‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු පිරිසට පැය 72 ක රැඳවුම් නියෝග

‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු පිරිසට පැය 72 ක රැඳවුම් නියෝග


‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු පිරිසට පැය 72 ක රැඳවුම් නියෝග

(16.10.2025 – hirunews.lk)

‘ඉෂාරා සෙව්වන්දි’ සහ අනෙකුත් සැකකරුවන් 5 දෙනා පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබී තිබෙනවා.

නේපාලයේදී අත්අඩංගුවට ගත් ‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු හය දෙනා (6) ඊයේ (15) පස්වරුවේ දිවයිනට රැගෙන ආවා.

ඇය ඇතුළු 06 දෙනා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ඹඛ 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර මෙරටට රැගෙන ආවේ ඊයේ (15) පස්වරු 06:54 පමණයි.

එහිදී ඇය ‘ඉෂාරා සෙව්වන්දි’ ලෙස යළිත් තහවුරු කරගෙන තිබුණේ කටුනායක ගුවන්තොටුපලේ සවිකර ඇති මුහුණු හදුනාගැනීමේ තාක්ෂණික යන්ත්‍රය ඔස්සේයි.

මේ අතර, ඉෂාරා සෙව්වන්දි ඇතුලු හතර දෙනෙකු (4) විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති අතර අනෙත් දෙදෙනා (2) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ෴

+++

‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ගිනිඅවිය දුන්නේ මෙහෙමයි

(16.10.2025 – hirunews.lk)

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු 6 දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා අද (16) දිනයේ රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් සදහන් කළේ.

මෙහිදී ‘ඉෂාරා සෙව්වන්දි’ නැමැත්තිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතත් සෙසු පුද්ගලයින් ගංගොඩවිල ඇතුලු අධිකරණ වෙතත් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමට ද අපේක්ෂිතයි.

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා (6) සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු හය දෙනා (6) ඊයේ (15) පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට රැගෙන ආවා.

මෙලෙස දිවයිනට රැගෙන ආවේ ‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ මහ මොළකාරිය ලෙස සැලකෙන ‘ඉෂාරා සෙව්වන්දි’, එම ඝාතනයෙන් පසු ඇයට මෙරටින් පළා යෑමට සහාය දැක්වු ‘ජැෆ්නා සුරේෂ්’, ‘ජේ.කේ. බායි’ සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ අපරාධ ජාලායට සම්බන්ධ ‘ගම්පහ බබා’, ‘නුගේගොඩ බබී’ සහ ‘තක්ෂි’ යන හය (6) දෙනායි.

දැඩි ආරක්ෂාවක් යටතේ ගුවන් තොටුපලින් පිටතට රැගෙන ආ ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් විමර්ශන කොට්ඨාස තුනක් (3) වෙත යොමු කිරීමට පියවර ගැනුණා.

එහිදී ‘ඉෂාරා සෙව්වන්දි’, ‘තක්ෂි’, ‘ජැෆ්නා සුරේෂ්’ සහ ‘ජේ.කේ. බායි’ යන අය වැඩිදුර විමර්ශන සඳහා යොමු කෙරුණේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතයි.

එසේම ‘නුගේගොඩ බබී’ නමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙතත් ‘ගම්පහ බබා’ නමැත්තා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතත් යොමු කෙරුණා.

අත්අඩංගුවට ගත් ‘ජේ.කේ. බායි’ සහ ‘ජැෆ්නා සුරේෂ්’ නැමැත්තා, ‘ගනේමුල්ල සංජීව ඝාතනයෙන්’ පසු ‘ඉෂාරා සෙව්වන්දි’ට මෙරටින් පළායෑමට සහාය දැක්වු අය වන අතර, ඔවුන් ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ අපරාධ ජාලයට සම්බන්ධ බව ද පොලිසිය සඳහන් කළා.

‘ජේ.කේ. බායි’ නමැත්තා මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පිටමං කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධානතම සැකකරුවෙකු වනවා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ‘නුගේගොඩ බබී’ නැමැත්තා ද මනුෂ්‍ය ඝාතනයට සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

2019 වසරේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකින් අනතුරුව ඩුබායි බලා පළා ගොස් සිටි ඔහු 2024 වසරේදි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අයෙකු වන බවට ද අනාවරණය වනවා.

ඔහු ලඟ තිබි මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන තිබු අතර, අදාළ නඩු විභාගවලින් අනතුරුව පසුගිය මැයි මාසයේදී ඔහු මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් දුම්රියෙන් නේපාලයට ගොස් ඇති බවටද හෙළි වුණා.

‘ගම්පහ බාබා’ නමැත්තාද ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධ අයෙකු බවට හඳුනාගෙන ඇති අතර, වීරගුල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට සහ ‘ගම්පහ ඔස්මන්’ ඝාතන සැලැස්මට ද සම්බන්ධ බවට‍යි හඳුනාගෙන ඇත්තේ.

ඔහුද පසුගිය අගෝස්තු මාසයේදී මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් එතැන් සිට දුම්රියෙන් නේපාලයට පලා ගොස් තිබු අතර, මෙම අපරාධකරුවන් සියලු‍ දෙනාට මෙරටින් පළා යෑමට සහාය දක්වා තිබුණේ ‘ජේ.කේ. බායි’ නැමැත්තායි.

ඒ වෙනුවෙන් රුපියල් කෝටියකට (1) අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මොහු ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් ලබා දී ඇති බව ද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු මෙම සැකකරුවන් හයදෙනා (6) නේපාලයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලු‍ගල ගේ ප්‍රධානත්වයෙන් නේපාලයට ගිය කණ්ඩායමක් එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගත් ‘ඉෂාරා සෙව්වන්දි’, ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කළ දිනයේදී අධිකරණ භූමියේ සිදුවු සිදුවීමක් සම්බන්ධයෙන්ද පොලිසිය හමුවේ පවසා තිබුණා.

එහිදි ඇය පවසා ඇත්තේ තමා නීතිඥවරියක් ලෙස සැරසී එදින උසාවියට ගොස් ‘ගනේමුල්ල සංජීව’ රැගෙන එන තෙක් නීතිඥයින් වෙනුවෙන් වෙන් කර තිබු විවේකාගාරයේ රැදී සිටි බවයි.

එම අවස්ථාවේදී එහි පැමිණි කාන්තාවක් නඩුවකට පෙනී සිටින ලෙස තමාගෙන් ඉල්ලූ බවද ඇය පවසා තිබුණා.

මේ අතර ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය සදහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් තුල සඟවා රැගෙන ආ ගිනි අවිය වෙඩිකක්රු වූ ‘සමිදු’ නැමැත්තාට ‘ඉෂාරා සෙව්වන්දි’ විසින් ලබා දී ඇත්තේ අධිකරණ භූමියේ පඩිපෙළක් මතදී බව අනාවරණය වී තිබෙනවා.

ගිනි අවිය ඉනේ ගසා ගත් සමිදු, ඉෂාරා සෙව්වන්දි සමග අධිකරණ ශාලාවට ගොස් නීතීඥවරුන් අසුන් ගන්නා ස්ථානයේ වාඩි වී තිබෙනවා.

‘ගනේමුල්ල සංජීව’ විත්ති කූඩුවට නැගි අවස්ථාවේ දී වෙඩිකකරු විසින් වෙඩි තබා ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම (2) ‘සංජීවට වෙඩි තබනවා’ යැයි කෑ ගසමින් අධිකරණ භූමියෙන් පිටතට දිව ඇති බවයි ‘ඉෂාරා සෙව්වන්දි’ විමර්ශන නිළධාරීන්ට පවසා ඇත්තේ ෴

+++

‘ඉෂාරා සෙව්වන්දි’ රටින් පැන්නේ පුංචි ඡන්දය අස්සේ – ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයෙන් පසු මාස තුනක් (3) මෙරටේ ඉඳලා

(16.10.2025 – hirunews.lk)

‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ එම ඝාතනයෙන් පසු මෙරටින් පලා ගොස් තිබුණේ ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති මැයි මාසයේදී බව විමර්ශකයින් හෙළි කරගෙන තිබෙනවා.

මැතිවරණ උණුසුමත් සමඟ කාර්යබහුල වූ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමුවූ අවස්ථාවක ඇය මෙලෙස ඉන්දියාවට පලා ගොස් තිබූ බව ද වාර්තා වෙනවා.

මේ වන විට ‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු සැකකරුවන් 06 දෙනකු පොලිසියේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුවන අතර මෙම කරුණු එහිදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරනවා.

අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට ගිනි අවිය අධිකරණයට රැගෙන ගොස් තිබුණේ ඇය බව මෙම විමර්ශනවලින් අනාවරණය වී තිබුණා.

‍පොලිසිය අනාවරණය කරගත් ‍තොරතුරු අනුව මෙම ඝාතනය මෙහෙයවා තිබුණේ ඒ වන විට විදෙස්ගතව සිටි පාතාල අපරාධකරුවන් වූ ‘කෙ‍හෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සලින්ද’ නමැති අය විසින්.

ඝාතනය වූ දිනම වෙඩික්කරු සමඟ ‘ඉෂාරා සෙව්වන්දි’ ද ඉන්දියාවට පලා යෑමට සැළසුම් සකස් වී තිබුණ ද වෙඩික්කරු පුත්තලම පාලවියේදී පොලිස් විශේෂ කාර්ය බලකායට හසුවීමත් සමඟ ඔවුන්ගේ සියළු සැළසුම් ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

පසුව, ‘ඉෂාරා’ මාස තුනක (3) කාලයක් මෙරට තැනින් තැන සැඟව ජීවත්ව සිට තිබුණා.

මතුගම, මාතර, වව්නියාව වැනි ප්‍රදේශවල මාස තුනක (3) කාලයක් මෙසේ සැඟව සිටි ඇය, යාපනයට ගොස් ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලා යන්නේ ‘ජේ.කේ. බායි’ නමැත්තා සමග බවට මේ වන විට කරන ලද විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

මේ සදහා ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘ජේ.කේ. බායි’ නමැත්තාට රුපියල් කෝටියක (1,00,00,000) මත්කුඩු ලබාදී ඇති බව ද විමර්ශනයේදී හෙළිව තිබුණා.

ඉන්දියාවේ මසක (1) පමණ කාලයක් සිට ඇති ඇය ඉන්දියානු කාන්තාවක ලෙසින් නේපාලයට රැගෙන යන්නේ ඉන්දියාවේ මිනිස් ඡාවාරම්කරුවන් පිරිසක් විසින් බවටද මෙහිදී හෙළිව තිබුණා. ඒ ඉකුත් ජුනි මාසයේ දිනකයි. දින හය හතක් (6-7) දුම්රියේත් බස් රථවල මෙන්ම කුලී රථවලත් ඇය නේපාලයට යන තෙක් ගමන් කර තිබුණා.

ඉන්දියානු තැරැව්කරුවන් ඇයව නේපාලයට ඇතුළු කරන්නේ දේශ සීමා පන්නාගෙනයි. ඇයව නේපාලයේදී භාරගැනීමට එහි සිටින තරැව්කරුවන් කිහිප දෙනෙකු ද පැමිණ තිබෙන බවට වාර්තා වෙනවා. ඇය ඉකුත් දා අත්අඩංගුවට ගන්නා තෙක්ම නේපාලයේ රැඳී සිට ඇත්තේ ඉන්දියානු කාන්තාවක ලෙසින් බව කියැවෙයි.

ඇයට ඒහි ජීවත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් සියල්ලක්ම සපයා ඇත්තේ ඒ වන විට ඩුබායි හී රැඳී සිටි ‘ජේ.කේ. බායි’ නමැත්තා විසින් බවත්, ඔහු ඩුබායි සිට නේපාලයට පවා නිතර නිතර පැමිණ ‘සෙව්වන්දි’ගේ සැප දුක් සොයා බලා ඇති බවද වාර්තා වෙනවා ෴

+++

තමිලිනී වෙසින් සෙව්වන්දි මතුගමින් නේපාලයට පැන්න හැටි – සෙව්වන්දිව කුදලන් එන ඡායාරූප පෙළකුත් එළියට (16.10.2025)

+


රඳවාගත් වාහන කොන්දේසිවලට යටත්ව මුදා හරින්න රේගුව එකඟ වෙයි

(16.10.2025 – hirunews.lk)

මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 ක් පමණ අද (16) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවීම සිදුවුණා.

එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින මෙම නඩුකරවලට පාදකවන වාහන ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරීමට හැකියාව තිබෙන බව දැනුම් දුන්නා.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව අදාළ වාහන ලියාපදිංචි කිරීමට අවසර හිමි වන බවත් අතිරේක සොලිසිටර් සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ගෙන්වන ලද වාහන අතීතයේදී ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හැර තිබෙන බවත් රේගුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා.

එසේ මුදාහල වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

මෙම වාහන මුදාගැනීමේදී ආනයනකරුවන් විසින් ගෙවිය යුතු සියයට 35 ක අධිභාරය මෙම නඩුකරයෙන් පෙත්සම්කරුවන් සාර්ථක වුවහොත් යළි අයකර ගැනීමට හැකියාව තිබිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා තර්ක කළා.

මෙහිදී තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකර සමථයට පත්කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා ඉදිරි දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන 22 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *