සහරාන් හෂීම් සොයා ගිය මෙහෙයුමක් පූජිත් ජයසුන්දර සහ නාලක සිල්වා වැළැක්වූ අයුරු හෙළිවේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සහරාන් හෂීම් සොයා ගිය මෙහෙයුමක් පූජිත් ජයසුන්දර සහ නාලක සිල්වා වැළැක්වූ අයුරු හෙළිවේ (විඩියෝ)

• පාස්කු දිනය දා ඉල්ලූ ආරක්ෂාව දෙන්න බැරි වු බව පොලිස් ලොක්කෙක් පිළිගනියි (විඩියෝ)

• මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 960 ක් දක්වා ඉහළට (විඩියෝ)

• ඊයේ (16) වාර්තා වු ආසාදිතයින්ගෙන් 23 දෙනෙක් නාවිකයින්

• කොරෝනා පරදවමින් නැගී සිටින හිඟුරාන සීනි කම්හල (විඩියෝ)

• නිරෝධායන නීතිවලට පටහැනිව මාරවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආගමික ස්ථානයකට මුද්‍රා තැබේ (විඩියෝ)

• හිටපු මන්ත්‍රී රාජිත රිමාන්ඩ් කිරීම ගැන අදත් පක්ෂ විපක්ෂ අදහස් (විඩියෝ)

• මහා සංඝරත්නයට අපහාස වන අයුරින් හිටපු ඇමති මංගල කළ ප්‍රකාශයට අදත් විරෝධය (විඩියෝ)

• හිරු සී.අයි.ඒ. : මුහුදු මහා විහාරය භූමි ප්‍රදේශයේ ආරක්ෂාවට ස්ථාපිත කළ නාවික හමුදා උප අනුඛණ්ඩ රාජකාරි අරඹයි (විඩියෝ)

• අද (16) රාත්‍රී 8 සිට සඳුදා (18) අලුයම 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය (විඩියෝ)

• ශ්‍රී ලංකාවට “ඊළාම්” සම්බන්ධ කරමින් “ද ගාඩියන් ට්‍රැවල්” විමසූ ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් (විඩියෝ)

• මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු 20 වනදා සිට ඇරඹේ

• ඉදිරියටත් රාජ්‍ය හා පෞද්ගලික අංශ රාජකාරි කටයුතු මේ සතියේ සිදු වු ආකාරයටම (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ තේ මිල වාර්තාගත ලෙස ඉහළට (විඩියෝ)

• ගුවන් මෙහෙයුමට සැරසෙන කටුනායක (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සහරාන් හෂීම් සොයා ගිය මෙහෙයුමක් පූජිත් ජයසුන්දර සහ නාලක සිල්වා වැළැක්වූ අයුරු හෙළිවේ

(16.05.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කාත්තන්කුඩිය ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර 2017 වසරේ සිදුවූ ගැටුමකට අදාළව, සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අත්හැර දමන ලෙස එවක පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා උපදෙස් දී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිසම හමුවේ මීගමුව කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (15) අවසන්වරට සාක්ෂි දුන්නේ මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු මීගමුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා.

ඔහු සාක්ෂි දෙමින් සඳහන් කළේ, 2017 වසරේ මාර්තු, අප්‍රේල් මාසවලදී තමන් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සේවය කළ බවයි.

එහිදී කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර ගැටුමක් සම්බන්ධයෙන් සහ එම ගැටුමට මූලික වී ඇත්තේ සහරාන් නමැති පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වූ බව උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.

අදාළ ගැටුමට හේතු වූයේ සහරාන් නමැති පුද්ගලයා අන්තවාදී දේශන පැවැත්වීම සහ තවත් පාර්ශ්වයක් ඊට විරුද්ධ වීම බවද ඔහු එහිදී පැවසුවා.

ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ සමයේ සහරාන්ගේ ඡායාරූප තමන් සතුව පැවැතියේදැයි කොමිසම ප්‍රශ්න කළා.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ ඔහුගේ ඡායාරූප තිබූ බවයි.

පාස්කු ප්‍රහාරය සිදුකරන බවට තොරතුරු ලැබුණු සහරාන්ගේ ඡායාරූපයක්, එවක මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල තමාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එය ලබා නොදුන්නේ මන්දැයි කොමිසම එවිට ප්‍රශ්න කළා.

උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ, කාත්තන්කුඩි පල්ලි අතර ගැටුමට සම්බන්ධ සහරාන් සහ පාස්කු ප්‍රහාරය ගැන කියවෙන සහරාන් එකම පුද්ගලයෙකු දැයි තමන් නොදැන සිටි බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ හරහා ලැබුණු ලිපියේ සඳහන් වූ සහරාන් කාත්තන්කුඩි ප්‍රදේශයට සම්බන්ධ බවට සටහන්ව තිබියදීත් තමන් ඒ පිළිබඳ විමසිලිමත් නොවූයේ මන්දැයි කොමිසම යළි ඔහුගෙන් විමසුවා.

උප පොලිස් පරීක්ෂකවරයා එහිදී පැවසුවේ “ඔව් ඒක හරි” යනුවෙන්.

තමන්ට අන්තර්ජාලයෙන් හෝ ඒ පිළිබඳ තොරතුරු සෙවීමට අවස්ථාවක් නොතිබුණේ දැයි කොමිසම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කළ අතර, තමන්ට අන්තර්ජාලය පිළිබඳ දැනුමක් නැතැයි උප පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේ කාත්තන්කුඩි සිද්ධිය සම්බන්ධයෙන් සහරාන් අත්අඩංගුවට ගැනීමට එම ප්‍රදේශයට යාම සඳහා එවක පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අවසර ලබාගත යුතුව තිබූ බවයි.

එම අවසරය ලබාගත යුතුව තිබුණේ එවක ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හරහා බවද ඔහු සඳහන් කළා.

කොමිසම ප්‍රශ්න කළේ, ඊට අවසර හිමිවූයේද යන්නයි.

උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ, සති දෙකක කාලයකින් පසු ඊට අවසර හිමිවුවත් සහරාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතහැර දමන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් උපදෙස් ලැබුණු බවට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තමන්ට දැනුම්දුන් බවයි.

අදාළ සිද්ධියෙන් පසු තමන්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ස්ථාන මාරු කිරීමට ද නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කටයුතු කළ බව උප පොලිස් පරීක්ෂකවරයා සිය සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++++

පාස්කු දිනය දා ඉල්ලූ ආරක්ෂාව දෙන්න බැරි වු බව පොලිස් ලොක්කෙක් පිළිගනියි

(16.05.2020 – 21:56 +0530 – sinhala.adaderana.lk)

කටුවාපිටිය දේවස්ථානයේ පැවැත්වෙන පාස්කු දේව මෙහෙයන් සදහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස එම දේවස්ථානයේ පියතුමා ඉල්ලා සිටියත් එම ආරක්ෂාව ලබාදීමට නොහැකි වූ බව එවක කටාන පොලිසියේ ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතා අද (16) පිළිගනු ලැබුවේය.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේදීයි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ඊයේ (15) පස්වරුවේ පෙනී සිටියේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මීගමුව සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතායි.

එහිදී ඔහු කොමිසමට සදහන් කළේ ප්‍රහාරය පිළිබද අනතුරු ඇඟවීමේ ලිපි ලැබුණු පසු තමා ඒවා පරික්ෂා කර බලා අප්‍රේල් 19 වන කටාන පොලිස් ස්ථානයට යනවිට එම ස්ථානාධිපතිවරයාගේ මේසය මත අදාල ලිපි කට්ටලය තිබුණු බවයි.

ඒ පිළිබදව කටාන පොලිස් ස්ථානාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් සිසිර කුමාර මහතා පැවසුවේය.

එසේනම් වරද කාගේදැයි කොමිසම විමසූ අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා පැවසුවේ තොරතුරු කොළයකට පමණක් සීමා වුවත් එහි වගකීමක් තමා ඇතුළු පිරිසටද ඇති බවයි.

ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ මීගමුව කොට්ඨාසයේ බුද්ධි ඒකකයේ නිලධාරියෙක්.

ඔහුගේ නම මාධ්‍යයට අනාවරණය කෙරුණේ නැත.

ප්‍රහාරය සිදුවීමෙන් පසු මීගමුව කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා තමා අමතා මේ පිළිබද වාර්තාවක් ලබාදෙන ඉල්ලා සිටි බව සාක්ෂිකරු පැවසුවේය.

එලෙස වාර්තාවක් ඉල්ලා සිටියේ ඇයි දැයි කොමිසම ප්‍රශ්න කරද්දී සාක්ෂිකරු පැවසුවේ චන්දන අතුකෝරල මහතාට ප්‍රශ්නයක් ඇතිවේයැයි ඔහු විශ්වාස කළ බැවින් මෙවන් වාර්තාවක් ඉල්ලා සිටි බවයි.

ඒ අනුව ප්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැතැයි අප්‍රේල් 18 වන දිනය යෙදූ ලිපියක් තමාට අප්‍රේල් 25 වැනිදා ලබාදීමට මීගමුව කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා කටයුතු කළ බවයි මීගමුව කොට්ඨාසයේ බුද්ධි ඒකකයේ නිලධාරියා පැවසුවේ.

එලෙස ඊයේ (15) දිනයේ සාක්ෂි විමසීම අවසන් කෙරුණු අතර අද (16) දිනයේ සාක්ෂි විමසීමට කැදවා තිබුණේ එවක කටාන පොලිසියේ ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතායි.

කටුවාපිටිය දේවස්ථානයේ පියතුමා , දේවමෙහෙයන් සදහා ආරක්ෂාව ඉල්ලා සිටි බව සාක්ෂිකරු මින් පෙර කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට ලබාදී ඇතැයි කියන ප්‍රකාශය‍ පිළිබදව කොමිසමේ විනිසුරුවරුන් ප්‍රථමයෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් කෝසල චමින්ද මහතා පැවසුවේ කටුවාපිටිය දේවස්ථානය පියතුමා නොව කඳවල දේවස්ථානයේ පියතුමා පමණක් තමාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටි බවයි.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ලබාදුන් ප්‍රකාශ පරස්පර නිසා ඔහු මීට පෙර කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට ලබාදුන් ලිඛිත ප්‍රකාශනය ඔහුට පෙන්වා සිටියේය.

පසුව අවසානයේදී සාක්ෂිකරු පිළිගනු ලැබුවේ කටුවාපිටිය දේවස්ථානයේ පියතුමා අප්‍රේල් 20 වැනිදා රාත්‍රීයේදී තමා අමතා එම දේවස්ථානයේ පැවැත්වෙන දේවමෙහෙයන් සදහා තමාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටි බවයි.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ කඳවල සහ කටුවාපිටිය යන දේවස්ථාන දෙකේ ආරක්ෂාව සදහා රාත්‍රී පොලිස් ජංගම මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් ඒ සදහා පිටත් කර යැවූ බවයි.

එහිදී කොමිසම විමසා සිටියේ දේවස්ථාන වලට ආරක්ෂාව ලබාදෙන්නැයි උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කළේද යන්නයි.

එවක මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා එදින රාත්‍රී 07:30 ට තමා අමතා ‘මුකුත් වෙන්න දෙන්න එපා , නයිට් ඩියුටි ඇලර්ට් කරන්න’ යැයි තමාට පැවසූ බව සාක්ෂිකරු සදහන් කළේය.

ඒ අනුව ආරක්ෂාව යෙදෙවූයේදැයි කොමිසම ප්‍රශ්න කරද්දී සාක්ෂිකරු සදහන් කළේ රාත්‍රී ජංගම මුර සංචාරයේ සිටි නිලධාරීන් ඊට යෙදවූ බවයි.

එම ආරක්ෂාව යෙදවූයේ දේවස්ථානයේ ආරක්ෂාවටද නැතිනම් ප්‍රදේශයේ ආරක්ෂාවටදැයි කොමිසම යළි ප්‍රශ්න කළේය.

අප්‍රේල් 20 වැනිදා රාත්‍රීයේ දේවස්ථානයේ දේවමෙ‍හෙයක් පැවැති බවත් එය අවසන් වන තෙක් පොලිස් නිලධාරීන් එහි රැදී සිට පසුව ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ඔවුන් යෙදවූ බවයි චමින්ද නවරත්න මහතා පැවසුවේ.

එසේනම් උදෑසන දේව මෙහෙයට ආරක්ෂාව නොයෙදූයේ ඇයි දැයි කොමිසම ප්‍රශ්න කළේය.

ඊට එවක එවක කටාන පොලිසියේ ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතා පැවසුවේ උදෑසන දේව මෙහෙයක් පැවැත්වෙන බවට තමා නොදැන සිටි බවයි.

***************************************

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 960 ක් දක්වා ඉහළට

(17.05.2020 – 06:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 960 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ, නව ආසාදිතයින් තිදෙනෙකු (03) හඳුනා ගැනීමත් සමඟයි.

මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 431 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

520 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 09 ක්.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඊයේ (16) දිනයේ හඳුනාගත් ආසාදිතයන් 25 අතරින් 23 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බවයි ෴

+++++++++++++++++++++

16 May 2020 – 20:42 +0530

+++++++++++++++++++++

ඊයේ (16) වාර්තා වු ආසාදිතයින්ගෙන් 23 දෙනෙක් නාවිකයින්

(17.05.2020 – 06:38 +0530 – sinhala.adaderana.lk)

ඊයේ(16) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වු අතර ඉන් 23 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෙසු ආසාදිතයින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි අයවලුන් බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

ඊයේ (16) රාත්‍රී 11:55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් (03) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (16) දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්., මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 430 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා පරදවමින් නැගී සිටින හිඟුරාන සීනි කම්හල

(16.05.2020 – 23:17 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය මේ වනවිට ජන ජීවිතයට විශාල බලපෑමක් කිරීමට සමත්ව තිබෙනවා.

ඒ හේතුවෙන් මේ වන විට කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පවතින්නේ අක්‍රීය මට්ටමේ.

කෙසේ වුවත් කොරෝනා පරදවමින් නැගී සිටින හිඟුරාන ප්‍රදේශයේ සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ කතාවයි මේ.

වසර 60 ක පමණ අතීතයක් හිමි හිඟුරාන සීනි කර්මාන්තශාලාවේ මේ වන විට සේවකයින් එක්දහස් එකසීයක් (1100) සහ උක් ගොවීන් 4000 ක් පමණ සේවයකරනු ලබනවා.

දිනකට උක්ගස් ටොන් 2000 ක් අඹරමින් වසරකට සීනි මෙට්ට්‍රික් ටොන් 30,000 ක නිශ්පාදනයක් හරහා රටේ ආර්ථිකය නාගා සිටුවීමට සවියක් වුණු හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව අනපේක්ෂිත ලෙස කොවිඩ් 19 වෛරසයත් සමඟ තාවකාලිකව වසා දැමීමට බලධාරීන්ට සිදු වුණා.

මේ හේතුවෙන් එහි සේවකයින් මෙන්ම උක් ගොවීන්ද පත්වුයේ දැඩි අපහසුතාවයකටයි.

කෙසේවෙතත් රට යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළත් සමග වෛරසයට අභියෝගයක් එල්ල කරමින් ගල් ඔය වැවිලි සමාගමේ හිඟුරාන සීනි කර්මාන්තශාලවේ වැඩකටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායන නීතිවලට පටහැනිව මාරවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආගමික ස්ථානයකට මුද්‍රා තැබේ

(16.05.2020 – 23:10 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිවලට පටහැනිව පවත්වාගෙන ගිය ආගමික ස්ථානයකට මුද්‍රා තැබිමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (16) පියවර ගත්තා.

අද (16) පස්වරුවේ මාරවිල ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පුද්ගලයින් 27 දෙනෙකු රැස්කර ආගමික වතාවත් පවත්වා ඇති අතර, ඒ පිළිබඳ ප්‍රදේශවාසීන් මාරවිල පොලිසියට පැමිණිලි කර තිබුණා.

පොලිසිය එම ස්ථානය වැටලීමේදි නිරෝධායන නීතිවලට පටහැනිව හැසිරුණු පිරිස සමග මුඛ ආවරණ නොමැතිව සිටි දරුවන්ද හමුවී තිබෙනවා.

අදාළ ආගමික ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයාට නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

***************************************

හිටපු මන්ත්‍රී රාජිත රිමාන්ඩ් කිරීම ගැන අදත් පක්ෂ විපක්ෂ අදහස්

(16.05.2020 – 21:30 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව රැසක් අද අදහස් පළ කළා.

***************************************

මහා සංඝරත්නයට අපහාස වන අයුරින් හිටපු ඇමති මංගල කළ ප්‍රකාශයට අදත් විරෝධය

(16.05.2020 – 21:08 +0530 – hirunews.lk/sinhala)

මහා සංඝරත්නයට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව අදත් (16) පූජ්‍ය පක්ෂය ඇතුළු දේශපාලනඥයින් අදහස් පළ කළා.

***************************************

හිරු සී.අයි.ඒ. : මුහුදු මහා විහාරය භූමි ප්‍රදේශයේ ආරක්ෂාවට ස්ථාපිත කළ නාවික හමුදා උප අනුඛණ්ඩ රාජකාරි අරඹයි

(16.05.2020 – 21:13 +0530 – hirunews.lk/sinhala)

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමි ප්‍රදේශ ඉඩම් කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීම සදහා ස්ථාපිත කළ නාවික හමුදා උප අනුඛණ්ඩය මේ වන විට සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා මුහුදු මහා විහාරයේ ඉඩම් ආක්‍රමණය පෙන්වාදීමෙන් අනතුරුව එහි සංචාරයක නිරත වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මතයි මෙහි ආරක්ෂාව තහවුරු කිරීම සදහා නාවික හමුදාව අනුයුක්ත කිරීමට පියවර ගැණුනේ.

‘හිරු සී.අයි.ඒ.’ හරහා මුහුදු මහා විහාරය සතු ඉඩම් කොල්ලකරුවන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිදුවීම වාර්තාකිරීමත් සමග පසුගියදා ආරක්ෂක ලේකම්, යුදහමුදාපති, නාවික හමුදාපති, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබද සොයාබැලීම සදහා පැමිණියා.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් සමග මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සැලසීමට නාවික හමුදාව පියවර ගෙන තිබුනා.

මුහුදු මහා විහාරයට අයත් සීමාවන් අධ්‍යනය කරමින් අද (16) ඔවුන් සිය ආරක්ෂක රාජකාරී ආරම්භ කළා.

මේ අතර, මුහුදු මහා විහාරයේ වත්මන් තත්ත්වය සොයාබැලීම සදහා උතුරු – නැගෙනහිර, තමන්කඩුව තෙපලාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පනාමුරේ තිලකවංශ හිමි හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා ද අද (16) එහි පැමිණියා.

***************************************

අද (16) රාත්‍රී 8 සිට සඳුදා (18) අලුයම 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය

(16.05.2020 – 19:03 +0530 – hirunews.lk/sinhala)

අද (16) රාත්‍රී 8 සිට සඳුදා (18) අලුයම 5 දක්වා දිවයින පුරා යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර ප්‍රකාශ කළේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවල 18 වන සඳුදා අලුයම 5 ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු 23 වනදා සෙනසුරාදා දක්වා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතරතුර දී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වන සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල 18 වන සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු අඛන්ඩව ක්‍රියාත්මක වනු ඇති.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිනයේ සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 55,863 ක්.

පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 15,298 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

මේ අතර, අද (16) සෙනසුරාදා දිනයක් වූ බැවින් දුම්රිය මගින් රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් කොළඹට ප්‍රවාහනය නොකෙරුණු අතර, ඒ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය හුදකලා ස්වභාවයක් ගත් බව අප වාර්තාකරු සඳහන් කළා.

ලබන සතියේ නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යන් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් යම් යම් සීමා කිරීම් වලට යටත්ව මේ මස 20 වනදා සිට යලි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සේවාලාභීන්ට වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම සහ වාහන පරීක්ෂා කර වාර්තා ලබාදීම ඇතුළු සේවාවන් සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන ලබා ගත හැකියි.

ඇඳිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැඳී සිටි පිරිස් ගම්බිම් බලා පිටත් කර යැවීමේ තවත් අදියරක් අද (16) කළුතරදී පැවැත්වුණා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්තකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර මහරගම නගරයේ පදික වේදිකාවේ රෙදිපිළි අලෙවි කරන්නන් ද, අද (16) මාධ්‍ය හමුවක් කැඳවමින් සිය අලෙවි කටයුතු සිදුකරගෙන යාම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

ශ්‍රී ලංකාවට “ඊළාම්” සම්බන්ධ කරමින් “ද ගාඩියන් ට්‍රැවල්” විමසූ ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

(16.05.2020 – 17:56 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ ගාඩියන් අන්තර්ජාල පුවත්පතේ ශ්‍රී ලංකාවට ‘ඊළාම්’ සම්බන්ධ කරමින් යොමුකර ඇති ප්‍රශ්ණාවලිය ඉවත් කරගන්නා ලෙසට ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම පුවත්පතේ ඊයේ සංස්කරණයේයි මෙම ප්‍රශ්ණාවලිය පළවී තිබී ඇත්තේ.

සෑම සතියකම එම පුවත්පතේ මෙලෙස ප්‍රශ්ණ යොමුකරන අතර ඊයේ එමගින් විමසා ඇත්තේ දුපත් පිළිබඳ ප්‍රශ්ණාවලියක්.

එහිදී දෙවන ප්‍රශ්නය ලෙසට විමසා ඇත්තේ ඊළාම් යනුවෙන් දේශීයව හඳුන්වන දුපතේ සැබෑ නම කුමක් ද යන්නයි.

ඊට ලබාදී ඇති පිළිතුරු කිහිපය අතර නිවැරදි පිළිතුර ලෙසට ඔවුන් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාව යන පිළිතුරයි.

ශ්‍රී ලංකාව ලෙසට පිළිතුර ලබාදෙන්නෙකුට නිවැරදි පිළිතුර ලෙසට මෙරට පැවති යුදමය වාතාවරණය පිළිබඳ දක්වමින් එහි නම එල්.ටී.ටී.ඊ දෙමළ ඊළාම් විමුක්ති කොටි යනුවෙනුයි සඳහන් කර තිබී ඇත්තේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, මේ සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා විසින් ගාඩියන් පුවත්පතේ කතෘ එලිසබෙත් රිබන්ස් වෙත පිටපතක් සමග ප්‍රධාන කර්තෘ කැතරින් විනර් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රශ්ණය ඉවත් කරගන්නා ලෙසටයි.

ඒ අනුව, ‘ඊලම’ බිහි වූයේ ශ්‍රී ලංකාවේ බවට හැඟවෙන පරිදි පළ කර තිබූ එම විශේෂාංගය වහාම ඉවත් කරන ලෙසයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය දන්වා ඇත්තේ.

ඒ අනුව, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන, ගාඩියන් පුවත්පතේ සංස්කාරක එලිසබෙත් රිබන්ස් වෙත අදම ලිපියක් යොමුකර විමසා තිබුණේ ත්‍රස්තවාදි සංවිධානයක ක්‍රියාකාරිත්වය සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රශ්නාවලියකට ඇතුළත් කළේ ඇයි ද යන්නයි.

එසේම, තහවුරු නොකළ සහ අසත්‍ය කරුණු පළ කිරීම සම්බන්ධයෙන් ද ඇය කරුණු දක්වා තිබුණා.

එම දැනුම්දීමෙන් අනතුරුව එම ප්‍රශ්නගත විශේෂාංගය සංශෝධනය කිරීමට ගාඩියන් පුවත්පතට සිදුවුණා.

කෙසේවෙතත් “ද ගාර්ඩියන්” පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශනයේ ඊයේ දිනයට අදාළව තිබූ එම ප්‍රශ්ණාවලිය මේ වන විට දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ අනුව, අදාළ විශේෂාංගය සංශෝධනය කර ඇති අතර, එහි දෙවන ප්‍රශ්නය ලෙස වෙනත් ප්‍රශ්නයක් ඇතුළත් කර තිබෙනවා.

***************************************

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු 20 වනදා සිට ඇරඹේ

(16.05.2020 – 15:31 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු ලබන බදාදා (20) සිට සීමාවන්ට යටත්ව ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් එම කටයුතු සිදුවන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම සහ වාහන පරීක්ෂා කර වාර්තා ලබාදීම ඇතුලු සේවා ලබාගැනීමට හැකිවනු ඇති.

ඒ සඳහා ලබන 20 වනදා සිට සතියේ දිනවල උදෑසන 9 සිට පස්වරු 4 දක්වා ලබාදී ඇති දුරකථන අංක අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතුයි.

ඉන් පරිබාහිරව කිසිදු හේතුවක් මත සේවා සැපයීම සිදු නොකරන අතර මීට පෙර ක්‍රියාත්මක කළ එක්දින සේවාවන් ද යළි දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක නොවන බවයි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

දිනයක් වෙන්කර ගැනීමේදී රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාතික හැඳුනුම්පතේ අංක පිළිවෙල අනුව එම දිනය වෙන් කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම දිනයක් වෙන්කර ගැනීම ඇඳිරි නීති අවස්ථාවේ ගමනාගමනය සඳහා ලබාදෙන අවසර පත්‍රයක් ලෙසට නොසැලකිය යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියාසිටියේ.

+++++++++++++++++++++++++++++++++++

ඉදිරියටත් රාජ්‍ය හා පෞද්ගලික අංශ රාජකාරි කටයුතු මේ සතියේ සිදු වු ආකාරයටම

(16.05.2020 – 21:46 +0530 – sinhala.adaderana.lk)

අද (16) රාත්‍රී 8 සිට එළැඹෙන මැයි 18 සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත් වේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ සඳුදා සිට රාජකාරි කටයුතු සඳහා දුම්රියෙන් ගමන් කිරීමට ලැබුණු ඉල්ලුම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් කාර්යාල දුම්රිය සංඛ්‍යාව 19ක් දක්වා වැඩි කර ඇති බවයි.

එළැඹෙන මැයි 18 සඳුදා සිට මේ සතියේ සිදුකෙරුණු ආකාරයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු සිදුකිරීමට නියමිතයි.

එවැනි පසුබිමක දුම්රිය ආසන වෙන්කරගැනීම සඳහා ඉල්ලීම් කළ මගීන් සංඛ්‍යාව 11,500 ක් දක්වා වැඩි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එළැඅඹෙන සඳුදා සිට කොළඹ දක්වා ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර ගණන 19 දක්වා වැඩි කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය මර්දනය සඳහා ලබාදී තිබෙන සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවෙමින් එදිනෙදා කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ‘අද දෙරණ බිග්ෆෝකස්’ වැඩසටහනේදී අද (16) අවධානයට යොමු කෙරුණි.

ඇඳිරි නීතිය හේතුවෙන් සේවා සැපයීම අත්හිටුවූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා යම් යම් සීමා කිරීම්වලට යටත්ව එළැඹෙන මැයි 20 වනදා සිට නැවත ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව සතියේ දිනවල පෙරවරු 9 ත් පස්වරු 4 ත් අතර කාලය තුළ අදාළ සේවාවන් ලබාගැනීම සඳහා දුරකතනයෙන් අමතා දිනයක් හා වේලාවක් කලින් වෙන්කරගත යුතුය.

ඒ ඒ සේවාවන් සඳහා අදාළ දුරකතන අංක www.adaderana.lk අපගේ වෙබ්අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

මීට පෙර ක්‍රියාත්මක කළ එක්දින සේවාවන් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොකරන බවද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර කිසිදු පෙර දැනුවත් කිරීමකින් තොරව හැටන් තැපැල් කාර්යාලය අද වසා තැබීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබාගැනීම සඳහා අද උදෑසනම එහි පැමිණි වැඩිහිටි පිරිස් අසරණ වී සිටි අයුරුයි දැක ගත හැකි විය.

මේ පිළිබඳව කළ විමසීමකදී එහි තැපැල් කාර්යාල නිලධාරියෙකු සඳහන් කළේ පාලනාධිකාරිය විසින් ගනු ලැබූ තීරණයකට අනුව අද දිනයේ කාර්යාලය වසා දමා ඇති බවයි.

මාස එකහමාරකට වැඩි කාලයක් පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ රැඳී සිටි 400 දෙනෙකු යළි සිය ගම්බිම් කරා පිටත්කර හැරීම අද කළුතර දිස්ත්‍රික් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුකෙරුණි.

මේ අතර ඇඳිරි නීතිය හමුවේ අඩපණ වී ඇති සිය වෙළෙඳාම සෞඛ්‍ය උපදෙස්වලට අනුව පවත්වාගෙන යාමට අවසර ලබාදෙන්නැයි මහරගම පමුණුව රෙදිපිළි වෙළෙඳුන් ඉල්ලා සිටියි.

මේ අතර දිනපොළ හා සතිපොළ පවත්වාගෙන යාම තවදුරටත් තහනම් කර තිබියදී පිළියන්දළ දිනපොළ පවත්වාගෙන ගිය වෙළෙඳුන්ට අවවාද කර එය වසාදැමීමට පිළියන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

රත්තනපිටිය ප්‍රදේශයේ නිවසක උඩුමහලේ සිසුන් 10 දෙනෙකුට පමණ උපකාරක පංති පවත්වමින් සිටි ගුරුවරයෙකු බොරලැස්ගමුව පොලිස් නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඒ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සමග අදාළ නිවසේ සිදුකළ සෝදිසියකදීයී.

ඇඳිරි නීතිය ලිහිල් කළද උපකාරක පංති පැවැත්වීම තවදුරටත් තහනම් වේ.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දරුවන් ඇතුළු 27 දෙනෙකු රැස්කර දේව යාඥාවක් පැවැත්වීමට කටයුතු කළ මාරවිල ප්‍රදේශයේ ක්‍රිස්තියානි ඉවැංජලිකන් යාච්ඥා මධ්‍යස්ථානයක් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විසින් අද (16) වටලනු ලැබුවේය.

අදාළ යාච්ඥා මධ්‍යස්ථානයට මුද්‍රාතැබුණු අතර එය මෙහෙයවූ දේවගැතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ තේ මිල වාර්තාගත ලෙස ඉහළට

(16.05.2020 – 21:52 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

තේ අපනයනකරුවන් සඳහන් කරන්නේ, කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියත් සමග බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බවයි.

වාර්ෂිකව මෙරට තේ කිලෝ ග්‍රෑම් මිලියන 320 ත් 340 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන අතර, ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 1 දශම 5 වාර්ෂික ආදායමක් මෙරටට හිමි වේ.

කෙසේ නමුත් පසුගිය කාලයේදී මෙරට අමු තේ දළු කිලෝ ග්‍රෑමයක මිල ගණන් සීග්‍රෙයන් පහත වැටුණු අතර අද වන විට මිල ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

කොළඹ තේ වෙන්දේසියේදී අමු තේ කොළ කිලෝ ග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 85 ත් 100 ත් අතර මුදල පසුගිය අප්‍රේල් මාසයේදී රුපියල් 130 දක්වා ඉහළ ගොස් ගියේය.

එමෙන්ම නිමි තේ කිලෝ ග්‍රෑමයක් සඳහා ලැබුණු රුපියල් 350 ත් 500 ත් අතර මිලද රුපියල් 750 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම රත්නපුර දෙල්වල නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන බී.ඕ.පී. 1 කාණ්ඩයේ නිමි තේ කිලෝ ග්‍රෑමයක් රුපියල් 2600 කට මිල නියම වී තිබුණි.

එය පහතරට තේ සඳහා ලැබුණු ඉහළම මිළ බවයි එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සඳහන් කළේය.

තේ වෙන්දේසියේදී තේ අපනයනකරුවන් උපයන මුදලින් 68% ක් හිමිවන්නේ කුඩා තේ වතු හිමියන්ට වීම නිසා ඔවුන්ගේ අතමිට සරු වී තිබේ.

+++++++++++++++++++++++++++++++++++

ගුවන් මෙහෙයුමට සැරසෙන කටුනායක

(16.05.2020 – 21:50 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබේ.

මේ අතර ගුවන් තොටුපළ විවෘත කළ ඕනෑම අවස්ථාවක ගුවන් ගමන් වාර ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය මේවනවිට සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.

ගුවන් තොටුපල වසා තැබීමට ගත් තීරණයත් සමග එහි ඉදිවෙමින් පැවති නව ගුවන්යානා අංගනය සහ නව මගී පර්යන්තයේ කටයුතුද ඇණහිටියේය.

විෂය භාර අමාත්‍යවරයා ඊයේ (15) කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එම කටයුතු නැවතත් ආරම්භ කරනු ලැබුවේය.

මේ අතර ගුවන්තොටුපල වසා තැබීම නිසා විශාල ආර්ථික පාඩුවක් සිදුවූ ශ්‍රී ලංකන් ආයතනයට මේවනවිට ධාවනයේ නොයෙදෙන ඔවුන්ගේ ගුවන් යානා විශාල පිරිවැයක් දරමින් නඩත්තු කිරීමට සිදුව තිබෙන අකාරයද අපට දක්නට ලැබුණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *