අමෙරිකාවේ බෞද්ධ විහාරස්ථාන කිහිපයක පිං කැට කඩා මුදල් සොරා ගැනීමේ සිද්ධීන් මාලාවක්

අමෙරිකාවේ බෞද්ධ විහාරස්ථාන කිහිපයක පිං කැට කඩා මුදල් සොරා ගැනීමේ සිද්ධීන් මාලාවක්

*********************************************

අමෙරිකාවේ බෞද්ධ විහාරස්ථාන කිහිපයක පිං කැට කඩා මුදල් සොරා ගැනීමේ සිද්ධීන් මාලාවක්

(30.03.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතියේ අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ බෞද්ධ විහාරස්ථාන කිහිපයක පිං කැට බිඳ එහි මුදල් සොරකම් කිරීමක් පිළිබඳව අමෙරිකානු CNBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

දකුණු කැලිෆෝනියාවේ එක් විහාරස්ථානයකට මෙලෙස පැමිණි පිරිසක් එහි වැඩ වාසයකරන ස්වාමීන් වහන්සේට පවසා ඇත්තේ ඔවුන්ගේ මිත්තණියට ආශිර්වාද ලබාගත යුතු බවටයි.

ඒ අවස්ථාවේදී විහාරස්ථානයේ වැඩසිටි හිමිවරුන් එම කටයුත්ත කිරීමට සැරසී තිබෙනවා.

එහිදී එම මිත්තණිය හිමිවරුන් සමඟ කතාබහ කරමින් සිටියදී අදාල සොරකම සිදුවී ඇති බවටයි දකුණු කැලිෆෝනියා විහාරස්ථානයේ පූජ්‍ය ධම්මජෝති හිමියන් පවසන්නේ.

මෙලෙස පැමිණි කණ්ඩායම විහාරස්ථානයේ පිං කැටය බිඳ එහි තිබූ ඩොලර් දහස් ගණනක් සොරාගෙන ගොස් තිබෙනවා.

මෙම සිද්ධියෙන් මහත් කම්පනයට පත්ව ඇති විහාරස්ථානයේ හිමිවරුන් පවසන්නේ අදාල මුදල් සොරකම් සිදුකළ පිරිස තමන්ගේ අනුකම්පාව සහ කරුණාව අවභාවිත කර ඇති බවයි.

එමෙන්ම එය ඉතා හොඳින් සැලසුම්කර සිදුකළ ක්‍රියාවක් බව පෙනෙන්නට ඇති බවත් හිමිවරුන් වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ මෙයට සම්බන්ධ පස්දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම දකුණු කැලිෆෝනියාවේ රිවර්සයිඩ් විහාරස්ථානයේත් මේ ආකාරයෙන්ම මුදල් සොරකමක් සිදුවී ඇති අයුරු එහි ඇති ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.

පළමු සොරකමට සම්බන්ධ කණ්ඩායමේම පිරිසක් මේ සඳහාත් එක්වී ඇති බවටයි රිවර්සයිඩ් පොලිසිය විශ්වාසය ඵලකරන්නේ ෴

******************************************

(30.03.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 89 ක වියදමින් සිදුකෙරුණු ගල්කිස්ස කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය සාර්ථකද? අසාර්ථකද?

ඒ පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහක් මතුව තිබෙනවා.

එහි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමක් මේ.

******************************************

(30.03.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් පිරිසක් යට කර පලා යාමට උත්සාහ කළ ආබාධිත රියදුරෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල ආසන්නයේදී අදාළ මෝටර් රථය පරීක්ෂාවට ලක්කල අවස්ථාවේදියි ෴

******************************************

(30.03.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

හයිලෙවල් මාර්ගයේ මහරගම – පන්නිපිටිය ප්‍රදේශයේදී රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ පහරකෑමට ලක්වු ලොරි රථ රියදුරා සහ එම පොලිස් කොස්තාපල්වරයාද අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පහරදීමෙන් පසු වැඩ තහනමකට ද ලක්වූ මෙම කොස්තාපල්වරයා සහ ලොරි රථ රියදුරා ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබුවා.

රාජකාරියේ නිරතව සිටි මහරගම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කිරීම හේතුවෙන් අදාළ කොස්තාපල්වරයා ලොරි රථ රියදුරාට අමානුෂික ලෙස පහර දී තිබූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ඊට අදාළ දර්ශන හුවමාරු වීමත් සමඟයි පොලිස් මූලස්ථානය ඊයේ (29) මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ.

ලොරි රථයේ ගැටුණු මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එවන් පසුබිමක පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහරදීමට තැත් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මෙම සිදුවීම වීරවිල පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගයක සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

******************************************

(30.03.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඊයේ (29) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඒ, අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඒ අනුව, පළාතක වැඩිම ඡන්ද ලබා ගන්නා දේශපාලන පක්ෂයට ලැබීමට නියමිත ප්‍රසාද මන්ත්‍රී ධුර දෙක (2) වෙනුවට එක් දිස්ත්‍රික්කයකට මන්ත්‍රී ධුර 2 බැගින් ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත මගින් යෝජනා වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ ෴

******************************************

(30.03.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මාතලේ, බඩඅත, කරන්දෙනිය, උඩුකාව, ඇඹිලිපිටිය, කළුතර, මඩකලපුව සහ නවගම්පුර යන ප්‍රදේශවල කර්මාන්තපුර 8 ක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටස් 16 ක මෙලෙස වෙන් කෙරෙනු ඇති.

ඒ අනුව අදාළ ඉඩම් ආයෝජකයින් සඳහා වෙන් කර දීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

එය වසර 35 ක බදු පදනම මත වෙනත් පාර්ශවයකට පැවරීමට නොහැකි ලෙස වෙන් කර දීමටයි පියවර ගැනෙන්නේ ෴

******************************************

(30.03.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

හයිලෙවල් මාර්ගයේ මහරගම – පන්නිපිටිය ප්‍රදේශයේදී රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන අප්‍රේල් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනාම අද (30) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී පහරකෑමට ලක්වූ රියදුරා ඇප මත මුදා හැර ඇති අතර, ඔහුගේ රියදුරු බලපත්‍රය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

++++++++++++

******************************************

(30.03.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (31) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුකර තිබෙනවා.

මේ අතර තැපැල් වෘත්තීය සමිති කිහිපයක් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා.

ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවට නිළධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු ඇතුලු ගැටලු හයක් (6) මුල් කරගනිමින් මෙම විරෝධතාවය සිදු කරන බවයි ෴

වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කිරීමට තැපැල්පතිවරයා කටයුතු කර තිබෙනවා.

ඒ, අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත තැපැල් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අත්‍යවශ්‍ය රාජකාරි බිඳ වැටී, මහජන සේවා අඩාල නොවී පවත්වාගෙන යාමටයි.

අසනීප තත්වයක් මත රාජකාරි සඳහා වාර්තා නොකරන අවස්ථාවකදී රජයේ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත්, තැපැල් දෙපාර්තමේන්තුවට නිළධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු ඇතුලු ගැටලු හයක් (6) මුල් කරගනිමින් සිය සංකේත වර්ජනය හෙට (31) දිනයේ සිදු කරන බවයි තැපැල් සහ විදුලිසංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

******************************************

(30.03.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

පිළිකා කාරක පොල්තෙල් ජනතාවට අලෙවි කරන මාෆියාකරුවන් ආරක්ෂා කරන යුගයක් රට තුළ බිහිවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

මේ අතර, ප්‍රශ්නගත පොල්තෙල් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

******************************************

(30.03.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය සඳහා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත්කිරීමට රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව හෙවත් කෝපා කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව ඉදිරි සති 2 තුළ රැස්වීමට නියමිතයි.

******************************************

(30.03.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 31 වනදායින් පසුව ප්ලාස්ටික් වර්ග 6 කට පැනවෙන තහනම පිළිබඳව අප පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා පලකල අදහස් පහතින් :

******************************************

(30.03.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාවක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාගේ ප්‍රදානත්වයෙන් රැස්වූ කෝප් කමිටුවේදී අනාවරණය වුණා.

මෙම සභාරැස්වීමේදී අනාවරණය වුයේ මෙම උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි.

පේරාදෙණිය පශ්චාත් විද්‍ය උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා ගිය ස්ථාවර තැන්පතු 14 ක් වසර 7ක් තුළ අවසන් කර ලබා ගත් රුපියල් මිලියන 93 ක මුදලින්, රුපියල් මිලියන 37 ක් පමණක් නව ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඉතිරි රුපියල් මිලියන 50 ක මුදල ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරීවරයා විසින් වංචා සහගත සිය පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන ඇති බව මෙහිදී හෙළි වුනා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල නිලධාරිගේ වැඩ තහනම් කර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් ද සිදු කෙරෙන බව කමිටුවේදී වැඩි දුරටත් අනාවරණය වුනා.

මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලක සභාව මගින් විනය පරික්ෂණයක්ද සිදු කෙරෙනවා.

මීට අමතරව විද්‍යා පීඨයේ පුස්තකාලාධිපතිවරයා පශ්චාත් උපාධි ආයතනයේ සේවය කිරීම වෙනුවෙන් අදාල මාසික වේතනයට අමතරව 10% ක දීමනාවක් එම ආයතනය මගින් අනුමැතියකින් තොරව ගෙවීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමු වුනා.

එමෙන්ම පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරුන් සඳහා ප්‍රවාහන දීමනා ගෙවීමේදී අදාළ චක්‍රලේඛවලට අනුව කටයුතු කර තිබේද යන්න පිළිබඳවත් මෙහිදී ප්‍රශ්න කෙරුනා.

එමෙන්ම රටපුරා පවතින පශ්චාත් උපාධි ආයතන 09 ම පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීමට උපකමිටුවක් පත්කොට මාස 06 ක් ඇතුලත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කෝප් කමිටුව අධ්‍යාපන හා උසස් අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ 2018/19 වර්ෂයන්හි විගණන වාර්තා සහ කාර්ය සාධනය පිළබඳ විමර්ශනය කිරීමට මෙම කෝප් රැස්වීම කැදවා තිබුනා ෴

******************************************

(30.03.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

හයිලෙවල් මාර්ගයේ මහරගම – පන්නිපිටිය ප්‍රදේශයේදී රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන අප්‍රේල් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වලදී තවත් පුද්ගලයෙකුද එම රියදුරුට පහර දෙන බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට නීතිය ක්‍රියාත්මක කිරිමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි ෴

******************************************

(30.03.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

තලවාකැලේ, තේ වතුයායක අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට අද (30) පස්වරුවේ හදිසි බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙක් තුවාල ලබා, ලිඳුල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවයි තලවාකැලේ පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(30.03.2021 – 18:28 +0530 – hirunews.lk/sinhala)

කිරුළපන, හයිලෙවල් මාර්ගයේ ඉන්ධන පිරවුම් හළක් අසල ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා. පිරවුම් හලකින් ඉන්ධන ලබාගෙන යන අතරතුර මෙම ගිනි ගැනීම හට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

ගින්න ඇති වන විට එම රථයෙහි දෙදෙනකු (2) සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත්, ගින්න හට ගන්නා අවස්ථාවේදී ඔවුන් ඉන් පිටතට පැන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(30.03.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබදව චීනයේ වූහාන් නගරයට ගොස් පරීක්ෂණ පැවැත්වූ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායම අද (30) සිය වාර්තාව එළිදක්වනවා.

ඊට පෙර අදාළ වාර්තාවේ පිටපතක් තමන් වෙත ලැබුණු බවයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ.

එහි දැක්වෙන්නේ කොරෝනා වෛරසය බොහෝ දුරට වවුලන්ගෙන් මිනිසාට හුවමාරු වී ඇති අතර, ඒ සඳහා අතරමැදි සත්ත්වයෙකු ද දායක වී ඇති බවයි.

එමෙන්ම, කොරෝනා වෛරසය වූහාන් වෛරස් පරීක්ෂණාගාරයෙන් නික්මුණු බවට අමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ පිරිසක් විසින් එල්ල කල චෝදනා ද ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා.

කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 28 ලක්ෂය ඉක්මවා ඇති අතර, ආසාදිත සංඛ්‍යාව දොළොස් කෝටි 82 ලක්ෂයකට අධිකයි ෴

+++++++++++++++++

(30.03.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (29) දිනයේදී මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් 215 දෙනා අතරින් වැඩිම පිරිස වන 47 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (29) අලුතින් ආසාදිතයින් 17 දෙනෙකු සොයා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 92,303 ක් ලෙසයි.

යාපනයේ – තිරුණවේලි ප්‍රදේශයේදී නව කොරෝනා ආසාදිතයින් 176 ක් හමුවීමත් සමඟ එම ප්‍රදේශයට පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා ප්‍රකාශ කළා.

ඇමරිකානු ෆයිසර් – බයෝඑන්ටෙක් සහ මොඩර්නා කොරෝනා එන්නත් පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු වෛරසය ආසාදනය වීම සියයට 80 කින් වළක්වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එමෙන්ම, එහි දෙවන මාත්‍රාව ලබාදීමෙන් සියයට 90 ක රැකවරණයක් සැලසෙන බවයි සී.ඩී.සී හෙවත් ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කළේ.

මේ අතර, පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහුට චීන සිනොෆාම් කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වීම විශේෂත්වයක්.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ද කොරෝනා වැලදුණු අතර, එරට ආරක්ෂක අමාත්‍ය ෆර්වේස් කටාක් ට ද වෛරසය ආසාදනය වී ඇති බව පාකිස්තාන ඩෝන් පුවත්පත වාර්තා කළා.

+++++++++++++++++++

(30.03.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් 176 දෙනෙකු අද (30) දිනයේ දී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 89,090 ක් ලෙසයි.

මේ අතර මෙරට ක්‍රියාත්මක කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මේ වනවිට පුද්ගලයින් 9,03,467 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා ෴

අද (30) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 102 ක් වාර්තා වී තිබෙනවා ෴

අද (30) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 23 ක් වාර්තා වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *