සති කිහිපයකට පෙර තත්ත්වයට වඩා වෙනස් – ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙයි

සති කිහිපයකට පෙර තත්ත්වයට වඩා වෙනස් – ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙයි

*********************************************

සති කිහිපයකට පෙර තත්ත්වයට වඩා වෙනස් – ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙයි

(09.09.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට රෝහල්වල පසුගිය සති කිහිපයට සාපේක්ෂව මේ වන විට ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඇතැම් දිනවල දෛනික ඔක්සිජන් භාවිතය ටොන් 140 ක පමණ ප්‍රමාණයක් දක්වා පසුගිය දිනවලව් ඉහළ ගිය බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80 ක් පමණ වන අතර කොවිඩ් ව්‍යසනයත් සමඟ දෛනික ඔක්සිජන් භාවිතය සීඝ්‍ර ලෙස ඉහළ ගියා.

මෙරට නිෂ්පාදනයට අමතරව ඉන්දියාව , සිංගප්පූරුව හා චීනය යන රටවලින්ද ඔක්සිජන් ඇණවුම් කිරීමට පියවර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙරට සිදු කරන සාර්ථක එන්නත්කරණය හා නිසි කළමණාකරණය හේතුවෙන් මේ වනවිට රෝගය බොහෝ දුරට පාලනය කරගනිමින් යන අතර ඒ සඳහා සෑම පාර්ශවයකගේම සහය ඉදිරියටත් අවශ්‍ය වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන ස්පුට්නික්-v එන්නත් දෙවන (2) මාත්‍රා ප්‍රමාණය ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

++++++++++++++++

(09.09.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 175 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කළ මෙම මරණ ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,864 ක් ලෙසටයි.

ඊයේ (08) තහවුරු කෙරුණු මෙම මරණ අතර කාන්තාවන් 79 ක් සහ පිරිමින් 96 ක් වනවා.

මෙම මරණ අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) කාන්තාවක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 35 ක් වාර්තාවී ඇති අතර කාන්තාවන් 16 ක් සහ පිරිමින් 19 ක් ඊට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 139 ක් වන අතර ඒ පිරිමි 96 ක් සහ කාන්තාවන් 79 ක් වශයෙන් ෴

+++++++++++++++++

(09.09.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මේවන විට පනවා ඇති සංචරණ සීමා සහ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ද නැත් ද යන්න තීරණය හෙට (10) ගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

රට යළි විවෘත කළ ද සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

එමෙන්ම පනවා ඇති සංචරණ සීමාවලට දැඩිව අනුගත වී කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා සඳුදා අලුයම 4 ට ඉවත් කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත් හෙට (10) පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

සංචරණ සීමා පැනවීමට පෙර දෛනිකව කොරෝනා ආසාදිතයන් 4000 ඉක්මවා වාර්තා වූ අතර මරණ 200 ද ඉක්මවා ගියා.

මේවන විට දෛනික ආසාදිතයන් 3000 ට වඩා අඩු වී ඇති අතර මරණ සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා.

එබැවින් මෙම සංචරණ සීමා පැනවීම තුලින් රෝගීන් සහ මරණ අඩුවීමක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

ඉදිරියේදී තවදුරටත් ආසාදිතයන් හමුවීම මෙන්ම මරණවල අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බවයි ඔහු අපේකෂා කරන්නේ.

එබැවින් ජනතාව සංචරණ සීමාවලට දැඩිව අනුගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළා.

+++++++++++++++++++

(09.09.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 910 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද (09) දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 2856 ක්. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 4,78,546 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 58,656 ක්.

4,08,116 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත මරණ 10,864 ක් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++

(09.09.2021 – 20:52 +0530 – hirunews.lk/sinhala)

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමාත්‍යවරයා ඇයගෙන් සමාව ඉල්ලා ඇත්තේ පසුගියදා ඇය පෞද්ගලික පාසලක් සංවිධාන කළ වෙබ් සම්මන්ත්‍රණයකදී ඇය කළ ප්‍රකාශයක් විකෘති ලෙස කර පළ කිරීමෙන් ඇයට සිදුවූ හානිය සහ සිත්වේදනාව සම්බන්ධයෙන්.

මේ අතර, තවත් ආසාදිතයින් 18,147 දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අද වාර්තා කළ අතර ඒ සමඟ සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හතරේ සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව කොරෝනා ආසාදිතව මේ වනවිට සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛයාව 4,08,116 ක්.

නොච්චියාගම – විද්‍යාදර්ශ මහා විද්‍යාලයට එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින්ටද ඉල්ලු‍ම්පත්‍ර ලබාදීම සඳහා මුදල් අයකර ඇති බවට ජනතාව චෝදනා කළා.

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,946 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,76,726ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවමංගල්‍ය කටයුතු සඳහා එක් වරකට සහභාගී විය හැකි පිරිස 25 කට සීමා කර ඇති පසුබිමක අභාවප්‍රාප්ත වූ කහවත්ත ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල යන අයද එක්ව සිටියා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(09.09.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම අධෛර්යය කිරීමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මුදල් මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි එවැනි භාණ්ඩ ආනයනයේදී සියයට සියයක (100%) ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට සියලුම බලපත්‍ර බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි ඉතිරිකිරීමේ බැංකුවට කොන්දේසි පනවා තිබෙනවා.

මේ යටතේ ජංගම දුරකතන, ගෘහ විදුලි උපකරණ, රෙදිපිළි, ගෘහ භාණ්ඩ, පළතුරු, සුවඳ විලවුන් ඇතුලු භාණ්ඩ වර්ග 623 ක් ආනයනයේදී නව තීරණය ක්‍රියාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ මෙලෙස ලයිස්තුගත කරන ලද භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක (100%) ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තීරණය කළ බවයි.

ඒ අනුව මෙම ලැයිස්තුගත කාන්ඩයේ යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී ඊට අදාළ සම්පූර්ණ වටිනාකම ආනයනකරු විසින් වානිජ බැංකුවක තැන්පත් කළ යුතු වනවා.

අධික ආනයන අධෛර්යමත් කිරීම මගින් විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොලේ ද්‍රවශීලතාව රැකගැනීම සඳහා මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ.

මෙම ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත්වන භාණ්ඩ ආනයනය සඳහා 2019 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,057.9 වැයකර තිබෙනවා.

මෙම කාණ්ඩයේ භාණ්ඩ ආනයනය සඳහා පසුගිය වසරේ දරනු ලැබූ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 871.2 ක්.

එමෙන්ම මේ වසරේ ජූලි මාසය දක්වා වූ මාස 7 තුල සිදුකළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 753.4 ක්.

මෙම භාණ්ඩ වර්ගීකරණය යටතේ වැඩිම මුදලක් වන ඇමෙරිකානු ඩොලර් 250.3 ක් වැය කර ඇත්තේ ජංගම දුරකතන සහ ස්ථාවර දුරකතන ඇතුලු විදුලි සංදේශ උපකරණ ආනයනය සඳහායි.

මේ වසරේ ජූලි මාසය දක්වා විදුලි පංකා, රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ඇතුලු ගෘහ විදුලි උපකරණ සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 160.6 ක්.

මෙම වර්ගීකරණය යටතේ වැඩිම ආනයන ප්‍රමාණයක් සිදුකර ඇත්තේ රෙදිපිලි හා උපාංග යටතේයි.

ළඳරු ඇඳුම්, කාන්තා සහ පිරිමි නිමි ඇඳුම්, යට ඇඳුම්, පාවහන්, අත් ඔරලෝසු , අව් කණ්ණාඩි ඇතුලු භාණ්ඩ වර්ග 266 ක් මෙම කාණ්ඩය යටතට ගැනෙනවා.

එම ආනයනයන් සඳහා මේ වසරේ පළමු මාස 7 තුල පමනක් වැයකළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 102.3 ක්.

මේ වසරේ පළමු මාස 7 ඇතුලත ගෘහ භාණ්ඩ, විසිතුරු නිෂ්පාදන, පිඟන් භාණ්ඩ ඇතුලු මුලුතැන්ගෙයි උපකරණ ආනයනය සඳහා වැයකර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 63.8 ක්.

මීට අමතරව මෙම නව කොන්දේසි යටතේ රබර් ටයර් සහ වායුසමීකරණ යන්ත්‍ර ආදිය ආනයනය ද අධෛර්යමත් කරන අතර මේ වසරේ මුල් මාස 7 තුල පමණක් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 74.5 ක් වැය කර තිබෙනවා.

චොක්ලට්, මෝල්ට්, චීස්. බටර්, පැස්ටා වැනි ආහාර පාන ආයනය සඳහා ද මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත පනවා ඇති නව කොන්දේසි අදාල වනවා.

එමෙන්ම බියර් වයින් ඇතුලු මත්පැන් වර්ගද, සුවඳ විලවුන් සහ සේදුම් ද්‍රව්‍යයද, නැවුම් ඇපල්, මිදි, දොඩම් ඇතුලු සියලු පළතුරු හා පළතුරු යුෂ වැනි දෑ ආනයනයේදී සියයට සියයක (100%) ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයට යටත් වනවා.

මීට අමතරව ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යටතට ගැනෙන දුම්කොල නිෂ්පාදන, සෙල්ලම් බඩු, සංගීත භාණ්ඩ හා ලිපි ද්‍රව්‍ය ආනයනයේදීත් නව කොන්දේසිවලට යටත් වනවා.

එමෙන්ම මෙම ලයිස්තුගත භාණ්ඩ වර්ග ආනයනය සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා කිසිදු ණය මුදලක් නිකුත් නොකළ යුතු බවටත් මහ බැංකුව නියෝග කර තිබෙනවා.

මේ අතර, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ණය ගනුදෙනුකරුවන්ට මින් පෙර ලබා දී තිබූ ණය සහනය දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වෙතින් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත දැනුම් දී තිබෙන්නේ ණය සහනය දීර්ඝ කිරීමෙන් ගනුදෙනුකරුවන්ට ලබන වසරේ ජනවාරි මාසයේ සිට ණය ගෙවීම් ක්‍රමානුකූලව සිදුකරගෙන යෑමට සහන කාලය උපකාරී වනු ඇති බවයි.

ණය සහනය සඳහා සුදුසකම් ලැබූ ගනුදෙනුකරුවන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකත ඇමතුම් අංක 1935 ඔස්සේ සම්බන්ධ වීමෙන් ලබා ගත හැකියි.

මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී ඇත්තේ දැනට පවතින සංචරණ සීමා හේතුවෙන් ගනුදෙනුකරුවන් විසින් ණය ආපසු ගෙවීමේ දිනය උපරිම දින 15 ක් දක්වා කල් දැමීමට කරන ඕනෑම ඉල්ලීමක් සලකා බලන ලෙසයි.

එවැනි ප්‍රමාදයන් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් කිසිදු අමතර පොලියක් හෝ වෙනත් ගාස්තු අය නොකළ යුතු බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

******************************************

(09.09.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහල් මිලදී ගැනීමේ වැඩපිළිවෙලෙහි කිසිදු ක්‍රමවත් බවක් නොමැති බවට ‘එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය’ චෝදනා කරනවා.

අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියා සිටියේ විධිමත් ආකාරයෙන් සහල් මිල පාලනය කිරිමට නම් සහල් මෝල් හිමියන්ට රුපියල් 5 ක් සහ වෙළඳසැල් හිමියන්ට රුපියල් 5 ක් ලබා ගැනිමට හැකිවන පරිදි නව සහල් මිල ගැසට් කිරිමක් සිදු කරන ලෙසයි.

මේ අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සහල් මෝල් හිමියන් රජය පැනවු මිළ ගණන් වලට සහල් වෙළඳ පොළට නිකුත් කරන බවට පොරොන්දු වි පසුව වෙළඳ පොළ තුළ සහල් හිඟයක් ඇති කිරිමට කටයුතු කර ඇති බවයි.

එසේම, දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොල හෙටත් (10) විවෘතව තැබෙනවා.

******************************************

(09.09.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධන කටයුතු අධීක්ෂණයට වෙනම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම අත්හිටුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, විපක්ෂ නායක කාර්යාලයේදී අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

******************************************

(09.09.2021 – 20:56 +0530 – hirunews.lk/sinhala)

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි හීලෑ අලි ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස ලබා දුන් අධිකරණ නියෝගය අනුව පින්නවල අලි සංරක්ෂණාගාරයේ රඳවා සිටි තවත් හීලෑ අලියෙකු අද (09) මුල් හිමිකරුට මුදා හැරීමට පියවර ගැණුනා.

බලපත්‍ර නොමැති අලි සන්තකයේ තබාගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලදී අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කල හීලෑ අලි නඩු භාණ්ඩ ලෙස සලකා සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ තැබිමට අධිකරණය විසින් කටයුතු කර තිබුනා.

මෙලෙස සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි හීලෑ අලීන් 13 දෙනෙකු නැවත මුල් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් පසුගියදා නියෝග කළා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ග සහ විමර්ශන සිදුකරමින් පවතින හීලෑ අලිඇතුන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සහ සන්තකය පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙන්ම වනජීවී අමාත්‍යවරයා අගෝස්තු 19 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව මෙම හිලෑ අලීන් මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙසයි.

මෙවන් පසුබිමක ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබුණා.

ඇය පවසා ඇත්තේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම තීරණය ගත් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *