ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව – 1 වන කොටස සහ 2 වන කොටස

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව – 1 වන කොටස සහ 2 වන කොටස

*********************************************

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව – පළමු කොටස

(1983 කළු ජූලියේ ඊශ්‍රායල භූමිකාව :දේශපාලන අන්වීක්ෂ පරීක්ෂාවක්)

(21.07.2021 – 09:25 +0530 – lankaleadnews.com)

“ජූලියේ ගිනි දැයට වින කළ දා
අසරණව අප සැවොම ඉකිබින්දා
අපේ කඳුළැල් ඔබ නොදුටු හින්දා
ඔබත් වියරුව අපට ගිනි බින්දා
වෛරයෙන් වෛරයම ලුහු බැන්දා”

මේ පද පෙළ ඇතුළත් වන්නේ මහාචාර්ය අතුල සුමතිපාලයන් විසින් ලියන ලද ගීතයකය. 1983 කළු ජූලිය පිළිබඳ ප්‍රති විශ්ලේෂණයක් සඳහා මේ පදවැල් ඉතා උචිත ප්‍රවේශයක් සපයයි. 1983 පිළිබඳව සාම්ප්‍රදායිකව ලියැවුණු හා ලියැවෙන බොහෝ දේ, පුද්ගල අත්දැකීම්, විග්‍රහ ආදිය කොතෙකුත් දැකිය හැකි නමුත් මෙතෙක් මේ සම්බන්ධව සාකච්ඡා වී නොමැති යටි පෙළක් මේ 1983 ජූලි සිදුවීම් හා සබැඳී පවතින අතර එය විමර්ශනය කිරීම මෙම ලිපියේ අරමුණයි.

1983 ජූලි යනු ලාංකේය ඉතිහාසයේ හැරුම් ලක්ෂ්‍යයකි. වෙනත් ලෙසකින් කිවහොත් 1983 ජූලි මස 23 වන දාට පෙර ලංකාව හා 1983 ජූලි මස 23 ට පසු ලංකාව යනු දෙකක් මිස එකක් නොවේ. ඒ මෙරට ජාතික ගැටලුව, ජාතික රාජ්‍ය සීමාව හා කලාපීය සීමාව ඉක්මවා ලෝක දේශපාලන සිතියම තුළ ස්ථානගත කිරීම සිදුවන්නේ 1983 ජූලි මස සිදුවීම් හේතුවෙන් බැවිනි.

1983 ට පෙර ජාතික ගැටලුවේ හැඩය

මෙරට සිංහල හා දෙමළ ජාතිකත්ව දෙක පදනම් කරගත් ජාතික ගැටලුව 1983 ජූලි 23 ට පෙර හුදු ජාතික රාජ්‍ය සීමාව තුළ දැල්වෙමින් නිවෙමින් යළි දැල්වෙමින් පවතින ගිනි පුපුරක් සේ පැවතිණි. 1958, 1977 හා 1981 මෙම ගිනි පුපුර සාපේක්ෂව තදින් ඇවිලුණු අවස්ථා තුනක් වූ නමුත් ඒ සිදුවීම් විදේශ රටවලට මැදිහත්විය හැකි තරම් මට්ටමකට වර්ධනය වූ ඒවා නොවිණි. කෙසේ වුවත් මෙරට තුළ පවතින මේ ජාතිවාදී ගිනිපුපුර හඳුනාගත් බටහිර බලවේග ‘රෙඩ්බානා’ වැනි රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරට දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීමේ ව්‍යාපෘති 70 දශකය වන විට ආරම්භ කරන්නට පටන්ගෙන තිබිණ. එහෙත් අන්තර්ජාතික ජනමාධ්‍ය න්‍යාය පත්‍රය තුළ උණුසුම් ප්‍රවෘත්තියක් වන ‘තුන්වන ලෝකයේ රටක සිවිල් යුද්ධයක්’ වශයෙන් යුරෝ – ඇමරිකා සමාජ මනෝභාවයට දැනෙන ලෙස අර්ථ ගැන්විය හැකි පරිමාණයට එය වැඩී නොතිබිණ.

1976 වසරේදී පමණ සිට කොටි සංවිධානය සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් ආරම්භ කර තිබුනද, උතුරේ වේදිකාව තුළ තවත් දේශපාලන සංවිධාන හා දෙමළ සටන්කාමී සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වූ බැවින් කොටි සංවිධානය එතරම් කැපී පෙනුනේ නැත. කොටි ඇතුළු මෙම දෙමළ සංවිධානවල ක්‍රියාකාරීත්වයට දෙමළ සමාජය තුළ සාධාරණීකරණයක් ලැබී තිබූ නමුත්, මේ සඳහා සාමාජිකයින් බැඳුනේ දුරාවාරයේය. එසේ බැඳුණු සාමාජිකයින් බහුතරය දෙමළ සමාජයේ පහළ තීරු නියෝජනය කළ වුන්ය. ශ්‍රී ලංකා රජය සමග දේශපාලන අරගලයකින් සිය අයිතීන් දිනා ගැනීම හා ශ්‍රී ලංකා රජය සමග සන්නද්ධ අරගලයකින් සිය අයිතීන් දිනා ගැනීම යන කතිකා දෙක සාපේක්ෂව සමාන තලයක උතුරේ දේශපාලනය තුළ මතුව තිබිණි. එසේම මෙම කතිකා දෙකටම අදාළව ඉන්දියානු සාධකයේ මැදිහත්වීම අඩු වැඩි ප්‍රමාණයෙන් එවක සිදු වෙමින් පැවතිණි. වෙනත් ලෙසකින් කිවහොත් ඉන්දියාව මෙම කතිකාවන් දෙකට අදාළ සංවිධාන, මතවාදී වශයෙන්ද, භෞතික වශයෙන්ද පෝෂණය කිරීමට කටයුතු කරමින් තිබිණි. එහිදී ලංකාවේ එක්සත් ජනපද හිතවාදී ජයවර්ධන ආණ්ඩුව පාලනය කිරීමේ ‘දේශපාලන නිලය’ ලෙස උතුරේ දෙමළ ප්‍රශ්නය ඉන්දියාව විසින් අර්ථ කථනය කරගෙන තිබිණ. ඒ නිසා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ නිශ්චිත තැනක් ලංකාවේ මෙම ප්‍රශ්නයට හැම විටම වෙන් වී පැවතිණි.

කෙසේ වතුදු එක්සත් ජනපදයේ අන්තර්ජාතික භූ දේශපාලන උපාය මාර්ගික සැලසුම්හි, දකුණු ආසියානු කලාපය තුළ ලංකාවේ භූ දේශපාලන වැදගත්කම පිළිබඳව සාකච්ඡාව 70 දශකයේ අගභාගය වන විට නිර්මාණය වී තිබිණ. එවකට එක්සත් ජනපද විරෝධී හා සෝවියට් හිතවාදී ආස්ථානයක සිටි ඉන්දියාව මෙල්ල කිරීමේ අවස්ථාවක් ලෙසද, ආසියානු කලාපය තුළ යුදමය වශයෙන් ත්‍රිකුණාමල වරායේ පවතින සදාතනික වැදගත්කමද මෙම සාකච්ඡාව සඳහා කේන්ද්‍රීය සාධක වී තිබිණි. එබඳු පසුබිමක මෙරට ජාතික ප්‍රශ්නය දකුණු ආසියානු කලාපයට – ඉන්දියාවට – දැනෙන සීමාවෙන් ඔබ්බට ගෙන, එය තමන්ට කළමනාකරණය කරගත හැකි දේශපාලන තලයකට ගෙන යාමේ අවශ්‍යතාව ඇමරිකා එක්සත් ජනපදයට තිබිණි. අනෙක් අතට ජාතිකත්වයන් දෙකක් අතර දුරාවාරයේ සිදුවන ගැටුමකට වඩා තමන්ට වෙළෙඳපොළ වාසියක් අත්පත් කරගත හැකි ‘සිවිල් යුද්ධයක්’ බවට එම ගැටුම සංවර්ධනය කර ගැනීමේ වෙළෙඳපොළ අවශ්‍යතාවක්ද අධිරාජ්‍යවාදී බලවේගවලට මෙයට සමාන්තරව තිබිණි.

මූලාශ්‍රවලට අනුව ගත් විට 1972 මැයි 21 දින අධිබලැති විදුලි කුළුනක් පුපුරුවා හැරීමෙන් ජනරජ දිනයේ යාපනය නගරය අඳුරේ තැබීමෙහි සිට 1983 ජූලි 17 දින හමුදා ඔත්තුකරුවකු වූ ඉන්ද්‍රන් කොලොම්බුතුරේදී පැහැරගෙන යාම දක්වා වන වසර 11 කට ආසන්න කාලය තුළ ත්‍රස්තවාදී ක්‍රියා 67 ක් ද, 1981 ඔක්තෝබර් 15 දින යාපනය කන්කසන්තුරේහිදී ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තු සෙබළකු ඝාතනය කිරීමේ සිට 1983 ජූනි 01 දින වවුනියා නගරයේදී ගුවන් හමුදා භටයකු ඝාතනය කිරීම දක්වා ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂක අංශ සාමාජිකයින් ඝාතනය කිරීම් 07 ක්ද, 1977 පෙබරවාරි 14 සිට 1983 පෙබරවාරි 18 දින දක්වා පොලිස් නිලධාරීන් 31 ක් ත්‍රස්තවාදීන් වෙතින් ඝාතනයට ලක් වීමද, 1972 ජූනි 04 දින සිට 1983 ජූනි 04 දින දක්වා දෙමළ සිවිල් වැසියන් 26 ක් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමද සිදුව තිබේ. මෙම සිදුවීම්වලට සමාන්තරව 1977 හා 1981 වසරවල සාපේක්ෂව ඉහළ පරිමාණයේ ගැටුම්ද රජයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ ඝාතනද පැවතිණි. නමුත් අන්තර්ජාතික යුද විශේෂඥයින්ගේ ගණන්බැලීම් හා තක්සේරු කිරීම්වලට අනුව මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ‘සිවිල් යුද්ධයක’ මට්ටමක ලා සැලකිය හැකි තත්ත්වයක් නොවන්නට ඇත.

‘වෙළෙඳපොළ වාසිය’ නොඑසේ නම් ‘වෙළෙඳපොළ අවශ්‍යතාව’ යන්න අප මෙහිදී නැවත අවධාරණය කරන අතර, ඕනෑම නිෂ්පාදන සමාගමක් ගත් විට සිය නිෂ්පාදන අලෙවිකර ලාභ ලැබීමට නම් වෙළෙඳපොළක් හා නිශ්චිත පාරිභෝගික කුලකයක් සිටීම අත්‍යවශ්‍ය කොන්දේසිය වේ. එහිදීද දුරාවාරයේ භාණ්ඩ කිහිපයක් අලෙවිවන වෙළෙඳපොළක් වෙනුවට, අඛණ්ඩව පුළුල් වන වෙළෙඳපොළ කොටසක් සහිත වෙළෙඳපොළක් පවත්වාගැනීම සෑම නිෂ්පාදන සමාගමකම ඉලක්කය වන්නේය. මෙම පොදු වෙළෙඳපොළ තර්කනය ඖෂධ නිෂ්පාදනය කරන සමාගමකට මෙන්ම, අවි ආයුධ නිෂ්පාදනය කරන සමාගමකටද එක සේ අදාළය. ඖෂධ සමාගමකට වෙළෙඳපොළක් නිර්මාණය වන අවස්ථාව ඊට අදාළ රෝගය ඇතිවීම හා පැතිරීම වන්නේ යම් සේද, අවි ආයුධ සමාගමකට වෙළෙඳපොළක් නිර්මාණය වන අවස්ථාව වන්නේ යුද්ධය ඇතිවීම හා එය පැවතීමයි. ඒ අනුව ගත් විට ශ්‍රී ලංකාව විදේශීය ආයුධ නිෂ්පාදන සමාගම් සඳහා වෙළෙඳපොළක් බවට පරිවර්තනය කර ගැනීමේ මූල බීජය ඒ වන විට මෙරට දේශපාලන සිතියම තුළ පැවති අතර, අවශ්‍ය වූයේ එම මූල බීජය තමන්ට අවශ්‍ය පරිමාණයේ වෙළෙඳපොළක් බවට පරිවර්තනය කර ගැනීමට අවැසි පූර්ව ක්‍රියා සිදු කිරීමයි. වෙනත් ලෙසකින් කිවහොත් ගිනි පුපුර, ගිනි මැලයක් බවට පරිවර්තනය කර ගැනීමයි.

එය හුදු හදිසියේ කළ හැකි කාර්යයක් නොවන අතර, එහිදී බුද්ධිමය වශයෙන් කළමනාකරණය කළ යුතු පාර්ශ්ව කිහිපයක් පවතී. “ලෝකයේ අවි නිෂ්පාදනය හා වෙළෙදාම ඉතා ප්‍රබල ව්‍යාපාර වේ. ඒවා නැඟී එන ත්‍රස්තවාදී ව්‍යාපාර කල් තබා හඳුනාගනිමින් ඔවුන්ට විවිධ සහයෝග ලබා දෙමින් තම ආයුධ මිල දී ගැනීමට සලස්වයි. අවි ආයුධ නිෂ්පාදන ව්‍යාපාරවල දේශපාලන බුද්ධි අංශ විසින් ත්‍රස්තවාදී සටන් පවා ඇතැම් රටවල ඉපිදවීමට ජාත්‍යන්තර වශයෙන් විවිධ බලවේග ක්‍රියාත්මක කරනු ලැබේ.” (ත්‍රස්තවාදයේ අභියෝගය : දර්ශනය, උපායමාර්ග හා එය පිටු දකින විධි – ඒ.එස්. බාලසූරිය, 1998) මෙබඳු පසුබිමක ලංකාව තුළ ආයුධ වෙළෙඳපොළක් බිහිකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසිය සම්පූර්ණ වී තිබූ අතර, අවශ්‍ය වූයේ එය වෙළෙඳපොළක් බවට වැඩි වර්ධනය කරගැනීමයි.

ඊශ්‍රායල් මොසාඩ් සංවිධානයේ නියෝජිතයකු ලෙස කලක් කටයුතු කළ වික්ටර් ඔස්ට්‍රොව්ස්කිගේ අනාවරණයන් මත ලියැවුණු By Way of Deception : The making and unmaking of a MOSSAD Officer නමැති ග්‍රන්ථයෙන් යුද්ධ හා ආයුධ වෙළෙඳාම සම්බන්ධව ඊශ්‍රායලය හා මොසාඩ් සංවිධානයේ මැදිහත්වීම් පිළිබඳව සුවිශේෂ අනාවරණයක් කෙරුණු අතර, එම ග්‍රන්ථයෙහි ලංකාව සම්බන්ධවද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කෙරිණ. මෙම ග්‍රන්ථයට අනුව මොසාඩ් සංවිධානයේ ඈත පෙරදිග හා අප්‍රිකානු කලාප අංශය භාර සම්බන්ධීකරණ ප්‍රධානියා වූ Amy Yaar ලංකාවට අදාළ සැලසුම්වල තීරණාත්මක භූමිකාව නිරූපණය කර තිබේ. මෙම කලාපයට අයත් රටවල සිටි Amy Yaar ගේ නියෝජිතයින් ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වටිනා අවි ආයුධ ගනුදෙනුවලට මැදිහත් වී තිබෙන අතර, ඔවුන් අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක වී තිබේ. පළමුව එම නියෝජිතයින් අදාළ රටට අවශ්‍ය කුමක්ද, ඒ රට බියක් දක්වන්නේ කුමන පාර්ශ්වවලට හා කටයුතුවලටද සහ අදාළ රට තම සතුරන් ලෙස සලකන්නේ කුමන පාර්ශ්වයක්ද යන්න අනාවරණය කරගනු ලැබේ. එසේ අනාවරණය කරගත් කරුණු අනුව අදාළ රටේ රජය සමග සම්බන්ධතා ඇති කර ගන්නා නියෝජිතයින්, සතුරු පාර්ශ්වය සමග සටන් කිරීම සඳහා එම රජයට ඊශ්‍රායලයේ අවි ආයුධ හා පුහුණුව ලබා දිය හැකි බව දැනුම් දෙනු ලැබේ. මෙම ආයුධ ගනුදෙනුවට අදාළ රටේ නායකයකු සම්බන්ධ වූ විට එම ගනුදෙනුවේ කොටසක් ලෙස ඊශ්‍රායලයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා මෙවලම් ද මිල දී ගත යුතු බවත්, ඊශ්‍රායලය සමග නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගන්නේ නම් මෙම ගනුදෙනු හා සම්බන්ධතා වඩාත් පුළුල් කර ගැනීමට අවස්ථාව උදාවන බවත් මොසාඩ් නියෝජිතයා විසින් එම රටේ රාජ්‍ය නායකයා වෙත දැනුම් දෙනු ලැබේ. ඔස්ට්‍රොව්ස්කිගේ මෙම අනාවරණයට අනුව Amy Yaar විසින් මෙහෙය වන ලද මොසාඩ් නියෝජිතයින් මෙකී කාර්යයන් සියල්ල ශ්‍රී ලංකාව තුළ සිදුකර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා ආගමනය

පසුගිය දශකයේ හතලිස් ගණන්වලදී ඊශ්‍රායලය නමැති රාජ්‍යය බිහිකිරීමෙන් පසු එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීම හා ඒ සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගැනීම අරාබි ලෝකය සහ ඉන්දියාව ඇතුළු පශ්චාත් යටත් විජිත රාජ්‍ය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. නමුත් මෙරට පළමු අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක ඊශ්‍රායලය සමග සම්බන්ධතාවකට මුල පිරුවේ බොහෝ ආසියානු හා අප්‍රිකානු රාජ්‍යයන්ගේ විරෝධය නොසලකා හරිමිනි. සේනානායක අගමැතිවරයාගේ අවධියේදී ලංකා නාවික හමුදාව සිය පළමු ප්‍රහාරක යාත්‍රාව (ගජබාහු 1) ඊශ්‍රායලයෙන් මිල දී ගත්තාය. ඊට අමතරව, මෙවක ඊශ්‍රායල තාක්ෂණික විශේෂඥයින් ශ්‍රී ලංකාවේ උතුරේ වියළි කලාපය තුළ නළ ලිං කැණීම සඳහා සහයෝගය ලබා දී තිබේ. (මේ නළ ලිං කැණීම අනුව ගත්විට 40 දශකයේ අග හා 50 දශකයේ මුල් භාගයේ සිට ඊශ්‍රායලය, මෙරට උතුරේ සමාජය තුළ වැඩ කරන්නට පටන්ගෙන තිබූ බව සිහියේ තබාගෙන සිටීම වැදගත් වනු ඇත.)

නමුත් මෙම ඊශ්‍රායල හා ලංකාව අතර මිත්‍ර සන්ථවය, 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරානායක අගමැතිවරයා පත්වීමත් සමග ආපස්සට ගිය අතර, බටහිරට ප්‍රතිපක්ෂ මතවාදයක සිටි අගමැති බණ්ඩාරනායක මහතා ඊශ්‍රායලයට එරෙහි අරාබි රාජ්‍ය සමග සන්ධානගත වෙමින් සූවස් ඇල සම්බන්ධ කාරණයේදී ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ගේ තීරණය හා ඊජිප්තුවේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටියේය.

ඊළඟට, අගමැති සිරිමා බණ්ඩාරනායක මහත්මිය සිය නොබැඳි ප්‍රතිපත්තිය තුළ හිඳිමින් අරාබි රාජ්‍ය සේම ප්‍රසිද්ධියේම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ අතර, පලස්තීන විමුක්ති සංවිධානය සමග සම්බන්ධතා ස්ථාපිත කර ගත්තාය. කොළඹ ඊශ්‍රායල තානාපතිවරයා වූ Yitzhak Navon, ඊශ්‍රායල රාජ්‍යය සහමුලින් වනසන්නට කුමන්ත්‍රණ කරමින් සිටින අරාබි ත්‍රස්තවාදී සංවිධාන සමග ලංකාව පවත්වන මිත්‍ර සම්බන්ධතා හෙළා දුටුවේය. Navon මෙම ප්‍රකාශය කර තවත් මාස දෙකකට පසු, මැදපෙරදිගට පිටස්තරව ඊශ්‍රායලය නීත්‍යනුකූල තත්ත්වය ඉවත් කිරීම ගැන පලස්තීන විමුක්ති සංවිධානයේ සාර්ථකත්වයේ පැහැදිලි දර්ශකය වූයේ ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ 242 සම්මුතිය උල්ලංඝනය කරන බව අදහස් කරමින් බණ්ඩාරනායක මහත්මිය ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නවතා දැමීමයි. ඇය ගත් තීරණය අරාබි නායකයින් විසින් දැඩිව වර්ණනා කරනු ලැබුවේ එය පලස්තීන ‘විමුක්තිය’ පිණිස ගත් නිර්භීත පියවරක් ලෙසිනි. (Punsara Amarasinghe – The Israeli – Sri Lankan Relationship)

ඊශ්‍රායලය නැවත ලංකාවට සමීප වූයේ 1977 න් ඇරඹුණු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදීය. (ඊශ්‍රායලය නිල වශයෙන් මෙරට සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගත්තේ 1984 වර්ෂයේදීය.) ජයවර්ධන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා ඊශ්‍රායලයේ ජෙරුසලම්හි පිහිටි හෙබ්‍රෙව් සරසවියේ (Hebrew University) නීතිය පිළිබඳ ආචාර්යවරයකු ලෙස කලක් කටයුතු කර තිබූ බව මෙතැනදී වැදගත් කාරණයක් වන්නේ පසුව ඔහු ජයවර්ධන ආණ්ඩුව යටතේ ලංකාවේ පළමු ජාතික ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වූ බැවිනි. එසේම, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුත්‍රයා වූ රවි ජයවර්ධන, ජයවර්ධන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක උපදේශකයා බවට පත් වීමත් සමග මෙරට යුද හා ආරක්ෂක ක්‍රමෝපාය පිළිබඳ විශේෂඥ ඥානය ලබාගන්නා රට බවට පත් වූයේ ද ඊශ්‍රායලයයි. මූලාශ්‍රවලට අනුව, ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක ජනරාල් වර්නන් වෝල්ටර්ස්, ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ නියෝජිතයා ලෙස දෙවරක්ම මෙරටට පැමිණ ඇති අතර, පළමුවර පැමිණ ඊශ්‍රායලය හා ජයවර්ධන ආණ්ඩුව අතර සම්බන්ධය ඇති කර ගිය බව හෙළි වී තිබේ.

වික්ටර් ඔස්ට්‍රොව්ස්කිගේ අනාවරණයන් මත ලියැවුණු By Way of Deception : The making and unmaking of a MOSSAD Officer නමැති ග්‍රන්ථයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව අනාවරණය කළ කාරණා හේතුවෙන් ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් 1990 වසරේදී පත්කරන ලද මොසාඩ් කොමිසමේදී, රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයේ භූමිකාව පිළිබඳව තමන් ලබා දුන් සාක්ෂ්‍යය මර්වින් ද සිල්වා සාරාංශගත කර ඇත්තේ මෙලෙසිනි.

“හමුදාකරණය කළ ආර්ථිකයක් හා සමාජයක් ඊශ්‍රායලය සතුව පවතී. අවි ආයුධ සහ විශේෂඥ ඥානය අලෙවිකිරීම එහි මුදල් උපයන අපනයන කර්මාන්තයකි. ඒ කර්මාන්තය සමෘද්ධිමත් වන්නේ යුද ගැටුම් මත මෙන්ම ඒවා විසඳනු වෙනුවට තව තවත් උත්සන්න කිරීම මතය. … කුමක් වෙතත් ඊශ්‍රායලයේ ආසියානු ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගය වන්නේ ‘ආසියාව පිළිබඳ සිහිනය’ හා ‘ඉන්දියාවට ඇස ගසාගෙන සිටීම’ය. ඊශ්‍රායලය හා බුරුමය අතර ‘රික්තයක්’ පවතී. ඉන්දියාව ඉතා සමීපයෙන් පිහිටි ශ්‍රී ලංකාවට මේ රික්තය පිරවිය හැකි විය.”

මෙබඳු පසුබිමක ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් විට ඊශ්‍රායලය සමග පැවතියේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවක් වුවද, ඊශ්‍රායලයට ශ්‍රී ලංකාව විෂයයෙහි වූයේ තමන්ගේ භූ දේශපාලන මූලෝපායික සිතියම තුළ ස්ථානගත වූ ආසියානු කලාපීය වෙළෙඳපොළක් හා ආර්ථික – දේශපාලන මර්මස්ථානයක් පිළිබඳ ඉලක්කයකි. උතුරේ ප්‍රශ්නය නොඑසේ නම් දෙමළ සටන්කාමී සංවිධානවල බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඊශ්‍රායලයෙන් ජයවර්ධන රජයට යුද හා ආරක්ෂක උපදෙස් ලැබෙන්නේ ඔවුන්ගේ මෙම ‘වෙළෙඳපොළ වුවමනාවට’ සරිලන පරිදි ය.

ජයවර්ධන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වූ ගාමිණී දිසානායකගේ නායකත්වය යටතේ උතුරු පළාතේ සිංහල ජනපද ඇති කිරීමේ ව්‍යාපෘතියක් 80 දශකයේ මුල් කාලයේ දියත් වූ අතර, මේ සඳහා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධනගේ අනුග්‍රහය ලැබී තිබිණ. මෙලෙස උතුරේ සිංහල ජනපද ඇති කිරීම ඇමතිවරයකුගේ හුදු පෞද්ගලික කැමැත්ත මත සිදු වූවක් යැයි සිතිය නොහැකි අතර, මෙය අනාගත ඉලක්කයක් වෙනුවෙන් කළමනාකරණය කරගැනීම සඳහා ඊශ්‍රායලයේ උපදෙස් මත සිදුවූවක් බව හඳුනාගත හැකිය. පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලය විසින් සිය ජනපද ගොඩනඟාගත් ආකාරයට සමාන භාවිතයක් මෙම ජනපද ඇති කිරීම තුළ හඳුනාගත හැකිය.

මෙසේ උතුරේ සිංහල ජනපද ඇති කිරීම, උතුරේ දෙමළ සමාජය වෙත ගෙන ගිය සංඥාව වූයේ දකුණේ සිංහල ආණ්ඩුව බලහත්කාරයෙන් උතුර එනම් තමන්ගේ භූමිය තුළ සිංහලයින් පදිංචි කරවන බවය. මෙතෙක් උතුරු පළාත තුළ, විශේෂයෙන්ම යාපනය තුළ සිංහල ජනතාව ව්‍යාපාර කටයුතු ආදිය කරමින් දෙමළ ජනතාව සමග මිශ්‍රව මනා සහයෝගයෙන් ජීවත් වූ අතර, ඒ තුළ දෙමළ සමාජයට ආගන්තුක යමක් නොදැනිණ. නමුත් මෙලෙස සිංහල ජනපද ඇති කිරීම තුළ දෙමළ සමාජ මනස තුළ නිර්මාණය වූයේ ‘සිංහල විරෝධී’ ආකල්පයකි. මෙහි අනාගත අරමුණ සහිත පුළුල් චිත්‍රය දන්නා ඊශ්‍රායලයට එම ව්‍යාපෘතිය වැදගත් වූයේ වෙනත් අර්ථයකිනි. පසුකාලීනව කොටි ත්‍රස්තවාදීන් සිංහල ජනතාව වෙත ප්‍රහාර එල්ල කිරීමේදී හා සමූල ඝාතන කිරීමේදී පළමු වටයේම ඉලක්ක කරගත්තේ මෙලෙස ගොඩනැඟූ සිංහල ජනපද / සිංහල ගම් වීම එම සැලසුමෙහි ඊශ්‍රායලයීය අරමුණ සඵල වීමය.

1977 න් පසුව ශ්‍රී ලංකාවේ ජයවර්ධන රජය සමග ඇති කරගෙන තිබූ සම්බන්ධතා මත මෙරට තුළ සිය ආරක්ෂක හා යුද සැලසුම් ක්‍රියාත්මක කිරීමේ පුළුල් පසුබිමක් ගොඩනඟාගැනීමට ඊශ්‍රායලය කටයුතු කරමින් තිබූ අතර, එය මතුපිටට පෙනුණු ප්‍රමාණය ඉක්මවා ගිය තියුණු උපාය මාර්ගික මැදිහත්වීමක් බව පසුකාලීන සිදුවීම් ප්‍රති විශ්ලේෂණය කිරීමේදී හඳුනාගත හැකි වේ.

ඉතිරි කොටස පසුවට…

ප්‍රභාත් චින්තක මීගොඩගේ

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව – දෙවන කොටස

(1983 කළු ජූලියේ ඊශ්‍රායල භූමිකාව : දේශපාලන අන්වීක්ෂ පරීක්ෂාවක්)

(25.07.2021 – 07:15 +0530 – lankaleadnews.com)

1983 ජූලි 23/24 : බෙදුම් රේඛාව නිර්මාණය කිරීම

1983 ජූලි 23 වන දා ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 13 දෙනකු කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් මරුමුවට පත් වීමෙන් පසු, ජයවර්ධන ආණ්ඩුව ගත් තීරණයට සමාන්තරව කළු ජූලිය ඇරඹුණු බව ප්‍රසිද්ධ රහස වේ. මේ සිදුවීම් සම්බන්ධව ජයවර්ධන ආණ්ඩුවේ ගාමිණී දිසානායක හා සිරිල් මැතිව් යන මැති ඇමතිවරුන්ගේ ඉහළ දායකත්වයක් ලැබී තිබූ බවද ප්‍රසිද්ධ රහසක් වේ. නමුත් මේ සමයට අදාළ එක් සුවිශේෂ අප්‍රකට රහසක් ඇති අතර, එය නම් 1990 වසරේදී පත් කෙරුණු ‘මොසාඩ් කොමිසම’ හමුවට කැඳවුණු ජයවර්ධන යුගයේ කටයුතු කළ මැති ඇමතිවරුන්ට හා නිලධාරීන්ට පිළිතුරු දීමට හැකියාවක් නොවූ එක් පැනයක් තිබූ බවයි. ඒ, 1983 ජූලි 14 වැනි දා ලංකාවට පැමිණ අගෝස්තු 06 දින දක්වා මෙරට රැඳී සිටි ඊශ්‍රායල නියෝජිත පිරිස මෙරටට පැමිණි අරමුණ කුමක්දැයි නිශ්චිතව කියන්නට සමත් නොවීමයි. මෙම ඊශ්‍රායල නියෝජිත කණ්ඩායම මෙරට රැඳී හුන් වකවානුව හා ජූලි මස ජයවර්ධන ආණ්ඩුව ආරක්ෂාව විෂයයෙහි ගත් තීරණ හා සිදුවීම් සමග මනාව සමපාත වේ.

1983 ජූලි 24 වැනි දා ඇරඹුණේ මෙරට ඉතිහාසය තුළ අන් කවරදාකවත් නොවූ අන්දමේ පූර්ව සැලසුම්සහිත හා තිරශ්චීන ජන සංහාරයකි. එම්.ආර්. නාරායන් ස්වාමි සිය Inside an Elusive Mind : Prabhakaran කෘතියෙහි මෙසේ සඳහන් කරයි.

“ජූලි 24 වැනි දා සන්ධ්‍යාවේ කොළඹ නගරය මධ්‍යයේ පිහිටි සුසාන භූමියක් අසල ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රදේශයක් ග්‍රහණයට හසුකර ගැනුණු කලබලවලට ප්‍රථම වරට මුල පිරෙනු දැක ගත හැකි විය. සුසාන භූමිය පිහිටා තිබුනේ ජනාධිපති ජයවර්ධනගේ නිවසින් එතරම් දුරින් නොවේ. මිය ගිය සොල්දාදුවන්ගේ මළ සිරුරු මිහිදන් කිරීමට බලධාරීන් මුලින් තීරණය කර තිබුනේ මෙහිය. මිය ගියවුන්ගේ පවුලේ සාමාජිකයෝ රටේ වෙනත් ප්‍රදේශවලින් ඒ වන විටත් අවමඟුල සිදු කෙරෙන ස්ථානය කරා ළඟා වී සිටියහ.

සෙනග වැඩි වන්නට පටන් ගැනීමත් සමග ආරම්භයේ හැඟීම් මැඬ පවත්වාගෙන සිටි පිරිසගේ මනෝගතීන්ද වෙනස් වන්නට පටන් ගති. විනය කඩ කිරීම නිසා සේවයෙන් නෙරපා දමා තිබූ හමුදා සෙබළු කණ්ඩායමක් මිය ගිය සොල්දාදුවන් වෙනුවෙන් පළිය ගන්නා බව පවසමින් මොර දුන්හ. කෝපයට පත් වාමාංශිකයින් කණ්ඩායමක් පැතිර යමින් තිබූ කෝපාග්නියට ආණ්ඩු විරෝධී ව්‍යාජ අර්ථකථනයක් ලබා දීමට වෑයම් කළ ද එය අසාර්ථක විය. කළුවර වැටෙත්ම පාලක පක්ෂයේ නායකයින් විසින් මෙහෙයවනු ලැබූ සැහැසි කල්ලි ගොරහැඩි දෙමළ විරෝධී සටන් පාඨ මොර දෙන්නට වූහ.

එදින රාත්‍රියේ තන්හි තන්හි ප්‍රචණ්ඩ ක්‍රියා පැන නැඟිණි. සිංහල සැහැසි කල්ලිවල ප්‍රථම ගොදුරු වූයේ අවාසනාවන්ත ලෙස ඒ මොහොතේ ඒ ස්ථානය පසු කර යාමට සිදුව තිබූ අහිංසක දෙමළ ජාතිකයින්ය. ප්‍රදේශ ගණනාවක දෙමළ කඩ සාප්පු කොල්ල කනු ලැබ ගිනි තැබිණි. කලබලකාරී තත්ත්වයක පැහැදිලි සලකුණු තිබියදීත් ඇඳිරි නීතිය පනවනු නොලැබීය. ජනාධිපති ජයවර්ධනගේ නිවසේ සිට කඩ සාප්පු ගිනි ගෙන දැවෙනු දැක ගත හැකි විය. එක් දෙයක් සිදු විය. කලින් දිනයේ පිරිස් පාලනය කිරීමට උත්සාහ දරමින් වීදිවල සිටිනු දක්නා ලද පොලිස් නිලධාරීහු පැහැදිලිවම අතුරුදන් වී සිටියහ.”

නාරායන් ස්වාමි තවදුරටත් ජූලි සිදුවීම් මෙසේ විස්තර කරයි.

“අනතුරුව එක් වරම කොල්ලකාරී සන්නද්ධ සැහැසි කල්ලි විසින් කොළඹ නගරය සිය පාලනය යටතට පත් කර ගන්නා ලදී. ඒ වන තෙක්ම තැනෙක සාප්පුවක්ද තවත් තැනෙක මහ මඟ යමින් තිබූ වාහනයක්ද ඉලක්ක කර ගනිමින් හුදෙකලාව සිදු කෙරෙමින් තිබූ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිහිත ප්‍රචණ්ඩත්වයක් බවට පරිවර්තනය විය. අලවංගු, පොරෝ, උදලු, පිහියා මෙන්ම පෙට්‍රල් හා ඩීසල් පිරවූ භාජනවලින් ද සන්නද්ධ වූ සැහැසි කල්ලි දෙමළ ජාතිකයින්ගේ නිවාස හඳුනා ගැනීම සඳහා ඡන්ද ලැයිස්තු කියවමින් නගරය පුරා සැරිසරන්නට පටන් ගත්හ.

සැහැසි කල්ලි දක්නට දුර්ලභ අන්දමේ ක්‍රෑරත්වයකින් යුතුව අහිංසක දෙමළ ජාතික පිරිමින්ට, ගැහැනුන්ට හා ළමයින්ට පහර දීමත් සමග අනපේක්ෂිත හෙණයක් පතිත වූවාක් මෙන් හිටිවනම නගරය රුධිරයෙන් තෙත්ව ගියේය. මීට පෙර 1956, 1958, 1977 හා 1981 යන වර්ෂවල දෙමළ ජාතිකයින්ට එරෙහිව සංවිහිත ප්‍රහාර එල්ල කෙරිණි. එහෙත් ඒ එකදු ප්‍රහාරයක් වත් 1983 ජූලි මාසයේ සිදු වූ සිද්ධීන්ගේ මට්ටමට යන්තමින් හෝ සමීප නොවීය. එය රටේ ප්‍රධාන සුළුතර ජනවර්ගය සැබැවින්ම විනාශ කර දැමීමේ ක්‍රමානුකූල ප්‍රයත්නයක් ලෙස ක්‍රියාවට නැඟුණු රාජ්‍යයේ අනුග්‍රහ ලද මහා ජන සංහාරයක් විය. ජයවර්ධනගේ කැබිනට් මණ්ඩලයේ සිටි අතිශයින්ම ස්වෝත්තමවාදී සිංහල ඇමතිවරුන් විසින් අධීක්ෂණය කරන ලදුව පොලීසියෙන් එල්ල වන කිසිදු උපද්‍රවයකින් තොරව සන්නද්ධ සැහැසි කල්ලි දෙමළ ජාතිකයින්ගේ නිවාස තෝරාගෙන ඒවාට පෙට්‍රල් බෝම්බ එල්ල කළහ.” (‘ප්‍රභාකරන් – දුරවබෝධ මනසක ඇතුළාන්තය’, එම්.ආර්. නාරායන් ස්වාමි – පරිවර්තනය, සේපාල විජේසේකර, විජිත යාපා ප්‍රකාශන)

‘අරමුණක් නැති’ ඊශ්‍රායල නියෝජිත පිරිස මෙරට රැඳී සිටි කාලය හා කළු ජූලි සිදුවීම් ඇරඹී පැවතුණු කාල සීමාව මනාව සමපාත වීම අහම්බයක් යැයි, අන්තර්ජාතික වශයෙන් ඊශ්‍රායලයේ පූර්ව මැදිහත්වීම් හා මෙහෙයුම් සම්බන්ධ අවබෝධයක් තුළ කිසි විටෙක විශ්වාස කළ නොහැකිය. එසේම ඒ වන විටත් ඊශ්‍රායලය මෙරට රජයට යුද හා ආරක්ෂක උපදෙස් ලබා දෙමින් සිටි යථාර්ථයක මෙම සිදුවීම් අහඹු පැන නැඟීමක් ලෙස හඳුනාගැනීමට පදනමක් නොමැත. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමීපතමයින් දෙදෙනකු වූ ගාමිණී දිසානායක හා සිරිල් මැතිව් යන දෙදෙනා දෙමළ ජනතාවට එරෙහි කලකෝළාහලවල ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ක්‍රියාකිරීම ජයවර්ධන ජනාධිපතිවරයා හා ඔහුගේ යුද හා ආරක්ෂක කවයට සම්බන්ධ සෙසු අය නොදැනුම්වත්ව සිදු වූ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකිය. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිය වන ‘ජාතික සේවක සංගමයේ සාමාජිකයින්’මෙම සංහාරයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කිරීම කිසිසේත්ම අහම්බයක් වන්නේ නැත. දෙමළ ජනතාවට එරෙහි කෝලාහල මැඩපැවැත්වීමට පොලීසිය හා හමුදාව යෙදවීමට රජය කටයුතු නොකිරීම හා ඇතැම් ස්ථානවල දෙමළ ජනතාවට කළ ප්‍රහාරවලට හමුදා හා පොලිස් නිලධාරීන් සම්බන්ධ වීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පෞද්ගලික කැමැත්ත – අකැමැත්ත මත තීරණය වූවක් හෝ සිදු වූවක් හෝ යැයි විශ්වාස කළ නොහැකිය. එපමණක් නොව, මෙරට එක්සත් ජනපද හා යුරෝපා රටවලට අදාළ තානාපති කාර්යාලවල දොරකඩ සිදුවුණු මෙම මානව විරෝධී ක්‍රියාදාමය වැළැක්වීමට ඒ රටවල් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකිරීම, ඔවුන්ගේ කාර්යභාරය අමතක වීමෙන් සිදුවූ දෙයක් යැයි විශ්වාස කළ නොහැකිය. එවකට ජයවර්ධන රජය සිය සුවිශේෂ තීන්දු තීරණ එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගේ උපදෙස් හා දැනුම්වත්භාවය මත ගනිද්දී මෙම කැරලි කෝලාහල පමණක් ‘ඉබේ පැන නැඟී – ඉබේ පැතිර යාමට ඇති’ දේශපාලන අවකාශය අප තේරුම් ගත යුත්තේ කෙසේද?

මේ සිදුවීම් මෙසේ සිදුවෙද්දී, නියමිත තිර පිටපතට අනුව ක්‍රියාකරමින් එක්සත් ජනපද හා බටහිර රාජ්‍ය තාන්ත්‍රික පාර්ශ්ව මෙම ගැටුම් වැළැක්වීමට ‘මැදිහත් නොවෙත්දී’ ලංකාව තුළ සිටි අන්තර්ජාතික ජනමාධ්‍ය නියෝජිතයින් සිය කාර්යභාරය මැනවින් ඉටුකරමින් සිටි ආකාරය, මෙම වාර්තාවලින් පෙනේ.

1983 ජූලි 21 වන දා බ්‍රිතාන්‍යයේ The Times පුවත්පත ශ්‍රී ලංකාව සම්බන්ධව මෙසේ වාර්තා කරයි.

“ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, අත්‍යවශ්‍ය සැපයුම්, කැරලි සඳහා පෙළඹවීම, කැරලි කෝලාහළ හෝ සිවිල් කලබල සඳහා පෙළඹවීම් ගැන සියලුම ප්‍රවෘත්ති මත දේශීය හා විදේශීය වශයෙන් බලපැවැත්වෙන පුවත්පත්කලා වාරණයක් පැනවීමට රජය ඊයේ කටයුතු කළාය.”

1983 ජූලි 26 වන දා බ්‍රිතාන්‍යයේ Daily Telegraph පුවත්පත වාර්තා කරන්නේ මෙලෙසිනි.

“මෝටර් රථ පදවන්නන් ඔවුන්ගේ මෝටර් රථවලින් පිටතට ඇදගෙන ආවේ ඔවුන්ට ගල් හා පොලුවලින් පහර දීමටය. අනෙක් අය පිහි සහ පොරෝවලින් කපා දැමිණි. තරුණ සිංහල කළහකාරීන් දෙමළ ජාතික සුලුතරය වෙන් කර ගැනීම සඳහා නිවාස කඩ සාප්පු කොල්ලකමින් සහ ඒවාට ගිනි තබමින් වීදි හරහා කලබලයෙන් දිව ගියහ. එක් කළහකාරයකු කොළඹ ඇස් රෝහල අසලින් ගිය දෙමළ පාපැදිකරුවකුට පහර දුන්නේය. පාපැදිකරුවා සිය පාපැදියෙන් බිමට ඇද දමා පෙට්‍රල් පොඟවා ඔහුට ගිනි තබන්නට සැරසිණ. ඔහු භීතියෙන් කෑ ගසමින් වීදියේ දිව යද්දී ඔහු නැවත අල්ලාගත් කළහකාරීහු ඔහු බිම පෙරළාගෙන කැළෑ පිහිවලින් කපා දැමූහ.”

මේ, 1983 ජූලි 27 වන දා The Times පුවත්පතේ වාර්තාවයි.

“කලබල ආරම්භ වූ පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවේ උතුරෙහි, යාපනයට ආසන්නයේ බස් නැවතුමක සිටි නව යොවුන් දැරියන් තිදෙනකු සොල්දාදුවන් විසින් පැහැරගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධව මෙහි බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ ජාතිකයින් 25,000 ක් පමණ චෝදනා කළහ. පසුව එක් දැරියක සිය දිවි නසාගෙන ඇති බව කියැවුණි. එසේම ඔවුහු එම ස්ථානයේම පොලිස් හා හමුදා කණ්ඩායමක් විසින් පාසල් ශිෂ්‍යයින් හය දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති තවත් දාමරිකකමක් පිළිබඳව චෝදනා කරති. දෙමළ ගරිල්ලන් විසින් සෙනසුරාදා ශ්‍රී ලංකා හමුදා වාහනයකට පහර දී සොල්දාදුවන් 13 දෙනකු මිය ගිය අවස්ථාවට පළිගැනීමක් ලෙස ඉහත සිදුවීම් සිදුවන බවට ඔවුහු චෝදනා කරති.”

1983 ජූලි 27 වන දා The Times පුවත්පතේ මෙලෙස නැවත වාර්තා කරයි.

“වර්තමාන හිරිහැරවලට වැඩි වශයෙන් යොමු වී සිටින්නේ සිංහලයින්ගේ තාඩන පීඩනවලට ලක් වී ඇතැයි හැඟෙන හොඳින් උගත්, ප්‍රබල ලංකා දෙමළ සුලුතරයයි. ඔවුන්ට උතුරේ ඇත්තේ අඩු කර්මාන්ත අවස්ථාවීම පමණක් නොව විශ්ව විද්‍යාලයට තෝරාගැනීමේ ජයග්‍රහණවලදී දෙමළ ශිෂ්‍යයින්ට වෙනස් ලෙස සලකා ඇත. ඔවුන් සුලුතරය වූවාට බ්‍රිතාන්‍ය පාලනය යටතේ අවුරුදු ගණනක් පුරා දෙමළුන් ව්‍යාපාර සහ පරිපාලනයේ ඉහළ රැකියා දැරූ අතර, සිංහල පාලනය යටතේ ඔවුන්ට නැති වී ඇත්තේද එම රැකියායි. ඒ අනුව වර්තමාන ප්‍රචණ්ඩත්වයට හේතුව විය යුත්තේ බෙදුණු ආර්ථික කොන්දේසි තුළය.”

1983 ජූලි 28 වන දා The Times පුවත්පතේ මෙලෙස සඳහන් කරයි.

“ඊයේ කොළඹ නගරය පුරාම සිය ගණන් වෙළෙඳසැල්, කාර්යාල, ගබඩා සහ නිවාස වෙතින් දුම් නැඟිණි. දෙමළ ජාතිකයකු සන්තක හෝ ජීවත්වන ඕනෑම ව්‍යාපාරයක්, ඕනෑම නිවසක් දාමරික කණ්ඩායම්වල ප්‍රහාරයට ලක් ව තිබේ.

රජයේ නිලධාරීන් ඊයේ ඇස්තමේන්තු කළේ නගරය තුළ ව්‍යාපාර 20,000 ක් ප්‍රහාරයට ලක්ව ඇති බව සහ කැරලි කෝලාහල හා කොල්ලකෑම්වල සංවිධානාත්මක හා සැලසුම්කළ ආකාරයක් ඇති බවයි. බ්‍රිතාන්‍යය තමන්ගේ තිබුණු කොලනියට නිදහස ලබා දීමට ප්‍රමාද වූ ප්‍රධාන හේතුවක් වන්නේ බහුතරය, දෙමළ සුළුතරය භය ගන්වා පාලනය කරනු ඇතැයි යන බිය නිසාය. නමුත් බහුතර සිංහලයින්ට දැනෙන්නේ ඔවුන්ට තර්ජනයක් එල්ල වන්නේ ඉන්දියාවේ මිලියන 40 ක් වූ දෙමළ ජනතාවගෙන් බවයි.”

ලෝක සිතියම තුළ ‘ශ්‍රී ලංකාව’ යනුවෙන් රටක් ඇති බවට ඇතැම් රටවල ජනතාව පළමු වරට දැනගත්තේ මෙම අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා මගින් විය හැකිය. ඒ ද යහපත් ප්‍රතිරූපයක් සහිතව නොව, රටේ සුලු ජාතිකත්වයක් ඝාතනය කරන තිරශ්චීන ජාතියක් වෙසෙන රටක් ලෙසිනි. ඇත්තෙන්ම, මේ සම්බන්ධ විශාල චිත්‍රය තුළ සිටි සැලසුම්කරුවන්ට අවශ්‍ය වූයේද ලෝකය තුළ එබඳු ප්‍රතිරූපයක් ශ්‍රී ලංකාව විෂයෙහි නිර්මාණය කිරීමයි.

ජූලි ප්‍රහාර මගින් එතෙක් රට පුරා ව්‍යාප්තව සිටි දෙමළ ජනතාව යාපනය කේන්ද්‍ර කොටගත් උතුරු ප්‍රදේශය වෙත සංකේන්ද්‍රණය කෙරුණු අතර, ඊට සමාන්තරව උතුරේ සිටි සිංහල ජනතාවට පහර දී දකුණ වෙත පළවා හැරීමට කටයුතු කෙරිණ.

දෙමළ ජනතාව ඉලක්ක කරගෙන සිදු කෙරුණු මෙම ම්ලේච්ඡ සංහාරය කිසිසේත්ම සමස්ත සිංහල ජාතිකත්වයේ ප්‍රකාශනය නොවූ නමුත් මෙම සිදුවීම අන්තර්ජාතික තලයේ නිර්මාණය කරන ලද්දේ එය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහි සමස්ත සිංහල ජනතාවගේ ප්‍රකාශනය ලෙසිනි. මෙම මෙහෙයුම පිටුපස සිටි සැලසුම්කරුවන්ට එම චිත්‍රය අන්තර්ජාතික තලයේ ගොඩනැඟීම අවශ්‍ය වූයේ තමන්ගේ මහා සැලැස්මේ ඊළඟ අදියර සාර්ථක වීම සඳහා එම ජාත්‍යන්තර මතවාදය හා මනෝභාවය අත්‍යවශ්‍ය බැවිනි. මෙම දැවැන්ත සංහාරය දෙස සියුම්ව බැලීමේදී ඒ තුළ සැඟවුණු අනන්‍යතා ලකුණ එනම් ‘ඊශ්‍රායල ලකුණ’ හඳුනාගත හැකිය. ඒ, ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ට පහර දී පලවා හැර ඔවුන්ගේ දේපළ හා භූමිය අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමයට සමපාත වන ක්‍රියාදාමයක් 1983 ජූලි ලංකාවේ සිදුවීම් තුළ පැවතීමයි.

එතෙක් සිංහල – දෙමළ වශයෙන් බෙදුම් රේඛාව අපැහැදිලිව, බොඳවි තිබූ මෙරට ජාතික ගැටලුව, ජූලි සංහාරයෙන් පසු පැහැදිලි බෙදුම් රේඛාවක් සහිතව ‘දෙමළ හින්දු උතුර – සිංහල බෞද්ධ දකුණ’ ලෙස ඛණ්ඩනය විණි. විශේෂයෙන්ම මෙම හැඳින්වීම අන්තර්ජාතික මාධ්‍ය අවකාශය තුළ ප්‍රබල ලෙස මතුකෙරුණු අතර, ‘දකුණේ සිංහල ආණ්ඩුව’ යන වචනය අන්තර්ජාතික ජනමාධ්‍ය සංදේශ අතරට පැමිණියේද මෙකලය

ප්‍රභාත් චින්තක මීගොඩගේ

ඉතිරි කොටස පසුවට…

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව – 3 වන (අවසාන) කොටස

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *