කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා – ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්

කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා – ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්

*********************************************

කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා – ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්

(06.08.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම් කර තිබෙනවා.

ඕනෑම හදිසි අවස්ථාවක ආසාදිතයන් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීමට එම මධ්‍යස්ථාන සැලසුම් කළ බැවින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.

රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන්ට සෘජුව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබාදීම ද සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

දෙවන (2) එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට පළමු (1) මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සැලසීමට ද තීරණය වී තිබෙනවා.

වයස අවුරුදු 18 ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම (2) සැප්තැම්බර් මසට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇති අතර තෙවන (3) මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම් බවටයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

එහෙත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කණගාටුදායක බව සාකච්ඡාවට එක්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නා.

ගත වූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120 ක් පවත්වා ඇති අතර මේ සෑම එකකටම අවම වශයෙන් 1500 කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා.

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස සිදු වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇති බවටයි බුද්ධි අංශ පෙන්වා දී ඇත්තේ.

කොවිඩ් මර්දන මෙහෙයුම් කාර්යයන්හි නිරත බොහෝ දෙනෙක් දේශීය ඖෂධ දෛනිකව ලබාගන්නා අතර එය ප්‍රතිශක්තීකරණයට බෙහෙවින් ඉවහල් වී තිබෙනවා.

එන්නත ලබාගත්ත ද දේශීය ඖෂධ දෛනිකව ලබාගැනීම හා ධූමායනය රෝගය වැළදීම අවම කිරීමට ඉවහල් වනු ඇති බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

+++++++++++++++++++++++

කොරෝනා රෝගීන් නිවෙස් තුළම ප්‍රතිකාර

(06.08.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

සංකූලතා නොමැති කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළ රඳවාගනිමින් අධීක්ෂණය කිරීමට ගත් ක්‍රියාමාර්ගය ලබන සඳුදා (09) සිට ආරම්භ කරන අතර ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලු පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුලු සියලු සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව 1390 දුරකථන අංකය හරහා පැය විසි හතර (24) පුරා රෝගීන්ට අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි.

සංකූලතා නොමැති අඩු අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු දෙකේ (2) සිට අවුරුදු 65 දක්වා වන වයස් කාණ්ඩවල රෝගීනුයි මෙලෙස නිවෙස්වල රඳවා අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇත්තේ.

යම් හෙයකින් රෝගී තත්වය උත්සන්න වුවහොත් කඩිනමින් රෝහල් ගත කිරීමටද පහසුකම් සළසා තිබෙනවා.

රෝගියා නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සඳහා ඔහුගේ කැමැත්ත ලබාගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා.

වර්තමානයේ රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආසාදිතයින් ඉහළ යාම හමුවේ රෝහල් ආශ්‍රිතව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බැවින් නිවෙස් ආශ්‍රිත නිරෝධායන සහ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරිමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව රෝග ලක්ෂණ නොපෙන්වන සහ බරපතල නොවන රෝග ලක්ෂණ සහිත කොවිඩ් ආසාදිතයින් මෙලෙස නිවෙස් ආශ්‍රිතව නිරෝධායනයට සහ ප්‍රතිකාර ලැබීම සඳහා යොමු කිරිමට තීරණය කර තිබෙනවා.

එම නිවෙස්ගත නිරෝධායන සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ රෝහල් ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම ක්‍රියාවලිය සිදුවන්නේ පහත ආකාරයෙන් :

  1. ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් කොවිඩ් ආසාදිතයින් බවට පත්වන පුද්ගලයින් ඇසුරෙන් රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් වෙන් කිරිම සිදුකළ යුතුය.
  2. නිවෙස්ගත ප්‍රතිකාර ලැබීමට සුදුසුකම් ලබන කොවිඩ් ආසාදිතයින් : වයස අවුරුදු 02 – 65 අතර විය යුතුය.
    +
    ආසාදිත පුද්ගලයාට හොඳ වාතාශ්‍රිත කාමරයක හුදෙකලා විය යුතු වන අතර වෙන්වූ වැසිකිලි පහසුකම් සහිත විය යුතුය.
    +
    අධික තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළුව හෘද, පෙනහළු, වකුගඩු ආදී නිධන්ගත රෝගවලින් නොපෙළෙන අය විය යුතුය.
    +
    නිවසේදී ප්‍රමාණවත් ස්වයං රැකවරණයක් හා ආධාරකයක් ලැබිය යුතුය.
    +
    නිසි සන්නිවේදන පහසුකම් සහ ආසාදිතයා සමග සන්නිවේදනය කිරිමේ හැකියාව තිබිය යුතුය.
    +
    දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත හෝ දීර්ඝ කාලිනව ප්‍රතිශක්තිකරණ ඖෂධවලින් යැපෙන පුද්ගලයින් නොවිය යුතුය.
  3. ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් නිවෙස්ගත නිරෝධායන සහ ප්‍රතිකාර ලැබීමට සුදුසු පුද්ගලයින්ව ලියාපදිංචි කළ යුතුය.
    +
    එලෙස ලියාපදිංචි කළ ආසාදිත පුද්ගලයින් සම්බන්ධයෙන් වන වගකීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අදාළ නිවෙස්ගත නිරෝධායන සහ කළමණාකරණ සම්බන්ධයෙන් වන කණ්ඩායමට සහ එහි දුරකථන මධ්‍යස්ථානය වෙත භාර දෙනු ලැබේ.
    +
    මෙම කණ්ඩායම් උපදේශක වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අධීක්ෂණය කරනු ඇත.
    +
    ඇමතුම් මධ්‍යස්ථානය විසින් රෝගීයා සහ නිවෙස්ගත රැකවරණ කළමනාකරණ සඳහා පවරා ඇති වෛද්‍ය සේවා කණ්ඩායම් සමග සම්බන්ධිකරණය කරනු ඇත.
    +
    නිවෙස්ගත ආසාදිත රෝගීන් ගේ දෛනික සෞඛ්‍ය තත්ත්වයන් පිලිබඳ තොරතුරු දුරකථනය ඔස්සේ නිවෙස්ගත නිරෝධායන සහ කළමණාකරණ ඒකකය විසින් රැස් කෙරෙනු ඇත. මෙලෙස ලබා ගන්නා තොරතුරු අදාළ තොරතුරු මධ්‍යස්ථානය තුල පටිගතව තබා ගනු ඇත.
  4. ලබා ගන්නා තොරතුරු අනුව අසාධ්‍ය බවට හැඟෙන නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් වහාම රෝහල් ගත කිරිමට පියවර ගනු ඇත.
  5. නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් දින 14 ක කාලයකින් පසුව නිදහස් කිරිමට පියවර ගනු ලබන අතර යම් හෙයකින් එම කාල සීමාව වන විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයෙකු වේ නම් ඔවුන්ගේ රෝග ලක්ෂණ පහවයන තෙක් නිරීක්ෂණය කෙරෙනු ඇත.
  6. නිවෙස්ගත නිරෝධායන සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා ලක් කෙරෙන නිවෙස් වලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් යුතුව බැහැර කරලීමේ වගකීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැවරි ඇත.
  7. නිවෙස්ගත නිරෝධායන සහ ප්‍රතිකාර ලබාදීමේ දී සෞඛ්‍ය නීති උල්ලංඝණය කරනු ලබන පුද්ගලයින්ව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලක් වෙත යොමු කෙරෙනු ඇත. එමෙන්ම එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
  8. නිවෙස්ගත රෝගී ප්‍රතිකාර ලබාදීමේදී එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගනු ලබන පවුලේ සාමාජිකයින් ද දින 14 ක කාලයක් නිරෝධායනය වීම සහ අවසානයේ දී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය වේ.

+++++++++++++++++++++++

පානදුරේ නිවසක් තුල කාන්තා මරණයක් – කොවිඩ් ආසාදිත බවට පරීක්ෂණවලින් හෙළිවෙයි

(06.08.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

පානදුර වෑකඩ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ කාන්තාවක් එම නිවසේම මියගොස් සිටියදී හමුවී තිබෙනවා.

ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිරුරු පානදුර රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ඊයේ (05) දිනයේ මියගොස් ඇති බවට අනාවරණ වී ඇති අතර මියයන විට වයස අවුරුදු 85 ක්.

ඇය නිවසේ පුටුවක් මත වැටී සිටින ආකාරය දුටු අසල්වැසි පුද්ගලයෙක් පොලිසියට දැනුම්දී ඇති අතර අනතුරුවයි පොලිසිය පැමිණ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාව විශ්‍රාමලත් ගුරු යුවළක් සිටින නිවසක ඔවුන් සමග වසර හැත්තෑවකට (70) අධික කාලයක් පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මියගොස් සිටින කාන්තාව දින තුනකට (3) ආසන්න කාලයක් මෙම නිවසේ හුදෙකලාව සිටි බවයි.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අදාළ කාන්තාවට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.

මියගොස් ඇති කාන්තාවගේ දේහය මේ වනවිට පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

එය නිරෝධායන නීතිරීති අනුව ආදාහනය කිරීමට නියමිතයි.

++++++++++++++++++++

(06.08.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සහ රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තිකයන් ඇතුලු විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි මෙම චක්‍රලේඛය නිකුත් කෙරුණේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතන වෙත නිලධාරීන් කැඳවීමේදී මෙම විධිවිධාන අනුව කටයුතු කළ යුතුයි.

මෙම චක්‍රලේඛයට අනුව සියලුම රාජ්‍ය ආයතනවල එක් නිලධාරියෙකු අවම වශයෙන් සතියකට දින 3 ක් සේවයට වාර්තා කළ යුතු වන ආකාරයට කණ්ඩායම් සකස් කර එම කණ්ඩායම් ආයතනයේ සේවය අඛණ්ඩව සැපයීමට හැකි ආකාරයට සේවයට කැඳවිය යුතුයි.

එමෙන්ම මෙම සේවකයන් කැඳවීමේදී ගර්භණී නිලධාරිනියන් සහ වයස අවුරුදු 1 ට අඩු ළදරුවන් සිටින මව්වරුන් සේවයට නොකැඳවීමට පියවර ගත යුතු වනවා.

සැක කටයුතු රෝග ලක්ෂණයකින් පෙලෙන බවට අනුමාන කළ හැකි සහ වෙනත් විශේෂිත කරුණු හේතුවෙන් සේවයට කැඳවීමට යෝග්‍ය නොවන බවට සාධාරණ හේතු ඉදිරිපත් කරන සේවකයන් සේවයට කැඳවීම හෝ විකල්ප කාර්යාලයීය සේවාවන් යොදා ගැනීම, නිවසට ආසන්න ස්ථානයක සේවය කිරීමට ඉඩ ප්‍රස්ථා ලබාදීම, ආදී වශයෙන් අදාළ සේවකයාගේ සුබසිද්ධිය ද ඉටු වන පරිදි නම්‍යශීලීව තීරණය කිරීමේ වගකීම ආයතන හෝ අංශ ප්‍රධානීන් වෙත පැවරෙනවා.

පිටු 3 න් 1 වන පිටුව

පිටු 3 න් 2 වන පිටුව

පිටු 3 න් 3 වන පිටුව

++++++++++++++++++++

(06.08.2021 – 17:56 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් තත්ත්වය මත ප්‍රමාදවී ඇති කොරියානු රැකියා අවස්ථා කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය ‍දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පසුගියදා පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසුවේ.

ශ්‍රී ලාංකිකයන් හට කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දීම සදහා කොරියානු තානාපතිවරයා විශේෂ යෝජනාවක් ද ඉදිරිපත් කළ බව ඔහු මෙහිදී පැවසුවා.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දුන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දැනට සම්මත වී ඇති විදේශ මෙහෙයුම් පනත මගින් එරට යුද සෙබළුන් විදේශ ර‍ටවලදී වසර 5 කට ඉහත සිදුකරන ලද යුද අපරාධවලින් නිදහස්කොට ඇති බවයි.

එවැනි පසුබිමක ශ්‍රී ලාංකේය හමුදාව සිය මවුබිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියදී පවා මානව හිමිකම් සම්බන්ධව චෝදනා නැගීම යුක්ති සහගත නොවන බැවින් මෙරට හමුදාව සම්බන්ධයෙන් ද මෙවැනි තත්ත්වයක් පිළිබද සළකා බලන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශකර සිටියේ මේ පිළිබද කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(06.08.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමලත් පොලිස් සැරයන්වරයකුට උල් ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ වරදකට චෝදනා ලත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දින ගණනාවක් තිස්සේ නාවලපිටිය පොලීසිය පියවර නොගන්නා බවට පහරකෑ පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරනවා.

අදාල පහරදීමේ සිද්ධිය පසුගිය තුන් වන දා (03) රාත්‍රී කාලයේ දී සිදුවූ බවටයි ඥාතීන් පවසන්නේ.

මෙම සිදුවීමේදී පහරකෑ ඩබ්ලිව්.ඩී. ආරියපාල පොලිසියේ වසර තිස් තුනකට (33) අධික සේවා කාලයක් නිමා කළ පොලිස් සැරයන් වරයෙක්.

ඔහු සිය ධුරයෙන් විශ්‍රාම ගොස් ඇත්තේය පසුගිය සතියේදී.

පසුගිය තුන්වැනිදා (03) සිය වෙළඳසැලෙන් භාණ්ඩ කීපයක් මිලදී ගත් පුද්ගලයෙකු නිවසට ගෙනගොස් ඇරලීමට නාවලපිටිය හදුන්වල ප්‍රදේශයට පහරකෑ පොලිස් සැරයන්වරයා සිය ත්‍රිරෝද රථයෙන් පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී 11 ට පමණ බවයි වාර්තා වන්නේ.

ඔහු යන මග අවහිර කරමින් නවතා තිබු කාර් රථයක් ඉවත් කිරීමට තමන් කීප වරක් සිය ත්‍රිරෝද රථයේ නලාව නාද කල බවත් ඉන්පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවත් කරගැනීමෙන් පසු ඔහු අදාළ පුද්ගලයා නිවසට ඇරලවීමෙන් පසු එන අතරවාරයේ මෝටර් රථයේ සිටි පුද්ගලයා ත්‍රිරෝද රථය පසුපස හඹාවිත් තමන්ට පහර දුන් බවත් පහර කෑ විශ්‍රාමලත් පොලිස් සැරයන්වරයා පවසනවා.

මෙහිදී තමන්ට උල් ආයුධයකින් පහර දුන් බවත් තමාගේ ගෙල බැඳි ලක්ෂ දෙක හමාරක් (2½) පමණ වටිනා රන් මාලයක් කොල්ලකා ගත් බවත් පවසමින් ඔහු නාවලපිටිය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම පහර දීම සිදුකල අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලීසිය අසමත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නාවලපිටිය පොලීසියෙන් සිදුකළ විමසීමකදී අපගේ ඇමතුමට පිළිතුරු දුන් නිලධාරීහු කියා සිටියේ පහරදීමට චෝදනා ලත් පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි අප සමග අදහස් දැක්වූ පොලිස් නිලධාරියා කියා සිටියේ.

කෙසේ වෙතත් පොලිස් සැරයන් වරයාට පහර දුන් පුද්ගලයා මීට පෙර සිදු කරන ලද රථ වාහන වරදක් හේතුවෙන් රිය ධාවන බලපත්‍රය අත්හිටවූ වූ පුද්ගලයෙක් බවයි වාර්ථා වන්නේ.

එමෙන්ම දින 14 ක රක්ෂිත බන්ධනාගාර කාලයක් ගෙවා දැමූ අදාළ පුද්ගලයා ඉන් නිදහස් වී පැමිණ ඇත්තේ ද පහරදීම සිදුකළ දිනට දින කීපයකට පෙරාතුව බව පහරකෑ පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *