ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව – 3 වන (අවසාන) කොටස

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව – 3 වන (අවසාන) කොටස

*********************************************

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව – 1 වන කොටස සහ 2 වන කොටස

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව – 3 වන (අවසාන) කොටස

(1983 කළු ජූලියේ ඊශ්‍රායල භූමිකාව :දේශපාලන අන්වීක්ෂ පරීක්ෂාවක්)

(28.07.2021 – 15:32 +0530 – lankaleadnews.com)

1983 ජූලි සිදුවීම්වලින් පසු ලංකාව

1983 ජූලි 23 වන දා වන තෙක්, මෙරට දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට හා දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට පහසුවෙන් කරගත නොහැකි වූ දෙයක් මෙම ජූලි සිදුවීම් හරහා සිදුවුණි. ඒ දෙමළ ජනතාව හා සිංහල ජනතාව අතර භෞමික බෙදීමක් එනම් ‘උතුර දෙමළ – දකුණ සිංහල’ වශයෙන් පැහැදිලි බෙදුම් රේඛාවක් භෞතික වශයෙන් ද, මනෝ විද්‍යාත්මක වශයෙන් ද නිර්මාණය කිරීමයි. එසේම උතුරේ දෙමළ සමාජ -දේශපාලන මනෝභාවයද සුවිශේෂ පරිවර්තනයකට ලක්වීමට හේතු වූයේ 1983 කළු ජූලියයි. “ජූලියේ මහා ජන ඝාතනය දෙමළ බහුජනතාවගේ සියලුම කොටස් එක්සත් කර තිබේ.” යැයි වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රකාශ කළේය. 1983 කළු ජූලියෙන් අපේක්ෂිත අරමුණ ඉටු වූ බවට හොඳම සහතිකය එයයි.

එම්.ආර්.නාරායන් ස්වාමි සඳහන් කරන ආකාරයට, ඒ වන තෙක් ‘තථ්‍ය වශයෙන් එල්.ටී.ටී.ඊ.යට යාපනය තුළ පවා පොදු ජනතාව තුළ පදනමක් නොතිබිණි.’ එපමණක් නොව එතෙක් දෙමළ සටන්කාමී සංවිධාන වෙත තරුණයන් බඳවාගැනීම දුෂ්කර කර්තව්‍යයක් වී තිබුනද, ජූලි සිදුවීම්වලින් පසු මෙම සංවිධාන සඳහා දෙමළ තරුණයින් ඇදී ආවේ රැල්ලක් ලෙස යැයි මූලාශ්‍ර සඳහන් කරයි. ‘1983 ජාතිභේදවාදී කෝලාහලවල විපාක වශයෙන්, දෙමළ සටන්කාමී කණ්ඩායම්වලට අලුතෙන් බැඳෙන්නෝ ගංවතුරක් මෙන් ගලා ආහ.’ (‘බිඳුණු තල් රුක’ – රාජිණී තිරාණගම, රාජන් හූල්, කේ. ශ්‍රී ධරන්, දයා සෝමසුන්දරම්) විශේෂයෙන්ම එතෙක් මෙම සටන්කාමී සංවිධානවල ක්‍රියාකාරීත්වය තම එදිනෙදා ජීවිතයෙන් නොතකා හැර තිබූ දෙමළ මධ්‍යම පංතික තරුණයින් මෙම සංවිධාන වෙත ආකර්ෂණය වන්නට වූයේ මෙම ජූලි සිදුවීම්වලින් පසුවය. එසේම ඉන්දියාව ප්‍රසිද්ධියේම මෙරට දෙමළ සටන්කාමීන් පුහුණු කිරීමට මැදිහත්වීම සිදු වූයේද 1983 ජූලි සිදුවීම්වලින් පසුවය.

මේ සැලසුම පිටුපස සිටි බලවේගවල අරමුණ ඉටු කරමින්, දෙමළ ජනතාවගේ පොදු සතුරා බවට සිංහල ජනතාව පත් කිරීම මේ අනුව සිදු වූ අතර, දෙමළ සමාජය තුළ පැවති මතවාදී බෙදීම් මැකී ගොස් එය ‘සිංහලයාට’ / ‘දකුණේ සිංහල ආණ්ඩුවට’ එරෙහිව නාභිගත කෙරිණි. ජූලි සිදුවීම් හේතුවෙන් මෙරට දෙමළ ජනතාවට යුරෝපා රටවලට පහසුවෙන් ප්‍රවේශවීමේ අවස්ථාවද, ඔවුන් වෙත ජාත්‍යන්තර අනුකම්පාවද නිර්මාණය වූ අතර, දෙමළ ජනතාවගේ අයිතීන් හා ඒ අයිතීන් උදෙසා අරගලය වෙනුවෙන් පෙනී සිටින යුරෝ – ඇමරිකා මතවාදයක් හා ඊට අනුගත සංවිධානද, මේ වෙනුවෙන් මුදල් හා භෞතික ආධාර ලබා දීමේ ව්‍යාපාරද ලෝකය තුළ ගොඩනැඟිණි. ඇන්ටන් බාලසිංහම් ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානය වෙත ආධාර එකතු කර ගැනීම සඳහා වන උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කිරීමට ප්‍රභාකරන්ගේ දැනුම්දීම මත මැදිහත් විණි. 1983 ජූලි සිදුවීම් හේතුවෙන් පීඩාවට පත් ව විදේශගත වූ දෙමළ ප්‍රජාව ඉන් පසුව කොටි ත්‍රස්තවාදයේ ප්‍රධාන බල කුළුණක් ලෙස ක්‍රියා කිරීම මෙහි තාර්කික ප්‍රතිඵලයක් විය. දෙමළ බෙදුම්වාදී මතවාදය වෙනුවෙන් අන්තර්ජාතික තලයේ අද ක්‍රියාකරන්නේ එම ප්‍රජාවේ දෙවන හා තෙවන පරම්පරාවල සාමාජිකයින්ය.

එක්සත් ජනපදය, කැනඩාව හා යුරෝපා රටවල් ආදියේ මෙලෙස ජූලි සංහාරයෙන් දැඩිව පීඩාවට පත් දෙමළ විප්‍රවාසික ප්‍රජාවක් ගොඩනැඟීම, ‘දෙමළ බෙදුම්වාදී සන්නද්ධ අරගලය’ සඳහා අවැසි අවි ආයුධ සපයා ගැනීම සඳහා වූ තාර්කික ඊළඟ පියවර වූ අතර, මෙසේ දෙමළ ජනතාව පිළිබඳව ඇති කළ ජාත්‍යන්තර අනුකම්පාව මෙම ත්‍රස්තවාදී සංවිධාන වෙත මුදල් ගලා ඒම සඳහා ප්‍රබල පිටිවහලක් විණි. මහා සැලසුමට අනුව, පළමු වටයේම ඒ මුදල් ලබාගෙන ආයුධ විකිණීමට සූදානම්ව සිටි ප්‍රධාන රාජ්‍යය වූයේ ඊශ්‍රායලයයි. එසේම ශ්‍රී ලංකාවේ දෙමළ සටන්කාමීන් සඳහා පුහුණුව ලබා දීමද ඊශ්‍රායල කඳවුරු තුළ සිදු කෙරිණි. වික්ටර් ඔස්ට්‍රොව්ස්කිගේ By Way of Deception : The making and unmaking of a MOSSAD Officer ග්‍රන්ථයට අනුව ඊශ්‍රායලය එකම පුහුණු කඳවුරක එක් පැත්තක ශ්‍රී ලංකා රජයේ හමුදා නිලධාරීන්ද, අනෙක් පැත්තේ මෙරට දෙමළ සටන්කාමීන්ද පුහුණු කර තිබේ. ඊශ්‍රායල මොසාඩ් නිලධාරීන් විසින් මෙරටින් ගොස් එරට තුළ පුහුණුව ලබමින් සිටි කණ්ඩායම් හඳුන්වනු ලැබ ඇත්තේ වඳුරු පෙනුමක් ඇති මිනිසුන් ලෙසිනි. මෙම ඊශ්‍රායල පුහුණු විසින් එකිනෙකාට එරෙහිව යොදාගත හැකි මූලෝපායික යුද උපක්‍රම මෙන්ම, එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කළ හැකි ආයුධ ද හඳුන්වා දෙනු ලැබිණි. ඊශ්‍රායලයේ එකම කඳවුරේ පුහුණුව ලබා මෙරටට පැමිණි මෙම කණ්ඩායම් දෙක මෙරටදී කිසිදා අවසන් වෙතැයි අපේක්ෂා කළ නොහැකි යුද්ධයක දෙපාර්ශ්වය ලෙස කටයුතු කළහ. 1983 කළු ජූලියක් නිර්මාණය කිරීමේ ‘වෙළෙඳපොළ අවශ්‍යතාව’ පිටුපස වූ බලවේගය කුමක්ද යන්න මෙම සාධකවල හැසිරීම අනුව මනාව හඳුනාගත හැකිය.

ජයවර්ධන ආණ්ඩුවේ වගකිව යුතු පුද්ගලයින් සමග සම්බන්ධතා ඇති කරගත් මොසාඩ් සංවිධානයේ ඈත පෙරදිග හා අප්‍රිකානු කලාප අංශය භාර සම්බන්ධීකරණ ප්‍රධානියා වූ Amy Yaar මෙරටට ආයුධ විකිණීම් ගිවිසුමකට එළඹුණු අතර, මෙම ගිවිසුම ප්‍රකාරව, වෙරළාසන්න ආරක්ෂක කටයුතු සඳහා යොදාගන්නා PT වර්ගයේ බෝට්ටු ඇතුළු යුද උපකරණ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයට අලෙවි කොට තිබේ. ශ්‍රී ලංකා රජය අතර මෙලෙස ගිවිසුම්ගතව කටයුතු කරන අතරේ, Amy Yaar මෙරට දෙමළ ත්‍රස්තවාදී සංවිධාන, විශේෂයෙන්ම කොටි සංවිධානය සමගද ගනුදෙනු කරමින් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයට තමන් ලබා දුන් PT වර්ගයේ බෝට්ටුවලට ප්‍රහාර එල්ල කළ හැකි ආයුධ කොටි සංවිධානයට අලෙවි කළ බව ඔස්ට්‍රොව්ස්කි සිය ග්‍රන්ථයෙන් හෙළි කරයි.

ජේ.ආර්. ජයවර්ධන රජයේ ජාතික ආරක්ෂක ඇමතිවරයා ලෙස ලලිත් ඇතුලත්මුදලි පත් කිරීම පවා අහම්බයක් නොවන අතර, විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ලෙස ඔහු ඊශ්‍රායල සරසවියක කටයුතු කිරීම තුළ ඔහුට අදාළව ගොඩනැඟුණු ඊශ්‍රායල සම්බන්ධතා ඔස්සේ ඔහු සම්බන්ධව කියැවීමක් හා ඇගයීමක් ඊශ්‍රායලයට තිබුණු වග පැහැදිලිය. මෙරට පළමු ‘ජාතික ආරක්ෂක ඇමතිවරයා’ ලෙස ඔහු 1984 වසරේදී පත් කෙරෙන්නේ එම මූලෝපායික සැලසුම තුළය.

“ජාතික ආරක්ෂක සංකල්පය, අන් ඇමරිකානු සංකල්ප මෙන් 1977 වසරේදී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ 1984 වර්ෂයේදී නිල වශයෙන් ජාතික ආරක්ෂක ඇමති ධුරය පත් කිරීමත් සමග ස්ථාපිත විය. ශ්‍රී ලංකාවේ පළමු ජාතික ආරක්ෂක ඇමතිවරයා ලලිත් ඇතුලත්මුදලි විය. ධුරයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ පළමු සාකච්ඡාව යාපනය – පලාලි යුද හමුදා මූලස්ථානයේදී නිලධාරීන් පිරිසක් සමග පැවැත්විණි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන්නා වූ නීති විරෝධී මුහුදු ක්‍රියාකාරකම් ‘පෝක් සමුද්‍ර සන්ධිය’ හරහා සිදුවීම වැළැක්වීම වෙනුවෙන් එම මුහුදු කලාපය ‘ආවේක්ෂණ කලාපයක්’ ලෙස නම් කිරීම හා ඒ සඳහා ඊශ්‍රායල් අධිවේගී ‘ඩෝරා’ යාත්‍රා යොදාගැනීම යන යෝජනාව ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. එය වැදගත් යෝජනාවක් වූ හෙයින් එය කාගේත් පැසසුමට ලක් විය. 30 වසරක යුද ගැටුමේදී මෙන්ම වර්තමානයේදීද ජාතික ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ එයයි. කෙසේ වුවද, අදාළ යෝජනාව පිළිබඳ විපරම් කිරීමේදී එය සී.අයි.ඒ., මොසාඩ් වැනි රහස් ඔත්තු සේවාවන්ගේ රාජ්‍යතාන්ත්‍රික ස්වරූපයෙන් ආ යෝජනාවක් බව හෙළි විය. ඉන්පසුව සිදුවූ යුද අවි මිල දී ගැනීම්, පුහුණුවීම්, යුද උපදේශ සේවාවන් යන සියල්ල ඔවුන්ගේ ‘විවෘත’ හා ‘රහස්’ මැදිහත්වීම යටතේ සිදු විය.” (ලුතිනන් කර්නල් සුසන්ත සෙනෙවිරත්න – ‘ජාතික ආරක්ෂාව අවුල් කරන විදේශීය රහස් ඔත්තු සේවා)

1983 ජූලියෙන් පසු ලාකේය වාමාංශය

ජූලි සිදුවීම්වලින් පසු ජයවර්ධන ජනාධිපතිවරයා ගත් විශේෂ තීරණයක් වූයේ, එම කළකෝලාහලවලට සම්බන්ධ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙරට වමේ පක්ෂ කිහිපයක් තහනම් කිරීමයි. එම්.ආර්. නාරායන් ස්වාමි සඳහන් කරන ආකාරයට ‘ජාත්‍යන්තර වශයෙන් එල්ල වුණු චෝදනාවලින් අනතුරුව ආණ්ඩුව එය මොස්කව් පාලනය විසින් උසිගන්වන ලද මෙරට කොමියුනිස්ට්වාදීන්ගේ කුමන්ත්‍රණයකැයි යන උපකල්පනය මත පිහිටා ගර්හාත්මක සිදුවීම්වල වගකීමෙන් සිය අත් සෝදාගත්තේය.’ පසුව ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් වමේ පක්ෂ කිහිපයේ තහනම ඉවත්කිරීමට රජය කටයුතු කළ ද, ජ.වි.පෙ. තහනම ඉවත් කිරීමට ජයවර්ධන ආණ්ඩුව කිසි විටෙක කටයුතු කළේ නැත.

1983 කළු ජූලියෙන් පසු මෙරට වාමාංශික දේශපාලන කතිකාව ද මතවාදී වශයෙන් තියුණු වෙනසකට ලක් වීම සිදුවිණි. ජනතා විමුක්ති පෙරමුණ හැරෙන්නට මෙරට අනෙකුත් වමේ පක්ෂ දෙමළ බෙදුම්වාදී ව්‍යාපෘතිය නිදහස් අරගලයක් ලෙස හඳුනාගැනීමත්, මාක්ස්වාදී කතිකාවට අදාළ ‘ස්වයං නීර්ණ අයිතිය’ මත පදනම්ව මෙරට ජාතික ගැටලුව නැවත කියැවීමත්, ඒ වෙනුවෙන් පෙනී සිටීමත් ඇරඹුණු අතර, එවකට ජ.වි.පෙ. ලේකම්වරයාව සිටි ලයනල් බෝපගේ පවා මෙම මතවාදය වෙනුවෙන් පෙනී සිටීම හා ඒ මතවාදය අනුව ජ.වි.පෙ.න් කැඩී යාමත් සිදු විණි.

බෙදුම්වාදී ත්‍රස්තවාදය පෝෂණය කරන භෞතික තත්වයන්ට අමතරව, ඒ වෙනුවෙන් සහයෝගය දක්වන මෙම මතවාදී වෙළෙඳපොළ පවත්වාගැනීමද දීර්ඝ කාලීන සිවිල් යුද්ධයක් සඳහා සපුරාගත යුතු අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ අතර, ඒ වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ද මෙරට නිර්මාණය විණි. විදේශාධාර ලබන මෙම රාජ්‍ය නොවන සංවිධාන විසින් මතවාදී පදනමක් සහිත පුද්ගලයින් බිලී බා ගැනීමේ ව්‍යාපෘතියක්ද, පුවත්පත් හා සඟරාවලින් සමන්විත මුද්‍රිත මාධ්‍ය මෙහෙයුමක්ද ඒ වන විට මෙරට සමාජය තුළ වෙනම දියත් කොට තිබිණ.

මෙම සමස්තය පිළිබඳව නිවැරදි දැක්මක් සහිතව කටයුතු කළ නායකත්වය සහිත වාමාංශික දේශපාලන ව්‍යාපාරය වූයේ එවක ජනතා විමුක්ති පෙරමුණ බව රෝහණ විජේවීර විසින් 1985 මාර්තු මාසයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබූ ‘ලංකාවේ ජාතික ගැටලුව හා නිර්ධන පංතියේ විසඳුම’ නමැති වාර්තාවෙන් පැහැදිලි වේ. ලංකාවේ ජාතික ගැටලුවේ ප්‍රභවය හා විකාශනය මෙන්ම, සමකාලීනව ලංකාවේ ජාතික ගැටලුවට ඊශ්‍රායලය, ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව මැදිහත් වෙමින් සිටි ආකාරය පිළිබඳව කියැවීමක් සහිත එකම ග්‍රන්ථය වනුයේ එම වාර්තාව පමණි.

මෙලෙස මෙරට තුළ දීර්ඝ කාලීන සිවිල් යුද්ධයක් සඳහා අවැසි භෞතික හා මතවාදී යාන්ත්‍රණය ඊශ්‍රායලයේ හා එක්සත් ජනපදයේ මූලෝපායික සැලසුම තුළ විවිධ පෙරමුණු ඔස්සේ දියත් වී තිබූ බව පැහැදිලිය. ප්‍රධාන සතුරු පාර්ශ්ව දෙක වශයෙන් ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය තම වෙළෙඳපොල වුවමනාව වෙනුවෙන් කළමනාකරණය කරගැනීමට සමාන්තරව, වෙනත් දේශපාලන පක්ෂ සංවිධාන හා බලවේගයන්ද, පුද්ගල සාධකද සිය අවශ්‍යතාව පරිදි අඩු වැඩි වශයෙන් කළමනාකරණය කරගන්නට ඊශ්‍රායලය සමත් විය.

ඊශ්‍රායලයට හැරවූ මහවැලිය

1983 කළු ජූලිය හරහා සිදුකළ දෙමළ සංහාරය හේතුවෙන් දෙමළ ජනතාවගේ අරගලය ජාත්‍යන්තරය තුළ ‘නිදහස් අරගලයක්’ ලෙස වරනැඟීම හා එය සාධාරණීකරණය වීමත්, එකම විසඳුම දෙමළ ජනතාව සඳහා උතුරේ වෙනම රාජ්‍යයක් ගොඩනැඟීම යන බෙදුම්වාදී සංකල්පය තහවුරු කිරීමත්, කොටි සංවිධානය එම අරගලය වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජනතාවගේ නියෝජිතයා යන චිත්‍රය නිර්මාණය කිරීමත් තුළ කොටි සංවිධානය වෙත පෙර නොවූ විරූ ලෙස මුදල් ගලා එන අන්තර්ජාතික සන්දර්භයක් ගොඩනැඟිණ. එසේම අන්තර්ජාතික ජනමාධ්‍ය අවකාශය තුළ ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය වෙත සුවිශේෂ අවධානයක් යොමු වීමද සිදු විණි. හුදු යුද ගැටුමක් නිර්මාණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවූ අතර, එම ගැටුම තම වෙළෙඳපොළ අවශ්‍යතාවට අනුව කළමනාකරණය කරමින් ගැටුම් යුද්ධයක් ලෙස අතර එය අඛණ්ඩව සිදුවීමට අවැසි තත්ත්වයක් පවත්වාගෙන යාමේ වෙළෙඳපොළ අවශ්‍යතාව ඊශ්‍රායලයට තිබිණ.

කොටි සංවිධානය වෙතට මෙලෙස මුදල් ලැබී ආයුධ ගෙන ශ්‍රී ලංකා රජයට එරෙහිව යුධ වදින විට ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජයේ හමුදා ශක්තිමත් කිරීමටත්, කොටි සමග යුද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට අවැසි ආයුධ ලබාගැනීමටත් අවශ්‍ය වූ අතර, මේ ආයුධ ලබා ගැනීම සඳහා දැවැන්ත මුදලක් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වුණි. එම මුදල සොයාගැනීමටද නැවත ඊශ්‍රායලය සැලසුමක් සකස් කර දුන් බවත්, ඒ අන් කිසිවක් නොව ‘කඩිනම් මහවැලි ව්‍යාපාරය’ බවත් ඔස්ට්‍රොව්ස්කිගේ ග්‍රන්ථයෙන් හෙළි වේ.

ඔස්ට්‍රොව්ස්කි අනාවරණය කරන ආකාරයට, 80 ගණන්වල මුල් කාලය වන විට මෙරට ගොවීන් අතර අසහනකාරී තත්ත්වයක් උද්ගත වෙමින් පැවතීම මෙරට රජයට ගැටලුකාරී තත්ත්වයක් වී තිබේ. මේ නිසා ගොවි ජනතාව රටේ විවිධ ප්‍රදේශවල පදිංචි කරවමින් ගොවීන් බෙදා වෙන් කිරීමට අවශ්‍ය වී ඇත. එහෙත් එය එකවරම නොකළ හැකි නිසා ඊට තාර්කික කාරණයක් අවශ්‍ය වී ඇත. Amy Yaar මෙතැනදී මැදිහත් වී ඇති අතර, මහවැලි ගඟ උතුරට හැරවීමෙන් ලංකාවේ විදුලි බලය දෙගුණ කළ හැකි බවත්, මුඩු බිම් අක්කර 750,000 ක් වගා කළ හැකි බවත් ඔහු රජයට පෙන්වා දී තිබේ. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බව සහ ගොවීන් සිය පාරම්පරික ඉඩම්වලින් ඉවත් කළ හැකි බව ලෝක බැංකුවට ඒත්තු ගැන්වීම සඳහා ඊශ්‍රායල ආර්ථික විද්‍යාඥයකුගේ හා ඊශ්‍රායල කෘෂි විද්‍යා මහාචාර්යවරයකුගේ සේවය මොසාඩ් සංවිධානය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දී තිබේ.

මෙසේ සැලසුම් කෙරුණු කඩිනම් මහවැලි ව්‍යාපෘතිය සඳහා ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 2500 ක් විණි. මේ සඳහා ලෝක බැංකුවට අමතරව ස්වීඩනය, ජර්මනිය, කැනඩාව, ජපානය හා යුරෝපා ආර්ථික හවුල මූල්‍යධාර ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය මුල සිටම සැබෑ ප්‍රමාණයට වඩා වැඩියෙන් තක්සේරු කර ඇත. මෙවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත්‍රයාගේ භාර්යාව වූ ‘පෙනී වයිට්’ ඊශ්‍රායලයට පැමිණි බවත්, ඇයට වැඩිපුරම අවශ්‍ය වූයේ මහවැලි ව්‍යාපෘතිය ගැන තොරතුරු දැනගැනීමට බවත් ඔස්ට්‍රොව්ස්කි අනාවරණය කරයි. ඒ පිළිබඳව ඇය ඔහුට බොහෝ දේ පැවසූ බවත්, මහවැලිය සඳහා ලැබෙන මුදල් හමුදාවේ යුද උපකරණ මිල දී ගැනීමට වැය කරන අන්දම දිගින් දිගටම ඇය කියා සිටි බවත්, මහවැලි ව්‍යාපෘතිය අපේක්ෂිත අන්දමින් සිදු නොවන බවට ඇය පැමිණිලි කළ බවත් සඳහන් කරන ඔස්ට්‍රොව්ස්කි, හාස්‍යයට කරුණ වන්නේ සැබැවින්ම කඩිනම් මහවැලි ව්‍යාපෘතිය නිර්මාණය කළේ ශ්‍රී ලංකා හමුදාවට ඊශ්‍රායලයෙන් අවි ආයුධ මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලෝක බැංකුවෙන් ලබා ගැනීමට බවත් අනාවරණය කරයි.

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යනු පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ එතෙක් සිදු වූ දැවැන්තම සංවර්ධන යෝජනා ක්‍රමය වූ අතර, ඒ විශාලත්වය හේතුවෙන්ම ඒ සඳහා වෙන් වූ මුදලද සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මෙරට තුළ වෙන් වූ විශාලතම මුදල විය. ජයවර්ධන රජයට පෙර මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය අවුරුදු 30 ක් තුළ දේශීය ආදායම් මූලාශ්‍ර ඔස්සේ ලැබෙන මුදලින් ක්‍රියාත්මක කිරීමට සැලසුමක් තිබුනද, එය නොතකා මෙම විදේශ ණය මත ක්‍රියාත්මක කෙරෙන කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය ඊශ්‍රායලයේ සැලසුම අනුව සිදු කෙරිණි. මෙබඳු පසුබිමක, මෙම කඩිනම් මහවැලි ව්‍යාපාරය විෂය භාර ඇමතිවරයා බවට, 1983 කළු ජූලි සිදුවීම්වලට ප්‍රධාන වශයෙන් සම්බන්ධ, එසේම ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමීපතම කවයට අයත් ගාමිණී දිසානායක පත්වීම පවා අහම්බයක් ලෙස සැලකිය නොහැකිය.

මෙරට මධ්‍ය කඳුකරයේ පසෙහි පවතින අස්ථාවර බව හේතුවෙන් එම ප්‍රදේශවල ජලාශ ඉදිකිරීමේ භයානකකම මෙරට භූ විද්‍යාඥයින් විසින් කොතෙකුත් පෙන්වා දෙනු ලැබ තිබුනද, ඒ සියල්ල නොතකා මෙම කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජයවර්ධන රජය පියවර ගත්තාය. එසේම පසුකාලීනව මෙම මහවැලි යෝජනා ක්‍රමයට අයත් භූමි ලවණ කාන්තාර බවට පත්ව තිබෙන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

මහවැලි යෝජනා ක්‍රමයට අයත් ප්‍රධාන ජලාශය වන වික්ටෝරියා ජලාශයෙහි වේල්ල ඉදිකිරිම සඳහා ආධාර කළ බ්‍රිතාන්‍යයේ විදේශ ආධාර සැපයීමේ වගකීම දරන ‘විදේශ සංවර්ධන පරිපාලන ආයතනය’ ලෝකයේ අසාර්ථක වූ සංවර්ධන ව්‍යාපෘති සඳහා හොඳම උදාහරණය ලෙස හඳුන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වික්ටෝරියා වේල්ලයි. ලෝකයේ මුල්ම ආරුක්කු හැඩැති වේල්ල මෙම වික්ටෝරියා වේල්ලයි. එය ඔවුන් විසින් සැලසුම් කොට ඉදිකරනු ලැබුවේ පර්යේෂණයක් වශයෙන් බව පසුකාලීනව අනාවරණය විණි.

බ්‍රිතාන්‍යයේ ජාතික විගණන කාර්යාලයේ වාර්තාවලට අනුව, වික්ටෝරියා සංවර්ධන ව්‍යාපෘතියේ මූලික සැලසුම් අනුව වාසභූමි අහිමිවීමට නියමිතව තිබුනේ පවුල් 1300 කට පමණක් වුවද, ව්‍යාපෘතිය අවසන් වෙද්දී පවුල් 5,200 කට අයත් 30,000 ක් පමණ වූ ජනතාවකට වාසභූමි අහිමි වී ඇත. මෙයින් සිදු වූ විනාශය නම්, සිය පාරම්පරික භූමියේදී ස්වාධීන ගොවීන් වූ ඔවුන් පසුව අවුරුදු 4 ක් පමණ ගතවන තුරුත් 80% ක් පමණ පිරිසක් ආහාර සහනාධාර මත යැපෙන්නන් වීමයි. එමෙන්ම උත්පාදනය කෙරෙන ජල විදුලි ප්‍රමාණයද අපේක්ෂිත මට්ටමට වඩා 40% ක් ම පහළ මට්ටමක පවතින බවත්, වගා කටයුතු සඳහා බෙදා හැරීමට ජලය රැස්කිරීම අසාර්ථක බවත් එම වාර්තාවේ දක්වා තිබේ.

මේ සාධක අනුව ගත් විට, 1983 කළු ජූලියේ තවත් ප්‍රතිඵලයක් වන ‘කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ’ සැබෑව මෙයයි. මෙබඳු පසුබිමක මෑතකදී මහවැලි අධිකාරිය විසින් ‘මහවැලි අම්මා’ නමින් එක්තරා ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ආරම්භකරනු ලැබූ අතර, ‘කඩිනම් මහවැලියේ’ සම්භවය අනුව බලන විට මෙබඳු මාධ්‍ය ව්‍යාපෘතිවල නිශ්ඵලභාවය අමුතුවෙන් කිය යුතු නොවේ.

කෙසේ හෝ අවසානයේ ඊශ්‍රායලය තමන්ගේ ආයුධ වෙළෙඳාමට අදාළ මහ සැලැස්ම තුළ මෙරට ‘සංවර්ධන’ යෝජනා ක්‍රමයක් තම රටට හරවාගත්තේ මෙලෙසිනි.

ආයුධ වෙළෙඳපොළ අහිමිවීමෙන් පසු …

ඊශ්‍රායලය 1983 කළු ජූලි සිදුවීම සමග ශ්‍රී ලංකාව විෂයයෙහි ගොඩනැඟූ අවි ආයුධ, යුද්ධෝපකරණ හා යුද විශේෂඥ උපදෙස් වෙළෙඳපොළ 2009 වසරේ මැයි මස දක්වාම අඛණ්ඩව පැවතිණි.

1983 කළු ජූලියෙන් පසු මෙරට ආණ්ඩු වරින් වර වෙනස් විය. ජනාධිපතිවරුන් වෙනස් විය. ආරක්ෂක ඇමතිවරුන් වෙනස් විය. ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනස් විය. යුද්ධයේ හැඩතල වෙනස් විය. නමුත් ප්‍රභාකරන් බෙදුම්වාදී කොටි සංවිධානයේ අසහාය නායකයා ලෙස 2009 මැයි මස 19 වන දා දක්වා අඛණ්ඩව කටයුතු කළේය.

කොටි සංවිධානය විසින් මිල දී ගත් නැව් ගණන් අවි ආයුධ ලැබෙමින් තිබුණු අතර, 2005 න් පසුව ඒවා හඳුනාගෙන ඈත මුහුදේදීම විනාශ කරන්නට මෙරට නාවික හමුදාව කටයුතු කළාය. බොහෝ විට ඒ සඳහා යොදා ගැනුනේ ද ඊශ්‍රායලය විසින් නිෂ්පාදනය කළ ප්‍රහාරක නාවික යාත්‍රා හා අවි ආයුධය. ආරම්භයේ සිට 2009 දක්වාම ශ්‍රී ලංකා රජයට අවි ආයුධ සපයන නිත්‍ය රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලය කටයුතු කළාය. අනෙක් අතට එය ප්‍රති පාර්ශ්වය වූ කොටි සංවිධානය වෙත ද මුල් යුගයේ සිටම නිත්‍ය ආයුධ සැපයුම්කරුවකු ලෙස කටයුතු කළාය.

කොන්දේසි විරහිතව, කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු බවට ශ්‍රී ලංකා රජය ගත් උපාය මාර්ගික තීරණය නොවන්නට, එසේම එය වැළැක්වීම සඳහා පැමිණි විදේශ මැදිහත්වීම් නොතකා කටයුතු නොකරන්නට අදටත් ශ්‍රී ලංකාව යනු ‘ආයුද වෙළෙඳපොළකි.’ ඊශ්‍රායලය එහි නිත්‍ය අලෙවිකරුවෙකි.

නිෂ්පාදන සමාගමකට නොඑසේ නම් රටකට, තමන්ගේ නිෂ්පාදන සඳහා වූ දැවැන්ත වෙළෙඳපොළක් මුළුමනින්ම අහිමිවීම යනු පහසුවෙක් නොතකා හැරිය හැකි තත්ත්වයක් නොවේ. එසේම නූතන ලෝක දේශපාලන සන්දර්භය තුළ ‘1983 කළු ජූලිය’ යනු නැවත අත්හදා බැලිය හැකි ‘පර්යේෂණයක්’ ද නොවේ. නමුත් 1983 ජූලි සිදුවීම්වල පරාවර්තනය හා දෝංකාරය අදටත් ඇසෙන්නේය. පෙනෙන්නේය. දැනෙන්නේය. එය දෙමළ බෙදුම්වාදී දේශපාලන බලවේගවලට ‘ස්ථාවර තැන්පතුවක්’ සේ අදටත් ප්‍රතිලාභ උපදවමින් තිබෙන බව නොරහසකි.

නමුත් ‘1983 ජූලි’ වෙනුවට දියත් විය හැකි උපාය මාර්ගික සැලසුම් ශ්‍රී ලංකාව විෂයෙහි ඊශ්‍රායලය සතුව නැතැයි අප රටක් ලෙස කිසි විටෙකත් සිතිය යුතු නොවේ. ඒ සැලසුම් මේ මොහොතේත් ක්‍රියාවට නැංවෙමින් පවතිනවා ඇත. ඊශ්‍රායල තාක්ෂණික විශේෂඥයින්, උපදේශකයින්, කෘෂි විශේෂඥයින්, ආර්ථික විශේෂඥයින් හෝ මෙකී නොකී කවර හෝ පෙනුමක් සහිතව ඔවුන් මේ බිමේ සැරිසරමින් සිටිනවා ඇත. ඒ මහා සැලසුම්හි ප්‍රතිඵල මතුපිටට පෙනෙන දිනය හා මොහොත දක්වා ඇත්තේ කාලය සම්බන්ධ ප්‍රශ්නයක් පමණි.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *