12.03.2025 දින මුළු දිවයිනේම GMOA වැඩවර්ජනයක්
(11.03.2025 – 23:21 +0530 – hirunews.lk/sinhala)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) 12.03.2025 දින පෙ.ව. 8 සිට දීප ව්‍යාප්ත පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද (11) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා ෴
+++
අනුරාධපුර සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වය රකින්නැයි ඇමති නලින්ද ගෙන් ඉල්ලීමක්
(11.03.2025 – 21:46 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වූ අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් වැළකී සිටින්නැයි ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ‘X’ පණිවුඩයක් තබමින් සඳහන් කරනවා.
එමෙන්ම ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් අදාල වාර්තා පළකරන්නැයිද සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් ඇමතිවරයා එම සටහන ඔස්සේ ඉල්ලා තිබෙනවා.
මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අතවරය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ’ බලවත් කම්පනය හා විරෝධයද නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබෙනවා.
රාජකාරි පරිශ්‍රය තුලදී හදිසි රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටි වෛද්‍යවරියකට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධ සිදුවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි එම සංගමය පවසන්නේ.
මේ හිංසනයට සම්බන්ධ වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතියේ රැහැනට හසු කරගෙන අදාළ නෛතික ක්‍රියාමාර්ග අප්‍රමාදව ක්‍රියාත්මක කරන ලෙසයි අදාළ අංශ වෙත අවධාරණය කරන්නේ.
මේ අතර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වය හා අනන්‍යතාවය සුරැකෙන පරිදි කටයුතු කරන ලෙස සියලු මාධ්‍යවලින් එම සංගමයද ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
සිය සේවා ස්ථානය තුළ ආරක්ෂිත බව තහවුරු කිරීමකින් තොරව මෙම වෘත්තිකයින්ට සිය සුවසේවා කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම අභියෝගාත්මක එකක් බවයි ‘ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය’ පෙන්වා දෙන්නේ.
එබැවින් සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව හා රෝගීන්ගේ ආරක්ෂාව යනු කරුණු දෙකක් නොව එකක් බව අදාළ බලධාරින් අවබෝධ කරගත යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ.
එම නිසා විවිධ අභියෝග මධ්‍යයේ රාජකාරි කරන වෛද්‍යවරු ඇතුළු සුව සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේත් පොදුවේ මහජනතාවගේත් වගකීමක් බව එම සංගමය වැඩිදුරටත් පවසනවා ෴
+++
වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු සොයා මෙහෙයුම් – සම්පූර්ණ විස්තරේ මෙන්න
(11.03.2025 – 18:34 +0530 – sinhala.adaderana.lk)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක ඊයේ (11) රාත්‍රියේ සිය නිල නිවාසය තුළදී නාඳුනන පුද්ගලයකු අතින් දූෂණයට ලක්ව තිබේ.
සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් (5) මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වන විට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක ඊයේ (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබුණි.
සිය පොරොත්තු රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7 ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර තිබේ.
එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වේ.
අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා තිබේ.
එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෲර ලෙස දූෂණයට ලක්කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත.
අනතුරුව සැකකාර පුද්ගලයා පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනය.
සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරීන් රෝහල් පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් පසු අද (11) අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක්ද ගොනු කළේය.
මේ පිළිබඳ අප කළ විමසීමේදී අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ, සැකකරු සොයා ප්‍රදේශය පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටින බවය.
මේ අතර, මෙම සිද්ධිය පාදක කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු, වෛද්‍යවරියන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද (11) දහවල් සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ, සැකකරුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් එසේ නොවුණහොත් වැඩවර්ජනයකට අවතීරණය වන බවත්ය.
මේ අතර සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට දැනටමත් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
+
මාලිමාව පිටුපස මුස්ලිම් අන්තවාදී සෙවණැලි? ඥානසාර හිමි යළිත් බිහිසුණු අනාවරණයක (11.03.2025)
+
මාලනී ෆොන්සේකා අසාධ්‍යවන්න දින දෙකකට පෙර සිදු කල අවසන් පණිවිඩය (11.03.2025)
+
පත්දඬුවන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(11.03.2025 – 11:09 +0530 – hirunews.lk/sinhala)
මිනුවන්ගොඩ – පත්දඬුවන මංසන්ධියේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාඇල සහ ඒකල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 20 සහ 21 වයස්වල පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය 26 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබූ අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ, ගම්පහ රෝහලටයි.
ඒ අනුව, ඊයේ (10) සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ මුදල් ප්‍රවාහන කටයුතු සිදුකළ පුද්ගලයෙකුටයි මෙලෙස වෙඩි තබා තිබුණේ ෴
RMV අනුමැතිය සහිතව වාහනවල සැරසිලි සඳහා අවසර
(11.03.2025 – 11:29 +0530 – hirunews.lk/sinhala)
මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහන වල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, 1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින්වර සංශෝධනය කරමින්, වාහන විකරණය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රෙගුලාසි ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර තිබුණා.
එහෙත්, පසුගිය කාලයේදී එවැනි නියෝග මඟින් ප්‍රකාශිත වාහන උපාංග සවි කිරීම් සහ නිර්මාණය වෙනස් කිරීම් වලට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර ක්‍රමවේද ඔස්සේ බස් රථ සැරසිලි සහ උපාංග විකරණය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර අභ්‍යන්තර චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.
එහෙත්, ඊට අදාළව මෝටර් රථ පනතේ විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමක් සිදු කර නොමැත.
එබැවින්, මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන, බස්රථ සැරසිලි හා උපාංග හේතුවෙන් බස් රථ වල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර, ඒ සම්බන්ධයෙන් විධිමත් පරිදි ක්‍රියාකිරීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා.
+
නතර වී තිබූ ජපන් සහ චීන ව්‍යාපෘති 87 ක් නැවත ආරම්භ කරනවා – ජනපති
(11.03.2025 – 12:07 +0530 – hirunews.lk/sinhala)
නතර වී තිබූ ජපන් ව්‍යාපෘති 11 ක් සහ චීන ව්‍යාපෘති 76 ක් නැවත ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එහිදී, තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, කොළඹ පෞද්ගලික හෝටලයක ඊයේ (10) පැවති ‘තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ’ 26 වන සමුළුවට එක්වෙමිනි.
එහිදී රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා ජපන් රජයෙන් නවතා තිබූ ආර්ථිකමය වශයෙන් වැදගත් වන ව්‍යාපෘති 11 ක සහ චීන රජයෙන් නවතා තිබූ ව්‍යාපෘති 76 ක වැඩ නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් ජනපතිවරයා එහිදී සඳහන් කළා.
+
අරගලයෙන් හානි වූ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගෙවූ වන්දි මුදල් සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක්
(11.03.2025 – 12:18 +0530 – hirunews.lk/sinhala)
2022 වසරේ ගාලු මුව දොර ‘ගෝඨාගෝගම අරගලය’ට පහරදීමේ සිද්ධියෙන් පසුව රටපුරා සිදූවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විනාශයට පත් වූ මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතාවක් සිදුවී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පරිසරවේදියකු වන නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානින් ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු 15 දෙනෙකු නම් කර තිබෙනවා.
නීතියට පටහැනි ලෙස වන්දි ගෙවා තිබෙන පුද්ගලයින්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා ෴
ජාත්‍යන්තර සූර්යබල සන්ධාන ගිවිසුමට ශ්‍රී ලංකාවේ අත්සන
(11.03.2025 – 12:40 +0530 – hirunews.lk/sinhala)
‘ජාත්‍යන්තර සූර්යබල සන්ධානය’ (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ‘ජාත්‍යන්තර සූර්යබල සන්ධානය’ අතර ‘රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුව’ට (CPF) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
සූර්යබල ශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමට සාමාජික රටවල් ගෙන ඇති පියවර සඳහා සහාය වීමේ අරමුණිනුයි ‘ජාත්‍යන්තර සූර්යබල සන්ධානය’ පිහිටුවා ඇත්තේ.
මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 75 ක් එහි සාමාජිකත්වය ලබා ඇති අතර, රටවල් 54 ක් හවුල්කාරිත්ව කාර්යරාමු ගිවිසුම අපරානුමත කර තිබෙනවා.
ශ්‍රී ලංකාව අයත් වන කාණ්ඩය අනුව ස්වේච්ඡා දායකත්ව ගාස්තුව වශයෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 25,000 ක දායකත්ව ගාස්තුවක් ගෙවිය යුතුයි.
සූර්යබල ශක්ති ක්ෂේත්‍රයට අදාළව ‘සූර්ය තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථාන’ (STAR-C) හරහා ධාරිතා වර්ධනය, ප්‍රතිපත්ති සංවර්ධනය, අරමුදල් සඳහා ප්‍රවේශය, ගෝලීය ජාලකරණය, දැනුම හුවමාරු කර ගැනීම ආදී ප්‍රතිලාභ ‘ජාත්‍යන්තර සූර්යබල සන්ධානය’ වෙතින් අත් කර ගැනීමට එහි සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට හැකියාව පවතිනවා.
ඒ අනුව, බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා :
- 2024/25 මූල්‍ය වර්ෂයේ සිට අමෙරිකානු ඩොලර් 25,000 ක් වූ වාර්ෂික දායකත්ව මුදල් අඛණ්ඩව ගෙවීම.
- ශ්‍රී ලංකාවේ තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථානයක් (STAR-C) පිහිටුවීම.
- ‘රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුව’ ශ්‍රී ලංකාව සහ ‘ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය’ අතර අත්සන් තැබීම.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴