ඉන්ධන මිල සංශෝධනය වෙයි – සිපෙට්කෝ මිලට සමගාමීව IOC මිලද සංශෝධනය වෙයි

ඉන්ධන මිල සංශෝධනය වෙයි – සිපෙට්කෝ මිලට සමගාමීව IOC මිලද සංශෝධනය වෙයි


ඉන්ධන මිල සංශෝධනය වෙයි – සිපෙට්කෝ මිලට සමගාමීව IOC මිලද සංශෝධනය වෙයි

(29.06.2026 – hirunews.lk)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් අද (2026 ජුනි 29) මධ්‍යම රාත්‍රී 12:00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන් පහතදමා ඇති අතර, සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි කිසිදු වෙනසක් සිදු කර ඇත්තේ නැහැ.

  • ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 20.00 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 414.00 ක් (පැවැති මිල රුපියල් 434.00).
  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25.00 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382.00 ක් (පැවැති මිල රුපියල් 407.00).

එමෙන්ම, පහත සඳහන් ඉන්ධනවල මිල ගණන් වෙනස්කර නැත.

  • ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 495.00 (මිල වෙනස් වී නැත).
  • ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 478.00 (මිල වෙනස් වී නැත).
  • ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285.00 (මිල වෙනස් වී නැත).

මෙම මිල සංශෝධනය සම්බන්ධයෙන් කිසියම් වැඩිදුර තොරතුරක් අවශ්‍ය වන්නේ නම්, 011 729 6130 හෝ 011 729 6248 යන දුරකථන අංක ඔස්සේ සංස්ථා මාධ්‍ය අංශය ඇමතිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආයතනික සන්නිවේදන හා පාරිභෝගික සේවා ඒකකය වැඩිදුරටත් දන්වා සිටිනවා.

එමෙන්ම, මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගමද සිය මිල ගණන් සංශෝධනය කරන බව නිවේදනය කළා ෴


ඩොලර් බිලියනයක මූල්‍ය වංචාව : මහ බැංකු අධිපති ඇතුළු ප්‍රධානීන් කැදවා ප‍්‍රශ්ණ කරන්නැයි කියයි

(29.06.2026 – lankacnews.com)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අනාවරණය කරන ලද ඇමරිකානු ඩොලර් බිලියනයක මහා පරිමාණ විදේශ විනිමය වංචාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට අදාළ නියාමන ආයතන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මෙම මූල්‍ය වංචාව රටේ ආර්ථික පදනම දෙදරුම් කරවන සුළු බරපතළ සිදුවීමක් බවයි.

2024 වසරේ සිට ක්‍රියාත්මක වී ඇති මෙම වංචාව, භාණ්ඩ ආනයනය නොකර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශයන් වෙත මුදල් යැවීමේ (Phantom Imports) ජාලයක් හරහා සිදුව ඇති බව ජනාධිපතිවරයා මීට පෙර අනාවරණය කර තිබිණි.

මීට අමතරව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද තහවුරු කර ඇති පරිදි, මෙරට ව්‍යාජ සමාගම් 105 ක් හරහා නීති විරෝධී ගනුදෙනු 953 ක් මගින් රුපියල් බිලියන 12.89 ක මුදලක් විදේශගත කර තිබේ.

මෙම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ භූමිකාව රවී කරුණානායක මහතා දැඩි ලෙස ප්‍රශ්න කරයි. වාණිජ බැංකු 13 ක ගිණුම් 227 ක් හරහා වංචනික ටෙලිග්‍රාෆ් පණිවිඩ (TT) 26,108 ක් මගින් මෙතරම් දැවැන්ත මුදලක් වසර දෙකක් (2) තිස්සේ රටින් පිටව යන තෙක් මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය බුද්ධි ඒකකය නිහඬව සිටියේ මන්දැයි ඔහු සිය ලිපියෙන් විමසා සිටියි.

මෙම පද්ධතිමය බිඳවැටීම පිළිබඳව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, වංචාවට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති වාණිජ බැංකු 13 හි ප්‍රධාන අනුකූලතා නිලධාරීන් වහාම කමිටුව හමුවට කැඳවන ලෙස මන්ත්‍රීවරයා යෝජනා කරයි.

‘ක්‍රිප්ටෝ කරන්සි’ වැනි නියාමනය නොකළ මූල්‍ය මෙවලම් හරහා සිදුවන බදු පැහැර හැරීම් සහ විදේශ විනිමය වංචා පිළිබඳව තමන් 2025 වසරේදී කළ අනතුරු ඇඟවීම් කෙරෙහි මහ බැංකුව නිසි අවධානයක් යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විනාශය සිදුව ඇති බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි ෴


ජීවිත අපේක්ෂාවට – රූප අපේක්ෂාවක් – ඇස්වලට කඳුළු එන දන්සැලක කතාව මෙන්න (29.06.2026)

+


බොහෝ දේ සිද්ධ වෙලා තියෙනවා. ඩොලර් මි 2.5 හොරකම ගැන කමිටුවේ අවසන් තීරණය ගැන හර්ෂ කට අරී (29.06.2026)

+


බ්‍රයන්, දහම් හා රකිතලා ගත්ත රු. බිලියන 02 ක ෂාෆ්ටගේ මරු වැලද ?

+


2022 දී කාදිනල් හිටියෙත් ඒ කුමන්ත්‍රණේ ; අදත් ඉන්නේ ඒ කුමන්ත්‍රණේ – ගෝලීය ශ්‍රී ලංකා සංසදය (30.06.2026)

+


ගල් අඟුරු කොමිසම ළඟ උණුසුම් තත්ත්වයක් – මුජිබර් – අජිත් ප්‍රබලයෝ රැසක් අළුත් සාක්ෂි අරන් එයි (30.06.2026)

+


ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප

(30.06.2026 – hirunews.lk)

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීනියන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව සැකකාරිය රු. ලක්‍ෂ දහය (10) බැගින් වූ ශරීරය ඇප දෙකක් (2) මත මුද හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.

ඊට අමතරව ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළා.

ඇප තැබීමෙන් පසුව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වලකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට අවවාද කළා ෴


‘රැජිණියේ’ චිත්‍රපටයට එරෙහිව සමනළි අවි අමෝරයි, සෙනාලිට විතරක් කතාකරලා (30.06.2026)

+


වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් (4) දියේ ගිලී ජීවිතක්ෂයට

(30.06.2026 – hirunews.lk)

වනාතවිල්ලුව පොලිස් වසමට අයත් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේදී තෙප්පමක් පෙරළීමෙන් අද (30) දහවල් සිදුවූ අනතුරකින් ළමුන් සිව්දෙනෙකු (4) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

බණ්ඩාරනායකපුර සහ මංගලපුර ප්‍රදේශවල පදිංචි 16 හැවිරිදි වියේ පසු වූ ළමුන් පස්දෙනෙකු (5) මංගලපුර විල්ලුවේ තෙප්පමක් ආධාරයෙන් මල් කැඩීම සඳහා ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් ගමන් කළ තෙප්පම අනපේක්ෂිත ලෙස පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තෙප්පම පෙරළෙන අවස්ථාවේදී එහි සිටි එක් (1) ළමයෙකු වහාම පිහිනා ගොඩට පැමිණ තම ජීවිතය බේරාගෙන ඇති අතර, ඉතිරි ළමුන් සිව්දෙනාට (4) බේරීමට නොහැකිව දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ළමුන් සිව්දෙනාගේම (4) මෘත ශරීර දැනට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිසුන් එම ප්‍රදේශයේ එකම පාසලක ඉගෙනුම ලබන සිසුන් බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා ෴

+++

+


ඩෙංගු තොරතුරු සහ පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්

(30.06.2026 – hirunews.lk)

ඩෙංගු රෝගය පාලනය කිරීමට අදාළ තොරතුරු ලබාගැනීම මෙන්ම, ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ තොරතුරු හා පැමිණිලි කඩිනමින් යොමු කිරීම සඳහා විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම මෙහෙයුම් මැදිරිය හරහා අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාගැනීමට සහ මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් (Hotline) ද හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 011 796 6366 යන දුරකතන අංකය ඔස්සේ මහජනතාවට ඩෙංගු මර්දන මෙහෙයුම් මැදිරිය සෘජුවම සම්බන්ධ කරගත හැකියි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා, අදාල ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳව මහජනතාව උපරිම ලෙස දැනුවත් විය යුතු බවයි අදාල අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ෴


බක්මිටියාව රක්ෂිතයේ ගසක බෙනයක ස්නයිපර් ගිනි අවියක්

(30.06.2026 – hirunews.lk)

දමන පොලිස් වසමට අයත් කංචිකුඩිආර, බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේ ගසක් බෙනයක සඟවා තිබූ ‘ස්නයිපර්’ (Sniper) වර්ගයේ නවීන ගිනි අවියක් සහ පතරොම් තොගයක් තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රක්ෂිතය පිරික්සීමේදී ස්නයිපර් වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන පතරොම් ගැබක් (Magazine) සහ පතරොම් 07 ක් තිබී සොයාගෙන ති‍බෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගන්නා ලද මෙම ගිනි අවිය සහ පතරොම් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා දමන පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම ගිනි අවිය කුමන අරමුණක් සඳහා රක්ෂිතය තුළ සඟවා තැබුවේද යන්න පිළිබඳව දමන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


දඩ මුදලකින් තොරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සහන කාලයක්

(30.06.2026 – hirunews.lk)

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තන් සඳහා, ස්ථාපනය කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා තම ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දඩ මුදලකින් තොරව ලබන ජූලි මස 07 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

එම කොමිසම මේ බව සඳහන් කරන්නේ අද (30) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

2026.03.31 දිනට ඇති වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාම වත්කම් සහ බැරකම් ප්‍රකාශ, අද දිනට (2026.06.30) හෝ ඊට පෙර සිදුකළ යුතු වූ අතර, එසේ සිදුකිරීමේදී දඩ මුදලකට යටත් නොවන බව මීට පෙර දැනුම් දී තිබු බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

මෙම ප්‍රකාශ ඉදිරිපත් කිරීම අගෝස්තු මස 31 දක්වා සිදුකළ හැකි වුවද, ජූනි 30 න් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ සඳහා දඩ මුදලකට යටත් වීමට නියමිතව තිබිණා.

කෙසේ වුවද, ඉකුත් ජූනි 28 වන දින සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට දිනක් තුළ ඇතුළත් වූ අධික පරිශීලක ප්‍රවේශයන් හේතුවෙන් පද්ධතිය තුළ දැඩි තදබදයක් හටගෙන තිබූ බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් ප්‍රකාශකයන් හට තාක්ෂණික දෝෂයන්ට මුහුණ පෑමට සිදුවූ බවට කොමිෂන් සභාවට වාර්තා වූ බව එම කොමිසම පවසනවා.

ඒ අනුව, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ සාර්ථකව ලියාපදිංචි වී තිබියදීත්, 2026 ජූනි 30 වන දින හෝ ඊට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මෙන්ම, 2026 ජූනි 30 වන දින හෝ ඊට පෙර පද්ධතියට පිවිස ලියාපදිංචි වීමට උත්සාහ කළද තාක්ෂණික දෝෂ හේතුවෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට දඩ අයකිරීමකින් තොරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා 2026 ජූලි මස 07 වන දින මධ්‍යම රාත්‍රී 12:00 දක්වා අවසර දෙනු ලබන බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමේදී මතුවන ගැටලු පවතී නම්, කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශයේ 076 701 1954 සහ 011 258 7287 යන දුරකථන අංකයන් මඟින් පමණක් සම්බන්ධ කරගෙන ඒවා නිරාකරණය කර ගන්නා ලෙසයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ෴


මඩකලපුවේ අලුත් පාලම දෙකඩ වෙයි – ජනතාව දැඩි පීඩාවට

(30.06.2026 – 11:53 +0530 – sinhala.adaderana.lk)

මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව භාවිත කරන ප්‍රධාන පාලම් අතරින් එකක් වන ‘අලුත් පාලම’ දෙකඩවී තිබේ.

ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින බව ‘අද දෙරණ වාර්තාකරු’ සඳහන් කළේය.

පසුගිය ඉරිදා (28) පස්වරුවේ මෙම පාලම කැඩී ගොස් ඇති බව සඳහන්ය.

මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව ප්‍රධාන පාලම් දෙකක් භාවිත කරන අතර ඉන් එක් පාලමක් මෙලෙස කැඩී ගොස් ඇති බව සඳහන්ය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *