වසර 34 කට පසුව යාපනය-පලාලි මාර්ගය ගමනාගමනයට විවෘත කෙරේ

වසර 34 කට පසුව යාපනය-පලාලි මාර්ගය ගමනාගමනයට විවෘත කෙරේ


වසර 34 කට පසුව යාපනය-පලාලි මාර්ගය ගමනාගමනයට විවෘත කෙරේ

(10.04.2025 – 08:04 +0530 – hirunews.lk/sinhala)

යුද්ධය හේතුවෙන් අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා.

මේ අනුව යපනය – පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා ඇති කිලෝමීටර් දෙකහමාරක (2½) පමණ දුර අද (10) උදෑසන සිට මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට පලාලි යුද හමුදා කඳවුර පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිලිපැදිය යුතු කොන්දේසි කිහිපයක් යුද හමුදාව විසින් දැනුම් දී තිබුණා. ඒ අනුව,

  • මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 06 සිට සවස 05 දක්වා කාලය අතරයි,
  • විවෘත කරන මාර්ගය අතරමග වාහන නවතා තැබීම තහනම්,
  • මාර්ගයේ ගමන්කරන අතරතුර මගදෙපස ඡායාරූප හා වීඩියෝ ගැනීම තහනම්,
  • අදාළ මාර්ගය දෙපස ඇවිදීම තහනම්,
  • මගී ගමනාගමනය හැර වෙනත් කටයුතු සඳහා මාර්ගය භාවිත නොකිරීම,
  • මාර්ගයේ ගමන් කරන වාහනවල උපරිම වේගය පැයට කිලෝමීටර් 40 ක් සහ
  • මාර්ගයේ ගමන් කරන අයගේ අනන්‍යතාවය ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීම

යනාදිය එම කොන්දේසිවලට ඇතුළත් වෙනවා.

අද (10) දින මාර්ගය විවෘත කිරීමත් සමග මගීන් වැඩි දුරටත් පවසා සිටියේ, අධි ආරක්ෂිත කලාපයට අයත් සෙසු භූමි ද මෙලෙසින් නිදහස් කිරීමට ආරක්ෂක අංශ ඇතුළු රජයේ අවධානය යොමු කරන ලෙසටයි ෴


අධිවේගී මාර්ගවල කාඩ්පත් සහ QR code මගින් ගෙවීම් කිරීමේ පහසුකම්

(10.04.2025 – 10:18 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ දී අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කාඩ්පත් (debit card & credit card) සහ QR code මගින් ගෙවීම් කටයුතු කිරීමේ පහසුකම සලසා දීමට තීරණයකර තිබෙනවා.

කාඩ්පත් මගින් ගණුදෙනු කිරීමට අදාලව නියමු ව්‍යාපෘතීන් මේ සතියේ කොට්ටාව සහ කඩවත හුවමාරු වල දී ඇරඹීමට නියමිත අතර මැයි මස සිට ලංකාවේ සියලුම අධිවේගී මාර්ගවල මෙම කාඩ්පත් මගින් ගෙවීමට අදාලව කටයුතු සුදානම් කිරීමට නියමිතයි.

කිසිඳු අමතරව ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා ජනතාවට ලබන මස සිට මෙම සේවාව ලබාගත හැකි බවයි වාර්තා වෙන්නේ ෴


මුහුදු ගිය මාමයි බෑනයි රළට හසුවෙයි; බෑනා මියයයි

(10.04.2025 – 11:37 +0530 – hirunews.lk/sinhala)

මීගමු ධීවර වරායෙන් මුහුදු ගිය මාමා සහ බෑනා කෙනෙකු රැගත් එක්දින ධීවර යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව රළ පහරට හසුවීමෙන් බෑනා මුහුදට වැටී තිබෙනවා.

මාමා බෝට්ටුව සමග අද (10) අළුයම පානදුර ධීවර වරාය ආසන්නයට ගොඩගසා ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා.

බෝට්ටුව ගොඩගසා පැය හයකට (6) පමණ පසුවයි මෘත දේහය වෙරළට ගොඩගසා ඇත්තේ.

දිවි බේරාගත් මාමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ජීවිත ආරක්ෂක නිළධාරියෙකු පැවසුවා.

මියගොස් ඇති තැනැත්තාගේ මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය අද (10) සිදුකර මෘතදේහය පානදුර මූලික රෝහල වෙත යොමුකිරීමට නියමිතයි ෴


කඩවත අත්අඩංගුවට ගැනීමකට එරෙහිව ආ විරෝධය පොලිසිය කරුණු පහදා නවත්වයි

(10.04.2025 – 14:23 +0530 – hirunews.lk/sinhala)

කඩවත ප්‍රදේශයේ එකම පවුලේ මව පියා සහ පිරිමි දරුවන් දෙදෙනෙකු (2) කඩවත පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

අදාළ සිදුවීමට ප්‍රදේශවාසීන් ඊයේ (09) රාත්‍රියේ විරෝධය පළ කිරීමට සූදානම් වූ අතර, පොලිසිය කරුණු පැහැදිලි කිරීමෙන් පසු විරෝධය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

කඩවත පොලිසිය විසින් කඩවත ගල්වල ප්‍රදේශයේ පදිංචි මොවුන් අත්ඩංගුවට ගෙන තිබුණේ පසුගිය සෙනසුරාදායි.

පසුව ඔවුන් මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අත්අඩංගුවට ගත් පවුලේ දියණිය පැවසුවේ, තම වැඩිමහල් සහෝදරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටියත් මව, පියා සහ බාල සහෝදරයා කිසිවකට සම්බන්ධ නොවන බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසියෙන් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ, පෙර වැරදි සහ තවත් චෝදනා කිහිපයක් පැවැතීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවයි.

+


පෞද්ගලික අංශයේ අවම වැටුප හරියටම වැඩි වෙන්නේ මෙහෙමයි

(10.04.2025 – 14:30 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් මසකට රුපියල් 21,000 ක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප, අයවැය යෝජනා අනුව මේ වසරේ (2025) සිට මසකට රුපියල් 27,000 දක්වා වැඩි කෙරෙන අතර ජාතික අවම දෛනික වැටුප ද රුපියල් 700 සිට 1080 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බව කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පෞද්ගලික අංශයට දැනට ගෙවනු ලබන ජාතික අවම මාසික වැටුප වන රුපියල් 21,000 ගෙවනු ලබන්නේ 2024 අංක 48 දරන ජාතික අවම චේතන (සංශෝධන) පනත අනුව ගෙවනු ලබන රුපියල් 17,500 ද, 2005 අංක 36 දරන අය වැය සහන දීමනා පනත යටතේ ගෙවනු ලබන රුපියල් 1000 ක අයවැය සහන දීමනාව ද, 2016 අංක 4 දරන අය වැය සහන දීමනා පනත යටතේ ගෙවනු ලබන රුපියල් 2500 ක අය වැය සහන දීමනාව ද යන තුනෙහි එකතුවක් ලෙසයි.

ඒ අනුව, මීට පෙර ලද ඉහත අය වැය සහන දීමනාවන් වූ රුපියල් 3500 ක මුදල මින් පසු මුලික වැටුපට / චේතනයට එකතු වන අතර එම මූලික වැටුප වැඩිවීම මගින් සේවකයන්ට මූලික වැටුපට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ ද වැඩිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන්.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම පනත ක්‍රියාත්මක වන දිනය තෙක් ජාතික අවම චේතනයට වඩා වැඩි වැටුපක්, මූලික වැටුප හෝ චේතනය ලෙස ලබමින් සිටි සේවකයින් සම්බන්ධයෙන් එකී අය වැය සහන දීමනාවන් අදාල මූලික වැටුපට හෝ චේතනයට වැටුපේ කොටසක් ලෙස සළකා එකතු කර ගෙවීම කරන බවයි.

මෙම වසරේදී රුපියල් 27,000 දක්වා වැඩි කෙරෙන මෙම ජාතික අවම වැටුප ලබන වසරේ (2026) සිට රුපියල් 30,000 දක්වාත් දෛනික වැටුප ද රුපියල් 1080 සිට රුපියල් 1200 දක්වාත් වැඩි කිරීමට නියමිතයි.

මේ සඳහා කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාල පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ෴


වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය හෙට (11) ගොඩගැනේ

(10.04.2025 – 14:36 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ‘සත්සර නිමේෂ්’ නමැති තරුණයාගේ මෘත දේහය හෙට (11) යළි ගොඩ ගැනීමට නියමිතයි.

ඒ මියගිය තරුණයාගේ ඥාතීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

සිරුර ගොඩගන්නා තුරු එම ස්ථානයට තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

‘සත්සර නිමේෂ්’ නමැති එම තරුණයා වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගියේ පසුගිය 02 වැනිදායි.

මේ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින්ම විරෝධය එල්ලවූ පසුබිමක ඔහුගේ ඥාතීන් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ‘සත්සර’ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි.

මිහිදන් කළ සිරුර යළි ගොඩගෙන විශේඥ වෛද්‍යවරු තිදෙනෙකු (3) ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදුකර එම වාර්තාව ලබන 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේ ඒ අනුවයි.

+


වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හැරේ

(10.04.2025 – 15:09 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළා.

ඔහු දින 22 ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණේ ‘මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ’ චෝදනාවකටයි.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය පෙබරවාරි මස 27 වැනිදායි.

ඔහුව එලෙස අත්අඩංගුවට ගන්න ලෙසට නියෝග කළත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කෙරුණේ එවන් පසුබිමකයි.

කෙසේ වෙතත් පසුගිය 19 වැනිදා දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥයා හරහා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වී තිබුණා.

එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඒ සම්බන්ධ නීති කෘත්‍ය අද (10) කැඳවනු ලැබුවේ තුන්වැනි (3) වරටයි.

අද (10) දේශබන්දු තෙන්නකෝන්ගේ ඇප නියෝගය ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ අතර අද (10) පෙරවරුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණ පරිශ්‍රයට රැගෙන ආවේ දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේයි.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී පිටු 16 කින් යුත් ඇප නියෝගය මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් ප්‍රකාශයට පත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අදාළ විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබූ බවයි ඒ අනුව සමානාත්මතාවය යන්න සලකා බලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා දේශබන්දු තෙන්නකෝන්ට මීට පෙර පැනවූ විදෙස් ගමන් තහනම ඉදිරියට ක්‍රියාත්මක බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ දිලීප පීරිස් ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා නැමැත්තා තමාට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවයි.

අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ප්‍රකාශ කළේ කිසිදු සාක්ෂිකරුවෙකුට සිය සේවාදයකයාගෙන් බලපෑමක් නොමැති බවයි.

කෙසේ වෙතත් අවසානයේ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස අධිකරණයේ ප්‍රකාශ කළේ සාක්ෂිවරුන්ට කිසිදු බලපෑමක් සිදු නොකළ යුතු අතර බලපෑමක් සිදුවුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ පරිශ්‍රයෙන් පිටවයන තුරු ආරක්ෂාව ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ නීතිය සැමට පොදු බවයි. නඩුව මැයි මස 22 වැනිදා යළි කැඳවීමටද නියම කෙරුණා.

+


ඉදිරියේදී දඩ ගෙවන්න ඔන්ලයින් ක්‍රමවේදයක්

(10.04.2025 – 15:23 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය විසින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

ඒ අනුව, මෙම ගෙවීම් කටයුතු GovPay ඇප් එක හරහා සිදුකළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

තවද, කුරුණෑගල සිට අනුරාධපුර දක්වා ස්ථාන 11 කදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාවැඩිදුරටත් පැවසුවේ.

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදු කිරීමට ජනතාවට හැකිවන පරිදි ‘GovPay’ පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම පෙබරවාරි 07 වැනිදා සිදුකළා.

ඒ, ජනපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් ෴


පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(10.04.2025 – 17:10 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන 250 කට ආසන්න ප්‍රමාණයක ඡන්ද විමසීම නියමිත පරිදි ලබන මැයි මස 06 වනදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කොළඹ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ, අධිකරණයෙන් තහනම් නියෝග නිකුත් කළ ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගයෙන් පසු තීරණය කරන බවයි ෴


මියන්මාරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්

(10.04.2025 – 17:41 +0530 – hirunews.lk/sinhala)

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනමනු ලැබුවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බවයි එහිදී ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය සඳහන් කළේ.

එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොමු කිරීම පිළිබඳවද ස්තූතිය පළ කළ තානාපතිවරිය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින දිගුකාලීන ආගමික සහ සංස්කෘතික මිත්‍රත්වය එමගින් තවදුරටත් තහවුරු වනු ඇති බව සඳහන් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *