තංගල්ලේ මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල ‘දෙහිබාලේ’ නම් අපරාධකරුගේ බව හෙළිවෙයි

තංගල්ලේ මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල ‘දෙහිබාලේ’ නම් අපරාධකරුගේ බව හෙළිවෙයි


තංගල්ලේ මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල ‘දෙහිබාලේ’ නම් අපරාධකරුගේ බව හෙළිවෙයි

(16.10.2025 – 20:16 +0530 – sinhala.adaderana.lk)

තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන ‘දෙහිබාලේ’ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5 දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.

ඔවුන් අවුරුදු 24 ත් 56 ත් අතර වයස්වල පසුවන දෙවුන්දර, දෙවිනුවර, සුල්තානාගොඩ සහ ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සතුව තිබී ‘අයිස්’ ග්‍රෑම් 19කට අධික ප්‍රමාණයක්, අශ්වබල 40 බෝට්ටුවක්, මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකතන 05 ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පාර්සල් 51 ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 840 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් පෙරේදා (15) රාත්‍රියේ සිය භාරයට ගනු ලැබීය.

ඒ අතරට කිලෝග්‍රෑම් 670 කට අධික ‘අයිස්’, කිලෝග්‍රෑම් 12 කට අධික ‘හෑෂ්’ සහ කිලෝග්‍රෑම් 156 කට අධික හෙරොයින් අයත් වේ.

මේ අතර මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) ඉදිරිපත් කළේය.

මෙම උර තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියෝග ලබා දෙන්නැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා අවසර ලබාදී තිබේ.

එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය වරාය භූමියට ගෙනඒමෙන් පසු එහි සැරිසරමින් සිටි සුනඛයින් ඊයේ (15) පස්වරුවේ සිට අසාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කරන බව ධීවරයින් පවස‍යි.

ධීවරයින් සැකකරන්නේ තංගල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කිසියම් ආකාරයකින් ජලයට මිශ්‍රවීමෙන් පසු ඒවා පානය කළ සුනඛයින්ගේ අසාමාන්‍ය හැසිරීමක් නිරීක්ෂණය වූ බවය.

එමෙන්ම, සුනඛයින් දෙදෙනෙක් (2) අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.

මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (16) උදෑසන එහි පැමිණියේය.

එහිදී සුනඛයින් අසළට ළංවීමෙන් වළකින ලෙසට ඔහු උපදෙස් ලබාදුන් අතර මේ පිළිබඳව පශු වෛද්‍ය කාර්යාලය දැනුම්වත් කරන බවත් ඔහු සඳහන් කළේය.

+


‘ඉෂාරා සෙව්වන්දි’ කොටුකරගත් නේපාල මෙහෙයුම – තංගල්ලෙත් සැඟව ඉඳලා

(16.10.2025 – 19:18 +0530 – sinhala.adaderana.lk)

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ‘ඉෂාරා සෙව්වන්දි’ තමා ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයෙන් පසුව පලා ගිය ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ වෙත කරුණු රැසක් අනාවරණ කර තිබේ.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ඝාතන සිද්ධියෙන් පසු මාස දෙකකට (2) අධික කාලයක් තමන් මතුගම හා තංගල්ල යන ප්‍රදේශවල සැඟව සිටි බවය.

සංවිධානාත්මක අපරාධකරුවකුවන ‘ගණේමුල්ල සංජීව’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලිසිය සමග එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව අපරාධකරුවන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු තවත් නිලධාරීන් සිව්දෙනෙකු (4) විසින් ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේය.

ඊයේ (15) පස්වරු 06:52 ට පමණ අපරාධකරුවන් රැගත් ගුවන්යානය මෙරටට ළඟාවිය.

එලෙස පැමිණි අපරාධකරුවන් විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් වෙත භාරදෙනු ලැබීය.

ඒ අනුව ‘ඉෂාරා සෙව්වන්දි’, ‘ඩුප්ලිකේට් ඉෂාරා’ හෙවත් ‘තක්ෂි’, ‘ජේ.කේ. බායි’ නැමැත්තා හා ‘ජැෆ්නා සුරේෂ්’ නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය.

‘ගම්පහ බබා’ නැමැත්තා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදුන් අතර ‘නුගේගොඩ බබී’ නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය.

මේ අතර අදාළ මෙහෙයුම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් ‘අද දෙරණ’ වෙත ලැබී තිබේ.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සහ ගිහාන් සිල්වා නම් පොලිස් නිලධාරියා අදාළ මෙහෙයුම සඳහා නේපාලය බලාගොස් තිබුණේ පසුගිය ඔක්තෝබර් 10 වන දිනයි.

එහිදී නේපාලයේ නියෝජ්‍ය තානාපති සමීර මුණසිංහ මහත්මිය හා ඇයගේ සැමියා විසින් අවශ්‍ය සියලු පහසුකම් සලසා එරට පොලිසියද සම්බන්ධ කර ඇති බවද වාර්තා වෙයි.

අනතුරුව ක්‍රියාත්මක වූ මෙරට විමර්ශන නිලධාරීන් තවත් පාර්ශ්වයක් හරහා ‘ජේ.කේ. බායි’ නැමැත්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී රොහාන් ඕලුගල මහතා ඔහුගෙන් ‘ඉෂාරා’ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ, තමන් කිසිවක් නොදන්නා බවය.

එහෙත් පොලිසිය ‘ඉෂාරා’ගේ දුරකතන අංකය ඔහුගෙන් ලබාගෙන ඇත.

ඒ අනුව සිදුකළ සොයා බැලීමේදී ‘ඉෂාරා’ රැඳී සිටින ස්ථානය අනාවරණය කරගෙන ඇති අතර අනතුරුව ඕලුගල මහතා හා අනෙක් පොලිස් නිලධාරියා ඇය පදිංචි නිවසට නිවාස 5 ක් පමණ දුරින් ලැගුම්ගෙන විමර්ශන කර ඇති බව සඳහන් වෙයි.

නේපාල පොලිසිය යොදවා අදාළ ස්ථානය සම්බන්ධයෙන් සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණ ‘තමිලනී’ නම් කාන්තාවක් අදාළ දෙමහල් නිවසේ උඩුමහලේ කුලී පදනම මත රැඳී සිටින බවය.

ඒ වෙනුවෙන් ඇය මසකට නේපාල රුපියල් 6,000 ක මුදලක් ගෙවන බවද අනාවරණය කරගෙන ඇත.

එහෙත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ‘තමිලිනී’ නමින් පෙනී සිටින්නේ ‘ඉෂාරා’ බවය.

සියලු තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව නේපාල පොලිසිය සමග අදාළ ස්ථානයට ගොස් ඇති ඕලුගල මහතා හා අනෙක් නිලධාරියා පහත මහලේ රැඳී සිට ඔවුන්ව ඉහළ මහලට යවා ‘ඉෂාරා’ අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව නේපාල පොලිසිය ඇයව අත්අඩංගුවට ගැනීමේදී ඇය කිසිඳු ප්‍රතිරෝදයක් දක්වා නොමැති අතර අනතුරුව ඕලුගල මහතා ඇය සිටි ස්ථානයට ගොස් තිබේ.

එහිදී ඔහු “කොහොමද සෙව්වන්දි ?” කියා විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පවසා ඇත්තේ, “හොඳින් ඉන්නවා සර්.” යනුවෙනි.

අනතුරුව ඕලුගල මහතා විසින් “අවශ්‍ය ටික ගන්න” යනුවෙන් පවසා ඇති අතර ඇය එහිදී “මට මේ රට එපාවෙලා හිටියේ සර්” යනුවෙන් සඳහන් කළ බව ද වාර්තා වෙයි.

එහිදී ‘ඉෂාරා’ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයෙන් පසුව තමන් මාසයක (1) පමණ කාලයක් මතුගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි බවය.

අනතුරුව ‘පද්මේ’ගේ උපදෙස් මත මිද්දෙණිය ප්‍රදේශයට ගොස් එහිද මාසයක් (1) පමණ රැඳී සිට ඇති අතර ‘බැකෝ සමන්’ එහිදී ඇයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරදී ඇති බවට ද අනාවරණය වී තිබේ.

පසුව යාපනයට ගොස් දින තුනක් (3) රැඳී සිට ‘ජේ.කේ. බායි’ ද සමගින් බෝට්ටුකින් ඉන්දියාවට පලාගොස් තිබේ.

පැය පහක (5) පමණ කාලයක් ඒ සඳහා ගතවී ඇති අතර විශාල බෝට්ටුවකින් මදදුරක් ගොස් අනතුරුව කුඩා බෝට්ටුවක් මගින් ඉන්දියාවට ඇතුළු වූ බව ඉෂාරා සඳහන් කර තිබේ.

ඉන්දියාවේ සති දෙකක (2) පමණ කාලයක් රැඳී සිට එහිදී ‘තමිලනී’ නමින් ඉන්දියානු හැඳුනුම්පතක් ඇයට ‘ජේ.කේ. බායි’ සකස් කර දී ඇති අතර අනතුරුව නේපාලයට ගිය බව ඇය පවසා ඇත.

වැඩිදුරටත් ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා පවසා ඇත්තේ, තමන් සමග ‘ජේ.කේ. බායි’ට අමතරව තවත් පුද්ගලයන් සිව්දෙනෙකු (4) සිටි බවය.

ඒ අනුව එම පිරිස ද අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ‘ගම්පහ බබා’, ‘නුගේගෝඩ බබී’, ‘ජැෆ්නා සුරේෂ්’ හා ඉෂාරාගේ රුවට සමානව පෙනී සිටි ‘තක්ෂි’ නැමැත්ති බව සඳහන් වෙයි.

‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පත්වීමට සති දෙකකට (2) පමණ පෙර ‘ජැෆ්නා සුරේෂ්’ හා ‘තක්ෂි’ නැමැතිතිය නේපාලයට ගුවන් මගින් පැමිණ ඇත.

ඔවුන් හය දෙනාම (6) එකම නිවසක සිට ඇති අතර ‘පද්මේ’ අත්අඩංගුවට පත්වීමෙන් පසුව ස්ථාන 6 කට පිරිස බෙදී ගිය බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

එමෙන්ම ‘තක්ෂි’ නැමැත්තියගේ විස්තර යොදා ‘සෙව්වන්දි’ව යුරෝපා රටකට යැවීමට ‘පද්මේ’ කටයුතු යොදා තිබූ බවද අනාවරණය වී ඇත.

කෙසේවෙතත් ‘පද්මේ’ අත්අඩංගුවට පත්වීමෙන් පසුව පිරිස දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ දී සිට ඇති බව ද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

මේ අතර ‘නුගේගොඩ බබී’ නැමැත්තාගෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් තමන්ව හා ‘ගම්පහ බබී’ නැමැත්තාව මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවට ගෙන්වා ගත් බවය.

මන්නාරම, පේසාලේ ප්‍රදේශයෙන් තමන් දෙදෙනා (2) බෝට්ටුවකින් ඉන්දියාවට පිටත් වූ අතර ඒ සඳහා ‘පද්මේ’ සම්බන්ධ කර දුන්නේ ‘බැකෝ සමන්’ නැමැත්තා විසින් බව ද සැකකරු පවසා තිබේ.

ඔහු 2019 වසරේ කොහුවල, ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුකර එදිනම ඩුබායි රාජ්‍ය බලා පලා ගොස් ඇති අතර අනතුරුව පසුගිය වසරේ ජූලි 12 වැනිදා එරටින් පිටුවහල් කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

කෙසේවෙතත් සැකකරු පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴


‘ලොකු පැටී’ ගේ මුදල් පාලනය කළ කපුවෙකු අත්අඩංගුවට

(16.10.2025 – 17:33 +0530 – sinhala.adaderana.lk)

‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ‘ලොකු පැටී’ නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපුවෙකු අද (16) අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශන නිලධාරීන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33 කට අධික මුදලක් සංසරණය වී ඇති බවය.

‘ලොකු පැටී’ සමග ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

ඔහු විසින් ‘ලොකු පැටී’ගේ කලු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


රෝගී දරුවන් පෙන්වා මුදල් ගරන ජාවාරමක් – මේ ෆේස්බුක් ගිණුම් ඔබටත් හුරු පුරුදු ද ? (16.10.2025)

+


රත්මලානේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක්

(17.10.2025 – 22:16 +0530 – sinhala.adaderana.lk)

රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබේ.

එම කඩ සාප්පු සංකීර්ණයේ තිබූ වලං කඩයක්, සිංහල බෙහෙත් බඩු කඩයක් ඇතුළු කඩ සාප්පු කිහිපයක් මෙම ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව මහ නගර සභාවල ගිනිනිවීමේ ඒකකවල සහාය ද ලැබී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ගාලු පාරේ මොරටුව සිට කොළඹ දක්වා ගමන් කරන මාර්ගය සම්පූර්ණයෙන් රථ වාහන ගමනාගමනය සඳහා වසා දමා ඇති නිසා ප්‍රදේශය පුරා දැඩි වාහන තදබදයක් ද ඇතිව තිබේ.

ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

+++

+++

+


දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ කුඩු කිලෝ 53 ක්

(17.10.2025 – hirunews.lk)

නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙන එන ලද ධීවර බෝට්ටුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 53.134 ක් තිබූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසනවා.

ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී මෙම බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන ගාලු වරාය වෙත ගෙන එනු ලැබුවා.

එමෙන්ම එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *