පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට පැන තරුණියක් බේරාගනී

පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට පැන තරුණියක් බේරාගනී


පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට පැන තරුණියක් බේරාගනී

(11.04.2025 – 08:43 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට පාලමෙන් තරුණියක් ඊයේ (10) මහවැලි ගඟට වැටී ඇති බවට එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි ‘පොලිස් කොස්තාපල් 103984 හේරත්’ නිලධාරියාට ප්‍රදේශවාසීන් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරියා ද පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබුණා.

මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21 ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

එම තරුණිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴


පාසල් අවුරුදු නිවාඩුව අදින් (11) ඇරඹේ

(11.04.2025 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ (2025) රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු (1) වාරයේ දෙවන (2) අදියර අදින් අවසන් වනවා.

ඒ අනුව තුන්වන (3) අදියර සදහා පාසල් ලබන 21 වනදා සඳුදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

පළමු (1) වාරයේ තුන්වන (3) අදියර මැයි මස 09 වනදා අවසන් වීමට නියමිතයි ෴


සොරකම් රැසක් කළ අයෙක් අත්අඩංගුවට

(11.04.2025 – 08:54 +0530 – hirunews.lk/sinhala)

බියගම පොලිස් වසමේ ආයෝජන කලාප ප්‍රදේශයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර ගෙවල් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු සොරකම් කරන ලද දේපල සමග ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී බියගම, කිරිබත්ගොඩ, කඩුවෙල, වැලිවේරිය හා අවිස්සාවේල්ල පොලිස් වසම්වල ගෙවල් බිඳ දේපල සොරකම් රැසක් සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර සොරකම් කරන ලද රූපවාහිනී යන්ත්‍ර 02 ක්, පරිඝණක යන්ත්‍රයක්, උණු කරන ලද රත්තරන් ගුලි 05 ක්, ගෑස් සිලින්ඩරයක්, රෙදි සෝදන යන්ත්‍රයක් සහ ශීතකරණයක් පොලිස් භාරයට ගෙන තිබුණා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක්

(11.04.2025 – 09:00 +0530 – hirunews.lk/sinhala)

අවුරුද්දට පෙර උදාවන අවසන් සති අන්තයවන අද (11), ගම්බිම් බලා ජනතාව වැඩි වශයෙන් ගමන් කිරීමට උනන්දුවක් දක්වනවා.

එවන් පසුබිමක ඒ වෙනුවෙන් ඊයේ (10) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ද ආරම්භ කෙරුණා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ධාවන පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි කියා සිටියේ, අතිරේක බස් රථ 500 ක් පමණ ඊට යොදවා ඇති බවයි.

පෞද්ගලික බස්රථ ද අතිරේකව යෙදවීමට කටයුතු කරන බවත්, අලු‍ත් අවුරුදු නැකත් ආරම්භ වීමට ආසන්න කාලසීමාවතෙක්ම, දුරගමන් සේවා බස් රථ ක්‍රියාත්මක බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළා.

එමෙන්ම, දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, අතිරේක දුම්රිය ගමන්වාර 40 ක් ක්‍රියාත්මක අතර එම ගමන්වාර කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, මහනුවර, අනුරාධපුර හා ගාල්ල යන ගමනාන්ත දක්වා ක්‍රියාත්මක බවයි.

මේ අතර, පාරිභෝගික අධිකාරිය විසින් උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් වැටලීම් 1,200 ක් සිදුකර තිබෙනවා.

වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි දිනවලදී ද අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව වැටලීම් සිදුකරන බවයි එම අධිකාරිය සදහන් කළේ.

මෙම වැටලීම් සිදුකිරීමේදී වෙළෙදුන් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම, සඳහන් කර ඇති මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල සඳහන් කර ඇති තොරතුරු වෙනස් කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, බිල්පත් නිකුත් නොකිරීම, යනාදිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා ෴

+++

+++

ගමට යන්න කොළඹට රැස්වෙන මහ සෙනඟ

(11.04.2025 – 19:26 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට තවත් දින 02 ක් පමණක් ඉතිරිව පවතිද්දී සිය ගම්බිම් බලා යාමේ අපේක්ෂාවෙන් මේ වන විටත් පිටකොටුව – බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලේ මෙන්ම මධ්‍යම බස් නැවතුම්පලේ විශාල පිරිසක් රැඳී සිටිනවා.

එසේම, ගාල්ල, මාතර, මහනුවර ඇතුලු‍ නගර රැසක ‘හිරු ප්‍රාදේශිය වාර්තාකරුවන්’ කියා සිටියේ එම නගරවල සිට දුර බැහැර ප්‍රදේශ වෙත ගමන් කිරිමට ද බොහෝ පිරිසක් රැඳී සිටින බවයි.

මෙම තත්ත්වයත් සමග අද (11) පස්වරුවේ දිවයිනේ නගර රැසක් ආශ්‍රිතව රථවාහන තද බද හටගත් බවද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මෙවන් පසුබිමක අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ දුම්රිය සේවා ආරම්භ කල අතර, ඒ යටතේ විශේෂ දුම්රිය 10 ක් ධාවනයට යොදවා තිබෙනවා.

මේ අතර, ගම්බිම් බලා යන ජනතාවට ප්‍රමාණවත් පරිදි බස්රථ යෙදවීමට අද (11) දිනයේදීත් කටයුතු කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කලේ.

මාකුඹුර සහ කඩවත බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානවල සිට ද අධිවේගී මාර්ගය හරහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.

අප වාර්තාකරුවන් සදහන් කළේ, ගම්බිම් වෙත යාමට මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය වෙත අද (11) පස්වරුවේ විශාල වශයෙන් ජනතාව පැමිණ සිටි බවයි.

එහිදී ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය සතු ‘ඩබල් ඩෙකර්’ බස් රථද ධාවනයට යොදවා තිබූ බවද ‘හිරු වාර්තාකරු’ සඳහන් කළා.

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ගම්බ්ම් බලා යන ජනතාවට බස් සංගම් එක්ව පිටකොටුව – බැස්ටියන් මාවතේ දී අද (11) පස්වරුවේ සිසිල් පැන් සහ කෝපි දන්සලක් ද සංවිධානය කර තිබුණා.

මේ අතර, මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස්රථ යෙදවිමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයද සඳහන් කළා ෴

+


අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධියේ සැකකරු DNA පරීක්ෂණයකට

(11.04.2025 – 09:11 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මීට අදාළ නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (10) කැදවූ අවස්ථාවේදීයි.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග නියෝග කළේ, සැකකරු ඩී.එන්.ඒ. පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එහිදී පොලිසිය විසින් අධිකරණය වෙත දන්වා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු ලබන 21 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ෴


දේශබන්දුට දුන් ඇප නියෝගයට එරෙහිව නීතිපතිවරයාගෙන් ප්‍රතිශෝධන අයදුම්පතක්

(11.04.2025 – 09:20 +0530 – hirunews.lk/sinhala)

වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඇප නියෝගය අධ්‍යනය කිරීමේන් අනතුරුව මහාධිකරණය හමුවේ මෙම අයදුම්පත ඉදිරිපත් කරන බවයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස ඊයේ (10) නියෝග කළා.

සැකකරුට මීට පෙර පැනවූ විදෙස් ගමන් තහනම ඉදිරියටත් ක්‍රියාත්මක බවයි මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළේ.

2023 වසරේ වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී පිටු 16 කින් යුත් ඇප නියෝගය මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් ප්‍රකාශයට පත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අදාළ විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබූ බවයි.

ඒ අනුව සමානාත්මතාවය යන්න සලකා බලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප නියම කරන බව ඔහු සදහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා නැමැත්තා තමාට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අනතුරුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ප්‍රකාශ කළේ කිසිදු සාක්ෂිකරුවෙකුට සිය සේවාදයකයාගෙන් බලපෑමක් නොමැති බවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ පරිශ්‍රයෙන් පිටවයන තුරු ආරක්ෂාව ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ නීතිය සැමට පොදු බවයි.

මීට අදාළ නඩුව මැයි මස 22 වැනිදා යළි කැඳවනු ඇති ෴


අස්වැසුම අප්‍රේල් මස දීමනා අද (11) ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත

(11.04.2025 – 09:28 +0530 – hirunews.lk/sinhala)

අස්වැසුම අප්‍රේල් මස දීමනා අද (11) දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව, සුදුසුකම් ලැබූ පවුල් 17,37,141 ක් සඳහා රුපියල් බිලියන 12.63 ක් බැර කරනු ඇති.

එසේම, ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 580,944 ක් සදහා රුපියල් බිලියන 2.9 ක් ද අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය සඳහන් කළේ ෴


කොළඹ මහ නගර සභාව ඇතුලු පළාත් පාලන ආයතන 18 ක ඡන්දයට තිබූ අතුරු තහනම ඉවතට

(11.04.2025 – 11:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 කට එළඹෙන මැයි මස 06 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝග ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළා.

අදාළ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබූ පෙස්සම් අද (11) නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසමක් මත අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

මෙම නඩු අද (11) කැඳවනු ලැබුවේ අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ.

එහිදී වග උත්තරකාර තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව වග උත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් නොකරන බව සඳහන් කළා.

මෙම නාමයෝජනා සම්බන්ධයෙන් වග උත්තරකරුවන් නීත්‍යානුකූලව කටයුතු කර තිබෙන බවත් කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අදාල ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යළි භාර ගන්නා ලෙස අදාල තේරීම්ර භාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගනු ලැබූ තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළා.

ඉන් අනතුරුව එසේ ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් තවත් රිට් ආඥාවක්ද තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කෙරුණා.

එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව, උඩපළාත, පාත දුම්බර, පන්විල, අකුරණ, හාරිස්පත්තුව, හඟුරන්කෙත , කුලියාපිටිය ඇතුළු ප්‍රාදේශීය සභා ගණනාවක මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට නියම කෙරුණා ෴

+

+


විදුලිබල මණ්ඩලය ‘සහස්දනවි විදුලි බලාගාරය’ සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් කරයි

(11.04.2025 – 12:21 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ‘සහස්දනවී විදුලි බලාගාරය’ සඳහා විදුලි බල මිළදී ගැනීමේ ගිවිසුම (PPA) අත්සන් කළ බව නිවේදනය කර තිබෙනවා.

මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25 කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බවද සඳහන්.

+++

අවුරුදු කාලේ දවස් 12 කට ලංවිම සූර්ය බල නිෂ්පාදනය ප්‍රතික්ෂේප කරලා – විදුලිබල සහ බලශක්ති ආරම්භක කමිටුවේ සභාපති

(11.04.2025 – 18:43 +0530 – hirunews.lk/sinhala)

සූර්යබලයෙන් නිෂ්පාදනය කරනු ලබන විදුලිය පද්ධතියට එක් කර ගැනීම ඊයේ (10) සිට ලබන 21 වනදා දක්වා ‘විදුලිබල මණ්ඩලය’ විසින් අත්හිටුවා ඇති බවට ‘ජාතික වාණිජ මණ්ඩලයේ විදුලිබල සහ බලශක්ති ආරම්භක කමිටුවේ’ සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු පවසනවා.

මේ හේතුවෙන් සිදුවන අලාභයට විදුලිබල මණ්ඩලය වන්දි ලබා දිය යුතු බවයි ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමග සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

සූර්යබලයෙන් නිෂ්පාදනය කරනු ලබන විදුලිය පද්ධතියට එක් කර ගැනීම ‘විදුලිබල මණ්ඩලය’ විසින් ලබන 21 වනදා දක්වා අත්හිටුවා ඇති බවට මෙහිදී සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් අප ‘ලංකා විදුලිබල මණ්ඩලයෙන්’ විමසීමක් කළා.

එය මුලුමනින්ම අසත්‍ය වන අතර, එම කටයුතු මේ වනවිටත් සාමාන්‍ය පරිදි සිදුවන බවයි ‘ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක’ ඉංජිනේරු ධම්මික විමලරත්න එහිදී කියා සිටියේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *