හෙට (14) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි : දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හෙට (14) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි : දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා

• සහරාන්ගේ සොහොයුරා ගැන තවත් තොරතුරු රැසක් පාස්කු කොමිසමේදී එළියට (විඩියෝ)

• ලීසිං වාහන සඳහා දුන් සහනය ක්‍රියාත්මක වීම ගැන රජය අවධානයෙන් (විඩියෝ)

• වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ දුනු-ඊතල භාවිත කළ බව පුරාවිද්‍යා පර්යේෂණයකින් හෙළිවේ (විඩියෝ)

• මාලදිවයිනේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 291 ක් දිවයිනට

• වළයාකාර සූර්යග්‍රහණයක් ලබන 21 වනදා (විඩියෝ)

• ඓතිහාසික ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන ජනපතිගේ අවධානය (විඩියෝ)

• විශ්වවිද්‍යාලවල අවසන් වසරේ විභාග සඳහා, විශ්ව විද්‍යාල 22 වනදා සිට විවෘතයි (විඩියෝ)

• උසස් පෙළ සිසුන් සඳහා සතියකට කළින් පාසල් විවෘත කිරීම ගැන අවධානය (විඩියෝ)

• කොළඹින් ගමන් අරඹන පෞද්ගලික බස් රථ, නියමිත වේලාවට ගමනාන්තයට ලඟා වනවාද ? නැද්ද ? පොලිසියෙන් පරීක්ෂණ

• හෙට (14) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

• වැලි සහ පස් ප්‍රවාහනයට විධිමත් බලපත්‍ර ක්‍රමවේදයක්

• ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි වටය ඉන්දියාවෙන් උතුරට එන කල්ලතෝනීන්ගෙන් විය හැකියි

• ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට (විඩියෝ)

• මීගමුව බන්ධනාගාරයේ සිරමැදිරි තුළ තිබූ සුඛෝපභෝගී භාණ්ඩ

• පසුගිය රජය සමයේ ඉන්දීය දුම්රිය එන්ජින් ගෙන ඒමෙන්කෝටි 190 ක පාඩුවක්

+++++++++++++++++++++++++++++++++++

හෙට (14) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි : දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා

(13.06.2020 – 12:21 +0530 – hirunews.lk/sinhala)

හෙට (14) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා ෴

***************************************

සහරාන්ගේ සොහොයුරා ගැන තවත් තොරතුරු රැසක් පාස්කු කොමිසමේදී එළියට

(13.06.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

2018 වර්ෂයේ අගෝස්තු 27 වැනිදා සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වූ රිල්වාන් හෂීම් පිපුරුම් තුවාල සහිතව වෙනත් නමක් ඉදිරිපත් කරමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී වෛද්‍යවරුන්ට ඔහු පිළිබඳ සැකයක් මතුව තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට රෝහල් පොලීසිය දැනුවත් කළ ද ඔවුන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් එය සිදුකර නොමැති බව ද එහිදී හෙළි වී තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් ඊයේ (12) සාක්ෂි ලබාදුන්නා.

ඔහු එහිදී කියා සිටියේ සහරාන් හෂීම්ගේ සහෝදරයා වූ රිල්වාන් හෂීම් 2018 වර්ෂයේ අගෝස්තු 27 වන දා පිපිරීමකින් ඇතිවූ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ඇති බවයි.

රිල්වාන් හෂීම්, එම්.අයි. ශාහිඩ් ලෙස කොළඹ ජාතික රෝහලට ව්‍යාජ නමකින් ඉදිරිපත් වී ඇති ඔහු රෝහලට ඇතුළත් කර ඇත්තේ හිඟු‍ල – මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි එම්.අයි. සාදික් නැමැත්තෙකු විසින්.

එහිදී කොමිසම විමසා සිටියේ අදාළ පුද්ගලයා ඇතුළත් කිරීමේ දී නිරීක්ෂණය වී ඇති තුවාල කවරේද යන්නයි.

ඔහුගේ අත් දෙකෙහි තුවාල සහ ඇඟිලි කිහිපයක් කැඩී වෙන්ව ගොස් තිබූ අතර වම් ඇසට සහ නළලේ වම් කොටසටත් තුවාල සිදු ව තිබූ බව රෝහලට ඇතුලත් කිරීමේ වාර්තාවේ සඳහන් වන්නේ යැයි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා.

ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමත් සමඟ ඇති වූ අනතුරකින් මෙවැනි තුවාල ලබා ප්‍රතිකාර කිරීමට රෝහලට ඇතුළත් වූ බව එම වාර්තාවල සටහන් ව තිබූ බවද ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ඔහුගේ ඇඳ ඉහපත් වාර්තාවේ පරික්ෂා කළ වෛද්‍යවරුන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෑම වෛද්‍ය වාර්තාවකම ප්‍රශ්නාර්ථ ලකුණක් යොදා තිබූ බව නිරීක්ෂණය වූයේ යැයි ඔහු වැඩිදුරටත් සදහන් කළා.

එහි දී කොමිසම විමසා සිටියේ මෙවැනි තුවාල ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදු සිදු විය හැකි ද යන්නයි.

අධිකරණ වෛද්‍යවරයා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ ඔහු යමක් අත් දෙකින් මුහුණට ඉතා සමීපව තබාගෙන සිටියදී යම් පිපිරීමක් සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බවයි.

කෙසේ වෙතත් ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමකින් මීට වඩා බරපතළ තුවාල ඇති විය හැකි බව අධිකරණ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඒ අනුව තම නිගමනය වන්නේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව නොමැත යන්න බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා.

කොමිසම එහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එසේ නම් මෙම පිපිරීම ඒ කුමන ආකාරයක පිපිරීමක් ද යන්නයි.

පසුගිය යුද සමයේ බෝම්බ පිපිරීම් නිසා සිවිල් ජනතාවට ඇති වූ තුවාල ආකාරයෙන් ම මෙම පුද්ගලයාගේ තුවාල සිදුව තිබූ බව තමන් නිරීක්ෂණය කළ බවත්, මෙය බෝම්බයක් පුපුරා යාමක් නොව පුපුරන ද්‍රව්‍යයක් හෝ රසායන ද්‍රව්‍ය සමග කළ ක්‍රියාකාරකමක දී සිදු වූ සුළු පිපිරීමක් වන්නට ඇති බව තමන් නිගමනය කළ බව එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කළා.

කොමිසම එහිදී පසුගිය වර්ෂයේ දී සයින්දමරුදු නිවසක් තුළ රිල්වාන් හෂීම් ඇතුළු පිරිසක් බෝම්බ පුපුරවා ගනිමින් සිදුකළ ප්‍රහාරයට පෙර සමාජ මාධ්‍යට මුදා හැර තිබූ වීඩියෝ පටයක් සාක්ෂිකරුට පෙන්වා සිටියා. එහිදී රිල්වාන් හෂීම්ගේ මුහුණෙහි හා ඇඟිලිවල ඇතිව තිබූ තුවාලවල කැලැල් නිරීක්ෂණය කෙරුණා.

කොමිසම මෙහිදී ප්‍රශ්න කර සිටියේ මෙම පුද්ගලයා අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇත්ද යන්නයි.

ඊට නැත ලෙස පිළිතුරු දුන් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔහු ජාතික රෝහලට ඇතුළත් කළ දිනයේ දී ‘ඉන්ෆෝම් පොලිස්’ ලෙස ඇඳ ඉහපත් වාර්තාවේ වෛද්‍යවරුන් විසින් සටහනක් දමා ඇති අතර ඉන් අර්ථ ගැන්වෙන්නේ රෝහල් පොලීසිය වෙත දන්වන ලෙස වුවත් එසේ කර නොමැති බවයි.

නැවත කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එසේ නම් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර නැති හේතුව කුමක් ද යන්නයි.

එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් ඇඳ ඉහපත් වාර්තාව නිරීක්ෂණය කර එහි යම්කිසි පුද්ගලයකු විසින් අත්සනක් යොදා දෙමළ භාෂාවෙන් “වැඩිදුර පොලිස් විමර්ශනයක් අවශ්‍ය නැත” බවට සටහන් කර ඇති බව ප්‍රකාශ කර සිටියා.

එම ප්‍රකාශයට පහලින් සාදික් ලෙස අත්සන යොදා ඇති බවත් එම ප්‍රකාශය හේතුවෙන් පොලිස් විමර්ශනයක් අවශ්‍ය නොවන බවට මතයක රෝහල් පොලිසිය සිටින්නට ඇති බවයි සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කළා.

එලෙස ඇඳ ඉහපතෙහි සටහනක් යෙදිය හැක්කේ රෝහල් කාර්ය කාර්ය මණ්ඩලයට හෝ රෝහල් පොලිසියේ නිලධාරියෙකුට පමණක් බව අධිකරණ වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි තබා දුන්නේ 2018 වර්ෂයේ කොළඹ ජාතික රෝහලේ, රෝහල් පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එවකට උප පොලිස් පරීක්ෂක බන්දුල චන්ද්‍රසිරි නානායක්කාරයි.

එහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ‘පොලිස් පරීක්ෂණ අවශ්‍ය නැත’ යනුවෙන් සඳහන් කළ එම්.අයි. ෂාහිඩ් නැමැත්තා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ඉන් ඉදිරියට නොගත්තේ ද යන්නයි.

එහිදී සාක්ෂිකරු ‘නැත’ යන පිළිතුර ලබා දුන්නා.

කොමිසම එහිදි විමසා සිටියේ වෙඩි වැදුන පුද්ගලයෙක් හදිසි අනතුරු අංශයට ඇතුළත් කළේ නම් අධිකරණ වෛද්‍ය පෝරමය ප්‍රතික්ෂේප කළත් ඔහුට ද එය නිකුත් නොකරන්නේ ද යන්නයි.

සාක්ෂිකරු එහි දී සඳහන් කළේ එවැනි රෝගියෙකු එම පෝරමය ප්‍රතික්ෂේප කළ ද තමන් එම පෝරමය නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

අවස්ථා දෙකකදී දෙආකාරයකින් කටයුතු කරන්නේ මන්ද යන්න කොමිසම එහිදී ප්‍රශ්න කර සිටියා.

සාක්ෂිකරු යළි සඳහන් කළේ අනවශ්‍ය කටයුත්තක් ලෙස හැඟී යන්නේ නම් එය සිදු නොකරන බවයි.

මෙහිදී කොමිසම විමසා සිටියේ මෙවැනි සම්ප්‍රදායක් ඇති කළේ කවුරුන් ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් සාක්ෂිකරු සඳහන් කළේ යම්කිසි සැකයකට භාජනය කළහොත් පමණක් ඒ පිළිබඳ විමසා සිටින බවයි.

+++++++++++++++++++++

***************************************

ලීසිං වාහන සඳහා දුන් සහනය ක්‍රියාත්මක වීම ගැන රජය අවධානයෙන්

(13.06.2020 – 15:07 +0530 – hirunews.lk/sinhala)

ණය වාරික නොගෙවන බවට ලීසිං සමාගම් වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් හය මසක සහන කාලය අවසන් වනතුරු භාර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර තිබෙනවා.

කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයන්ට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසිලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න මහතාට ඊයේ (12) නියෝග කර තිබුනේ මාස 06 ක සහන කාලයක් ලබාදී තිබියදී ඇතැම් ලිසිං සමාගම් සහ මුල්‍ය ආයතන ණය වාරික ගෙවීමට අසමත්වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් එය සපුරා නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

+++++++++++++++++++++

***************************************

වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ දුනු-ඊතල භාවිත කළ බව පුරාවිද්‍යා පර්යේෂණයකින් හෙළිවේ

(13.06.2020 – 08:23 +0530 – hirunews.lk/sinhala)

මීට වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ ආදිවාසීන් සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කළ බව පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, එලෙස සොයා ගත් හී තුඩකින් පෙනී ගොස් ඇත්තේ අප්‍රිකාවෙන් පිටත දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ ලොව ප්‍රථම රට ශ්‍රී ලංකාව බවයි.

‘ජර්නල් සයන්ස් ඇඩ්වාන්සස්’ නැමති විද්‍යාත්මක ප්‍රකාශනය මගින් ඊයේ (12) ප්‍රසිද්ධියට පත් කෙරුණු මෙම ගවේෂණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලාංකිකයන් ඒ යුගයේදීම රෙදි විවීම සඳහා ද මෙවලම් භාවිත කර තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ බුලත්සිංහල – ෆාහියන් ලෙනෙන් සොයා ගැනුණු වඳුරු සහ ලේන් සැකිලි පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.

එම සතුන් මිනිසුන් විසින් දඩයම් කර ඇති බව පර්යේෂණයේදී හෙළි වී ඇති කරුණක්.

දකුණු ආසියාවේ හෝමෝ සේපියන් හෙවත් නූතන මානවයා පිළිබඳ ආදිතම සාක්ෂි වන්නේ ද සුප්‍රකට ෆාහියන් ලෙනෙන් හමුවූ මානව ෆොසිලයි.

මෙරට ආදිවාසීන් දුනු-ඊතල භාවිතයේ පුරෝගාමීන් බව හෙළි වූ පර්යේෂණය සඳහා ජර්මානු සහ ඕස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායම් සමඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතාද එක්වුණා.

මීට වසර 64,000 කට පෙර දුනු ඊතල භාවිතය පිළිබඳව ඉපැරණිතම සාධක හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්.

යුරෝපයේ දුනු ඊතල තාක්ෂණය පිළිබඳ ඉතිහාසය වසර 20,000 ඉක්මවන්නේ නැහැ.

ඒ අනුව අප්‍රිකාවෙන් පිටත දුනු ඊතල භාවිතය පිළිබඳ පැරණිතම සාක්ෂි හමුවන්නේ ශ්‍රී ලංකාවෙන්.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

මාලදිවයිනේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 291 ක් දිවයිනට

(13.06.2020 – 14:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු අද (13) දහවල් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියා.

මාලදිවයිනේ රැකියා සඳහා ගොස් සිටි මෙම පිරිස යූ.එල් 102 දරණ ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයෙන් දහවල් 11:36 ට මෙලෙස පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් ගුවන්තොටුපල තුලදී පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර, පසුව ගුවන්තොටුපල අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සලසා තිබෙනවා ෴

***************************************

වළයාකාර සූර්යග්‍රහණයක් ලබන 21 වනදා

(13.06.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ලබන 21 වැනිදා වළයාකාර සූර්යග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, එය ශ්‍රී ලංකාවට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දැක ගැනීමට හැකියාව ලැබෙන බවයි.

( අවවාදයයි ! : පියවි ඇසින් සූර්යග්‍රහණයක් නැරඹීමෙන් ඇස් අන්ධවිය හැක ! – අමරසර )

***************************************

ඓතිහාසික ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන ජනපතිගේ අවධානය

(13.06.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ, වෙනුවෙන් වන සැලසුම් කඩිනමින් සකස් කර වසර දෙකක් ඇතුළත එහි වැඩ නිම කරන ලෙස ජනාධිපතිවරයා අවධාරණය කළා.

***************************************

විශ්වවිද්‍යාලවල අවසන් වසරේ විභාග සඳහා, විශ්ව විද්‍යාල 22 වනදා සිට විවෘතයි

(13.06.2020 – 11:44 +0530 – hirunews.lk/sinhala)

ලබන 22 වනදා සිට අදියර කිහිපයක් යටතේ විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග සඳහා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ විශ්වවිද්‍යාල තුළ එක්රැස් වීම් හෝ ක්‍රීඩා සහ විනෝදාත්මක කටයුතු සඳහා යළි දැනුම් දෙන තුරු අවසර ලබානොදෙන බවයි.

අගෝස්තු 15 වනදා වන විට සියළු විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග අවසන් විය යුතු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව ඊට අදාළ කටයුතු සිදුකිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

+++++++++++++++++++++

June 13, 2020 11:28 am

+++++++++++++++++++++++++++++++++++

උසස් පෙළ සිසුන් සඳහා සතියකට කළින් පාසල් විවෘත කිරීම ගැන අවධානය

(13.06.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම, පෙර දැනුම්දුන් දිනයට වඩා සතියකට පෙර සිදුකිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ, උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට එම සිසුන්ට කාලය ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන්.

ලබන 29 වනදා සිට පියවර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව 13, 11 සහ පහ ශ්‍රේණි සඳහා ජූලි 6 වනදා පාසල් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාවරයා මීට පෙර ප්‍රකාශ කළා.

උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත්තේ සැප්තැම්බර් මස 7 වනදා සිටයි.

කෙසේ වෙතත් උසස් පෙළ පන්ති නියමිත ජූලි 6 වනදාට පෙර ආරම්භ කළහොත් ඊට සමගාමීව අදාළ පන්ති විෂබීජහරණය කිරීමද නියමිත දිනට පෙර දිනයක කළ යුතු වනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා, එහි ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු බලධාරීන් අතර ලබන සඳුදා (15) විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙනු ඇති.

***************************************

කොළඹින් ගමන් අරඹන පෞද්ගලික බස් රථ, නියමිත වේලාවට ගමනාන්තයට ලඟා වනවාද ? නැද්ද ? පොලිසියෙන් පරීක්ෂණ

(13.06.2020 – 09:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ තමන්ට නියම කර ඇති වේලාවට පෙර හෝ පසුව ගමනාන්තයට ලඟා වන්නේදැයි පරීක්ෂාකර එවැනි රියදුරන් දැනුවත් කර අවවාද කිරීමේ වැඩසටහනක් ඊයේ (12) සිට ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ඒ අනුව මෙම වැඩසටහන් යත්තේ බස් රථ 267 ක් ගමනාන්ත 22 ක් වෙත ලඟාවීම පරීක්ෂා කර තිබෙනවා.

එහිදී බස් රථ 119 ක් නියමිත වේලාවට ප්‍රමාදව ගමනාන්තයට ලඟා වී ඇති බවත්, බස් රථ 55 ක් නියමිත වේලාවට පෙර ගමනාන්තයට ලඟා වී ඇති බවටත් අනාවරණය වී ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව අධික වේගයෙන් ධාවනය, මාර්ග තදබදය ඇති කරමින් ප්‍රමාදව ධාවනය නොකිරීමට පළමුව මෙම බස් රථවල රියදුරන් දැනුවත් කර අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ හදිසි ඇමතුම් අංශය සහ ප්‍රාදේශීය කොට්ඨාස රථවාහන අංශ එක්ව ඉදිරියටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා ෴

***************************************

හෙට (14) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(13.06.2020 – 16:24 +0530 – sinhala.adaderana.lk)

හෙට (14) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට (14) පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

මීට අමතරව අදාළ කාලය තුළ කොළඹ 01 ප්‍රදේශයට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතයි.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ ෴

***************************************

වැලි සහ පස් ප්‍රවාහනයට විධිමත් බලපත්‍ර ක්‍රමවේදයක්

(13.06.2020 – 14:35 +0530 – sinhala.adaderana.lk)

වැලි සහ පස් ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර අහෝසි කිරීමට බලධාරීන් කටයුතු කිරීම තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ මේ හරහා වැලි සහ පස් ජාවාරම්කරුවන්ට සිය කටයුතු කරගැනීම සඳහා නීතියෙන් තිබූ බාධාවන් ඉවත් කර ඇති බවය.

මෙම තත්ත්වය වහාම නැවැත්වීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි පාරිසරික ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

“අද දෙරණ” මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ වැලි සහ පස් ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමවේදය විධිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවය.

ඒ අනුව ඉදිරියේදී භූවිද්‍යා සහ පතල් කැනීමේ කාර්යංශය මගින් විධිමත් බලපත්‍ර ක්‍රමවේදයක් හදුන්වාදීමට පියවර ගන්නා බව ද අනුර වල්පොල මහතා සඳහන් කළේය ෴

***************************************

ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි වටය ඉන්දියාවෙන් උතුරට එන කල්ලතෝනීන්ගෙන් විය හැකියි

(13.06.2020 – 14:32 +0530 – lankaleadnews.com)

නීත්‍යානුකූල නොවන ආකාරයට ඉන්දියාවෙන් උතුරට පැමිණෙන වෙළඳුන් සහ කම්කරුවන් නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි වටය ආරම්භ විය හැකි බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ වන විට ඉන්දියාවේ වසංගතය සමාජයට සම්ප්‍රේෂණය වී ඉතා බරපතල ලෙස උත්සන්න වන තත්වයක් තුළ දිනකට රෝගීන් 10,000 වඩා වාර්තා වේ.

එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාව බරපතල අනතුරුදායක තත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තවදුරටත් පෙන්වා දෙයි.

ඊට අමතරව අගෝස්තු 1 වෙනිදා සිට නිරෝධායනයෙන් තොරව සංචාරකයින්ට රට තුළට ඒමට ඉඩ දෙන බවට රජය විසින් ගෙන ඇති තින්දුව ද ඉතා බරපතල සහ අනතුරු දායක බව වෛද්‍යවරු පවසති ෴

***************************************

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට

(13.06.2020 – 17:37 +0530 – hirunews.lk/sinhala)

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය ලෙසට සැලකෙන ඇන්ටනෝව් AH 124-100 යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා.

එමෙන්ම අසර්බයිජාන් රාජ්‍යයේ සිට නාවික ඉංජිනේරුවරුන් තුන් දෙනෙකු රැගත් FXT 712 වර්ගයේ කුඩා යානයක් ද මත්තලට ගොඩබැස්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානය මත්තලට පැමිණ ඇත්තේ දින 4 ක විවේකයක් සඳහා සහ ඉන්ධන ලබාගැනීම සඳහායි.

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට පැමිණි එය ඊයේ (12) රාත්‍රී 10:35 ට පමණ ගොඩබස්වා තිබෙනවා.

එම යානය යළිත් ලබන 16 වනදා පස්වරු 01:30 තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර අසර්බයිජානයේ සිට පැමිණි යානය අද (13) අලුයම මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා.

එහි නාවික ඉංජිනේරුවරුන් පැමිණ ඇත්තේ හම්බන්තොට වරායේ කාර්මික දෝෂයකට ලක්ව නවතා ඇති නෞකාවක අලුත්වැඩියා කටයුතු සඳහායි.

මෙම යානා දෙකෙහිම පැමිණි සියලුදෙනා ගුවන්තොටපල තුලදීම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර තිබෙනවා.

***************************************

මීගමුව බන්ධනාගාරයේ සිරමැදිරි තුළ තිබූ සුඛෝපභෝගී භාණ්ඩ

(13.06.2020 – 17:41 +0530 – sinhala.adaderana.lk)

මත්කුඩු චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනෙකු සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) විමර්ශන ආරම්භ කළේය.

මත්කුඩු කිලෝ 30 ක් සමග අත්අඩංගුවට පත් ඔස්ටින් නමැති සැකකරුවකු ශීතකරණයක් භාවිත කරන බවත් මත්කුඩු කිලෝග්‍රැම් 100 ක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉන්දීය ජාතිකයෙකු සතුව තිබූ මයික්‍රොවේව් උඳුනක් ද තිබූ බවත් පසුගියදා හෙළි වී තිබුණි.

බන්ධනාගාර බුද්ධි අංශය විසින් පසුගිය 09 වනදා මීගමුව බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමක් අතරතුර ජංගම දුරකථන 61 ක්, සිම්පත් 51 ක් සහ දුරකථන උපාංග රැසක් සොයාගැනුණි.

එහි සිදුකළ තවත් මෙහෙයුමකදී ඇතැම් රැඳවියන් ගෙවනා සුඛෝපභෝගි දිවිපෙවෙත් පිළිබඳව අනාවරණය වී තිබේ.

එසේම මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වී සිටින සිරකරුවෙකුගේ කුටිය තුළ තිබි නවීන පන්නයේ විදුලි උදුනක් ඇතුළු සුඛෝපභෝගි භාණ්ඩ රැසක් බන්ධනාගාර බුද්ධි අංශය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ මුලිකත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් ඊයේ (12) මීගමුව බන්ධනාගාරය වෙත පැමිණියේය.

අදාළ විමර්ශන කටයුතු ඊයේ දහවල් කාලයේ සිට රාත්‍රී 7 දක්වා සිදුව ඇති අතර එහිදි සෝදිසි මෙහෙයුමේදි හමුවු ශීතකරණය පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ එය පොදු කටයුත්තක් සඳහා ව්‍යාපාරිකයෙකු විසින් බන්ධනාගාරයට පරිත්‍යාග කළ එකක් බවය.

එය බන්ධනාගාර නිලධාරීන් සිදුකරන ලද සාවද්‍ය ප්‍රකාශයක් බව පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණ සම්බන්ධයෙන් වූ වාර්තාවක් ඉදිරි සතියේ දී ඉදිරිපත් කරන බවය.

+++++++++++++++++++

***************************************

පසුගිය රජය සමයේ ඉන්දීය දුම්රිය එන්ජින් ගෙන ඒමෙන්කෝටි 190 ක පාඩුවක්

(12.06.2020 – epaper.aruna.lk)

ඉකුත් රජය සමයේ ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් දහයක් මිල දී ගැනීමේ ව්‍යාපෘතියේ පාඩුව රුපියල් කෝටි 190 කට අධික යැයි විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

එවක රජය ඉන්දියාවෙන් මෙම දුම්රිය එන්ජින් මිලට ගැනීමට තීරණය කර ඇත්තේ ඇමරිකානු ලංසුකරුවකු විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඉවත් කරමිනි. ඇමරිකානු ලංසුවට අනුව එන්ජිමක් ඇමරිකානු ඩොලර් මිලියන 3.2 ක් වී ඇති අතර ඉන්දියාවෙන් මිල දී ගත් එන්ජිමක මිල ඇමරිකානු ඩොලර් මිලියන 4.25 ක් වී තිබෙන බව එම වාර්තාව හෙළි කරයි. ඇමරිකානු එන්ජින් ඉන්දීය එන්ජින්වලට වඩා ආර්ථික වශයෙන් වඩා ලාභදායී බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සිය වාර්තාවකින් ද ඉදිරිපත් කර තිබූ බවත් එහි සඳහන් වෙයි.

මෙම එන්ජින් දහයෙන් (10) අටක් (08) මේ වන විට මෙරටට ගෙනැවිත් ඇත. මෙම එන්ජින් අතරින් එකක පවතින මෘදුකාංග ගැටලුවක් හේතුවෙන් මෙතෙක් ධාවනයේ යෙදවීමට නොහැකිව නිෂ්ක්‍රීයව තිබේ. එමෙන්ම නොවැම්බර් මස 7 වැනිදා ගෙන්වන ලද එන්ජිමද මෙතෙක් ධාවනයට යෙදවීමට නොහැකි වී ඇතැයි ද හෙළි වී ඇත. තවත් එන්ජිමක් පීලි පැන අනතුරට ලක් වීම නිසා අලුත්වැඩියා සඳහා යොමු කර ඇත.

දැනට ගෙන්වා ඇති එන්ජින් අටෙන් (08) ධාවනයේ යොදවා ඇත්තේ පහක් (05) පමණි.

කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි අනුව පළමු එන්ජිම ගෙන්වීමෙන් පසු අඩු තරමින් මාස තුනක්වත් මෙහෙයුම් කටයුතු සිදු කර මතු වන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇනෙක් එන්ජින් නැව් ගත කර ගැනීමට තිබූ නමුත් අඩුම තරමින් ප්‍රධාන මාන පිළිබඳව හෝ අවධානය යොමු නොකර සෙසු එන්ජින් නැව්ගත කිරීමට අනුමැතිය දීම ගැටලු සහගත බව විගණනයේ දී හෙළි වී තිබේ.

මේ වන විට ධාවනයේ යොදවා ඇති දුම්රිය එන්ජින්වල වම්පස රෝදවලට වඩා දකුණු පස රෝද විෂ්කම්භය වැඩි බව ද එම පරීක්ෂණයෙන් හෙළි වී තිබේ. මෙලෙස රෝදවල විෂ්කම්භය එකිනෙකට වෙනස් වීම නිසා ඒවා නිරන්තරයෙන් විවිධ මට්ටම්වලින් ගෙවීමට ලක් වන අතර ඉන් රේල් පීලිවල ගෙවීමද ඉක්මන් වන බව පරීක්ෂණ වාර්තා වේ හෙළි වී තිබේ.

මෙම එන්ජින් මෙරට දුම්රිය මාර්ගවල ධාවනය සඳහා නුසුදුසු බව ද මෙම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

– නිලන්ත මදුරාවල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *