කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කිරීමට ජනපතිගෙන් සැලැස්මක්

කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කිරීමට ජනපතිගෙන් සැලැස්මක්

කිසිවෙකුත් ආරක්ෂා නොකරන බව නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසම හමුවේ කියයි

සංචාරක වෘත්තිකයින් නිහඬ විරෝධතාවක

නවක මන්ත්‍රිවරුන්ගේ වැඩමුළුවේ පළමු දිනය අවසන්

රාමඤ්ඤ නිකායෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

සැප්තැම්බර් 02 සිට රජයේ පාසල්වල 6 සිට 13 දක්වා සිසුන්ට පාසල් විවෘත කෙරේ

ජනාධිපතිට ආරක්ෂක ඇමති විය හැකියි – උදය ගම්මන්පිළ

නීතියට පිටින් විදුලි ලොක්කෝ 130% ක වැටුප් වර්ධකයක් අරන් ?

මඩකළපුවේ ගින්නකින් රුපියල් කෝටි දෙකක (2) දැව අළු වී යයි

ඇමරිකාවෙන් කොරෝනා රෝග පරීක්ෂණ කට්ටලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට

පළාත් සභාවල ප්‍රගතිය ගැන විමර්ශනයක්

*********************************************

කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කිරීමට ජනපතිගෙන් සැලැස්මක්

(25.08.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala)

කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ කරුණු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව කිතුල් සහ තල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගැන්වීමටත් කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස අමාත්‍යාංශයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා විසින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

දේශීය වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 03 කි. ඉන් බිලියන 1.8 ක් පරිභෝජනයට ගන්නා අතර වැඩි අපනයනයක් සඳහා වගාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ.

උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමට නියම කර ඇති අතර ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ පුරන් කුඹුරු ද වගාවට යොදා ගන්නා බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

සැප්තැම්බර් මාසයේ දී ගෙවතු මිලියන 02 ක පොල් පැල මිලියන 04 ක් වගා කිරීමට පියවර ගතයුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

පොල් සඳහා ස්ථාවර මිලක් නියම කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති අතර දෙමුහුන් බීජ පැල වගාව සඳහා එක් කර ඉහළ ඵලදාවක් ලබා ගැනීමට ද සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබෙනවා.

රබර් අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 600 ක් වන අතර එය 2020 වසරේදී ඩොලර් මිලියන 2000 ක ආදායමක් බවට වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

රබර් වගාවේදී නව ප්‍රභේද හඳුන්වාදීමටත් බෑවුම් ප්‍රදේශවල ෆයිනස් ගස් වෙනුවට රබර් ගස් සිටුවීමට ඇති හැකියාවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

දේශීය රබර් වගාව සහ නිෂ්පාදකයන් දිරි ගැන්වීමට රබර් ආනයනය සීමා කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇති අතර රබර් ආශ්‍රිත නිෂ්පාදන ආයතන දේශීයව මිලදී ගන්නා රබර් ප්‍රමාණයට සාපේක්ෂව රබර් ආනයනයට ක්‍රමවේදයක් සකස් කළයුතු බවද බැසිල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

අපනයනය කෙරෙන කේප් රබර් සෙසු රටවල නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආකාරය සොයා බැලීමේ ඇති වැදගත්කමද සාකච්ඡාවට ලක්කර ඇති බවයි අදාළ නිවේදනයෙන් සඳහන් වන්නේ.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන නිලධාරීහූ සහ වගා සහ නිෂ්පාදන ආයතනවල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා ෴

*********************************************

කිසිවෙකුත් ආරක්ෂා නොකරන බව නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසම හමුවේ කියයි

(25.08.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලදී තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා කළද, තමා කිසිවෙකු ආරක්ෂා නොකරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම පිළිබඳව ඒ පිළිබඳව සොයන ජනාධිපති කොමිසම ඊයේ (24) ප්‍රශ්න කළ අවස්ථාවේදියි.

එහිදී ඉකුත් වසරේ අප්‍රේල් මස 04 වන දින විදෙස් බුද්ධි අංශයක් විසින් ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීම් කළ පසු ඔහු සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවූ දුරකතන සංවාද පිළිබද දත්ත වාර්තාවක් පිළිබඳව ජනාධිපති කොමිසමේ අවධානය යොමුවුණා.

  • 2019 අප්‍රේල් මස 05 වන දින පෙ.ව 07:59 ට තත්පර 28 ක දුරකතන ඇමතුමක්ද,
  • 2019 අප්‍රේල් මස 08 වන දින පෙ.ව 07:18 ට තත්පර 17 ක දුරකතන ඇමතුමක්ද,
  • 2019 අප්‍රේල් මස 09 වන දින පෙ.ව 08:02 ට විනාඩි 04 යි තත්පර 14 ක දුරකතන ඇමතුමක්ද,
  • 2019 අප්‍රේල් මස 12 වන දින පෙ.ව 08:50 ට තත්පර 37 ක දුරකතන ඇමතුමක්ද,
  • එදිනම ප.ව 08:07 ට තත්පර 16 ක දුරකතන ඇමතුමක්ද,
  • 2019 අප්‍රේල් මස 13 වන දින පෙ.ව 06:27 ට තත්පර 15 ක දුරකතන ඇමතුමක්ද,
  • 2019 අප්‍රේල් මස 14 වන දින ප.ව 09:39 ට තත්පර 38 ක දුරකතන ඇමතුමක්ද,
  • 2019 අප්‍රේල් මස 15 වන දින ප.ව 07:47 ට විනාඩි 03 යි තත්පර 19 ක දුරකතන ඇමතුමක්ද,
  • 2019 අප්‍රේල් මස 20 වන දින ප.ව :06:16 ට විනාඩි 01 යි තත්පර 28 ක දුරකතන ඇමතුමක්ද,

පාස්කු ප්‍රහාරය එල්ල වූ දින අප්‍රේල් මස 21 වන දින ප්‍රහාරය එල්ලවීමට පෙර තවත් දුරකතන ඇමතුමක්ද වශයෙන් ලබා ගත් සියලු ඇමතුම් හරහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධ වූයේදැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා.

එහිදී නිලන්ත ජයවර්ධන කියා සිටියේ අදාළ ඇමතුම් ලබාගත්තේ පැජට් පාරේ පිහිටි එවකට ජනාධිපතිවරයාගේ නිල නිවසට බවයි.

එහි ඇති දුරකතන ඇමතුම් සම්බන්ධ කිරීමේ ඒකකය විසින් ඇතැම් අවස්ථාවලදි පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ කර දුන් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

සැලකිය යුතු අවස්ථා ප්‍රමාණයකදී ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති බව අනාවරණය වන පසුබිමක ප්‍රහාරය පිළිබඳව පුර්ව දැනුවත් කිරීම් සිදුනොකළේ දැයි කොමිසම ප්‍රශ්න කළා.

නිලන්ත ජයවර්ධන එහිදී කියා සිටියේ අප්‍රේල් 04 වැනිදා ‘වට්ස්ඇප්’ පණිවුඩයක් තුළින් ලැබුණු පළමු පුර්ව දැනුවත් කිරීම මුලික තොරතුරක් පමණක් බවයි.

ඒ පිළිබඳව ඔහුව දැනුවත් නොකළ බවත්, එම තොරතුර වැඩි වර්ධනය කිරීමෙන් පසු අප්‍රේල් මස 07 වන දින ඒ පිළිබද ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කළ බවත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පසුගිය වසරේ අප්‍රේල් මස 15 හෝ 16 ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වුයේ නම් පූර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබඳව තමාට ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හැකියාවක් තිබූ බව සඳහන් කළ නිලන්ත ජයවර්ධන තමා කිසිවෙකුත් රකින්නේ නොමැති බව කියා සිටියා.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා “අපි ඔබ කිසිවෙක් රකිනවා යැයි ප්‍රකාශ කළේ නැහැනේ ?” යනුවෙන් සඳහන් කළා.

සභාපති විනිසුරුවරයාගේ එම පැනයට ‘සමහරු කියනවා’ යනුවෙන් නිලන්ත ජයවර්ධන උස් හඬින් සිනාසී පිළිතුරු ලබාදුන් අතර සාක්ෂි විමසීම ඔහුගේ නීතීඥවරිය කළ ඉල්ලීමකට අනුව අදට (25) කල් තැබුණා.

ඒ අනුව නිලන්ත ජයවර්ධන සාක්ෂි ලබාදීමට අද (25) 18 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවට පැමිණියා.

*********************************************

සංචාරක වෘත්තිකයින් නිහඬ විරෝධතාවක

(25.08.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් සංචාරක වෘත්තිකයන්ගේ සංගමය අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණ සඳහා වෙන් කළ ස්ථානයේ නිහඬ විරෝධතාවක නිරත වුණා.

සංචාරක මග පෙන්වන්නන්, සංචාරකයන්ට වාහන සපයන්නන් ඇතුළු පිිරිසක් ඊට එක්ව සිටියා.

ඔවුන් එහිදී ප්‍රකාශ කළේ කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට සහනයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ලීසිං සමාගම්වලට දැනුම් දී ඇතත් අදාළ සමාගම් එම සහන ලබා නොදෙන බවයි.

විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් සිය ගැටලු සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාර දී තිබෙනවා.

*********************************************

නවක මන්ත්‍රිවරුන්ගේ වැඩමුළුවේ පළමු දිනය අවසන්

(25.08.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් සඳහා වන වැඩමුළුවේ පළමු දිනය අද (25) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාර්ථකව අවසන් වුණා.

එය හෙටත් (26) පැවැත්වෙනු ඇති. එම අවස්ථාවට නවක මන්ත්‍රීවරුන් මෙන්ම අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් ද එක්ව සිටීම විශේෂත්වයක්.

අද දිනයේ (25) මෙම වැඩමුළුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ ආරම්භ වුණා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිලිපැදිය යුතු ආචාර්ය ධර්ම පද්ධති සහ ස්ථාවර නියෝග යනාදිය පිළිබඳව දීර්ඝ දැනුවත් කිරීමක් සිදුකෙරුණා.

ඒ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුලු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේද මැදිහත් වීමෙන්.

පසුව, ස්ථාවර නියෝග ඇතුළු පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවූ අතර, එහිදී මන්ත්‍රීවරුන් සිදුකරන ඇතැම් ප්‍රකාශ පිළිබඳව යොමුකළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පිළිතුරු ලබා දුන්නා.

*********************************************

රාමඤ්ඤ නිකායෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

(25.08.2020 – 20:26 +0530 – hirunews.lk/sinhala)

‘අපේ ජනබල පක්ෂය’ට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය අහෝසි කරන ලෙසට ‘ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය’ මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය යොමු කර ඇත්තේ එහි මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තන්ගනේ සාසනරතන හිමියන් විසින්.

මේ අතර, අපේ ජන බල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් තමන් භාරයේ සිටින බව අතුරලියේ රතන හිමියන් පිළිගෙන ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ලේකම් හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

කෙසේ වෙතත්, වේදිනිගම විමලතිස්ස හිමියන් සඟවාගෙන සිටින බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව කෝට්ටේ ශ්‍රි ජයවර්ධනපුර සමාජ සේවා සංගමයේ සභාපති හුනුපොළගම වජිරසිරි හිමියන් ප්‍රකාශ කළා.

ඒ අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

*********************************************

සැප්තැම්බර් 02 සිට රජයේ පාසල්වල 6 සිට 13 දක්වා සිසුන්ට පාසල් විවෘත කෙරේ

(25.08.2020 – 20:50 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් (2) ය‍ටතේ සතියේ දින පහේම (5) සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 02 වනදා රජයේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන්ට පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ ප්‍රාථමික අංශ සිසුන්ට සැප්තැම්බර් 08 පාසල් විවෘත කරන බවයි.

ඒ අනුව පාසල් පැවැත්වෙන වේලාවන් ලෙස දැක්වෙන්නේ සුපුරුදු වේලාවන් වන පෙ.ව 07:30 සි‍ට ප.ව 01:30 දක්වා කාලයයි ෴

*********************************************

ජනාධිපතිට ආරක්ෂක ඇමති විය හැකියි – උදය ගම්මන්පිළ

(25.08.2020 – 21:59 +0530 – hirunews.lk/sinhala)

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්.

ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවිය නොහැකි බවට ව්‍යවස්ථාවේ සඳහන් නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

නව ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් ගෙන ආ හැකි බව පාරිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විවිධ පුද්ගලයන් ඉලක්කර නීති ගෙන ආ යුතු නැති බව ප්‍රකාශ කළේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින්.

එක්සත් ජාතික පක්ෂයට උරුම කුමාරයා සිටින්නේ වැඩි ඈතක නොවන බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින්.

*********************************************

නීතියට පිටින් විදුලි ලොක්කෝ 130% ක වැටුප් වර්ධකයක් අරන් ?

(25.08.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු සියයට 130 ක වැටුප් වර්ධකයක් ලබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට චෝදනාවක් එල්ලවී තිබෙනවා.

ඊයේ (24) රාත්‍රීයේ විකාශය වූ ‘හිරු ටී.වී. සලකුණ’ වැඩසටහනට එක්වෙමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූවා.

කෙසේ වෙතත් එහිදී ඒ සම්බන්ධයෙන් ඔවුන් නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ නෑ.

එම අවස්ථාව පහතින් :

*********************************************

මඩකළපුවේ ගින්නකින් රුපියල් කෝටි දෙකක (2) දැව අළු වී යයි

(26.08.2020 – 07:03 +0530 – hirunews.lk/sinhala)

මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ අද (26) අලුයම ඇතිවූ ගින්නකින් ලී මෝලක් මුළුමනින්ම විනාශ වූවා.

මඩකලපුව මහා නගර සභාවේ ගිණි නිවීමේ ඒකකය හා පොලිසිය, මහජනතාව එක්ව ගින්න පාලනය කර තිබෙනවා.

ගින්න හේතුවෙන් ලී මෝල තුළ තිබූ වටිනා දැව විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි සඳහන් වන්නේ.

එහි වටිනාකම රුපියල් කෝටි දෙකක් (2) පමණ වන බවයි එහි හිමිකරු ප්‍රකාශ කර ඇත්තේ.

එක්වරම අලුයම හටගත් ගින්න හේතුවෙන් එහි සිරවූ එළුවන් 5 දෙනෙකු සහ එහි සිරවී සිටි කුකුලන් ගින්නෙන් මියගොස් ඇති බවද එහි හිමිකරු ප්‍රකාශ කළා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කාත්තන්කුඩි පොලිසිය ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

*********************************************

ඇමරිකාවෙන් කොරෝනා රෝග පරීක්ෂණ කට්ටලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට

(26.08.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවෙන් පරිත්‍යාග කළ කොරෝනා රෝග පරීක්ෂණ කට්ටලයක් ඊයේ (25) කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත භාරදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 118,000 ක් පමණ වන බවයි.

කොවිඩ් 19 පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් සහ උත්තේජක, පුද්ගලාරක්ෂක ඇඟළුම් මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ආරක්ෂක මෙවලම්ද ඊට අයත්.

මේ අතර ඊයේ (25) දිනයේදී ආසාදිතයන් 12 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,971 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොවුන් 12 දෙනාම ඉන්දියාවේ සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බවයි.

එමෙන්ම, ආසාදිතයන් පස්දෙනෙකු (5) ඊයේ (25) දිනයේ සුවය ලබා පිටව යෑමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,816 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 143 දෙනෙකු පමණයි.

එමෙන්ම, කටාර්, එක්සත් අරාබි එමීර් සහ ජර්මනියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු ගුවන් යානා 4 කින් අද (26) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 23 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 296 දෙනෙකු, ජර්මනියේ සිට 102 කු මෙරටට පැමිණ තිබෙනවා ෴

*********************************************

පළාත් සභාවල ප්‍රගතිය ගැන විමර්ශනයක්

(26.08.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

1989 වසරේදී හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමයෙන් වසර 31 ක කාලයක් රටට සිදුවූ ප්‍රගතිය සොයා බලන ලෙසට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු නව දැක්මක් සහිතව කාර්යක්ෂම ජනතා සේවයක් යන තේමාව යටතේ සිදුකිරීමට අදාළව පැවති සාකච්ඡාවකදියි ඔහු මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

පළාත් සභාවල කෘෂිකර්ම, අධ්‍යාපන ඇතුලු විවිධ අමාත්‍යවරු තනතුරු දරා සිටියත් එමඟින් රටට සිදුවූ පරිවර්තනීය වෙනසක් සිදුවී ඇත්ද යන්න එහිදී රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

මේ දක්වා පළාත් සභා සඳහා ලබාදුන් මුදල් සහ ඉන් ජනතාවට ලැබුණු ප්‍රගතිය පිළිබඳව පුළුල් වාර්තාවක් සපයන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් රාජ්‍ය අමාත්‍යවරයා එම වාර්තාව ලද විගසම කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකරන බව ප්‍රකාශ කළා.

ඒ අනුව පළාත් සභා ක්‍රමය සංශෝධනය විය යුතුද, අහෝසි විය යුතු ද යන්න තීරණයකට එළඹීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *