ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට

ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට

*********************************************

ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට

(05.07.2021 – 15:16 +0530 – lankadeepa.lk)

ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු පහක් (5) සහ ප්ලාස්ටික් ඇට විශාල ප්‍රමාණයක් අද (05) පස්වරුවේදී ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි.

එම ප්ලාස්ටික් ඇට සහිත මලු පහ (5) ගල්කිස්ස පොලිසියේ පරිසර කොට්ඨාසයේ නිලධාරීන්ගේ බාරයට ගත් අතර වෙරළ තීරය පුරා ප්ලාස්ටික් ඇට විසිරී තිබෙනු දක්නට ලැබිණි.

ඊයේ (04) දින ද එක් මල්ලක් සමග ඇට වෙරළ තීරයට ගොඩ ගසා තිබිණි.

******************************************

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා ‘මක්තබ් මද්‍රසා’ තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි

(04.07.2021 – colombotoday.com)

මෙරට ජීවත්වන සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ පවා දැඩි විවෙචනයට ලක්ව තිබෙන, අන්තවාදී ඉගැන්වීම් සිදුකරන බවට චෝදනා එල්ලවී තිබෙන ‘මක්තබ් මද්‍රසා’ වකූෆ් සභාව යටතට ගෙන නිත්‍යානුකුල කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා වකූෆ් සභාව තීරණය කර තිබේ.

අවබෝධතා ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දෙවැනිදා පවත්වා ඇති අතර ඒ සඳහා උලමා සභාවේ ප්‍රධානින් සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ ඇතුළු බොහෝ නිලධාරීන් පැමිණ ඇත.

දැනටමත් මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ දැඩි විරෝධය දක්වා ඇත.

Facebook සටහනක් තබමින් දෙවටගහ පල්ලියේ සභාපති රියාස් සාලි මහතා සඳහන් කර සිටින්නේ

“පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව මගින් මක්තබ් මද්‍රසා නැවැත්වීමට නිර්දේශ කරයි, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව එය ප්‍රතිසංස්කරණය කරන බව පවසමින් මක්තබ් සඳහා සහාය දක්වයි.”

69 ලක්ෂයේ ජනවරමට පිටින් ජනාධිපතිවරයා නොමග යවා බහුතර සිංහල බෞද්ධයන් මෙන්ම සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය පවා විරුද්ධවන ‘මත්තබ් මද්‍රසා’ ක්‍රමය නිත්‍යානුකුල කිරීම කාගේ සැලසුමක්ද යන්න සොයා බැලිය යුතුව ඇත. රාජපක්ෂ රජය අප්‍රසාදයට පත්කර 2015 මෙන් 2025 දී බෞද්ධ විරෝධී රජයක් බෞද්ධයන් ගේ කරමතින්ම ගෙන ඒමේ කුමන්ත්‍රණ කරුවන් වර්තමානයේ රජයේ ඉහළ පුටුවලට රිංගා මෙලෙස අන්තවාදීන්ට ගොඩ නැගෙන්න උදව් කරනවා විය හැක.

අපට සිදුකල හැක්කේ වාර්තා කිරීම පමණි, ක්‍රියාමාර්ග ගැනීම බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම රජයේ බලධාරීන්ගේ ද වගකීමකි ෴

******************************************

පෙම්වතාට වයස 40 යි, පෙම්වතියට 11 යි. රූම් ගිහිං එද්දී පොලීසියට මාට්ටු – පෙම්වතා බන්ධනාගාරයට, දැරිය පරිවාස භාරයට

(04.07.2021 – colombotoday.com)

වයස අවුරුදු 40 ක පුද්ගලයකු වයස අවුරදු 11 ක පාසල් දැරියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගනිමින් ලැගුම්හලක සිට පැමිණෙමින් සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිට පළාතක සිට මැදවච්චියට පැමිණ JCB යන්ත්‍රයක ක්‍රියාකරු ලෙස කටයුතු කළ 40 හැවිරිදි ‘ලියනගේ ශාන්ත කුමාර’ නැමැති අයෙකි.

පසුගියදා (02) සවස මැදවච්චිය නගරයේදි යතුරු පැදියකින් මෙම සැකකරු විසින් 11 හැවිරිදි පාසල් දැරිය රැගෙන යමින් සිටියදි මැදවච්චිය පොලිසියට ඇති වු සැකයක් හේතුවෙන් පරික්ෂා කර බැලීමේදී දැරිය සහ මෙම පුද්ගලයා අතර ප්‍රේම සම්බන්ධයක් තිබු බවත්, එදින මෙම දෙදෙනා විසින් මැදවච්චිය ගල්වල පාර පිහිටි ලැගුම්හලකට ගොස් පැමිණෙමින් සිටින බවටත් හෙළි වී ඇත.

ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, 11 හැවිරිදි දැරිය මැදවච්චිය පොළිස් කාන්තා කාර්යාංශය වෙත භාර දිමෙන් අනතුරුව අනුරාධපුර පිහිටි පරිවාසයට යොමු කර ඇත.

40 හැවිරිදි ප්‍රේම සම්බන්ධය පැවැත්වු සැකකරු සහ බාල අපරාධය සිදු කිරීමට අනුබල දුන් ලැගුම්හලේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බණ්ධනාගාර ගත කර ඇත.

මැදවච්චිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර බංඩාර නවරත්න මහතාගේ උපදෙස් පරිදි කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජන්තා කිර්තිසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි ෴

******************************************

කෝටිපති ව්‍යාපාරිකයෙකුට කන්‍යාවියන් විකුණලා… – ගණිකා ජාවාරමේ නිරත ප්‍රසිද්ධ මෙල්ඩා අත්අඩංගුවට

(05.07.2021 – colombotoday.com)

කෝටිපති ව්‍යාපාරිකයන්ට කන්‍යාවියන් සැපයීමේ ජාවාරමක නිරත වූ ජාවාරම්කරුවකු ළමා හා කාන්තා කාර්යංශය ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන ඇත.

පිළිකා රෝගයකින් පෙළෙන විසි එක් (21) හැවිරිදි තරුණියක රුපියල් ලක්ෂ තුනකට (3,00,000) පොළොන්නරුවේ ප්‍රාදේශීය සභාවල ඉදිකිරීම් භාරව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුට විකිණීමට සූදානම් වීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පහළොස් (15) හැවිරිදි බාල වයස්කාර දැරිවියක කන්‍යාවියක් බව කියමින් රුපියල් ලක්ෂ තුනකට (3,00,000) අදාළ ව්‍යාපාරිකයාට විකුණා ඇත්තේද ‘මෙල්ඩා’ නමින් ප්‍රසිද්ධ මෙම ජාවාරම්කරු බව හෙළිවී ඇත.

දැනට අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරිකයාගේ දුරකථනය භාරයට ගෙන විශ්ලේෂණය කිරීමේදී මෙම සතියේදී පිළිකා රෝගී තරුණියව කන්‍යාවියක් සේ විකිණීමේ සූදානම හෙළි වී තිබේ.

මෙම කෝටිපතියාට කන්‍යාවියන් සොයා දීමේදී කන්‍යා භාවය ගැන වෛද්‍ය සහතික පවා ලබාදී ඇති බවත්, මෙල්ඩා නමැති සැකකරු තරුණියන්ගේ සංචිතයක් පවත්වාගෙන යමින් ගණිකා ජාවාරමේ නිරත ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු බවත් හෙළි වී ඇත ෴

******************************************

කෝටි ගණනක් වංචා කළ පෞද්ගලික බැංකු සේවකයා අතුරුදන්

(05.07.2021 – 12:42 +0530 – lankadeepa.lk)

මෝටර් රථ හා මුදල් ඇතුළු රුපියල් කෝටි ගණනක වංචා කර පෞද්ගලික බැංකුවක සේවය කළ පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

සැකකරු මෙම බැංකුවේ රථවාහන ලීසිං ණය ලබාගන්න ගනුදෙනු කරුවන් සමග හිතවත්ව මෙම වංචාව සිදුකර ඇති බවද විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

රුපියල් කෝටි එකහමාරක් (1,50,00,000) පමණ වටිනා නවීන මෝටර් රථ 5 ක් මෙසේ වංචා සහගත ලෙස ලබාගෙන හිතවතුන්ට උගස් කර රුපියල් කෝටියක (1,00,00,000) පමණ මුදලක් ලබාගෙන ඇති අතර එම වාහන වලින් වාහන තුනක් (3) සොයාගැනීමට පොලිසිය සමත්ව ඇතැයි අනාවරණය වි ඇතැයි පොලීසිය කියයි.

මෙම බැංකුවෙන් වාහන ලීසීං පහසුකම් ලබාගෙන තිබූ ඇතැම් ගනුදෙනුකරුවන් සොයාගෙන ගොස් රුපියල් ලක්ෂ ගණනක ලීසිං වාරික එකතු කරගෙන තම සන්තකයේ තබාගෙන ඇති බවටද පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය සඳහන්කළේය .

මෙම බැංකුවේ ලදුපත් පොතක් තවමත් සැකකරු ලග ඇතිබවට බැංකුවේ කළමණාකාර වරායද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර තම සැමියා අතුරුදන්ව ඇතැයි සැකකරුගේ බිරිඳ විසින්ද පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය පැවසීය.

මේ වන විට පුද්ගලයා සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලීසිය කීවේය ෴

******************************************

(05.07.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ විස්ස (20) යන දෙදින තුළ විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදියි.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සන් සහිතව අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවේ පසුගිය මස 16 වනදායි.

කරුණු 10 කින් සමන්විත අදාළ විශ්වාසභංග යෝජනාවේ දක්වා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ලිඛිතව සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.

මේ අතර හෙට (06) දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදි අධිකරණ අමාත්‍යාංශය යටතේ නීති පනත්වලට අදාළ නියමයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.

එමෙන්ම අනිද්දා (06) අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් ද විවාදයට ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

******************************************

(05.07.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

මියගොස් සිටි කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් තලවකැලේ – ආගරපතන – ග්ලාස්ගෝ වත්තේ තිබී සොයාගෙන තිබෙනවා. එම සත්වයාගේ ගෙළෙහි කැපුම් තුවාල වැනි යමක් දක්නට ලැබෙන බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු හතරක් (4) පමණ වන අඩි හතරක් (4) පමණ දිගින් යුත් කඳුකර කොටි ධේනුවක්. මෙම සත්වයා මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට රැගෙන ගොස් තිබෙනවා ෴

******************************************

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයක් එළිපත්තේ – හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙක් කියයි

(05.07.2021 – 12:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය 2013 වසරේ සිට ක්‍රමිකව මතුවූ තත්වයන්ට නිසි පිළියම් නොයෙදීම හේතුවෙන් ඇති වූවක් බව ජේෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥයෙකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියොජ්‍ය අධිපති වරයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පවසනවා.

පැවති කිසිදු රජයක් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වර්ෂ 2019 වන විට මෙරට ආර්ථිකය අතිශය බරපතල තත්ත්වයකට ඇද වැටුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ක්‍රමිකව වර්ධනය වූ මේ තත්ත්වයත් සමග 2019 වර්ෂයේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා පහළ වැටුණු අතර 2020 වසරේදී ලොව පුරා පැතිර ගිය කෝවිඩ් වසංගත තත්ත්වය හෙතුවෙන් එය තවත් බරපතල අගාධයකට ඇද දැමූ බවයි ආචාර්ය විජේවර්ධන මහතා පවසන්නේ.

මේ නිසා 2020 වර්ෂයේ දී මෙරට ආර්ථික වර්ධන වේගය ‘රින 3.0’ ක මට්ටමක් දක්වා පහළ වැටුණු බව ඔහු පෙන්වා දෙනවා.

2021 වර්ෂයේදී මෙරට ආර්ථිකය යම් තරමකින් සවිමත් වන බවට පුරෝකථනයන් කෙරුණද තුන්වෙනි කොවිඩ් රැල්ලත් සමඟ එම තත්ත්වයන් බිඳ වැටුණු අතර මේ වර්ෂය තුළ ද ආර්ථික වර්ධනයේ බලාපොරොත්තු විය හැක්කේ රින අගයක් බවයි ආචාර්ය විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

ඔහු පවසන්නේ දැනට මෙරට තුළ පවතින තත්ත්වය අනුව ආර්ථිකය නැවත යථාවත් කිරීම බලාපොරොත්තු විය හැක්කේ වර්ෂ 2025 දී පමණ බවයි.

අද වන විට ශ්‍රි ලංකාව බරපතල විදේශ විනිමය අර්බුදයකට ලක්ව ඇති බවත් මහ බැංකුවට මුදල් සැපයීම පිළිබඳව ගැටළු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙරට තුළ විනිමය අර්බුදයක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකු බලධාරීන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය විජේවර්ධන මහතා කියා සිටියේ නිලධාරීන් ලෙස ඔවුන්ට ඉන් එහාට යමක් සිදු කළ නොහැකි බවයි.

නමුත් වර්ෂ 2013 සිට මෙරට අඩු වැඩි වශයෙන් විදෙස් විනිමය අර්බුදයන්ට මුහුණ දුන් බවත් ඔහු පෙන්වා දෙනවා.

නව රජය 2019 දී බලයට පත් වූ විගස ස්වාධීන විගණන ආයතන මෙන්ම ආර්ථික විශේෂඥයින් ද මෙම අර්බුදය සම්බන්ධයෙන්යෙන් රජයේ දැනුවත් කළ බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ එවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට තුළ විනිමය අර්බුදයක් නැතැයි පැවසීම පිළිගත නොහැකි කරුණක් බවයි.

හිටපු මහ බංකු නියොජ්‍ය අධිපතිවරයා පවසන්නේ මේ අවස්ථාවේදී මහ බැංකුව විසින් සිදුකල යුතු ප්‍රමුඛතම කාර්ය වන්නේ පවතින තත්ත්වය සැඟ වීමකින් තොරව නොවලහා හෙළි කිරීම බවයි.

එවන් ක්‍රියා මාර්ගයක් හරහා වෙළඳපොල තුළ මතුව ඇති අනවශ්‍ය බිය පාලනය කළ හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහ බැංකුවක සන්නිවේදන ප්‍රතිපත්තිය ලෙස අද පිළිගැනෙන්නේ සියලු තොරතුරු සැඟවීම කින් තොරව මහජනතාව වෙත ඉදිරි ඉදිරිපත් කිරීම බවයි.

එහිදී කරුණු අවබෝධ කරගන්නා මහජනතාව ද එළැඹෙන තත්ත්වයන්ට මුහුණදීමට දීමට සූදානම් කිරීම රටක් ලෙස වඩාත් ඵලදායී බව ඔහු සඳහන් කරනවා.

මහ බැංකු අධිපති අධිපතිවරයා මෙරට තුළ විදෙස් සංචිත අර්බුදයක් නැතැයි පැවසු දිනට පසු දිනම මෙරට විදෙස් මුදල් ගනුදෙනු කෙරෙන කළු කඩ වල අමෙරිකානු ඩොලරය රුපියල් 220 දක්වා ඉහළ ගිය බවයි ආචාර්ය විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ. ඒ වන විට මහා බැංකුවේ ඇමරිකානු ඩොලරයක් සඳහා පනවා තිබූ විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් දෙසිය දෙකක් (202) ලෙසටයි.

එම තත්ත්වය හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දෙන ආචාර්ය විජේවර්ධන මහතා පවසන්නේ කරුණු සැඟවීම හරහා මේ තත්ත්වය තවත් බරපතල විය හැකි බවයි.

විදෙස් ණය ගැනීම් හරහා මෙරට ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ මහබැංකු උපාය මාර්ගය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය විජේවර්ධන මහතා කියා සිටියේ මැයි මස අග වන විට ශ්‍රි ලංකා මහ බැංකුව සතුව තිබූ භාවිතයට ගත් හැකි අමරිකානු ඩොලර් සංචිතය බිලියන 3.6 ක් පමණක් වූ බවයි.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ජාත්‍යන්තර ණය වාරික ඇතුළු අනෙකුත් ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක පමණ විදේශ විනිමය සංචිතයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සියලු ලැබීම් එකතු කළ ද මෙරට විදෙස් මුදල් සංචිතය ඉහළ යන්නේ ඇමරිකානු ඩොලර් බිලියන හයක් (6) දක්වා පමණක් බව පෙන්වා දෙන ආචාර්ය විජේවර්ධන කියා සිටින්නේ ඒ අනුව අමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ හිගයක් මෙරට විදෙස් මුදල් සංචිතය තුල ඇති වන බවයි.

මේ හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම දිගින් දිගටම සිදු විය හැකි බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දෙනවා.

ඇතැම් විට පවතින තත්ත්වය හමුවේ රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 240 දක්වා ඉහළ යාහැකි බවත්, එම තත්ත්වය පාලනය කරගත හැක්කේ මහ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හරහා බවත් ආචාර්ය විජේවර්ධන මහතා කියා සිටී.

එම ක්‍රියාමාර්ග ද විනිවිද පෙනෙන ආකාරයට සිදු කර ඒ හරහා ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත් යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නව ලෝක ආර්ථික ප්‍රතිපත්ති අනුව යමින් මුදල් මුද්‍රණය කර ආර්ථිකයට මුදා මුදාහැරීම හරහා දැඩි උද්ධමනකාරී තත්ත්වය දිරියේ දී ඇතිවිය හැකි බවත්, මහ බැංකුවේ නව පරිපාලනය යටතේ මාස 17 ක් තුළ රුපියල් බිලියන 2401 ක නව මුදල් මෙරට ආර්ථිකයට මුදා හැර ඇති බවත් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටී.

එය අතිශය බරපතල තත්ත්වයක් බවයි ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

1988 වසරේදී සහ 2008 වසරේ දී මේ ආකාරයෙන්ම දැඩි ලෙස මුල්‍ය අර්බූදයකට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමුඛ මෙරට ආර්ථිකය මුහුණ දුන් බවත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අවශ්‍ය අරමුදල් ප්‍රතිපූර්ණය කර ගැනීම බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය මුදල් සඳහා ගෙවිය යුතු 0.5% වන පොලී අනුපාතයන් සලකා බැලීමේ දී චීනය, ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල් වලින් ‘ස්වැප්’ පහසුකම් යටතේ ලබා ගන්නා ණය ලබා ගැනීම් වලට වඩා ප්‍රතිඵලදායක බවයි ආචාර්ය විජේවර්ධන මහතා පවසන්නේ.

කෙසේ වෙතත් පවතින තත්ත්වයන්ට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන විසඳුම් සොයා ගැනීම ද මහ බැංකුව සතු පැහැර හැරිය නොහැකි වගකීමක් බව පෙන්වා දෙන හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී දී රට බරපතළ ආර්ථික ආගාධයකට ඇද වැටෙනු නියත බවයි ෴

******************************************

(05.07.2021 – 12:23 +0530 – hirunews.lk/sinhala)

ආනයන සීමා කිරීම හරහා රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

******************************************

(05.07.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(05.07.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර සේවකයින්, ඖෂධ සංයෝජකයින් ඇතුළු සෞඛ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 14 ක් අද (05) ආරම්භ කළ අඛන්ඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.

මේ හේතුවෙන් සායනික කටයුතු ඇතුළු ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

හෙද සේවයට පමණක් සුවිශේෂ වරප්‍රසාද ලබාදීම ඇතුළු තවත් ඉල්ලීම් 14 ක් මුල් කර ගනිමිනුයි ඔවුන් අද (05) උදෑසන 07:30 සිට මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද කාර්ය මණ්ඩලය ද පසුගිය දින 2 ක් තුළ අසනීප නිවාඩු වාර්තා කර වර්ජනයක් ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ද අපහසුතාවට පත්වූයේ ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණි රෝගීන්.

කෙසේ වෙතත්, මෙම වැඩවර්ජනය හේතුවෙන් අද (05) දිනයේදීත් අපහසුතාවට පත්වූයේ ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන්.

මේ අතර, රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 7500 ක දීමනාව මෙතෙක් ලබානොදීමට විරෝධය පළ කරමින් හෝමාගම මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (05) නිහඬ විරෝධතාවක නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *