හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරේ

හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරේ


හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරේ

(02.11.2025 – hirunews.lk)

සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක (4) සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුට ගත් හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (12) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුට රු. ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) සහ රුපියල් ලක්‍ෂක මුදල් ඇපයක් අධිකරණයෙන් නියම කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කළා.

සිද්ධියට අදාල සැකකාර අමාත්‍යවරයා අල්ලස් කොමිසම විසින් අද (12) දහවල් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වර්ධන කාර්‌යාංශය, ශ්‍රී ලංකා හෝටල් කලමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන හතරෙහි (4) සේවකයින් සඳහා වූ සෘජු වෛද්‍ය රක්ෂණයන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා ගැනීමේදී සිදුව ඇති වංචාවකට අදාලව සැකකාර හිටපු අමාත්‍යවරයා එසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව එම රක්ෂණයන් ලබා ගැනීමට හැකිව තිබිය දී ‘මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්’ නැමැති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කරගෙන ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්නුවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොගෙවිය යුතු රු.4,750,828.72 (රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙක) ක මුදලක් අදාල තැරැවිකාර සමාගම වෙත ගෙවීමට සලස්වා එයින් එම තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සිදු කිරීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ඔහුව එසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වමින් පැවසූවා.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා.

උදය ගම්මන්පිල, දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන,ප්‍රසන්න රණවීර, සාගල රත්නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු හිටපු සහ වත්මන් මැති ඇමතිවරුන් රාශියක් අධිකරණයට පැමිණ සිටියා.

+++

+++

+


කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ

(12.11.2025 – 12:22 +0530 – sinhala.adaderana.lk)

ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට අද (12) අලුයම හැකිවිය.

ඒ, කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි 394 ක් බව බලධාරීන් පවසයි.

තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව මෙම තොරතුර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට දැනුම් දී දකුණු පළාතේ පොලිස් කණ්ඩායමක්ද සමගින් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අද (12) අලුයම කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරය ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

ඒ අනුව පොලීසියට දැනගැනීමට ලැබී ඇත්තේ ගැඹුරු මුහුදේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් කුඩා බෝට්ටුවකට මාරු කර ඇති බවටය.

කුඩා බෝට්ටුවෙන් වෙරළ දෙසට රැගෙන ආ මත්ද්‍රව්‍ය කඹයක් ආධාරයෙන් මුහුදේ පාවෙන සේ දමා ගොස් තිබූ අතර ඒවා රැගෙන ඒමට ගිය සැකකරුවන් 7 දෙනෙකු වෙරළ තීරයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.

මුහුදේ පාවෙමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය ඇතුළත් මලු 19 ක්ද මෙහිදී ගොඩබිමට ගෙනැවිත් කිරින්ද පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

කිලෝග්‍රෑම් 345 ක් පමණ බරකින් යුතු මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බවට සැකකෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා කිරින්ද පොලිස් ස්ථානය ආ අතර පසුව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණි.

ඒ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන රථවාහන 6 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව ‘අද දෙරණ වාර්තාකරු’ සඳහන් කළේය.

මේ අතර ප්‍රදේශවාසියෙකු පැවසුවේ අදාළ වෙරළ තීරය ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට සිදුවූ බවය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *