(06.06.2020 – mawbima.lk)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ එක් එල්ලයක් වූ මඩකළපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ ස්වයංඝාතකයා එම ප්‍රහාරයට පෙරදින මඩකළපුවට ගොස් තිබුණේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයකින් බවට මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය වී තිබේ.
මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැති එම ස්වයංඝාතකයාට අදාළ බස් රථයේ ආසනයක් වෙන් කර දී තිබුණේ කොච්චිකඩේ බෝම්බකරු වූ අහමඩ් මුවාත් යන අය බවට දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව තහවුරු වන බව කොමිසම හමුවේ සාක්කි ලබාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නීතිඥ සමන් වීරසිංහ මහතා සඳහන් කළේය.
මඩකළපුව සියෝන් දේවස්ථානයේ පිපිරුමට අදාළව විමර්ශනය සිදුකරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාක්කි දෙමින් ප්‍රකාශ කළ අන්දමට මොහොමඩ් අසාද්ට මඩකළපුවට යෑමට ‘මුවාත්’ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයකුට දුරකථනයෙන් අමතා ආසනයක් වෙන් කර දී තිබිණි. එහිදී දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික බස් සමාගමක ආසන වෙන්කරන්නා එම බස් රථයේ පිටුපස අසුනක් වෙන්කර දී ඇත. මේ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ මුවාත්, කල්මුණේ ප්‍රදේශයේ ආසන වෙන්කරන්නාට කතා කර තිබේ.
“මට ඕනෑ කරන්නේ ඉස්සරහ සීට් එකක්. දෙවැනි සීට් එක දෙන්න. ඒක තනි සීට් එකක් වෙන්න ඕනෑ”
මුවාත්ගේ අවශ්‍යතාව ඉටුවිය. ඔහුට දෙවැනි ආසනය සූදානම් කළ බවට කල්මුණේ ප්‍රදේශයේ ආසන වෙන්කරන්නා පිළිතුරු ඇමැතුමක් ලබා දුන්නේය. මේ සම්බන්ධයෙන් පසුකාලීනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පුද්ගලයන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවිණැයි කොමිසම හමුවේ සාක්කි දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවැසීය.
ආසන ප්‍රශ්නය විසඳීමෙන් අනතුරුව මුවාත් නැවතත් ඇමැතුමක් ගෙන ඇත්තේ දෙහිවල තැනැත්තාටය.
“මගේ යාළුවාව මරදානෙන් ගන්නේ නැතුව ආමර් ස්ට්‍රීට් එකෙන් නග්ග ගන්න පුළුවන්ද?”
“බැහැ බැහැ ඒක කරන්න බැහැ. දැන් සීට් ප්‍රශ්නෙත් විසඳුවා. තවත් දේවල් බැහැ.”
දෙහිවල තැනැත්තා මුවාත්ගේ ඉල්ලීමට දැඩි විරෝධය දක්වා ඇත්තේ එසේය. ඒ වන විට 2019 අප්‍රේල් මස 19 වැනිදා රාත්‍රි 8.00 ට පමණ වී තිබිණි. පසුව නැවත දෙහිවල තැනැත්තාට ඇමැතුමක් දුන් මුවාත් කියා ඇත්තේ තම මිත්‍රයා මරදාන සහිරා විද්‍යාලය අසලින් බස් රථයට ගොඩවීමට බලා සිටින බවය. එවිට වේලාව රාත්‍රි 8.22 ට වී තිබිණි. පසුව තම මිත්‍රයා බස් රථයට ගොඩවූවාදැයි අසා අවසන් දුරකථන ඇමැතුමත් ලැබී ඇත්තේ රාත්‍රි 8.34 ටය. ඒ අනුව සහිරා විද්‍යාලය ඉදිරිපිටින් බස් රථයට ගොඩ වී ඇති බෝම්බකරු කොළඹින් කල්මුණේ බලා යමින් තිබූ බස් රථයෙන් මඩකළපුව බලා පිටත් වී ඇත්තේ එදින රාත්‍රි 8.52 ටය.
මේ සිදුවීම්වලට අදාළ සීසීටීවී දර්ශන කොමිසම හමුවේදී ඉදිරිපත් කෙරුණු අතර, සාක්කිකරු එය නිරීක්ෂණය කර කොමිසම හමුවේ සාක්කි ලබාදෙමින් සිද්ධිය විග්‍රහ කළේය. සීසීටීවී දර්ශනවලට අනුව බෝම්බකරු එනම් අසාද් නමැත්තා පිටේ බෑගයක්ද අතේ තවත් බෑගයක්ද ඇතිව කැප් තොප්පියකින්, ටීෂර්ටයකින් සහ බොටම් වර්ගයේ කලිසමකින් සැරසී සිටිනු දක්නට ලැබිණි. ඔහු අතේ ජංගම දුරකථනයක් දිස් වූ අතර ඔහු ඉතා නොසන්සුන් ආකාරයෙන් එහා මෙහා යමින් විමසිල්ලෙන් සිටින අයුරු දිස්විය.
මේ සියල්ල තහවුරු වූයේ මඩකළපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ස්ථානයේ වැටී තිබූ ජංගම දුරකථනයක කොටසක තිබූ එමි අංකයක් මඟින් තහවුරු කරගත් දුරකථන විශ්ලේෂණයන්ට අදාළව පරීක්ෂණ කිරීමෙන් බව කොමිසම හමුවේ සාක්ෂිකරු අනාවරණය කළේය.
එම ජංගම දුරකථනයට මුවාත් සම්බන්ධ වී ඇත්තේ එදින පෙරවරු 11.41 සිටය. ඔහු දුරකථන ඇමැතුම් 10 ක් ලබාගෙන ඇති බව සඳහන් වෙයි. එහිදී මුවාත් රැඳී සිටි ස්ථානය ලෙසට කුලුනු වාර්තා පෙන්වන්නේ මොරටුව රාවතාවත්ත, කල්දෙමුල්ල, හුළුදාගොඩ පාර, ගල්කිස්ස අනුර මාවත යන ස්ථානය.
මේ බස් රථය මඩකළපුවට පැමිණ ඇත්තේ 21 වැනිදා අලුයම 2.12 ට පමණය. පසුව මෙම බෝම්බකරු ත්‍රිරෝද රථයක නැඟී මඩකළපුව අධිකරණය ආසන්නයේ පිහිටි ජුම්මා පල්ලියකට ගියේය. ඒ වන විට පල්ලියේ දෝරගුළු දමා තිබිණි. එහෙයින් ඔහු පැය දෙකකට අධික වේලාවක් පල්ලිය ගේට්ටුව ඉදිරි පිට රැඳී සිටියේ බෝම්බ බෑග් දෙක බිම තබාගෙනය. පසුව පාන්දර 4.39 ට පමණ ජුම්මා පල්ලියේ දෙවැනි මවුලවිවරයා පැමිණ ගේට්ටු විවර කරන ආකාරයද සීසීටීවී කැමරාවල පෙනෙන්නට තිබිණි.
මෙහිදී කොමිසමේ විනිසුරුවන් සාක්කිකරුගෙන් විමසා සිටියේ බෝම්බකරු පැය දෙකකට අධික කාලයක් පල්ලියේ ගේට්ටුව ළඟ තනිවම සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරියකු හෝ පොලිස් ජීප් රථයක් ඒ අසලින් ගියේ නම් මෙම පිපිරුම වළක්වාගත හැකිව තිබුණා නොවේද යන්නය.
පල්ලියේ දෝරටු විවෘත කිරීමෙන් අනතුරුව බෝම්බකරු පල්ලියේ විවේකාගාරයට ගොස් විවේක ගෙන යාඥාවලටද සහභාගි වන ආකාරයද ඔහු දැඩි පීඩනයකින් පසුවන ආකාරයද සීසීටීවී දර්ශන මඟින් ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට ඇති බව සාක්කිකරු කොමිසමට තහවුරු කළේය. එසේම මෙම තැනැත්තා අනෙක් අයට වඩා වෙනස් ආකාරයෙන් ආගම අදහන බවට පෙනෙන්නට තිබූ බවද සාක්කිකරු පැවැසීය. කෙසේ වෙතත් පල්ලිය තුළ පැය හතරකට ආසන්න කාලයක් ගත කළ බෝම්බකරු වෙනත් ටීෂර්ටයක් හැඳ සියෝන් දේවස්ථානයට පයින්ම ගියේ උදෑසන 8.39 ටය. පසුව එදින පෙරවරු 9.03 ට ස්වයංඝාතකයා බෝම්බය පුපුරාගත් බව සාක්කිකරු සඳහන් කළේය.
මේ බෝම්බකරුගේ මව ඡායාරූප කිහිපයක් පුලුස්සා තිබීම නිසා ඇය සැකපිට අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.
බෝම්බකරු 2005 සිට අවස්ථා ගණනාවකදීම කටාර් සහ අබුඩාබි බලා පිටත්ව ගොස් නැවත පැමිණ එළවළු ව්‍යාපාරයක් ආරම්භ කර නැවැත ෂොපින්බෑග් අලෙවි කරමින් සිටි බවටද සාක්කිකරු කොමිසමට දැනුම් දුන්නේය.
මොහු 2012 වර්ෂයේදී අබ්දුල් රහීම් ෆෙරෝසසා නමැති කාන්තාව සමඟ විවාහ වී කල්මුණේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් සයින්දමරුදු ප්‍රදේශයේ නිවෙසක බෝම්බයක් පිපිරීම හේතුවෙන් ඒ තැනැත්තිය ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සාක්කිකරු සඳහන් කළේය. එහෙත් මෙම තැනැත්තිය ඉන්දියාවට පලාගොස් ඇති බවට රාවයක්ද එම ප්‍රදේශයේ ජනතාව අතර පැතිර ගොස් තිබිණි. මේ බෝම්බකරු සහ ඔහුගේ බිරිය පාස්කු ඉරුදින ප්‍රහාරයට දින දෙකකට පෙර වෑන් රථයක නැඟී කල්මුණේ සිට කොළඹ ලකී ප්ලාසා හි තිබූ ආරක්ෂිත නිවස්නය වෙත පැමිණ ඇති බවත්, එහිදී එම නිවෙසේ රැඳී සිටී සහරාන් හෂීම්, ඔහුගේ බිරිය සහ දරුවන්ද කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ අච්චු මොහොම්මදු හස්තුන් සහ ඔහුගේ බිරිය වන සාරා ජස්මින් හෙවත් පුලස්තිනීද හමුවී ඇති බවත් සාක්කිකරු කියා සිටියේය.
එදින දහවල් බත සප්පායම් වූ මේ පිරිස අදාළ වෑන් රථයෙන්ම පානදුරේ තවත් ආරක්ෂිත නිවස්නයක් වෙත ගියහ. එහිදී සහරාන් හෂීම්, මොහොමඩ් අසාද් සහ අච්වි මොහොම්මදු හස්තුන් නිවෙසේ නතර කර එම වෑන් රථයට කාන්තාවන් සහ දරුවන්ද සමඟ ගොඩවී ඇත්තේ සහරාන් හෂීම්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් යන අයය. ඔවුන් සයින්දමරුදු ප්‍රදේශය වෙත පිටත්ව ගිය බව එම රථයේ රියැදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇතැයි සාක්කිකරු සඳහන් කළේය.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරු ඉල්හාම් අහමඩ් නමැත්තා පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවීමට පැය 7 කට පෙර දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවෙසට පැමිණ දරුවන් බදාගෙන හඬා පිටත්ව ගිය ආකාරයත් ඔහු නිවෙසින් පිටව යන අයුරු ඔහුගේ බිරිය දැඩි නොසන්සුන්තාවකින් යුතුව බලා සිටි හැටිත් සීසීටීවී ඔස්සේ මෙන්ම සාක්කිවලින්ද කොමිසමට තහවුරු විය. මේ කරුණු කොමිසම හමුවට ඉදිරිපත් වූයේ දෙමටගොඩ මහවිල උද්‍යානයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හමුවේ මරණයට පත්වුණු ෆාතිමා ජෙෆ්රි (ඉල්හාම් අහමඩ් නමැත්තාගේ බිරිය) යන අයගේ සහෝදරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දුන් අවස්ථාවේදීය.
“ෆාතීමා ජෙෆ්රි කියන්නේ මගේ බාල සහෝදරිය. ඇය පාසල් යන සමයේ හරිම ෂෝෂල් කැරැක්ටර් එකක්. එයා ෆිල්ම්ස් බලන්න, සින්දු කියන්න හරි ආසයි. එයාට යාළුවෝ ගොඩක් හිටියා. එයාගේ බර්ත්ඩේ එකට යාළුවෝ එවපු කාඩ් ගොඩක් තිබුණා. එයා බැන්දේ යෝජිත විවාහයකින්. දෙමටගොඩ මහවිල උද්‍යානයේ ඉල්හාම් එයාගේ ස්වාමි පුරුෂයා. විවාහයෙන් පස්සේ එයා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම රට ඉඳලා ඇවිල්ල ලංකාවේම පදිංචි වෙලා ඉන්දැද්දී තමයි මට තේරුණේ නංගි වෙනස් වෙලා කියලා.”
සාක්කිකරු කොමිසම හමුවේ ඉතා සංවේදීව සිය මතකය කොමිසම ඉදිරියේ දිග හැරියේය. ඇය සිය දරුවන් පාසල් යැවීම ප්‍රතික්ෂේප කළ බවත්, යාඥා කිරීමට පල්ලියට නොගිය බවත්, ඡන්දය දීම ප්‍රතික්ෂේප කළ බවත් සාක්කිකරු කීවේය.
“මම නංගි ගැන හොඳටම දැනගත්තේ මගේ විවාහ මංගල්‍යයට එයාවත් එයාගේ පවුලේ අයවත් සහභාගි නොවන එකෙන්. මම ඇහුවා ඇයි ඔයාලා එන්නේ නැත්තේ කියලා. “ඉස්ලාම් ආගමේ හැටියට මෙහෙම විවාහ මංගල්‍යයක් තියන එක වැරදියි. එයා දීපු උත්තරය තමයි ඒක.”
තම නැඟණියගේ මොළය සෝදා ඇති බව තමන්ට වැටහී ගියද ඔවුන් දෙදෙනා පවුල් ජීවිතය සාර්ථකව ගත කරනවා නොවේදැයි හිතා තමන් ඇතුළු පවුලේ සියලුදෙනාම ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවත් සාක්ෂිකරු පැවැසීය.
“අපි නුවර හාරිස්පත්තුවේ. අපි හැදුණේ වැඩුණේ සිංහල පරිසරයක. අපේ තාත්තා ඒ පැත්තේ පන්සල්වලට, ගමේ මිනිස්සුන්ට හරියට උදවු උපකාර කරනවා. අපේ නංගියි මස්සිනයි ඒකට කැමැති නැහැ. සිංහල මිනිස්සුන්ට උදවු කරන්නේ අවජාතකයෝ කියලා එයාලා බනිනවා. අපේ තාත්තට බනිනවා. එක දවසක් ඒ ගැන තාත්තා නංගිගෙන් ඇහුවා. ඒ 2018 විතර කාලයේ.”
“ඔයාලා ඔය කරන දේවල් වැරදියි නේද?
“සිංහල මිනිස්සුන්ට උදවු උපකාර කරන්න එපා! ඔයා අවජාතකයෙක් වෙයි. මට මොනවත් කියන්න එපා. මම යන්නේ මගේ හස්බන්ඩ් යන පාරේ.”
ඉතාමත් දැඩි අන්තවාදයක සිටි තම නැඟණිය සිය දරුවන් සමඟ මහ ගෙදර පැමිණි අවස්ථාවලදී අනෙක් දරුවන් රූපවාහිනි නරඹන අවස්ථාවේදී සිය දරුවන් වෙන්කොට තැබීමත්, කාටුන් ආදිය නැරැඹීමට දීමෙන් වැළකීමත් යන දේවල් තම නිරීක්ෂණයට ලක්වූ බව සාක්කිකරු කියයි.
“කිසිම දවසක දරුවන්ට එන්නත් ලබාදීලා නැහැ. දරුවන් පාසල් යවන්නේ නැහැ. මද්‍රසා පාසල්වල අධ්‍යාපනය හොඳ මදි කියලා කියනවා. එයාලා බාහිර සමාජයට නිරාවරණය වෙන්නේ නැහැ. අඩුම ගානේ ගෙදර රූපවාහිනියක්වත් නැහැ.”
පාස්කු ප්‍රහාරය සිදුවූ දින උදෑසන 8.30 ට පමණ නැඟණියගෙන් දුරකථන ඇමැතුමක් තම මෑණියන් වෙත ලැබුණු බවත්, අම්මේ ඉක්මනට එන්න. මට කියන්න බැහැ. අම්මා ඉක්මනට එන්න කියමින් ඇය හඬා වැටී ඇති බවත් සාක්කිකරු සඳහන් කළේය.
“අම්මා පලතුරුයි කේකුයි අරගෙන මරදානේ මහ ගෙදර ඉඳලා උදේ 10.30 ට විතර දෙමටගොඩ මහවිල උද්‍යානයේ නංගිලාගේ ගෙදර ගිහින් තියෙනවා. ඒ යද්දී එයා අඬ අඬා ඉඳලා තියෙන්නේ. ඇයි ඔයා දුකින් ඉන්නේ කියලා අම්මා අහලා. එතකොට එයා අම්මට කියලා තියෙනවා එයාගේ මහත්තයා එදා උදේ පාන්දර 1 ට විතර ඇවිත් දරුවන්ව ඉඹලා අඬල අඬලා යන්න ගියා කියලා. (පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර එනම් අප්‍රේල් මස 21 වැනිදාට එළිවන පාන්දර 1.00 ට පමණ ඉල්හාම් නමැති බෝම්බකරු එම නිවෙසට පැමිණ නික්ම යන අයුරු සීසීටීවී දර්ශනවල ඉතාමත් හොඳින් පැහැදිලිව සටහන්ව ඇති අතර, ඒ මොහොතේ උඩුමහලේ රැඳී සිටී ෆාතිමා ජෙෆ්රි නමැත්තිය කලබලයෙන් එහා මෙහා යන අයුරුද එහි සටහන්ව ඇත.)
“නංගි මැරෙද්දී එයා මාස දෙකක ගැබිනියක්. එයාට පිරිමි දරුවන් තුන්දෙනෙක් හිටියා. වයස අවුරුදු තුනහමාරයි, දෙකහමාරයි අනිත් එක්කෙනාට මාස නවයයි. එයා වෙනස් වුණේ බැන්දට පස්සේ. එයා එයාගේ ඇඳුමත් වෙනස් කරලා නිකාබය බුරුකාවට හුරුවුණා. නංගියි මස්සිනයි කළ දේ අපි පිළිගන්නේ නැහැ. කළ දේ ගොඩක් වැරදියි. එයාලා මේ වගේ ත්‍රස්තවාදී වැඩක් කරනවා කියලා දැනගත්තා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. එයාලා හිතලා තියෙන්නේ අපේ ආගමට හොඳක් කරනවා කියලා. කලින් මේ සමාජයේ ඉතාමත් හොඳ පිළිගැනීමකින් හිටපු අපිට මේ අය කරපු දෙයින් විශාල අපකීර්තියක් වුණා. කවුරු කළත් මේ කළ දේ වැරදියි.”
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ස්ථානවල පිපිරුණු බෝම්බ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාව සිදුකළ සොකෝ අංශයේ නිලධාරියකුව සිට මේ වනවිට වේල්ලවීදිය ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා සිය සාක්ෂිය ලබාදෙමින් සඳහන් කළේ බෝම්බකාරිය පොළොව මත බෝම්බය තබා දරුවන් තමා අසලට ගෙන බිම හිඳගැනීමෙන් පසු එය පුපුරුවාගෙන ඇති බවට තමාට නීරීක්ෂණය වූ බවය.
මෙහිදී අදාළ ස්ථානයේ දී ලබාගත් ඡායාරූප කිහිපයක් සාක්කිකරු කොමිසම හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එම ඡායාරූප අතර මරාගෙන මැරුණු බෝම්බකාරියගේ හිස කොටස දැක්වෙන ඡායාරූපය ද ඇතුළත්ව තිබිණි. එමෙන්ම සූදානම් කොට තිබූ දහවල් ආහාර වේල සහිත ඡායාරූපයක්ද එහි විය. මෙම ස්ථානයේ පිපිරුම් දෙකක් සිදුව තිබූ අතර එහි තිබී කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර සහ අනෙක් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සිරුරු සොයා ගනු ලැබූ බවත්, බෝම්බකාරියගේ සහ දරුවන්ගේ ශරීර කොටස් සොයාගත නොහැකි වූ බවත් සාක්කිකරු සඳහන් කළේය.
ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශයේ උසස් නිලධාරියෙක්ද පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ සුවිශේෂී කරුණු රාශියක් කොමිසම හමුවේ අනාවරණය කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට පෙර බෝම්බකරුවන් රූගත කළ වීඩියෝවක් සම්බන්ධයෙන් එම නිලධාරියා තම සාක්කිය මඟින් හෙළි කළේය. එම වීඩියෝවෙන් ප්‍රහාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීමට හේතු වූ කරුණු 17 ක් ඉදිරිපත් කර තිබුණේ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහරාන් හෂීම් සඳහන් කර ඇතැයි සාක්කිකරු පැවැසීය.
අදාළ කාරණා 17 මෙසේය :
- අල්ලා දෙවියන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම ගෞරවයක් මෙන්ම පාරාදීසය වෙත සෘජුව ගමන් කිරීමේ ක්‍රමයක් වන බව ප්‍රහාරය සිදුකිරීමේදී විනාශ වන මස්ල, ඇටකැබැලි සහ හිස් කබල් මතින් ඉස්ලාම් රාජ්‍යයක් සඳහා බීජයක් රෝපණය වීම.
- මෙම ප්‍රහාරය ඉදිරියේදී ඉන්දියාව ජයග්‍රහණය කිරීම සඳහා පාදක කරගැනීම.
- විරුද්ධවාදීන් සමඟ කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකරන අතර තැන් තැන්වල බෝම්බ පිපිරවීම ආරම්භයක් පමණක් වීම.
- නුඹලාට අපේ අනුකම්පාව අවශ්‍ය නම් ඉස්ලාම් ආගමට පැමිණීම හෝ බදු ගෙවීම සිදුකළ යුතුය.
- අල්ලා දෙවියන්ට බැන වැදීම සහ අවමන් කිරීම.
- කුලියාපිටියේදී ඌරෙකුගේ ඡායාරූපයක් මත අල්ලා යනුවෙන් සඳහන් කිරීම.
- ඥානසාර හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක්.
- නබි තුමන්ට බැන වැදීම.
- කුරානය ඉරා විනාශ කිරීම.
- මස්දිත් පල්ලිය කඩා දැමීම.
- මුස්ලිම් ජනතාවගේ නිවෙස් ගිනි තබා ආර්ථිකය වැනසීම.
- ජාත්‍යන්තර කුරුස යුද්ධයකට ශ්‍රී ලංකාව සහභාගි වීම.
- අල්ලා දෙවියන් වහන්සේගේ නියමය අනුව ඉස්ලාම් ආගම නොපිළිගන්නා පුද්ගලයන් දුටු තැන ඝාතනය කිරීම.
- අල්ලා දෙවියන් වහන්සේ විසින් අනුමත කර ඇති ක්‍රියාවන් හෙවත් ‘හලාල්’ වලට ආදරය කිරීම සහ තහනම් කර ඇති ක්‍රියාවන් හෙවත් ‘හරාම්’ ප්‍රතික්ෂේප කිරීම.
- අල්ලා දෙවියන් විසින් මුස්ලිම් ජනතාවට ලබාදී ඇති දේශනයට අබුබකර් අල් බග්දාදී විසින් ඉස්ලාම් රාජ්‍යයක් බිහිකර තිබියදී එහි කුඩා නගරය වන බාගූස් වෙත රටවල් 80 ක් එකතු වී බෝම්බ ප්‍රහාර එල්ල කර මුස්ලිම් ජනතාව මරා දැමීමට පළිගැනීම.
- නවසීලන්තයේ මුස්ලිම් පල්ලියක ආගම අදහමින් සිටි මුස්ලිම් ජනතාව ක්‍රිස්තියානි පුද්ගලයකු විසින් ඝාතනය කරනු ලැබීම.
- සිරියාවේ සහ ඉරාකයේ මුස්ලිම් විරුද්ධවාදීන් හෙවත් කාෆීර්වරුන් ශ්‍රී ලංකාවට පැමිණ සංචාරය කිරීම.
පැය 2 යි විනාඩි 15 ක් දිග මේ වීඩියෝව සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ එකක් වූ බවත්, නිලධාරියා සඳහන් කළේය. බෝම්බකරුවන් මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ පාස්කු ප්‍රහාරය පෙර දින එනම් 2019 අප්‍රේල් මස 20 වැනිදා පස්වරු 1.12 සිට පස්වරු 3.32 දක්වා කාලය තුළ ගල්කිස්ස ‘ස්පැන්ට ටවර්’ මහල් නිවාස සංකීර්ණයේ නව වන මහලේ තුන්වැනි නිවෙසේ බවත් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සහරාන් හෂීම් ඉකුත් 2018 වර්ෂයේ ජනවාරි මස 06 වැනිදා සිට අවස්ථා රැසකදීම ඔහුගේ ෆේස්බුක් ගිණුමේ අන්තවාදී ප්‍රකාශ ඇතුළත් කර තිබූ බැවින් සිය කොට්ඨාසය ෆේස්බුක් ආයතනයෙන් සහරාන්ගේ ගිණුම අත්හිටුවන්නැයි අවස්ථා රැසකදී ඉල්ලීම් කළ බවද එම නිලධාරියා කොමිසමට පැවැසීය. එහෙත් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බවත්, පසුව 2019 අප්‍රේල් මස 10 වැනිදා ශ්‍රී ලංකා පරිගණක සංසදයේ ද මැදිහත් වීමෙන් ඒකාබද්ධ ඉල්ලීමක් සිදුකොට දින එම ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබූ බවද ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ නිලධාරියා සිය සාක්කියෙන් අනාවරණය කළේය.
මෙම ජනාධිපති කොමිසමේ තවදුරටත් සාක්කි ලබාගැනීම සිදුවන අතර අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා (සභාපති), බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු යන විනිසුරු මඬුල්ලකගෙන් එය සමන්විත වෙයි ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴