ඔන්ලයින් දඩ ගෙවන ක්‍රමවේදය අද (11) සිට

ඔන්ලයින් දඩ ගෙවන ක්‍රමවේදය අද (11) සිට


ඔන්ලයින් දඩ ගෙවන ක්‍රමවේදය අද (11) සිට

(11.04.2025 – 09:56 +0530 – hirunews.lk/sinhala)

CLEAN SRI LANKA ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) රථ වාහන වැරදි වලට අදාළව ක්ෂණික දඩ මුදල් ගෙවීමට හඳුන්වාදුන් ක්‍රමවේදය අද (11) සිට ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය අද (11) සිට 30 වැනිදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශ වල මාර්ග ආවරණය වන පරිදියි ක්‍රියාත්මක වෙන්නේ.

දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වන්නේ, රියදුරන් විසින් සිදු කරනු ලබන රථවාහන වැරදි සඳහා පොලිස් නිලධාරින් විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවීම් සිදු කර එම කුවිත්නාසි පත නැවත පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රියදුරු බලපත්‍රය ආපසු ලබා ගැනීමයි.

නමුත් GovPay යෙදවුම් හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දඩ මුදල ගෙවීම සිදුකර එය කෙටි පණිවිඩයක් ඔස්සේ රථ වාහන නිලධාරින් වෙත තහවුරු කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදා හැරීම සිදුවන බැවින් මහජනතාවට අපහසුවකින් තොරව කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවස්ථාව සැලසේ.

මේ තුළින් මෙම නියමු ව්‍යාපෘතිය තුළදී සිදුවන අපහසුතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස් කර ගැනීමෙන් පසු දිවයින පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අපේක්ෂා කරයි ෴

+++

Govpay හරහා දඩ ගෙවන්නේ මෙහෙමයි

(11.04.2025 – 15:44 +0530 – sinhala.adaderana.lk)

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන්ට නිකුත් කරනු ලබන දඩ පත්‍රිකාව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (11) පැවැත්වුණි.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වන අතර එහිදී අදහස් දක්වමින් ICTA හි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පැවසුවේ කුරුණෑගල සිට අනුරාධපුර දක්වා තිබෙන පොලිස් ස්ථාන 11 ක් සම්බන්ධ කරගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය සිදුකළ බවය.

ඒ අනුව ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඔහු මෙහිදී පැවසීය.

ඒ අනුව අන්තර්ජාලය හරහා දඩ මුදල් ගෙවීම සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ පුරසිංහ මහතා මෙලෙස අදහස් දැක්වීය :

“අපි නිර්මාණය කළා Govepay හරහා කොහොමද දඩ පත්‍රිකාව ගෙවන්නේ කියලා අත්පත්‍රිකාවක්. දඩ පත්‍රිකාවට අමතරව ඒ පත්‍රිකාවත් අපි භාර දෙනවා. ඒ පත්‍රිකාවේ පියවරෙන් පියවර පැහැදිලි කරලා තියෙනවා කොහොමද ගෙවන්නේ කියලා. තමන්ට ඒ වෙලාවෙම තමන්ගේ ‘අන්තර්ජාල බැංකු පහසුකම’ හෝ ‘බැංකු මොබයිල් ඇප්’ හරහා මේ ගෙවීම කරන්න ඉතාම පහසුවෙන් පුළුවන්.

එතැනදි ‘Govepay ඔප්ෂන් එක සිලෙක්ට්’ කළාම කළින් තිබ්බ ආයතනවලට අමතරව ‘ශ්‍රී ලංකා පොලීසිය සිලෙක්ට්’ කළාම එතැන ‘ට්‍රැෆික් ෆයින්ඩ් එක සිලෙක්ට්’ කළාම දඩ මුදලේ ආකෘති පත්‍රයක් ඩිජිටලි පෙන්වනවා. එතැනදි ඒ අවශ්‍ය දේවල් පුරවන්න තියෙන්නේ. තමාගේ ලයිසන් ප්ලේට් නම්බර් එක, රියදුරු බලපත්‍ර අංකය, ඒ දඩ පත්‍රිකාවේ තියෙන රෙෆරන්ස් නම්බර් එක සහ දඩ පත්‍රිකාවේ තියෙන සියලුම වරදවල් ලිස්ට් කරපු ඩ්‍රොප් ඩවුන් එකක් තියෙනවා. ඒකෙන් සිලෙක්ට් කරගන්න තියෙන්නේ තමන්ට අදාළ වරද මොකක්ද කියලා.

අපි සුවිශේෂි වැඩක් කළා පොලීසියෙන් ආපු ඉල්ලීමකින්. දැන් කෙනෙකුට දඩ පත්‍රිකා දෙකක් (2) දෙන්න පුළුවන්. දෙක තුනක් වුණත් සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කළාම ස්ව්‍යංක්‍රීයවම ඒ මුදල පෙන්වනවා. අපි සෑම පොලිස් ස්ථානයකටම ජංගම දුරකථන ලබා දීලා තියෙනවා ඒ නම්බර් එක දාලා Pay කළාම පේමන්ට් එක යනවා. ඒ වෙලාවෙම ඒකට රිසිට් එකක් එනවා. අර ඉන්න පොලිස් ඔෆිසර්ට එවෙලෙම Govepay ශෝර්ට් කෝඩ් කේතය යටතේ SMS මාර්ගයෙන් ඒ පේමන්ට් එක ලැබුණු බවට තහවුරු කරන මෙසේජ් එකක් එනවා. ඒ මෙසේජ් එකේ සියලු විස්තර තියෙනවා. ඊට පස්සේ තමන්ගේ රියදුරු බලපත්‍රය කලෙක්ට් කරගෙන යන්න තමයි තියෙන්නේ….” ෴

https://govpay.lk/si/

+++

අධිවේගයේ බැංකු කාඩ් මගින් ගෙවීම මැයි 01 වැනිදා සිට

(11.04.2025 – 16:03 +0530 – hirunews.lk/sinhala)

මැයි 01 වනදා සිට අධිවේගී මාර්ග භාවිත කිරීමේදි ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් මගින් ගෙවීම් සිදු කළ හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය අද (11) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේදී ආරම්භ වූ බවයි ෴


හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ CIDයෙන් පිටව යයි

(11.04.2025 – 13:51 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඉන් පිටව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ.

මේ අතර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (11) දෙවන (2) දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා ෴

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි.

පසුගිය 09 වැනිදා ද ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සීඅයිඩියට පැමිණි අතර, එහිදී ඔහුගෙන් පැයක (1) පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා.

එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල පසුගිය වසරේ (2024) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකෙරුණු අතර මාස 7 කට පමණ පසුවයි ඔහුට ඇප නියම වුණේ ෴

+


චීනයත් පෙරළා 125% ක් දක්වා අමෙරිකාවට තීරුබදු ඉහළ නංවයි

(11.04.2025 – 14:10 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 12 වනදා සිට චීනය සියලුම ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 84% සිට 125% දක්වා ඉහළ නංවන බව නිවේදනය කරනු ලබනවා.

එමෙන්ම, වොෂින්ටනය විසින් මෙතැනින් නිවේදනය කරන ලද තවත් වැඩිවීම් නොසලකා හැරීමට සැලසුම් කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

රම්ප් පරිපාලනයේ තීරු බදුවලට ප්‍රතිචාර වශයෙන් චීනය එක්සත් ජනපදයට දුර්ලභ පස් අපනයනය නතර කර ඇති අතර, දුර්ලභ පස් බොහොමයක් එක්සත් ජනපද අධි තාක්‍ෂණික කර්මාන්ත සඳහා ඉතා වැදගත් වේ.

අමෙරිකා එක්සත් ජනපදය චීන භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු 145% ක් වන බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

ට්‍රම්ප් පරිපාලනය ලොව පුරා රටවල් 60 ක් වෙත පැන වූ 10% සිට 50% ක් දක්වා වූ තීරු බදු පැනවීම ඊයේ (10) සිට ක්‍රියාත්මක වූ අතර, චීන භාණ්ඩ වෙනුවෙන් 104% ක දැවැන්ත තීරු බද්දක් පැනවීම ද එහි අන්තර්ගත වුණා.

කෙසේ වෙතත් චීනය විසින් අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු භාණ්ඩ වෙත පනවා තිබු 34% ක් වූ තීරු බදු ප්‍රතිශතය 84% ක් දක්වා තවදුරටත් ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා.

එම බදු ඉහළ දැමීමට ප්‍රතිචාරයක් ලෙසින් ජනපති ට්‍රම්ප් නියෝග කරනු ලැබුවේ චීන ආනයන භාණ්ඩ මත පැනවූ 104% ක දැවැන්ත තීරු බදු පැනවීම 125% ක් දක්වා ඉහළ දමන ලෙසයි ෴


අලුත් අවුරුදු සමයේ බන්ධනාගාර රැඳවියන් හමුවීමට විශේෂ දින දෙකක් (2)

(11.04.2025 – 19:38 +0530 – hirunews.lk/sinhala)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අප්‍රියෙල් 13 සහ 14 යන දෙදින (2) තුළ ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට තීරණය කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම දෙදින (2) තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව හිමිවනු ඇති ෴


නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙකු කටුනායකදී අල්ලයි

(11.04.2025 – 18:48 +0530 – sinhala.adaderana.lk)

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඩුබායි සිට පැමිණි සැකකරු විසින් දුම්වැටි 15,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 75 ක් සඟවාගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගවට ගෙන ඇත.

රේගු නිලධාරීන් පැවසුවේ සිය භාරයට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසකට (2,50,000) ආසන්න වන බවය.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ෂන ගුවන්තොටුපොළ රේගු නිලදාරීන් විසින් සිදුකරනු ඇත ෴


ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වාණිජකරණය සඳහා අවධානය

(11.04.2025 – 18:21 +0530 – sinhala.adaderana.lk)

ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු විධිමත් කිරීම සඳහා ‘පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික ප්‍රවේශය’ (NIRDC) විසින් සංවිධානය කරන ලද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පොලීසියේ පර්යේෂණ හා සංවර්ධන ඒකක සහභාගී විය.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සම්පූර්ණ කර ඇති සහ අවසන් කිරීමට ආසන්න පර්යේෂණ, ආර්ථික කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගනිමින් ඒ සඳහා ආයෝජනයට ඉඩ ප්‍රස්ථාව ලබා දීම තුළින් රටේ සංවර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ NIRDC ඒකකය ස්ථාපිත කර තිබේ.

ජාතික ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා වන තාක්ෂණික හා විද්‍යාත්මක දියුණුව වෙනුවෙන් ආරක්ෂක අංශ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටී. එය සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්වත් කිරීම සිදු කෙරුණු අතර විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන ලදුව මේ වන විට සම්පූර්ණ කර ඇති පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති මෙන්ම අර්ධ වශයෙන් නිම කෙරුණු ව්‍යාපෘති පිළිබඳවත්, ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහිදී ගැඹුරින් විමසා බැලිණි.

මෙම ක්ෂේත්‍රවලට අදාළ පර්යේෂණ හා සංවර්ධන ඒකක අතර සහයෝගීතාව සඳහා ඇති අවස්ථා හඳුනා ගැනීම, නවෝත්පාදන හැකියාවන් වර්ධනය කර ගැනීම සහ එම සම්පත් බෙදාගැනීම සඳහා ඇති හැකියාව සොයා බැලීමත්, සිවිල් හා ආරක්ෂක පර්යේෂණ අංශ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ගත හැකි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

සාකච්ඡාව ඵලදායී ලෙස අවසන් වූ අතර ඉදිරියේදී වාණිජකරණය කිරීමට හැකි නවෝත්පාදන හඳුනාගන්නා ලදී.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) රසල් අපොන්සු, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික ප්‍රවේශය (NIRDC) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉදුනිල් ගුණතිලක යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


රහස් ගිවිසුම් මැද ලංකාවට එන්න හදන ඉන්දීය අවි ගබඩා? – “අපි ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත්වෙනවා” (11.04.2025)

+


පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති හෙළිදරව් කරන නමක් සරත් වීරසේකර හෙළිකරයි (11.04.2025)

+


අපි ලෝකයේ හැම රටක් එක්කම තරහාවෙලා – ප්‍රශ්න දාගෙන – වලං කඩේට පැන්න ගොනා වගේ හැසිරුනේ | ධනනාත් ප්‍රනාන්දු (11.04.2025)

+


ත්‍රීවිල් ලෝකයේ අලුත්ම පෙරළිය | ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන විදුලි ත්‍රීරෝද රථය වෙළඳ පොළට (11.04.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *