2015 වසරේ ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළ 55 දෙනෙකුට දුන් උසස්වීම් හා වැටුප් වර්ධක අහෝසියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
(05.08.2025 – hirunews.lk)
2015 වසරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළ ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දරන සේවක සේවිකාවන් 55 දෙනෙකුට උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීමට එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය නීතියට පටහැනි බවත් ඒවා බල රහිත කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීන්දු කළා.
අදාල උසස් වීම් හා වැටුප් වර්ධක ලබාදීම අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ ලේකම් පී.පී.එස්. ප්‍රේමසිරි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මුදිත් සිරිවර්ධන ඇතුළු සේවකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එස්. තුරෙයි රාජා සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මෙම නීති විරෝධී උසස්වීම් හා වැටුප් වර්ධක ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාදීම තුළින් එවක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වශයෙන් කටයුතු කළ දීපිකා ප්‍රියදර්ශනී පිරිස්, ඩබ්ලිව්. ජයසිරී, මහාචාර්ය කීර්ති සමරසිංහ, චන්ද්‍රිකා කුලතිලක සහ ඊ. හෙට්ටිආරච්චි යන අය පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් 480,000/- ක් පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු බවත් නියෝගයේ සඳහන් වුනා.
එම වන්දි මුදල් අද (05) සිට මාස දෙකක් (2) තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එම නියෝගයේ සඳහන් වෙනවා.
ඊට අමතරව මෙම තීන්දුව ලබා දුන් දින සිට මාස හයක (6) කාලයක් තුළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සඳහා බඳවා ගැනීම් හා උසස් වීම් පිරිනැමීම වෙනුවෙන් විධිමත් ක්‍රියා පටිපාටියක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම සංස්ථාවේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග කළා.
එසේ සකස් කරනු ලබන බඳවාගැනීමේ හා උසස්වීම් ක්‍රියා පටිපාටියට අදාල පිටපතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ යුතු බවත් විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.
පෙත්සම්කරවන් චෝදනා කර තිබුණේ 2015 වසරේ මැයි මස 25 වන දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එම සංස්ථාවේ සේවය කළ ජාතික සේවක සංගමයේ සාමාජිකයින් 32 කට සංස්ථාවේ බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව උසස්වීම ලබා දී තවත් 23 දෙනෙකුට අනීතික ලෙස වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කළ බවයි.
විධිමත් ලෙස අයදුම් පත් කැඳවීමකින් තොරව සහ සම්මුඛ පරීක්‍ෂණයක් පැවැත්වීමකින් තොරව මෙම උසස්වීම් ප්‍රදානය කර තිබෙන බවත් ඒවා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බඳවා ගැනීමේ පටිපාටියට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් ඔවුන් සිය පෙත්සමෙන් චෝදනා කර තිබුණා.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔවුන් සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.
මෙම පෙත්සම පිළිබඳව විභාගයක් පැවැත් වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර සංස්ථාවේ එවක සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින් මෙම නියෝග නිකුත් කළා ෴
ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය සහ ජනපති අතර සාකච්ඡාවක්
(05.08.2025 – 19:44 +0530 – sinhala.adaderana.lk)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.
ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක පරම අයිතිය පද රචකයාට හා තනු නිර්මාපකයාට තිබෙන නිසා ජනප්‍රිය ගායක-ගායිකාවන් රැසක් අර්බුදයකට පත් ව ඇති අතර, තමන්ගේ සමාජ මාධ්‍යක ගීතයක් පළ කිරීමටද හැකියාවක් නැති බවද මෙහිදී අවධාරණය කෙරිණි.
මේ හේතුවෙන් වෘත්තීය වශයෙන් ගායන ක්ෂේත්‍රයේ නියුතු බොහෝ ගායක-ගායිකාවන් අසාධාරණයට ලක් ව ඇත.
මේ සියලු කරුණු පිළිබඳව සලකා බලා ස්වාධීන කමිටුවක් පත් කර අවශ්‍ය නීතී සංශෝධනය කර දෙන ලෙස ගායක-ගායිකා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.
මෙම ගැටලුව කාලාන්තරයක් තිස්සේ පැවතෙන බවත්, ඒ නිසා මේ පිළිබඳ අධ්‍යයනය කර දැනට පවතින ජාත්‍යන්තර නීතිය සහ තාක්ෂණික අවශ්‍යතා මත පදනම්ව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟී ඇති සම්මුති අධ්‍යයනය කරමින්ද, ඉහත සඳහන් සියලු පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින්ද, සෑම පාර්ශ්වයකටම සාධාරණත්වය ඉෂ්ට වන පරිදි විසඳුමක් සඳහා ප්‍රවේශයක් ලබා ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා, සංගීත අනුමණ්ඩලයේ සභාපති නදීක ගුරුගේ, සුජාතා අත්තනායක, ටී.එම්. ජයරත්න , සුනිල් එදිරිසිංහ, මල්කාන්ති නන්දසිරි, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, රෝහණ බෝගොඩ, සෝමසිරි මැදගෙදර, දීපිකා ප්‍රියදර්ශනී, රොඩ්නි වර්ණකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ ෴
CID නිලධාරියෙකුට ‘හරක්කටා’ගෙන් මරණ තර්ජන
(05.08.2025 – 20:19 +0530 – sinhala.adaderana.lk)
‘හරක්කටා’ තමන්ට මරණ තර්ජනය කළ බව පවසමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් පැමිණිල්ලක් සිදුකර තිබේ.
ඊයේ (04) ‘හරක්කටා’ උදෑසන 8 ට පමණ ස්නානය කිරීම සඳහා සිර කුටියනේ පිටතට පැමිණි අවස්ථාවේදී එම නිලධාරියා සැකකරුගේ කුටිය පරීක්ෂා කර ඇති බව වෙයි.
පසුව එහි පැමිණි ‘හරක්කටා’ සිය කුටියේ තිබූ පෑනක් නොමැති බව දැක තමන්ට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු බව ද පවසමින් එම පොලිස් නිලධාරියා තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
‘හරක්කටා’ ඔහුට තර්ජනය කරමින් “උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්” යනුවෙන් පැවසූ බවද අදාළ පැමිණිල්ලේ සඳහන්ය.
මේ අතර ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පලායාමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේදී අද (05) කැඳවනු ලැබීය.
‘හරක්කටා’ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරුන් වන රවිඳු සන්ධීප හා සංජීව අබේසිංහ මෙන්ම රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ දිනේෂ් තරංග යන විත්තිකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කොළඹ මහාධිකරණ සංකීර්ණය තුළ හා අවට දැඩි ආරක්ෂාවක් ද අද යොදවා තිබුණි.
ආරක්ෂක අංශ සඳහන් කළේ, ‘හරක්කටා’ට අද (05) ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරක් ලැබී තිබූ බවය.
පොලිස් නිලධාරියෙකු, බන්ධනාගාර නිලධාරියෙකු හෝ මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගත් අයෙක් එලෙස ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට එම තොරතුරේ සඳහන්ව තිබූ බව පවසයි.
ඒ අනුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් 100 කට අධික සංඛ්‍යාවක් අධිකරණ භූමියේ ආරක්ෂාවට යොදා තිබූ අයුරුයි දැකගන්නනට ලැබුණි ෴
‘කෙහෙල්බද්දර පද්මේ’ සිදුකළ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි
(05.08.2025 – 22:10 +0530 – sinhala.adaderana.lk)
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කලේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුනි.
එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකුගේ (3) දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙස නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
එම පොලිස් නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මේ වන විට විදේශගතව සිටින පතාල කල්ලි සාමාජිකයකු බව කියන ‘අමින්ද රෝෂාන් ජයසේකර’ හෙවත් ‘දරුන්’ සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිට මේ වනවිට විදේශගතවී සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘සලින්ද මදුශාන් පෙරේරා’ හෙවත් ‘කමාන්ඩෝ සලින්ද’ යන අය එක්වී මෙම තර්ජනාත්මක ඇමතුම ලබාදී තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.
අදාළ තර්ජනාත්මක ඇමතුම අගෝස්තු මස 03 වනදා රාත්‍රි 08:33 ලැබී ඇති බව සඳහන් කළ පොලිසිය ඒ තුළින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කර තිබෙන බවත් පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාට අයත් හෝටලයක මත්ද්‍රව්‍ය ග්‍රැම් 440 යි මිලිග්‍රෑම් 845 ක් හා ජීවඋණ්ඩ 9 ක් සන්තකයේ තබාගෙන සිටියදී ‘දිසානායක’ නමැති සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම තර්ජනාත්මක ඇමතුම ලැබී තිබෙන බවත් සඳහන් කර සිටියේය.
මෙම දුරකථන ඇමතුම පටිගත කර තිබෙන බවත් ඊට අදාළ සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එහි අන්තර්ගත දත්ත පිළිබඳව වාර්තා කැඳවීමට කටයුතු කරන බවත් පොලිසිය පැවසීය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන ලෙස පොලීසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළාය ෴
රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ පෙත්සම කැඳවීමට දින නියම කරයි
(05.08.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින BYD විදුලි වාහන මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ආනයනික වාහන රේගුව විසින් රඳවා ගැනීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.
අදාල වාහන බැංකු බැඳුම්කරයක් මත මුදා හැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසියට ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කළ වාහන 997 ක් රේගුව භාරයේ පවතින බව සඳහන් කළා.
එම වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද කිලෝ වොට් 150 ක්ද යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරු දෙදෙනෙකු (2) සහ බී.වයි.ඩී. සමාගමේ ඉංජිනේරුවරු දෙදෙනෙකු (2) ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇතැයිද ඔහු පැවසුවා.
එම වාර්තාව ලැබෙන තෙක් අදාළ වාහන සඳහා ගෙවිය යුතු බදු අතර වෙනස ගණනය කර එම මුදල තැන්පතුවක් වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් වශයෙන් තබන්නේ නම් එම වාහනවලින් 06 ක් විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන සෙසු වාහන මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට වගඋත්තර කරුවන්ට උපදෙස් දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
ඒ අනුව අදාළ පෙත්සම යළි මේ මස 07 වන දා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම යෝජනාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කළා
විශේෂඥ වාර්තා සලකා බැලීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව පැවසූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව මෙම පෙත්සම අනිද්දා කැඳවන ලෙසත් ඉල්ලා සිටියා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මෙම පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 07 වනදා කැඳවීමට නියම කළා.
‘ජෝන් කීල්ස් සී.ජී.ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ්’ සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා ෴
‘තෙබුවන බිංදු’ රු. ලක්ෂ 50 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ අත්අඩංගුවට
(05.08.2025 – 09:43 +0530 – sinhala.adaderana.lk)
‘ඊසි කෑෂ්’ ක්‍රමයට ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරමක් පවත්වාගෙන ගිය ‘තෙබුවන බිංදු’ නැමති පුද්ගලයාව තෙබුවන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙබුවන, හොරණ, මතුගම, අඟුරුවාතොට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදුකර ඇති අතර, පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.
තෙබුවන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාධිරගේ දර්ශන මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්‌ඩායමක් ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරී සඳහා යොදවා සිටියදී මෙම ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ විමර්ශනයේ දී මෙම සැකකරුව දෙල්ගොඩ පන්සල අසලදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 15 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මතුගම මහෙස්ත්‍රාත්වරයාගේ උපදෙස් මත දින හතක් (7) රඳවාගෙන ප්‍රශ්න කිරීමට තෙබුවන පොලීසියට අවසර ලබාදී තිබුණි.
පසුව සැකකරු රඳවාගෙන සිදුකළ විමර්ශනකින් අනතුරුව තෙබුවන, කිරිමැටිය ප්‍රදේශයේ කිසිම පුද්ගලයෙකු පදිංචිව නොමැති පාලු නිවසක පඩි පෙළක් අසල සඟවා තිබූ ග්‍රෑම් 310 ක රු. ලක්ෂ පනහක් (50) පමණ වටිනා ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සඟවා තිබියදී තෙබුවන පොලීසිය සොයා ගෙන තිබේ.
සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී සැකකරු තාවකාලිකව රැඳී සිටි මිල්ලනිය ලබුගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ මැනීමට භාවිතා කරන ඩිජිටල් තරාදියක්ද මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා භාවිතා කරන ඉටිකොළද ‘ඊසි කෑෂ්’ ක්‍රමයට මෙම ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරම පවත්වාගෙන යාමට විවිධ පුද්ගලයින්ගේ නම්වලින් ලියාපදිංචි වී ඇති බැංකු ගිණුම් පොත් කිහිපයක් සහ මෙම ජාවාරම සඳහා භාවිතා කළ විවිධ වටිනාකම් සහ විවිධ ප්‍රමාණවලින් යුත් ජංගම දුරකථන 10 ක්ද එම ජංගම දුරකථන සඳහා භාවිතා කළ සිම්පත් නමයක් (9) ද පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි සිදුකළ මෙම වැටලීමේ දී මෙම ජාවාරම්කරුට මෙම ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිසියම් ජාවාරමක් හරහා ලැබුණේ ද යන්න පිළිබඳව තෙබුවන පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴
ඉසෙඩ්-ඩී ඇළට වැටී පිරිමි දරුවෙකුට දිවි අහිමි වෙයි
(05.08.2025 – hirunews.lk)
පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ දරුවෙක් ඉසෙඩ්-ඩී ඇළට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 08 ක පිරිමි දරුවෙක්.
එම දරුවා තම මව සමඟ එළුවන් බැලීමට යෑමේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.
සිදුවීම පිළිබඳව වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴
Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 491 | 2025-08-04
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴