බෝනස් දෙන්න බෑ කියපු ඇඟලුම් ආයතන ප්‍රධානීන් නිවාස අඩස්සියේ තබාගෙන සේවක සේවිකාවන් විරෝධතාවයේ

බෝනස් දෙන්න බෑ කියපු ඇඟලුම් ආයතන ප්‍රධානීන් නිවාස අඩස්සියේ තබාගෙන සේවක සේවිකාවන් විරෝධතාවයේ


බෝනස් දෙන්න බෑ කියපු ඇඟලුම් ආයතන ප්‍රධානීන් නිවාස අඩස්සියේ තබාගෙන සේවක සේවිකාවන් විරෝධතාවයේ

(09.04.2025 – 11:13 +0530 – hirunews.lk/sinhala)

මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම නිසා ඔවුන් විසින් ආයතන ප්‍රධානීන් නිවාස අඩස්සියේ තබා විරෝධතාවයේ නියැලී තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ (08) රාත්‍රියේ එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණා.

අමෙරිකාව විසින් මෙරටට පැනවූ තීරු බදු හේතුවෙනුයි මෙසේ බෝනස් දීමනාව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ.

අවුරුදු බෝනස් දිමනාව ලබා නොදීමට එහි පාලන අධිකාරිය විසින් ඊයේ (08) උදෑසන ගත් තීරණයට විරෝධය පලකරමින් සේවක සේවිකාවන් සේවයෙන් බැහැරව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පිවිසුම් දොරටුව අසල රැඳී සිට ඇති අතර, ආයතන ප්‍රධානීන් සමග ඔවුන් පැවැත්වූ සාකච්ඡාව ද උණුසුම් තත්ත්වයෙන් අවසන් වී තිබෙනවා.

මේ හේතුවෙන් රාත්‍රී කාලයවනතෙක් විසඳුමක් නොමැති වීම නිසා සේවක සේවිකාවන් එහි පාලන අධිකාරිය නිවාස අඩස්සියේ තබා ආයතනයේ පිවිසුම් දොරටුව අගුලු දා එය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයේ නියැලී තිබුණා.

මෙහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ අවුරුදු බෝනස් දීමනාව ලබාදෙනතෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

මේ සම්බන්ධව ඇඟලුම් කර්මාන්තශාලාවේ ප්‍රධානීන් විසින් වැලිගම පොලිසියට දැන්විමත් සමග විශේෂ පොලිස් ආරක්ෂාවක්ද එම ස්ථානයේ යොදවා තිබූ නමුත් අද (09) උදෑසනවනතෙක්ම සේවක සේවිකාවන් ආයතනයේ පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නියැලී තිබෙනවා.

+

+


අද (09) සිට ක්‍රියාත්මක ට්‍රම්ප්ගේ තීරුබද්ද අපේ ඇඟලුම් ක්ෂේත්‍රයට කරන බලපෑම

(00.04.2025 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා පසුගියදා 44% ක තීරු බද්දක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් 40% ක් සහ රබර් අපනයනයෙන් 30% ක් දැනටමත් එක්සත් ජනපද වෙළඳපොළට ලබා දෙන බැවින් මෙම අංශ සැලකිය යුතු අර්බුදයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා.

අදාළ බලපෑම සම්බන්ධ විශ්ලේෂණ හා ඇස්තමේන්තු පෙන්වා දෙන්නේ, කාලයත් සමඟ මෙම තීරුබදු නිසා ශ්‍රී ලංකාවට අපනයන ඉපැයීම්වලින් ඩොලර් මිලියන 350 ත් 400 ත් අතර මුදලක් අහිමි වීමේ හැකියාවක් තිබෙන බවයි.

මෙම බලපෑම ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් (2) ඔස්සේ සිදුවිය හැකියි.

ඉන් පළමු වැන්න නම් ඇමරිකානු ඉල්ලුම අඩුවීමයි. මෙම බදු ප්‍රතිපත්තිය නිසා ඇඟළුම් වැනි භාණ්ඩ ඇමරිකාවේ වඩාත් මිල අධික වන අතර, එම නිසා ඇමරිකානු පාරිභෝගිකයන් විසින් ඇඟළුම් මිලදී ගැනීම 10% කින් පමණ අඩුවීමට ඉඩ පවතිනවා.

මේ නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 210 ක අලාභයක් ශ්‍රී ලංකාවට සිදුවීමට ඉඩ පවතින බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

දෙවැන්න නම් ඇණවුම් වෙනත් රටවලට මාරු වීමයි. සමාන භාණ්ඩ සඳහා අඩු බදු අනුපාත ඇති බංගලාදේශය, ඉන්දියාව, සහ අප්‍රිකාණු රටවලට සමහර ඇඟළුම් ඇණවුම්වලින් 15% ක් පමණ මාරුවීමේ හැකියාවක් පවතියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයනවලින් 40% ක් පමණ ඉහළ නිපුණතා අවශ්‍ය කරන නිෂ්පාදනයන් වෙන අතර ඒවා පහසුවෙන් වෙනත් රටවල නිෂ්පාදනය කළ නොහැකියි.

මේ නිසා එම සමාගම්වල නිෂ්පාදන වෙනත් රටවල්වලට මාරු කිරීමට පෙර වසර 1.5 සිට 2 ක කාලයක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි උපකල්පනය කෙරෙනවා.

මෙම බදු දිගුකාලීනව පවතින විට කර්මාන්තශාලා වසා දැමීම්, රැකියා අහිමිවීම් හා සමාගම්වල ලාභය අඩුවීම හේතුවෙන් මුළු ආර්ථිකයම පීඩා විඳින තත්ත්වයක් ඇතිවිය හැකියි.

මෙහි යහපත් පැතිකඩ පිළිබඳ විමසා බලන විට, ගෝලීය තෙල් මිල අඩුවීම ශ්‍රී ලංකාවට මිලියන 300 සිට 500 දක්වා ආනයන ගාස්තු ඉතිරි කිරීමට හැකියාව ලැබෙන අතර එම නිසා මෙම වෙළඳ පරතරය සමනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

එබැවින් ඉදිරියේදී මෙම තත්ත්වය කොපමණ කාලයක් පවතිනවාද සහ වෙළඳ සාකච්ඡා මගින් කිසියම් සහන හෝ සම්මුතීන්ට එලබෙනවාද යන්න මත මෙහි බලපෑම ශ්‍රී ලංකාව මත රඳා පවතින බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ඉකුත් අප්‍රෙල් 03 වැනි දින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද තීරුබදු ප්‍රතිශතයන් අද (09) සිට වලංගු වනවා ෴


ගුවන්තොටුපොළ අලුත්වැඩියාව ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්

(09.04.2025 – 09:08 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සිදුවූ රුපියල් මිලියන 344.5 ක ආර්ථික නොවන පාඩුවක් පිළිබඳව ‘කෝප් කමිටුවේ’දී අනාවරණ වී තිබෙනවා.

මගී ධාරිතාව මිලියන 6 සිට 12 දක්වා වැඩි කරගැනීමට 2007 වසරේදී සිදුකළ සැලසුම වෙනුවට, නැවතත් මගී ධාරිතාව මිලියන 15 දක්වා වැඩිකිරීමට 2013 වසරේදී සැලසුම් සකස් කිරීම හේතුවෙන් මෙම ආර්ථික නොවන පාඩුව සිදුව තිබුණා.

මෙම සැලසුමට හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් 2007 වසරේදී ජපාන හවුල් සමාගමක් තෝරාගෙන තිබෙනවා.

සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට පෙර සමාගම සමග 2014 වසරේදී ගිවිසුම් අත්සන් කරනු ලැබූවද විවිධ අවස්ථාවන්වලදී සැලසුම වෙනස් කරමින් ගිවිසුම් සංශෝධනය කිරීම හේතුවෙන් මුලික උපදේශන සේවා ගාස්තුවට අමතරව ඩොලර් 1,78,589 ක්, ජපන් යෙන් මිලියන 1612.4 ක්, සහ රුපියල් මිලියන 808.6 ක් ගෙවීමට සිදුව තිබූ අතර ගිවිසුම් කාල සීමාව මාස 47 සිට මාස 131 දක්වා තවත් අවුරුදු 7 කින් දීර්ඝ වී තිබූ බවට ද කෝප් කමිටුවේදී අනාවරණය වුණා.

ඒ අනුව, 2014 සිට 2024 දක්වා සැලසුම් සහ උපදේශන ගාස්තුව ලෙස රුපියල් මිලියන 3,884.8 ක මුදලක් මෙම උපදේශක සේවා සමාගමට ගෙවා තිබීම මහජන මුදල් අවභාවිතා කිරීමක් බවයි එම කමිටුව හමුවේ අවධාරණය කෙරුණේ.

එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාලව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය ඉදිකිරීමේ කටයුතු සිදුකරනු ලබන අතර මෙමගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණි.

ඒ සඳහා ‘හසාමා’ ඉදිකිරීම් සමාගම වෙත මාස 30 ක කාල සීමාවක් සඳහා රුපියල් මිලියන 6117.8 ක මුදලකට මෙම ව්‍යාපෘතිය ලබා දී තිබුණද, එහි වැඩකටයුතු අවසන් වන විට රුපියල් මිලියන 766.8 ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බවට හෙළිව තිබෙනවා.

කෙසේවෙතත් මෙහෙයුම් හා සම්බන්ධ ගැටලු‍වක් හේතුවෙන් එය භාවිතා කළ නොහැකි බවට සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කර සිටි අතර එසේ නම් මෙම ව්‍යාපෘතිය කිසිඳු පසුවිපරමකින් තොරව බාර ගැනීමේ තාර්කික පදනම කුමක්දැයි කාරක සභාව හමුවේ ප්‍රශ්න කෙරුණා.

‘සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සමාගම’ විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙහිදී කටයුතු කර ඇති බවත්, බලාපොරොත්තු වූ අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීමට මේ ව්‍යාපෘතිය හරහා කළ නොහැකි බව නිලධාරීන්ට අවබෝධ කරගෙන ඇත්තේ ව්‍යපෘතිය අවසානයේ බවත් මෙහිදී හෙළිව තිබෙනවා ෴


05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

(09.04.2025 – 09:25 +0530 – hirunews.lk/sinhala)

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09 දින සිට 2025.04.30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බවයි.

https://g6application.moe.gov.lk/ දිගුව ඔස්සේ උපරිම පාසල් 3 ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතිනවා.

මේ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන https://moe.gov.lk/ වෙත පිවිස ලබා ගත හැකියි ෴


‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ කාලය යළි දීර්ඝ වෙයි

(09.04.2025 – 10:16 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් මාර්තු 31 වැනි දා සිට අත්හිටුවීමට ලක් වූ ‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක වීම යළි දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව රුපියල් මිලියන 25 ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාර්තු 31 දක්වා මුලින් අත්හිටුවන ලද පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන තිබෙනවා.

මේ අතර රුපියල් මිලියන 25-50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා සහ

රුපියල් මිලියන 50 ඉක්මවන ණය ලබාගෙන ඇති අය සඳහා 2025 ජුනි 30 දක්වා අත්හිටුවීම දීර්ඝ කළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ ෴


මාළු ලොරියෙන් එළියට ගත් රුපියල් කෝටි 05 ක ‘කේරල ගංජා’

(09.04.2025 – 12:05 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 05 කට අධික ‘කේරල ගංජා’ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් විසින් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ගංජා තොගය ප්‍රවාහනය කර ඇති අතර ලොරි රථයේ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 200 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි පහ හමාරකට (5½) අධික බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


පොතක් යැයි කියූ ‘ෆාමකෝපියා’ ඉන්දියාවේදී කොමිසමක් වෙයි …

(09.04.2025 – 11:20 +0530 – lankacnews.com)

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් තබන ලද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකරන ලද ප්‍රකාශයකට අදාළව ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු’ රවි කුමුදේශ මහතා අදහස් පළ කරයි.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇති දීර්ඝ සටහන මෙසේය :

“කවරය විතරක්වත් කියෙව්වානම්, පොත සහ පොත නිකුත් කරන ආයතනය කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න තිබුණා..

නලින් හේවගේ කෙහෙල් ගහට කොටලා හොට ගලවා ගන්නත් කලින්, නලින් හේවගේව පාවලා දීපු නලින්ද ඇමතිතුමා කෙහෙල් ගහට කොටා ගත්තා.

කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස ‘ඉන්දියානු ෆාමකෝපියා කොමිසම’ (Indian Pharmacopoeia Commission) කියන්නෙ පොතක් බව කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වා. එයාලගෙ අනුගාමිකයො දැන් ඒක සමාජ මාධ්‍ය වලත් උස්සගෙන දුවනවා.

‘අන්ධ මිනිස්සු අලියෙකු ගැන විස්තර කරනවා වගේ’ කියන ජනප්‍රිය ප්‍රස්තාව පිරුළට ඔහු හොඳ උදාහරණයක්.

‘ඉන්දියන් ෆාර්මකෝපියා’ කියන්නේ පොතක් විතරක් නෙවෙයි, ඒ පොත නිකුත් කරන ආයතනයේ නමත් ‘ඉන්දියානු ෆාර්මකෝපියා කොමිසම’ (IPC).

නලින්ද උස්සාගෙන ආව පොත කියෙව්වේ නැතත්, කවරය විතරක්වත් කියෙව්වානම්, පොත නිකුත් කළ ආයතනය ගැන දැන ගන්න තිබුණා.

ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය (NMRA එක) ‘ෆාර්මකෝපියා’ පිලිගත්තා කියන එක තමයි ගිවිසුම. ඒක තමයි ප්‍රශ්නය. පුබුදු කිව්වෙත් ඒක.

දැන් ලංකාවට ඉන්දියානු ඖෂධ ගෙන එද්දි බලපාන්නේ ඉන්දියානු ප්‍රමිතිය මිස ලංකාවේ ප්‍රමිතිය නෙවෙයි. (දැන් තේරෙනව ඇති ජරා බෙහෙත් නිකම්ම හොද බෙහෙත් වෙන විදිහ)

අපේ ලෙඩ්ඩුන්ට බාල බෙහෙත් පටවන්න ඉන්දියාවට අවසර දෙන ගිවිසුම තමයි අත්සන් කලේ කියලා නලින්දම පිලිගන්නවා.

නලින්ද වෘත්තියෙන් වෛද්‍යවරයෙක්; ඒ වුණත් දේශපාලකයකු වීම නිසාත්, ජා.ජා.බ. ආණ්ඩුව බේරාගන්න මාධ්‍ය ප්‍රකාශකයකයා වූ නිසාත් ‘ඉන්දියානු ෆාමකෝපියා කොමිසම’ (Indian Pharmacopoeia Commission) කියන්නෙ පොතක් කියලා, තමන්ගෙ සාමාන්‍ය දැනීම කොච්චරද කියලා පෙන්වලා තිබෙනවා. තමන් මාධ්‍ය ඉදිරියේ පැහැදිලි කරන්න යන දේ ගැන විනාඩියකට කලින් ගූගල් කළා නං ඇමති නලින්දට https://www.ipc.gov.in/ වෙබ් අඩවිය හමුවෙනවා.

ඇයි මේ ඇමති නලින්දට මෙහෙම පටලැවිල්ලක් වුණේ?

පහුගිය 05 වෙනිදා නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී එන්පීපී ආණ්ඩුව, ඉන්දීය රජය සමඟ අත්සන් කළ ගිවිසුමකින් ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ (NMRA) සතු තොරතුරු ඉන්දියානු ඖෂධ කොමිසමට භාර දීමට මග පෑදීම පිළිබඳ පුබුදු ජාගොඩ කල කථාවකට පිළිතුරක් විදිහට තමයි නලින්ද මේ උත්තරේ දෙන්නේ.”


නිකවැරටිය, කඩිගාව විද්‍යාලය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පොලීස් නිලධාරියෙකු ජීවිතක්ෂයට; තවත් අයෙකුට තුවාල

(09.04.2025 – facebook.com/accident1stofficial/)

නිකවැරටිය, රස්නායකපුර – කඩිගාව මාර්ගයේ කඩිගාව විද්‍යාලය ආසන්නයේදී රියදුරා විසින් ඉතාමත් අපරික්ශාකාරීව ධාවන කල වෑන් රථයක් පාලනය කරගැනීමට නොහැකිව, මාර්ගයේ පසෙක යතුරුපැදියක් කිහිපයක් නවත්වා පරීක්ෂා කරම්න් සිටි පොලීස් නිලධාරීන් ගේ හා යතුරුපැදිවල ගැටීමෙන් පෙර දින (08) රාත්‍රියේ සිදුවූ අනතුරකින් එක් (1) පොලීස් නිලධාරීයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු (1) තුවාල ලබා රෝහල් ගත කෙරුනා. (එක් යතුරුපැදියක් වෑන් රථයට යටවී ඇත)

අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ නිකවැරටිය මොන්නෑකුලම, කරිහට්ටිකුලම පදිංචි එච්.එම්. උපුල් මධුශංක (37) නැමැති රස්නායකපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අවිවාහක පොලිස් කොස්තාපල් වරයෙක්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *