අදත් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්න ක‍්‍රමයක් හොයනවා – මහින්ද රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අදත් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්න ක‍්‍රමයක් හොයනවා – මහින්ද රාජපක්ෂ

• රනිල් අගමැති කාලේ කිසිම හමුදාවක් නොවිදි අපහාස අප වින්දා.. දීන සාමය වෙනුවට අපට ගෞරවය ගෙනාවේ මහින්ද-ගෝටායි.. අපට ගෝටා විශ්වාසයි… – මේජර් ජනරාල් කමල් ගුණරත්න

• පිරිවෙන් ආධාර දෙගුණයකින් වැඩි කිරීම අවශ්‍යයි – මහින්ද රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

අදත් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්න ක‍්‍රමයක් හොයනවා – මහින්ද රාජපක්ෂ

(26.09.2019 – 15:50 +0530 – lankacnews.com)

ධීවර පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා ධීවර වෘත්තියේ නියැලෙන්නන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

එහිදී අදහස් දක්වූ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා :

“ශ‍්‍රී ලංකාව පුරා විසිරී සැම පළාතකම ජීවත්වන අපේ සහෝදර ධීවර ප‍්‍රජාව නියෝජනය කරමින් අද මෙම සමුළුවට දහස් ගණනින් සහභාගීවන ඔබ සියලු දෙනා වෙත මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්වන අතර, විපක්ෂය වෙනුවෙන් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්ද ඔබ පිළිගනු ලබන බවත් ඉතා සතුටින් සඳහන් කරන්න කැමතියි.

අවුරුදු කිහිපයක් අප රටේ ධීවර ක්ෂේත‍්‍රය භාරව කටයුතු කළ ඔබේ අමාත්‍යවරයා වශයෙන් අද දින ඔබ සමඟ මෙවැනි අදහස් හුවමාරුවක් ඇති කර ගැනීමට හැකි වීම ගැනත් මා බෙහෙවින්ම සතුටට පත් වෙනවා.

පසුගිය සති කිහිපය මුළුල්ලේ අප රටේ විවිධ ක්ෂේත‍්‍රයන් හි නියැලී සිටින ඔබ වැනි ශ‍්‍රී ලංකා ආර්ථිකයේ කොටස්කරුවන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා.

විශේෂයෙන් තව මාස කිහිපයකින් ඔබ ඇතුළු මේ රටේ පොදු මහජනතාව විසින් ගොඩනැගීමට බලාපොරොත්තු වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායකත්වයෙන් යුතු සන්ධාන රජයක ඉදිරි වැඩපිළිවෙල ගැන, සලසුම් ගැන, ඔබ දැනුම්වත් කිරීම සහ ඔබගේ අදහස් ලබා ගැනීම මේ රැස්වීම් මාලවේ අරමුණයි.

ඔබ බොහෝ දෙනා දන්නා පරිදි 1964 ඔක්තොබර් 01 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි ලංකා ධීවර සංස්ථාව විසින් ධීවර ක්ෂේත‍්‍රයෙහි ඉටුකළ යුතු ආර්ථික ක‍්‍රියාකාරකම් මාලාව ගැනත්, ධීවර ප‍්‍රජාව වෙත ඉටු විය යුතු සේවාවන් ගැනත්, මත්ස්‍ය නිෂ්පාදනය, අළෙවිය, පිරිසැකසීම සහ ඊට අදාල අනෙකුත් ක‍්‍රියාකාරකම් ගැනත් සවිස්තරව සඳහන් වෙනවා.

ශ‍්‍රී ලංකාවේ පිහිටීම, දිවයින වටා තිබෙන මත්ස්‍ය සම්පතින් අනූන මහා සාගරය, රට අභ්‍යන්තරයෙහි ස්වභාවයෙන්ම පිහිටා තිබෙන මහා ජලාශ, මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකරන ලද මහා ජලාශ මෙන්ම ගංඟා, විල් සහ කුඩා වැව් ආදිය ගැන සලකා බලන විට මෙතරම් ධීවර සම්පතින් අනූන වූ රටකට මේ දක්වාම මත්ස්‍ය සම්පතින් ස්වයංපෝෂිත වීමට නොහැකි වීම ප‍්‍රශ්ණයක්.

පේ‍්‍රමදාස මහත්තයාගේ කාලයේ මිරිදිය මත්ස්‍ය ව්‍යපාරය දියුණු වෙන කොට තහනම් කළා.

ඒවායින් අපි සැලුනේ නැහැ. අපි බහුදින යාත‍්‍රා හදුන්වා දුන්නා. සමාගම් හදුන්වා දුන්නා. සමාගම්වලට සභාපතිවරු පත්කලා. බහුදින යාත‍්‍රා දුන්නට පස්සේ මාලු අල්ලනවාට වඩා ඕස්ටේ‍්‍රලියාවේ, ඉතාලියේ තමයි ගියේ. කෙසේ වෙතත් ධීවර ජනතාවගේ ජිවන නගා සිටුවන්න අපි පියවර ගත්තා.

ඔබ අතර සිටින බොහෝ අයට මතක ඇති මා කම්කරු අමාත්‍යවරයා වශයෙන් සේවය කරමින් සිටියදි කම්කරු ප‍්‍රඥප්තිය නීතිගත කරනවාත් සමඟම මම එම අමාත්‍යාංශයෙන් ඉවත් කර ධීවර ඇමතිවරයා වශයෙන් පත් කළ අවස්ථාව. ඒ කාලයේ සමහර උදවිය හිතන්නටත් ඇති මා මහමුහුදට තල්ලු කර දැම්මා කියා. එහෙත් කරදියෙහි මෙන්ම මිරිදියෙහි ද පිහිනන්නට මට හැකියාව තිබූ බැවින් ඒ සියලු අභියෝග මැඩගෙන ධීවර කර්මාන්තය එදා වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩ ගැනීමට අපට හැකියාව ලැබුනා.

ධීවර කර්මාන්තයේ යෙදි සිටින කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළීවෙල සකස් කළා. ධීවර නිවාස වැඩ පිළිවෙල මඟින් පොල් අතු පැලවල් උළු වහල බවට පත්කලා. වැඩ පිළිවෙලක් දියත් වෙන අවස්ථාවේ අමාත්‍යංශය වෙනස් වුනා. අදත් ඒ වගේම ධීවර ප‍්‍රශ්න තිබෙනවා. රටේ දේශශපාලනයත් එක්ක අද ජනතාව මුහුණ දීලා තියෙන ප‍්‍රශ්න මොනවාද? අමාත්‍යංශය වගකීම් අතහැර දාලා. කර්මාන්තය පිළිබද අවබෝධයක් නැති කමයි තියෙන්නේ. මේවා වෙනස් විය යුතුයි.

ධීවර ජනතාවට රටේ ප‍්‍රශ්න ගැන අවබෝධයක් තිබෙනවා. දේශපාලනය ගැන අවබෝධයක් තිබෙනවා. මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුද? බලයට ආපු හැටියේ ව්‍යවස්ථාව වෙනස් කරලා බල කේන්ද්‍ර දෙකක් හදලා. මේ ජනාධිපති හා අගමැති අතර සටනත්, පළිගැනීමට කුමන්ත‍්‍රණ කිරීමත් නිසා රටට කිසිවක් කරන්න බැරි වුනා. අදත් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්න ක‍්‍රමයක් හොයනවා.

අද වෙනකල් ඒ අයගේ අපේක්ෂකයා තෝරාගෙන නැහැ. දැන් සජිත් පේ‍්‍රමදාස ඒ අයගේ අපේක්ෂකයා කියනවා. මේ දෙන්නගේ ගැටුම නිසා එජාපය දෙකට බෙදුනා. ඒ ප‍්‍රශ්නය ගමට ආවා. මේ විදියට අගමැති ජනාධිපති අතර ගැටුමක් තියාගෙන කිසිම ප‍්‍රශ්නයක් විසදන්න ශක්තියක් බලයක් නැහැ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. එක ප‍්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්න හැකියාව තිබෙන නායකයින් පත්කර ගත යුතුයි. ඒ සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරලා තිබෙනවා.

අද නොයෙක් බොරු ප‍්‍රචාර දියත් වෙනවා. උතුරේ සිටින ධීවරයාට අද දින ගානක් සීමා වෙලා. රටේ යුද්ධයක් නැති වුනත් මෙහෙමෙ වෙන්නේ කොහොමද? ඉන්දියාව එක්ක සාකච්ඡා කරලා අපේ ධීවරයා රැක ගැනීමේ වැඩ පිළිවෙලකට අපි සූදානම් විය යුතුයි. ධීවරයා ගැඹුරු මුහුදේ නව තාක්ෂණය භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන වැඩ පිළවෙල සකස් කළ යුතුයි. මීට වඩා නවීන ක‍්‍රම භාවිතා කරන්න ජනතාවට පහසුවෙන් බෝට්ටු ලබා ගැනීමේ හැකියාව ඇති කළ යුතුයි. නෝර්වේ රාජ්‍යයේ ධීවර කර්මාන්තය ඉතා දියුණුයි.

ඔබේ මත්ස්‍ය සම්පතට හොඳ මිලක් වගේම පාරිභෝගිකයාට පහසු මිලක් යටතේ මාලු මිලදී ගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. ඔබේ රක්ෂණ ක‍්‍රම මීට වඩා ශක්තිමත් කළ යුතු බවත් අපි විශ්වාස කරනවා. මේ වෙනස ඇති කිරීමට ඔබ සූදානම් වෙන්න. සමාජය ඉල්ලන වෙනස ඇති කරන්න ඔබ පියවර ගනියි කියලා අපි විශ්වාස කරනවා.

එජාපයට වැඩක් හරියට කරන්න බැරි බව අද ඔප්පු කරලා තියෙනවා. මහ බැංකු මංකොල්ලයේ සිට සියලු දෙයට රනිල් වික‍්‍රමසිංහ වගේම සජිත් පේ‍්‍රමදාසත් වගකිව යුතුයි. ‘අපි ඒකට සම්බන්ධ නැහැ’ කියලා කිසිවෙකුට මග හරින්න බැහැ. ඔවුන් එකට හවුලේ රටේ ආර්ථිකය විනාශ කලා. රට නැවත ගොඩ නගන්න ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්වෙන්නැයි අපි ඔබට ආරාධනා කරනවා.”

එහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා :

“ධීවර කර්මාන්තය කෘෂි කර්මාන්තය වගේම අපේ ආර්ථිකයට වැදගත්, අපේ සංස්කෘතිය හා බැඳුනු දෙයක්. අපේ රට වටාම මුහුද. ධීවර කර්මාන්තයෙන් විශාල ප‍්‍රමාණයක් යැපෙනවා. ධීවර කර්මාන්තයේ යෙදි සිටින අයගෙන් ධීවර කර්මාන්තය ගැන ඇහුවොත් කියන්නේ අපේ ප‍්‍රධාන විදේශ විනිමය ලබා ගන්න කර්මාන්තය බවට ධිවර කර්මාන්තය දියුණු කළ හැකි බවයි. නමුත් ඇයි එය මෙතෙක් කළ නොහැකි වුනේ.

මහින්ද රාජපක්ෂ මහතා ධීවර ඇමැති වශයෙන් ධීවර කර්මාන්තය දියුණු කරන්නත් ධීවර ජනතාවගේ ජිවිත දියුණු කරන්නත් විවිධ දේ කළා. නමුත් විවිධ රජයන්වල වෙනස් වන ප‍්‍රතිපත්ති නිසා ධීවර කර්මාන්තය පසුබැස්මකට ලක්වුනා. අපි ධිවර කර්මාන්තය දියුණු කළ යුතුයි.

ධීවරයින්ට විශාල ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ විදේශ රටවලින් ධීවර බෝට්ටු පැමිණීමයි. උතුරු නැගෙනහිර පළාත්වල මේ විදියට විදේශීය ධීවර බෝට්ටු විශාල වශයෙන් පැමිණෙනවා. මම ආරක්ෂක ලේකම් සමයේ අපේ ධීවරයින් ආරක්ෂා කරන්න නාවික හමුදාව යොදවන්නත් පියවර ගත්තා. නමුත් අපේ ධීවරයින්ගේ බෝට්ටු වලට වඩා විශාල බෝට්ටු එන අවසථා තියෙනවා. අපේ ධීවරයින්ට ලැබෙන්න තියෙන ආදායමයි මේකෙන් ගිලිහෙන්නේ. මේ සදහා ක‍්‍රමවේදයක් අනිවාර්යයෙන්ම සැකසිය යුතු වෙනවා. ඉන්දියාව වගේම වෙනත් රටවලින් එන මේ බහුදින යාත‍්‍රා නිසා අපිට විදේශ විනිමය අහිමි විමක් වගේම ධීවරයින්ගේ ආදායම අහිමි වීමකුත් සිද්ධ වෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ ඔවුන් කිව්වේ මෙය මානුෂිය ප‍්‍රශ්නයක්. ධීවරයින් මසුන් සොයා ගෙන යන එක සාමාන්‍යයි කියලයි. නමුත් අපි කිව්වා වසර ගණනාවක් යුද්ධයෙන් බැට කාපු උතුරු නැගෙනහිර ධීවරයින් තමයි මෙයින් බැට කන්නේ කියලා. අපි නාවික හමුදාව යොදවපුවාම චෝදනා එල්ල වුනා. කෙසේ වෙතත් ධීවරයා ආරක්ෂා කරන්න, විධිමත් සැලැස්මක් අවශ්‍යයි.

ධීවර කර්මාන්තය නවීකරණය කළ යුතුයි. මසුන් සිටින ස්ථාන හදුනා ගැනීම, මසුන් අල්ලන ක‍්‍රම වගේම ගබඩා කිරීම සම්බන්ධයෙනුත් තිබෙන නවීන ක‍්‍රම හදුන්වා දී ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම පිටරටින් මාලු ගෙන ඒමත් අද වෙනකොට චෝදනාවක්. මේවාට බද්දක් අය නොකලත් අපෙන් ගෙනියන මාලු වලට බදු ගෙවන්න වෙනවා. මේ හේතුව නිසා ක‍්‍රමයෙන් ධීවර කර්මාන්තය පහත වැටෙමින් තිබෙනවා. අපේ රටේ ධීවර කර්මාන්තයේ මිරිදිය මසුන් ඇති කිරීම මගිනුත් ඉස්සන් ඇති කිරීම මගිනුත් විශාල ආදායමක් ලැබීමේ හැකියාව තිබෙනවා. මේවාට රජයන් විසින් විසදුම් නොදුන් ප‍්‍රශ්න තිබෙනවා. නව තතාක්ෂණය හදුන්වා දෙනවා වගේම ව්‍යවසායකයින්ට ආධාර කර මේ කර්මාන්තය නගා සිටුවීමටත් අවශ්‍යයි. අපේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාරයක් සපයනවා වගේම විශාල විදේශ විනිමයක් ලබා දිය හැකි කර්මාන්තයක් නිසා රාජ්‍ය අනුග‍්‍රහය ධීවර කර්මාන්තයට වැඩි වශයෙන් ලබා දිය යුතුයි. සහනදායි ණය පහසුකම් යටතේ බෝට්ටු, නවීන පහසුකම් ලබා ගැනීමට අවස්ථාව දිය යුතුයි.

සුරතල් මසුන් ඇති කිරීමත් නව ප‍්‍රවණතාවයක්. මේ සියල්ල ආදායම් ලැබිය හැකි කර්මාන්ත. මේවාට රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නොතිබීම නිසා කාලයක් දියුණු වුනු කර්මාන්ත කඩා වැටෙනවා. විශේෂයෙන්ම ධීවර කර්මාන්තයේ යෙදන අයගේ පවුල්වල සුබ සාධනය සදහා රජය මැදිහත්ව නිවාස ලබා දීමක් සිදුවුනා. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවස්ථාව දුන්නා.

විශේෂයෙන්ම අද රටක් විදියට සෑම ක්ෂේත‍්‍රයකම පසුබැස්මක් සිදුව තිබෙනවා. මේ නිසා හැම ක්ෂේත‍්‍රයකින්ම ආර්ථීකය කඩා වැටිලා. නිසි සැලැස්මක් නැතිව රට පාලනය කිරීමයි මෙයට හේතුව. ත‍්‍රස්තවාදය අවසන් කර රටේ වරායන් ඇති කරමින් සීඝ‍්‍ර දියුණුවක් කරා ගෙන යමින් තිබුණු අවස්ථාවක ආණ්ඩුව වෙනස් වුනා. මේ ආන්ඩුව බලයට ඇවිත් කිසිදු හේතුවක් නැතිව ඒ සංවර්ධන කටයුතු නතර කළා. මේ හේතුව නිසා ඒවායේ වැඩ කළ කොන්ත‍්‍රාත්කකරුවන් සහ සැපයුම්කරුවන්ගේ ව්‍යාපාර කඩන් වැටුනා. මේ නිසා ලක්ෂ හතරකට විතර රැකියා අහිමි වුනා. මේ විදියට ව්‍යාපාර ක්ෂේත‍්‍රය කඩා වැටුනාම නැවතත් ව්‍යාපාර ආරම්භ කිරීම අසීරුයි. අපි ආරම්භ කරපු සෑම ව්‍යාපාරයක්ම රටට ලාභ ලැබිය හැකි ව්‍යාපාර. වරායක් කියන්නේ ඒ ආශී‍්‍රත ප‍්‍රදේශවල කර්මාන්ත ඇති කර විදේශ විනිමය වගේම රැකියා රැසක් ඇති කරන්න තිබුණු අවස්ථාවක්. ගුවන් තොටුපලත් ඒ වගේමයි. මේවා අතර සම්බන්ධතාවය මඟින් රැකියා වැඩි කිරීමේ සැලැස්මක් තිබුණා. සංවර්ධනය ඇණ හිටීම නිසා මේ සියල්ල කඩා වැටුනා. නමුත් විකුණා ලැබූ මුදල්වලින් අඩු තරමේ ණය ගෙවීමට හෝ පියවර අරන් නැහැ. දැන් අපි ණය ගෙවිය යුතුයි වගේම ඒ සම්පත්වල අපිට කිසිම අයිතියකුත් නැහැ. එදා තිබුණු රජය සමච්ඡලයට ලක් කරන්නයි සංවර්ධනය නතර කලේ. වායුසමීකරණය කළ ගුවන් තොටුපලේ වී ගබඩා කලේත් ඒ නිසයි.

සෑම දෙයක්ම විදේශයෙන් ගෙන්වීම නිසා දේශීය ගොවියා අපහසුතාවයට පත්ව සිටිනවා. නව රජයක් තුළ හොද ආර්ථීක සැලැස්මක් අපිට තිබෙනවා. ජනතා කේන්ද්‍රීය නව සැලැස්ම මඟින් සෑම ක්ෂේත‍්‍රයකම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අපේ බලාපොරොත්තුවයි. තරුණ පිරිසට හොද වේතනයක් ලැබිය හැකි නිපුණතාවයක් ලබා දීමත් අවශ්‍යයි. දේශිය කර්මාන්තකරුවන් ගොවියා හෝ ධීවර කර්මාන්තකරුවා හෝ වේවා අපි ආරක්ෂා කර ගත යුතුයි. දියුණූ වන ලෝකයේ තිබෙන අවස්ථාවන් අපි භාවිතා කළ යුතුයි. විශේෂයෙන්ම ආසියානු රටවලට දියුණු වෙන්න තිබෙන අවස්ථාවන් භාවිතා කරන අතරේ නව තාක්ෂණය රටට ගේනවාත් සමඟම දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරගෙනයි ආර්ථිකය මෙහෙයවිය යුත්තේ.

ලෝකයේ දියුණුවත් සමඟ රැකියා නිෂ්පාදනය කරන්න ව්‍යවසායන් ඇති කරන්න අවස්ථා රැසක් අපිට තිබෙනවා. ඒ සදහා අවශ්‍ය දැනුම නිපුණතාවය අපි වැඩි කර ගත යුතුයි. අපේ සැලැස්ම තුළ කිසිඳු තරුණ තරුණියක් අතරමං වෙන්න ඉඩ තියන්නේ නැහැ. සාමාන්‍ය පෙල අසමත් වීම නිසා විශාල පිරිසක් අතරමං වෙනවා. උසස් පෙල අසමත් වීම නිසාත් අතරමං වෙනවා. උසස් පෙල සමත් වෙලත් තෘතීය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව නැති කමින් අතරමං වෙනවා. විශ්ව විද්‍යාලයේ ගිහිල්ලත් කළා අංශයේ අය අතරමං වෙනවා. නමුත් ලෝකයේ අතරමං නොවී ඉදිරියට යන්න අවස්ථාව තිබෙනවා. ඒ සදහා කෙටි කාලීන පියවර මෙන්ම දිගුකාලීන පියවර අපි අනුගමනය කළ යුතුයි.

මෙවැනි හදුනාගත් ක්ෂේත‍්‍ර සඳහා ආයෝජනය කරන්න තිබෙන බාධාවන් ඉවත් කර ව්‍යවසායකයින් දිරිගැන්වීමේ සැලැස්මක් අපි හදුන්වා දෙනවා. මේ හැම ක්ෂේත‍්‍රයක්ම අධ්‍යයනය කරලා අපි සැලසුම් හදලා තිබෙන්නේ. සැලසුම් හදනවා වගේම ඒ සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව තිබෙන බව අපි පෙන්වලා තිබෙනවා.

වසර 30 ට අධික කාලයක් විවිධ රජයන් යටතේ, ජනාධිපතිවරු යටතේ ඇදෙමින් තිබුණු ත‍්‍රස්තවාදය අපි අවසන් කරලා පෙන්වූවා. රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කරලා රැකියා අවස්ථා වැඩි කළා. ඒ වගේම අපිට වැඩ කරන්න පුලුවන් හොද කණ්ඩායමක් හිටියා. අපි ඔවුන්ට නිසි නායකත්වයක් දීලා දිරි ගන්වලා සෑම ක්ෂේත‍්‍රයකම දියුණුවක් ඇති කරලා පෙන්වුවා. ආර්ථිකය හදන්න නිසි සැලසුම් අපිට තිබෙනවා. සෑම ක්ෂේත‍්‍රයකම ප‍්‍රශ්න විසදන්න නම් ආර්ථීකය දියුණු කරන්න පියවර ගැනීම ඉක්මනින් කළ යුතුයි.

නිසි නායකත්වයක් යටතේ මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. රටේ ආරක්ෂාව ස්වෛරීත්වය සංවර්ධනය ආර්ථීකය ඉදිරියට ගෙන ගොස් ඒ හරහා සෞභාග්‍යමත් රටක් බිහි කරන්න අපි සමඟ එක් වන්නයි ආරාධනා කරනවා. ඔබට අප කෙරේ විශ්වාසය තැබීමේ හැකියාව තිබෙනවා. කරන්නට බැහැ කියපු දේවල් අපි කරලා පෙන්වලා තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී ජනතාවට සෞභාග්‍යමත් රටක් බිහිකිරීම සදහා අපත් සමඟ එකතු වෙන්නයි අපි ආරාධනා කරනවා.”

– SLPP Media

***************************************

රනිල් අගමැති කාලේ කිසිම හමුදාවක් නොවිදි අපහාස අප වින්දා.. දීන සාමය වෙනුවට අපට ගෞරවය ගෙනාවේ මහින්ද-ගෝටායි.. අපට ගෝටා විශ්වාසයි… – මේජර් ජනරාල් කමල් ගුණරත්න

(26.09.2019 – 18:48 +0530 – lankacnews.com)

රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවති ජාතික සම්මේලනය අමතමින් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මෙම අදහස් පල කලේය.

29,000 ට අධික රණවිරුවන් සංඛ්‍යාවක් මවුබිමේ අනණ්‍යතාවය වෙනුවෙන් ජිවිත කැප කලා. 60,000 ට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා. 10,000 ට අධික සංඛ්‍යාවක් බරපතල ලෙස රෝගාතුරව අදත් ඇඳන් උඩ.

සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ විරෝධාර රණවිරු ගාමිණී කුලරත්න ජිවිතය පරිත්‍යාග කළ ආකාරය ඔබට මතක ඇති. ඔහු අපිට අපේ කාලයේ යෝධ වීරයෙක්. එවැනි තවත් දහස් ගානක් රණවිරුවන් පසුව බිහිවුනා. ඔවුන් මවුබිම වෙනුවෙන් ජීවිතය පූජා කළා. නමුත් ගාමිණී කුලරත්නට ලැබුනු ගෞරවය ඔවුන්ට ලැබුනේ නැහැ. සම්මාන පුද කලාට ඔවුන්ට නිසි තැන ලැබුණාද සැකයි. සතුරා අභියස ජිවතය පූජා කලොත් ‘පරම වීර විභූෂණ’ සම්මානය හිමි වෙනවා. 28 දෙනෙකුට ඒ සම්මානය හිමිව තිබෙනවා. අපි ඔවුන්ව සිහිපත් කළ යුතුයි. ඔවුන්ගේ පවුල්වල කිහිප දෙනෙකුට අද උත්තමාචාර පිදීමත් මේ වේදිකාවේ සිදුවෙනවා.

යුද නාවික ගුවන් පොලිස් සිවිල් ආරක්ෂක අංශවල සේවය කළ අපි වෙනුවෙන් යමක් කිව යුතුයි. ත‍්‍රස්තවාදයෙන් රට වෙලා ගෙන තිබුණු වෙලාවේ අපියි ඒ සඳහා කර ගැහුවේ. කොටි සංවිධානයත් එක්ක අපේ තරුණ කාලය කැලේ වැය කලේ අපියි. දකුනේ ත‍්‍රස්තවාදයෙන් නොමග ගිය තරුණ තරුණියන් පුනරුත්තාපනය කලෙත් අපි. ඉන්දියන් හමුදාව ආපු වෙලාවේ අපේ රට රකින්න පුහුණුවුන අපිට අන්තිමට අන්ත අසරණ තත්ත්වයට පත්ව එළියට බහින්න තහනම්ව අනාතයෝ ගානට කඳවුරුවල ඉන්නත් සිද්ධ වුනා. වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ට මුහුණ දුන්නෙත් අපියි. ජයග‍්‍රහණය පෙනී පෙනී තියෙන අවස්ථාවල ආපසු හැරෙන්න අණ ලැබුනාම තුවාල වුනු කොල්ලො ටිකයි, මැරුණු කොල්ලො ටිකයි අරන් කදවුරුවලට ගියෙත් අපියි. රනිල් වික‍්‍රමසිංහ අගමැති සමයේ කිසිම හමුදාවකට විදින්න වුනේ නැති විදියේ අපහාස වින්දෙත් අපියි. මේවගේ දීන සාමයකට වඩා රට වෙනුවෙන් සටන් වැද මියයාම ගෞරවාන්විතයි කියලා තීරණය කලෙත් අපියි. ත‍්‍රස්තවාදය සහමුලින්ම අතුගා දමන බව ජනාධිපතිතුමන් කියපු අවස්ථාවේ ඒ ගැන වැඩියෙන්ම සතුටුවුනෙත් අපියි. ඔබෙත්, ආරක්ෂක ලේකම්තුමාගෙත් මග පෙන්වීම යටතේ රටට සාමය ගෙනාවෙත් අපියි. අපි විශ‍්‍රාම ගියත් රටට කළ සේවය ගැන ආඩම්බරයි. මෙතැන සිටින අපි සියලු දෙනාම රටට ණය ගැති, මුලු රටම ණය ගැති හමුදා සාමාජිකයින්.

අපි ගෙදර ගියේ සාමය සපිරුණු රටක් බිහිකරලා. දරු පරපුර හොදින් ජිවත් වෙනවා දකින්න. නමුත් අවාසනාවකට ඒ රට අද නැති වෙලා. අපි රටට සාමය ගෙනත් ත‍්‍රස්තවාදය නැති කරලා රටට යුතුකම ඉටු කළා වගේම අපේ රණවිරුවන් දඩයම් කරන, ආර්ථීකය නැති කරන මේ රජය වෙනුවට රණ විරුවන්ට, ජනතාවට ආදරය කරන ඉපදෙන්න ඉන්න දරුවාටත් ආදරය කරන අපේ හුස්ම අඳුනන නායකත්වයක් පත් කරගත යුතුයි.

රටේ කිසිම ආබාධිත රණවිරුවෙක් මහ පාරේ හිඟමනේ වැටෙන්න නොදී මරණ මොහොත දක්වා සැපවත්ව ජිවත් වෙන්න කටුයතු කළ එතුමන් පාරේ දුක් විදින රණවිරුවන්ට මිය යන මොහොත දක්වා වැටුප ඉල්ලන්න ආයෙත් ඉඩ තියන්නේ නැහැ. රණවිරුවන් ඒ විදියට පාරේ ඉන්නවාට මම කැමැති නැහැ. අපිත් එක්ක සටන් කරපු ඒ කොල්ලො ඒ විදියට ඉන්නවා දකින්න කැමැති නැති නිසා මම එතැනට ගියා. ඊට කලින් ගෝඨාභය සර්ට කතා කලා. එතුමා කිව්වා මම බලයට පත්වුනොත් දින කිහිපයක් ඇතුලත ප‍්‍රශ්නය විසදනවා. ඔය දරුවන්ට ගෙවල්වලට යන්න කියන්න කියලා. අපිට ගෝඨාභය සර් ගැන විශ්වාසයි.

– SLPP Media

***************************************

පිරිවෙන් ආධාර දෙගුණයකින් වැඩි කිරීම අවශ්‍යයි – මහින්ද රාජපක්ෂ

(26.09.2019 – 21:59 +0530 – sinhala.adaderana.lk)

ස්වේඡාවෙන් තමන්ගේ කාලය දහම් අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරන ගුරුවරුන් ධෛර්යමත් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දහම් පාසල් හා පිරිවෙන් ගුරු සම්මේලනය අද (26) දහවල් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා දහම්පාසල් සහ පිරිවෙන් ගුරුවරු රැසක් සහභාගි වූහ.

එහිදී අදහස් දක්වූ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා :

“සැදැහැවත්, ප්‍රඥාසම්පන්න, ජාතික අභිමානයෙන් ඔද වැඩුනු ශ්‍රී ලාංකීය දරු පරපුරක් බිහි කිරීම සඳහාත්, දැනුමෙන් කුසලතාවලින් සහ උගත්කමින් පරිපූර්ණ විද්වත් භික්ෂු පරපුරක් ඇති කිරීමත් අරමුණු කොට ගෙන මෙම දහම් පාසල් ගුරුවරු සහ පිරිවෙන් (ගිහි, පැවිදි) ගුරුවරු ක්‍රියාකරනවා.

දැනට රට පුරා පිරිවෙන් 870 කට අධික සංඛ්‍යාවක් පවත්වා ගෙන යන අතර, එම පිරිවෙන්වලට අනුයුක්ත ගිහි පැවිදි ගුරුවරු 6250 ක් පමණ සේවය කරනවා.

රටේ පවතින දහම් පාසල් සංඛ්‍යාව දහදාස් එකසිය හැටක් (10,160) පමණ වන අතර, එම දහම් පාසල් වල ස්වේච්ඡාවෙන් උගන්වන ගිහි පැවිදි ගුරුවරු සංඛ්‍යාව එක් ලක්ෂ විසි අටදාස් දෙසීයක් (128,200) පමණ වෙනවා.

මෙම දහම් පාසල් සියල්ල ඒ ඒ විහාරස්ථානවලට සම්බන්ධව සිදු කරනු ලබන්නේ අති විශාල ආගමික,සමාජයීය මෙන්ම ජාතික සේවාවක්. අපේ දරු පරපුර යහමගට යොමු කිරීම සඳහා දහම් පාසල් ගුරුවරුන්ගෙන් ඉටුවන සේවාව තවමත් ප්‍රමාණාත්මක අගය කිරීමකට ලක් වී නොමැති බව නම් පැහැදිලියි.

පිරිවෙන්වලින් සිදුවන සේවාවත් ඉතා ප්‍රශංසනීයයි. පිරිවෙන් වර්ග 4 ක් දැනට ක්‍රියාත්මක වෙනවා. මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, පිරිවෙන් විද්‍යායතන සහ පිරිවෙන් අභ්‍යාස ආයතන නමින් පිරිවෙන් අධ්‍යාපනය ක්‍රියාත්මකයි.

සමහර වෙලාවට පාසල් නොගිය කට්ටි පැනපු දරුවෝ යහමගට ගන්නේ අපේ පිරිවෙන්වලින්. මම ඒ විදියට යහමග ගිය දරුවෝ දැකලා තියෙනවා.

බුදු දහම දේශනා කොට ඇත්තේ බෞද්ධයින් සඳහා පමණක් නොව සියලු ලෝවැසියන් සඳහායි. එවන් වු දහමක් ලොවට ගෙනයාම සඳහා අපේ රටේ බෞද්ධ භික්ෂු පරපුරෙහි ඥානය, දැනුම, පළපුරද්ද, ධර්ම විෂයයෙහි දැනුම සහ සන්නිවේදන හැකියාවන් වත්මන් ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන විය යුතුයි.

සිංහල භාෂාව වගේම ලෝකයේ අනෙකුත් භාෂා පවා අපි ඉගෙන ගත යුතුයි. ඒ අතින් බලන කළ පිරිවෙන් අධ්‍යාපන අංශය වැඩි දියුණු කිරීම සඳහා මීට වඩා රජයේ අවධානය යොමුකළ යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් මාස තුනකට පමණ පසුව සංඝසමාජය තුළ ඇති වූ යම් යම් ගැටළු නිරාකරණය කිරීම සඳහා ධර්ම සංඝායනාවක් අවශ්‍ය උනා.

ඒ ප්‍රථම ධර්ම සංඝායනාවට පෙර භික්ෂූන් වහන්සේලා අජාසත්ත රජු වෙත වැඩම කොට ධර්ම සංඝායනාව සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී අජාසත්ත රජතුමා භික්ෂූන් වහන්සේලාට පවසා සිටියේ ඔබ වහන්සේලා ධර්ම චක්‍රය පවත්වා ගෙන යන ලෙසත්, තමා ඊට අවශ්‍ය සම්පූර්ණ රාජ අනුග්‍රහය ලබා දෙන බවත්ය.

එයින් අපට පෙනී යන්නේ සම්බුද්ධ සාශනයෙහි පැවැත්ම සහ දියුණුව සඳහා රාජ්‍ය අනුග්‍රහය එදත් නොඅඩුවම ලැබුණු බවයි. එය අදටත්, හෙටටත් එදාටත් වඩා අවශ්‍ය වෙනවා.

2005 සිට 2014 දක්වා වූ කාලය තුළ පිරිවෙන් අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්නට අපට හැකි වුනා. ඊට පෙර කිසි කලෙක නොවූ පරිදි පිරිවෙන් අධ්‍යාපනයට ඉහළම රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ අපේ රජය යටතේ.

ඉදිරියටත් අපි පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ අනුව අප විසින් පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් කරන ලද සේවාවන් සියල්ල විස්තර කිරීමට මේ අවස්ථාව නොවූවත්, අප විසින් ඉටු කරන ලද සේවාවන් කිහිපයක් මගේ මතකයට එනවා.

පිරිවෙන් ආධාර දෙගුණයකින් වැඩි කිරීම අවශ්‍යයි. පුස්තකාල ආධාර මුදල් වැඩි කිරීමත යුතුකමක් ලෙස සලකනවා. ස්වේඡාවෙන් තමන්ගේ කාලය දහම් අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරන ගුරුවරුන් අපි ධෛරයමත් කළ යුතුයි.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *