සිය උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය වැඩ අරඹයි

සිය උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය වැඩ අරඹයි


සිය උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය වැඩ අරඹයි

(11.03.2025 – 16:00 +0530 – hirunews.lk/sinhala)

සිය උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් ගුරුවරයාට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අද (11) පැමිණෙන ලෙස ඉල්ලීමක් කළ ද ඔහු එය මඟ හැර ඇති බව එම අධිකාරිය පවසනවා.

ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම ගුරුවරයා නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු වන අතර, ඔහු පන්තියට සහභාගී වූ සිසුවෙකුට සිසුවියක් ලවා පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වූවා.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ මේ වනවිටත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු සුදානම් කර ඇති බවයි.

+++

ආන්දෝලනාත්මක වීඩියෝවට අදාල ටියුෂන් ගුරාගෙන් සිදු වූ පීඩා ගැන දන්වන්න ක්ෂණික දුරකථන අංකයක්

(11.03.2025 – 22:57 +0530 – hirunews.lk/sinhala)

සිය උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් ගුරුවරයා අතින් හිංසනයට ලක්වූ වින්දිතයින් සිටී නමි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුම්වත් කරන ලෙස එම අධිකාරිය ඉල්ලා සිටිනවා.

ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 වන කෙටි ඇමතුම් දුරකථන අංකය ඔස්සේ ළමා උපකාරක සේවය අමතා ඒ සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙසයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති ගුරුවරයෙක් තම පන්තියට සහභාගී වූ සිසුවෙකුට සිසුවියක් ලවා පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එවන් පසුබිමක එම ගුරුවරයාගේ ක්‍රියාකලාපයට අදාළ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම අධිකාරිය පැවසුවේ, ඒ අතරතුර 1929 ක්ෂණික දුරකථන අංකයට ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය ප්‍රකාරව ළමයෙකු කෲරත්වයට සහ හිංසනයට ලක්කිරීමේ චෝදනාව යටතේ අදාළ විමර්ශනය ක්‍රියාත්මක අතරතුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අදාළ උපකාරක පන්ති ගුරුවරයාව අද (11) පස්වරු 2 ට එම අධිකාරිය වෙත කැඳවා තිබුණා.

එවන් පසුබිමක අදාළ ගුරුවරයාගේ උපකාරක පන්තියට සහභාගී වූයේ යැයි සැළෙකෙන දරුවන් පිරිසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පරිශ්‍රය වෙත අද (11) පස්වරුවේ පැමිණ තිබුණා.

නමුත්, ඔවුන් කිසිදු පැමිණිල්ලක් හෝ කරුණු විමසීමක් හෝ පැමිණි අරමුණ පැහැදිලි කිරීමකින් තොරව සිය පරිශ්‍රයෙන් පිටව ගිය බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

මේ අතර අද (11) පස්වරුව වනතෙක්ම සිය කැඳවීම අනුව අදාළ උපකාරක පන්ති ගුරුවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණ තිබුණේ නැහැ.

මේ හේතුවෙන් අදාළ ගුරුවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, අධිකරණ නියෝගයකින් තොරව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි බවත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළා.

ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

අදාළ ගුරුවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳවත්, ඔහුගේ උපාධිය ප්‍රශ්න සහගත බවටත් ‘ප්‍රගතිශීලි තරුණ ව්‍යාපාරය’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+


දේශබන්දුට විවෘත වරෙන්තුවක්

(11.03.2025 – 13:09 +0530 – hirunews.lk/sinhala)

හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (11) විවෘත වරෙන්තුවක් නිකුත් කළා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

වැලිගම පැලෑනේ පිහිටි හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, පසුගිය මස 27 වැනිදායි.

කෙසේ වෙතත්, හිටපු පොලිස්පතිවරයා සොයා විමර්ශන සිදුකළත් ඔහුව සොයා ගැනීමට මේ දක්වා නොහැකි වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ෴


අධිවේගි මාර්ගවලට යළිත් STF ආරක්ෂාව

(11.03.2025 – 13:36 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්.එම්.පි. සූරියබණ්ඩාර පවසනවා.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමත් සමග එම කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කෙරුණා.

කෙසේ වෙතත්, යළි දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව, කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම සහ කොළඹ කටුනායක මාර්ගයන්හි වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා මෙම නිලධාරීන් යොදවනු ඇති.

මේ අතර, ගතවූ පැය 48 ක කාලය තුල සිදුවූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊට 04 දෙනෙකු මරණයට පත්වූ බකමූණ සහ නාඋල ප්‍රදේශවල ඊයේ සිදුවූ රිය අනතුරු ද ඇතුළත් ෴


රිජ්වේ ළමා රෝහලේ වකුගඩු සැත්කමින් මියගිය දරුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව නිකුත් වෙයි

(11.03.2025 – 14:23 +0530 – hirunews.lk/sinhala)

මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත් කෙරුණු කොටහේන ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි (3) හම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) ප්‍රකාශයට පත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල සඳහන් කළේ ආසාදනය වී තිබූ එක් වකුගඩුවක් සැත්කමකින් ඉවත් කිරීමෙන් අනතුරුව මූත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති වූ කම්පනය හේතුවෙන් මෙම දරුවාගේ මරණය සිදුවී ඇති බවයි.

ඒ අනුව මෙම දරුවාගේ මරණය රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවී ඇති බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත් වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

තම දරුවා වකුගඩු සැත්කමක් සිදුකරීමෙන් අනතුරුව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් ඔහු මියගිය බව පවසමින් දරුවාගේ දෙමව්පියන් විසින් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරුණා.

මෙම දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විභාගයේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා , අදාළ සැත්කම සිදුකළ බව කියන වෛද්‍ය නවීන් විජේකෝන් ඇතුළු වෛද්‍යවරු පිරිසක්ද සාක්ෂි ලබා දී තිබුණා.

+


අපරාධකරුවන්ට සැඟවීමට හෝ ආධාර අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට

(11.03.2025 – 14:30 +0530 – hirunews.lk/sinhala)

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට සැඟව සිටීමට හෝ නවාතැන් පහසුකම් ලබා දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

මෙසේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට සැඟව සිටීමට හෝ නවාතැන් පහසුකම් දෙමින් ඊට ආධාර අනුබල ලබාදෙන ඕනෑම අයෙක් අත්අඩංගුවට ගැනීමට සිදු කෙරෙනවා.

මේ අනූව අත්අඩංගුවට ගන්නා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ෴


ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

(11.03.2025 – 17:22 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල ලබාගත හැකියි.

එමෙන්ම, මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ක්ෂණික ඇමතුම් අංකය : 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව :
011 278 4208, 011 278 4537, 011 278 5922
ෆැක්ස් අංකය : 011 278 4422


විදේශීය සිගරට් තොගයක් සමග පොලිස් කොස්තාපලයෙකු අත්අඩංගුවට

(11.03.2025 – 17:45 +0530 – hirunews.lk/sinhala)

විදේශීය සිගරට් 18,000 ක් සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ කොස්තාපලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදීයි ෴


කඩුවෙල ළිඳකින් අවි ආයුධ මතුවෙයි

(11.03.2025 – 20:06 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල පොලිස් ස්ථානයේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත කඩුවෙල වැලිවිට පෞද්ගලික ආයතනයකට අයත් පරිශ්‍රයක තිබූ අඩි 50 ක පමණ ගැඹුරකින් යුත් ළිඳක් පරික්ෂාවට ලක්කෙරුණා.

එහිදී ඉටිකවර ඇතිරූ බෑගයක බහා තිබූ ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රිය ගිනි අවි 02 ක්, මැගසින් 02 ක් , උණ්ඩ 143 ක් පොලිස් භාරයට ගැනුණා.

අපරාධයක් සඳහා මෙම ගිනි අවි සූක්ෂ්ම සඟවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, CCTV දර්ශන ඔස්සේ ද මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.

+


අගමැතිනියගේ නම අවභාවිත කරන ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිළිබඳ දැනුම්දීමක්

(11.03.2025 – 21:16 +0530 – hirunews.lk/sinhala)

අගමැතිනිය ඇතුළු මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් භාවිත කර, සමාජ මාධ්‍යයේ පළව ඇතැයි කියන ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිළිබඳ දැන්වීම් අසත්‍ය සහ වංචනික ඒවා බව, අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් මගින් සිදු කරන මෙම වංචනික දැන්වීම් සහ ප්‍රවර්ධනයන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

තවද, කිසිදු රජයේ නිලධාරියෙකු හෝ අමාත්‍යාංශයක් කිසිදු ‘ක්‍රිප්ටෝ මුදල් ආයෝජන යෝජනා ක්‍රමයක්’ අනුමත කර නොමැති බවත් එම නිවේදනයේ සඳහන් ෴


රෝහණ විජේවීර ඝාතනය සියැසින් දුටු ඡායාරූප ශිල්පියා මාධ්‍යට ප්‍රකාශකළ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව… (11.03.2025)

+

විජේවීර පණ පිටින් චිමිනියට විසිකලා, කෙදිරිලි හඩ ඇසුනා | සියැසින් දුටු ඡායාරූප ශිල්පියාගේ හෙළිදරව්ව (28.06.2024)

+


රෝහණ විජේවීර අල්ලපු වෙලාවෙ එතනට ගිය රූපවාහිනි කණ්ඩායම අපි | හමුදාවෙන් ගිනි තියන්න හදද්දිම මම ෆොටෝ 3 ක් ගත්තා (07.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *