‘ඩෑන් ප්‍රියසාද්’ට වෙඩි තැබූ සිද්ධියට සැක පියා සහ පුතා ප්‍රදේශයෙන් පළා යයි
‘ඩෑන් ප්‍රියසාද්’ට වෙඩි තැබූ සිද්ධියට සැක පියා සහ පුතා ප්‍රදේශයෙන් පළා යයි
(24.04.2025 – 08:49 +0530 – hirunews.lk/sinhala)
සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්ව සිටින ‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනයට සම්බන්ධ බවට දැනට සැක පළ කරන පිය – පුතු දෙදෙනා (2) ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඔවුන් දෙදෙනා (2) ඇතුලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කණ්ඩායම් 6 ක් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, ඩෑන් ප්‍රියසාද් පසුගිය දිනක කිසියම් පාර්ශවයක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එම ගැටුම ඇති කරගත් පුද්ගලයින් පළාගොස් සිටින පිය – පුතු දෙදෙනාගේ (2) ඥාතීන් බවට ද අනාවරණය වී තිබෙනවා.
සමාජ ක්‍රියාකාරි ඩෑන් ප්‍රියසාද් සිය බිරිද සහ දරු තිදෙනා (3) සමග පෙරේදා (22) රාත්‍රියේ වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි බිරිඳගේ නිවස වෙත පැමිණ තිබුණේ සාදයකට සහභාගි වීම සඳහායි.
සාදය පැවැත්වෙන අතරතුර රාත්‍රී 09:00 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) මහල් නිවාස සංකීරණයට ඇතුළු වී තිබූ අතර එය සී.සී.ටී.වී. කැමරාවක ද සටහන්ව තිබුණා.
එලෙස පැමිණි සැකකරුවන් දෙදෙනා (2) පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඩෑන් ප්‍රියසාද් ට වෙඩි තබා පලාගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය ඊයේ (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.
එහිදී පොලිසිය සඳහන් කළේ මෙම අපරාධයට පිය – පුතු දෙදෙනෙකුගේ (2) සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙලිවී ඇති බවයි.
එලෙස සැකකරන පිය – පුතු දෙදෙනාගේ (2) විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමට අවසර ලැබී තිබුණා.
වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය පැවසුවේ ඩැන් ප්‍රියසාද්ගේ සහෝදරයකු වන ‘ප්‍රකාශ් තිළිණ’ නමැත්තා ද මීට වසර කිහිපයකට ඉහතදී තියුණු ආයුධයකින් පහර දි ඝාතනය කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් මෙම පිය – පුතු දෙදෙනාට (2) එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවතින බවත් ඔවුන් සඳහන් කර සිටියා.
මොවුන් දෙදෙනා (2) වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මේ අතර, ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට අදාළව මේ වනවිට කාන්තාවක් (1) ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකු (3) පොලිස් භාරයට ගෙන ඇත්තේ ඝාතනය සඳහා තොරතුරු ලබාදුන් බවට වන සැකය මත ප්‍රකාශ ලබාගැනීම සඳහායි.
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව, ඩෑන් ප්‍රියසාද්ගේ බිරිදගේ නැගණිය බවටයි අනාවරණය වී ඇත්තේ.
ඇයගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් මාධ්‍යයේ හුවමාරු වී ඇති පණිවුඩ කිහිපයක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම, ඝාතනයට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මේ අතර, ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ පාර්ශ්වය වෙත ද එල්ල වනවා ෴
+++
‘ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ’ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
(24.04.2025 – 11:06 +0530 – hirunews.lk/sinhala)
සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ ප්‍රධාන සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ‘කංජිපානි ඉම්රාන්’ ඍජු සම්බන්ධයක් පවතින බවට ද මේ වන විට අනාවරණ කරගෙන ඇති බවයි.
ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද්ගේ සිරුර මේ වන විට කොළඹ ප්‍රධාන මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ පළාත් පාලන අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් නාදුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් ඝාතනය වුණේ පෙරේදා (22) රාත්‍රියේදියි ෴
+
නැවත දැනුම් දෙන තුරු, ‘සිරි දළඳා වන්දනාව’ට පැමිණීමෙන් වළකින්න – මහනුවර දිස්ත්‍රික් ලේකම්ගෙන් ඉල්ලීමක්
(24.04.2025 – 10:37 +0530 – hirunews.lk/sinhala)
නැවත දැනුම් දෙන තුරු, ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා මහනුවරට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අද (24) සහ හෙට (25) යන දෙදින (2) තුළ වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස පොලිසියද ජනතාවට දැනුම්දුන්නා.
ඊයේ (23) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් පොලිසිය කියා සිටියේ අද (24) දිනයේ ඉඩ ප්‍රස්ථාවක් තිබුණහොත් මාධ්‍ය හරහා දැනුවත් කර නැවත දළදා වන්දනාවට සැදැහැවතුන් එක්කර ගන්නා බවයි.
මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ හතරකට (400,000) අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවයි මහනුවර මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ කියා සිටියේ.
මේ අතර ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුවයි ෴
+++
වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමේ යෝජනාවක්
(24.04.2025 – 11:24 +0530 – hirunews.lk/sinhala)
වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (24) උදෑසන මහනුවර දිසාපති කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත්කරමින්.
එගිදී ඔහු සඳහන් කර සිටියේ මෙම යෝජනාව දළඳා දැක්මේ අධිකාරී පවත්වන මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිලමේතුමන්ට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි.
ජනතාව පෝළිම්වල තෙරපීම සහ හිරවන තත්ත්වය වැළැක්වීම සඳහා ආරක්සක අංශ එකතු වී නව ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පවසා සිටියේ.
එමෙන්ම ඉදිරි දිනවලදී දළදා වන්දනාවට මහනුවරට පැමිණෙන ජනතාව යම් සීමාවකට ලක් කිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴
පොලිසිය විසින් මහජනතාව වෙත සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළට
(24.04.2025 – 11:31 +0530 – hirunews.lk/sinhala)
පොලිසිය විසින් මහජනතාව වෙත සපයන සේවා සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් යොමු කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
මෙම සේවා ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන 2023.06.02 දිනැති පොලිස්පති චක්‍රලේඛ අංක 2749/2023 (මුදල් චක්‍රලේඛ 04/2023) අවලංගුවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.
එම චක්‍රලේඛයේ සඳහන් වෙන්නේ ශබ්ද විකාශන බලපත්‍ර ගාස්තු එක (1) දිනක් සඳහා මින් පෙර රුපියල් තුන්සියක් (300) අය කළත් මෙම චක්‍රලේඛය නිකුත් කිරීමත් සමග එම ගාස්තුව රුපියල් දෙදහසක් (2000) දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම පොලිස් නිල සුනඛයෙක් සඳහා පැය එකහමාරක (1½) කාලයකට යටත්ව හා රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය තීරණය කිරීම පශු වෛද්‍යවරයාගේ නිර්දේශයට යටත්ව සහ පාසල් සන්දර්ශන සඳහා නිල සුනඛයන් ලබාදීමේදී ගාස්තු අය කිරීම හෝ නොකිරීම සම්බන්ධව පොලිස්පතිගේ අනුමැතියට යටත්ව මින් පෙර අය කළ රුපියල් තුන්දහසක (3000) මුදල රුපියල් විසිදහසක් (20,000) දක්වා ඉහළ දමා තිබෙනවා.
තවද, අශ්වයෙක් සඳහා පැය එකහමාරක (1½) කාලයකට මින් පෙර රුපියල් හයදහසක (6000) මුදලක් අය කළ ද මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු එම මුදල රුපියල් තිස්දහස (30,000) දක්වායි ඉහළ නංවා තිබෙන්නේ.
ආසන්නම පොලිස් ස්ථානයක් වෙත වාහනයක් ඇද ඉවත්කිරීමේ ගාස්තුව රුපියල් හයසීයේ (600) සිට රුපියල් පන්දහස (5000) දක්වා ඉහළ දමා තිබෙනවා.
මේ අතර එක් ඇඟිලි සටහන් ගාස්තු වාර්තාවක් සඳහා අයකළ රුපියල් එකසිය පනහක (150) ගාස්තුව රුපියල් පන්සීය (500) දක්වායි ඉහළ නංවා ඇත්තේ.
කිමිදුම් උපකරණ සඳහා අයකළ රුපියල් දෙදාස් හාරසීයේ (2400) ගාස්තුව රුපියල් හාරදහස (4000) දක්වා ද ජීවිතාරක්ෂක සහ කොස්වේන් උපකරණ සඳහා අයකළ රුපියල් එක්දහස් දෙසීයක (1200) මුදල ද රුපියල් පන්දහස (5000) දක්වා ද ඉහළ දමා තිබෙනවා.
මේ අතර මින් පෙර කිසිදු ගාස්තු අයකිරීමක් නොකර පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දේශීය අවශ්‍යතා සඳහා පමණක් නිකුත් කරන පොලිස් වාර්තා සඳහා දැන් රුපියල් තුන්සීයක් (300) අයකරනු ලබනවා.
මෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ, පොලිසිය සතු වාහන හා යාත්‍රා පෞද්ගලික පාර්ශ්වයන්ට ලබාදීමට පෙර, එකී වාහන හා යාත්‍රා පෞද්ගලික භාවිතයේ දී සිදුවිය හැකි අලාභ හානි වෙනුවෙන් හැකි පූර්ණය සඳහා තාවකාලික රක්ෂණවාරයක් ලබාගැනීමට අදාළ පෞද්ගලික පාර්ශ්වයට නියම කළයුතු බවයි ෴
‘ඔන්ලයින් දුම්රිය ටිකට්’ වැඩි මිලට විකිණූ සිද්ධිය ගැන තවදුරටත් විමර්ශන
(24.04.2025 – 12:47 +0530 – hirunews.lk/sinhala)
දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බව සඳහන් කළා.
මෙම ක්‍රියාවලියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්ගේ හා නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 18 වැනිදා කැඳවන ලෙසත් එදින විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර සිටින සැකකරුවන් හතරදෙනා (4) ද අධිකරණය හමුවේ පෙනී සිටියා ෴
බිරිඳගේ රහස් අවයවය පිළිස්සූ සැමියා අත්අඩංගුවට
(24.04.2025 – 13:04 +0530 – hirunews.lk/sinhala)
අනියම් ප්‍රේම සබඳතාවයක් පැවැත්වූ බිරිඳගේ රහස් අවයවය විදුලි ඉස්ත්‍රික්කයෙන් පිළිස්සූ සැමියෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ හතරලියැද්ද පොල්වත්ත ප්‍රදේශයෙන්.
බරපතල තුවාල ලැබූ බිරිඳ මේ වන දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 27 ක දෙදරු මවක්.
සිදුවීම සම්බන්ධයෙන් 34 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වෙන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි හතරලියැද්ද පොලිසිය පවසා සිටියේ ෴
රුපියල් කෝටි 5 ක මත්ද්‍රව්‍ය එක්ක ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට
(24.04.2025 – 15:09 +0530 – hirunews.lk/sinhala)
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් (5,30,00,000) වටිනා , ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (24) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ‘හරිත මාවත’ ඔස්සේ, ඒවා ගුවන් තොටුපළින් පිට කිරිමට උත්සාහ කර අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
මොහු ඉන්දියාවේ මහත්මා ගාන්ධි විශ්ව විද්‍යාලයයේ තුන්වන (3) වසරේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකු වනවා.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් පැමිණ ඇති මොහු රැගෙන ආ ගමන් මල්ල තුළ වූ බිස්කට් අඩංගු ඇසුරුම් කීපයක මෙම මත්ද්‍රව්‍ය සඟවා රැගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ ෴
පළාත් පාලන ඡන්දෙට පාසල්වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
(24.04.2025 – 17:18 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පෙට්ටි සහ අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතින් වෙත භාරදීම සහ ආපසු භාර ගැනීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ගොඩනැගිලි, අධ්‍යාපන විද්‍යාපීය සහ උසස් තාක්ෂණ ආයතන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයිනේ සියලුම පාසල් 2025.05.05 දින නිවාඩු ලබා දෙන අතර, 2025.05.07 දින පාසල් නැවත ආරම්භ කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බවද එහි සඳහන්.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, ඩෙස්ක්, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කළ යුතු බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද පෙට්ටි හා අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරන හා ආපසු භාර ගන්නා මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේ දී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද වැඩි දුරටත් එම ලිපියේ සඳහන්.
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට අමුතු ඇමතුම්
(24.04.2025 – 20:41 +0530 – hirunews.lk/sinhala)
සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත තරග විභාගය වර්ජනය කිරීමට තීරණය කර ඇති පසුබිමක එම විභාගයට පෙනී සිටින ලෙස දන්වමින් අදාළ ශිෂ්‍යයින් වෙත දුරකතන ඇමතුම් ලැබී තිබෙනවා.
ඉදිරි පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයින් ඇතුළු නියෝජිතයින් විසින් එම දුරකතන ඇමතුම් ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත බව පවසමිනුයි.
ලබන 27 වනදා අදාළ විභාගය පැවැත් වීමට සැළසුම් කර ඇති අතර නිවෙස්වෙත යවා ඇති ප්‍රවේශ පත්‍ර සියල්ල නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමටයි ‘අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය’ අද (24) පියවර ගත්තේ.
එම අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ‘ජාතික ජන බලවේගයේ’ නියෝජිතයින් හා එම පක්ෂයෙන් එලඹෙන පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයින් මෙම උපාධිධාරීන්ගේ නිවෙස්වලට දුරකතන ඇමතුම් ලබා දෙමින් තරග විභාගයට අනිවාර්යයෙන් පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි එම බලමණ්ලයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී පක්ෂ සාමාජිකයින් හරහා සිදුකරන මෙම බලපෑමට විරෝධය පළ කරමින් ‘පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය’ අද (24) දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සංකේතාත්මකව කලු පටි පැළඳ විරෝධයක ද නිරත වුණා ෴
පාස්කු ප්‍රහාරකයින්ගේ සැළසුම් ගැන චම්පිකගෙන් හෙළිදරව්වක්
(24.04.2025 – 23:35 +0530 – hirunews.lk/sinhala)
පාස්කු ප්‍රහාරකයින් සතුව ඊට පෙර තවත් සැළසුම් රැසක් තිබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මීගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴