බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය : DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්නැයි පල්ලේගම හේමරතන හිමිට නියෝග

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය : DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්නැයි පල්ලේගම හේමරතන හිමිට නියෝග


බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය : DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්නැයි පල්ලේගම හේමරතන හිමිට නියෝග

(12.06.2026 – bbc.com/sinhala/)

DNA පරීක්ෂණයක් සඳහා ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සිකුරාදා (ජූනි 12) නියෝග කළේ ය.

සැකකාර හිමිනම සිය රුධිර සාම්පල ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේ ය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ, නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

පොලිසියෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක්

එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය අධිකරණයට කියා සිටියේ, අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 04 වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද, දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් රුධිරය තැවරුණ බවට සැක කෙරෙන ඇදුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව ය.

ඒ අනුව, නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බව ද අධිකරණයට කියා සිටි පොලිසිය, දැරියගේ ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණ වී ඇති බව ද සඳහන් කළේ ය.

ඒ අනුව, අදාළ DNA ඇලීල සමග සැසඳීමට සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට පවසා සිටි පොලිසිය ඒ අනුව, රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබාදෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙස අයැද සිටියේ ය.

දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමග සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ගැළපේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා සිදුකෙරෙන DNA පරීක්ෂණයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලෙස ද පොලිසිය තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

16 වන දා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් රුධිර සාම්පල දෙන්නැයි නියෝග

මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට නියෝග කළේ, ලබන 16 වන දින රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ලබාදෙන ලෙස ය ෴


දරුණු එල්-නිනෝ තත්ත්වය නිර්මාණ වෙයි – ලොව පුරා අනතුරු ඇඟවීම්

(11.06.2026 – 22:16 +0530 – sinhala.adaderana.lk)

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) නිවේදනය කර ඇත්තේ, මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5 කින් ඉහළ ගොස් ඇති අතර, එය එල්-නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවය.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙවර එල්-නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් ‘දරුණු එල්-නිනෝ’ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

එය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම එල්-නිනෝ සංසිද්ධීන් අතරට එක්විය හැකි බවටද විද්‍යාඥයින් අනාවැකි පළ වී තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවන ගෝලීය උණුසුම් වීමට අමතරව මෙම තත්ත්වය ද එකතු වීම නිසා, ඉදිරි වසරක කාලය (බොහෝ දුරට 2027 වසර) වාර්තාගත ලෙස උණුසුම් අධික වසරක් බවට පත්විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා කාලගුණික රටාවන්හි විශාල වෙනස්කම් ඇතිවිය හැකි අතර, නියඟ, අධික වර්ෂාපතනය, ගංවතුර, උෂ්ණත්ව තරංග සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අහිතකර තත්ත්වයන් වැඩිවිය හැකි බවද සඳහන් වේ.

NOAA ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සමකාසන්න පැසිෆික් කලාපයට ඉහළින් පවතින සුළං රටාවන්හි ද මේ වනවිට වෙනස්කම් නිරීක්ෂණය වන අතර, එමගින් සාගර උෂ්ණත්වය ඉහළ යාමට වායුගෝලයද ප්‍රතිචාර දක්වමින් සිටින බවට පැහැදිලි සංඥාවක් බවයි.

මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවල අයහපත් කාලගුණික සිදුවීම් වර්ධනය විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන අනතුරු අඟවා තිබේ ෴


සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව පවුලේ ඥාතීන් කියයි

(12.06.2026 – 14:09 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව පවුලේ ඥාතීන් පවසයි.

අද (12) පෙරවරුවේ ඒ මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බැවින් ඔහුගේ ජීවිතයට සැලකිය යුතු තර්ජනයක් පවතින බවය.

මේ අතර සුරේෂ් සලේ මහතා සම්බන්ධව අස්ගිරි විහාරයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ අස්ගිරි විහාරයට පැමිණ ඔහු වෙනුවෙන් ආයාචනයක් සිදුකළ බවය.

එහිදී තම ස්වාමියා හට සහනයක් ලබා දීමට සහාය වන ලෙස ඇය විසින් ඉල්ලීමක් කළ බවත් එම ආයාචනය ජනපතිවරයා වෙත යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසත් සලේ මහතාගේ බිරිඳ ඉල්ලා සිටි බව අස්ගිරි මහ නාහිමි ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ ෴


අල්ලස් DG ට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්

(12.06.2026 – hirunews.lk)

වත්මන් රජයට සම්බන්ධ ප්‍රබලයින්ට එරෙහිව ලැබී ඇති දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කොමිසමේ සභාපති විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ජී.එල්. පීරිස් ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අත්සන් සහිතවයි.

නීතිය සෑම පුද්ගලයෙකුටම තාරාතිරම නොබලා එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරමින්, ඒකාබද්ධ විපක්ෂය විසින් යොමු කරන ලද එම ලිපිය මඟින් ප්‍රධාන පෙළේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳව කොමිසමේ අවධානය යොමු කර තිබෙනවා.

ලිපිය මඟින් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණු සහ චෝදනා වන්නේ :

1 . කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම

  • දැඩි මානසික පීඩනය : ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැමැත්තාගේ ඇප නියෝගය අවලංගු කිරීමට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කිරීම නිසා ඔහු දැඩි මානසික පීඩනයකට ලක් වූ බවත්, ඉන් අනතුරුව සිදු වූ ඔහුගේ අභිරහස් මරණයට පෙර ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මඟින් තමන්ට එල්ල වූ තර්ජන පිළිබඳව අනාවරණය කර ඇති බවත් විපක්ෂය පවසනවා.
  • බලතල ඉක්මවා යෑම : කටඋත්තර ලබාදීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශන නිලධාරීන්ට මිස අධ්‍යක්ෂ ජනරාල්වරයාට ප්‍රතිපාදන නොමැති පසුබිමක, ඔහු සිය වපසරියෙන් බැහැරව අත්තනෝමතික ලෙස කටයුතු කර ඇත්දැයි සොයා බැලීම කොමිසමේ වගකීමක් බව ලිපියේ දක්වා තිබෙනවා.

2 . ප්‍රභූන්ට එරෙහි පැමිණිලි යට ගැසීමේ චෝදනා

  • කතානායක ජගත් වික්‍රමරත්න : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට එරෙහිව සිදු කර ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිල්ලට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, එහි වත්මන් ප්‍රගතිය දැනගැනීමේ අයිතියක් ජනතාවට ඇති බව විපක්ෂය පෙන්වා දෙනවා.
  • විදුලිබල හා බලශක්ති අමාත්‍ය ජයකොඩි : අමාත්‍යවරයා රාජ්‍ය සේවකයෙකු ලෙස සිටි සමයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ නඩුවේදී කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට චෝදනා කරනවා.

විපක්ෂ ක්‍රියාකාරිකයින් වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන කොමිසම, අමාත්‍යවරයා සම්බන්ධයෙන් එවැනි පියවරක් නොගැනීම පිළිබඳව ජනතාව තුළ සැකයක් පවතින බව ලිපියේ සඳහන්.

  • බාල ගල්අඟුරු වංචාව : බාල ගල්අඟුරු ගෙන්වීමට අදාළව සිදුවූ දූෂණ හා අක්‍රමිකතා රාශියක් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර ඇතත්, ඒවා පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවන බවක් දක්නට නොලැබෙන බව විපක්ෂය පවසනවා.

වත්මන් රජයට සම්බන්ධ පුද්ගලයින් රැසකට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් කරන ලද, නමුත් මෙතෙක් කොමිසම විසින් විමර්ශනය කර නොමැති ලිඛිත පැමිණිලි ඇතුළත් විශේෂ ලේඛනයක් ද ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම ලිපියට අමුණා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වාචිකව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව කොමිසමේ සභාපතිවරයාට ස්තූතිය පළ කරන ඒකාබද්ධ විපක්ෂය, වගකිව යුතු විපක්ෂයක් ලෙස සිය සමාජ වගකීම ඉටු කිරීම සඳහා තමන් නියෝජනය කරන කණ්ඩායමට කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ද ගරු සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *