වැලිගම ඝාතකයින් සොයන්න පොලීසිය CCTV කැමරා පනහක (50) දත්ත ඔස්සේ විමර්ශන

වැලිගම ඝාතකයින් සොයන්න පොලීසිය CCTV කැමරා පනහක (50) දත්ත ඔස්සේ විමර්ශන


වැලිගම ඝාතකයින් සොයන්න පොලීසිය CCTV කැමරා පනහක (50) දත්ත ඔස්සේ විමර්ශන

(23.10.2025 – 19:30 +0530 – sinhala.adaderana.lk)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සීසීටීවී කැමරා පනහක (50)පමණ දර්ශන අධීක්ෂණය කරමින් මේවන විට විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.

වෙඩික්කරු සහ ‘ඔහු පිටව ගිය යතුරුපැදිය පැදවූ තැනැත්තා’ අතරමගදී වෙන් වෙන්ව යතුරුපැදි දෙකක (2) ගමන් කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊයේ(22) උදෑසන එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යාල කාමරය තුළදීම නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් පවසන්නේ වෙඩික්කරුවන් ප්‍රහාරයෙන් අනතුරුව මාතර දෙසට ගමන්කර ඇති බවට තොරතුරු අනාවරණ වී බවය.

මේ අතර අදාළ විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් අද (23) පස්වරුවේ zoom තාක්ෂණය ඔස්සේ පවත්වා තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධීක්ෂණයෙන් තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 4 ක් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ලක් වූ අවස්ථාවේ ඝාතනය මෙහෙයවූ බව කියන ‘මිදිගම රුවන්’ අධිකරණ කටයුත්තක් සඳහා පිටතට රැගෙන ගොස් සිට ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.

පොලිසිය සැකපළකරන්නේ අදාළ ඝාතනය පිළිබඳව එල්ලවන චෝදනාවලින් ගැලවීම සඳහා ඔහුව අධිකරණයට රැගෙන යන දිනකදීම සභාපතිවරයා ඝාතනය කිරීමට සූදානමින් සිට ඇති බවය.

මේ අතර ‘මිදිගම රුවන්’ට අයත් බව කියන ගිනිඅවි 4 ක් පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිගම ප්‍රදේශයෙන් සොයාගැනීම සඳහා ඔත්තුව ලබාදී ඇත්තේ ද ඝාතනය වූ සභාපතිවරයා බව වාර්තාවෙයි.

ඒ හේතුවෙන් ‘මිදිගම රුවන්’ ඔහු සමග දැඩි වෛරයෙන් සිට ඇති බවටද තොරතුරු වාර්තා වන බව පොලිසිය පැවසීය.

ඊට පළිගැනීමක් වශයෙන් ඔහු මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසියේ සැක පල කරයි ෴

+++

වැලිගම සභාපති ඝාතකයින් පැන ගිය හැටි CCTVයෙන් හෙළිවෙයි

(23.10.2025 – hirunews.lk)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි තැබීමෙන් පසු යතුරුපැදියෙන් පලාගිය සැකකරුවන් ටික දුරක් ගොස් ඉන් අයෙකු බැස තවත් යතුරුපැදියක නැගී පලා ගොස් ඇති බවට හෙලිවී තිබෙනවා.

ඒ පොලිසිය සිදුකළ සීසීටීවී පරීක්ෂාවේදීයි.

ඒ අනුව එසේ පලාගොස් ඇත්තේ වෙඩික්කරු ද එසේ නොමැතිනම් පැදිකරු ද යන්න සම්බන්ධයෙන් සෙවීම සදහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඊයේ (22) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සදහා යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) පැමිණ තිබුණා.

ඉන් එක් අයෙකු ප්‍රාදේශීය සභාවේ මහජන දිනය වූ ඊයේ (22) සිවිල් වැසියෙකු සභාපතිවරයා මුණ ගැසෙන අයුරින් පැමිණ මෙම වෙඩිතැබීම සිදු කර තිබූ බවයි පොලිසිය කියා සිටියේ.

එහිදී තුවාල ලැබූ සභාපතිවරයා මාතර මහ රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබුණා.

මෙම ඝාතනය පාතාල ක්‍රියාවක් බවට සැකකරන පොලිසිය ඒ ඔස්සේ විමර්ශන දියත් කරමින් සිටිනවා.

ඒ සදහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පාතාල සබඳතා තිබූ බවටයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සදහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධානම සැකය දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මිදිගම රුවන්’ හෙවත් ‘රුවන් ජයසේකර’ වෙත එල්ල වී තිබෙනවා.

විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ පසුගිය මස 24 වනදා වැලිගම – ඉබ්බාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ‘මිදිගම රුවන්’ට අයත් ගිනි අවි කිහිපයක් සමග ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඊට අදාළ තොරතුරු ‘පොලිස් විශේෂ කාර්ය බලකාය’ වෙත ලබා දී ඇත්තේ ‘ලසන්ත වික්‍රමසේකර’ බවට සැකයකින් ‘මිදිගම රුවන්’ සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මේ අතර ‘සමගි ජනබලවේගයේ’ වැලිගම ආසන සංවිධායක වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති ‘රෙහාන් ජයවික්‍රම’ ‘හිරු ප්‍රවෘත්ති’ සමග සංවාදයට එක්වෙමින් සදහන් කළේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය මස 29 වනදා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබූ බවයි.

මේ අතර ඝාතනය කෙරුණු සභාපතිවරයාගේ දේහය අද (23) අලු‍යම මිදිගම පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා. ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 26 වනදා පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි ෴


ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් සහිත සුඛෝපභෝගී මෝටර් රථය දැලේ

(23.10.2025 – hirunews.lk)

නීති විරෝධිව ආනයනය කර ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් නිකුත් කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සුඛෝපභෝගී මෝටර් රථයේ ලියාපදිංචිය සිදුකර ඇත්තේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස් කරමින් බව ද පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 65-0536 දරණ ටොයොටා ලෑන්ඩ් කූසර් වර්ගයේ ප්‍රාඩෝ ජිප් රථයක්. එම රථය ගල්කිස්ස පොලිස්ථානයට ඉදිරිපත් කළ බව ද වාර්තා වෙනවා.

මෙම රථය අංක 65-0536 දරණ කාර් රථයේ අංකය යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කර රත්මලාන පදිංචි කාන්තාවකට විකුණා තිබි ඇතැයි සඳහන්.

මෙම රථය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කරනු ලබනවා ෴


Chat GPT ගෙනා Atlas වලින් අඩු වියදමින් රට යමු | මොනාලිසා අනතුරේ (23.10.2025)

+


අපේක්ෂා රෝහලේ නේවාසික දරුවන්ට වංචා කළ තිදෙනකු (3) රිමාන්ඩ්

(23.10.2025 – hirunews.lk)

මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඡායාරූප වංචනික ලෙස ලබාගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළ කර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) ලබන 06 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අසංග එස්. බෝදරගම අද (23)නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරුවන්ගේ බැංකු ගිණුම් අත්හිටුවන ලෙසට මහජන බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයාහට දැනුම් දීමට කටයුතු කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, පිළිකා රෝගීන් ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඡායාරූප වංචනික ලෙස ලබාගෙන එම ඡායාරූප වලට බැංකු ගිණුම් ඇතුළත් කර මුහුණු පොත හරහා බෙදා හරිමින් මුදල් වංචා කර ඇති බවයි.

තවද සැකකරුවන් සතු ජංගම දුරකථන අත්අඩංගුවට ගැනීමෙන් පසුවත් ඔවුන්ගේ බැංකු ගිණුම් වලට රුපියල් 100, 200, 1000 වැනි මුදල් බැර වෙමින් පවතින බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ, මුල් කාලයේදී මෙම සැකකරුවන් විසින් පිළිකා රෝගීන්ට ආධාර මුදල් එකතු කර දීම සිදු කළත් පසුව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම නිසා මෙලෙස වංචා කර ඇති බවයි.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම මත මෙම මුදල් අයථා ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා තම සේවා දායකයන්ට ඇප ලබාදෙන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය ලබන 06 සලකා බැලීමට නියෝග කළා ෴


පාරෙන් ඇහිලූ රුපියල් අසූදහසක් සහිත මුදල් පසුම්බිය අයිතිකරු අතටම

(23.10.2025 – hirunews.lk)

රුපියල් අසූ දහසක් (80,000) සහිත මුදල් පසුම්බියක් අහුලා ගත් පෙදරේරු ශිල්පියකු එය පොලීසියට භාරදීමෙන් අනතුරුව අයිතිකරුට භාර දී තිබෙනවා.

කුඩාඔය පොලිස් වසමට අයත් සමඟිපුර පදිංචි පෙදරේරු ශිල්පියෙකු වන ජී.ඩබ්ලිව්. ලක්ප්‍රිය ලාල් විසින් කුඩාඔය බලහරුව මාර්ගයේ වැටී තිබියදී අහුලා ගත් රුපියල් අසූදහසක් (80,000) සහිත මුදල් පසුම්බිය පොලිසියට භාරදීමෙන් අනතුරුව අයිතිකරුට භාරදී තිබෙනවා.

ඌව පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ පියෙකු කුඩාඔය බලහරුව මාර්ගයේ යමින් සිටියදී පියාගේ මුදල් පසුම්බිය නැතිවී තිබෙනවා.

එම මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පෙදරේරු ශිල්පියා මුදල් පසුම්බියා අහුලාගෙන ඇති අතර එය කුඩාඔය පොලිසියට භාරදීමෙන් අනතුරුව පසුම්බියේ තිබූ ඩබ්ලිව්.එම්. අසිල අනුහස් නැමති පසුම්බිය හිමිකරුගේ දරුවාගේ සිසු උදාන සාමාජික කාඩ් පතේ තොරතුරු අනුව අයිතිකරුවන් සොයා ගැනීමට පහසු වූ බව පොලිසිය පවසනවා.

පසුව ඔවුන් පොලිසියට ගෙන්වා මුදල් පසුම්බිය අයිතිකරුට භාරදී තිබෙනවා.

පසුම්බියේ තිබූ මුදල් ඇතුළු කිසිවක් අඩුවී නොමැති බව පැවසූ අයිතිකරුවන් පසුම්බිය අහුලාගත් පෙදරේරු ශිල්පියාට සිය ප්‍රණාමය පුදකර සිටි බව කුඩාඔය පොලිස් ස්ථානාධිපති ජේ.ඒ.පී. කුමාරසිංහ පැවසුවා ෴


තැපැල් කන්තෝරුවට රටින් ආව මත් පාර්සල් ගෙනියන්න ඇවිත් කොටු

(23.10.2025 – hirunews.lk)

‘අයිස්’ නමැති මත්ද්‍රව්‍යවලට සමාන ‘මෙන්ඩින්’ නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් හයක් (6) සහිත පාර්සල් දෙකක් (2) සමග පුද්ගලයකු ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ ත්‍රිකුණාමල ඒකකයේ නිලධාරීන් පවසනවා.

බෙල්ජීයමේ සිට මූතූර් ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට එවා ඇති මෙම පාර්සල් දෙක (2) ත්‍රිකුණාමල තැපැල් කාර්යාලයේ විදේශීය තැපැල් පාර්සල් අංශයේ දී රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබුණා.

පසුව එම පුද්ගලයාට පාර්සල් දෙක (2) ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු සමග මත්ද්‍රව්‍ය පාර්සල් දෙක (2) පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ ත්‍රිකුණාමල ඒකකයට භාරදී තිබුණා.

මෙම මත් ද්‍රව්‍ය පාර්සල් දෙක (2) ඩුබායිවල වෙසෙන මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් බෙල්ජියමේ සිට ඒවා ඇති බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල කොට්ඨාසයේ වැඩ බලන පොලිස් අධිකාරි ජේ.එල්. අජිත් කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ත්‍රිකුණාමල ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴


‘අයිස්’ ගැහුවොත් පිළිකාත් හැදෙයි : විශේෂ හෙළිදරව්වක්

(23.10.2025 – hirunews.lk)

‘ක්‍රිස්ටල් මෙත්’ හෙවත් ‘අයිස්’ නමින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය භාවිතයෙන් පිළිකා ඇතිවීමට ඇති අවදානම ඉහළ නංවන බවට නවතම පර්යේෂණ හරහා අනාවරණය වී ඇතැයි පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිදත් විජේසේකර පවසනවා.

‘අයිස්’වල ඇති ප්‍රබල ඇබ්බැහි කරවන ද්‍රව්‍යයෙහි බලපෑම මොළයට සහ මානසිකත්වයට තිබෙන බව බොහෝ දෙනා දැන සිටියද, එය පිළිකාකාරකයක් ලෙස ක්‍රියා කරන බව බොහෝ දෙනා නොදන්නා බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

‘අයිස්’වල අන්තර්ගත ද්‍රව්‍යය මඟින් සෛලවල DNA වලට සෘජුවම හානි කිරීම, ඔක්සිකාරක ආතතිය (Oxidative Stress) වැඩි කිරීම සහ ‘අයිස්’ සෑදීමට යොදා ගන්නා බෙන්සයිල් (Benzyl) කාණ්ඩයේ රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක ලෙස ක්‍රියා කිරීම මගින් පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන බවයි අවධාරණය කෙරෙන්නේ.

‘අයිස්’ භාවිතය හේතුවෙන් මේ වන විටත් අක්මාවේ පිළිකා (Liver Cancers) ඇතිවීමේ අවදානම වැඩි බව සොයාගෙන ඇති අතර, ඊට අමතරව මුඛ පිළිකා, පෙනහළු පිළිකා, පියයුරු පිළිකා සහ බඩවැල් පිළිකා සමඟද සම්බන්ධතාවක් පවතින බව අනාවරණය වෙමින් පවතිනවා.

මීට අමතරව ‘අයිස්’ භාවිත කරන පුද්ගලයන් තුළ ඇති දුර්වල මුඛ සෞඛ්‍යය, එන්නත් කටු භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි හෙපටයිටිස් B වැනි ආසාදන සහ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ තත්ත්වය අඩු මට්ටමක පැවතීමද පිළිකා අවදානම තවදුරටත් ඉහළ දැමීමට හේතුවක් බවයි විශේෂඥ වෛද්‍ය සිදත් විජේසේකර පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙම සාධක සියල්ල එක්වීමෙන් ‘අයිස්’ භාවිතා කරන්නන්ට පොදුවේ පිළිකා වැළඳීමේ සම්භාවිතාව වැඩි වනවා.

ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන ක්‍රම (Rehabilitation methods) මඟින් සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි වුවද, මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ‘අයිස්’ භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්වූ පමණින් ‘අයිස්’ නිසා ශරීරයේ ඇති කළ පිළිකා අවදානම එලෙසින්ම ඉවත් නොවන බවයි.

එම නිසා දැනටමත් ඇතිවූ අවදානම ආපසු හැරවිය නොහැකි බැවින්, මෙම විනාශකාරී මත්ද්‍රව්‍යයට තවත් අයකු ගොදුරු වීම වැළැක්වීම වඩාත් වැදගත් පියවරක් බවයි විශේෂඥ වෛද්‍ය සිදත් විජේසේකර සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් මෙම ‘අයිස් ඇබ්බැහිය’ට කිසිදු තරාතිරමක අයකු වචනයකින් හෝ අදහස් දැක්වීමකින් සහයෝගය නොදැක්වීම සමස්ත සමාජයේම යහපතට හේතුවන බව වෛද්‍ය මතයයි ෴


‘බැකෝ සමන්’ගේ රුපියල් කෝටි 08 ක බස් දෙකක් අල්ලයි

(23.10.2025 – hirunews.lk)

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ‘බැකෝ සමන්’ට අයත් රුපියල් කෝටි 08 කට ආසන්න වටිනාකිමින් යුත් සුඛෝපභෝගී බස් රථ දෙකක් (2) ‘බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය’ භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, රිමාන්ඩ් බාරයේ පසුවන ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ‘ශාධිකා ලක්‍ෂාණී’ නමැත්තිය ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නියෝග කළා.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා ෴

+++

පාතාල නායක ‘බැකෝ සමන්’ගේ – සුඛෝපභෝගී බස් 2 කොටු වෙයි (23.10.2025)

+


දෙවිවරු වගේ වෛද්‍යවරුන්ට බීලා ඇවිත් දාපු සත්තම | ඩයගම රෝහල වැසෙයි | වෛද්‍යවරියන්ට මරණ තර්ජන (23.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *