ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි

*********************************************

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි

(05.07.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් වැඩි වශයෙන් හමුවීමත් සමඟ ඉදිරි සති දෙක (2) ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට සාර්ස් වෛරසය පිළිබඳව ගවේෂණ කාර්යයක නිරතවූ මහාචාර්ය මලික් පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ, බී.බී.සී. සිංහල සේවය සමඟ සංවාදයකට එක්වෙමින්.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගැනීමෙන් අනතුරුව මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත් තොගයේ පළමු (1) කොටස ලබාදෙන කණ්ඩායම් පිළිබදව ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දෙන බව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඇමරිකාවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2 ක් ශ්‍රී ලංකාව ඇණවුම් කර තිබූ අතර අද (05) අලුයම ඉන් මාත්‍රා 27,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන එනු ලැබුවා. මේවා විශේෂිත අධි ශීතකරණ තුළ ගබඩා කිරීම සඳහා රැගෙන එනු ලැබුවේ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙතයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද එම ස්ථානයට පැමිණ සිටියා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසර තුළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම අද (05) දිනයේත් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.

ත්‍රිවිධ හමුදා රෝහල්වල එන්නත් ලබාදීම අද (05) සිට ආරම්භ කෙරුණු අතර, එම රෝහල්වලදී වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.

60 ට වැඩි පුද්ගලයින් සඳහා ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලදී සිදුකෙරෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ඊයේ (04) මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 1573 දෙනා අතරින් වැඩිම පිරිසක් එනම් 249 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැණුනා. ඉන් 110 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 221 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මහනුවර, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිත රෝගීන්ට ආහාරපාන ලබාදීම සෞඛ්‍යාරක්ෂිතව සිදුනොවන බවට රෝගීන් පිරිසක් චෝදනා කළා.

සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගත් ගාල්ල ප්‍රදේශයේ තරුණියගේ සේවා ස්ථානයෙන් කොරෝනා ආසාදිත තවත් පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය දැයි මෙතෙක් තහවුරු වී නැහැ. ඩෙල්ටා ප්‍රභේදය සහ පවතින අවධානම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පළ කළා.

මේ අතර බී.බී.සී. සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වූ මහාචාර්ය මලික් පීරිස් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ තවමත් කොරෝනා එන්නත් ලැබී ඇත්තේ සියයට විස්සකට (20%) ආසන්න පිරිසකට පමණක් වන බැවින් ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර ගියහොත් වඩාත් දරුණු තත්ත්වයක් උදා විය හැකි බවයි.

++++++++++++++++++++++++

(05.07.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

අද (05) අළුයම මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත් තොගය ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවෙනි (2) මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම එන්නත් තොගය ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ගැබිනි කාන්තාවන්ට ලබා දෙන බවයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසන්නේ.

රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 අද (05) උදෑසන දිවයිනට ළඟා වුණා.

මේ අතර ෆයිසර් එන්නත ලබාගත් පළමු (1) දකුණු ආසියාතික රට ලෙස ශ්‍රී ලංකාව හැඳින්වුවද එය එසේ නොවන බව වාර්තා වනවා.

ෆයිසර් එන්නත් තොගයක් පළමුවරට (1) දකුණු ආසියාතික රටක් වෙත රැගෙන විත් ඇත්තේ පසුගිය මාර්තු විසි පස් (25) වැනි දායි.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධාන කොවැක්ස් පහසුකම් යටතේ මාල මාලදිවයින්ට ලබාදුන් එන්නත් තොගයක්.

මේ පහසුකම යටතේ මාලදිවයිනට ෆයිසර් එන්නත් මාත්‍රා 5850 මෙලෙස ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++++++

(05.07.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනයවූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අද (05) ස්ථාපිත කෙරුණා.

නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවකට අයත් ගොඩනැගිලි සංකීර්ණයක් තුළයි එය ස්ථාපිත කර ඇත්තේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා විසින් අද (05) එය විවෘත කළ අතර එමගින් රෝගීන් 425 දෙනෙකුට ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතිනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1625 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 234,942 ක් ලෙසටයි ෴

+++++++++++++++++++++

(05.07.2021 – 16:50 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දුරස්ථ – මාර්ගගත ක්‍රම හරහා පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී මතු වී තිබෙන ප්‍රායෝගික ගැටලු සඳහා පිළියමක් වශයෙන් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2,096 ක් අද (05) දින සිට විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම ඕමත්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ අද (05) දින සිට ආරම්භ කෙරෙන සම්පත් මධ්‍යස්ථාන විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත දූ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දූරස්ථ-මාර්ගගත ක්‍රමය උපයෝගී කරගෙන තිබුණ ද බොහෝ දුෂ්කර ප්‍රදේශවලට දුරකථන සංඥා, දුරකථන පහසුකම් නොමැතිවීම හේතුවෙන් එම දූ දරුවන් මුහුණදෙන ගැටලුවට විසඳුමක් ලෙස ‘සම්පත් මධ්‍යස්ථාන’ 2,096 ක් රට පුරා විවෘත කරන බවයි.

මෙම මධ්‍යස්ථාන හඳුනාගෙන ඇත්තේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, සාමාජිකයින්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්වතිවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

මෙම සෑම මධ්‍යස්ථානයකම පරිගණක, ටැබ් යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල පහසුකම් ඇතුළු දුරස්ථ-මාර්ගගත අධ්‍යාපනයට අදාළ සියලු ම පහසුකම්වලින් සමන්විත වනවා.

මේ අතර හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අංශවල නිර්දේශ මත 240,000 ක් පමණ වූ සියලු ම ගුරුවරුන් එන්නත්කරණය සිදු කිරීම සතියක් වැනි කාලයක් තුළ අවසන් කිරීමට පසුගියදා ජනපතිතුවරයා උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව මේ වනවිටත් සැලකියයුතු ගුරුවරුන් ප්‍රමාණයකට එන්නත් ලබා දී අවසන් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අතර එහි පළමු පියවර වශයෙන් ළමුන් 100 ට අඩු දිවයිනේ පාසල් 2,996 ක් පමණ සෞඛ්‍ය නිර්දේශ ලැබීමෙන් පසු ව විවෘත කිරීමට අපේක්ෂිතයි.

අවසන් වශයෙන් සෞඛ්‍ය අංශවල නිසි නිර්දේශයන්ට අනුව පාසල් විවෘත කිරීමට හැකිවනු ඇති.

+++++++++++++++++++++

(05.07.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් අද (05) දින සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙතෙක් සිදු කළ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසනවා.

ඒ අනුව දුම්රිය ගමන් වාර 74 දක්වා ඉහළ යනු ඇති.

මෙම දුම්රිය ගමන් වාර කාර්යාල සේවාවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියේ.

මෙම නව සංශෝධිත දුම්රිය ගමන්වාර කාලසටහන අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 14 ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 24 ක් ද, කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියක් 10 ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් වාර 14 ක් යෙදවීමට කටයුතු යොදා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරියේදී සිදු කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම් අනුව දුම්රිය සේවාවන් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියාසිටියා.

කෙසේවෙතත් සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබෙන තුරු පළාත් අතර දුම්රිය ගමන් සේවාවන් ක්‍රියාත්මක නොකෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@@@

(05.07.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් හතර (4) වන වතාවට තවත් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙනවා.

මෙම පෙත්සම අද (05) සලකා බැලීම සඳහා මුර්දු ප්‍රනාන්දු, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවයි. ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම මේ මස 08 වනදා සලකා බැලීමට දින නියම කෙරුණා.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනක් ද සිල්වා, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනා (3) අවස්ථා තුනකදී (3) පුද්ගලික හේතූන් මත පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වී තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටියේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් අප්‍රේල් මස 24 වනදා අලුයම තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවා සිටින බවයි.

මේ තුළින් සිය මූලික අයිතින් උල්ලංඝණය වී ඇති බවට තීන්දු කොට තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා ෴

******************************************

(05.07.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පොලිතින් තහනම් කිරීමට ගෙන ඇති පියවරත් සමඟ ප්ලාස්ටික් පැදුරු හා මාගල් භාවිතය තහනම් කිරීමට යෝජනා වුවද දේශීය පන් කර්මාන්තයට අවශ්‍ය පන් ලබාගැනීමේ ගැටළුවක් පවතින බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ප්ලාස්ටික් පැදුරු හා මාගල් හේතුවෙන් සිදුවන පාරිසරික ගැටළු මෙන්ම සෞඛ්‍ය ගැටළු පිළිබඳවද අවධානය යොමු කරමිනුයි ඒවා තහනම් කිරීමට අවධානය යොමු කෙරුණේ.

කෙසේ වෙතත් පන් කර්මාන්තය පිළිබඳව අවධානය යොමුකළද පසුව අනාවරණ වී ඇත්තේ කෘමිනාශක, වල්නාශක භාවිත කිරීම හේතුවෙන් පන් ශාක විනාශ වී ඇති බවයි.

ඒ හේතුවෙන් පන් වගාව යළි ආරම්භ කිරීමටද පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

******************************************

(05.07.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහ කෘෂි රසායන හිඟය හේතුවෙන් තමන් තවමත් දුෂ්කරතාවට මුහුණු දී ඇතැයි බොහෝ ප්‍රදේශවල ගොවීන් චෝදනා කරනවා.

මේ අතර, පොහොර හිඟය, ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ප්‍රදේශ කිහිපයක අදත් (05) උද්ඝෝෂණ ක්‍රියාත්මක කෙරුණේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්.

ඉහළ ගිය ඉන්ධන මිල සහ රට තුළ පවතින පොහොර හිඟයට විරෝධය පළ කරමින් අදත් (05) ප්‍රදේශ කිහිපයක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා.

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් ඊයේ (04) පස්වරුවේ බද්දේගම ප්‍රදේශයේදී මුදලට හෝ රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

එම අවස්ථාවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ , විජේපාල හෙට්ටිආරච්චි, ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පන්දම් දල්වා උණවටුණ ප්‍රදේශයේදී විරෝධතාවක් සංවිධාන කර තිබුණේ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින්.

ගොවි සංවිධාන කිහිපයක් එක්ව පූගොඩ මණ්ඩාවල බෝධිය ඉදිරිපිටදී දේව කන්නලව්වක් සහ විරෝධතාවක් සංවිධාන කර තිබුණේ පොහොර හිඟයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් හිඟුරක්ගොඩ නගරයේදීත් උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ ඉහළ ගිය ඉන්ධන මිල සහ රට තුළ පවතින පොහොර හිඟයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි.

මේ අතර පොහොර හිඟය, බඩුමිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් හෝමාගම දුම්රියපොළ අසළ සිට හෝමාගම නගරය දක්වා පා ගමනකින් පැමිණ විරෝධතාවක නිරත වුණා.

මේ අතර ඇළහැර – බකමූණ කෝට්ටපිටිය ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් කාබනික පොහොර යොදා ගනිමින් අක්කර 5 ක පමණ කඹූරු ගොවිතැන් සිදුකර ඇත්තේ මෙලෙසින්.

ඔවුන් පවසන්නේ කිසිදු අලාභයකින් තොරව සිදු කරන මේ වගාවේ අස්වැන්න කොවිඩ් රෝගීන් වෙනුවෙන් ලබාදෙන බවයි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මගින්ද කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

යාපනය පලාලි පිහිටි යුදහමුදා ගොවිපල කේන්ද්‍රකර ගනිමින් කාබනික පොහොර සකස් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

අදාළ ව්‍යාපෘතිය යටතේ කාබනික පොහොර අවශ්‍යතාව වෙනුවෙන් මෙට්ට්‍රික්ටොන් 3600 ක් ලබාදීමට නියමිතයි.

******************************************

(05.07.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ පොදු සුසාන භූමියේ ආදාහනාගාරයෙන් පිටවන දුම හේතුවෙන් මැනිං පොදු වෙළඳ සංකීර්ණයේ කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි වෙළෙඳුන් චෝදනා කරනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සොයාබලා පිළියම් යොදන ලෙසයි.

මේ පෑලියගොඩ නගර සභාව මගින් ක්‍රියාත්මක වන පෑලියගොඩ පොදු සුසාන භූමියයි.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට යාබදව පිහිටා ඇති මෙම සුසාන භූමියට අවට ප්‍රදේශ ගණනාවක මෘත දේහ ආදාහනය සඳහා රැගෙන එනු ලබනවා.

දේහයන් ආදාහනය කිරීමේදී චිමිනියෙන් පිටවන දුමාරය වෙළෙඳ සංකීර්ණයේ කටයුතුවලට බලපෑම් එල්ල කරන බව වෙළෙඳුන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් මැනිං වෙළෙඳ පොළට දෛනකව එක්රැස් වන දහස් ගණනක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයටද අවදානමක් මතුව තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව බලධාරීන්ගේ යොමු කර නිසි පිළියමක් යොදන ලෙසටයි.

******************************************

(05.07.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව රැස්වීම හෙට (06) සිට දින 4 ක් පැවැත්වීමට අද (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව හෙට (06) පෙරවරු 10 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙරවරු 11 සිට පස්වරු 04:30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එසේම අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින්ගේ මාසික වැටුප් සහ දීමනා වැඩි කිරීමට අදාළ යෝජනාවක් ද හෙට (06) විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව ජුලි මස 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා ෴

******************************************

දැරිය අපයෝජනයට අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයා එරට හිටපු අමාත්‍යවරයෙකු බවට හෙළිවේ

(05.07.2021 – 17:04 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයා එරට හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

මාලදිවයින් මාධ්‍ය වාර්තා මේ බව තහවුරු කර ඇති අතර සැකකරු ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළේ.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හොටල් සේවකයා ද මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

එහිදී ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරිය නියෝග කළේ.

එමෙන්ම බාල වයස්කාර දැරියක් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති එම දැරියගේ මව ඇප මත මුදා හරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඊට අමතරව බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කිරීමට දැන්වීම් පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද වෙබ් අඩවියක හිමිකරුවෙකුට හා මූල්‍ය කළමණාකරුවෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (04) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (05) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

අදාළ පැමිණිල්ල අද (05) යලි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම සැකකරුවන් දෙදෙනාගේ නීතිඥවරු තම සේවාදායකයන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට විරෝධය පළ කළ අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවේ නිළධාරීන් මොවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශණ සිදුකරන හෙයින් මොවුන්ට ඇප මත මුදා හැරීම තුලින් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවයි දැනුම් දුන්නේ.

ඒ අනුව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිළධාරීන්ට පෙන්වා දුන්නේ අවම වශයෙන් පාසල් ආරම්භ වනතුරුවත් ළමයින් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

වර්තමානයේ පාසල් වසා ඇති නිසා අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් ජංගම දුරකතන හෝ පරිගණක ළමයින් අතට පත්වීම වැළැක්විය නොහැකි බව ද විනිසුරුවරිය පෙන්වා දුන්නා.

දෙමාපියන් රාජකාරි සඳහා නිවසින් බැහැරව සිටින අවස්ථාවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපකරණ පරිහරණය කරන බවද ඇය පෙන්වා දුන්නා.

මෙවැනි අවස්ථාවක දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය පාසල් ආරම්භ වනතුරුවත් එම ප්‍රවේශය වැළැක්විය හැකි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටයි පොලිසියට නියෝග කළේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිළධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා බවයි.

+++++++++++++

******************************************

දීගොඩ කුමාර සූරීන්ගේ අධිමානසික බලය …(05.07.2021)

= හෙට ලොව වෛද්‍ය විද්‍යාව අද =
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *