යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 3 දෙනෙකුට කොරෝනා

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 3 දෙනෙකුට කොරෝනා

*********************************************

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 3 දෙනෙකුට කොරෝනා

(30.12.2020 – 11:57 +0530 – hirunews.lk/sinhala)

= යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 3 දෙනෙකුට කොරෝනා – නව වසර අලුත් විදිහට සමරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි =

සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියට අදාළව යුක්රේනයේ සිට දිවයිනට පැමිණි සංචාරකයන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම තත්ත්වය පාලනය කරගනිමින් අදාළ නියමු ව්‍යාපෘතියට අදාළ කටයුතු මේ වනවිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කළමනාකරණය කර ඇති බවයි.

මේ අතර, ඊයේ (29) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 460 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 249 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාවෙන් 165 ක්ම වාර්තා වූයේ කොළඹ මහ නගර සභා සීමාවෙන්. අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 29 දෙනෙකුද වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් පනස් දෙදෙනෙකු (52) ඊයේ (29) හඳුනාගෙන තිබූ අතර, ඉන් විසිදෙදෙනෙකු (22) වාර්තා වී තිබුණේ පූගොඩින්. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 දෙනෙකු වාර්තා වී තිබුණා.

කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,977 ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 9,095 ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3,359 දෙනෙකු කොරෝනා දෙවන රැල්ලට අදාළව වාර්තා වී ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,597 ක් වනවා.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සංඛ්‍යාව මේ වනවිට 11,000 කට ආසන්න වී තිබෙනවා. ඉන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 74 ක්. එසේම, ගාලු මුවදොර පිටියේදී අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලදී 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදඟන් කළේ.

එසේම, කොරෝනා ව්‍යාප්ත නොවන අයුරින් නව අලුත් අවුරුදු උදාව අලුත් ආකාරයකට සමරන්නැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවට දැනුම් දෙනවා.

උත්සව සමයේදී නිරෝධායන නීති අනුගමනය කරන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොදු ප්‍රවාහන සේවා සහ කොළඹින් පිටත්වන බස් රථවලට සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා. එසේම, මෙවර අවුරුදු උදාවේදී සාද සීමා කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කළා ෴

+++++++++++++++++

(30.12.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට පත් කළ විද්වත් කමිටුවට පරිසර අමාත්‍යංශය විසින් භූ විද්‍යාඥයින් කිහිපදෙනෙකු සම්බන්ධ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෙසේවෙතත්, අදාළ විද්වත් කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දී ඇති බව ඊයේ (29) වාර්තා වුණා.

++++++++++++++++++++

කොරෝනා නසන්න අන්නාසි

(12.12.2020 – lankadeepa.lk)

ලෝකයම ඉතා දරුණු ලෙස මුහුණ දී ඇති කොවිඩ් වෛරසයට එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීමට තවමත් කිසිඳු රටක් ස්ථිරසාරව සමත් වී නොමැත.

ලොව දියුණු රටවල් තවමත් ඒ සඳහා පර්යේෂණ කරන අවධියක කොරෝනා වෛරසය නැසීමට පලතුරක් වන අන්නාසි යොද‌ා ගනිමින් ඖෂධයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් පසුගිය ද‌ා අත්හද‌ා බැලීමක් සිදු කළහ.

මෙම අත්හද‌ා බැලීම සිදුකර ඇත්තේ පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරීමට සොයාගත් සංවර්ධනය කෙරුණු ඖෂධයකිනි. එහිදී අන්නාසිවල තිබෙන එන්සයිමයක් භාවිත කර මෙම වෛරසය මානව සෛලවලට ආසාදනය වන ප්‍රේටීන් (ස්පයික් ප්‍රෝටීන්ස්) දිය කර හැරීමට අන්නාසිවල තිබෙන හැකියාව එම පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

අන්නාසිවල තිබෙන එම එන්සයිමය භාවිත කරමින් නාසයට ඉසින දියරයක් ලෙස සැකසීමට මෙම පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත. කොරෝනා වෛරසය නාසයෙන් උගුරටත්, ඉන් අනතුරුව පෙනහලුවලටත් ආසාදනය වීම වැළැක්වීම එමඟින් අපේක්ෂා කෙරේ.

අන්නාසි වලින් ඕස්ට්‍රේලියාවේ කොරෝනා නසන්නට පර්යේෂණ කරන අවධියක අපේ රටේ බහුලවම හැදෙන බහුලවම ආහාරයට ගන්න පලතුරක් වන අන්නාසි ගැන ඔබ නොදත් බොහෝ දේ ඇත.

අද දියුණු රටවල් අන්නාසි වලින් කොරෝනා මඩින්න පර්යේෂණ කළත් එද‌ා අපේ පාරම්පරික වෙදමහත්වරු ‘ජවර (උණ) සෙම්ප්‍රතිශ්‍යාව’ උගුරේ ආසාධනවලට අන්නාසි ඖෂධයක් ලෙස භාවිත කර ඇති බව පාරම්පරික හෙළ වෙදපොතේ සඳහන් වෙනවා.

ඝර්ම කලාපීය රටක් වන ලංකාවෙ බොහෝ ජනප්‍රිය පලතුරක් වන කෙසෙල් තරමටම ජනප්‍රිය තවත් පලතුරක් ලෙස අන්නාසි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන ආහාර වේලකට අනතුරුව අතුරුපසක් ලෙස අන්නාසි ආහාරයට ගැනීමට බොහෝ දෙනා දක්වන්නේ රුචිකත්වයකි. එමඟින් ඔබ නොදැනුවත්වම ශරීරයේ යම් කාර්යයක් සිදුවෙනවා සේම ඔබ ගන්නා ආහාර දිරවීම සඳහා ප්‍රබලම පලතුර අන්නාසි පලතුර ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අන්නාසි පලතුරේ ගුණ ද අති විශාලයි.

අන්නාසිවල සම්භවය

‘අනනස් කොමෝස්ස්’ යන උද්භිද නාමයෙන් අන්නාසි හඳුන්වයි ක්‍රි.ව. 1493 දී ග්වාඩලූප් දිවයිනෙහි අන්නාසි සොයා ගැනීමේ ගෞරවය ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට හිමිවන නමුත් මෙම පලතුර දිගු කාලයක් දකුණු ඇමෙරිකානුවන් වගාකර ඇත.

අන්නාසිවල ප්‍රචලිතය

මැදපෙරදිග හා මෙක්සිකෝව දක්වා ගමන් කළ කොළම්බස් විසින් අන්නාසි ස්පාඤ්ඤ ජාතිකයන්ට හඳුන්වා දුන්නේය. පසුව එය පිලිපීන් හා හවායි දූපත් වෙත රැගෙන ගොස් ඇත. එමෙන්ම ක්‍රි.ව. 1519 දී බ්‍රසීලයේ අන්නාසි සොයා ගැනීම සඳහා ගුස්ටෝගේ නාමය ගෞරවයට පාත්‍ර වී ඇත. ක්‍රි.ව. 1555 දී අන්නාසි එංගලන්තයට ව්‍යාප්ත වී ඇත. එතැනින් ශීඝ්‍ර ලෙස ඉන්දියාවේ ආසියාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දක්වා ව්‍යාප්ත විය. අන්නාසි යුරෝපයේ අලංකාර උද්‍යාන සැදීමට ද යොදා ගෙන ඇති අතර එම 1751 දී බාර්බඩෝස්හි ජෝර්ජ් පාලකයා අන්නාසිවල රස බලා ඔහුගේ ප්‍රියතම නිවර්තන ඵලදාව බවට ප්‍රකාශ කර ඇත.

1770 දී කැප්ටන් ජේම්ස් කුක් හවායිවලට අන්නාසි හඳුන්වා දුන්නේය. එතැන් පටන් හවායිවල ව්‍යාප්ත වූ අන්නාසි වගාව 1921 දී ‘ඩොල් හවායි අන්නාසි සමාගම’ ලෙස සහ හවායි අන්නාසි, විශාලතම බෝගය සහ කර්මාන්තය බවට පත්විය.

අන්නාසි වගාවට නම් දැරූ තවත් රටක් වන්නේ බ්‍රසීලයයි. අද ශ්‍රී ලාංකික අපද ආහාරයට ගන්නා අන්නාසිවල මූලාරම්භය වන්නේ ද බ්‍රසීලයයි. ශ්‍රී ලංකාවට ආවේණික වූ අන්නාසි වර්ග දෙකක් තිබී ඇති අතර අද එම වර්ග වඳ වී ගිය ආහාර ගොඩට එකතු වී ඇත.

කොරෝනා මඩින්න අන්නාසිවල තියෙන ගුණය කුමක්ද?

අන්නාසිවල ගුණ වගේම අන්නාසිවල ඔබ නොදත් බොහෝ විස්මිත දේවල් රැසක් ඇත. අපි ඒ පිළිබඳව දේශීය හෙළ පාරම්පරික වෛද්‍ය ආසිරි පැතුම් මහතා ගෙන් විමසා බලමු.

අතීතයේ ජවර උණ රෝග සෙම්ප්‍රතික්ෂා රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අන්නාසි ඖෂධයක් ලෙස අතීතයේ සිට පැවත ආ බව ඔහු පැවසීය.

“බ්‍රසීලයෙන් අපේ රටට එන අන්නාසි ඖෂධීය වටිනාකමට එහා ගිය ශාකයක්. පිලිපීනයේ වගේ රටවල්වල අන්නාසි කොළ වලින් කෙඳි වර්ගයක් අරගෙන එයින් රෙදි නිෂ්පාදනය කරනවා. එය විශාල ආර්ථික වටිනාකමක් සලසනවා.

ලෝකයේ අන්නාසි පළතුරට ‘පයිනැපල්’ කිව්වාට අපේ හෙළ වෙද බෙහෙත් වට්ටෝරුවල මේ අන්නාසි ගැන සඳහන් වෙන්නේ ‘අන්න’ යනුවෙනුයි. මේකේ තේරුමක් තියෙනවා. ‘අන්න’ කියන්නේ ආහාර වලට ‘අසි’ කියන්නේ අසිපතට. ඒ කියන්නේ ‘ආහාර නසන අසිපත’ කියලා. ‘ආහාර දහනය කිරීමේ කඩුව’ කියලා. විශේෂයෙන්ම ආහාර ජිර්ණයට අන්නාසිවල රසායනික ගුණයන් ලොකු බලපෑමක් කරනවා. ප්‍රධාන ආහාර වේලකට පස්සේ අපි අන්නාසි ආහාරයට ගන්නේ ඔන්න ඔය හේතුව නිසා.

අන්නාසිවල ඖෂධිය ගුණය

ප්‍රධාන වශයෙන්ම පණු රෝග නිවාරණයට, ඇස් පෙනීම වර්ධනය වීමට අන්නාසි උපකාර වෙනවා. අන්නාසි මගින් ඇස්වලට බලපාන (Mascular Degeneration) කියන රෝගය වැළදීමට ඇති අවද‌ානම අඩු කරනවා. රුධිර සංසරණය ක්‍රමවත් වීම සිදුවනවා. අන්නාසිවල ඛණිජ වර්ග හා පොටෑසියම් බහුලව ඇති නිසා විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙස ක්‍රියාකරනවා.

ඒ වගේම මෙම පෝෂණ කොටස්වල ක්‍රියාකාරිත්වය නිසා රුධිර වාහිනීවල ඇති පීඩනය හා ආතතිය අඩු කිරීම සිදුවෙනවා. මේ නිසා රුධිර සංසරණය ක්‍රමානුකූල වී සිරුරේ විවිධ කොටස්වල අවශ්‍ය රුධිරය නිසියාකාරව ලැබෙනවා ඒ තුළින් රුධිර කැටිගැසීම අවම වී හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන් ද සමනය කරනවා. පණු රෝගවලට, උදරාබාධ, මුත්‍රා අඩස්සි අදියට අන්නාසි ගුණද‌ායකම ඖෂධයක්.

බඩ පිපීම්, මුත්‍රාගල්, සන්ධි රෝග, හිසරදය වගේම තුවාල සුවවීම ඉක්මන් කිරීම මින් සිදු වෙනවා. අන්නාසිවල ඇති ‘විටමින් C’ කියන සංඝටකය නිසා තුවාල සුවවීමට අවශ්‍ය කොලජන් නැවත නිර්මාණය සඳහා උපකාරි වෙනවා.

(ජ්වර) උණ රෝගවලට අන්නාසි ඖෂධයක් කියලා ඔබ දැන සිටියා ද?

මේ දිනවල අපි පීඩා විඳින කොරෝනා වෛරසයේදීත් අන්නාසි කියන්නේ ඉතාම ගුණද‌ායි ඖෂධයක්. අපේ පාරම්පරික වෛද්‍යවරු අන්නාසි පලතුර බෙහෙත් වට්ටෝරු සඳහා භාවිත කරනවා. පසුගිය කාලේ කොරෝනාවලට දේශීය ඖෂධ වලින් බෙහෙත් හදපු සඳහා බොහෝ වෛද්‍යවරු අන්නාසි භාවිත කරලා තියෙනවා.

‘ජ්වර දණ්ඩන’ ලෙස අපි පාරම්පරික වෙදකමේ හඳුන්වන්නේ ‘(ජ්වර) උණ රෝග + (දණ්ඩ) දඬුවම් කරනවා’ කියන එක. මෙන්න මේ ජ්වර දණ්ඩනය එහෙම නැත්නම් උණට, සෙම්ප්‍රතික්ෂාවට දඬුවම් දෙන්න අපි අන්නාසි යුෂ භාවිත කරනවා. අපේ පැරැන්​ණෝ අතීතයේ උණක්, සෙම්ප්‍රතික්ෂාවක්, උගුරේ වේදනාවක්, ඇගේ පතේ අමාරුවක් ආවම හොඳට – යහමින් අන්නාසි ගෙඩියක්, අන්නාසි යුෂ ටිකක් බොනවා.

මේ දේවල් වර්තමානයේ බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ වගේම සෙම් රෝගවලට අන්නාසි මදයේ යුෂ පානය කිරීම හොඳ ඖෂධයක්. අන්නාසි කියන්නේ මේදය, විටමින් සී, විටමින් ඒ, විටමින් ඊ, යකඩ ප්‍රෝටින් හා 80% වඩා වැඩියෙන් ජලය ශරීරයට ලබාදෙන ගුණද‌ායි පලතුරක්.

සෙම්ප්‍රතික්ෂාව වැළදුණ කෙනෙක් අන්නාසි කෑල්ලක් ආහාරයට ගත්තා කියන්නේ ‘විටමින් සී’ පෙත්තක් ගත්තා හා සමානයි.

විශේෂයෙන් කොරෝනා වෛරසය ආසාධනය වෙලා රෝහල්වල ඉන්න රෝගීන්ට හැමද‌ාම උදේට දෙන්නේ ‘විටමින් සී’ පෙත්තක්. අන්නාසි වලින් අපේ ඇඟට හොඳ විටමින් සී ප්‍රමාණයක් ලැබෙනවා. නිරායාසයෙන්ම උගුර කැසීම, කැස්ස, උගුරේ ආසාදනවලට ප්‍රත්‍යක්ෂව ප්‍රතිකාරයන් ලෙස අන්නාසි පලතුර යොද‌ාගෙන තිබූ බව අපේ පාරම්පරික හෙළ බෙහෙත් වට්ටෝරුවල සඳහන් වෙනවා.

වයසට යනකොට හන්දි හිරිවැටීම්, හන්දිවල ජලීය ගතිය ඇති කිරීමටත්, අන්නාසි ගැට වල අන්නාසි මදයෙන් සහ අන්නාසි කොළ යුෂ අරගෙන භාවිතා කරන්න පුළුවන්. පාරම්පරික රහස් වට්ටෝරුවල තියෙනවා කෝපි කුඩු, අන්නාසි, බිත්තර සුදු මද ඇතුළු තවත් ඖෂධ එකතු කරලා අපේ පැරැන්නෝ හන්දි රෝගවලට ඖෂධ සකස්කරලා තිබුන බව. ගෙඩි-වන වලට ප්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍යවරුන් බෙහෙත් හැදීමේදී බහුල වශයෙන් අන්නාසි භාවිත කරනවා.

පරණ තුවාලවලට අන්නාසි පෙත්තක් අරගෙන ඒකට ලුණු ටිකක් දාල‌ා තුවාලයට තියලා බැන්දම තුවාලයේ තියෙන විෂබීජ, අන්නාසි කැල්ලට ඇදගන්නවා. දින කිහිපයකින් තුවාලය සුව වෙනවා. බැක්ටීරියා විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් අන්නාසිවලට තියෙනවා.

විශේෂයෙන් උණ රෝගියෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ ද‌ාන්න ගුණද‌ායි ඖෂධයක් තමයි අන්නාසි. මේ කොරෝනා රෝගයට භාවිත කරන්න පුළුවන් ගුණද‌ායි පලතුරක් වුණත් අන්නාසි පලතුර ලංකාවේ මිලෙන් ඉහළයි.

ඕස්ට්‍රේලියාව වගේ රටවල් අන්නාසි වලින් බෙහෙත් හදන කොට අපිටම ආවේණික අන්නාසි සම්පත ලංකාව තුළම තියෙද්දිත් අපි උඩ බලාගෙන ඉන්නවා. අපිටම ආවේණික අන්නාසි වර්ග 2 ක් තියෙනවා. එකක් ‘කොස් අන්නාසි’, අනෙක ‘වල් අන්නාසි’. අපේ පැරැන්ණෝ මේ වර්ග දෙකම අතීතයේ බෙහෙත් වට්ටෝරුවලට භාවිත කළා. ඒ බව පාරම්පරික හෙළ වෙදකමේ සඳහන් වෙලා තියෙනවා. මේ වෙනකොට ‘කොස් අන්නාසි’ රටෙන් වඳ වෙලා. කියන්න දුකයි අද‌ාළ බලධාරින් කොස් අන්නාසි පැළයක් සංරක්ෂණය කරලාවත් නැහැ.

අන්නාසි හොඳ වගේම අගුණ වෙන තැන්

අන්නාසි කියන ඖෂධයේ අගුණ තියෙන්නේ බොහොම ස්වල්පයයි. ඇඳුම රෝගින්ට, වාත රක්ත රෝගින්ට, මුත්‍රා දැවිල්ලට, බඩ දැවිල්ලට, පොතු කබර රෝගින්ට, ගර්භණී අම්මලට අන්නාසි ගුණදායි ආහාරයක් නෙමෙයි.

අන්නාසි ආසාත්මික වෙන කෙනෙකු ඇරෙන්න අනෙක් සියලුම දෙනාට මෙවැනි වසංගත රෝග තියෙන වෙලාවක අන්නාසි ආහාරයට ගන්න පුළුවන්ය. ඉතාම ගුණද‌ායකයි. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට ප්‍රබල ඖෂධීය පලතුරක් ලෙස අපේ පාරම්පාරික හෙළ වෙද ක්‍රමයේ අන්නාසි හඳුන්වනවා. ඒ වගේම අන්නාසි කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අත් බෙහෙතක්.

නදීශා අතුකෝරළ

=====================================

(30.12.2020 – 12:28 +0530 – hirunews.lk/sinhala)

යාපනය මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කරන නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (30) තේරී පත් වුණා.

දෙමළ ජාතික සන්ධානයට බලය හිමි යාපනය මහනගර සභාවේ 2021 වර්ෂයට අදාළ අයවැය කියවීම දෙවන වරටත් පරාජයට පත්වීම හා තනි පක්ෂයක් වෙත සියයට 50 ක බලයක් නොමැතිවීම හේතුවෙන් යාපනය මහනගර සභාවේ නව නගරාධිපතිවරයා පත් කිරීමේ ඡන්ද විමසීම අද (30) පැවැත්වුණේ උතුරේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ මෙහෙයවීමෙන්.

අප වාර්තාකරු සඳහන් කළේ එහිදී විශ්වලිංගම් මනිවන්නන් මහතා වෙත ඡන්ද 21 ක් ද හිටපු නගරාධිපතිවරයා වු දෙමළ ජාතික සන්ධානයේ එමානුවෙල් ආනෝල්ඩ්ට ඡන්ද 20 ක් ද හිමිවූ බවයි ෴

***************************************

(30.12.2020 – 12:33 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදී පසුගියදා සිදුවූ ගුවන් අනතුරේ විමර්ශන සඳහා චීනයේ විශේෂඥ සහය ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය 15 වනදා මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ගුවන් හමුදාවට අයත් පී.ටී.සික්ස් වර්ගයේ පුහුණු ගුවන් යානයක්.

එම අනතුරෙන් අදාළ යානයේ 23 හැවිරිදි පුහුණු ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වුණා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් එම ගුවන් යානය ගුවන් හමුදාවට ලබාදුන් චීනයේ – කැටික් නම් සමාගම වෙත තොරතුරු යවා ඇති බවයි.

ඒ අනුව, එරට විශේෂඥ සහය ලබා ගෙන ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව ලබන මස මුලදී භාරදීමට ද නියමිතයි ෴

***************************************

(30.12.2020 – 12:36 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයෙන් රැඳවියන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වන නඩුව අද 7 වන දිනටත් විභාගයට ගැනෙනවා.

ඒ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබුණා.

ඊට අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ පසුගිය 23 වනදා අවසන් වරට කැඳවූ අතර එහිදී විනිසුරුවරයා සඳහන් කළේ අගතියට පත් පාර්ශවය වෙනුවන් පෙනී සිටින නීතිඥ මඩුල්ලට මෙම නඩුවට පෙනී සිටීමට හැකි ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බවයි.

මීට අමතරව, දැනට ඉතිරිව ඇති කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ මෘත දේහ ආදාහනය කරන්නේ ද භූමදාන කරන්නේ ද යන්න තීන්දුව ද අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව මෙම නඩුවට පෙනී සිටීම සඳහා අද (30), 7 වන දිනටත් අගතියට පත් පාර්ශවයේ නීතිඥයින් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියා.

පෙරවරු 11 ට පමණ මෙම නඩු විභාගය ආරම්භ වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

මහර බන්ධනාගාර සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූ තවත් රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ අද (30) කැඳවූ අවස්ථාවේදියි. අදාල මළ සිරුරු 4 න් 3 ක් කොරෝනා ආසාදිත සිරුරු ලෙස හඳුනාගෙන තිබෙනවා.

සිද්ධියෙන් 11 දෙනෙකු මියගිය අතර ඉතිරි මළ සිරුරු තුනෙහි (3) පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද සිදුකිරීමට නියමිතයි ෴

***************************************

(30.12.2020 – 12:38 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු උවදුර මර්දනය සඳහා ආනයනය කෙරුණු වෛරසය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසනවා.

අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දිවයින පුරා වගා කර ඇති බඩඉරිඟු හෙක්ටයාර ලක්ෂ දෙකකට (2) පමණ සේනා දළඹුවන්ගෙන් හානි සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, යළි ව්‍යාප්ත වූ සේනා දළඹු උවදුර හේතුවෙන් අම්පාර, මොණරාගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල බඩඉරිඟු‍ ගොවීන් තවමත් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

අම්පාර මහඔය පොල්ලෙබැද්ද ප්‍රදේශයේ අක්කර 2000 ක පමණ බඩඉරිඟු‍ වගාවටද සේනා දළඹුවන් ව්‍යාප්තවී ඇති අතර, ගොවීන් පවසන්නේ මෙම වගාහානිය සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය නිසි ලෙස ලැබී නොමැති බවයි.

සේනා දළඹු හානියට අමතරව ප්‍රදේශයේ බඩඉරිඟු‍ වගාවට තවත් වෛරසයක බලපෑක් මතුව ඇති බව ගොවීන් සඳහන් කළා ෴

***************************************

(30.12.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

යාන්ඔය ව්‍යාපාරය යටතේ ඉඩම් අහිමි වූ ජනතාවගේ ඉඩම් ගැටලුව කඩිනමින් විසදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ඒ ග්‍රාමීය ජනතාව දීර්ඝ කාලීනව මුහුණපාන ගැටලු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් සිදුකරන ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ සිව්වැන්නට (4) අද (30) අනුරාධපුර – කැබිතිගොල්ලෑව – කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී එක්වෙමින් ෴

***************************************

(30.12.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් ධාවනයේ යෙදුණු බස් රථ 50 ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා ෴

***************************************

(30.12.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත, ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරු 4 ට මීගමුව – කුරණ ශාන්ත ආනා සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මීගමුව රෝහලේදී පෙරේදා අභාවප්‍රාප්ත වනවිට 73 වන වියේ පසුවුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *