(23.09.2019 – divaina.com)
(අද (23 දා)ට යෙදෙන ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාණන් වන, ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ පනස් වන ගුණ සමරු උත්සවය නිමිත්තෙනි)
නිදහසට පමණක් දෙවෙනි වූ ජයග්‍රහණය
ශ්‍රී ලාංකිකයන් ජාතියක් ලෙස ලබාගත් ජයග්‍රහණ අතර නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීම, ජාතික නිදහස ලබාගැනීමට පමණක් දෙවැනි වූ ජයග්‍රහණයකි. මෙරට පීඩිත ජන කොටස්‌වලට සම්ප්‍රදායෙන් හෝ කුලයෙන් උරුම වූ ජීවන අවකාශය ඉක්‌මවා යැමේ භාග්‍යය ලැබුණේ නිදහස් අධ්‍යාපනයෙනි. අධ්‍යාපනය ලැබීම සඳහා පැවති ආර්ථික සමාජ බාධක අභිබවා යමින් සැමට සම අවස්‌ථා ලැබෙන සේ නිදහස් අධ්‍යාපනය ස්‌ථාපිත කිරීම කන්නන්ගර මහතාගේ සිහිනය විය. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාල තුළ පීඩාවට පත්, ලාංකිකයන්ගේ පරාධීන මානසිකත්වයට පිළියම් සෙවූ එතුමා, සැමට උරුමයක් ලෙස අධ්‍යාපනය නොමිලේ ලබාදීම තුළින් එය වෙනස් කළ හැකි බව සිතුවේය. ලෝකය වෙනස් කළ හැකි බලසම්පන්නම ආයුධය වන්නේ අධ්‍යාපනයයි. වර්තමානය වනවිට, ලොව ඉහළ සාක්‌ෂරතාවක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්වීමට, ආචාර්ය සී.ඩබ්.ඩබ් කන්නන්ගර මහතා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන ක්‍රමය මැනවින් ඉවහල් වී ඇත. මේ රටේ ජනතාව තුළ සිදු විය යුතු නියම විප්ලවය වන දැනුම පදනම් කර ගත් බුද්ධි විප්ලවය සඳහා අඩිතාලම සකස් කරන ලද්දේ කන්නන්ගර මහතා බව රටේ සමස්‌ත ජනතාවම දනිති.
එවකට අධිරාජ්‍යවාදී පාලකයන්ගේ අරමුණු සඳහා යොදාගෙන තිබූ අධ්‍යාපන ක්‍රමය නිසා ස්‌වභාෂා අධ්‍යාපනයට තැනක් නොතිබුණි. ධනපති පවුල්වල අයට පමණක් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය උරුමවී තිබූ අතර එය සමාජ අභිවර්ධනයට බාධාවක්‌ව පැවතිනි. එමනිසා ශ්‍රී ලාංකීය අධ්‍යාපන පද්ධතිය ජාතික ලක්‍ෂණයන්ගෙන් සමන්විත කරවීම කන්නන්ගර චින්තනයේ අභිප්‍රාය විය. ඒ සඳහා ගත් පියවරයන් වශයෙන් එතුමා ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන පනත අතිශයින්ම වැදගත්ය. නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් එතුමා කියා සිටියේ “මේ රටේ සෑම ළමයෙකුටම ඔහුගේ මවුපියන්ගේ වත්පොහොසත්කම නොසළකා, ස්‌වකීය ඥාන ශක්‌තිය දියුණුකර ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව ලබාදෙමින්, ප්‍රාථමික අවදියේ පටන් විශ්වවිද්‍යාලය දක්‌වා නිදහස් අධ්‍යාපනය ඇතිවිය යුතුය. මෙම තීරණය මම තදින්ම අනුමත කරමි” යනුවෙනි.
අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයකි
1944 ජුනි මස නිදහස් අධ්‍යාපන පනත පිළිබඳ රාජ්‍ය මන්ත්‍රණ සභා විවාදයේදී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා විශිෂ්ට දේශනයක් ඉදිරිපත් කළේය. එහි පහත සඳහන් කොටස එතුමාගේ හැගීම කොපමණ විශිෂ්ට දැයි පෙන්වා දෙයි. "ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරු
ඩින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්‌ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදියට අපට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය, දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත්, සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවන් වේ නම් ඒ ආත්ම වර්ණනාව ඔගස්‌ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොතරම් ශ්‍රේෂ්ඨ ද?” (හැන්සාඩ් 944 – 946 පිටු) එතුමා සිය බලය, නිලතල පාවිච්චි කළේ මෙරට දුගී දුප්පත් දරුවන්ගේ යහපත වෙනුවෙන් මිස එතුමාගේ පෞද්ගලික සුඛ විහරණය හෝ යහපත සඳහා නම් නොවේ.
රන්දොඹෙන් පෑවූ හිරු
ක්‍රිස්‌ටෝපර් විලියම් විඡේකෝන් කන්නන්ගර මහතා 1884 ඔක්‌තෝබර් 13 වන දින අම්බලන්ගොඩ, රන්දොඹේ ග්‍රාමයේ උපත ලැබීය. එතුමාගේ පියා එවකට බලපිටිය උසාවියේ පිස්‌කල් තනතුර දැරූ ජෝන් දානියෙල් විඡේකෝන් කන්නන්ගර මහතාය. එතුමාගේ මව එමලී විඡේසිංහ මාතාවයි. බාලවියේ පටන්ම ඉගෙනීමට සුවිශේෂී දක්‌ෂතාවක් දැක්‌වූ කන්නන්ගර දරුවා, අම්බලන්ගොඩ වෙස්‌ලියෙන් ඉංග්‍රීසි පාසලේ මූලික අධ්‍යාපනය ලැබීය. එහිදී සියලු විෂයන් සම්බන්ධයෙන් දැක්‌වූ විශිෂ්ට දක්‌ෂතාවය හේතුවෙන් ශිෂ්‍යත්වයක් ලැබ, ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේදී ද්විතීක අධ්‍යාපනය ලැබීය. එම පාසලේදී ද පාසලේ දක්‌ෂතම ශිෂ්‍යයා ලෙස සම්මාන ලැබූ කන්නන්ගර දරුවා, 1901 දී කේම්බ්‍රිඡ් සීනියර් විභාගයෙන්ද දක්‌ෂතම ශිෂ්‍යයා වශයෙන් සමත්විය. 1904 දී රිච්මන්ඩ් විද්‍යාලයේ උප ගුරුවරයකු වශයෙන් සේවය කළේය. 1910 දී නීතිඥ විභාගයෙන් සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු වශයෙන් කටයුතු කළේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගාල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් 1923 දී මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූ කන්නන්ගර මහතා ලංකා ජාතික සංගමයේ සභාපති පදවියට 1930 දී පත් විය.
ඩොනමොර් ආණ්‌ඩු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වූ එතුමා 1931 සිට 1947 දක්‌වා වසර 16 ක් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා විශාල සේවයක් ඉටු කළේය. එතුමා අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ කාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ස්‌වර්ණමය යුගය විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපනය පිළිබඳ විධායක කමිටුවේ ප්‍රථම සභාපතිවරයා ලෙස කටයුතු කළ එතුමා, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල දක්‌වා නිදහස් අධ්‍යාපනය ලබාදීම, ප්‍රාථමික පාසල්වල මව් භාෂාව ඉගැන්වීම හා තුන්වන ශේ්‍රණියේ සිට සියලුම පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම යනාදී බොහෝ වැදගත් යෝජනා ඉදිරිපත් කළේය.
ග්‍රාමීය අධ්‍යාපනය
අපට සර්වජන ඡන්ද බලය ලැබෙන විට ශ්‍රී ලංකාවේ සාක්‌ෂරතාවය 20% කි. ඉන් පෙනී ගියේ රටේ බහුතරයකට අධ්‍යාපන පහසුකම් නොලැබුණු බවයි. එම නිසා අධ්‍යාපන අවස්‌ථා හැකි තරම් පුළුල් කිරීම ද කන්නන්ගර මහතාගේ සංකල්පයක් විය. ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමය හා වැඩිහිටි අධ්‍යාපන ක්‍රමය ආරම්භ කළේ ඒ නිසාය. ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමය ඇරඹීම තුළින් කන්නන්ගර මහතා අපේක්‌ෂා කළේ හැකි තරම් ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ඉදිකිරීමත්, ඒවායේ විෂය මාලාවන්ට ප්‍රායෝගික විෂයයන් ඇතුළත් කිරීමටත් ය. එමෙන්ම පාසල් හැර යන ළමුන් සඳහා විවිධ ශිල්ප හා කර්මාන්ත පිළිබඳ පුහුණුවක් ලබාදීමටද පියවර ගත්තේටය. 1932 හන්දෙස්‌ස ග්‍රාමයෙන් ඇරඹූ මෙම ග්‍රාමීය පාසල් ක්‍රමය කලක් ගත වන විට දිවයින පුරා ව්‍යාප්ත විය.
පහ වසර ශිෂ්‍යත්වය හඳුන්වා දුන්නේ ද ඔහුය
අහම්බෙන් තමන්ට ලැබුණු ශිෂ්‍යත්වයකින් උසස් විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට ඔහුට ලැබුණු හිමිකම සමස්‌ත ශ්‍රී ලාංකික දරු පරපුරට හිමිකර දීම සඳහා පහ වසර ශිෂ්‍යත්වය හඳුන්වා දුන්නේ එතුමා විසිනි. 5 වසර ශිෂ්‍යත්ව සමතුන් සඳහා එකී විදුහල්වල නේවාසිකාගාර ඇතිකර ගැමි දරුවන්ට නව අධ්‍යාපන ප්‍රවාහයේ කිමිදෙන්නට ඉඩහසර ලබා දුන්නේය. අධ්‍යාපනය තුළින් පූර්ණ මිනිසකු බිහිකිරීමේ අපේක්‌ෂාවෙන් ඊට අනුරූපී පාසල් විෂය නිර්දේශ සකස් කිරීමෙන් නොනැවතී, ගුරු විද්‍යාල පද්ධතියක් මගින් ගුරුවරු පුහුණු කොට අධ්‍යාපනයේ නව මංපෙත් විවෘත කළේ කන්නන්ගර ශ්‍රීමතාණන් ය. එතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය වන ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ පුරෝගාමියා ද විය. අධ්‍යාපනයේ සම අවස්‌ථා සියලු දරුවන්ට අත්පත් කර දෙන්නට එතුමන් එදා දැරූ උත්සාහය විවිධ ක්‌ෂේත්‍රයන්හි සුවිශේෂී දක්‌ෂතා සහිත බුද්ධිමතුන් රැසක් රටට දායාද කරන්නට සමත් වූවා පමණක් නොව, ඇති නැති පරතරය මත අධ්‍යාපන අයිතීන් අහිමිව සිටි බොහෝ දරුවන්ට අධ්‍යාපනය හරහා සවිබල වන්නට ද සැබෑ පිටුවහලක් අත්කර දුන්නේය.
රට පුරා මධ්‍ය විද්‍යාල 54 ක් ඇරඹීය
උසස් ඉංග්‍රීසි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට එතුමා ලත් වරය, ඒ පිළිබඳ සිහින පමණක් මැවූ ගැමි දරුවන්ටත් ලබාදිය යුතුය යන්න කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ චින්තනය විය. දිවයින පුරා මධ්‍ය විද්‍යාල 54 ක් බිහි කළේ එම උසස් සිතුවිල්ල ක්‍රියාවට නැංවීම සඳහා ය. ගැමි දරුවන් තුළ සැඟව පැවති කුසලතා කන්නන්ගර මහතාගේ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ තුළින් වැඩෙන්නට විය. කලා විෂයන් පමණක් නොව, විද්‍යා හා තාක්‌ෂණ විෂයයන් කෙරෙහි ද දරුවන් යොමු කරනු වස් මධ්‍ය විද්‍යාල සකලාංග පූර්ණ අධ්‍යාපන මධ්‍යස්‌ථාන බවට පත් කළේය.
සියලු ජාතීන්ට එකසේ සැළකීය
එතුමාගේ නිදහස් අධ්‍යාපන චින්තනය සිංහලයින්ට සීමා නොවීය. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් යන සියලු දරුවන් කෙරෙහි කරුණාවෙන් සිතා බැලූ එතුමා නැගෙනහිරින් කාත්තන්කුඩි, මන්නාරම් තුඩුවේ එරුක්‌කලම්පිඩ්ඩි, පේදුරු තුඩුවේ නෙල්ලිඅඩි, යාපනයේ වාසවිලාන්, දකුණේ දික්‌වැල්ල, උතුරුමැද අනුරාධපුර හා කැකිරාවද, මධ්‍යම කඳුකරයේ හැදුණුවැව, වළල, පොරමඬුල්ල හා ගිනිගත්හේන ආදී වශයෙන් සෑම ගමක්, පළාතක්, දිස්‌ත්‍රික්‌කයක් ආවරණය වන සේ මධ්‍ය විද්‍යාල 54 ක් ආරම්භ කරමින් තම දර්ශනය ක්‍රියාවට නැංවීය. ශ්‍රී ලාංකීය භූමිය මත උපදින සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් සියලු දරුවන් කන්නන්ගර මහතා විසින් හඳුන්වා දුන් ජාතික නිදහස් අධ්‍යාපන පිළිවෙතේ සාරයෙන් රෝපිත වුවෝ වෙති. එමනිසා ධනපති පංතියට සීමාවී තිබූ අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඈත දුෂ්කර ගම්මානවල උපදින අහිංසක දුප්පත් දරුවන්ටත් හිමිකර දීමේ ප්‍රගතිශීලී වැඩපිළිවෙලේ සාඩම්බර හිමිකරුවා කන්නන්ගර ශ්‍රීමතාණන්ය.
පරමාදර්ශී දේශපාලනඥයෙක්
පරමාදර්ශී දේශපාලනඥයෙක් හා ශේ්‍රෂ්ඨ පාලකයකු වූ කන්නන්ගර මහතා දේශපාලනයේ පුරෝගාමියකු විය. එතුමා වර්තමාන දේශපාලනඥයන්ට ආදර්ශයක් ලද හැකි හොඳම පුද්ගලයා ය. සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දේශපාලන භූමියේ ගත කළ කාලය තුළ නොකඩවා පාර්ලිමේන්තු සභා වාරවලට පැමිණිමෙන්ද, සභා වාර අවසන් වන තෙක් සභා ගැබ තුළ රැඳී සිටීමෙන්ද වර්තමාන දේශපාලනඥයන්ට පරමාදර්ශයක් විය. වර්තමානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට එන්නේද කලාතුරකිනි. පැමිණියත් තම නම ලකුණු කරගෙන, දෛනික පැමිණීමේ දීමනාව ලැබෙන බව තහවුරු කරගත් සැණින්, ආපසු යන තත්ත්වයකට පත් වී සිටිති. පක්‌ෂ නායකයන්ට ඔවුන් පාර්ලිමේන්තු සභා වාරවලට ගෙන්වා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු ව ඇත. ඇතැම් දිනෙක මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට කිසිදු ඇමැතිවරයකු නොමැති වීම ගැන කථානායකවරයා අවවාද කරන අයුරු සුලභ දර්ශනයකි. අද අති විශාල මුදල් කන්දරාවක් මන්ත්‍රීවරුන් වෙත නොයෙකුත් දීමනා ලෙස ලබා දෙද්දී ඒ කිසිවක් නොමැති යුගයේ කන්නන්ගර මහතා ලබා දුන් ආදර්ශය නිකම්ම ආදර්ශයක් නොව පරමාදර්ශයක් වන්නේය.
වර්තමාන දේශපාලනඥයන් මෙන් ධනය ඉපයීමට හා මඩිය තරකර ගැනීමට දේශපාලනය නොකළා මෙන්ම, මුදල් ඉපයිය හැකි නීතිඥ වෘත්තීය පවා අතහැර, දේශපාලනයට පැමිණියත්, දේශපාලනයෙන් ඉවත් වී ඇමැතිකම අත්හළ පසුව එතුමාට ජීවත්වීමට මාර්ගයක් තිබුණේ නැත. පසු කලෙක තමන්ට ජීවත් වීමේ මගක් නොමැති නිසාත්, බේත්හේත් ගන්නට මුදලක් නොමැති නිසාත් තමාට විශ්‍රාම වැටුපක් ඉල්ලා පාර්ලිමේන්තුවේ කථානායකතුමාට ලිපියක් යෑවීමට සිදු වූයේත්, එතුමා ධනය ඉපයීමට වඩා සේවයට කැපවූ උත්තමයකු වූ බැවිනි. 1961 ඔක්‌තෝබර් 26 දින එතුමා සිය අභියාචනය එවකට කථානායක ආර්. එස්. පැල්පොල මහතාට යොමු කළ අතර, එවකට අගමැතිනිය වූ ගරු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණිය සිය මැති ඇමැතිවරුන් දැනුවත් කොට, 1963 දී පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන, රුපියල් 10,000/- ක පාරිතෝෂික මුදලක් ගෙවූ අතර ඉන් අනතුරුව මසකට රුපියල් 500 බැගින් විශ්‍රාම වැටුපක් ද ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දැවැන්ත විප්ලවයක් කොට දුප්පතුන්ගේ දරුවන් පොහොසතුන් බවට පත් කළ එතුමා, රුපියල් 500 ක විශ්‍රාම වැටුපක් ලබමින් දුක්‌බර ජීවිතයක් ගත කර, 1969 දී ජීවිතයෙන් සමුගත්ත ද, වර්තමාන දේශපාලනඥ පරපුරට පෙන්නුම් කළේ, දේශපාලනය මුදල් ඉපයීමට නොව ජනතා සේවයට කැප කළ යුතු බවට පරමාදර්ශයක් සපයමිනි. රුපියල් කෝටි ගණනින් වංචනිකව මුදල් උපයන දේශපාලනඥයෝ කන්නන්ගර චරිතය දෙස බලා කඳුළු සැලිය යුතු බවත්, කන්නන්ගර මහතා දෙව් ලොව සිටියදී, වංචනිකයන් අපායේ සිට දුක් විඳින සැටිත් අපට මැවී පෙනේ. එතුමාගේ ජීවිතයේ අරමුණු හා බලාපොරොත්තු තිබුණේ දුප්පත් දරුවන්ට නොමිලේ ඉගැන්වීම කෙරෙහිය. ඒ තුළින් දිළිඳු බව තුරන් කොට සාධාරණ සමාජයක් බිහිකිරීම කෙරෙහිය. එතුමා සාධාරණ හා තිරසාර සමාජයක් ගැන කතා කරන ඒත් කිසිවක් නොකරන දේශපාලඥයන්ට පාඩමක් ද කියා දුන්නේය. කතාවට වඩා ක්‍රියාවට තැන දීම එතුමා ආදර්ශයෙන් ද පෙන්වීය.
කෘතවේදී ආදි සිසුන්
එතුමා විසින් අරඹන ලද නිදහස් අධ්‍යාපන පිළිවෙතින් ලක්‌ෂ 44 කට ආසන්න දරුවන් පිරිසක් දිනපතා පෝෂණය ලබති. එහෙත් තමන් අත් විඳින නිදහස් අධ්‍යාපන පිළිවෙතේ නිර්මාතෘ වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාව දවසකට වරක් නොව වසරකට වරක් වත් ඔවුන් විසින් සිහිපත් කරන්නේද? යන්න ප්‍රශ්නයකි. අධ්‍යාපන ක්‌ෂේත්‍රය තුළ මෙතරම් විශාල වෙනසක් හා ප්‍රතිසංස්‌කරණ රාශියක් කළ ඒ යුග පුරුෂයාගේ පිළිරුවක් පැරණි පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිකිරීමට සමස්‌ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය මූලිකත්වය ගැනීම, එතුමාගේ ශිෂ්‍ය පරම්පරාව කොපමණ කෘතවේදී පිරිසක් දැයි ලොවට ම පෙන්නුම් කරයි.
– වරලත් ගණකාධිකාරී ඡේ. එම්. යූ. බී. ජයසේකර
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴