරිත දිග බෙංගාල බොක්ක සහ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබෙනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ආරක්ෂිත පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++++

රඹුක්කන සහ අලව්වේ නිවෙස් දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් 4 දෙනෙකු මරුට

(09.11.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ නාය යාම් වලින් ගත වූ පැය 24 තුළ දී පමණක් කුඩා දරුවන් ඇතුළු පුද්ලගයින් සිව් දෙනෙකු (4) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට අයහපත් කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ යනු ඇති.

කෑගල්ල – රඹුක්කන – දොඹේමඩ ප්‍රදේශයේ අද (09) අලුයම පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි 36 හැවිරිදි මව, ඇගේ 8 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි තවත් ඥාති දියණියක් ජිවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ පසු වු 40 හැවිරිදි පියා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කෑගල්ල රෝහලටයි.

13 හැවිරිදි අදාළ ඥාති දියණිය රාජාංගනය ප්‍රදේශයේ සිට පසුගියදා රඹුක්කන පිහිටි මෙම නිවසට පැමිණ තිබෙනවා.

පස් කන්දට යට වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා යුද හමුදාවේ 611 වන බල සේනාවේ සහ 8 වන සිංහ රේජිමේන්තුවේ භට පිරිස්, පොලිසිය, ආපදා කළමණාකරණ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව කටයුතු කළා.

කෙසේ වෙතත්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ නාය යාමෙන් මිය ගිය නිවැසියන්ට ඊයේ (08) පස්වරුවේ එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබූ බවයි.

ඒ අනුව, ඒ ආසන්නයේ සිටි අනෙක් නිවැසියන් ඉවත් වීමට කටයුතු කර තිබුණ ද නාය යාමට ලක් වූ නිවසේ සිටි පුද්ගලයින් ඉවත් වී නොමැති බවයි එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ.

එමෙන්ම, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තවත් ස්ථාන දෙකක (2) පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරලීම් සිදු ව තිබෙනවා.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ රඹුක්කන – කන්සලගමුව සහ උඩුගම යන ප්‍රදේශයේ සුළු පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරලීම් සිදුව ඇති බවයි.

අලව්ව පොලිස් වසමේ නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (08) රාත්‍රියේ පස් කන්දක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිදුවීම සිදුවන අවස්ථාවේ අදාළ නිවස තුළ සිට ඇත්තේ, මියගිය තරුණියගේ මව සහ සොහොයුරා පමණක් බවයි පොලිසිය පවසන්නේ.

නාය යෑමෙන් බරපතළ තුවාල ලැබූ, අදාළ තරුණිය නාරම්මල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙන්නෝරුව පදිංචි කොළඹ පෞද්ගලික රෝහලක සේවය කරමින් සිටි හෙද නිලධාරිනියක්.

අනතුරින් නිවසේ සෙසු කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

මේ අතර, අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 9 ක් සඳහා නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

++++++++++++

කිලිනොච්චියේ සියලුම පාසල් හෙට (10) දින වැසේ

(09.11.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියළුම පාසල් හෙට (10) දිනයේ වසා දැමීමට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තීරණය කර තිබෙනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 4000 කට අයත් පුද්ගලයින් 12,000 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ ද අද (09) පාසල් වසා දැමුණා.

මන්නාරම, තලෙයිමන්නාරම, ශාන්තිපුරම්, සංගානි, කයිට්ස්, උඩුවිල් සහ ඩෙල්ෆ් ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශ රැසක මේ වන විට ගං වතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා ෴

++++++++++++

කාලගුණයෙන් රතු නිවේදන

(09.11.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) සවස රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබන්නේ.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව පසන්නේ.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළඟා වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

මෙහි බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි සමග පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාව ද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ෴

++++++++++++

අයහපත් කාලගුණ තත්වය නිසා දිවයිනේ ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට ගුවන් හමුදාව සුදානමින්

(09.11.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්තයන්ට අනුව ඉදිරි දින කිහිපය තුල ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් පවතින බැවින් ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් මේ වනවිට උපදෙස් ලබාදි තිබෙනවා.

අපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය බලඝණයට අයත් බීච් ක්‍රාෆ්ට් 200 (Beech Craft 200) වර්ගයේ ගුවන් යානාවන් චිනවරාය ගුවන් හමුදා විද්‍යාපිඨ කදවුරේ සුදානමි කර ඇති අතර යම් හදිසි අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා රත්මලාන ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 01 ක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානා 01 ක් ද එම් අයි 17 හෙලිකොප්ටර් යානාවක්ද, හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 02 ක් ද, පලාලි ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 01 ක් ද, අනුරාධපුර ගුවන් හමුදා කදවුර තුල එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 01 ක් ද, වීරවිල ගුවන් හමුදා කදවුර තුල එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද, අම්පාර ගුවන් හමුදා කඳවුර තුළ වයි 12 වර්ගයේ ගුවන් යානාවක්ද සමගින් සෑම ගුවන් හමුදා කදවුරක් තුලම මුදවා ගැනිමේ මෙහෙයුම් සදහා විශේෂ පුහුණුව ලැබු ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් මෙන්ම සහන සැලසිමේ කටයුතු සදහා ගුවන් හමුදා සාමාජිකයින් මේ වනවිට සුදානමින් සිටිනවා ෴

******************************************

අබලන් මාර්ගයෙන් පීඩාවට පත් සියඹලාවැව ගම්වාසීන්

(09.11.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

මේ කරුවලගස්වැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඉපලෝගම – සියඹලාවැව ප්‍රදේශය හරහා වැටී ඇති සියඹලාවැව මාර්ගයයි.

විශාල පිරිසක් සිය දෛනික කටයුතු කර ගැනීම සඳහා නිරතුරුව මෙහි ගමන් කරන අතර සාලියවැව සහ ගල්ගමුව ප්‍රධාන මාර්ග යා කෙරෙන කෙටිම මාර්ගය වන්නේ ද මෙම සියඹලාවැව මාර්ගයයි.

පාසල් දරුවන් මෙන්ම රාජ්‍ය අංශයේ සේවකයින් පෞද්ගලික අංශයේ සේවයේ නිරත පිරිස් තම රාජකාරි කටයුතු සදහා ගමන් කිරිමට භාවිතා කරන කෙටි මාර්ගය වන මෙම සියඹලාවැව මාර්ගයේ වත්මන් තත්වයයි මේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *