සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි : ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි : ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
(14.06.2026 – hirunews.lk)
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට දෛනිකව නීතිඥ සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ අතර ලිපි හුවමාරුවක් සිදුවී තිබෙනවා.
ඒ අනුව, සුරේෂ් සලේට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන හමුවීමට අවසර දෙන ලෙස ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබූ අතර, ඊට පිළිතුරු දෙමින් CID අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඊයේ (13) ලිපියක් මඟින් දන්වා ඇත්තේ සලේ මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින්, මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින බවයි.
නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමි වී සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත්, අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබා දී ඇති බවත් CID අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපියෙහි සඳහන්.
එමෙන්ම, පවුලේ අයට (බිරිඳ, දියණිය සහ පුතාට) දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති බැවින්, දෛනිකව නීතිඥවරයාට හමුවීමට අවකාශ දිය නොහැකි බව CID අධ්‍යක්ෂවරයා අවධාරණය කරනවා.
CID අධ්‍යක්ෂවරයාගේ ලිපියට අද (14) ප්‍රතිචාර දක්වමින් මනෝරි සලේ පවසා ඇත්තේ, රෝහල්ගත වීම නිසා නීතිඥ සහාය අවශ්‍ය නොවන බවට CIDය කරන ප්‍රකාශය නීති විරෝධී මෙන්ම දැඩි කනස්සල්ලට කරුණක් බවයි.
නීතිඥ සහාය යනු රඳවාගෙන සිටින අයෙකුගේ මූලික අයිතිවාසිකමක් මිස CID යේ අභිමතය පරිදි දෙන හෝ නොදෙන වරප්‍රසාදයක් නොවන බව ඇය එම ලිපිය මගින් පෙන්වා දෙනවා.
තම ස්වාමිපුරුෂයා උපවාසයක් ආරම්භ කළේ නිකම්ම නොවන බවත්, CID නිලධාරීන් භාරයේ සිටියදී ඔහුට විඳීමට සිදු වූ ශාරීරික, මානසික සහ ආවේගාත්මක පීඩාවන් හේතුවෙන් එය සිදු වූවක් බවත් ඇය එහිදී සඳහන් කරනවා.
එබැවින් ඔහුගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම CID අධ්‍යක්ෂවරයා සතු බවයි ඇය එම ලිපියෙන් සඳහන් කරන්නේ.
මාස දෙකකට (2) ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටියද, රෝහල්ගත වීමට පෙර තම ස්වාමිපුරුෂයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයකදී පමණක් බවත්, මේ හේතුවෙන් මෙම දීර්ඝකාලීන රැඳවුම් භාරය විමර්ශන අවශ්‍යතාවක් සඳහා නොව, ඔහුට දැඩි පීඩනයක් එල්ල කිරීම සඳහා කරන ලද්දක් බව පෙනී යන බව ඇය සඳහන් කරනවා.
තම ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍ය සහ මානසික නිදහස ගැන සිතා නීතිඥ සහාය අවහිර කරන බවට CIDය පවසන කතාව පිළිගත නොහැකි බවත්, නීති නියෝජනය පිළිබඳ තීරණ ගත යුත්තේ පවුලේ අය සහ නීතිඥවරුන් මිස චෝදනා එල්ල වී ඇති ආයතනය විසින් නොවන බවත් පවසන ඇය, තම ස්වාමිපුරුෂයාට නීතිඥ සහාය ලබා දෙන ලෙස CID අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටිනවා.
+++
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න : හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
(13.06.2026 – hirunews.lk)
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සාමාන්‍ය සැකකරුවකු සේ සලකා නීතියේ සමානාත්මතාවය ඔහු වෙත ලබාදීම තහවුරු කිරීම කෙරෙහි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කාරුණික අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසය පළ කර සිටින බව සඳහන් කරමින් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් ජනපතිට ලිපියක් යොමු කර තිබෙනවා.
මතුව ඇති චෝදනා පිළිබඳව වගකිව යුතු පාර්ශ්වයන් විසින් පළ කරනු ලබන අද්භූත නිහැඬියාව හෝ වගකීම් විරහිත ප්‍රතික්‍රියාවන් හමුවේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව, වගකීම් සහගත පුරවැසියත් මෙන්ම යම් වකවානුවක මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් වූ ඔවුන් මෙලෙස පෞද්ගලිකවම ජනපතිගේ අවධානය කැඳවීමට තීරණය කළ බවයි ඔවුන් එම ලිපියේ සඳහන් කර ඇත්තේ.
සුරේෂ් සලේ මාස තුනකට (3) අධික කාලයක් අත්අඩංගුවේ පසුවන්නේ අධිකරණ නියෝගයකින් නොව ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පත්ත(PTA) යටතේ කරනු ලැබූ රඳවා තබා ගැනීමේ නියෝගයකට අනුව වීම, උද්ගතව ඇති සමාජ සාකච්ඡාව සෘණාත්මක අන්තයකට හරවා ලු පළමු ලක්ෂය බව ද එහි සඳහන්.
ඔහුට කෲර ලෙස සලකන බවට කිසිදු දේශපාලන පක්ෂයක් නොව කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් දෙපළක් විසින් අධිකරණ විනිසුරුවන් අබියසදී අනාවරණය කර ඇති බව අදාළ ලිපියේ දැක්වෙනවා.
එම ජනාධිපති නීතිඥවරුන්ගේ අනාවරණයට නෛතික හා විද්‍යාත්මක පදනමක් සපයමින් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් ද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම ලිපිය හරහා පාස්කු දින ප්‍රහාරයට අදාළ චූදිතයන්ට එරෙහි ක්‍රියාමාර්ග අඩපණ කිරීමට තම කණ්ඩායම අදහස් නොකරන බව ඔවුන් සඳහන් කරනවා.
අහිංසක වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම කිසිසේත් ප්‍රමාද නොකළ යුතු බවත්, එය ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වගකීමක් බවත්, පවසන මන්ත්‍රීවරුන් එම නෛතික ක්‍රියාමාර්ග ගෝත්‍රික දේශපාලන මාත්‍රාවෙන් තොර විශ්වසනීය ඒවා විය යුතු බවයි අවධාරණය කර ඇත්තේ.
+
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. – සෞඛ්‍ය නි. ඇමති
(14.06.2026 – hirunews.lk)
මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පවසනවා.
වෛරසයේ පවතින මෙම වෙනස් ස්වභාවය නිසා, වෙනදාට වඩා වැඩි පිරිසකට ඩෙංගු රෝගය වැලඳීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
වෛරසයේ මෙම වෙනස් වීම නිසා රෝගය පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, මහජනතාව ඒ පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.
එමෙන්ම, පවතින තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නා.
වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ අවශ්‍ය සෞඛ්‍යමය පියවර පිළිබඳව අවධානය යොමු කිරීම මෙම අවදානම් තත්ත්වය පාලනය කිරීමට අත්‍යවශ්‍ය කරුණක් බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
+++
+++
රට පුරා ඩෙංගු දැඩි අවදානමක – මර්දන සතිය හෙට සිට ඇරඹේ! – මදුරු කීටයන් වැඩිපුරම පාසල්වලින්
(14.06.2026 – hirunews.lk)
දිවයින පුරා දැනට පවතින දැඩි අවදානම් ඩෙංගු රෝගී තත්ත්වය මර්දනය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන, සෞඛ්‍ය අංශ සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ‘ජාතික ඩෙංගු මර්දන සතිය’ හෙට (15) සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම විශේෂ මර්දන සතිය ජූනි 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
මේ පිළිබඳව සියලුම අංශ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරුන් සහ පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (14) පැවැත්වුවා.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් අවධාරණය කළේ ඩෙංගු රෝගය අප ජීවත්වන වටපිටාව ආශ්‍රිතව නිර්මාණය වන්නක් බැවින්, මහජනතාවගේ සෘජු දායකත්වයකින් තොරව සෞඛ්‍ය අංශවලට හෝ රජයේ ආයතනවලට පමණක් මෙය මර්දනය කළ නොහැකි බවයි.
සාමාන්‍යයෙන් මෙරට සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,000 කට ආසන්න වුවද, මේ වන විට එම සීමාව ද ඉක්මවා ගොස් රෝගීන් වාර්තා වීම ගුණිතයක ආකාරයෙන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය ජගත් අමරසේකර මෙහිදී හෙළි කළා.
මේ හේතුවෙන් දෛනිකව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින අතර, එය සෞඛ්‍ය අංශවල ධාරිතාවය ඉක්මවා ගියහොත් මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව ඔහු අනතුරු ඇඟවූවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කියා සිටියේ, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගයෙන් මියගිය අය අතර කුඩා දරුවන්, තරුණයින් සහ කාන්තාවන් ද සිටින බවයි.
රටේ අනාගත පරපුර, ශ්‍රම දායකත්වය සපයන තරුණ ප්‍රජාව මෙන්ම දරුවන්ට මව්වරුන් අහිමි වීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවයි හෙතෙම සඳහන් කළේ.
ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී පෙන්වා දුන්නේ, මේ දක්වා සිදුකළ පරිශ්‍ර පරීක්ෂාවලදී මදුරු කීටයන් සිටින ස්ථානවලින් වැඩිම ප්‍රතිශතයක් එනම් 41.8% ක්ම වාර්තා වී ඇත්තේ පාසල් ප්‍රමුඛ අධ්‍යාපන ආයතනවලින් බවයි.
මේ වන විට කීට ඝනත්වය සහ මදුරුවන් බෝවන ස්ථාන 28,913 ක් හමු වී ඇති අතර, ඉන් 26% ක්ම ඉවතලන ද්‍රව්‍යවලින් ද, 14% ක් තාවකාලිකව ඉවත් කළ අයිතිම සහිත වඩා වැඩියෙන් මදුරුවන් බෝවන ප්‍රධාන ස්ථාන බව ඇය පැවසුවා.
මේ අතර ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා සඳහන් කළේ මදුරුවන් බෝවීමේ වැඩි සම්භාවිතාවක් ඇති ඉදිකිරීම් පරිශ්‍රයන් තුළ කීටයන් හමු වුවහොත් ඒ පිළිබඳ පරිසර පොලිසියට පැමිණිලි කළ හැකි බවයි.
එහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වන වගන්තිය යටතේ අදාළ පරිශ්‍රයට එරෙහිව මහේස්ත්‍රාත්වරයෙකුගෙන් තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.
හෙට (15) සිට ජූනි 20 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහන පහත පරිදි වේ:
- ජූනි 15 සිට 17 දක්වා (සඳුදා – බදාදා) : නගර, කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම.
- ජූනි 18 (බ්‍රහස්පතින්දා) : පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම.
- ජූනි 19 (සිකුරාදා) : සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම.
- ජූනි 20 (සෙනසුරාදා) : පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම.
‘මෝදර නිපුන’ නමැත්තාගේ සහෝදරයාට පැය 72 ක රැඳවුම් නියෝග
(14.06.2026 – hirunews.lk)
ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘මෝදර නිපුන’ නමැත්තාගේ සහෝදරයා වන ‘චතුර දිල්රුක්ශාන්’ නැමැත්තාට පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
එමෙන්ම ඔහු සමග මෙරටට රැගෙන ආ ‘බ්ලූමැන්ඩල් සංඛ’ නමැත්තාට ද හෙට (15) දිනයේදී රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරුවන් දෙදෙනා (2) ඊයේ (13) රාත්‍රියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා.
පසුව පැය 14 ක කාලයක් සදහා ‘බ්ලූමැන්ඩල් සංඛ’ නමැත්තා ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් භාරයේ තබා ගනිමින් අද (14) පෙරවරුවේ කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලබා දෙනු ලැබුවා.
+++
+
දුරකථන කේබල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් (3) රාගම සහ මොරටුවෙන් කොටු
(14.06.2026 – hirunews.lk)
දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල සහ මාර්ගවල ඇති දුරකථන කේබල් කපා සොරකම් කිරීම ඇතුළු දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් (3) මත්ද්‍රව්‍ය සහ සොරාගත් භාණ්ඩ තොගයක් සමඟ රාගම සහ මොරටුව පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) සවස සිදු කළ වැටලීමකදී, එම පොලිස් වසමේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල කේබල් කපා සොරකම් කරන ලද සැකකරුවන් දෙදෙනෙක් (2) මෙලෙසෙ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 700 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි ද වාර්තා වෙනවා.
පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් විසින් රුපියල් 922,750 ක් පමණ වටිනාකමින් යුතු කේබල් කපා සොරකම් කර ඇති බවයි.
වයස අවුරුදු 27 සහ 34 ක් වන මොවුන් රතුපස්වල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මත සොරකම් කරන ලද කේබල් කොටස් තොගයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
රාගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, මොරටුව පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ද ඊයේ (13) සවස සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඔහු මොරටුව පොලිස් වසමේදී රුපියල් 180,000 ක් පමණ වටිනා දුරකථන රැහැන් කපා සොරකම් කිරීම ඇතුළු, ගෙවල් බිඳ දේපළ සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බව හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.
රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් ඇසුරින් සොරකම් කරන ලද රූපවාහිනියක් සහ තඹ කම්බි කොටස් තොගයක් පොලිස් භාරයට ගෙන තිබුණා.
මොරටුව පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴
මිලියන 04 කට තවමත් ‘TIN’ නැහැ – IRD යෙන් හෙළිදරව්වක්
(14.06.2026 – 17:58 +0530 – sinhala.adaderana.lk)
‘බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය’ හෙවත් ‘ටින් අංකය’ තවත් පුද්ගලයින් මිලියන 04 ක පමණ පිරිසක් ලබාගෙන නොමැති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ වන විට පුද්ගලයින් මිලියන 13 කට වැඩි පිරිසක් ‘ටින් අංකය’ ලබාගෙන ඇති බවයි.
වයස අවුරුදු 18 සම්පූර්ණ වු සියලු පුද්ගලයින් ‘ටින් අංකය’ ලබාගැනීම අනිවාර්යය කර ඇති අතර ඒ අනුව මෙරට පුද්ගයින් මිලියන 17 ක පමණ පිරිසක් ‘ටින් අංකය’ ලබා ගත යුතු වන බව සඳහන් වෙයි.
මේ අතර, 2026 අංක 11 දරන දේශීය අදායම් සංශෝධිත පනත් කෙටුම්පතට අනුව මේ වනවිට විවිධ කාර්යයන් සදහා ‘ටින් අංකය’ අනිවාර්යය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව බැංකු ගිණුම් විවෘත කිරීම, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ අලුත් කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් හුවමාරු කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීම ඇතුළු විවිධ ගණුදෙනු සදහා ටින් අංකය අනිවාර්යය කර තිබේ.
දේශිය අදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ, අදාල පනතට අනුව ‘ටින් අංකය’ තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස නොසලකන බවයි.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴