කඩුවෙලදී ලොරි රථයකට පොලිසියෙන් වෙඩි
(01.03.2025 – 06:23 +0530 – hirunews.lk/sinhala)
වත්තල ප්‍රදේශයෙන් සොරකම් කළ ලොරි රථයකට කඩුවෙල උසාවිය අසලදී පොලිසියෙන් වෙඩිතබා තිබෙනවා.
පොලිස් අණ නොතකා ධාවනය කර තිබූ මෙම ලොරි රථය සොරකම් කරනු ලැබ ඇත්තේ නොරච්චෝලේ සිට එළවළු තොගයක් රැගෙන එමින් තිබියදීයි.

අදාල සොරකම පිළිබඳව ලොරි රථයේ හිමිකරුවන් විසින් පොලිසියට පැමිණිලි කර තිබූ අතර වැල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශ වලදී පොලිස් අණ නොතකා මෙම ලොරි රථය ධාවනය කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
කඩුවෙල ප්‍රදේශයේදී කොස්වත්ත දෙසට ලොරි රථය ධාවනය කර තිබූ අතර ‘පොලිස් ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම්’ මගින් අදාල ලොරි රථය ලුහුබැඳ තිබෙනවා.
පසුව කඩුවෙල අධිකරණය ආසන්නයේදී ලොරි රථයේ රෝදවලට පොලිසිය වෙඩිතබා ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අත් බෝම්බයක් සොයාගැනීමටත් පොලිසිය සමත්ව තිබෙනවා.
පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ක සැකකරුවෙක්.
+
+
+
+++
පුද්ගලයෙකු ලොරියක් කොල්ලකා පලායයි
(01.03.2025 – 07:26 +0530 – sinhala.adaderana.lk)
වත්තල ප්‍රදේශයේදී ලොරි රථයක් පැහැරගෙන පලායමින් සිටියදී කඩුවෙලදී එම රථයට වෙඩිතබා නවතාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව කඩුවෙල පොලිසීය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක්ද හමු වූ බවද පොලීසිය සඳහන් කළේය.
අදාළ ලොරි රථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා තිබේ.
එහිදී රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී (ලොරිය පනගන්වන යතුර ?) අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලොරිය පැහැරගෙන ඇත.
පසුව රියදුරු ත්‍රීරෝද රථයකින් ලොරිය පිටුපස හඹා ගියද, අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලීසියට දැනුම්දී, එම ලොරියේ GPS ක්‍රියාවලිය ගැනද පොලීසිය දැනුම්වත් කර ඇත
ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අදාළ ලොරිය නැවැත්වීමට පොලීසිය උත්සාහ ගත්තද, එය ව්‍යාර්ථ වී තිබේ.
පසුව කඩුවෙල දෙසට පැමිණි අවස්ථාවේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් ලොරිය පසුපස හඹාගොස් ඇත.
එහිදී තලාහේන ප්‍රදේශයේදී සහ කඩුවෙලදී වෙඩිපහර කිහිපයක් එල්ලකර තිබේ.
නමුත් මෝටර් රථ 2ක්, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් හප්පා දමමින් එම ලොරිය ඉදිරියට ගොස් ඇත.
පලායන අතරතුර ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිටුපස ගේට්ටුවකටද හානි සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පසුව කඩුවෙල නගරයේදී තවත් ලොරි රථ යොදාගනිමින් ලොරිය පැමිණෙන මාර්ගය හරස් කර තිබේ.
එහිදී මාර්ග බාධක යොදා තිබූ අවස්ථාවේ සැකකරු එම ස්ථානයටද පැමිණ නැවත හැරීයාමට සැරසී ඇත.
එහිදී පොලීසිය විසින් යළිත් වෙඩි පහර කිහිපයක් ලොරියට එල්ලකර එය නවතාගැනීමට කටයුතුකර තිබේ.
කඩුවෙල අධිකරණය සංකීර්ණය අසලදී ලොරි රථය නවතා දමා සැකකරු ඉන් පලායාමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පවත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්ය.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴
+
ප්‍රවීණ රංගන ශිල්පිණී ‘සුසන්තා චන්ද්‍රමාලි’ අභාවප්‍රාප්ත වෙයි
(01.03.2025 – 06:21 +0530 – hirunews.lk/sinhala)
ප්‍රවීණ රංගන ශිල්පිණී ‘සුසන්තා චන්ද්‍රමාලි’ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියයන විට 61 වන වියේ පසුවුණා.
කලක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ඇය මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිණියක්.

1986 වසරේ සිට මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ඇය ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් රසික හදවත් දිනාගැනීමට සමත් වුණා.
ඇයගේ මංගල සිනමා අත්දැකීම වන්නේ 2000 වසරේ සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සරෝජා’ චිත්‍රපටයයි.
එමෙන්ම ඇයගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ලෙස ‘ජය පිට ජය’, ‘රන් කෙවිට’ සහ ‘නිදහසේ පියා ඩී.එස්.’ දැක්විය හැකියි.
එසේම ඇය ජනප්‍රිය රංගන ශිල්පිණියක්වන ‘තිසුරි යුවනිකා’ගේ ආදරණීය මෑණියන් ය ෴
‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට සම්බන්ධ තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(01.03.2025 – 07:28 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සංජීව කුමාර සමරරත්න’ නොහොත් ‘ගනේමුල්ල සංජීව’ යන අය වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ‘කොළඹ අපරාධ කොට්ඨාසයේ’ නිලධාරීන් විසින්.
එසේම ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, අපරාධය මෙහෙයවීමට භාවිතා කරන ලද සිම්පත් ලබා දී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ‘ගංගොඩවිල කංකානම්ලාගේ උදාර නිර්මාල් ගුණරත්න’ නම් අයෙක් සහ මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ‘සෙනරත් දිසානායක නලින් දුෂ්‍යන්ත’ නම් අයෙක්.
ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
බදුල්ල සහ හාලි-ඇල අතර නායයෑමක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
(01.03.2025 – 07:49 +0530 – hirunews.lk/sinhala)
උඩරට දුම්රිය ස්ථාන කිහිපයකින් පස් කදු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, බදුල්ල – හාලි ඇල දුම්රිය ස්ථාන අතර මෙලෙස පස් කදු කඩා වැටීම ඊට හේතු වී ඇති බවයි.
මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය ධාවනයේදී ප්‍රමාදය සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර, බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් ඔරුගොඩවත්ත සිට කොළඹ වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයෙන් අද (01) උදෑසන 09:00 සිට පස්වරු 04:00 දක්වා වසා තැබෙනවා ෴
අද (01) සිට නැවත දැනුම්දෙනතුරු නරඹන්නන් සඳහා යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ
(01.03.2025 – 10:22 +0530 – hirunews.lk/sinhala)
යාල ජාතික වනෝද්‍යානය අද (01) සිට නැවත දැනුම්දෙනතුරු නරඹන්නන් සඳහා වසා දමන බව යාල ජාතික උද්‍යානභාර මනෝජ් විද්‍යාරත්න සඳහන් කළා.
වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික උද්‍යානය වසා දැමීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.
පසුගිය දින දෙක (2) තුළ ඇද හැලුන් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යට වී ඇති බවත්, උද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩා ගෙන ගොස් ඇති බවත්, ඔහු පැවසුවා.
මේ හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උද්‍යානය වසා දැමීමට තීරණය කළ බව ඔහු සඳහන් කළා.
ඒ අනුව, යාල කලාප අංක 1 ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසා දැමෙනවා.
මේ පිළිබඳව අප කළ සොයා බැලීමේදී යාල උද්‍යාන පිවිසුම් මාර්ගය නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ගංවතුරෙන් යට වී ඇති බව දැක ගැනීමට හැකි වුණා.
එමෙන්ම ‘යාල සෆාරි ජීප් රථ එකමුතුවේ’ සභාපති තරිඳු ජයසිංහ සඳහන් කළේ, කිසිඳු දැනුම් දීමකින් තොරව ගත් මෙම තීරණය හේතුවෙන් මුදල් ගෙවන ලද සංචාරකයින් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි ෴
පූර්ණකාලීන – අර්ධකාලීනයන් විසින් සුරකින සම්බුදු සසුන (01.03.2025)
+
නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
(01.03.2025 – 14:07 +0530 – hirunews.lk/sinhala)
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා පැනවූ නායයෑම් අනතුරු ඇගවීම, හෙට (02) දහවල් 12:30 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්දකැටිය, හපුතලේ, ඌව පරණගම, මීගහකිවුල, සොරණාතොට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් සහිත ප්‍රදේශ සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ සඳහන් කළේ.
මේ අතර, හෙට (02) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴
කුළු බඩු අපනයනයෙන් රුපියල් මිලියන 89,217 ක්
(01.03.2025 – 14:37 +0530 – hirunews.lk/sinhala)
බඩු අපනයනය කිරීමෙන් පසුගිය වසර (2024) තුළ රුපියල් මිලියන 89,217 ක මුදලක් උපයා තිබෙනවා.
එය මෑත ඉතිහාසයේ ලබාගත් ඉහළම ආදායම බවයි ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව’ කියා සිටියේ.
ඒ අනුව කුළු බඩු මෙට්‍රික් ටොන් 44,262 ක් අපනයනය කිරීමෙන් මෙම ආදායම උපයා තිබෙනවා.
ඉන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ගම්මිරිස් අපනයනයෙන් වන අතර එය රුපියල් මිලියන 51,524 ක්.
පුවක් අපනයනයෙන් රුපියල් මිලියන 11,598 ක් ද, සාදික්කා අපනයනයෙන් රුපියල් මිලියන 4,648 ක් ද උපයා ඇති බවයි ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව’ සදහන් කළේ ෴
කටුනායක ගුවන් තොටුපොළට මගී බස් – ඉනිමං අලුතෙන් ?
(01.03.2025 – 22:52 +0530 – hirunews.lk/sinhala)
කටුනායක ගුවන් තොටුපොළේ අංගන මෙහෙයුම් අංශයේ මගී ප්‍රවාහනයට ඇති බස් රථ හා ගුවන් යානාවලට පිවිසීමට ඇති ඉනිමං ඉතා පැරණි බව වාර්තා වනවා.
ඒ අනුව එම බස් රථ වසර 33 ක් පමණ හා ඉනිමං වසර 30 ක් තරම් පැරණි බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ට නව බස් රථ හා ඉනිමං ලබා ගැනීමට තීරණය කොට ඇති බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසන්නේ.
මෙම තීරණය ‘ශ්‍රී ලංකන් ගුවන් සේවයේ’ නව පාලන අධිකාරිය විසින් ගෙන තිබෙන බවද වාර්තා වනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴