ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා.. – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා.. – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්


ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා.. – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්

(10.02.2025 – 14:18 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි.

මේ සඳහා ‘යූඑස් ඒඩ්’ ආයතනයෙන් ‘ජෝජ් සෝරෝස්’ වෙත ඩොලර් මිලියන 260 ක මුදලක් ලබාදී ඇති බවත් හෙතෙම කියා සිටී.

තම X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

+

George Soros received $260,000,000.00 from USAID and used this money to spread chaos, change governments and personal gain in Sri Lanka, Bangladesh, Ukraine, Syria, Iran, Pakistan, India, UK and the US. (4:56 AM · Feb 9, 2025)

+

+


අද (10) සහ හෙට (11) විදුලි කප්පාදුවක්

(10.02.2025 – 14:43 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් අද (10) සහ හෙට (11) විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමුකර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එම යෝජනාවට අනුව අද (10) සවස සහ හෙට (11) සවස පැය එකහමාරක (1½) කාලයක් විදුලි කප්පාදුව සිදුවෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම විදුලි කප්පාදුව පස්වරු 03:30 සහ 09:30 දක්වා කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මකවෙන බවයි විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් වැඩිදුරටත් පවසා සිටියේ.

+


රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56 ක් හිරේ – සිරදඬුවම අවුරුදු 07 කින් ගෙවී යනු ඇත

(10.02.2025 – 17:42 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට අදාළ ටෙන්ඩර් මුදල් මුදා හැරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 36,000 ක අල්ලසක් ලබාගත් මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට බරපතළ වැඩ සහිත වසර 56 ක සිර දඬුවම් කොළඹ මහාධිකරණය විසින්ද නියම කළා.

එම සිරදඬුවම අවුරුදු 07 කින් ගෙවී යා යුතු බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 36,000 ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගන්නා ලෙසත් නියෝග කළා.

අති දුෂ්කර ප්‍රදේශයක සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට බාධා පැමිණවීම තුළින් විත්තිකරු බරපතල ක්‍රියාවක් සිදු කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා සංවර්ධන කටයුතුවලදී අල්ලස් ලබා ගැනීම රටේ සංවර්ධනයට මෙන්ම රටේ ඉදිරි ගමනට ද බාධාවක් බවත් සඳහන් කළා.

අල්ලස් ලබා නොදී රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඇතැම් රජයේ නිලධාරින් අල්ලස් ලබා ගැනීම කලාවක් බවට පත් කරගෙන තිබෙන බවත් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු රජයේ සේවකයකු වශයෙන් කටයුතු කරමින් මේ ආකාරයෙන් අල්ලස් ලබා ගැනීම කනගාටුදායක තත්ත්වයක් බවත් සඳහන් කර සිටියා.

2017 වසරේ ඔක්තෝබර් මස 11 වැනිදා මොනරාගල දිස්ත්‍රික්කයේ කපුලන්ද සහ උඩුගල්ලෙන යන ග්‍රාමීය මාර්ග පිළිසකර කිරීම් කටයුතු වෙනුවෙන් ‘ලහිරු ගොවි සංවිධානයට’ ගෙවිය යුතු ටෙන්ඩර් මුදල් මුදා හැරීම සඳහා රුපියල් 36,000 අල්ලසක් පැමිණිලිකාර කොන්ත්‍රාත්කරු ගෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශය කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථවී තිබෙන බවයි.

ඒ අනුව එල්ල කර තිබූ චෝදනා 08 ක් සදහා විත්තිකරු වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා එක් එක් චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 07 බැගින් වසර 56 ක සිර දඬුවම් නියම කරන බව නියෝග කළා ෴


2025 වසරට විදේශ රැකියා 340,000 ක්

(10.02.2025 – 17:13 +0530 – hirunews.lk/sinhala)

2025 වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ පවසනවා.

එහි සභාපතිවරයා මේ බව පැවසුවේ ‘බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්’ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදි කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ 2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බවයි.

පසුගිය 2024 වසරේ ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

ඒ හේතුවෙන් පසුගිය වර්ෂයේදී (2024) අමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබී තිබෙනවා.

ගිය වසරේදී (2024) විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයින් අතුරින් වෘත්තිමය රැකියා සඳහා 65% ක් ගොස් තිබෙනවා.

මේ අනුව අවම වෘත්තිමය රැකියා සඳහා 35% ක ප්‍රමාණයක් පිටත්ව ගොස් තිබෙන බවයි සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේ.

2025 වර්ෂයේදී වෘත්තිමය රැකියා සඳහා ශ්‍රමිකයින් 75% ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා 25% ක පිරිසක් යොමුකිරිමටයි ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ’ සැලසුම වන්නේ.

මේ අතර කුවේට් රාජ්‍යයට 84,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 55,000 ක් සෞදි රාජ්‍යයේ රැකියාවට 52,000 ක් යොමුකිරිමට අදහසක් පවතිනවා.

මීට අමතරව කාර්යාංශය මගින් සෘජුවම රැකියා සඳහා යොමුකරන ඊශ්‍රායල් රැකියා 15,900, ජපානයේ රැකියා 9,000 ක්, දකුණු කොරියාව සඳහා ශ්‍රමිකයින් 8,000 ක් යොමුකිරිමට කාර්යාංශය සැලසුම් කර තිබෙන බවද මෙහිදී අනාවරණය වුණා ෴


ග්‍රාම නිලධාරියෙක් පාරක් වහගෙන වී වේලලා

(10.02.2025 – 15:36 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාම නීලධාරියෙකු සිය බලය අනිසි ලෙස යොදවමින් කිළිනොච්චිය – පරන්තන් මාර්ගය පුරා වී ගෝනි වේලීම නිසා රථ වාහන සහ ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත්වූ පුවතක් වාර්තා වනවා.

එම ග්‍රාම නීලධාරියා අද (10) උදෑසන සිටම මෙසේ වී වේලීමේ නිරතව තිබෙන බවයි පැවසෙන්නේ.

මේ හේතුව නිසා පාසල් ළමුන්ට හා රජයේ සේවකයින්ට අදාල ස්ථාන වෙත යාමට නොහැකි වී ඇති බවයි කිළිනොච්චිය, කණ්ඩාවලෙයි ප්‍රදේශ වාසීන් පවසන්නේ.

මෙම ග්‍රාම නිලධාරියාගේ කුඹුරෙන් අස්වැන්න නෙලාගෙන වී තොග ගෝනිවල අසුරා නිවස වෙත රැගෙන එමින් තිබියදී වී තොගය ඇලකට පෙරළී ඇති බවත් ඒවා මෙසේ වේලා ඇති බවයි වාර්තා වන්නේ.

එම වී ගෝනි වියලා ගැනීමට ඔහු ඒවා පාර මැදම තබා පසෙකට වී බලා සිටි බවයි පැවසෙන්නේ.

මේ නිසා මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි වාර්තා වන්නේ.

අනතුරුව පැය හතරකට (4) පමණ පසුව එතැනින් ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ග්‍රාම නිලධාරියාට කරුණු කියා තිබෙන අතර එහිදී ග්‍රාම නිලධාරියා ඔහුගේ සේවකයින් ලවා වී ගෝනි පාරෙන් ඉවත් කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මෙකී ග්‍රාම නිලධාරියා නිතරම සිය බලය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ජනතාවට පීඩාවන ලෙස කටයුතු කරන අයෙකු බවයි කිළිනොච්චිය, කණ්ඩාවලෙයි ජනතාව පවසන්නේ ෴


වගා හානිවලට වන්දි දෙන මුවාවෙන් මුදල් සොරාගැනීමක්

(10.02.2025 – 14:10 +0530 – hirunews.lk/sinhala)

වගා හානිවලට වන්දි ලබා දෙන මුවාවෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) කාන්තාවක් රවටා රුපියල් 50,000 ක මුදලක් වංචා කරගෙන පලාගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

එම නිවසේ අදාල කාන්තාව පමණක් ජීවත් වන අතර ඇයට කුඹුරු අක්කර 12 ක අයිතියක් පවතින බවයි පැවසෙන්නේ.

පසුගිය සමයේ වර්ෂාවට හසු වී කුඹුරු විනාශවීම ගැන පශ්චාත්තාපයෙන් සිටින විට හදිසියේම නිවසට පැමිණි දෙදෙනා (2) ලිපි ගොණුවක් විවෘත කොට ඇගෙන් නම අසා වගා හානි සඳහා ඇයට රුපියල් 2,50,000 ක මුදලක් රජයෙන් වෙන් කොට ඇති බව පවසා තිබෙනවා.

එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 50,000 ක මුදලක් වාරිමාර්ග නඩත්තු කටයුතුවලට ගෙවිය යුතු බව පවසා කාන්තාවගෙන් එම මුදල ලබා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැඩිදුරටත් කාන්තාවගෙන් විස්තර සටහන් කරගත් යතුරු පැදියෙන් පැමිණි දෙදෙනා (2) මුදල්ද රැගෙන නිවසින් පිටව ගොස් ඇත්තේ පසුදා උදෑසන වන විට අදාල රුපියල් 2,50,000 ක මුදල ඇගේ බැංකු ගිණුමට බැර කරන බව ප්‍රකාශ කරමින් බවයි පැවසෙන්නේ.

නමුත් දින පහක් (5) ගත වී ඇතත් මුදල් නොලැබුණු නිසයි ඇය මේ සම්බන්ධයෙන් වඩුක්කෝඩෙයි පොලීසියට පැමිණිලි කොට ඇත්තේ.

එහිදී අනාවරණය වී ඇත්තේ යතුරු පැදියෙන් පැමිණි දෙදෙනා (2) එදින යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ නිවාස හතරකින් (4) මේ ආකාරයටම පවසා මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවයි.

පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴


දේශීයව එකලස් කළ වාහන අපනයනයෙන් ඩොලර් මිලියන 450 ක්

(10.02.2025 – 13:21 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර කිහිපය තුළ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ කර්මාන්තශාලා ත්‍රිත්වයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන විට දේශීය වශයෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලා 17 ක්, වාහන උපාංග නිපදවන කර්මාන්ත 78 ක් පවතින බවත් එම කර්මාන්ත හරහා සෘජු හා වක්‍ර රැකියා 20,000 කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බව‍යි ප්‍රකාශකර සිටියේ.

මේ වනවිට මෝටර් බයිසිකල් එකලස් කිරීමේදී 60% පමණ අගයක් දේශියව එකතුවන අතර මෝටර් රථවලට 25% ක පමණ අගයක් එකතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

TVS, BAJAJ, Hyundai, Proton, Cherry, JMC, Beijing වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් ලංකාව තුළ මේ වන විට එකලස් වන බව පවසන අමාත්‍යවරයා එමඟින් ඩොලර් මිලියන 450 ක පමණ විදේශ විනිමයක් ලැබෙන බවත් ප්‍රකාශ කළා ෴


මහනුවර නගරයේ දුරකතන සොරාගන්නා කල්ලියක්

(10.02.2025 – 17:54 +0530 – hirunews.lk/sinhala)

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා කල්ලියක් පිළිබඳව වාර්තාවී තිබෙන බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසනවා.

2025 වසරේ ගතවූ දින 39 තුළ ජංගම දුරකතන සොරා ගැනීම සම්බන්ධ පැමිණිලි 80 ක් ලැබී ඇති බවයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසන්නේ.

මීට අමතරව පැමිණිලි නොකළ සිදුවීම රැසක් තිබෙන්නට හැකි බවද පොලිසිය පැවසුවා.

බස්‍ රථවල හා ජනාකීර්ණ ස්ථානවලදී මෙම සොරකම් සිදුකරන බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මහනුවර නගරයේ සිට තදාසන්න නගර හා ගම්ප්‍රදේශවලට යන මගී බස් රථවලදී වැඩි වශයෙන් මෙම සිදුවීම් වාර්තා වන බව පැවසෙනවා.

මෙසේ ජංගම දුරකතන සොරා ගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාතමකයි ෴


තරුණයෙකු පැහැර ගෙන රුපියල් ලක්ෂ 80 ක් බලෙන් ලබාගත් කාන්තාවක් සහ පිරිමි 3 ක් අත්අඩංගුවට

(10.02.2025 – 09:55 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් රුපියල් ලක්ෂ 80 ක මුදලක් කොල්ලකරුවන්ගේ ගිණුමකට බැර කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලුව සැකකරුවන් හතර දෙනෙකු (4) යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ ආරියකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ රටක සේවයට යාමේ අපේක්ෂාවෙන් සිට ඇති අතර එහිදී ඔහුට එක් කාන්තාවක් පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 80 ක මුදලක් වැය කිරීමට හැකිනම් යුරෝපා රටක රැකියාවක් සදහා සති දෙකක (2) කාලයකින් යා හැකි බවයි.

තරුණයා එහිදී තමන් සතුව මුදල් ඇති බව ප්‍රකාශ කළත් කාන්තාවට මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

දින කීපයකට පසුව කාන්තාව හා තවත් තුන් දෙනෙකු (3) සමග මෝටර් රථයකින් තරුණයාගේ නිවසට ගොස් ඔහුව පැහැර ගෙන ඔහුගේ බැංකු ගිණුමේ තිබූ මුදල්වලින් රුපියල් ලක්ෂ 80 ක මුදලක් කාන්තාවගේ ගිණුමට බලහත්කාරයෙන් බැර කරගෙන ඇති බව සඳහන්.

පසුව එම තරුණයාව යාපනයේ කෝපායී ප්‍රදේශයේ පාලු ප්‍රදේශකට ගෙන ගොස් අතහැර දමා මුදල් මංකොල්ලකෑ පිරිස පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබදව යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කීරීමෙන් පසුව කාන්තාව හා අදාල සැකකරුවන් තුන් දෙනා (3) ද තරුණයා පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


විහාරාධිපති ශ්‍රමණවේශධාරියා කුඩු සමග අල්ලයි…

(10.02.2025 – 11:20 +0530 – lankacnews.com)

හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්රැම් 200 සන්තකයේ තබාගෙන සිටි විහාරාධිපති ශ්‍රමණවේශධාරියෙකු කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ඩී.පී.ජී. සඳරේඛා මෙනවිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කන්තලේ පෙදෙසේ විහාරස්ථානයක විහාරාධිපති ශ්‍රමණවේශධාරියෙකි (40).

කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් භාතියගම පෙදෙසේ සිදුකළ හදිසි මෙහෙයුමකදී හෙරෝයින් කැබලි 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමා විහාරාධිපති ශ්‍රමණවේශධාරියා සමග එක්ව හෙරෝයින් පානය කළ බව එම තරුණයා පොලිසියට පවසා ඇත.

ඒ අනුව පොලිසිය විසින් විහාරස්ථානයේ සිදුකරන ලද පරීක්ෂා කිරීමේ දී මෙම හෙරෝයින් ප්‍රමාණය සොයාගැනීමට පොලිසියට හැකිව ඇත.

ඒ අනුව ශ්‍රමණවේශධාරියා පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ අනුව සැකකාර ශ්‍රමණවේශධාරියා පෙරේදා (08) කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම ශ්‍රමණවේශධාරියා 2024 වර්ෂයේ ජනවාරි මාසයේදී ද හෙරෝයින් සන්තකයේ තබාගෙන අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මහින්ද සේනාරත්න – කන්තලේ


බස් අනතුර ගැන සංවේදී කතාවක් – තවත් සිව්දෙනෙකුට (4) බරපතළයි (10.02.2025 13:13 +0530)

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *