රජය ඉන්ධන පිරවුම්හල්හිමියන්ට සාකච්ඡාවකට ඇරයුම් කරයි

රජය ඉන්ධන පිරවුම්හල්හිමියන්ට සාකච්ඡාවකට ඇරයුම් කරයි


රජය ඉන්ධන පිරවුම්හල්හිමියන්ට සාකච්ඡාවකට ඇරයුම් කරයි

(02.03.2025 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන බෙදුම්කරුවන් වෙත ලබා දුන් සියයට 3 ක වට්ටම අහෝසි කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මේ අතර, රට තුළ පවතින දෛනික ඉන්ධන ඉල්ලු‍මට වඩා දෙගුණයක ඉන්ධන ප්‍රමාණයක් පෙරේදාට (28) සාපේක්ෂව ඊයේ (01) දිනයේදී පිරවුම්හල් වෙත නිකුත් කර ඇති බව ‘ඛණිජ තෙල් නීතිගත සංස්ථාව’ ප්‍රකාශ කළා.

එවැනි පසුබිමක අද (02) බොහෝ ඉන්ධන පිරවුම්හල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන ආකාරය ද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සදහන් කළා.

‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ හා ‘ඉන්ධන බෙදුම්කරුවන්’ අතර මෙතෙක් පැවැති බෙදුම්කාරීත්ව ගිවිසුම අනුව පිරවුම්හලකින් අලෙවි කෙරෙන සෑම ඉන්ධන ලීටරයකටම ලබා දුන් සියයට තුනක (3%) වට්ටම අහෝසි කිරීමට සංස්ථාව පසුගියදා තීරණය කළා.

එම තීරණයත් සමග අලු‍තින් ඉන්ධන ඇණවුම් නොකිරීමට ‘ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ තීරණය කළේ පසුගිය සිකුරාදායි. ඒ අනුව පෙරේදා (28) රාත්‍රියේ සිටම ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, අද (02) පෙරවරුව වනවිට එම තත්ත්වය පාලනය වී තිබූ අතර සාධාරණ වට්ටමක් තෙල් සංස්ථාව සමග බෙදුම්කරුවන්ට සාකච්ඡා කර ගත හැකි බවයි අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ.

මේ අතර, රට තුළ පවතින දෛනික ඉන්ධන ඉල්ලු‍මට වඩා දෙගුණයක ඉන්ධන ප්‍රමාණයක් පෙරේදාට සාපේක්ෂව ඊයේ (01) දිනයේදී පිරවුම්හල් වෙත නිකුත් කර ඇති බවත් කොන්ත්‍රාත් කඩකරන ඉන්ධනහල් සදහා ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ’ සභාපති ඩී.ඒ. රාජකරුණා ප්‍රකාශ කළා.

ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි ‘ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ පවසන්නේ.

මේ අතර, කොළොන්නාව නිමාවෙන් ඉරිදා දිනවල ඉන්ධන නිකුත් නොකරන නමුත් අද (02) දිනය විශේෂ දිනයක් ලෙස නම් කරමින් තෙල් බෙදා හැරීමේ කටයුතු සිදුකෙරුණා.

මෙවන් පසුබිමක පවතින ගැටලු‍ව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්ධනහල් හිමියන් හෙට (03) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතයි.

මේ අතර, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ෆෙස්බුක් ගිණුමේ සටහන් තබා තිබෙනවා.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ ලාභංශ ප්‍රතිශත පිලිබඳ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ඛණිජ තෙල් බෙදුම්කරුවන් 2022 වසරේ මාර්තු මස මහාධිකරණයේ සහ 2023 වසරේ අභියාචනාධිකරණය මගින් එම තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ‘ලංකා ඛණිජ තෙල් සංස්ථාව’ට එරෙහිව තහනම් නියෝග දෙකක් (2) ගත් බවයි.

එම තහනම ඉවත් කරමින් අභියාචනාධිකරණය මගින් සංස්ථාවේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස 2024 වසරේ අගෝස්තු මස නියෝගයක් නිකුත් කළ බවත් එම නියෝගය විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙත සැප්තැම්බර් මස 02 වැනිදා ලැබුණු බව එහි සදහන්.

ඒ අනුව කටයුතු කිරීමේදී ඛණිජ තෙල් බෙදුම්කරුවන් නැවත එම නියෝගයට අභියාචනයක් සැප්තැම්බර් මස ශ්‍රේෂ්ඨධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි පළමු නඩු විභාගය සැප්තැම්බර් මස 18 වැනිදා විභාග වූ බවයි.

2024 වසරේ සැප්තැම්බර් 23 වැනිදායින් පසු එතෙක් පැවති රජය වෙනස් වීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නව තීරණය, නීතිපතිවරයාගේ උපදෙස් හෝ ‘ඛණිජ තෙල් සංස්ථාව’ ක්‍රියාත්මක කල ක්‍රමවේදය පිළිබඳව තමා හට අවබෝධයක් නොමැති බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පෙන්වා දෙනවා.

+


රුපියල් කෝටි 10 ක් වටිනා මත් පෙති සමග අයෙක් අත්අඩංගුවට

(02.03.2025 – 12:02 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව ඉන්දියාවේ සිට බෝට්ටුවලින් රැගෙන ආ බවට සැක කෙරෙන රුපියල් කෝටි 10 ක් පමණ වටිනා වේදනා නාශක කරල් 500,000 ක් ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කරල්, මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ භාවිතය සඳහා රැගෙන ආ බවටයි තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ.

අද (02) රාත්‍රි කටුනායක, කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ කොප්පරා හන්දියේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

‘කොළඹ අපරාධ කොට්ඨාසය’ට ලද තොරතුරක් මතයි වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

බලපත්‍රයක් නොමැතිව මෙම පෙති සන්තකයේ තබාගෙන ප්‍රවාහනය හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙහි වටිනාකම රුපියල් කෝටි 10 ආසන්න බවයි ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ පවසන්නේ.

මෙම පෙති තොගය නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

එම වෑන් රථයේ රියදුරු සහ ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (02) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

(02.03.2025 – 12:23 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි තබා තිබෙනවා.

ඒ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී.

වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා ප්‍රවාහනය කළ ලොරි රථයකට මෙසේ වෙඩි තැබූ බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූ සැකකරුවෙකු රෝහලේ ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


අල්ලස් සිද්ධියකට උප පොලිස් පරීක්ෂකයෙකු සහ කොස්තාපලයෙකු අත්අඩංගුවට

(02.03.2025 – 13:52 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ‘ගල්නෑව පොලිස් ස්ථානයේ’ උප පොලිස් පරීක්ෂකයෙකු සහ පොලිස් කොස්තාපලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 30,000 ක අල්ලසක් ඉල්ලීම හා ඊට අනුබල දීමේ චෝදනාව මතයි සැකකරුවන අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ පොලිස් නිලධාරීන් දෙදෙනා (2) ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම’ මගිනුයි අඩංගුවට ගෙන තිබෙන්නේ ෴


හම්බන්තොට වරා‍යේ වාහන නිෂ්කාශන ප්‍රමාදයක් ගැන චෝදනා

(02.03.2025 – 14:19 +0530 – hirunews.lk/sinhala)

රජය වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ පසුගියදා හම්බන්තොට වරායට රැගෙන ආ නෞකාවේ තිබූ වාහන 197 ක් පමණ නිෂ්කාශනය කිරීම ප්‍රමාද කර ඇති බවට ‘වාහන ආනයනකරුවන්ගේ සංගම්’ චෝදනා කරනවා.

එම වාහනවල ‘නිෂ්පාදන වර්ෂය’ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වසර 5 ක පමණ කාලයකට පසු පළමුවරට වාහන රැගත් නෞකාවක් පසුගියදා ජපානයේ සිට හම්බන්තොට වරායට පැමිණි අතර වාහන 196 ක් මෙලෙස ගෙන්වූ බවයි ආනයනකරුවන් පැවසුවේ.

වාහන ආනයනය සම්බන්ධයෙන් රජය නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මෙරටට ආනයනය කළ හැක්කේ ආනයන කළ දිනයේ සිට වසර 3 ක් පැරණි වාහන පමණයි.

එම කොන්දේසියට අනුගත නොවූ වාහන 197 ක් පමණ රේගුව විසින් නිෂ්කාශනය නවතා ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ එලෙස වාහන නිෂ්කාෂන කටයුතු නවතා නොමැති බවයි.

හම්බන්තොට වරායට ගෙන්වූ වාහනවල නිෂ්පාදිත දිනය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ඊට අදාළ ‘සමාගමේ වාර්තාව’ ලැබෙනතුරු සිටින බව ද ඔහු සඳහන් කළා.

එය ‘වාහන ආනයනයේදී කෙරෙන සාමාන්‍ය කටයුත්තක්’ බැවින් වාහන නිෂ්කාෂන කටයුතු නවතා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

+


යටඇඳුමේ සැඟවූ ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අයෙක් කොටුවෙයි

(02.03.2025 – 15:20 +0530 – hirunews.lk/sinhala)

‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 50 ක් යටඇඳුම තුළ සඟවාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරිබත්ගොඩ, නාහේන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අවුරුදු 34 ක පුද්ගලයෙක්.

පොලිසිය පැවසුවේ, ඔහු සතුව තිබී රුපියල් 150,000 කට ආසන්න මුදලක්, ජංගම දුරකථන අටක් (8) සහ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් (1), රුපියල් ලක්ෂ තුන හමාරකට (3½) අධික රන් භාණ්ඩ ද නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි.

ඔහුගේ නිවස ඉදිරිපිටදී ‘කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය’ විසිනුයි මොහු කොටුකරගෙන තිබෙන්නේ ෴


ශ්‍රී දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 සිට

(02.03.2025 – 15:41 +0530 – hirunews.lk/sinhala)

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු නිරුපද්‍රිතව ශේෂ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ සැලකෙන්නේ ලොව පුරා බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන්මල්කඩ ලෙසයි.

අද වනවිට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වාසය කරන ශ්‍රී දළදා වහන්සේ මෙරට රාජ්‍යත්වය හා බැඳුණු සුවිශේෂි සංකේතයක් ලෙස ද සැලෙකනවා.

ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි මහ නායක ස්වාමීන්වහන්සේලා සතුවන අතර ගිහි භාරකාරත්වය දරනු ලබන්නේ දියවඩන නිලමේතුමන් විසින්.

ආරක්ෂිත රන් කරඬුවක තැන්පත් කර ඇති දළදා වහන්සේ සියැසින් දැකබලාගැනීම අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙනවා.

අවසන් වරට දළදා දැක්මක් පවත්වා ඇත්තේ 2009 වසරේදීයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන්ගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙවර දළදා දැක්ම පැවැත්වෙන්නේ වසර 16 කට පසුවයි.

ඒ අනුව එළැඹෙන අප්‍රේල් 18 වැනිදා දළදා දැක්ම ආරම්භ කෙරෙන අතර එදින පස්වරු 3 සිට පස්වරු 05:30 දක්වා සැදැහැවතුන්ට දළදා වහන්සේ දැකගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

අනතුරුව අප්‍රේල් 19 වැනිදා සිට අප්‍රේල් 27 වැනිදා දක්වා දහවල් 12:00 සිට පස්වරු 05:30 දක්වා දළදා දැක්ම පැවැත්වීමට නියමිතයි.

එහිදී ප්‍රධාන පෝලිම් 3 ක් ඔස්සේ සැදැහැවතුන්ට දළදා වහන්සේ වන්දනා කර ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති.

දළදා දැක්මේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (02) පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ද සහභාගිත්වයෙන්.

දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර ප්‍රදේශයේ පාසැල්වලට නිවාඩු ලබාදීමත් එම දිනවලට සරිලන අයුරින් වෙනත් දිනවල පාසැල් පැවැත්වීමටත් යෝජනා වී තිබෙනවා.

දළදා දැක්ම පිළිබඳව නිල නිවේදනය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදුකරනු ලැබුවා.

+


යතුරුපැදි අනතුරකින් සිසුවෙක් (1) මරුට, 2 කට තුවාල

(02.03.2025 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ළමුන් තිදෙනෙකු (3) ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් අයෙකු (1) ජීවිතක්ෂයට පත්ව සෙසු දෙදෙනා (2) තුවාල ලබා තිබෙනවා.

මහනුවර, උඩතලවින්න මාර්ගයේ වත්තේගෙදර ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

16 හැවිරිදි ළමුන් තිදෙනෙකු (3) ගමන්ගත් යතුරු පැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ උඩතලවින්න, වත්තේගෙදර, පදිංචි එම්.එස්. රස්කාන් නැමති අයෙක්.

ඔහුගේ දේහය කටුගස්තොට ප්‍රාදේශිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබෙනවා.

ළමුන් තිදෙනා (3) සමග වේගයෙන් ගමන්ගත් යතුරු පැදිය මාර්ගයේ වම්පස බැම්මක වැඳී පෙරළී තිබෙනවා.

පසුව දකුණු පස කාණුවක් අසල නැවතී ඇති අතර මහමඟ තැන තැන වැටී සිටි ළමුන් තිදෙනා (3) ප්‍රදේශවාසීන් එක්ව ‘කටුගස්තොට ප්‍රාදේශිය රෝහල’ වෙත ඇතුලත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

නමුත් රෝහලට ඇතුලත් කරනවිටත් ඉන් එක් (1) අයෙකු මියගොස් සිටි බවත් බරපතල තත්ත්වයේ පසුවූ එම්.ඒ. අබ්දුල්ලා නැමති ළමයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ‘පේරාදෙණිය ශික්ෂණ රෝහල’ට ඇතුළත් කර තිබෙනවා.

අනෙක් තුවාලකරු කටුගස්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි කටුගස්තොට රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

වත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් විදුහල්පතියෙකු රිමාන්ඩ්

(02.03.2025 – 17:44 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතියෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව හිඟු‍රක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

තමා අධ්‍යාපන ලබන පාසලේ විදුහල්පති පාසල් වේලාව තුළදී තමන්ට පහරදී වද හිංසා කළ බව පවසමින් 17 හැවිරිදි මෙම සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විදුහල්පති අත්අඩංගුවට ගෙන තිබුණා.

කොණ්ඩය කපා නොමැති බව හා කළු පැහැති මේස් යුගලයක් පැළඳ පාසලට පැමිණි බවට චෝදනා කරමින් සැකකාර විදුහල්පති මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *