වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධයක් පානය කළ තෙමස් (3) ගැබිනි මවක මියයයි
වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධයක් පානය කළ තෙමස් (3) ගැබිනි මවක මියයයි
(08.04.2025 – 17:38 +0530 – hirunews.lk/sinhala)
පිළිගත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලකින් ලබාගත් විෂ සහිත ඖෂධයක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් මියගොස් තිබෙනවා.
ඇය හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි රුවන්වැල්ල පොලිසිය පවසන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සිව් (4) දරු මවක බවයි පොලිසිය පැවසුවේ.
මෙම කාන්තාව පසුගිය (05) වැනිදා සිය සැමියා සමග අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකට ගොස් දරු ගැබ ඉවත් කිරීම සඳහා ඖෂධයක් ඉල්ලා සිට ඇති අතර පසුව යෝනි මාර්ගයෙන් ශරීරගත කිරීමට ඖෂධ කරලක් (1) හා පානය කිරීමට පෙති තුනක් (3) ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුව එම පෙති පානය කිරීමත් සමග මෙම කාන්තාව අසාත්මික තත්ත්වයකට පත් වී ඇති අතර පසුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ඉල්ලා සිටි අවස්ථාවේ දී ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කොට වහාම රජයේ රෝහලකට යන ලෙස උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉකුත් ඉරිදා හෝමාගම මූලික රෝහලට මාරු කර එවා ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබෙනවා.
මෙම කාන්තාව පානය කර තිබූ විෂ සහිත ඖෂධය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිගමනයකින් තොරව පානය කිරීමට අවසරයක් නොමැති බවත් එවන් ඖෂධයක් ලබාගැනීම සහ නිකුත් කිරීම දෙපාර්ශවයම සිදුකළ වරදක් බවත් අනාවරණය වී තිබෙනවා.
පසුව මියගිය කාන්තාවගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර විසින් සිදු කළ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පනීත සෙනෙවිරත්න විසින් සිදුකළා.
එහිදී නිකුත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය කාන්තාවගේ සහ තෙමස් (3) බිළිදු කළලයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා.
ඒ අනූව මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීමටයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීන්දු කළේ ෴
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමේ යෝජනාව විශේෂ බහුතරයකින් සම්මතයි
(08.04.2025 – 18:01 +0530 – hirunews.lk/sinhala)
චෝදනාවට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) රැස්වූ පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත වුණා.
එහිදී එම යෝජනාව වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද කිසිවක් ලැබුණේ නැහැ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
පොලිස්පතිවරයා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 115 දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගිය මාර්තු 25 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාර දෙනු ලැබුවා.
මේ අතර, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ද අද (08) පැවැත්වුණා.
එහිදී දෙවනවර (2) කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලද අතර, පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.
+
සිරගතකිරීම් තුලින් තමන්ගේ ගමන නොනවතින බව චාමර කියයි
(08.04.2025 – 18:21 +0530 – hirunews.lk/sinhala)
විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටි කාලවකවානුවේදී ගල්කිස්ස ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක් බලෙන් පවරාගත් වර්තමාන ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක චෝදනා කරනවා.
ඔහු පවසන්නේ, ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු කට උත්තරයක් හෝ නඩු කටයුත්තක් තවමත් සිදුකර නොමැති බවයි.
ඔහු මේ බව සඳහන් කළේ, රක්ෂිත බන්ධනාගාරයේ සිට ඔහුව රැගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තු සැසිය අමතමින්.
එමෙන්ම, පොහොර සංස්ථාවේ සිටි කාලයේ රුපියල් මිලියන 70 ක මුදල් වංචාකිරීමේ සිදුවීමට අදාලව වැඩතහනම් වුණු අමාත්‍යවරයෙකුද සිටින බවත්, ඒ සඳහා තවමත් කිසිම ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් ඔහු සඳහන් කළා.
මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර තුල අධික රැඳවියන් පිරිසක් සිටින බවත්, එම තත්ත්ව සමනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව විසින් පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේ මෙවැනි පිරිස් පුනුරුත්තාපනයට ලක් කර යහපත්ව සමාජගත කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම, බන්ධනාගාර සේවය තුල දැඩි රැකියා පුරප්පාඩුවක් පවතින බවත්, තමා බන්ධනාගාර ගතවීම තුලින් මෙවැනි අඩුපාඩු සම්බන්ධයෙන් තමන්ට දැනුම්වත් වීමට හැකි වීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවත්, තමන්ට චෝදනාවන් එල්ල කර තමාව සිරගත කිරීම තුලින් තමන්ව නිහඬ කිරීමට කිසිවිටෙකත් නොහැකි බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළා.
+
+
හිටපු රාජ්‍ය ඇමැති ‘පිල්ලෙයාන්’ CID අත්අඩංගුවට
(08.04.2025 – 20:49 +0530 – hirunews.lk/sinhala)
හිටපු රාජ්‍ය ඇමැති ‘සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි.
පුද්ගලයෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියක විමර්ශනයකට අදාලව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට ‘කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත රැගෙන එමින් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කළේ ෴

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. (sinhala.adaderana.lk)
හික්කඩුව, කුමාරකන්දේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
(08.04.2025 – 21:54 +0530 – hirunews.lk/sinhala)
හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේදී පසුගිය 03 වැනිදා අඹුසැමි යුවළකට වෙඩි තබා එහි පිරිමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඒ එම සැකකරු නීතීඥයෙකු මාර්ගයෙන් ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.
පසුගිය අප්‍රියෙල් 03 වැනිදා රාත්‍රියේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තැබීමක් සිදුකළ අතර, එහිදී පිරිමියා ජීවිතක්ෂයට පත්වී කාන්තාව තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන දොඩම්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රශ්න කිරීම් සඳහා එක් (1) දිනක රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴
ගෙදරකට එබිකම්කළ පොලිස් නිලධාරියාට පහරදෙති
(08.04.2025 – 22:22 +0530 – hirunews.lk/sinhala)
කුරුණෑගල, ගැට්ටුවාන ප්‍රදේශයේ නිවසක ජනේලයකින් එම නිවස තුළට එබිකම් කළ පුද්ගලයෙකු එම නිවැසියන් විසින් කණුවක බැඳ පහරදී තිබෙනවා.
ඔහු කුරුණෑගල පොලිසියට අනුයුත්ක නිලධාරියෙකු බවයි පැවසෙන්නේ.
ඔහුව අත්අඩංගුවට ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය සඳහන් කළා ෴
රස්නායකපුරදී පොලිස් මාර්ග බාධකයක වෑන් රථයක් ගැටීමෙන් පොලිස් නිලධාරියෙකු මරුට
(08.04.2025 – 23:17 +0530 – hirunews.lk/sinhala)
නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයේදී වෑන් රථයක් පොලිස් මාර්ග බාධකයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී එම මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴
අසභ්‍ය වීඩියෝ හා ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
(08.04.2025 – 23:35 +0530 – hirunews.lk/sinhala)
නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන වටස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කරමින් ලිංගික හිරිහැර සිදු කිරීමේ සිද්ධීන් දෙකකට (2) අදාලව සැකකරුවන් දෙදෙනෙකු (2) පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන වට්ස් ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කර ඒවා ප්‍රචාරය කරන බවට තර්ජනය කරමින් රුපියල් 222,000 ක මුදලක් බලෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදු කර අද (08) දින දහවල් කාලයේ කොළඹ කොටුව ප්‍රදේශයේදී එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එවැනිම පැමිණිල්ලකට වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදු අද (08) වන දින දහවල් කාලයේ කහතුඩුව ප්‍රදේශයේදී එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ අඩාලයි
(09.04.2025 – 08:53 +0530 – hirunews.lk/sinhala)
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ විකිරණ පරීක්ෂණ සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ, ක්‍රියාකාරී තත්වයේ පැවති එකම විකිරණ යන්ත්‍රය ඊයේ (08) දහවල් බිඳ වැටීම ඊට හේතුව බවයි.
මෙවැනි යන්ත්‍ර දෙකක් (2) කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පවතින අතර ඉන් එක් (1) යන්ත්‍රයක් මීට වසරකට පමණ පෙර සම්පූර්ණයෙන් බිද වැටුණා.
ඉන් අනතුරුව හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ යාබදව පිහිටි විශේෂිත ස්නායු ඒකකයේ විකිරණ යන්ත්‍ර භාවිතයෙන් සිදු කෙරුණු අතර ඊයේ (08) බිද වැටී ඇත්තේ එම යන්ත්‍රයයි.
මෙලෙස බිද වැටුණු යන්ත්‍ර දෙක වසර 20 කට වඩා පැරණි බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය කියා සිටියේ ෴
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති CID අත්අඩංගුවට
(09.04.2025 – 12:22 +0530 – sinhala.adaderana.lk)
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසේක වික්‍රමසිංහ මහතාව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් මැණික් ගඟ ආසන්නයේ ඇති ඉඳිකිරීමක් සම්බන්ධයෙන් ලබාදුන් අක්‍රමවත් අනුමැතියක් හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත ෴
ගාලු කොටුවේ රැම්පාට් වීදියේ කොටසක් ගිලා බහී
(09.04.2025 – 12:22 +0530 – hirunews.lk/sinhala)
ගාලු කොටුවේ රැම්පාට් වීදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ඊයේ (08) ගිලා බැස තිබෙනවා.
අඩි දහයක (10) පමණ කොටසක් මෙලෙස ගිලා බැස ඇති අතර, ගිලා බැස ඇති කොටසේ ගැඹුර අඩි පහක් (5) පමණ වෙනවා.

මේ හේතුවෙන් ගිලා බැස ගිය කොටස වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.
මින් පෙර මෙම ස්ථානයේ ගිලා බැසීමේ සලකුණු තිබුණු බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවිටක් දැනුවත් කළ බවත්, ප්‍රදේශවාසීන් පවසනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴