හිටපු සෞඛ්‍ය ඇමති රාජිත ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පත් කිරීම හරහා සිදුවූ ඖෂධ මාෆියාවක් ගැන පැමිණිල්ලක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හිටපු සෞඛ්‍ය ඇමති රාජිත ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පත් කිරීම හරහා සිදුවූ ඖෂධ මාෆියාවක් ගැන පැමිණිල්ලක් (විඩියෝ)

• පාස්කු ඉරිදා ප්‍රහාරයේ හානිය අවමකර ගැනීමට තිබූ හැකියාවක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි (විඩියෝ)

• බැඳුම්කර වංචාකරුවන්ට නීතිය අකුරට – අගමැති කියයි (විඩියෝ)

• සියලු ජන කොටස්වල අවශ්‍යතා අනුව පිළියම් යොදන්නැයි මානව හිමිකම් කොමසාරිස්ගෙන් ලංකාවට දැනුම්දීමක් (විඩියෝ)

• සමගි ජන බලවේගය නිසා එජාපය අර්බුදයක (විඩියෝ)

• කැළණි සරසවියේ CCTV ගැලවීමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 කට ඇප (විඩියෝ)

• උණ සහ උදරයේ ආබාධයකට රෝහල්ගත වූ තිදරු මවකට අත්වූ ඉරණම

• ගැටලු විසඳන්න ජනපති ගමට – කටුපොල් වගාව නවතී – වැඩ නිම නොකළ කොන්ත්‍රාත්කරුවන් ඉවතට (විඩියෝ)

• සූරියවැව දී ක්‍රීඩාලෝලීන්ට පහරදුන් සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාව අයදී – ඇමති පරීක්ෂණයක් ඉල්ලයි (විඩියෝ)

• අන්තර්ජාල යෙදවුම් භාවිත කරන කුලී රථ රියදුරන්ට පහරදීමක්

• MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

+++++++++++++++++++++++++++++++++++

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පත් කිරීම හරහා සිදුවූ ඖෂධ මාෆියාවක් ගැන පැමිණිල්ලක්

(27.02.2020 – 21:07 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා විසින් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා නීතී විරෝධීව පත් කිරීම හරහා ඖෂධ මාෆියාවක්ද ක්‍රියාත්මක වී ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද (27) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් භාර දුන්නා.

මේ අතර පසුගියදා පූජ්‍ය පාහියන්ගල ආන්නද සාගර හිමියන් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මහාචාර්ය අසිත ද සිල්වා මහතා අද (27) ප්‍රතිචාර දක්වා සිටියා.

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරයේ හානිය අවමකර ගැනීමට තිබූ හැකියාවක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි

(27.02.2020 – 20:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා තම උපදෙස් නිසි අයුරින් ක්‍රියාත්මක කළේ නම් පාස්කු ප්‍රහාරයේ හානිය අවම කර ගැනිමේ හැකියාව තිබූ බව එවක කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අද (27) අනාවරණයක් සිදු කළා.

ඔහු මෙම අනාවරණය සිදුකළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලිමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

වත්මන් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වන පාස්කු ප්‍රහාරය සිදුවන සමයේ කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අද (27) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලිමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා.

ඔහු සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පාස්කු ප්‍රහාරය සිදු වූ දිනට පෙර දින දුරකථන ඇමතුමක් ලබා දෙමින් අප්‍රේල් 20 හෝ අප්‍රේල් 21 අනිවාර්යයෙන්ම ප්‍රහාරයක් එල්ල වන බව සඳහන් කළ බවයි.

ඒ සඳහා අවශ්‍යය පියවර ගන්නා ලෙස ඔහු තමන්ට දැනුම් දුන් බව ලලිත් පතිනායක මහතා එහිදි සාක්ෂි දෙමින් කියා සිටියා.

ඔහු සඳහන් කළේ මෙම තොරතුර වැඩිදුර තහවුරු කර ගැනිම සඳහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට දුරකථන ඇමතුමක් ලබා දුන් බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත ස්ථානයක් පිළිබඳ සඳහන් කිරීමක් එහිදී නොවුනු බවත් මෙවන් ප්‍රහාරයක් අනිවාර්යයෙන් සිදුවන බවත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා තමන්ට පැවසූ බව ලලිත් පතිනායක මහතා සඳහන් කළා.

එසේම අදාළ ප්‍රහාරය ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් සිදුකරන බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා තමාව දැනුවත් කළ බව ලලිත් පතිනායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ලලිත් පතිනායක මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේ මෙම තොරතුරේ තිබෙන බරපතළකම වටහාගෙන තමන් කොළඹ – උතුර, කොළඹ – දකුණ හා කොළඹ මධ්‍යයම කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන්ට දුරකථන ඇමතුම් ගෙන ඔවුන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි.

ඔහු පැවසුවේ කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලිවල ආරක්ෂාව තහවුරු කරන ලෙස එම දැනුවත් කිරීම සිදු කළ බවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ මුල් තොරතුර සිය කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණේ අප්‍රේල් 11 වනදා බව මෙහිදි ලලිත් පතිනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

තමන් අප්‍රේල් 10 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවාඩු ගොස් සිටි බවත් සිය වැඩබලන නිලධාරීන් විසින් ඒ පිළිබඳ දැනුවත් කිරීම් අදාළ කොට්ඨාස භාර නිලධාරින්ට සිදුකර තිබූ බවත් ලලිත් පතිනායක මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නා.

අදාළ දැනුම්දිම සම්බන්ධයෙන් තමන් පසුවිපරමක් සිදුකළ බවත් ඒ අනුව කොළඹ – මධ්‍යම හා කොළඹ දකුණ පොලිස් අධිකාරීවරුන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප්‍රේල් 12 වැනිදා තම කාර්යාලය දැනුවත් කර තිබූ බවත් එවක කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ලලිත් පතිනායක මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොළඹ – උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා ඔහු ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කළේ පාස්කු ප්‍රහාරයට පසු දින බවයි.

***************************************

බැඳුම්කර වංචාකරුවන්ට නීතිය අකුරට – අගමැති කියයි

(27.02.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට නිදැල්ලේ සිටීමට ඉඩ ලබානොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, ගම්පහ – පහල යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එක්ව සිටියා.

***************************************

සියලු ජන කොටස්වල අවශ්‍යතා අනුව පිළියම් යොදන්නැයි මානව හිමිකම් කොමසාරිස්ගෙන් ලංකාවට දැනුම්දීමක්

(27.02.2020 – 19:59 +0530 – hirunews.lk/sinhala)

සියලු ජන කොටස්වල අවශ්‍යතා පිළිගෙන ඒවාට පිළියම් යෙදිය යුතු බව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වූ යෝජනා සම්බන්ධයෙන් අද මානව හිමිකම් කවුන්සිලයේදී අදහස් දක්වමින්.

අනතුරුව ඊට ප්‍රතිචාර දැක්වූ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පිළිබඳව සැලකිල්ලට ගනිමින් අදාළ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

***************************************

සමගි ජන බලවේගය නිසා එජාපය අර්බුදයක

(27.02.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගය හරහා එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

***************************************

කැළණි සරසවියේ CCTV ගැලවීමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 කට ඇප

(27.02.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව එම විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා.

ඊට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ද අයත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, 16 දෙනාගෙන් 12 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පොලිස් ඇපමත මුදාහැර තිබෙනවා.

හිමිනමක් ඇතුළු තවත් සිසුන් 04 දෙනෙකු සිද්ධියට ඍජුවම සම්බන්ධ බැවින් ඔවුන් හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී කැමරා 14 ක් එහි මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් පසුගියදා බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

ඒ ශිෂ්‍යය මර්දනය සඳහා සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගන්නා බව පවසමින්.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය ද අද (27) විශ්වවිද්‍යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහායි.

එහිදී එම ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළේ සී.සී.ටී.වී. ගලවා ඉවත් කිරීමෙන් රුපියල් ලක්ෂ 26 ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය නතර කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (27) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අට්ටාලයක සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඔවුන් අද (27) දහවල් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ ඉන් අනතුරුවයි මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කළේ.

සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර අමාත්‍යාංශ බලධාරින් සාකඡාවක් සඳහා එක්වන ලෙසට දැනුම් දුන්න ද සිසුන් එය ප්‍රතික්ෂේප කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++

CCTV කැමරා ඉවත් කළ, කැළණියේ සිසුන් 25 කට වසර 2 ක් පන්ති තහනම් – අන්තරේ තවමත් අට්ටාලයේ

(28.02.2020 – 12:11 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා ගලවා ඉවත් කළ සිසුන් 25 දෙනා සඳහා වසර දෙකක (02) පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා නිවේදනය කළේ හෙට (29) පෙරවරු අටේ සිට විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් කලාපයක් බවටද පත්කර ඇති බවයි.

එසේම, නේවාසිකාගාරවල සිටින සිසුන් හෙට (29) පෙරවරු අටට පෙර ඉන් ඉවත්විය යුතු වනවා. සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලු විභාග නැවත දැනුම්දෙන තුරු කල් දමා ඇති බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු 04 දෙනාද අද (28) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට සම්බන්ධ සිසුන් 16 දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් අතර, ඉන් 12 දෙනෙකු පසුව පොලිස් ඇපමත මුදා හරිනු ලැබුවා.

අත්අඩංගුවට ගත් පිරිස වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල කිහිපයක් ඉදිරිපිට අද (28) විරෝධතා ක්‍රියාත්මකයි.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ඔවුන්ට ලබාදී ඇති අධිකරණ නියෝගද නොතකමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට තවදුරටත් සත්‍යග්‍රහයේ නිරත වනවා.

ඒ, නවක වදය ලබාදීම ඇතුළු සිද්ධීන් කිහිපයක් මුල්කරගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සිසු ක්‍රියාකාරීන්ට ලබාදී ඇති ශිෂ්‍යහාවය අහෝසි කිරීම් අත්හිටුවන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත්, ඊයේ (27) රාත්‍රියේ පොලිස් නිලධාරීන් කොළඹ අළුත්කඬේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගය එම ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට යාමේදී සිසුන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා ෴

***************************************

උණ සහ උදරයේ ආබාධයකට රෝහල්ගත වූ තිදරු මවකට අත්වූ ඉරණම

(27.02.2020 – 18:42 +0530 – hirunews.lk/sinhala)

උණ සහ උදරයේ ආබාධයකට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තිදරු මවකගේ දෙඅත් ආබාධයකට ලක්වීම පිළිබඳ ඇයගේ දරුවන් චෝදනා කරනවා.

ඇයගේ දෙඅත්වල මැණික් කටුවට පහලින් පිලිස්සුනු ආකාරයෙන් කළු පැහැ ගැන්වී වම් අතෙහි මහපට ඇගිල්ල පමණක් ක්‍රියා කරන බවයි දරුවන් පවසන්නේ.

මෙලෙස ආබාධයට ලක්වී ඇත්තේ නාවලපිටිය සොලකන්දේ පදිංචි 62 හැවිරිදි තිදරු මවක්.

ඇය ප්‍රකාශකර ඇත්තේ තමන් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සහායිකාවක් වශයෙන් සේවය කරමින් සිටියදී පසුගිය ජනවාරි මස 15 වනදා උණ සහ උදරයේ ආබාධයක් හේතුවෙන් සීදූව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුනු බවයි.

පසුව සීදූව රෝහලෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර දින 17 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව ද ඇය පවසනවා.

දින 3 කට පසු තමන්ට සිහිය පැමිණි විට තමන්ගේ දෙඅත් මැණික් කටුවෙන් පහළට දැඩිව කළු පැහැ ගැන්වී අප්‍රාණික වී තිබු බවයි ඇය සඳහන් කර ඇත්තේ.

පසුව එම රෝහලේ මෙම මස 2 වනදා දක්වා ප්‍රතිකාර ලබමින් සිටියදී තම පුත්‍රයා කළ ඉල්ලීමක් මත පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර කර එවු බව ද මෙම තිදරු මව ප්‍රකාශ කරනවා.

පේරාදෙණිය රෝහලේදී වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණ තමන්ව පරීක්ෂා කළ අතර රාගම රෝහලේදී ඖෂධයක් මාරුවීම හේතුවෙන් මෙවැනි තත්වයක් උදාවී ඇතැයි වෛද්‍යවරුන් කතාබහ කරනු තමන්ට ඇසුනු බව ද ඇය සඳහන් කළා.

දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙසට සහ දෙඅත් සුවකර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටයි මෙම මව ඉල්ලා සිටින්නේ.

+++++++++++++++++++++

උණට බෙහෙත් ගන්න ගිහින් අත් දෙකම අප්‍රාණික වු තිදරු මවක්

(28.02.2020 – 16:04 +0530 – sinhala.adaderana.lk)

උණ සහ උදරයේ අමාරුවට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු තිදරු මවකගේ අත් දෙකම අප්‍රාණික වී කලුපැහැයක් ගැන් වී ඇති පුවතක් අපට වාර්තා විය.

නාවලපිටිය සොලන්කන්දේ පදිංචි පි. ධනලෙච්චමි නැමති 62 හැවිරිදි තිදරු මව රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ උණ සහ උදරයේ අමාරුවක් හේතුවෙන්.

කෙසේ වෙතත් පසුව අත් දෙකහිම මැණික් කටුවට පහළින් කළු පැහැ ගැන්වී වම් අතෙහි මහපට ඇඟිල්ල පමණක් ක්‍රියා කරන බව තිදරු මවගේ දරුවන් චෝදනා කරයි.

ධනලෙච්චමි මහත්මිය කියා සිටින්නේ තමන් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවල සහයිකාවක් වශයෙන් කාලයක් සේවය කළ බවත්, 2020.01.15 දින තමන්ට හදිසියේ උණ සහ උදරයේ අමාරුවක් ඇති විම හේතුවෙන් තම වැඩිමහල් පුතාගේ කටුනායක ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු විසින් මුලින්ම තමන්ව සීදුව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බවයි.

එදිනම ඇය සීදුව ප්‍රාදේශිය රෝහලෙන් රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර දින 17 ක් ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇත.

දින තුනකට පසු තමන්ට සිහිය පැමිණි විට අත් දෙකේ මැණික් කටුවෙන් පහළට දැඩි ලෙස කළු පැහැ ගැන්වි අත් දෙකම මැණික්කටුවෙන් පහල අප්‍රාණිකව තිබු බව ඇය ප්‍රකාශ කර තිබේ.

පසුව රෝහලේ වෛද්‍යවරුන් විසින් ඇයව සාමාන්‍ය වාට්ටුවට ඇතුලත් කර 2020.02.02 දින දක්වා ප්‍රතිකාර කර ඇත.

පසුව ඇය විසින් රාගම රෝහලේ වෛද්‍යවරුන්ගෙන් කරන ලද ඉල්ලිමක් මත ඇයව පේරොදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි තමන්ව වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණ පරික්ෂා කළ බව ඇය පවසා ඇත.

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දීමේදි එන්නතක් මාරු විම නිසා තමන්ට මෙවැනි තත්ත්වයක් උදා වි ඇති බවටයි ඇය චෝදනා කර සිටින්නේ.

දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයයේ ජිවත් වන තමන්ට සිදු වු ආසාධරණයට සාධාරණයත් ඉටු කර දෙන ලෙසත්, තම අත්දෙක සුවපත් කර දිමට උපකාර කරන ලෙසත් ඇය ඉල්ලීමක් සිදු කරයි.

ධනලෙච්චමි මහත්මියගේ පුත්‍රයාගේ දුරකථන අංකය : 071 059 4382

***************************************

ගැටලු විසඳන්න ජනපති ගමට – කටුපොල් වගාව නවතී – වැඩ නිම නොකළ කොන්ත්‍රාත්කරුවන් ඉවතට

(27.02.2020 – 17:35 +0530 – hirunews.lk/sinhala)

කටු පොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගී වීමට යන අතරවාරයේදී මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා තිබෙනවා.

එහිදී කටු පොල් වගාවෙන් සිදුවන හානිය පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඒ අනුව සංවර්ධන කමිටු රැස්වීමේ පළමු ගැටලුව ලෙස ඒ පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රදේශයේ පවතින ජල හිගයට කටුපොල් වගාව බෙහෙවින් බලපා තිබෙනවා.

ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

කටුපොල් වගාවෙන් ඉහළ ආදායමක් ලැබුන ද පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ප්‍රයෝජනයක් නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

ඒ අනුව වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙසටයි ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

පොල් තෙල් පරිභෝජනයට ජනතාව දිරිගැන්විය යුතු අතර එහි ප්‍රතිඵලයක් ලෙසට පොල් වගාව ද සංවර්ධනය වනු ඇතැයි ජනාධිපතිවරයා කියාසිටියා.

රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබුන ද එම නිශ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගාසිටුවීමට පියවර ගන්නා ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දුන් අතර එය දිරිගැන්වීම වෙනුවෙන් රබර් ආනයනය වහාම නතර කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවුනා.

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් වල ඉංගී‍්‍රසි, ගණිත, විද්‍යා විෂයන් සදහා පවතින ගුරු හිඟය කඩිනමින් සම්පූර්ණ කිරීමටත්, මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලිනව ඉංගී‍්‍රසි, ගණිත, විද්‍යා විෂයන් ඉගැන්වීමට පසුබිම සකසන ලෙසත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙසයි අදාල අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේ.

කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ කර නොමැති නම් ඔවුන් ඉවත් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් සංවිධානය කෙරෙන සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්නයි ගාල්ල – උඩුගම – හෝමාදොල විහාරස්ථානයේදී අද (27) පැවැත්වුණේ.

දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන හෝමාදොල මෙම කටයුතු සඳහා තෝරා ගත්තේ ද ජනාධිපතිවරයා විසින්.

+++++++++++++++++++++

දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ලංකාවේ දුප්පත්ම ගමක පන්සලක පවත්වයි .. ජනපති මැති ඇමතිවරු බණ ශාලාවේ .. නිලධාරීන් මිදුලේ ..

(28.02.2020 – 10:00 +0530 – lankacnews.com)

දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විණ.

සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිතුමා විසින් තොරා ගනු ලැබීය. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

ජනාධිපතිතුමා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය. කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ඕව්හු පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැණ නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇත. ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මෙමගින් ඉහළ ආදායමක් ලැබේ. එහෙත් පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇත. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබේ. එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය වහාම නතර කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ. කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන් විධිමත් කිරීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට පසුබිම සකසන්නැයි එතුමා පැවසීය.

නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන් විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන්නැයි කීය.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද සාකච්ඡාවට ලක් වූ ප්‍රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිතුමා පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.

ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන යතාවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. වෛද්‍යවරු, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එමගින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කරගත හැකි බව ද පෙන්වා දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වේ. හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද පියවර ගනු ලැබිණ.

හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

අද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මතු කෙරුණු ඇතැම් ගැටළුවලට ඒ මොහොතේම විසඳුම් ලැබිණ. උඩුගම රෝහලට ජල බවුසරයක් සැපයීම, විදුහල්පතිවරු නැති පාසල්වලට විදුහල්පතිවරු පත් කිරීම, සුළු පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හිඟ මුදල් සම්පාදනය ඒ අතර විය.

ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.

දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්‍ත්‍රික්කයේ පැල 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.

රැස්වීමට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

***************************************

සූරියවැව දී ක්‍රීඩාලෝලීන්ට පහරදුන් සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාව අයදී – ඇමති පරීක්ෂණයක් ඉල්ලයි

(27.02.2020 – 15:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ඊයේ (26) පැවති දෙවන එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර කවුළුව අසලදී සිදුවූ ප්‍රහාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධිය කිසිසේත් අනුමත නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා කොළඹ අද (27) කැදවා තිබු මාධ්‍ය හමුවකදි ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙලෙස සමාව අයැද සිටියා.

වසර 05 කට පසු හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ඊයේ (26) පැවති දිවා රාත්‍රි එක්දින තරඟය නැරඹිමට පැමිණි ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාපිටියට ඇතුලත් කරගැනිම සදහා ක්‍රිකට් බලධාරින් විවෘත කර තිබුණේ දොරටු දෙකක් පමණයි.

ඒ හේතුවෙන් ඇතිවු තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂක නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද මැදිහත් වුනා.

එහිදී ක්‍රීඩා ලෝලීන්ට පහරදීමක් සිදුවුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

මෙම සිද්ධිය පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නියෝග කල බවයි විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ.

එම වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

***************************************

අන්තර්ජාල යෙදවුම් භාවිත කරන කුලී රථ රියදුරන්ට පහරදීමක්

(28.02.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පෙලේ සමාගම් හරහා ක්‍රියාත්මක ‘මොබයිල් ඇප්’ හෙවත් අන්තර්ජාල ජංගම යෙදවුම් භාවිත කරමින් දෙස් විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරන කුලී රථ රියදුරන්ට සිදුකරන පහරදීම් සම්බන්ධයෙන් අප අවස්ථා කිහිපයකදී තොරතුරු අනාවරණය කළා.

තවත් එවැනි පහරදීමක් සම්බන්ධයෙන් ඊයේ (27) වාර්තා වුණේ කළුතර – නාගස් හන්දිය ප්‍රදේශයෙන්.

විදෙස් සංචාරකයින් පිරිසක් රැගෙන හික්කඩුව බලා ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථ රියදුරෙකුට මෙලෙස පහරදී ඇති අතර, ඉන් තුවාල ලැබූ ඔහු කළුතර – නාගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබනවා.

රෝහලේ සිට හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් ඔහු සඳහන් කළේ තමන් සමඟ ගමන් කළ විදෙස් සංචාරකයින් බිය ගන්වා මෙම පහරදීම සිදුකළ බවයි.

පසුගියදා හබරණ ප්‍රදේශයේදීද මෙලෙසම සංචාරකයින් ප්‍රවාහනය කරමින් සිටි කුලී රථ රියදුරෙකුට පහරදීමක් සිදුවූ අතර, සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශවලදී සාම්ප්‍රදායික ත්‍රීරෝද රථකරුවන් සහ ඇතැම් තැරැව්කරුවන් මෙලෙස පහරදෙන බවයි අන්තර්ජාල යෙදවුම් භාවිත කරන කුලී රථ රියදුරන් පවසන්නේ ෴

***************************************

MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

(28.02.2020 – 10:33 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ගිවිසුම පිළිබඳව සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹුණු බවයි.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85 ක්) සැපයීමට නියමිත බව පැවසුන අතර එය ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5 ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5 ක්ද වශයෙන් බෙදී තිබුණා.

මෙම ආධාර මුදල ලබා දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා බවද සඳහන් වුනා.

එකක් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියයි.

මේ යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට (Central Ring Road Network) ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කෙරුනා.

ඉඩම් ව්‍යාපෘතිය දෙවැන්න වන අතර මේ යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12 ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂා කෙරුනා.

මෙම ගිවිසුම්ගත ආධාර සැපයීම සදහා සලකා බැලෙන නිර්ණායක කිහිපයක් ද ඇති අතර එනම්, ආර්ථික නිදහස, සාධාරණ පාලනය, මහ ජනතාව වෙනුවෙන් කරන ආයෝජන ආදියයි ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *