ගුරුවරයෙක් ගුරුවරියකට පහර දෙයි; පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
(08.03.2025 – 11:47 +0530 – hirunews.lk/sinhala)
ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක ගුරුවරියකට ගුරුවරයෙකු විසින් ඊයේ (07) පහරදීමක් සිදුකර තිබෙන බව මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චතුරි ගංගානි පවසනවා.
විදුහල්පතිතුමිය ඉදිරියේ මෙම පහරදීම සිදුකර ඇති බවත්, ඇය මේ වනවිට් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත්, මන්ත්‍රීවරිය සඳහන් කරනවා.
ඇය මේ බව පවසා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
එහිදී මන්ත්‍රීවරිය අගමැති ආචාර්ය හරිනි අමරසූරියගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් ඇය දැනුවත්, දැනුවත් නම් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන්.
අනතුරුව අගමැතිවරිය පවසා සිටියේ, මේ සිදුවීම සම්බන්ධයෙන් අද (08) උදෑසන වාර්තා වූ බවත්, මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම සොයාබලා නීතිමය ගන්නා බවයි.
තවද අමාත්‍යංශයට දැනුම් දී විනය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවයි අගමැතිවරිය සඳහන් කළේ.
එමෙන්ම එම විමර්ශනය සම්බන්ධයෙන් තොරතුරු අද (08) දවස ඇතුළත පාර්ලිමේන්තුවට දන්වා සිටින බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.
+
ගොයම් කපන යන්ත්‍රයක් පෙරලී අයෙකු ජීවිතක්ෂයට
(08.03.2025 – 14:58 +0530 – hirunews.lk/sinhala)
ගොයම් කපන (භූතයා) යන්ත්‍රයක් ට්‍රැක්ටරයක ටේරලය මත සිට බිමට බෑමට උත්සාහ කිරීමේදී පෙරලීම නිසා අයෙකු මරණයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් එහි රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වැලිගම පොලිසිය පවසන්නේ.

ඔහු වැලිගම, වැලිපිටිය, මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි කසුන් චාමර නමැති අවිවාහක තරුණයෙක්.
වැලිපිටිය, බෙරලෑලිය, රාජකාරී වේල්ල නැමැති ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද ගොයම් කපන යන්ත්‍රය, ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් ටේරලයෙන් බිමට බෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අසල්වාසීන්, අනතුරට පත් වූ තරුණයා වැලිගම, වලාන රජයේ රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි ෴
මර්වින් සිල්වාගේ හුටපටයට ගෑවුණ ප්‍රසන්න රණවීරත් හැංගිලා
(08.03.2025 – 15:01 +0530 – hirunews.lk/sinhala)
මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගනු ලැබූ රජයේ ඉඩමක් විකිණීමේ සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරද අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත් මේ වන විට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සිය කැලණිය පිහිටි නිවසේ නොමැති බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේ පසුගිය පසුගිය 05 වැනිදායි
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධ චෝදනා මත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකු (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්ඩංගුවට ගනු ලැබුවා.
එම සැකකරුවන් මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරද අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ කැලණිය ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගොස් ඇති අතර ඔහු එහි සිට නැහැ.
මේ වන විට ඔහුගේ දුරකථනයද ක්‍රියා විරහිත කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සදහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
+
පොල් හිගයෙන් 450,000 කට රැකියා නැතිවෙලා
(08.03.2025 – 16:14 +0530 – hirunews.lk/sinhala)
රටේ පවතින පොල් හිගය මත දේශීය පොල්තෙල් නිෂ්පාදන ආයතන රැසක් වැසී ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් 450,000 කගේ පමණ රැකියා අහිමිව ඇති බවයි පැවසෙන්නේ.
මෙරට පොල් පලදාවෙන් සැලකිය යුතු කොටසක් අපනයනය කිරීම නිසා එම තත්ත්වයත් මෙම දේශීය පොල්තෙල් නිෂ්පාදනයට බාධාවක් වී තිබෙනවා.
මේ අතර ‘පොල්තෙල්’ නමින් ආනයනය කරන ‘පාම් තෙල්’ හෝ වෙනත් තෙල් වර්ග සඳහා අත්‍යවශ්‍ය ලේබලය යටතේ වැට් බදු අය නොකරන බව සඳහන්.
එසේ තිබියදී දේශීය පොල්තෙල් වෙනුවෙන් 15% ක් වැට් බදු ගෙවීමට සිදුව තිබීම අසාධාරණයක් බවයි එම කර්මාන්තකරුවන් පවසන්නේ.
එය දේශීය කර්මාන්ත පවත්වාගෙන යන අයට බාධාවක් බවත් එම කර්මාන්ත ඇන්හිටීමට තරම් හේතුවක් වී තිබෙන බව පාරම්පරික දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් පෙන්වා දෙනවා ෴
මිනිස් ඇටකටු තොගයක් බහාලූ උරයක් මාවනැල්ල හිඟුල් ඔයෙන් හමුවෙයි
(08.03.2025 – 17:23 +0530 – hirunews.lk/sinhala)
ඕවත්ත පාර, හිඟුල ප්‍රදේශයේ හිඟුල් ඔය ඉවුරේ කළු පැහැති උරයක බහා තිබූ හිස් කබල් දෙකක් (2) හා සිරුරු කිහිපයක බවට සැක කල හැකි අස්ථි කොටස් තොගයක් අද (08) පස්වරුවේ හමුවූ බව මාවනැල්ල පොලිසිය පවසනවා.
එහිදී කළු පැහැති උරයක බහා තිබියදී හිඟුල් ඔය ඉවුරේ ගල් පරයක් අසල තිබියදී ප්‍රදේශවාසින් විසින් දැක ඒ සම්බධයෙන් දැනුම් දුන් බවයි පොලිසිය සඳහන් කළේ.
එම ප්‍රදේශයේ පුද්ගලයෙක් සිය ගෙවත්තේ පොල් කඩා එය අහුලාගැනීම සඳහා ඔය දෙසට ගිය අවස්ථාවේ හිස් කබල් දෙකක් (2) හා සිරුරු කිහිපයකට අයත් කොටස් බහා තිබූ උරය හමුවී තිබෙනවා.
මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිසෙදා කුමාරි ධර්මතිලක සහ කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන ඒකකයේ නිළධාරින් විසින් ස්ථානිය පරික්ෂණ පවත්වන අතර, මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ලසන්ත කලුආරච්චිගේ නියෝග මත අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් විමර්ශන සිදුකරනු ලබනවා.
+
යාපනය – තමිල්නාඩු ගමනට ‘ඉන්ඩිගෝ’
(08.03.2025 – 18:16 +0530 – hirunews.lk/sinhala)
‘ඉන්දීය ඉන්ඩිගෝ ගුවන් සමාගම’ යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ලබන මාර්තු මස 30 වැනිදා එම කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා.
ඒ බව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි ‘ඉන්ඩිගෝ ගුවන් සමාගම’ නිවේදනය කර ඇත්තේ.
ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී තිබෙනවා.
එබැවින් දෙරට අතර සෘජු ගුවන් ගමන් දෛනිකව ක්‍රියාත්මක කිරීම නිසා දෙරටේ ආර්ථික වර්ධනයටද මෙය හේතුවක් බවයි එම ගුවන් සේවය වැඩිදුරටත් පවසන්නේ ෴
ලොවම පුදුම කළ ලක්මව සුරකින රූමතිය
(08.03.2025 – 18:34 +0530 – hirunews.lk/sinhala)
දකුණු ආසියාවේ පළමු ‘ලෝඩ් මාස්ටර් ගුවන් නිලධාරිනිය’ වන ඇය නමින් ‘පියුමි ජයරත්න’.
29 හැවිරිදි වියේ පසුවන පියුමි ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ‘ලෝඩ් මාස්ටර්’ ලෙස කටයුතු කරන පළමු නිලධාරිනිය වනවා.
මෙතෙක් කල් එම තනතුර ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් දරා තිබීම විශේෂත්වයක්.
මේ ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ දකුණු ආසියාවේ පළමු ‘ලෝඩ් මාස්ටර්’ නිලධාරිනිය පිළිබද අප කළ සොයාබැලීමක්.
+
පසුගිය වසරේ ‘ළමා ගැබ්ගැනීම්’ 213 ක්
(08.03.2025 – 20:12 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාව ඇතුලු මුළු ලෝකයම අද (08) ජගත් කාන්තා දිනය සමරද්දී මෙරට පාසල් යන වයසේ පසුවන දැරියන්ගේ, ගැබ් ගැනීම් සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවන ළමා අපයෝජන හා අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් හේතුවෙන් සිදු වන ළමා ගැබ් ගැනීම් ප්‍රමාණය, සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවටයි එම වාර්තාව කරුණු රැසක් පෙන්වා දෙමින් අනාවරණ කරන්නේ.
අදාළ වාර්තාවේ දත්තවලට අනුව 2023 වසරේදී පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමයින් 167 දෙනෙකු ගැබ් ගෙන ඇති අතර, 2024 වසරේදී වාර්තා වන ළමා ගැබ් ගැනීම් ප්‍රමාණය 213 ක්.
පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පෙන්වා දෙන්නේ, 2024 වසරේදී වාර්තා වූ ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10 ක දැරියක්ද සිටින බවයි.
මේ අතර 1989 වසරේ නොවැම්බර් මස 20 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු සියලු දෙනා දරුවන් ලෙස සැළකෙනවා.
මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනුව, ස්ත්‍රීය වයස අවුරුදු 16 ට අඩු තැනැත්තියක නම් ‘කැමැත්ත’ යන්න අදාළ නොවන නිසා, එවැනි තැනැත්තියක සමග ලිංගික සබදතා පැවැත්වීම ‘දූෂණයක්’ හෙවත් ‘ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්’ ලෙසයි සැළකෙන්නේ.
කෙසේ වෙතත් එවැනි ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයන්ට නතු වන දරුවන් සමබන්ධයෙන් වූ නඩු කටයුතු කඩිනම් කිරීම සඳහාද යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
+
‘රේන්ජ් රෝවර්’ තොගයකට ඇණවුම් ලැබිලා
(08.03.2025 – 20:49 +0530 – hirunews.lk/sinhala)
වාහන ආනයනය සඳහා අවසර දීමත් සමඟ ‘රේන්ජ් රෝවර්’ රථ සඳහා විශාල ඉල්ලුමක් ලැබී තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව ‘රේන්ජ් රෝවර්’ රථ 150 ක පමණ ඇණවුම් ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.

තවත් දෙමසකින් (2) පමණ එම වාහන මෙරටට ආනයනය කෙරෙනු ඇති බවයි වෙළඳපොල ආරංචිමාර්ග පවසන්නේ.
‘රේන්ජ් රෝවර්’ රථ දැනට පවතින සුපිරිම රථයක් ලෙසයි සැලකෙන්නේ.
අධි සුඛෝපභෝගී කාණ්ඩයට අයත් මෙම ‘රේන්ජ් රෝවර්’ රථයක වත්මන් මිල රුපියල් මිලියන 147 ක් හෙවත් රුපියල් ලක්ෂ 1470 ක් පමණ වනවා.
එම වාහන මේ වන විටත් බලලත් සමාගම් විසින් ඇණවුම් කර ඇති බව සඳහන් ෴
අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක්ටම වෛද්‍ය පරීක්ෂණයක්
(08.03.2025 – 23:16 +0530 – hirunews.lk/sinhala)
ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර 05 තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් (1) හෝ දෙවසරක් (2) වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.
ඒ තුළින් හඳුනාගන්නා රෝග තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ලබා දීමත්, මීට ආදාළ දීර්ඝ කාලීන වැඩසටහනක් වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය තුළ ගැබ්ව ඇති අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
එම දිගුකාලීන වැඩපිළිවෙළේ කෙටිකාලීන පියවරක් ලෙස ‘සුව උදාන’ ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන හඳුන්වා දිය හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ග්‍රාමීය ජනතාවට සුවසෙත සලසන ‘සුව උදාන’ 05 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴