‘හිරු CIA’ අනාවරණයෙන් පසු මාලිගාවත්තේ මත් ජාවාරම්මු අත්අඩංගුවට

‘හිරු CIA’ අනාවරණයෙන් පසු මාලිගාවත්තේ මත් ජාවාරම්මු අත්අඩංගුවට


‘හිරු CIA’ අනාවරණයෙන් පසු මාලිගාවත්තේ මත් ජාවාරම්මු අත්අඩංගුවට

(13.11.2025 – hirunews.lk)

මාලිගාවත්ත ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ ජාවාරම්කරුවන් තිදෙනෙකු (3) ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම නිවාස සංකීර්ණය සිය ග්‍රහණයට නතු කර ගනිමින් හෙරොයින් ජාවාරම් සිදු කළ අයුරු ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළි කිරීමෙන් අනතුරුවයි පොලිසිය අදාළ වැටලීම සිදු කළේ.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් පාලනය වන කොළඹ 10 මාලිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන පිරිස් බියවද්දමින් හා පීඩාවට පත්කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් මෙම භූමි ප්‍රදේශ සිය ග්‍රහණයට නතුකර ගෙන සිටියා.

රජය පසුගිය මස 30 වැනිදා සිට ‘විකුණන , ලොල්වුනු සැමට දැනුම් දීමයි – ඉවත් වෙනු’ නමින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා රටතුළ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබු පසුබිමක පවා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම දිගින් දිගටම සිදු කරගෙන යන අයුරු අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා පෙරේදා (11) අනාවරණය කළා.

මෙම මහල් නිවාස සංකීර්ණය තුල cctv කැමරා පද්ධති පවා ස්ථාපිත කර ඇති පසුබිමක් තුළ කිසිදු බිය සැකයකින් තොරව දිනපතා උදේ, දිවා මෙන්ම සවස් කාලවලදීත් පොරකමින් මත්ද්‍රව්‍ය ලබාගන්නා මත්ලෝලීන්ට සිය මත්ද්‍රව්‍ය අලෙවි කළා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන අයුරු හෙළි කිරීමෙන් පසු පොලිස් ස්ථාන කිහිපයකින් පැමිණ ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ විශේෂ වැටලීමක් ඊයේ (12) පෙරවරුවේ සිදු කර තිබෙනවා.

එහිදී හෙරොයින්, හෂීස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයන් තිදෙනෙකු (3) ඇතුළු සැකකරු 11 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

හෙරොයින් ජාවාරම මෙහෙය වූ ප්‍රධාන කාන්තාව වැටලීම සිදුකරන අවස්ථාව වන විටත් නිවස අතහැර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඇය මෙම නිවාස සංකීරණයේම B නිවාස ඒකකයේ 04 වන මහලේ නිවසක පදිංචිකාරියක්.

එම ජාවාරම්කාර කාන්තාව සොයා මේ වනවිට පොලිස් මෙහෙයුම් අරඹා තිබෙනවා.

පොලිස් මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සැකකරුවන් 11 දෙනා අද (13) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


හදවත් රෝගී දරුවන් 1000 ක් පොරොත්තු ලේඛනයේ

(12.11.2025 – hirunews.lk)

දහසකට අධික හදවත් රෝගී දරුවන් පිරිසක් සැත්කම් සඳහා මෙරට පොරොත්තු ලේඛණවල සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

හදවත් සැත්කම් සිදු කිරීමේ පහසුකම් මෙරට පැවැතිය ද හදිසි හදවත් සැත්කම් ඇතුළු පොරොත්තු ලේඛණ අවම කිරීමේ අරමුණින් දැවැන්ත වැඩ සටහනක් ලංකාව හා ඉන්දියාව දෙරට එක්ව දියත් කිරීමට පියවර ගෙන ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ යටතේ මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල (Amrita Hospital) තුළ දී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ බටහිර කොළඹ රෝටරි සමාජය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබනු ලැබුවා.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති කේ.පී. නාගරාජා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

බටහිර කොළඹ රොටරි සමාජය සහ බටහිර කොචි රොටරි සමාජය එක්ව ගෝලීය ව්‍යාපෘතිය (Rotary Global Project) හරහා මේ සඳහා අරමුදල් සපයනු ලබනවා.

දහසකට (1000) අධික හදවත් රෝගී දරුවන් පිරිසක් සැත්කම් සඳහා මෙරට පොරොත්තු ලේඛණවල සිටින අතර, හදවත් සැත්කම් සිදු කිරීමේ පහසුකම් මෙරට පැවැතිය ද හදිසි හදවත් සැත්කම් ඇතුළු පොරොත්තු ලේඛණ අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ‍

පොරොත්තු ලේඛණවල සිටින රෝගීන් අතරින් ප්‍රමුඛතාව මත හදවත් සැත්කම් සිදු කිරීමට යොමු කරනු ලබන රෝගීන් රෝග නිර්ණායක මත තෝරා ගැනීම කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබනවා.

මෙහි පළමු අදියර යටතේ මීට වසර 02 කට ඉහත දී මෙරට හදවත් රෝගී දරුවන් 60 දෙනෙකු සඳහා සාර්ථකව සැත්කම් සිදුකර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර, එම සාර්ථකත්වය අනුව දෙවන පියවර ක්‍රියාත්මක කිරීමට මේ අනුව කටයුතු ‌යොදා තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට වෛද්‍යවරු සහ හෙදියන් ද පුහුණුව සඳහා ඉන්දියාවේ කොචි හි අම්රිතා රෝහල වෙත යොමු කෙරෙන අතර, අම්රිතා රෝහලේ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ඇතුළු කාර්ය මණ්ඩලයක් මෙරටට පැමිණ ගර්භාෂයේ සිටිය දී හදවත් රෝගී දරුවන් හදුනා ගැනීම සඳහා වූ පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලැබීම ද විශේෂත්වයක් ෴


පුද්ගලයින් පස් දෙනකු (5) ගෙන් අයෙක් (1) දියවැඩියා රෝගියෙක්

(13.11.2025 – hirunews.lk)

රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5 න් 1 අයෙක් දියවැඩියාවට ගොදුරු වී ඇති බවත් දියවැඩියා රෝගීන් 3 න් 1 අයෙක් කුමන හෝ අක්ෂි රෝගයකට ගොදුරු වී ඇති බවත් අක්ෂි ශල්‍ය ‍විශේෂඥ වෛද්‍ය කපිල බන්දුසේන පවසන‍වා.

මෙලෙස අක්ෂි රෝගයකට ගොදුරුවන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගතහොත් අන්ධභාවයට පත්වනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙනවා.

ඇසේ සුද ඇතිවීම සාමාන්‍ය පුද්ගලයකුට වඩා දියවැඩියා රෝගියකුට පස් ගුණයකින් (5) වැඩිබව පෙන්වාදෙන වෛද්‍ය බන්දුසේන, කලු ඉංගිරියාව තුවාල වීම, ග්ලුකෝමාව ඇතිවීම දියවැඩියා රෝගීන් අතර බහුල වන බවද පැවසුවා.

දියවැඩියා රෝගීන් වසරකට වරක් ඇස් පරික්ෂාවන් සඳහා යොමුවිය යුතු අතර දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්වනුයේ පෙර දැනුම් දීමකින් තොරව යැයි ද හෙතෙම සඳහන් කළා.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර්. දයාවංශ සඳහන් කරනුයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ඇති තරම් සිටියද ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය ශල්‍යාගාර පහසුකම් හා උපකරණ නොමැති වීමට බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

මේ හේතුවෙන් පොරොත්තු ලේඛනය දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබෙන බවත් පෙන්වාදෙන විශේෂඥවරයා දැනට ජාතික අක්ෂි රෝහල සතුව පවතින ඇතැම් උපකරණයන් පවා යල් පැන ගිය ඒවා බවද සඳහන් කළා.

‍වෛද්‍යවරු මෙලෙස සඳහන් කළේ ඊයේ (13) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදියි ෴


පළතුරු බීමක් දී මත්කර ත්‍රිරෝද රියැදුරුගේ රු. ලක්ෂ 5 ක් පැහැරගෙන

(13.11.2025 – hirunews.lk)

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩවී විෂ මිශ්‍ර පළතුරු බීමක් පානයට දී රියැදුරාගේ රුපියල් ලක්ෂ පහකට (5) අධික රන් සහ මුදල් කොල්ලකා පලා ගිය බව කියන සැකකරුවකු සොයා බගවන්තලාව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ පෙට්ට්‍ර සෝ වත්ත, බගවන්තලාව පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙක්.

කර්කසෝල් වතු කාර්යාලය අසල මාර්ගයේදී තම ත්‍රීරෝද රථයට අත දමා කිසියම් පුද්ගලයෙක් එයට ගොඩවූ බවත් එහිදී කුලී ගමනක් යෑමට යයි කියමින් තමා සමඟ බොහෝ කුළුපග වූ බවත් පැමිණිල්ල සඳහන් කර ඇතැයි පොලිසිය පවසනවා.

එම පුද්ගලයා පළතුරු බීම බෝතලයක් පානය කිරීමට ලබාදුන් බවත් එය පානය කිරීමෙන් පසු තමන් මත්වී නින්දට වැටුණු බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

පසුව සිහිය විත් බලන විට තමන් සතුව තිබූ රුපියල් එක්ලක්ෂ පනස්දහසක (1,50,000) මුදලක් සහ පවුමක් බර රන් මාලය කොල්ල කා ඇති බවත් අහිමි වූ මුළු වත්කමේ ප්‍රමාණය රුපියල් පන් ලක්ෂ හතලිස් දහසක් (5,40,000) බවට කියමින් පැමිණිලිකරු කරුණු ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසනවා ෴


‘ඊසි කෑෂ්’ ක්‍රමයට තබා ගිය හෙරොයින් රැගෙන යාමට පැමිණි තරුණයෙක් අත්අඩංගුවට

(13.11.2025 – hirunews.lk)

‘ඊසි කෑෂ්’ ක්‍රමයට මුදල් ලබා ගෙන, තබා ගිය ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ පැකැට්ටුවක් රැගෙන යාමට පැමිණි තරුණයෙක් ‘හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ’ නිලධාරීන් විසින් අද (13) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, එම සැකකරු රු. 6,000 ක් ‘ඊසි කෑෂ්’ ක්‍රමයට ගෙවා මත්ද්‍රව්‍ය පැකට්ටුව ලබා ගෙන ඇති බවටත් තහවුරු වී තිබෙනවා.

වෙනත් වැටලීමකට ගොස් ආපසු හැටන් පොලිසිය වෙත පැමිණෙමින් සිටි හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට, හැටන්-බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසල රැඳී සිටි තරුණයන් දෙදෙනකු (2) පිළිබඳ ඇති වූ සැකකයක් මත පරීක්ෂා කිරීමේ දී අසල තණ බිමක සඟවා තිබූ හෙරොයින් පැකට්ටුවක් සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට සැකකාර තරුණයාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සිදු කරන බවත් වැටලීම සිදු කළ ‘හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ’ නිලධාරීන් වැඩිදුරටත් පවසනවා ෴


අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ලබන 28 දක්වා යළි රිමාන්ඩ්

(13.11.2025 – hirunews.lk)

ඉඩමකට බලපත්‍රයක් සකස් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති නොවැම්බර් 28 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම ඔහුගේ පෞද්ගලික රියැදුරු ඇප මත මුදාහැරීමට අද(13) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධානාගාරගත කරනු ලැබූවේ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ‍කටයුතු කරන අයිනිය පිල්ලේ මුබාරක් (50) සහ ඇප මත මුදා හරිනු ලැබුවේ ඔහුගේ පෞද්ගලික රියැදුරු ලෙස කටයුතු කළ එම්.එම්. ඉර්ෂාද් (34) යන අයවලුන්ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත මෙම පැමිණිල්ල කර තිබුණේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට සඳහන් කරන්නේ.

සැකකාර ප්‍රාදේශීය සභාපතිවරයා පැමිණිලිකාරියගේ ඉඩමක පර්චස් 20 ක් සඳහා බලපත්‍රයක් ලබාදීමට රුපියල් එක්ලක්ෂ හැට දහසක (1,60,000) මුදලක් මුලින් ලබාගෙන ඒ සඳහා බලපත්‍රය ලබාදී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයයට දැන්වුවා.

පසුව එම ඉඩමේ ඉතිරි කොටස සඳහා බලපත්‍රය ලබාදීමට රුපියල් ලක්ෂ පහක (5) මුදල ඉල්ලා ලබාගනිද්දි ඉකුත් (31) මෙලෙස අත්අඩංගුවට පත්වූ බව අල්ලස් කොමිසම අධිකරණයට සඳහන් කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ,මෙම සැකකරු විසින් ඔහුගේ ප්‍රාදේශීය සභාවට අයත් ලිපි ලේඛන විමර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට නොහැකි වන ලෙස බලහත්කාරයෙන් තබාගෙන තිබෙන බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් කුච්චවේලි පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ, සැකකරු ඇප මත මුදා හැරීමෙන් සාක්ෂි වලට බලපෑම් කළ හැකි බවයි.

“ස්වාමීනි, මෙලෙස ප්‍රාදේශීය සභාවේ තිබෙන ලේඛන සම්බන්ධයෙන් බලහත්කාරකම් පෑමක් කර තිබීම තුලින් පැහැදිලි වෙනවා. මොහු සාක්ෂිකරුවන්ටද බලපෑම් කළ හැකි බව පැහැදිලි වෙනවා. සිද්ධියට අදාලව සිදු කරන ලද විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ලේඛන බලහත්කාරයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන්න පුළුවන්. තවද සිද්ධියට අදාල මෙම සැකකරුවන් දෙදෙනාගේ (2) දුරකථන වාර්තා සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමට තිබෙනවා. එම නිසා ස්වාමීනි සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න” යනුවෙන් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා අධිකරණයට දන්වා සිටියේ සුදුසු ඇපයක් මත තම සේවා දායකයා මුදා හරින ලෙසයි.

“ස්වාමීනී, මගේ සේවාදායකයාගේ පියා ඉන්නේ රෝගී තත්ත්වයෙන්. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක්ද අද (13) අධිකරණයට ඉදිරිපත් කරනවා. සේවාදායකයාගේ සහෝදරයා මොලේ ශල්‍ය කර්මයක් කරලා තියෙනවා. ඒ නිසා ඇස් පේන්නේ නෑ. එම පුද්ගලයන් සියල්ලම බලාගන්න වෙන්නේ මගේ සේවාදායකයාට. එම නිසා ස්වාමීනි සුදුසු ඇපයක් මත මුදා හරින්න.”

දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙලෙස සඳහන් කළා :

“දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පසු සිද්ධියට අදාල දෙවන (2) සැකකරු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද කරුණු ඇප දීමට නොහැකි තරම් සුවිශේෂි කරුණු නොවන බැවින් දෙවන (2) සැකකරු ඇප මත මුදා හරිනවා. සිද්ධියට අදාල පළමුවන (1) සැකකරුගේ පවුලේ ඥාතීන්ට රෝගී තත්ත්වයක් තිබූ පමණින් එය සැකකරුට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණක් වන්නේ නැහැ. තවද මෙම පළමුවැනි (1) සැකකරු ප්‍රාදේශීය සභාවේ තිබෙන සාක්ෂි වලට බලපෑම් කර තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කළා. ඒ අනුව එම කරුණු සලකා බලා පළමුවැනි (1) සැකකරු වන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති තවදුරටත් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන අතර දෙවන (2) සැකකරුවන රියැදුරු රු. ලක්ෂ දහයක (10) ශරීර ඇප දෙකක් (2) මුදා හරින අතර විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කරනවා.” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කළා.

සැකකරුවන් දෙදෙනා (2) ඉකුත් (31) සවස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනිය පිල්ලේ මුබාරක් නමැති අය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඉලංගෙයි තල්මි අරසු කච්චි යන පක්ෂ දෙක (2) එකමුතුව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගෙන තිබුණා ෴


අම්පිටිය විහාරය බිඳ රුපියල් කෝටි ගණනක මැණික් ගල් තුනක් (3) සොරාගෙන

(13.11.2025 – hirunews.lk)

මල්වතු මහා විහාර පරිශ්‍රයේ පිහිටි අම්පිටිය විහාරස්ථානය බිඳ එහි තිබූ බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) වටිනා මැණික් ගල් තුනක් (3) සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අම්පිටිය දළුගොල්ල රජමහා විහාරාධිපති ඇටිපොළ දේවරක්ඛිත හිමි මහනුවර පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

දොරගුළු කඩා විහාරස්ථානයට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබෙන අතර පොලිස් නිල සුනඛයින්ද යොදවා පරීක්ෂණ සිදු කළත් මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය පවසනවා.

මල්වතු මහා විහාරය තුළ පිහිටි අම්පිටිය විහාරස්ථානයට යාබඳව තවත් පන්සල් ගණනාවක් තිබෙන අතර මෙම සොරකම කෙසේ සිදු කළේද යන්න පොලීසියට ද ගැටලුවක් ව ඇතැයි වාර්තා වෙනවා.

මල්වතු මහා විහාරයට පිවිසෙන මාර්ගයේ යුද හමුදා ආරක්ෂක කුටියක් ද පිහිටා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *