‘ස්‌විස්‌ නාටකයේ’ මෙතෙක්‌ කතාව! – කීර්ති වර්ණකුලසූරිය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ‘ස්‌විස්‌ නාටකයේ’ මෙතෙක්‌ කතාව! – කීර්ති වර්ණකුලසූරිය

• සිවාජිගේ විරෝධයෙන් යාපනේ ‘සංඝමිත්තා – මිහිඳු – කාවන්තිස්ස’ ප්‍රතිමා ඉවතට

+++++++++++++++++++++++++++++++++++

‘ස්‌විස්‌ නාටකයේ’ මෙතෙක්‌ කතාව! – කීර්ති වර්ණකුලසූරිය

(21.12.2019 – divaina.com)

  • ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්‌වමින් ජිනීවා යෝජනාවට සහාය දැක්‌වූයේ ස්‌විට්‌සර්ලන්තයයි.
  • මධ්‍යස්‌ථ රටක්‌ යෑයි හඳුන්වාගත් ස්‌විට්‌සර්ලන්තය ඩොලර් මිලියන ගණනක්‌ අවි ආයුධ විකුණමින් මානව හිමිකම් ගැන හඬ නඟයි.

අද ස්‌විස්‌ රජයේ අලුත්ම මෙහෙයුම ගානියා බැරිස්‌ටර් නම් වූ සේවිකාවගේ සාවද්‍ය ප්‍රබන්ධයට සෘජුව මැදිහත් වීමයි. ඒ අනුව හිටපු ස්‌විස්‌ තානාපතිවරයෙකු වූ ජෝඡ් ප්‍රීඩන් අද (21) ශ්‍රී ලංකාවට පැමිණේ.

මේ වනවිට එම ‘ගානියා මෙහෙයුමේ’ ප්‍රතිඵල හෙළි වී ඇත.

එය මෙසේයි :

  1. ගානියා පැහැරගෙන නැත.
  2. සුදු වෑන් රියක්‌ ද නැත.
  3. පැහැරගත් බව කියන පිරිසක්‌ ද නොමැත.
  4. පැහැරගත් අය ඇයට තර්ජනය කළ බව ද සත්‍යයක්‌ නොවේ.
  5. ඇගේ සෞඛ්‍ය තත්ත්වය ද යහපත්ය.

මේ පසුබිම මැද ස්‌විස්‌ තානාපති පීටර් හෑන්ස්‌ මොක්‌ගේ ක්‍රියාකලාපය නිරීක්‍ෂණය කරමු.

  1. රහස්‌ පොලිසිය පරීක්‍ෂණ කිරීමට පෙර ගානියාව ස්‌විස්‌ එයාර් ගිලන් යානාවකින් සුරිච් නුවරට ගෙනයැමට සැලසුම් කිරීම.
  2. රහස්‌ පොලිසියේ පරීක්‍ෂණ තානාපති කාර්යාලය තුළ සිදුවිය යුතු බව ඉල්ලීම.
  3. ගානියා අසනීප වී සිටියදී පැය 30 ක්‌ ප්‍රශ්න කළ බව පැවසීම.
  4. රහස්‌ පොලිසිය ගානියා ගැන පරීක්‍ෂණ ඇරඹීමට පෙර තානාපති මොක්‌ අගමැති මහින්ද රාජපක්‍ෂ හමුවීම.
  5. ජනපති ජයග්‍රහණයෙන් දින 29 කට පසු ගෝඨාභය රාජපක්‍ෂ හමුවී සාකච්ඡා කිරීම.
  6. රහස්‌ පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මෙරටින් ඉවත්කර ගැනීමේ සැලසුම දියත් කිරීම.
  7. මාධ්‍ය වරදකරු කිරීම.
  8. ස්‌විස්‌ තානාපති නීතිපති හමුවීම
  9. සේවිකාව අත්අඩංගුවට ගැනීම ගැන සෙවීමට හිටපු තානාපති ජෝඡ් ෆ්‍රීඩන් මෙරටට පැමිණීම
  10. සේවිකාව කළේ බොරුවක්‌ බව ස්‌විස්‌ රජය නොපිළිගැනීම.

එතෙක්‌ ස්‌විස්‌ තානාපති කාර්යාලයට රජයේ ඉංග්‍රීසි පුවත්පතක තමන්ට අවශ්‍ය පරිදි තොරතුරු පළකර ගැනීමේ හැකියාව තිබුණි. එහෙත් ඊට සහාය වූ ‘මිසිස්‌ බස්‌තියන්’ අද රටින් පැනගොස්‌ තිබේ. ඇය පැනගොස්‌ ඇත්තේ ස්‌විස්‌ටර්ලන්තයට බව හෙළිවිය.

මේ පසුබිම මැද ගානියා සිද්ධියේ වරදකරු ගෝඨාභය රාජපක්‍ෂ යෑයි ප්‍රචාරය කරලීමට ස්‌විස්‌ මාධ්‍ය ක්‍රියා කළේය.

මේ නිසා ස්‌විස්‌ රජය අද ශ්‍රී ලංකා රජයට තර්ජනය කරමින් සිටී.

පරීක්‍ෂණ නිසි ලෙස පැවැත්වෙන්නේ නැති බවට රජයට චෝදනා කරන ස්‌විස්‌ රජය ගානියාගෙන් පැය 30 ක්‌ ප්‍රශ්න කිරීම වැරදි බව ද කියා සිටී.

එසේ නම් හමුදා සහ නාවික හමුදා නිලධාරීන් 44 කගෙන් ප්‍රශ්න කිරීමට රහස්‌ පොලිසිය කටයුතු කළේ කෙසේද?

මේ නිලධාරීන්ගෙන් දිවා රෑ නොබලා දින ගණනක්‌ ප්‍රශ්න කර තිබුණි.

එවන් පසුබිමක්‌ මැද පරීක්‍ෂණ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ස්‌විස්‌ රජය පැවසීම විහිළුවකි.

මේ තත්ත්වය මැද,‌ රහස්‌ පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා ශ්‍රී ලංකා රජයට නොදන්වා විදේශගත වූයේ කෙලෙසද කියා තානාපති මොක් හෙළිකර නැත.

මෑතදී ස්‌විස්‌ අධිකරණය කොටි ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ නොවන බවට තීන්දුවක්‌ දුන්නේය.

ඒ ස්‌විස්‌ නීතියද?

මේ නිසා ගානියා බැරිස්‌ටර් මෙහෙයුම පැය 24 කින් ක්‍රියාත්මක වූවා නොවේ. එය කල්තියා සැලසුම් වූවකි.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ බටහිර රටවල් ජනපති ගෝඨාභයට එරෙහිව ඔහු ආරක්‍ෂක ලේකම් ධුරයට පත් වූ සමයේ සිට ක්‍රියාත්මක විය.

මේ නිසා නිසි අවස්‌ථාව පැමිණෙන තුරු එම රටවල් බලා සිටියේය.

එහිදී බටහිර රටවල රූකඩය වූයේ ස්‌විට්‌සර්ලන්තයයි.

මධ්‍යස්‌ථ යෑයි කියන ස්‌විස්‌ රජය රියර් අද්මිරාල් සරත් වීරසේකරට ජිනීවා යැමට වීසා දුන්නේ නැත. හිටපු හමුදා නිලධාරී රත්නප්‍රිය බන්දුටත් වීසා ලබාගැනීමට නොහැකිය.

එහෙත් මෙරට කොටි හිතවාදීන්ට වීසා ලබාගැනීමට කිසිදු අවහිරතාවක්‌ නොවීය.

මෙම තත්ත්වය මැද ස්‌විස්‌ තානාපති, ශ්‍රී ලාංකික සේවිකාවකට ස්‌විස්‌ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි.

200 කට අධික හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසක්‌ ස්‌විට්‌සර්ලන්තයේ සිටින අතර ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට ද ස්‌විස්‌ රජය ක්‍රියාකර නැත.

එවන් වාතාවරණයක්‌ මැද නොවැම්බර් 25 සිට දින කීපයක්‌ම ස්‌විස්‌ තානාපතිවරයා ගානියා නමැත්තියව තානාපති කාර්යාලය තුළ රඳවා ගැනීමත් ඇය කවුදැයි බලධාරීන්ට හෙළි නොකිරීමත් බරපතළ සැකයකි.

එහෙත් ස්‌විස්‌ තානාපතිවරයා සිය සේවිකාව ගෙතූ ප්‍රබන්ධය මතම පිහිට ක්‍රියාකරයි. මෙය රාජ්‍යතාන්ත්‍රික ගැටුමකට මුල පිරීමකි.

එසේ වූවත් තානාපති කාර්යාල සේවිකාවගේ ප්‍රබන්ධය පසුබිමේ සිටින්නේ මෙරට ඇතැම් දේශපාලන පාර්ශ්වයන්, රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් බව පැහැදිලිය.

එක්‌සත් ජාතීන්ගේ සාම මණ්‌ඩලයේ ප්‍රධානි ජෙනාන් පෙරේරා ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානී සරවනමුත්තු පාක්‍යසෝති හෙවත් පී. සරා ද මේ වනවිට නිවේදන දෙකක්‌ ප්‍රකාශයට පත්කර ඇත.

‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ මාධ්‍ය පාර්ශ්වවලට දොස්‌ නඟමින් එම තානාපති කාර්යාල සේවිකාව කවුදැයි හෙළිකිරීම වරදක්‌ යැයි පවසා තිබේ.

කෙසේ වෙතත් ස්‌විස්‌ රජය සිය නිවේදනවලින් සේවිකාව පැහැරගත් බව කියන සිද්ධියට ජනපති සම්බන්ධ බවට සනාථ කිරීමට උත්සාහ කරයි.

එහෙත් තානාපති කාර්යාල සේවිකාව පැහැරගත් බව කියන සිද්ධියත්, රහස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටින් ස්‌විට්‌සර්ලන්තයට ගෙන යැම සමානව සිදුවූ මෙහෙයුමකි.

මෙම රහසිගත මෙහෙයුමට සති තුනකට පෙර බී.බී.සී. සේවාවේ හිටපු වාර්තාකාරිනී ප්‍රාන්සස්‌ හැරිසන් පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීම්වලට අදාළව රහස්‌ ලියෑවිලි රැසක්‌ තමන්ට ලැබී ඇති බවයි.

සිංහලෙන් ලියෑවුණු එම ලියෑවිලිවල ඇති දේ ගැන දැන් නිරීක්‍ෂණය කරන බව ද ඇය කියා සිටියාය.

එසේ නම් රහස්‌ පරීක්‍ෂක නිශාන්ත ද සිල්වාට පෙර එම ලියෑවිලි මෙරටින් විදේශගත වූයේ තානාපති බෑගයකද?

මේ නිසා ස්‌විස්‌ තානාපති කාර්යාලය ජනපති පත්වී දින නවයකට පසු දියත් කළේ සැලසුම් කර තිබූ ගෝඨාභය ඉලක්‌ක කිරීමේ සැලසුමද?

මෙම තත්ත්වය මත මෙරට බලධාරීන් ස්‌විස්‌ තානාපතිව විශ්වාස කළත් අපි විශ්වාස නොකරන්නෙමු.

ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීම සඳහා උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ට ප්‍රිබුග් ආයතනයේ මහාචාර්යවරු තිදෙනකු ගෙන්වා දුන්නේද ස්‌විස්‌ රජයයි.

එසේම කොටි සහ ශ්‍රී ලංකා රජය අතර ව්‍යාජ සාම සාකච්ඡා සඳහා ස්‌විස්‌ රජය ඉදිරිපත් විය.

මෙයට අමතරව ස්‌විස්‌ නිලධාරීන් ජීනිවා හිදී කොටි සමඟ රහස්‌ සාකච්ඡා පවත්වා තිබුණි.

මේ නිසා ස්‌විස්‌ රජය දියත් කළ මේ දේශපාලන සැලසුම තුළින් ගෝඨාභය රාජපක්‍ෂ චරිතය වනසා දැමීම ඉලක්‌ක වී ඇති බව පැහැදිලිය.

සතුරන් කවුදැයි රජය හඳුනන්නේ නැත.

එහෙත් සතුරන් කවුදැයි හඳුනාගන්නේ නම් ජයග්‍රහණය නියත යෑයි ප්‍රකට යුද විශාරද සුන් ත්ට්‌සු වරක්‌ පවසා තිබිණි.

එහෙත් වත්මන් රජය ද සතුරන් හඳුනාගෙන නැත.

ජනපතිවරයා ජය ලබා ඉක්‌මනින් දිවුරුම් දුන්නේය.

එහෙත් රහස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වාව මෙරටින් ඉවත් කරගනු ලැබුවේ නොවැම්බර් 24 වැනිදා දහවල්ය.

නිශාන්ත සිල්වා ඕස්‌ට්‍රේලියාවට පැනගනු ඇතැයි පැවසුවේ හිටපු මේජර් අජිත් ප්‍රසන්නයි, එහෙත් ඕස්‌ට්‍රේලියාට ගොස්‌ කුමක්‌ කළ හැකිද? නිශාන්ත සිල්වාගේ ඉලක්‌කය සවිට්‌සර්ලන්තයම බව අපට වාර්තා විය. එසේ වුවත් ජනපතිවරණය නිමා වී සතියක්‌ යනතුරුම නිශාන්ත සිල්වා ගැන අවධානය යොමු වුයේ නැත.

ඔහුව මෙරටින් ඉවත් කරගැනීම සඳහා ස්‌විස්‌ තානාපති කාර්යාලය දියත් කළ සැලසුමට රහස්‌ පොලිසිය කටුනායක ගුවන් තොටුපළ යන ස්‌ථානවල ඇතැම් පාර්ශ්වද සහය වී ඇති බව දැන් සනාථ වී ඇත. ඒ බව තහවුරු වන්නේ කටුනායක ගුවන්තොටුපලේ සිටින කුඩා දේ ලොකුකරන උපාංගයක්‌ මගින් වීසා බලපත්‍රය පරීක්‍ෂාවට ලක්‌කරන නිලධාරියා පොලිස්‌ පරීක්‍ෂකවරයා සහ පවුලේ අයගේ ගමන් බලපත්‍ර සහ වීසා පරීක්‍ෂා නොකිරීමෙනි.

එසේ වුවත් රජය මේ නිලධාරීන්ට එරෙහිව මෙතෙක්‌ පියවර ගෙන නැත. නිශාන්ත සිල්වා මෙලෙස කටුනායකින් ගියානම් හිටපු කොටි තිදෙනෙක්‌ පසුගිය කාලයේ ස්‌විස්‌ බලා ගියේද යන්න පැහැදිලිය.

මේ පසුබිම මැද කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලය ඊශ්‍රායල මොසෑඩ් ක්‍රමයේ මෙහෙයුමක්‌ දියත් කර ඇත.

ගානියා ප්‍රැන්සිස්‌ ගැන හඬ නගන ස්‌විස්‌ විදේශ ඇමැති ඉග්නේසියෝ කැස්‌සිස්‌ නිශාන්ත සිල්වා සහ පවුලේ අයට සංක්‍රමණික වීසා ලබාදීමට අදාළ තොරතුරු හෙළි කර නැත.

ගානියා පැහැරගෙන ගියබව කියන කතාව ඔවුන් විසින් විටින් විට ප්‍රකාශකරනු ලැබූවත් එය සාවාද්‍ය මෙහෙයුමක්‌ බව තානාපති මොක්‌ දැනුවත්ව සිටි බව පැහැදිලිය.

මෙයට වසර ගණනකට පෙර ඉන්දීය තානාපති කාර්යාලය, හමුදා නිලධාරියකු වූ ලුතිනන් වැදිගේ මෙරටින් ඉන්දියාවට ගෙන ගියේ රහස්‌ සැලසුමක් අනුවය.

මෙවන් වාතාවරණයක්‌ මැද මෙරටින් විදේශ ගතවන අය හඳුනාගැනීමට කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන ඒකකයේ පටිගතවන සීසීටීවී කැමරා නැත. ගමන් බලපත්‍රයට ආගමන විගමන මුද්‍රාව තැබීම මිස වෙන කිසිදු විමර්ශනයක්‌ සිදු නොවේ.

මේ අතර නිශාන්ත සිල්වා සහ ගානියා බැරිස්‌ටර්ගේ සිදුවීමට බටහිර තානාපති කාර්යාල සමඟ දැඩි ලෙස සබඳතාවයන් පවත්වන කතුවරියක්‌ සම්බන්ධව සිටි බවටද වාර්තා වී ඇත.

ඇයට ඕනෑම බටහිර තානාපති කාර්යාලයකින් පැය 24 කදී වීසා බලපත්‍රය ලබාගත හැකිය.

යහපාලන රජයේ දේශපාලකයක්‌ද ආශ්‍රය කරන ඇය මෙයට පෙරද ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව මෙහෙයුමක්‌ දියත් කළාය. පසුව මේ මෙහෙයුම යහපාලන රජයේ උපදෙස්‌ මත ඇය දියත් කළ බව තහවුරු විය.

නිශාන්ත සිල්වා සහ තවත් ඉංග්‍රීසි මාධ්‍යවේදිනියන් තිදෙනෙකු හා එක්‌ව පසුගිය කාලයේ සිදුවූ මිනීමැරුම් සහ පැහැරගෙන යැමේ සිදුවීම්වලට අදාළව සාවද්‍ය තොරතුරු ජනතාව හමුවේ ඇය ප්‍රචාරය කරනු ලැබීය. සෑම සතියකම හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහි විමර්ශන ඔවුහු සිය ඉංග්‍රීසි පුවත්පතේ පල කරනු ලැබීය.

මේ නිසා හිටපු ආරක්‍ෂක ලේකම් ජනපතිවීමෙන් පසු ඉතා ක්‍ෂණිකව ස්‌විස්‌ සිදුවීම් කරලියට පැමිණියේය.

මෙයට පෙර කොබ්බෑකඩුව ජනාධිපති කොමිසම හමුවේ රෝහිනී හතුරුසිංහ නැමැති කාන්තාවක්‌ සාක්‌කි දෙමින් මුළු කොමිසමේ විමර්ශන කඩා කප්පල් කළේය.

අද ගානියා ප්‍රැන්සිස්‌ රඟ දක්‌වන්නේ රෝහිනී හතුරුසිංහගේ චරිතයයි.

මේ නිසා ස්‌විස්‌ බලධාරීන්ගේ මේ තක්‌කඩි ක්‍රියාවන් ගැන රජය දැඩි ස්‌ථාවරයක සිටිය යුතුයි.

ශ්‍රී ලංකාවේ ජනපති හා අගමැති යුද අපරාධකරුවන් ලෙස හඳුන්වන පුවරු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප්‍රදර්ශයය කිරීමට ස්‌විස්‌ පොලිසිය ඉඩදෙන විට රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ස්‌විස්‌ රජය පැවසීම හාස්‍යජනක ක්‍රියාවකි.

හිටපු ආරක්‍ෂක ලේකම් යටතේ සුදුවෑන් ගැන හඬනැඟූ ඇතැම් පාර්ශ්ව ජනපති කාර්යාලයේ පැවැති ජනපති මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි අයුරු අපි දුටුවෙමු.

මෙලෙස සුදුවෑන් ගැන හඬනැඟූ තවත් අයෙක්‌ කොළඹ ඕස්‌ට්‍රේලියානු තානාපති කාර්යාලයේද සේවය කරයි.

ඒ නිසා ගානියා පැහැරගෙන ගිය බවට ප්‍රචාරය වීම යනු ඉතා සූක්‍ෂමව දියත් වූ ක්‍රියාදාමයකි.

මේ අතර එම තානාපති සේවිකාව පිළිබඳ සිද්ධිය සොයාබැලීමට හිටපු ස්‌විස්‌ තානාපතිවරයකුවූ ජෝඡ් ෆ්‍රීඩන් මෙරටට එවීමට ස්‌විස්‌ රජය තීරණය කර ඇත. ඔහු මෙරට බලධාරීන් සමඟ සාකච්ඡාකරන්නේ රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණ නිමවීමට පෙර එකී සේවිකාව ස්‌විට්සර්ලන්තයට ගෙන යැමටද?

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ශ්‍රී ලාංකික සේවිකාවගේ අර්බුදයට ස්‌විස්‌ රජයට මැදිහත් විය හැකිද යන්නයි.

එම තත්ත්වය මත රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ආපසු මෙරටට එවන්නේද?

ස්‌විස්‌ ආරංචි මාර්ග පැවසුවේ හිටපු තානාපති මෙරටට පැමිණීම මෙරට ස්‌වෛරීභාවයට මැදිහත් වීමත් බවයි.

– කීර්ති වර්ණකුලසූරිය

***************************************

සිවාජිගේ විරෝධයෙන් යාපනේ ‘සංඝමිත්තා – මිහිඳු – කාවන්තිස්ස’ ප්‍රතිමා ඉවතට

(23.12.2019 – colombotoday.com)

යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එයට විරෝධය පෑම නිසා ඒවා එම ස්ථානයෙන් ඉවත් කළ බව පොලිස් ආරංචිමාර්ග කියයි.

පෙරේදා (21) මෙම සිද්ධිය සිදුවී තිබිණි.

තාප්පයේ ඇඳ තිබූ චිත්‍රයට අදාළව සංඝමිත්තා තෙරණිය, මිහිඳු හිමියන් හා කාවන්තිස්ස රජුගේ ප්‍රතිමා තුනක් මෙහි නිර්මාණය කර තිබිණි.

සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා උතුරට අවශ්‍ය නොවන බවත්, වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසද කියමින් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් එම ප්‍රතිමා ඉවත් කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

යාපනය බන්ධනාගාරයේ හින්දු සිරකරුවන් පිරිසක් ඉකුත් වසරේ බන්ධනාගාරයේ පැවැති තරගයක් වෙනුවෙන් සංඝමිත්තා තෙරණිය, දඹකොළ පටුන හරහා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම චිත්‍රයට නගා තිබූ අතර, සංඝමිත්තා තෙරණිය, මිහිදු හිමියන් හා කාවන්තිස්ස රජතුමාගේ ප්‍රතිමා තුනක් ද එහි ඉදිකර තිබූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

තරගයෙන් පසුව එම චිත්‍ර හා ප්‍රතිමා ආවරණය කර තිබූ අතර මේ දිනවල රට පුරා තාප්පවල චිත්‍ර ඇඳීමේ කලාවක් පවතින හෙයින් බන්ධනාගාර සිරකරුවන්ද එම අවස්ථාවට එක්වෙමින් මෙම චිත්‍ර හා මූර්ති නිරාවරණය කර ඇත.

සිද්ධිය සැලවීමත් සමග සිවාජිලිංගම් ඇතුලු උතුරේ දේශපාලකයන් පිරිසක් පෙරේදා එම ස්ථානයට පැමිණ චිත්‍ර ඇඳීමේ නිරත පිරිසට සිය විරෝධය දක්වා ඇති අතර, එහිදී ඔවුන් සමග වචන හුවමාරුවක් ද සිදුවී ඇතැයි කියති.

සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීමට ඉඩ දිය නොහැකි බවට පැවසීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් එම ප්‍රතිමා එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවර ගත් බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *