සුරේෂ් සලේට ප්‍රධාන චෝදනා 3 ක්

සුරේෂ් සලේට ප්‍රධාන චෝදනා 3 ක්


සුරේෂ් සලේට ප්‍රධාන චෝදනා 3 ක්

(11.03.2026 – 21:21 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවෙකු ලෙස රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 03 ක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතන සිදුවීම සහ මඩකලපුව සයින්දමරුදු පිපිරීම පිළිබඳ වූ විමර්ශන නොමඟ යැවීමසම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නීති කෘත්‍යය අද (11) කැඳවූ අවස්ථාවේදීය.

2018 වසරේ නොවැම්බර් 29 වනදා වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදුහි නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද (11) කැඳවනු ලැබීය.

එහිදී විමර්ශනයට අදාළව පිටු 25 කින් යුත් වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, නඩුවේ පළමු සැකකරුවන් දෙදෙනා (2) මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.

එහි තෙවන (3) සැකකරුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින බවත්ය.

තෙවන (3) සැකකාර සුරේෂ් සලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවට කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇත්දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා කියා සිටියේ, ප්‍රධාන පැතිකඩ 3 ක් ඔස්සේ සුරේෂ් සලේගේ සැකකාරභාවය පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවය.

“ස්වාමිනි, ත්‍රස්ත ප්‍රහාරයට පෙර සමයේ යුධ හමුදා බුද්ධි අංශය විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු දිගුකාලීනව තොරතුරු කරුවෙක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.

මේ තුන්වන (3) සැකකරු එම ඔත්තුකරු යොදාගනිමින් කටුවපිටිය දේවස්ථානය මුස්ලිම් අන්තවාදින්ට පෙන්වා තිබෙනවා. ඒ වගේම යුධ හමුදා බුද්ධි අංශය පානදුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් තොරතුරුකරුවෙකු මෙවැනි ප්‍රහාරයක් සිදුවේවියැයි පෙර දැනුම්දීමක් කරලා තියෙනවා.

නමුත් ඊට සුදුසු පියවරක් බුද්ධි අංශය අරගෙන නැහැ. ප්‍රහාරයෙන් පස්සේ එම ඔත්තුකරු බුද්ධි අංශයට පවසා තිබෙනවා “යුධ හමුදාවේ වසර 20 ක් වත් පළපුරුද්ද තිබෙන ඉහළ නිලධාරියෙක් මේ පිටිපස්සේ ඉන්න ඕනේ කියලා.

පස්සේ යුධ හමුදා බුද්ධි අංශයම එම ඔත්තුකරුව අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරදීමක් සිදුකර තිබෙනවා. පසුව නීතිපති උපදෙස් මත ඒ ඔත්තුකරු නිදහස්වෙලා තියෙනවා.

නිදහස් වෙලා ආවාට පස්සේ මේ තුන්වන (3) සැකකාර සුරේෂ් සලේ ඔත්තුකරුව හෝටලයකට ගෙන්වා ස්තූතියි කරලා තියෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් එම පුද්ගලයෝ මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ දී තිබෙනවා” යැයි පැවසීය.

මෙහිදී ‘සාරා ජෙස්මින්’ නැමැත්තිය මියගිය බවක් DNA පරීක්ෂණ දෙකකදී අනාවරණය වී නොතිබූ පසුබිමක තුන්වන (3) වරටත් DNA පරීක්ෂණයක් කිරීමට සුරේෂ් සලේ විමර්ශන නිලධාරින්ට බලපෑම් කර ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.

“ස්වාමිනි පාස්කු ප්‍රහාරයෙන් පසු දිනක සෙයින්දමරුදු නිවසේ පිපිරීම සිදුවීම වන අවස්ථාවේ එම ස්ථානයේ සිටී ‘සාරා ජෙස්මින්’ගේ මෘත ශරීරයක් මේවන තුරු සොයාගෙන නැහැ. පළමු DNA පරීක්ෂණ දෙකේදීම ඇයගේ මෘත ශරීරයක් හඳුනාගැනුණේ නැහැ. එහෙම තියෙද්දි තෙවන DNA පරීක්ෂණයක් සිදුකරන ලෙස මේ සැකකාර සුරේෂ් සලේ දිගින් දිගටම විමර්ශන නිලධාරින්ට බලපෑම් කරලා තියෙනවා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ විමර්ශන නිලධාරි නිශාන්ත සොයිසා ප්‍රකාශ දී ඇති අන්දමට ආරක්ෂක කවුන්සලය තුලත් මේ බලපෑම සිදුකරලා තියෙනවා” යැයි පැවසීය.

අනතුරුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු දැක්වීය.

“මොනවාද ස්වාමිනි මේ විමර්ශන නිලධාරීන් කියන කතා? රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සිටි මගේ සේවාදායකයා කොහොමද ආරක්ෂක කවුන්සලය කැඳවලා පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරින්ට බලපෑම් කරන්නේ ?

රාජ්‍ය බුද්ධි සේවය තියෙන්නෙත් පොලිස්පති යටතේයි. ඔය කියන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් ඒ කාලේ නිල ඇඳුම් ඇඳලාද රස්සාව කරලා තියෙන්නේ ? ලැජ්ජයි.

මට කියන්න තියෙන්නේ ස්වාමිනි පාස්කු ප්‍රහාරය සිද්ධවෙන අවස්ථාවේ මේ තුන්වන (3) සැකකරු ලංකාවේ හිටියෙත් නැහැ. ඔහු හිටියේ මැලේසියාවේ. 2018 ජනවාරි මාසයේයි ඔහු ලංකාවෙන් පිටත්වෙලා තියෙන්නේ.

අනික ස්වාමිනි මේ වෙද්දි පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන 25 කට වඩා වෙලා තියෙනවා. මුලින්ම කිව්වා ඉන්දියාවෙන් පෙර දැනුම්දීමේ තොරතුරක් ආවා, ඒකට අදාළව අවශ්‍ය පියවර නොගත්තා කියලා හිටපු පොලිස්පතිවයි, ආරක්ෂක ලේකම්ටයි එරෙහිව නඩුත් දැම්මා. දැන් කියනවා බුද්ධි අංශයේ කව්ද ප්‍රහාරය ගැන පෙර දැනුම්දීමක් කළා කියලා.

ස්වාමිනි, ඔය කවුරුන් තොරතුරු දුන්නත් තොරතුරු ලැබිලාත් ප්‍රහාරය වළක්වා ගන්න බැරිවුණ එදා CID එකේ ඉඳපු අයමයි අද මේ විමර්ශන මෙහෙයවන්නේ. ඔය මොන විමර්ශනත් අවශ්‍ය නැහැනේ ඒ අය එදා ප්‍රහාරයට පෙර සහරාන්ව අල්ලගත්තා නම්.

මේක කියවන්න ස්වාමිනි, මේ ‘ජයකි ද අල්විස් වාර්තාව’. ඕක කියවපුවාම තේරෙයි වගකිවයුතු අය පිළිබඳව. මේ අය විමර්ශනය මෙහෙයවද්දි කොහොමද ස්වාමිනි මේක අපක්ෂපාති විමර්ශනයක් වෙන්නේ ?”.

මෙහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාව මේවනවිට රැඳවුම්භාරයේ තබාගෙන සිටින ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වුවා.

“ස්වාමිනි මට උපදෙස් ලැබෙන විදිහට මේ වෙද්දි මගේ සේවාදායකයාව රඳවා තබාගෙන ඉන්නේ ඉතාම පහත් හා කෲර විදිහට. පුතා තාත්තාව බලන්න ගියාමත් පොලිස් සහතික අරන් එන්න කියනවා. නීති කෘත්‍යයට අදාළව අපිට ඔහුව හමුවෙලා උපදෙස් ගන්නත් බැහැ.

නීතිඥවරුන්ට පවා දැනුම්දී තිබෙන්නේ ඔහුව හමුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉදිරියේ කරන්න කියලා. අන්තීම දවසේ නීතිඥවරුන් ඔහු හම්බෙන්න ගියාම නිලධාරින් දෙපැත්තේ ඉඳලා කතා කරන දේවල් Record කරලා.

ඉතිං කොහොමද ස්වාමිනි අපි උපදෙස් ගන්නේ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව සඳහන් මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක්.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා දෙපාර්ශවයේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

“මා විසින් මෙම නඩුකරයට අදාළව පෙර නඩුවාරයේ ලබාදුන්නු නියෝග විමර්ශන නිලධාරින් විසින් සැලකියයුතු මට්ටමකට ක්‍රියාත්මක කර ඇති බව පෙනීයනවා. තුන්වන (3) සැකකරුට අදාළව ඉදිරිපත්වෙලා තියෙන කරුණු පාස්කු ප්‍රහාරයට සෘජුව අදාළ කරුණු. එම සාක්ෂි ප්‍රමාණවත්ද යන්න ඉදිරි විමර්ශන මත තීරණය කළ යුතුයි.

තුන්වන (3) සැකකරු සම්බන්ධයෙන් කිරීමට ඇති සියලුම ඉල්ලීම් ලිඛිතව කරන්න. පසුව ඒ පිළිබඳ සලකා බලා නියෝගයක් නිකුත් කරන්නම්”.

ඒ අනුව නඩුව වැඩිදුර විමර්ශන වාර්තා සඳහා මාර්තු 25 කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

+


සෞඛ්‍ය ලේකම් ඇතුළු හතරකට (4) අල්ලස් පැමිණිලි

(11.03.2026 – lankacnews.com)

නිසි නෛතික පදනමකින් තොරව විනය පරීක්ෂණ පවත්වමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අනුබල දෙන බවට චෝදනා කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු උසස් නිලධාරීන් සිව්දෙනෙකුට (4) එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් නායක, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.

මෙම පැමිණිල්ල මගින් සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අධ්‍යක්ෂ, හිමායා ජයසිංහ මහත්මිය, ඒක පුද්ගල විනිශ්චය සභා නියෝජනය කරන හිටපු මහාධිකරණ විනිසුරු, පියසේන රණසිංහ මහතා, භාණ්ඩාගාරයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ආර්.කේ.ආර්. රණසිංහ මහතාට එරෙහිව විමර්ශන පවත්වන ලෙස ඉල්ලා ඇත.

අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ මූලික හෝ විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නෛතික හැකියාවක් පවතීදැයි විමසීමකින් තොරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය හරහා මෙවැනි පරීක්ෂණ සිදු කරන බවයි. පිළිගත නොහැකි තත්ත්වයන් යටතේ සිදු කරන මෙම පරීක්ෂණ සඳහා පරීක්ෂණ නිලධාරීන්ට සහ විනිශ්චය සභාවලට ප්‍රවාහන, නවාතැන් ඇතුළු දීමනා වෙනුවෙන් අතිවිශාල රාජ්‍ය මුදලක් වැය කරන බවත්, මෙය වත්මන් සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙහෙයවීම මත සිදුවන ‘ජාවාරමක්’ බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරයි.

මීට පෙර විගණකාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා, පෞද්ගලික පළිගැනීමේ චේතනාවෙන් පවත්වන මෙවැනි අනවශ්‍ය විනය පරීක්ෂණ හේතුවෙන් සිදුවන මූල්‍ය අලාභයට සෞඛ්‍ය ලේකම්වරයා සෘජුව වගකිව යුතු බව පවසයි. එබැවින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වා, රජයට සිදුව ඇති අලාභය අදාළ වගකිවයුත්තන්ගෙන් අය කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.

මීට අමතරව, මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණ පවත්වන ලෙස අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ද ඔහු ඉල්ලීමක් කර තිබේ ෴


මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර පාසල් සිසුවෙකු මරුට

(11.03.2026 – 18:23 +0530 – sinhala.adaderana.lk)

පාසලේ මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ සිසුවෙකු මියගොස් තිබේ.

ඇති වූ එම හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් සිසුවා, බුත්තල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබේ.

කෙසේවෙතත් රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් සිසුවා මියගොස් සිට ඇති බව සඳහන් වේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ 11 වන ශේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් වන අතර සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය ෴


CSD හිටපු ප්‍රධාන ගණකාධිකාරිවරයෙක් අත්අඩංගුවට

(11.03.2026 – 18:14 +0530 – sinhala.adaderana.lk)

අයතා වත්කම් ඉපයීමේ චෝදනාවකට අදාළව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු අල්ලස් පනතේ 23(අ)(1) වගන්තිය අනුව 2011.03.31 වන දින සිට 2013.08.03 යන කාලය තුළ තම නීත්‍යානුකූල ආදායම අබිබවා රු. 4,428,305.70 ක වටිනාකමෙන් යුත් වත්කම් උපයා ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ජපානයේ නව රැකියා ක්ෂේත්‍රයක් ශ්‍රී ලාංකිකයින්ට විවෘත වෙයි

(11.03.2026 – 18:02 +0530 – sinhala.adaderana.lk)

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ පුහුණුව ලැබීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම අවස්ථාව හිමිව ඇත.

පළමුවරට වන වගා ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ තරුණයින් තිදෙනෙකු (3) අද දින (11) ජපානය බලා පිටත්ව ගිය අතර, එම පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුවිය.

මෙම ක්ෂේත්‍රයට අමතරව තවත් ක්ෂේත්‍ර 7 ක පුහුණු අවස්ථා මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඉන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ පුහුණු ලාභීන් 6 දෙනෙකුද මෙම පිරිසත් සමග අද (11) දින ජපානය බලා පි‍ටත්ව ගියේය.

මෙම අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-30 අතර, තරුණ තරුණියන්ට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස පුහුණුව ලැබීමට අවස්ථාව හිමිවේ.

මේ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N5 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.

අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීම ද අනිවාර්ය අවශ්‍යතාවයකි.

මේ වන විට කාර්යාංශය මැදිහත්වී පුහුණු ලාභීන් 659 ක පිරිසක් මෙම වැඩසටහන යටතේ ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත.

නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්, සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දීමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවතී ෴


කරාපිටි රෝහලේදී ඉරාන නැවියන් මුණගැසුණු මාධ්‍යවේදිනියක් පොලිස් භාරයට..

(11.03.2026 – lankacnews.com)

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනයයි =

ඉරාන නැවියන් මුණගැසුණු මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගැනීම දැඩි ලෙස හෙළා දකිනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටියදී පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කරමින් සටහන් පොත් උදුරා ගත්තේ යැයි චෝදනා කරමින් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් කළ බව ‘සිලෝන් ටුඩේ’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ‘සුලෝචනා රාමයියා මොහාන් මහත්මිය’ පවසයි.

අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පෑ බව තමා කළ පැමිණිල්ලේ සඳහන් වන බව ද ඇය ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ වෙත පැවසුවාය.

එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව ද මාධ්‍යවේදිනිය පැවසුවාය.

පසුව මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේ යැයි ද ගාල්ල පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුව යැයි ද ඇය සඳහන් කළාය.

මාධ්‍යවේදිනී සුලෝචනා මහත්මිය කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමසූ විට සඳහන් කරන ලද්දේ එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. තමන් කළ පැමිණිල්ලෙහි අංකය ද ලබා නොදුන් බව සුලෝචනා මහත්මිය පවසයි.

මෙම සිදුවීම නිදහසේ වෘත්තීය කටයුතුවල නියැලීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිදු කළ අනවශ්‍ය පොලිස් මැදිහත්වීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි. මෙම සිදුවීම දැඩිව හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ සම්බන්ධව සොයාබලා නිසි පියවර ගන්නා ලෙසයි ෴


අචින්ති තම්පි භවති ! රාජාංගනයේ ඩීල් මාට්ටු ? (11.03.2026)

+


මේ යුද්ධය නිසා, අපට මොකක් වෙයි ද ? (11.03.2026)

+

දුප්පත් මිනිස්සුන්ව හූරාකන ලජ්ජා නැති ආණ්ඩුවක් (11.03.2026)

+

මෙදා අවුරුදු චාරිත්‍ර කියලා දෙයක් නෑ – කැමති විදියක් කරගන්ඩලු (11.03.2026)

+


ලංකාවට ආපු ඉරාන නැවට ඇත්තටම මොකද වුනේ? ජනපතිත් නොදැන මේ නැවට ලංකාවට එන්න කිව්වේ ඇයි? (11.03.2026)

+


සංස්කෘතියටත්, පාස්කු දින ප්‍රහාරයටත් එකම සන්තෑසියද? (11.03.2026)

+


මේ ආණ්ඩුවේ එකම ඇමතියෙකුටවත් වැඩ බෑ (11.03.2026)

+


අද බලයේ ඉන්නේ රස්තියාදුකාරයෝ – මේවා අපේ දහස් ගණන් පරණ සිරිත් විරිත් – ඒකයි කෙනෙහිලිකම් කරන්නේ (12.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *