මහ බැංකුවේ අනුමැතිය නැති ආයතන සමඟ ගනුදෙනු එපා

මහ බැංකුවේ අනුමැතිය නැති ආයතන සමඟ ගනුදෙනු එපා


මහ බැංකුවේ අනුමැතිය නැති ආයතන සමඟ ගනුදෙනු එපා

(16.10.2025 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ පවතින ආයතන වෙතින්ම පමණක් මහජනතාව සිය මුල්‍යමය අවශ්‍යතාවන් සපුරා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අන්තර්ජාලය හරහා හෝ ජංගම දුරකථන ඔස්සේ ණය ලබා ගැනීම සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමින් පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක එසේ සඳහන් කර තිබෙනවා.

‍එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙනවා :

අන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන ඔස්සේ ආකර්ශනීය ලෙස දැන්වීම් පළ කරමින් හා ඇතැම් අවස්ථා වලදී දුරකථන ඇමතුම් පවා ලබා දෙමින් කිසිදු ඇපයකින් තොරව ක්ෂණික ණය මුදල් ලබා ගත හැකි බව පෙන්වා දෙමින් ණය ලබා දීම සඳහා ඉදිරිපත් වු ආයතන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරීක්ෂණය කර ඇත.

එවැනි ආයතන වෙතින් ජංගම දුරකථන හරහා ණය ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතය හා ණය කාල සීමාව සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකර ණය ලබා ගැනීමට පුද්ගලයින් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් විවිධ ගැටළුකාරි තත්ත්වයන්ට මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වන පැමිණිලි අනුව නිරීක්ෂණය වී ඇත.

මෙම ණය මුදල ආපසු ගෙවීමේදී බොහෝ අවස්ථාවල අනපේක්ෂිත ලෙස අධික පොලියක් ගෙවීමට සිදු වන බවත්, එම ආයතන විසින් ණය මුදල් නැවත අය කර ගැනීමට ණය හිමියන් පීඩාවට පත්වන ආකාරයට ඇමතුම් ලබා ගැනීම මෙන්ම අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරයන් සිදු කරන බවට ද ශ්‍රී ලංකා පොලිසිය වෙත දෛනිකව පැමිණිලි ලැබෙමින් පවතී.

ඒ අනුව, මෙවැනි ආකාරයට අන්තර්ජාලය සහ ජංගම දුරකථන හරහා ණය ලබා දෙන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද විමසීමේ දී එවැනි බොහෝ ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය නොකර ඇති බවටත්, ණය දෙන ආයතන සම්බන්ධයෙන් නියාමනය කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර ගනිමින් සිටින බවත් වැඩිදුරටත් දැනුම්දී ඇත.

එබැවින් සෑම විටම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ පවතින ආයතන වෙතින් මහජනතාව සිය මුල්‍යමය අවශ්‍යතාවන් සපුරා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටියි ෴


‘සිරිකොත’ අලුත්වැඩියා සිද්ධියට තවත් ලොක්කෙක් මාට්ටු

(16.10.2025 – hirunews.lk)

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ‘සිරිකොත’ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 17 කට ආසන්න පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව එවකට එම සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ද අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණට දන්වා සිටියා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දී යි.

සිද්ධියට අදාළව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ව්‍යපාරික ‘නිලූ දිල්හාර විජේදාස’ අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම ඒ බව දන්වා සිටියා.

ඒ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ‘සිරිකොත’ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 17 කට ආසන්න පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළවයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ‘සිරිකොත’ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක (රුපියල් දහසය ලක්ෂ හැටහත් දහස් දෙසිය අනූ හතරයි ශත අසූ හතක) පාඩුවක් සිදුකර ඇතැයි සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ‍නඟා තිබුණා.

එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදු කිරීම යන දූෂණ චෝදනාව සැකකරුට එරෙහිව නගා තිබූ තවත් චෝදනාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි සඳහන් කර සිටියේ මෙම විමර්ශනය 2021 වර්ෂයේ ආරම්භ කරන ලද විමර්ශනයක් බවයි.

අල්ලස් කොමිසම (සහකාර නීති අධ්‍යක්‍ෂක සුලෝචනා හෙට්ටිආරච්චි) :

“ස්වාමීනී මෙම විමර්ශනය අපි ආරම්භ කරන්නේ 2021 වර්ෂයේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරන ලද සේවකයින්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. ස්වාමීනි මෙම සැකකරු හිටපු අමාත්‍ය ‘අකිල විරාජ්’ හමු වී ලබාගන්නා ලද ඇස්තමේන්තුවක් පරිදි තමයි මෙම ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට සේවකයින් යොදවලා තියෙන්නේ, ස්වාමීනී රජයට රු. ලක්ෂ 17 කට ආසන්න පාඩුවක් සිදු කරලා දූෂණය නැමති වරද කරලා තියෙනවා.”

“ස්වාමීනී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පෞද්ගලික ගොඩනැගිලි පවා අලුත්වැඩියා කිරීමට හැකියාව තිබෙනවා . නමුත් එම අලුත්වැඩියා කටයුතු සඳහා යම්කිසි ක්‍රමවේදයක් යටතේ මුදලක් අය කරනු ලබනවා. මෙම ‘සිරිකොත’ පුද්ගලික ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් යටතේ මුදලක් අය නොකර සේවකයන් යොදවා එම ආයතනයේ කටයුතු කිරීමෙන් රජයට මූල්‍ය වශයෙන් අලාභයක් කර තිබෙනවා.”

“ස්වාමීනි මෙම සැකකරු එවකට විධායක අධ්‍යක්‍ෂක වශයෙන් කටයුතු කර තිබෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යම්කිසි ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කිරීමේදී අනුගමනය කළ යුතු නීත්‍යානුකූල ක්‍රමවේදය බැහැරව තමයි මෙම සැකකරු කටයුතු කර තිබෙන්නේ. මෙය සංයමය වරදක්.”

“මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට තිබෙනවා.”

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් :

“ඔබ අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන්නේ බී-වාර්තාවේ සඳහන් වන අධ්‍යක්ෂකවරයාද ?”

අල්ලස් කොමිසම (සහකාර නීති අධ්‍යක්‍ෂක සුලෝචනා හෙට්ටිආරච්චි) :

“ඔහු ස්වාමීනි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා අත්අඩංගුට ගැනීමට බලාපොරොත්තු වෙනවා.”

“ස්වාමීනී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා.”

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් :

“මෙම සිරිකොත ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම කළ ඇත්තේ කුමන පුද්ගලයෙකුගේ ඉල්ලීමක් පරිදි ද?”

අල්ලස් කොමිසම :

“ස්වාමීනි, එවකට සිටි සිරිකොත මහලේකම්ගේ ඉල්ලීමක් පරිදි තමයි මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකර තිබෙන්නේ.”

සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ රට ඇතුළතත් රටින් පිටත් රාජ්‍ය ඉංජිනේරු සමාගමකට ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමේ කටයුතු කිරීමට හැකි බවයි.

සිද්ධියට අදාළ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ව්‍යපාරික ‘නිලූ දිල්හාර විජේදාස’ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නියම කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනය අවසන් කර ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

නඩුව දෙසැම්බර් 09 යළි කැඳවිමට නියෝග කළා ෴


හම්බන්තොට වරායේ රු. කෝටි 14 ක වරිපනම් බදු පොල්ලක්

(16.10.2025 – hirunews.lk)

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIPG) හම්බන්තොට මහ නගර සභාවට ගෙවිය යුතුව තිබූ වරිපනම් බදු රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් ගෙවා නැතැයි හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩී.ඒ ගාමිණී (ස.ජ.බ) පැවසුවා.

එය 2017 වසරේ සිට මේ දක්වා වන බදු මුදල් බවද ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් වරාය කළමනාකාරිත්වය සමඟ ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවක දී දැන ගැනීමට හැකි වූයේ එම වරිපනම් බදුවලින් රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් ‘මාර්ග ගත ක්‍රමය’ යටතේ සාකච්ඡාවට ආසන්න දිනයකදී හම්බන්තොට මහ නගර සභාවේ ගිණුමට බැරකර කර ඇති බව ද ඔහු සඳහන් කළා.

එම මුදල මහ නගර සභාවේ ගිණුමට බැර වි ඇති බව නාගරික කොමසාරිස්වරයා විසින් තහවුරු කර ඇති බවද නගරාධිපතිවරයා පසුගිය දා පැවැති හම්බන්තොට මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී පැවසුවා.

2017 වසරේ සිට හම්බන්තොට ජාත්‍යන්තර වරාය හම්බන්තොට මහ නගර සභාවට වරිපනම් බදු මුදල් ගෙවීමට අදාළ තක්සේරුව සිදුකර එක් කාර්තුවකට රුපියල් ලක්ෂ 60 ක පමණ මුදලක් අය කර ගැනිමට කටයුුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) පිරිස් කළමනාකරු ජීවන් ප්‍රේමසරගෙන් කළ විමසීමක දි ඒ මහතා කියා සිටියේ වරිපනම් මුදල් ගෙවීමට බැඳි සිටින නමුත් එය ගෙවා නැති බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද පැවසුවා :

“එසේ නොගෙවීමට හේතුවක් තියෙනවා. අයකරනු ලබන වරිපනම් බදු මුදල් තක්සෙරු කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදිලිතාවයක් නැති නිසා වරාය කළමනාකාරිත්වය එම පැහැදිලි කිරීම කරන ලෙසට හම්බන්තොට මහ නගර සභාවට දැනුම් දි තිබෙනවා. එහෙත් මහ නගර සභාව නෙවෙයි තක්සේරු දෙපාර්තමේන්තුව කරන ලද තක්සේරුවක් නිසා මහ නගර සභාවටත් ඒ සඳහා පැහැදිලි කිරීමක් කරන්න බැහැ.

2017 සිට එක් (1) කාර්තුවකට රුපියල් ලක්ෂ 60 ක බදු මුදලක් තක්සේරු කර තිබෙනවා. සාකච්ඡා වට කිහිපයක් කළා. මහ නගර සභාව සමඟ ගෙවීම් කිරීම ආරම්භයක් ලෙස රුපියල් මිලියනයක (1) මුදලක් මහ නගර සභාවට ගෙව්වා. වරාය තෙල් පර්යන්තයෙන් රු. ලක්ෂයකට (1) අඩු මුදලක් වසරකට ගෙවනවා. කොළඹ වරායේවත් මෙවන් තක්සේරුවක් නැහැ. මේ වන විටත් වරාය පාඩු ලබමින් තිබෙනවා.

එම නිසා වරාය පරිශ්‍රයේ තක්සේරු කිරිම ගැන දකුණු පළාත් ආණ්ඩුකාරතුමා සමඟ ඉදිරියේ දි සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. ඒ වගේම 2017 ට පෙරත් වරාය ක්‍රියාත්මක වුණා. ඒ කාලසීමාවෙත් වරිපනම් බදු ගෙවීමක් හෝ තක්සේරු කිරිමක් කරලා නැහැ. තක්සේරු කරල තියෙන්නේ 2017 න් පසුවයි” ෴


උසස් පෙළට හිතා මතා දුෂ්කර පාසල්වලට ගිහින් ඉවරයි : අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍ර ලේඛයක්

(16.10.2025 – hirunews.lk)

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (G.C.E. A/L) සිසුන් පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2008/17 චක්‍රලේඛයේ උපදෙස්වලට අමතරව 2025/10/10 සිට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛය මගින් පහසුකම් සහිත දිස්ත්‍රික්කයක පාසලක සිට දුෂ්කර දිස්ත්‍රික්කයකට අයත් පාසලකට උසස් පෙළ හැදෑරීම සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කෙරෙනවා.

නව චක්‍රලේඛය මගින් ප්‍රථම වතාවට “තාවකාලික අනුයුක්තයක්” ලෙස සිසුන් පාසලකට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය හඳුන්වා දී ඇති අතර, එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඇතැම් සිසුන් අඩු Z-ලකුණු මත විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමේ අරමුණින් හිතා මතාම දුෂ්කර පාසල් තෝරා ගැනීම වැළැක්වීමයි.

මෙවැනි වංචනික ක්‍රියා මගින් දුෂ්කර පාසල්වල සැබෑ සිසුන්ට වන අසාධාරණය නැති කිරීම මෙම නව රෙගුලාසියේ මූලික පදනම බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මෙම නව විධිවිධාන යටතේ, පහසුකම් සහිත දිස්ත්‍රික්කයක පාසලක සිසුවකු දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට උසස් පෙළ හැදෑරීම සඳහා ඉල්ලීමක් කළ විට, එම පාසලේ පුරප්පාඩු පවතින්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම අනුයුක්ත පදනමෙන් ඇතුළත් කරගත යුතුයි. නමුත් සිසුවාට ස්ථිර ඇතුළත් කිරීමක් වෙනුවට හිමි වෙන්නේ ‘තාවකාලික අනුයුක්තයක්’ පමණයි.

මෙම අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් කරුණක් ලෙස අධ්‍යාපන ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් වන්නේ, මෙම සිසුවා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුත්තේ කලින් ඉගෙනුම ලැබූ පහසුකම් සහිත පාසලේ සිසුවකු ලෙස බවයි.

එපමණක් නොව, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා Z-ලකුණු සලකා බැලීමේදී ද ඔහු අයත් වන්නේ පහසුකම් සහිත දිස්ත්‍රික්කයේ සිසුවෙකු ලෙස ය. මේ හේතුවෙන්, දුෂ්කර පාසලක ඉගෙන ගත්තද, විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ඔහුට දුෂ්කර පාසලක සිසුවෙකුට ලැබෙන වාසිය අහිමි වෙනවා.

චක්‍රලේඛයේ දුෂ්කර යැයි සලකුණු ලබන දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇත්තේ නුවර එළිය, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමළය, මඩකලපුව, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කයි ෴


ලංකාවේ ළමයින්ටත් වැඩේ දෙන්ඩ වගේ හදන්නෙ… දන්නා තේ වෙළඳාම කරගෙන හිටියොත් නරකද? (16.10.2025)

+

‘වටවල තේ මුදලාලි’ගේ ෂෝට් වුණු ෂෝට් ෆිල්ම් එක… ලංකාවේ සංස්කෘතියට කෙළින්ඩ හදන්නෙ වටවෙලා (16.10.2025)

+

බොරු නඩු දමා ආණ්ඩුව කිච වෙයි… සහ හිච්චි වීරප්පන්ගේ ගොබ්බ කතා, එයාගෙ නම නජිත් ඉන්දික (15.10.2025)

+

පාතාලය පොලිසිය ආණ්ඩුව, දැන් ඔක්කොම චිත්‍රපටි තමයි (16.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *