විමල් නොසිටියානම් රටට වෙන්නේ කුමක්ද? ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය’ අවසාන මොහොතේ කියයි

(02.08.2020 – 22:58 +0530 – lankaleadnews.com)

69 ලක්‍ෂයක ජනතාවගේ සිහින සැබෑ කරන ප‍්‍රතිඵලය එනම් ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජයග‍්‍රහණය සහතික කෙරෙන උපාය මාර්ගික තේරීම සාර්ථක කර ගැනීම සඳහා විමල් වීරවංශ මහතා සිංහල බෞද්ධ ජනයා අවදි කරමින් පුරෝගාමී භූමිකාවක් ඉටුකළ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

‘විමල් නොසිටියානම්… ඉතිහාසය වෙනස් කළ හැරවුම් 19’ යනුවෙන් බෙදා හරින ලද අත්පත්‍රිකාවක් අප වෙත එවා ඇති අතර එය මෙසේ පළ කරන්නෙමු.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

පරණ දේශපාලන මෝඩකම් එපා.. වැල යන අතට මැස්ස ගහන්න සූදානම් නෑ.. – විමල් වීරවංශ

(03.08.2020 – 15:00 +0530 – lankacnews.com)

ඉදිරි දශකය මෙරට නිෂ්පාදන බලගන්වන – ව්‍යවසායකත්වය බලගන්වන දශකය බවට පත් කෙරුමට අවශ්‍ය මූලික පියවර රැසක් ගෙවුණු මාස 08 ක කාලය තුළ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන්ට ගත හැකි වූ බවත් ඒ අනුව යමින් තරුණ පරපුරේ ජීවිත ගොඩනගමින් ව්‍යවසායකත්ව මනසකින් යුත් තරුණ පිරිසක් බිහි කිරීමට බලාපොරොත්තු වන බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ (02) අවිස්සාවේල්ල නගරයේදී පැවැති ජනරැලියක් අමතමිනි.

එහිදි අදහස් දැක්වූ වීරවංශ මහතා :

“2015 දී අපි පැරදුන නායකයත් එක්ක හිටගත්තා. 2015 ජනවාරි 11 තිබුණ මාධ්‍ය සාකච්ඡාවේදී ‘ඔබේ නායකයා පරාජය වූවා නොවෙයි, පසු බැස්සා පමණයි, අපි ඔබේ නායකයාව නැවත ගේනවා’ කියන සහතිකය මම දුන්නා. ‘ඔබ 2015 පෙබරවාරි 18 ඡන්දය දුන්නු ලක්ෂ 58 න් කෙනෙක් නම්, පෙබරවාරි 18 හවස තුනට නුගේගොඩට එන්න’ කියලා පෝස්ටරයක් රට පුරාම ඇලෙව්වා. එදා නුගේගොඩ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඇඳුනා. දින 100 ආණ්ඩුවේ බුරියානි කාපු අයට බඩ රිදෙන්න පටන් ගත්තා.

අපි දේශපාලනය කරන්නේ ‘වැල යන අතට මැස්ස ගහන්න’ නොවෙයි, රටට යහපතක් වෙන ලෙසට මේ දේශපාලන යාන්ත්‍රණය හසුරවන්න. ඒ සියල්ලේ ප්‍රතිඵල මත බොහෝ දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් ජනාධිපති ධුරයට පත් වේවි කියලා නොහිතපු වෙලාවක එතුමා ජනතාවගේ කැමැත්ත පරිදි ජනාධිපතිවරයා බවට පත්වුණා. කොහොම නමුත් අපේ රටට සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. රටට යහපතක් කරන නායකයෙක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව හඳුන්වන්න පුළුවන්.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කර්මාන්ත අමාත්‍යාංශය මට බාර දුන්නේ මේ රටේ කර්මාන්ත පුනරුදය ඇති කරන්න. ව්‍යවසායක ප්‍රබෝධය ඇති කරන්න. ඒකට අපි දැනටමත් සූදානම් වෙලා ඉවරයි. ගිය මාස හත අට ඇතුළත මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දොළහකට වැඩිය අනුමත කරගත්තා. ඉදිරියේදී අපි ටයිටේනියම්වලට අගය එකතු කිරීමක් කරලා, රාජ්‍ය, පුද්ගලික හවුල් සමාගමක් හදලා රාජ්‍ය ආදායම වැඩි කරන්න සැලසුම් හදනවා. අපේ මිනිරන්වලට අගය එකතු කිරීමක් කරලා වැඩි මිලට වෙළෙඳපොළට යවනවා. ලෝකයේ නොඉඳුල් යපස් නිධියෙන් ප්‍රයෝජන අරගන්නවා. ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයට බුත්තල යපස් නිධිය පවරාගන්න අවශ්‍ය ගැසට් පත්‍රය ගහනවා විතරක් නොවෙයි, බුත්තල යපස්වලින් යකඩ හදන කර්මාන්තයක් අපි ආරම්භ කරනවා.

මට කර්මාන්ත අමාත්‍යාංශය ලැබුණු ගමන් මම උතුර නැගෙනහිර වැසුණු කර්මාන්තශාලා නිරීක්ෂණය කරන්න ගියා. මලකඩ කාලා දූවිලි බැඳුණු යන්ත්‍රවලින් ඈවර වුණු කම්හලක යන්ත්‍ර පණ ගන්වලා අපි මේ වෙලාවෙදි කඩදාසි නිපදවනවා. ‘ශ්‍රීපත්’ නමින් වාලච්චේනයේ දී දැන් හැදෙන ඒ කඩදාසි තමුන්නාන්සේලාට දැකගන්න පුළුවන්. ඒ වගේම බැංකුවලට සින්න වෙලා තිබුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් මම ආරම්භ කරනවා.‘ශ්‍රීපත්’ කඩදාසි ටොන් තිහක් (30) කොළඹ දි අලෙවි කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ කම්හල අබලි යකඩවලට විකුණලා ඒ ලැබෙන ගතමනාවෙන් සතුටු වෙන්න අපි මේ තනතුරු ලබා ගත්තෙ නැහැ.

ලක්ෂ 69 ක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දුන්නේ පරණ දේශපාලන මෝඩකම් කරන්න නොවෙයි. මේ රට සමෘද්ධිමත් කරලා මේ රට ගොඩනඟන්න. අපි ගමට කර්මාන්ත ගේනවා. ගමෙන් නිපදවෙන අතුරු නිෂ්පාදනවලට අගය එකතු කිරීමක් කරනවා. ගෘහ ආර්ථිකය ශක්තිමත් කරන්න ගෘහ කර්මාන්ත ගෙනෙනවා. අපේ රටේ දේවල් නිපදවන ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ (Made in Sri lanka) යුගයක් නිර්මාණය කරනවා. ඉදිරි දශකය නිෂ්පාදන බලගන්වන, ව්‍යවසාකත්වය බලගන්වන දශකයක් බවට පත් කරනවා. මේ රටේ තරුණ පරපුරේ ජීවිත ගොඩනගමින් ව්‍යවසායකත්ව මනසකින් යුතු තරුණ පිරිසක් බිහි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++

මලකෑ යන්ත‍්‍රවලට පණඑයි.. අපේ රටේ කඩදාසි හැදේ.. ‘ශ‍්‍රීපත්’ නමින් වෙලදපලේ..

(03.08.2020 – 13:20 +0530 – lankacnews.com)

‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය වන සෞභාග්‍යයේ දැක්ම තුළ අන්තර්ගත කොට ඇති ‘මේ රටේ ඇති-හැකියාවන් උද්දීපනය කළ යුතුය’ යන්නට හොඳම නිදසුනක් සපයා තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඊයේ (02) පැවති ‘ශ‍්‍රීපත් – යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ යන සන්නාමය යටතේ වාලච්චේන කඩදාසි කම්හලේ ප‍්‍රථම කඩදාසි තොගය වෙළඳපොළට මුදාහැරීමේ රාජ්‍ය උත්සවයේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා එසේ පැවසීය.

එහි දී අදහස් දැක්වූ ලලිත් වීරතුංග මහතා :

“මේ අවස්ථාව ලැබුණාම මට බොහොම සතුටක් වගේම එක්තරා ආකාරයකට සංවේගයක් ද ඇති කරනවා. ශිෂ්‍යයෙක් හැටියට සිටියදී මට මතකයි පාසලෙන් වාලච්චේන කඩදාසි කම්හලේ ක‍්‍රියාකාරීත්වය බලන්න රැගෙන ගියා. මෙය ගොඩක් දුර බැහැරක ගමනක් නිසා මට එම අවස්ථාව මඟහැරුණා. කොහොම නමුත් මේ කම්හල ගැන අනිකුත් ශිෂ්‍යයන් මා සමඟ කතා කළා. පසුව 1977 ශ‍්‍රී ලංකා පරිපාලන සේවයට ඇවිත් මුලින්ම රාජකාරිය කරන්න පටන් ගත්තම එතැන හිටපු නිලධාරි මහත්මයෙක් කිව්වේ ‘සර් බොහොම පරිස්සමෙන් කඩදාසි පාවිච්චි කරන්න. කඩදාසි අපිට අඩුයි’ කියලා. ඒ කාලෙ ලියුම් කවරය අනිත් පැත්ත හරවලා සකසා ගෙන අපි ලියුම් යවලා තියෙනවා. එහෙම කළේ, අපිට තියෙන සම්පත් සුරැකීමට අවශ්‍ය නිසා. විදේශ විනිමය අපට තිබුණේ නැහැ. විදේශ විනිමය අපිට පාවිච්චි කරන්න තිබුණේ ඉතාමත් අත්‍යවශ්‍ය දේවල්වලට පමණයි.

‘අපිට පුළුවන් දේවල් නිපදවන්න අවශ්‍යයි’ කියන යුගයේ තමා අපි රාජ්‍ය සේවයට ආවේ. එතැන් සිට දශක ගණනාවක් පසු කරලා නොයෙකුත් දේවල් පිටරටින් ගෙනෙන කාලයක් පසු කරමින් ආපු මට අද ‘ජාතික කඩදාසි සමාගම’ නැවත පණ ගන්වලා, එහි පළමු නිෂ්පාදන දකින්න ලැබීමම එක්තරා විදිහක සිහිනයක් සැබෑ වීමක්. ගරු අමාත්‍යතුමනි, ඒ ගෞරවය ඔබට ලැබෙන්නම අවශ්‍යයි.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිවම දරන මතයක් තියෙනවා, ‘අපිට මේ රටේ කරන්න පුළුවන් දේවල් සියල්ල අපි කළ යුතුයි’ කියන පදනම උඩ තමයි එතුමා රාජ්‍ය පාලනය කරන්නේ. මේ කාරණය අමතක කළොත් සදහටම අපිට වෙන්නේ පිටරටට ණය වූ, පිටරටෙන් යැපෙන අපේම දක්ෂතාවන් සියල්ලම යටපත් කරගත් ජාතියක් වෙන්න. මම හිතන්නේ ශ‍්‍රී ලාංකේය ජාතිය එවැනි අවාසනාවන්ත ජාතියක් නොවෙයි.

යකඩ ගොඩක් පරණ යකඩ මිලදී ගන්න සමාගමකට විකුණන්න තිබුණු අවස්ථාවක, ‘මෙය කරන්න පුළුවන්’ කියන ඒ ධෛර්යවන්ත හැඟීම ඔබතුමා ඇතිකර ගැනීමත් අපේ ජාතියේ වාසනාවක්. ඒ ගැන මට තිබෙන්නේ හරිම සතුටක්. මෙහි තිබෙන ධාරිතාවත් මෙහි තිබෙන ශක්‍යතාවත් බැලුවාම අපට වුවමනා කරන ලිපිද්‍රව්‍ය නිපදවීමේ හැකියාව මේ සමාගමට තියෙනවා. මම සභාපතිතුමන්ට සුබ පැතුම් පිරිනමනවා, මේ විශාල කර්තව්‍යය මෙයින් නවත්වන්නේ නැතුව තවත් ඉදිරියට ගෙන යන්න.

මා ඉතා ආසාවෙන් පාවිච්චි කරන දෙයක් තමයි පරිගණකය. කොපමණ පරිගණකය පාවිච්චි කළත් හැකි සෑම අවස්ථාවකම අපේ අත යන්නේ පෑනත් සමග කඩදාසියකට. මේ ලෝකයේ ස්වභාවය ඒකයි, පැරණි දේ යළිත් පැමිණෙනවා. ඒ නිසා කොතරම් පරිගණක තාක්ෂණය දියුණු වූවත්, අපිට කඩදාසිය අවශ්‍යමයි.

මේ රටට කඩදාසි ආශ‍්‍රිත විවිධාකාර උවමනාවන් තිබෙනවා, ඒ සියල්ල සැපිරීම, වසරකට රුපියල් බිලියන සියයක් රැක දෙමින් ඔබතුමා විශාල කාර්මික විප්ලවයක් පටන් ගත්තා වෙනවා. 1970 රජය එවැනි කාර්මික විප්ලවයක් පටන් ගත්තා. ලෝහ භාණ්ඩ සංස්ථාව, ලංකා වානේ සංස්ථාව, කඩදාසි සංස්ථාව වැනි දේවල් ගොඩනගමින් ඇවිත් එක් යුගයක දී අපි මේ සියල්ලම අබලි ද්‍රව්‍ය වෙන්නට අත හැර දමලා තියෙනවා.

අපිට මේ සමහර දේවල් මිත‍්‍ර රටවල්වලින් ලැබුණේ. ඛනිජ තෙල් අපි නිතරම පාවිච්චි කරන දෙයක් නිසා යන්තමින් බේරුණත් 1964 ඉරානයෙන් ලැබුණු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අද සපුගස්කන්දේ තියෙන ඒ යන්ත‍්‍ර සූත‍්‍රත් අබලි ද්‍රව්‍යවලට තමයි විකිණෙන්න තිබුණේ. අපි අවාසනාවන්ත යුගයකට ගියා. මට මතකයි 70 දශකයේ දී ලෝහ භාණ්ඩ සංස්ථාව හදපු හැදි ගෑරුප්පු පවා ඉතාමත් ඉහළ තත්ත්වයක පැවතුණු බව පිටරටින් පැමිණි අය පවා පිළිගත්තා. එවැනි විශාල හැකියාවක් සහිතව අපේ කර්මාන්ත තිබුණා.

ඒ වගේම මෙයින් උද්පාදනය වන රැකියාවන් තුළින් බොහෝ පවුල් ජීවත් වෙනවා. ඒ පවුල් නැවත වරක් පණ ගන්වලා ජීවත් කරවන්නට ගරු අමාත්‍යතුමාත් ජාතික කඩදාසි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් උත්සාහය ගැන අපේ ගෞරවනීය ආචාරය පුද කළ යුතුයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම තුළ සඳහන් ‘මේ රටේ තිබෙන හැකියාවන් නැවත උද්දීපනය කළ යුතුය’ යන්නට හොඳ නිදසුනක් ඔබ මේ ජාතික කඩදාසි සංස්ථාව නැවත පණ ගන්වමින් පෙන්නුවා.”

මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙම අවස්ථාවට සුභාසිංශන එක් කරමින් :

“අපි ප‍්‍රාර්ථනා කළේ මෙවැනි තත්වයක්. අපි දශක ගණනක් සිහින මැවුවේ, මේ රටේ ඒකාග‍්‍රතාව සහ නිෂ්පාදන ශක්තිය දැකලා කොහොමද ස්වාධීන වෙන්නේ, කියලයි. මා පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳව කටයුතු කරන වෘත්තිකයෙක්.

අපි අපේ ජීවිත පරදුවට තබලා පර්යේෂණ කටයුතු සිදු කරලා, දැනුම නිෂ්පාදනය කරලා සෑම වේදිකාවකම කිව්වේ, ‘අපට අවුරුදු දහස් ගණන් පැරණි පෞඪත්වයක්, අභීතභාවයක් තිබෙනවා. එය ළගා කර ගන්නා තුරු අපට දෙපයින් නැගීසිටීමට බැහැ’ කියලයි.

අපි දැන් පටන් අරන් තිබෙනවා, අවුරුදු දහස් ගණනක් අපේ මුතුන්මිත්තන් කළ ශ‍්‍රී විභූතිය දෙස නැවත හැරිලා බලලා ඒ සමෘද්ධිය, විභූතිය යළි අත්පත් කර ගැනීමට. ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය’ සාම්ප‍්‍රදායික දේශපාලන ප‍්‍රතිපත්තියක් නොවෙයි. ප‍්‍රායෝගික වැඩපිළිවෙළක්. මේ අලුත් දේශපාලන සංස්කෘතිය යථාර්ථයක් බව හඟවන්නට අපේ ගරු විමල් වීරවංශ ඇමතිතුමා ‘ඇමතිතුමා’ යන වචනයේ අර්ථයට පරිසමාප්ත අර්ථයක් ලබා දීලා. අද ජාතිය නඟා සිටුවීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙලේ පළමු වෙඩි මුරය තබා තිබෙනවා. අපි හෘදයාංගම ලෙස ඔබට සුභාසිංසනය කරනවා. සියලු ඇමතිවරු මේ කාර්යය ආදර්ශයක් හැටියට අරගෙන රට ගොඩනැගීමට අවශ්‍ය කරන බලය ලැබුණායින් පසුව වැඩ කරන්නය කියා ඉල්ලනවා.”

ශ‍්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති දිලාන් පෙරේරා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනිල් කාරියවසම්, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු ජනක රත්නකුමාර යන මහත්වරු ද මෙම ජාතික කර්තව්‍යයට සුභාශිංසන එක් කළහ.

මෙහි දී ‘ශ‍්‍රීපත් – යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ යන සන්නාමය යටතේ ටොන් 40 කින් යුතු ප‍්‍රථම කඩදාසි තොගය වෙළඳපොළට මුදා හැරීම සනිටුහන් කරමින් විශේෂ සමරු ඵලකයන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට පිළිගැන්වීම ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා විසින් සිදු කරන ලදී. එසේම මෙම ටොන් 40 ක කඩදාසි තොගය මෙරට මුද්‍රණ ක්ෂේත‍්‍රයේ නියුතු සමාගම් කිහිපයක් විසින් මිලදී ගැනීම සංකේතවත් කරමින් ඔවුනට ද ‘විශේෂ සමරු ඵලක’ පිළිගැන්වීම සිදු විය.

ඒ අනුව ‘පේපර් කොම් ටේ‍්‍රඩින් කම්පනි’ සමාගමේ සභාපති සාකීර් කබුර්දීන්, ‘රන්පත් පේපර් (පුද්) සමාගමේ’ කළමනාකාර අධ්‍යක්ෂ නිරූන් බුද්ධසිරි, ‘ආනන්ද ටේ‍්‍රඩින් කම්පනි’ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජානමුත්තු ආනන්දන්, ‘කැමිලස් පබ්ලිකේෂන්’ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ගයාන් පෙරේරා යන මහත්වරු මෙම විශේෂ සමරු ඵලක ලබා ගත්හ.

ස්තූති කතාව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ රංජිත් මහතා විසින් සිදු කරන ලදී.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

***************************************

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=mvlHaeMQn0M

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *