දරුකමට හදාගත් පිරිමි දරුවෙකු මරා දැමූ යුවලකට මරණ දඬුවම
(06.03.2025 – 14:28 +0530 – hirunews.lk/sinhala)
දරුකමට හදා වඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක (2) ළමයෙකු වධ හිංසාවට ලක් කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවලකට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් තීන්දුව ලබා දුන්නා.
ඒ අනුව මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ‘මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන්’ සහ ‘මොහොමඩ් ෆාහිම් ෆාතිමා සිෆානා’ යන අයට මෙසේ මරණ දඬුවම නියම වුණා.
2018 වසරේ මැයි මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ප්‍රදේශයේදී හදා වැඩා ගැනීම සඳහා ලබාගත් අවුරුදු දෙකක (2) පිරිමි ළමයෙකු වධ හිංසාවට ලක් කොට මරණය සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට (2) එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරන විනිසුරු සුජීව නිශ්ශංක කියා සිටියේ, විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන මිනී මැරීමේ චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවයි.
තවදුරටත් තීන්දු ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සැක සහිත ලෙස මියගිය අවුරුදු දෙකක (2) පමණ පිරිමි ළමයෙකුගේ මෘත ශරීරයක් පරීක්ෂණයකින් තොරව වල දැමීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් අදාළ නිවසට ගොස් ඒ පිළිබඳ විමර්ශන සිදු කර ඇති ආකාරය පොලිස් සාක්ෂිවලින් අනාවරණය වූ බව සඳහන් කළා.
අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ඒ පිළිබඳ සැකයක් ඇතිවීම නිසා මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් පොලිස් සාක්ෂිවලින් අනාවරණය වී තිබුණා.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් මෙම දරුවා දරුණු ලෙස වධ හිංසනයට භාජනය වී තිබූ ආකාරය වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වී තිබූ බවත් විනිසුරුවරයා පැවසුවා.
මෙම දරුවාගේ දේහයේ තිබී තුවාල අනූවක් (90) පමණ නිරීක්ෂණය වී ඇති අතර, ඒවා පිළිස්සුම් තුවාල මෙන්ම පහරදීම් හේතුවෙන් ඇතිවූ තුවාල බවටත් වෛද්‍ය සාක්ෂි වලින් නිගමනය කර තිබුණා.
එමෙන්ම අදාළ දරුවාගේ වෘෂණ කෝෂවලටද දැඩි ලෙස හානි සිදුවී තිබූ බවත් වෛද්‍ය සාක්ෂි වලින් අනාවරණය වුණා.
ඒ අනුව මෙම දරුවා කෲර වද හිංසනයට භාජනය වී ඇති අතර, චේතනාන්විතවම ප්‍රචණ්ඩත්වයට ලක්වීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බව වෛද්‍ය සාක්ෂිවලින් නිරීක්ෂණය වී තිබෙන බවත් විනිසුරුත්වරයා සදහන් කළා.
එමෙන්ම කාලයක් වධ හිංසනයට භාජනය වී පිළිස්සුම්වලින් ඇතිවූ බහුවිධ තුවාල හේතුවෙන් දරුවාගේ මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නිගමනය කර තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.
වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන් විසින් මියගිය මෙම දරුවා කොළඹ ළමා රෝහල අසලටම රැගෙන ගොස් ඊට ඇතුළත් නොකට ආපසු හැරී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම බරපතල සැකයකට තුඩුදෙන කරුණක් බවයි.
අදාළ දරුවා මෙම විත්තිකරුවන් භාරයේ සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් මතුවී නොමැති බවත්, විනිසුරුවරයා අවධාරණය කළා.
සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී මියගිය දරුවා මෙම විත්තිකරුවන් භාරයේ ජීවත් වූ බව තහවුරු වී ඇති බැවින් ඉදිරිපත් වූ පර්යේෂණ හා වෛද්‍ය සාක්ෂිවලට අනුව මෙම මරණයට විත්තිකරුවන් වගකිවයුතු බවත් විනිසුරුවරයා තීන්දු කර තිබෙනවා.
ඒ අනුව අදාළ විත්තිකරුවන් දෙදෙනා (2) මිනීමැරීමේ චෝදනාවට වරදකරු කරන බවත් විනිසුරුවරයා අවසන් වශයෙන් නිගමනය කළා.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරුවන් කියා සිටියේ, තමන් මෙම චෝදනාවලට නිර්දෝෂී බවයි.
තමාට තවත් දරුවන් දෙදෙනෙකු (2) සිටින බවත්, මෙම දරුවා හදා වඩා ගත්තේ තම කැමැත්තෙන් බවත්, විත්තිකාරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා ෴
+
+
‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ වෙඩික්කරු ගැන අනාවරණයක්
(06.03.2025 – 13:12 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු එම ඝාතනය සිදුකළ වෙඩික්කරු බවටම ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (06) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ‘සංජීව ඝාතනය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුගේ ඇඟිලි සලකුණු සහ ගිනි අවියේ තිබූ ඇගිලි සලකුණු සැසදෙනවාද යන්නයි.
එයට පිළිතුරු වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ, ඔහු ගමන් කළ ආකාරය, ඔහුගේ ජංගම දුරකථනය, මුහුණු හඳුනා ගැනීම් සහ විද්‍යාත්මක සාක්ෂි අනුව වෙඩි තැබීම සිදුකරන ලද්දේ මෙම පුද්ගලයාම බව අනාවරණය කරගෙන ඇති බවයි ෴
+++
සෙව්වන්දිගේ ගාන තවත් උඩ යයි?
(06.03.2025 – 13:26 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව’ට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව වෙඩික්කරුට අධාර ලබා දුන් දැනට සැඟව සිටින ‘ඉෂාරා සෙව්වන්දි’ අත්අඩංගුවට ගැනීමට මහජන සහාය තවදුරටත් අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (06) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

සාමාන්‍යයෙන් ලෝකයේ කිසිම පොලිසියකට තනිව අපරාධ පාලනය කිරීමට හැකියාවක් නොමැති අතර, ඒ සඳහා මහජන සහාය අවශ්‍යය බවයි ඔහු පෙන්වා දුන්නේ.
මහජනතාවගේ සහාය ලබා ගැනීමේ අරමුණින් සහ එම පුද්ගලයා අගය කිරීමක් වශයෙන් ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට මෙසේ රුපියල් ලක්ෂ 12 ක මුදලක් ලබා දීමට තීරණය කළ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මෙම මුදල ඉදිරියේදී වැඩිකරනවාද යන පැනය මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කළ නොහැකි බවයි ෴
අති උතුම් දළදා වන්දනාවට ලක්ෂ 20 ක පමණ බැතිමතුන් සංඛ්‍යාවක් සෙංකඩගලට එන බවට අනුමානයක්
(06.03.2025 – 16:53 +0530 – hirunews.lk/sinhala)
අප්‍රේල් මස 18 වැනිදා සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම නැරඹීමට අවම තරමින් ලක්ෂ 20 ක පමණ බැතිමතුන් සංඛ්‍යාවක් මහනුවරට පැමිණෙනු ඇති බවට අනුමාන කෙරෙන බව දළදා දැක්මේ සංවිධාන කටයුතු සම්බන්ධව අද (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක දී ප්‍රකාශකර තිබෙනවා.
දින 10 තුළ දළදා දැක්ම පැවැත්වෙන කාල සිමාවේ දී තත්ත්පරයට තිදෙනා (3) බැගින් දළදා වහන්සේ වන්දනා කරන බවට අනුමාන කළත් එම කාලය තුළ දළදා මාලිගය තුළට ඇතුළු වීමට හැකියාව ඇත්තේ ලක්ෂ 06 ක පමණ පිරිසකට බවයි මෙහිදී අනුමාන වී ඇත්තේ.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවයි එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ.
මෙම සාකච්ඡාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල යන නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
දළදා දැක්ම නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සුපරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.
බැතිමතුන් සඳහා දන්සල් ලබාදීම සිදුකළ හැක්කේ නගර සභාවේ ලියාපදිංචි වීමෙන් පමණක් බව මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන්කර සිටියේ.
මහනුවර වැව රවුමේ සිට රතු බෝක්කුව දෙසින් මහාමායා බාලිකාව ඉදිරිපිටින් ද අවන්හල දෙස සිට උල්පැන් ගේ අසලින් වැව රවුමේ ඔස්සේ ද මහනුවර ඩි.එස්. සේනානායක වීදිය දෙසින් ද පෝලිම් තුනක් (3) ඔස්සේ ජනතාව මහමළුවට ඇතුළු කර ගන්නා බවත් ඔවුන් සියලු දෙනා අවස්ථා දෙකක (2) දී පරීක්ෂාවට ලක් කරන බවයි සාකච්ඡාවේදී තීරණය වූයේ.
දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාවේ නගර සීමාවේ සියලුම මත්පැන් අළෙවි සැල් හා මස් කඩ වසා දැමීමට ද තිරණය කර තිබෙන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් පවසා සිටියේ.
+
හොරණදී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
(06.03.2025 – 17:09 +0530 – hirunews.lk/sinhala)
හොරණ රෝහල ඉදිරිපිටදී ත්‍රීවිල් රථයක් අද (06) හදිසියේම ගිනි ගැනීමට ලක් වී තිබෙනවා.
ගිනි ගැනීම හේතුවෙන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
+
මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
(06.03.2025 – 17:56 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙණිය ගල්පොත්තයාය හන්දිය අසලදී ‘කජ්ජා’ නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයාට සහ ඔහුගේ දරු දෙදෙනාට (2) වෙඩි තැබූ බව කියන වෙඩික්කරු සහ එම ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන අඹු සැමි යුවළක ඇතුළු තිදෙනකු (3) පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් කේ.එච්. නවෝද්‍යා අද (06) නියෝග කළා.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ අතර එම වෙඩික්කරු බවට සැක කරන අයෙක් ඊයේ (05) මිද්දෙණිය පොලිසිය විසින් කටුවනදී අත්අඩංගුවට ගනුලැබුවා.
වෙඩික්කරු පැමිණි බවට සැක කරන යතුරුපැදිය ද මිද්දෙණිය දෙබොක්කාවේ ගල්වලක දමා තිබිය දී පොලිසිය සොයා ගෙන තිබෙනවා.
මෙම ඝාතනය රුපියල් ලක්ෂ පහක (5) කොන්ත්‍රාත්තුවකට කර ඇති බවත් ඉන් රුපියල් ලක්ෂ දෙකහමාරක් (2½) පමණක් වෙඩික්කරුට ලැබී ඇති බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
ඔහු වෘත්තියෙන් පෑස්සුම් ශිල්පියෙකු වන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් එම සැකකරු (1) සහ මෙම ඝාතනයට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ තවත් සැකකරුවෙකු (1) සහ සැකකාරියක (1) (වයස අවුරුදු 27 සහ 26 හැවිරිදි අඹු සැමි යුවළ) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
මේ සැකකරුවන් සියලුදෙනාම (3) පැය හැත්තෑ දෙකක (72) කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා ෴
+++
මිද්දෙණිය ත්‍රිත්ව (3) ඝාතනය පිටුපස රහස හෙළිවෙයි
(06.03.2025 – 19:52 +0530 – sinhala.adaderana.lk)
‘අනුර විදානගමගේ’ හෙවත් ‘කජ්ජා’ හා ඔහුගේ දරුදෙදෙනා (2) මිද්දෙණියේදී ඝාතනය කර ඇත්තේ ‘බැකෝ සමන්’ට අයත් ‘ගංජා පාර්සලයක්’ පැහැරගැනීමේ සිද්ධියකට එකටඑක කිරීමක් බව පොලීසිය විමර්ශන මගින් තහවුරු කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ, තමන් අධික ණය බරකින් පෙළීම හේතුවෙන් ‘බැකෝ සමන්’ගේ කොන්ත්‍රාත්තුවක් මත මෙය කළ බවයි.
මිද්දෙණිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 18 වනදා ‘කජ්ජා’ නැමැත්තා නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අතර, එම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනා (2) ද පසුව මිය ගියෝය.
ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී, වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරින් වෙඩික්කරු, ඝාතනයට ආධාර අනුබලදුන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු (3) ඊයේ (5) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවටගත් වෙඩික්කරුගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, ඩුබායිහි සිටින ‘බැකෝ සමන්’ නැමැත්තාගේ උපදෙස්මත පසුගිය පෙබරවාරි 10, 11 හා 12 යන දිනවලදී ‘කජ්ජා’ ඝාතනය කිරීමට උත්සාහ දැරූවද එය අසාර්ථක වූ බවයි.
අනතුරුව ‘බැකෝ සමන්’ගේ සමීපතමයෙක් වන ඩුබයිහි සැඟව සිටින ‘ළහිරු’ නැමැත්තාගේ උපදෙස් මත ‘කජ්ජා’ ඝාතනය කිරීමට පසුගිය පෙබරවාරි 18 වනදා යතුරුපැදිකරුවකු සමග පිටව ගිය බව ද වෙඩික්කරු පාපොච්ඡාරණය කර තිබේ.
යතුරුපැදිකරුව ‘ළහිරු’ නැමැත්තා විසින් දුරකථනයෙන් මෙහෙයවා ඇති අතර, ‘කජ්ජා’ එනතුරු ඔවුන් ඝාතනය සිදු වූ ස්ථානයට නුදුරින් පිහිටි ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් අසල රැඳී සිට ඇති බව පොලීසිය පවසයි.
පසුව ඔවුන් එම ස්ථානයෙන් ඉදිරියට යෑමේදී මුහුණට මුහුණ හමු වූ ‘කජ්ජා’, සිය දරු දෙදෙනා (2) සමග යතුරුපැදියෙන් ගමන් ගන්නා අයුරු දැක යතුරුපැදිය හරවාගෙන හඹාවිත් වෙඩි තැබීම සිදුකළ බව වෙඩික්කරු පොලීසිය හමුවේ පවසා තිබේ.
එම අවස්ථාවේදී තමන් දරු දෙදෙනා (2) දැක වෙඩි තැබීමට නොහැකි බව පැවසූවද, යතුරුපැදිකරුගේ බලකිරීම මත එය සිදුකළ බව වෙඩික්කරු පවසා ඇත.
තමා යතුරපැදියේ හිඳගෙන ගිනිඅවිය උකුල මත තබාගෙනම වෙඩි තබා පලාගිය බව ඔහු පාපොච්ඡාරණය කර තිබේ.
වෘත්තියෙන් පෑස්සුම් ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති වෙඩික්කරු, අපරාධකරුවන් භාවිත කරන ගිනිඅවිවල දෝෂ ඇති වූ විට ඒවා අලුත්වැඩියාකිරීම් ද සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පොලිසිය සැකපළකරන්නේ මොහු ‘පාතාලයේ සැඟවුණු වෙඩික්කරුවකු’ බවට සැකපළකරන බවයි.
මේ අතර ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ‘බැකෝ සමන්’ට අයත් ගංජා පාර්සලයක් පැහැරගැනීම නිසා ඔහුව ඝාතනය කළ බවට පොලීසිය මේ වනවිට තහවුරු කරගෙන තිබේ.
එමෙන්ම ‘කජ්ජා’ සූදුපොළවල් පවත්වන අතර පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සූදුපොළවල්වලට පැන ඒවායේ මුදල් කොල්ලකෑමේ සිද්ධීන් ද වාර්තාවී ඇති බව පොලීසිය පවසයි.
ඝාතනයෙන් පසුව ඔහුගේ නිවස පොලිසිය විසින් පරීක්ෂා කිරීමේදී මංකොල්ලකෑම් සඳහා භාවිත කළ පණිවුඩ හුවමාරුකරන යන්ත්‍ර කිහිපයක්ද පොලීසිය සොයාගෙන තිබේ.
කෙසේ නමුත් වෙඩික්කරු ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය පැද වූ පුද්ගලයා හා ඒ සඳහා යොදාගත් ටී-56 ගිනිඅවිය මෙතෙක් පොලීසියට සොයාගැනීමට හැකිවී නොමැත.
මේ අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) ඉදිරිපත් කළ සැකකරුවන්ව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴