රාජකාරි ගිනි අවිය වෙනත් අයෙකුට ලබා දී ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් රට ගිහින්

රාජකාරි ගිනි අවිය වෙනත් අයෙකුට ලබා දී ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් රට ගිහින්


රාජකාරි ගිනි අවිය වෙනත් අයෙකුට ලබා දී ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් රට ගිහින්

(09.02.2025 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෙරටින් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිවේදී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.

එහිදී ඔහු සඳහන් කළේ සිය රාජකාරි ටී-56 ගිනිඅවිය තුන්වන පාර්ශවයකට ලබා දී මෙම කොස්තාපල්වරයා ඩුබායි වෙත පළා ගොස් ඇති බවයි.

මෙම කොස්තාපල්වරයා ඊයේ (08) සවස සිට මාර්ග රාජකාරීන් සඳහා යොදවා සිටි බවත්, එම අවස්ථාවේදී පස්වරු 05:30 ට පමණ ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ රාජකාරීන් සඳහා ටී-56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක ප්‍රමාණයක්ද රැගෙන පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නිලධාරියා මාර්ගබාධක රාජකාරීන් සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් සොයා බැලීමේදී ජංගම දුරකථනයට ද ප්‍රතිචාර නොදක්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කොස්තාපල්වරයා ඊයේ (08) රාත්‍රි 10:15 ට පමණ මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බවයි.

මෙලෙස පලාගිය කොස්තාපල්වරයා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසියේ සහාය ඉල්ලා සිටින බවත්, නීතිවිරෝධීව රැගෙන ගිය ගිනි අවිය සහ උණ්ඩ සොයා ගැනීම සඳහා පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායම් 04 ක්ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

+

+


දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

(09.02.2025 – 12:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රධාන පද්ධතියට අයත් ‘පානදුර ග්‍රිඩ් උපපොළේ’ ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය ඇනහිටීම සිදු වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර ඒ සඳහා පැය කිහිපයක් පමණ ගතවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී සඳහන්කර සිටියේ ෴

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුවූයේ ‘පානදුර ග්‍රිඩ් උපපොළ’ ආශ්‍රිත පද්ධතියේ වඳුරෙක් ගැටීම නිසා බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.

මෙම සිද්ධිය හේතුවෙන් රට පුරා විදුලි සැපයුමට බාධාවක් වී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ‘විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය’ පසුව මෙම තත්ත්වය ‘පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්’ ලෙස විස්තර කළේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තහවුරු නොකරමින්.

ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, හැකි ඉක්මනින් විදුලිය නැවත ගෙන ඒමට කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ ෴

දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට

(09.02.2025 – 18:02 +0530 – hirunews.lk/sinhala)

මුළු රටටම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

අද (09) පෙරවරු 11:15 ට පමණ දිවයින පුරාම මෙසේ විදුලි බිඳ වැටීමක් සිදු වුණා.

මෙසේ දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව ‘පානදුර ග්‍රිඩ් උපපොළෙහි’ ඇති පද්ධතියේ ‘වඳුරෙකු ගැටීමෙන් ඇතිවූ තත්ත්වයක්’ බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සදහන් කළා.

මේ අතර, දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ග ආශ්‍රිත සංඥා පද්ධතියටද බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+

හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ විදුලි ඉංජිනේරු සංගමයෙන් පැහැදිලි කිරීමක්

(09.02.2025 – 18:57 +0530 – hirunews.lk/sinhala)

අද (09) දින පෙරවරු 11:15 ට පමණ දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීම පිළිබඳව ‘ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය’ අදහස් දැක්වීමක් සිදුකළා.

මේ සඳහා බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක්, ‘ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන්’ නිපදවීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බවත් ඔවුන් සඳහන්කරනවා.

පානදුර විදුලි උපපොලේ 33 kV පෝෂක අංගනය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමඟ අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුමට බාධා එල්ල වූ බවයි එම සංගමය පවසා සිටියේ.

ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකි වූ බවත් නමුත් අද දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බව අනුමාන කෙ‍රෙන බවයි එම සංගමය පවසන්නේ.

මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් (Battery Storages) හා ජල පොම්ප බලාගාර (Pump Storage) වලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යංශය එක්ව කටයුතු කරමින් පවතින බවත් එම සංගමය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලනය අංශය හා අනෙකුත් අංශ යුහුසුළුව කටයුතු කරමින් සමස්ත විදුලි පද්ධතිය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කළ අතර මේ සම්බන්ධයෙන් ඇතැම් වැරදි මත සමාජ ගත කිරීමට යම් පාර්ශව උත්සාහ ගන්නා බව ඔවුන්ට වාර්තා වූ බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴

+

වඳුරෙක් පැනලා නෙමෙයි කරන්ට් ගියේ – රටට විදුලිය නැති කල පානදුර උප පොලේ, ආරක්ෂකයා ඇහැට දැකපු දේ හෙළිකරයි (09.02.2025)

+


කුඩා දරුවන් වෙළදාමට යොදා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීති දැඩි කෙරේ

(09.02.2025 – 13:27 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු දරුවන් වෙළදාමේ යෙදවීම පිලිබදව නීති දැඩි කර ඇති බව පොලිසිය පවසනවා.

‘ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිශාව’ භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර කියා සිටියේ ඇතැම් සිද්ධින් වාර්තා වීමත් සමග පොලිසියේ වැඩි අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු වී ඇති බවයි.

“දරුවෙක් කියන්නේ වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙක්, එතකොට දරුවෙක් යොදාගෙන ඔහුගේ භාරකරුවන්, දෙමාපියන් හෝ යම් තැනැත්තෙක් දන් පිං අයදිනවානම්, නැත්නම් නැටුම් ගැයුම් ආයාචනා කරනවානම්, නැත්නම් අපි ඒ ගොල්ලන්න්ව සාමාන්‍යයෙන් හඳුනාගන්නවා හිඟමනේ යොදවනවා කියලා. මේ ඕනෑම දෙයක් කරනවා නම් දණ්ඩ නීති සංග්‍රහයේ 1998 සංශෝධනයේ තියෙනවා 288 වගන්තිය අනුව මෙය වැරැද්දක් කියලා. ඉතින් මේ අනුව ක්‍රියාකළොත් අපි බලන්න ඕනේ විමර්ශනයක් කරලා මේ විදිහට දන් පිං අයදින්න යොදලා, හිඟමනේ යොදවලා යම්කිසි පුද්ගලයෙක්, ඒ කියන්නේ එයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් මාධ්‍ය හරහා කරන කෙනෙක් වෙන්න පුළුවන්, මේ වගේ කෙනෙක් මෙහෙම දරුවන් යොදවලා යම්කිසි මුදලක් හොයාගන්නවානම්, මේ විදිහට දරුවන්ව සමාජයට අසරණ දරුවෝ කියලා පෙන්නලා ඒ හරහා යම්කිසි ආදායමක් උපයාගන්නවා නම් අන්න එතන මේ වරද සිදුවෙලා තියෙන්න පුළුවන්.” යනුවෙන් ‘හිරු ප්‍රවෘත්ති’ හා අදහස් දක්වමින් ඇය සඳහන් කළා ෴


ධර්මශාලා ගොඩනැඟිල්ලේ මළ සිරුරක්

(09.02.2025 – 14:57 +0530 – hirunews.lk/sinhala)

විහාරස්ථානයක ධර්මශාලා ගොඩනැඟිල්ලේ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව නාඋල පොලිසිය පවසනවා.

මාතලේ, නාඋල, මාරාගමුව ප්‍රදේශයේ විහාරස්ථානයකදී මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේදී මෙම පුද්ගලයා මියයන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

අද (09) පෙරවරුවේ විහාරස්ථානයේ ඇති දහම් පාසලට දරුවන් පැමිණි අවස්ථාවේ පුද්ගලයෙකු මිය ගොස් සිටින බව දැක තිබෙන බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


කොළඹ වරායේ සමූහ මිනීවලෙන් ඇටසැකිලි දහසයක් හමුවෙයි : දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලිත් ඒ අතර

(09.02.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය භූමියේ මේ වන තෙක් සිදු කර ඇති කැනීම්වලින් පුද්ගලයින් 16 දෙනෙකුගේ ඇටසැකිලි හදුනාගෙන ඇති බව එහි කැණීම් මෙහෙයවන පුරාවිද්‍යාඥ මහාචාර්ය රාඡ් සෝමදේව පවසනවා.

හදුනාගත් ඇටසැකිලි අතර, දරුවන් දෙදෙනෙකුගේ (2) ඇටසැකිලි ද තිබෙන බවයි මහාචාර්යවරයා සදහන් කළේ.

මෙම ‘සමූහ මිනීවල’ ක්‍රමවත් සුසාන භූමියක් නොවන අතර විද්‍යාත්මකව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි කාල නීර්ණය සිදුකළ හැකි බවයි ඔහු කියා සිටියේ.

හඳුනාගත් ඇතැම් ඇටසැකිලිවල සැලකිය යුතු ප්‍රමාණයක් පවතින්නේ කැඩී බිදී ගිය කොටස් බවද වාර්තා වනවා.

මේ අතර, හදුනාගත් කුඩා දරුවාගේ අතේහි සැකිල්ලෙහි තඹ මිශ්‍ර යම් දෙයක් ඇති බවටද හදුනාගෙන තිබෙනවා ෴


විදුලි ජනක යන්ත්‍රයක දුම ආග්‍රහණය විමෙන් සිව්දෙනෙකු (4) රෝහලට

(09.02.2025 – 16:46 +0530 – hirunews.lk/sinhala)

විදුලි ජනක යන්ත්‍රයක දුම ආග්‍රහණය විමෙන් සිව්දෙනෙකු (4) අද (09) පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ තිබෙනවා.

බගවන්තලාව ප්‍රදේශයට අද (09) දහවල් සිට විදුලි බලය ඇණහිටිම නිසා නගරයේ සිල්ලර වෙළෙදසැලක විදුලි බලය ලබා ගැනිමට විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී සේවකයන් සිව්දෙනෙකුට (4) ශ්වසන අපහසුතා ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ පුද්ගලයින් සිව්දෙනා (4) රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

රෝහල් ගත කළ සේවකයන් අතර කාන්තාවන් තිදෙනෙකු (3) සහ එක් (1) පිරිමියෙකු සිටිනවා ෴


අංගොඩ හන්දියේ වාහන ගරාජයක ගින්නක්

(09.02.2025 – 17:28 +0530 – hirunews.lk/sinhala)

අංගොඩ හන්දියේ වාහන ගරාජයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවයි මුල්ලේරියාව පොලිසිය පවසන්නේ.

මේ අතර එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ තුනක් (3) පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව පවසන්නේ ෴

+

+

+


‘ඇල්ල ඔඩිසි – නානුඔය’ නව දුම්රිය හෙට (10) සිට

(09.02.2025 – 17:47 +0530 – hirunews.lk/sinhala)

‘ඇල්ල ඔඩිසි – නානුඔය’ නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක කෙරෙනවා.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ.

එල්ජින් දිය ඇල්ල සහ සමිටලෙවල් ප්‍රදේශයේ දර්ශනීය ස්ථානවලදී දුම්රිය මන්දගාමීව ගමන් කරන අතර ‘ඉදල් ගස්ස්සින්න’ දුම්රිය ස්ථානය අසළ මිනිත්තු 06 ක් මෙන්ම ‘ආරුක්කු නවයේ පාලම’ අසළ මිනිත්තු 10 ක කාලයක් දුම්රිය නතර කර තැබීමටයි නියමිතව තිබෙන්නේ.

මෙම ‘ඇල්ල ඔඩිසි – නානුඔය’ දුම්රිය අගහරුවාදා දින හැර සතියේ සැම දිනකම 514 මැදිරි කට්ටලයක් සමගින් ධාවනය වීමට නියමිතයි.

මේ අතර පෙ.ව. 08:10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය ප.ව. 01:00 ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙහි පළමු (1) පන්තියේ වෙන්කළ ආසන රුපියල් 7,000 ක්ද, දෙවන (2) පංතියේ වෙන්කළ ආසන රුපියල් 6,000 ක්ද තෙවන (3) පංතියේ වෙන්කල ආසන රුපියල් 5,000 ක්ද වන බවයි පැවසෙන්නේ ෴


හෙද හෙදියන් 3500 ක් අලුතෙන් සේවයට

(09.02.2025 – 08:57 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින කාර්ය මණ්ඩල හිඟය සදහා ලබන මාසය තුලදී හෙද හෙදියන් 3,500 ක් සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 976 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පසුගිය කාලයේ විදෙස් ගත වූ සියලු‍ වෛද්‍යවරුන්ට මෙරටට පැමිණෙන ලෙසද ඉල්ලා සිටියා.

එමෙන්ම, ඊයේ (08) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව හෙළිදරව් කළේ මේ වන විට හදවත් රෝගීන් අවම විසි දහසක (20,000) පමණ ප්‍රමාණයක් අදාල සැත්කම් සිදු කර ගැනීමට විවිධ රෝහල්වල පොරොත්තු ලේඛනවල රැඳී සිටින බවයි.

+

+


සල්ලි වෙනුවෙන් ඕනම වැඩක් කරන මිනිස්සු – නීතිවිරෝධී වැඩේකරලා අතේමාට්ටු වෙලා – ජීවිතේ පරදුවට තියා කාපු කෑම (08.02.2025)

+


රටට ජාතියට කළ අපහාසයක් – ජාතික කොඩි කණුවේ සිංහ කොඩිය බිම දමා කළ වැඩේ බරපතළ අවුලක් (08.02.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *