අවුරුදු උත්සව සදහා මාර්ගෝපදේශ මාලාවක් – සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයෙන්

අවුරුදු උත්සව සදහා මාර්ගෝපදේශ මාලාවක් – සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයෙන්


අවුරුදු උත්සව සදහා මාර්ගෝපදේශ මාලාවක් – සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයෙන්

(30.03.2025 – 16:18 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති අතර, එමගින් සියලු‍ම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ මෙන්ම විශේෂිත ඉසව් සඳහා මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අලු‍ත් අවුරුදු කාල සීමාවේදී පැවැත්වෙන විවිධ අවුරුදු උත්සව සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර, එම මාර්ගෝපදේශ පිලිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් සිදුකර තිබෙනවා.

විශේෂයෙන් ගම හරහා දිවීම, මැරතන් තරගාවලි සහ පාපැදි වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට සති 6 කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

+


නාරායන් දේවිය : පත්තිනි මෑණියන්ගේ ආශ්‍රමය : මෙත්සිත් අරණ (29.03.2025)

ගූගල් සිතියම :
https://maps.app.goo.gl/cYWLS3KA2BNwbmDx6

+

සැ.යු. : ‘මේ අයට මිලියන ගණන් මුදල් උතුරන්න ලැබෙනවා!’ යන්න මෙම විඩියෝවේ ඇතුලත්ව නැත! – අමරසර

+


මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් අත්අඩංගුවට

(30.03.2025 – 07:49 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි පහක් (5) පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක ප්‍රමාණයක් තලෙයිමන්නාරම මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තලෙයිමන්නාරම පොලීසිය වෙත බාර දී තිබෙනවා.

මෙම කේරළ ගංජා තොගය පාර්සල් 46 ක අසුරා තිබූ අතර ඒවායෙහි අයිතිකරුවන් සොයා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

නාවික හමුදාව පවසන්නේ ඉන්දියාවේ සිට බෝට්ටුවකින් රැගෙන එන ලද මෙම කේරළ ගංජා තොගය නාවික හමුදාවේ යාත්‍ර දැක ඒවායෙහි අයිතිකරුවන් විසින් මුහුදට විසි කරනු ලැබ ඇති බවයි.

තලෛයිමන්නාරම වැලිපර 1 සහ 2 අතර මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය හමු වී තිබෙනවා.


ගම්මුන්ගේ සුසාන භූමිය ප්‍රාදේශීය සභාවෙන් විකුණලා

(30.03.2025 – 07:46 +0530 – hirunews.lk/sinhala)

කූඨ ලේඛන යටතේ සුසාන භූමියක් ව්‍යාපාරිකයෙකුට විකිණූ බව කියන සිදුවීමක් වාර්තා වනවා.

ප්‍රදේශවාසියෙකුගේ මළ සිරුරක් භූමදානය කිරීමට ඊයේ (29) ගම්මුන් එහි ගිය අවසථාවේ ව්‍යාපාරිකයා විසින් පිරිස පලවා හැරීමට පියවර ගැනිමත් සමගයි මේ බව හෙළිව ඇත්තේ.

යාපනය, සුලිපුරම්, තිරුවාඩිනිලේ ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් සම්බන්ධයෙනුයි මේ කරුණු අනාවරණය වන්නේ.

මේ අවස්ථාවේදී ව්‍යාපාරිකයා විසින් යාපනයේ සන්තානේ, ප්‍රාදේශීය සභාව විසින් එම ඉඩම ඔහුට අලෙවි කළ බව කියන ලිපියක් ද පෙන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යාපනය, සුලිපුරම්, තිරුවාඩිනිලේ ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ප්‍රාදේශීය සභාව විසින් ව්‍යාජ ලිපි ලේඛන සකසා එම ඉඩම ව්‍යාපාරිකයෙකුට අලෙවි කොට ඇතත් ඒ පිළිබදව පළාතේ කිසිදු සමිතියකට ප්‍රාදේශීය සභාව දැනුම් දී නොමැති බවයි.

මෙම ඉඩම අදාල ප්‍රාදේශීය සභාව තුළ සුසාන භූමියක් වශයෙන් ලියාපදිංචි කොට තිබියදී මෙසේ අලෙවි කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට එරෙහිව ලිපියක් අදාල බලධාරීන්ට ඉදිරිපත් කිරීමට ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන කටයුතු කරගෙන යන බවයි ‘හිරු වාර්තාකරු’ පවසන්නේ.

මෙම සුසාන භූමියේ දැනට සොහොන් කොත් 137 ක් ඉදි කොට ඇති අතර ව්‍යාව්‍යාපාරිකයා ප්‍රකාශ කොට ඇත්තේ එම සියලුම සොහොන් කොත් කඩා දමා ඉඩම සංචාරකයින් සඳහා හෝටලයක් ඉදිකිරීමට තමන් මිලට ගත් බවයි.

මේ සිදුවීමෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයටකට මුහුණ පා සිටින බවයි හිරු වාර්තාකරු පවසන්නේ ෴


ව්‍යාජ අංක තහඩු සැකසීමේ ජාවාරමක් වටලයි

(30.03.2025 – 10:05 +0530 – hirunews.lk/sinhala)

සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස අංක තහඩු සැකසීමේ ජාවාරමක් හෙළිවේ.

සීදූව – මීගමුව පාරේ පවත්වාගෙන ගිය ව්‍යාජ අංක තහඩු සකස් කරන ආයතනයක් වටලා තිබෙනවා.

එම ස්ථානයේ දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යාජ අංක තහඩු සකස් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එහි හිමිකරු වන 56 හැවිරිදි සීදූව – සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ස්ථානයේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද අංක තහඩු 3 ක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලාංඡනය සහිත ස්ටිකර් කොළයක් මෙන්ම රාජ්‍ය ලාංඡන 67 ක් සහ අංක තහඩු සකස් කිරීමේ දී යොදාගන්නා තවත් උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


නව ජල සැපයුම් ඉල්ලු‍ම් කිරිම ඔන්ලයින් ක්‍රමයට

(30.03.2025 – 13:06 +0530 – hirunews.lk/sinhala)

නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලු‍ම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා ඇති බව ‘ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය’ පවසනවා.

ඊට අදාල අයදුම්පත් https://www.waterboard.lk/ වෙබ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව, අදාළ ඉල්ලීම සිදුකර සති දෙකක් (2) ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙනු ඇති.

ඒ පිළිබඳව නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක අතර ඉදිරි සතිය තුළ එමගින් ජල සැපයුම් ලබා දීමට කටයුතු කරනු ලබන බවද ජාතික ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා ෴


උඩවලව ජලාශයට වෑන් රථයක් පෙරලී තිදෙනෙකුට (3) බරපතළ තුවාල

(30.03.2025 – 17:34 +0530 – hirunews.lk/sinhala)

උඩවලව ජලාශයට අද (30) වෑන් රථයක් පෙරලීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී සිදුව ඇති එම අනතුරෙන් වෑන් රථයේ ගනන්ගත් තිදෙනෙකු (3) බරපතළ තුවාල ලබා උඩවලව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් උඩවලව පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.

+


නඩු 47 ක් සඳහා වරෙන්තු නිකුත් කර තිබූ කාන්තාවක් අත්අඩංගුවට

(30.03.2025 – 19:31 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ 13 කින් නඩු 47 ක් සදහා වරෙන්තු නිකුත් කර තිබූ 53 හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර සුඛෝභෝගී ජීවිතයක් ගතකරමින් සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙම කාන්තාවට එරෙහිව දිවයිනේ අධිකරණවල නඩු 50 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවටයි අනාවරණ වී ඇත්තේ.

කෑගල්ල, අවිස්සාවේල්ල , පැල්මඩුල්ල, අගුණුකොළපැලැස්ස, මහර, කොළඹ, ගාල්ල සහ තවත් අධිකරණවල කිහිපයක මෙම නඩු ගොනුකර ඇති අතර ඇතැම් අධිකරණවලින් ඇය අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ද නිකුත් කර තිබෙනවා.

මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇති අවස්ථාවක අවිස්සාවේල්ල බොරලු‍ගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාව ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කර තිබෙනවා.

එමෙන්ම, සුඛෝභෝගී නිවාස කුලී පදනම මත ලබාගෙන කුලී මුදල් ලබාදීම පැහැර හැරීම සහ යළි ලබාදෙන බවට පොරොන්දු වී ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ ෴


ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹදී අත්අඩංගුවට ගත් තරුණයෙකු ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

(30.03.2025 – 19:50 +0530 – hirunews.lk/sinhala)

ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹදී 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ යම් ආකාරයකින් ත්‍රස්ත්‍රවාදි ක්‍රියාවක් කිරීමට ප්‍රවේදීතාවයක් දක්වන පුද්ගලයෙකු බවට තිබූ සාධාරණ සැකය මත අදාළ තරුණයා අත්අඩංගුවට ගත් බවයි.

ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පසුගියදා අනාවරණයක් කළා.

මෙවැනි පසුබිමක පසුගිය 22 වැනිදා කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක සේවය කළ 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වුණේ අදාළ තරුණයා හුදෙක්ම ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවෙන් ඔබ්බට වූ යම් දැඩි මතධාරියෙකු බවට අනාවරණය වූ බවයි.

සැකකරු අන්තර්ජාලය භාවිතා කරමින් සහ වෙනත් ක්‍රමවේද උපයෝගි කර ගැනීම හේතුවෙන් යම් මානසික අභිප්‍රේරණයකට ලක් වී ඇති බවත් එම මානසික තත්ත්වය මත ආගමික අන්තවාදි ක්‍රියාවක් සිදු කිරීමට ඔහුට ඇති ප්‍රවේදිතාවය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව මෙම සැකකරු සතු පරිගණක දෘඩාංග, තොරතුරු තාක්ෂණික මෘදුකාංග සහ ජංගම දුරකථන ආශ්‍රිතව වෝහාරික විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා ෴


දේශබන්දුව පොලිස්පති පුටුවෙන් බස්සන යෝජනාව නීතියට පටහැනිද?

(30.03.2025 – 20:57 +0530 – hirunews.lk/sinhala)

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනාව, ‘උසස් නිලධාරීන් ඉවත් කිරීම පිළිබඳ පනතේ’ විධිවිධානවලට පටහැනි බව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

කෙසේවෙතත් ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ අදාළ යෝජනාව ලබන මස 08 වැනිදා හෝ 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමටයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මැති – ඇමතිවරු 115 කගේ අත්සනින් යුතුව යෝජනාවක් පසුගියදා කථානායකවරයාට භාර දුන්නා.

එමගින් ඉල්ලා තිබුණේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කමිටුවක් පත් කරන ලෙසයි.

එම යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පරිපූරකයට ඇතුළත් කර තිබෙන අතර , ලබන මස 08 වැනිදා හෝ 09 වැනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් වෙතත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ, ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පොලිස්පතිවරයා ඉවත් කිරීමේ යෝජනාව උසස් නිලධාරීන් ඉවත් කිරීමේ පනතට පටහැනි බවයි ෴


දෙවුන්දර වෙඩිතැබීමෙන් මියගිය පසිඳුගේ අවසන් කටයුතු සිදුකෙරේ

(30.03.2025 – 21:15 +0530 – hirunews.lk/sinhala)

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී වෙඩි තැබීමකින් මිය ගිය පසිඳු තාරුකගේ අවසන් කටයුතු අද (30) දෙවිනුවර පොදු සුසාන භූමියේදී කෙරුණේ, ඥාතීන් සහ මිත්‍රයින්ගේ සෝ සුසුම් මධ්‍යයේයි.

වෙඩි වැදී මිය යනවිට පසිඳු තාරුකගේ වයස අවුරුදු 29 ක්.

පසුගිය 21 වැනිදා රාත්‍රියේ මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසළදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ‘යොමේෂ් නදීෂාන්’ හා ‘පසිදු තාරුක’ නමැති තරුණයින් දෙදෙනා (2) වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා.

පසුව අනාවරණය වූයේ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ ‘යොමේෂ් නදීශාන්’ නැමැත්තා බවයි.

ඒ ‘යොමේෂ් නදීශාන්’, විදේශ රටක සැඟව සිටින අපරාධකරුවෙකු වන ‘දෙහි බාලේ මල්ලී’ නමැත්තාගේ සහෝදරයා සමඟ ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

‘යොමේෂ් නදීශාන්’ සමඟ යතුරුපැදියේ පසුපස ගමන් කර වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ‘පසිඳු තාරුක’ට කිසිදු අපරාධ චෝදනාවක් තිබී නැහැ.

පසිඳුගේ පියා ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් නැවත පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් පසිඳුගේ අවසන් කටයුතු ප්‍රමාද කළ අතර, අද (30) ඔහුගේ අවසන් කටයුතු කෙරුණේ, දෙවිනුවර පොදු සුසාන භූමියේදීයි.

ඒ, ඊයේ (29) උදෑසන පසිඳුගේ පියා මුහුදු ගොස් පැමිණීමෙන් පසුවයි.

ඔහුගේ දේහය සුසාන භූමිය වෙත රැගෙන යන අතරතුරදී ඥාතීන් දේහය දෙවුන්දර නගර මධ්‍යයට රැගෙන ඒමට උත්සහ කළ අතර පොලිසිය ඊට අවසර දුන්නේ නැහැ.

දෙවුන්දර නගරයට පිවිසෙන මාර්ගය, මාර්ග බාධක යොදා අවහිර කර තිබූ අතර, දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

අනතුරුව ඥාතීන් පසිඳුගේ දේහය දෙවිනුවර පොදු සුසාන භූමියට රැගෙන ගොස් අවසන් කටයුතු කළේ, ඥාතීන් සහ මිතුරන්ගේ සෝ සුසුම් මැදයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *